Monday, August 27, 2012

මොකද්ද මේ පින සහ කුසලය?

පින කියල කියන්නේ යම් කිසි හොඳ දෙයක් ( තමන්ටත් අනුන්ටත් යහපත්, ප්‍රඥාවන්තයින්ගේ ප්‍රසංසාවට ලක්වන ක්‍රියා ) කිරීමෙන් සිතේ ඇතිවන සතුට නිසා ජනිතවන කර්ම ශක්තියක්. ඒක  විපාක දීල යම් කිසි කාලයකට පස්සේ අවසන් වෙලා යන එකක්. අපි මෙහෙම හිතමු. ඔන්න කෙනෙක් බඩගින්නේ ඉන්න කෙනෙකුට තමන්ගේ කෑම එකෙන් ටිකක් දෙනවා. එහෙම දීල ඒක ගැන සතුටු වෙනවා. ඉතින් ඒක නිසා එයාට පිනක් සිද්ද වෙනවා. අයින් ඇතිවූ කර්ම ශක්තියෙන් එයාට මතු භවයකදී ( හෝ මේ භවයේදීම හෝ ) කුසගිනි නැතිව සුවසේ සිටීමට හැකි වෙනවා.

කුසලය කියල කියන්නේ ලෝභ (රාග), ද්වේශ, මෝහ කියන මේ අකුසල් මුල් සිහියෙන් යටපත්කරගෙන ඒසඳහා සිහියෙන්, නුවනින් දැක තේරුම් අරගෙන කරන කටයුතුයි. යම් කිසි ක්‍රියාවකදී  ලෝභ (රාග), ද්වේශ, මෝහ කියන මේ අකුසල් මුල් යටපත් වී ඇතිනම් එය කුසලයයි. එක හරියට කුසලතාවයක් දියුණු උනා වගෙයි.   ලෝභ (රාග), ද්වේශ, මෝහ කියන මේ අකුසල් මුල් සිඳී නැති නිසයි සත්වයා අනේකවිධ දුක් පීඩා විඳිමින් සසර සැරි සරන්නේ. ඉතින් ලෝභ (රාග), ද්වේශ, මෝහ ප්‍රහාණය වෙනවා කියන්නේ දුකින් නිදහස් වෙනවා කියන එකයි. රහතන් වහන්සේට  ලෝභ (රාග), ද්වේශ, මෝහ මුළුමනින්ම ප්‍රහාණය වෙලයි තියෙන්නේ. ඉතින් අපි යම් කිසි ක්‍රියාවක්  ලෝභ (රාග), ද්වේශ, මෝහ යටපත් කරගෙන කළා කියන්නේ රහත් ඵලයට පත්වීමට අවශ්‍ය කුසලයක් කළා කියන එකයි. එය අප කවදාහෝ සසරින් එතෙර වන තුරුම අපට අනුග්‍රහ පිණිස පවතිනවා. අන්න එකයි කුසලයේ වටිනාකම. දැන් අර මුලින් කියපු උදහරනයේ දානයක් දීල පිනක්  උනා කිව්වනේ. ඒ දානෙම කුසලයක් ඇතිවෙන විදිහටත් දෙන්න පුළුවන්. දානය දෙනකොට මෙන්න මෙහෙම හිතන්න ඕන. " මේ දෙන්නේ මා සතු දෙයක්. මට පරිහරණය කළහැකිව තිබූ දෙයක්. මා තුල මේ දේ සඳහා යම් කිසි ආශාවක් තිබුනේද , මම ඒ ආශාව නැතිකරගෙන මේ දේ පුජා කරනවා. දානය කරනවා. මා මේ දේ දෙන්නේ අවන්කවම වෙනත් කිසියම් ලාභ සත්කාරයක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලාපොරොත්තුවෙන් නොවේ. කවදා හෝ සියලු ආශාවන්, තණ්හාවන් ප්‍රහාණය කිරීමට මේ කුසලය හේතු වේවා !!! " මෙන්න මේ ආකාරයෙන් සිහිය උපදවාගෙන චේතනාවක් ඇතිකරගෙන දානයක් දුන්නොත්, එකෙන් පිනක් වගේම කුසලයකුත් සිද්ද වෙනවා.  එය අප කවදාහෝ සසරින් එතෙර වන තුරුම අපට අනුග්‍රහ පිණිස පවතිනවා.

බුදුන් වහන්සේ පින් ( පුණ්‍ය ) ලෙස අපට කාරණා 10ක් පෙන්වා දී තිබෙනවා. ඒවා දස පුණ්‍ය ක්‍රියා ලෙස හඳුන්වනවා. එනම්;

  1. දානය - තමන් සතු වන්තුව ( ද්‍රව්‍යමය හෝ අද්‍රව්‍යමය ) අන් අයගේ යහපත, සුබ සිද්ධිය උදෙසා පරිත්‍යාග කිරීම.
  2. සීලය - සිත, කය, වචනය තමන්ටත් අනුන්ටත් පීඩාවක් නොවන පරිදි සංවර කරගැනීම
  3. භාවනාව - ප්‍රඥාව, සමාධිය දියුණු වන සුදුසු අරමුණක සිත හැසිරවීම තුලින් කුසල් දහම් වඩවා ගැනීම.
  4. පත්තිදාන - තමන් විසින් කල පින්කම් පින් බලාපොරොත්තුව සිටින අයට අනුමෝදන් කිරීම.
  5. පත්තානුමෝදනා   -  වෙනත් අයකු කරන ( හෝ අතීතයේ කල ) පින්කම් දැක / අසා ඒ පිළිබඳව සිත පහදවාගෙන සතුටු වීම.
  6. වෙය්යාවච්ච - පිදිය යුතු උතුමන්ට හා පුජනිය වස්තුන්ට වත් පිළිවෙත් කිරීම.
  7. අපචායන - පිදිය යුතු උතුමන්ට සිතෙන් කයෙන් වචනයෙන් වන්දනා කිරීම.
  8. ධම්ම දේසනා - ලාභ සත්කාර කිර්ති ප්‍රසංසා ආදිය බලාපොරොත්තු නොවී ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම හෝ කරවීම.
  9. ධම්ම සවන - චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස හොඳින් සවන් යොමුකොට ධර්මශ්‍රවණය කිරීම.
  10. දිට්ටිජුකම්ම - බුන් වනසේ දේශනා කල ශ්‍රී සද්ධර්මය පිලිබඳ නිවැරදි වැටහීමක් ඇතිකරගැනීම.
    ( සම්‍යක් දෘෂ්ටිය )

ඉහත කී කාරනා පුණ්‍ය ක්‍රියා උනාට, ලෝභ, ද්වේශ, මෝහ ප්‍රහාණය කිරීමේ චේතනාවෙන් , වීර්යයෙන් යුක්තව යමෙක් සිදු කරයි නම්, එවිට එයින් කුසල මුලයන් පාදා ගත හැකි බවයි මගේ අදහස.

ඊළඟට බුදුන්වහන්සේ අපට අකුසල් දොරටු 10කුත් පෙන්වා දී තිබෙනවා. එනම්;

  1. ප්‍රාණඝාතය - සතුන් මැරීම
  2. සොරකම - අන්සතු දේ ඔවුන්ට හොරෙන් තම සතුකරගැනීම
  3. වැරදි කාම සේවනය - වෙනත් ස්ත්‍රීන් / පුරුෂන් සමග කාම සේවනය කිරීම.
  4. බොරුකීම - අන් අය රැවටීමේ අදහසින් බොරු කීම.
  5. කේලාම් කීම - ඔවුනොවුන් බිඳවීමේ අදහසින් එක් පාර්ශවයක වැරදි අඩුපාඩු ආදිය තවත් පාර්ශවයක් සමග කීම.
  6. පරුස වචන කීම - නරක , සැඩපරුස වචනවලින් කතාකිරීම.
  7. හිස් වචන කීම - තමාටත් අනුන්ටත් වැඩක් නැති හිස් වචන කතා කර කර කාලය කා දැමීම.
  8. අභිද්‍යාව - අන් සතු වස්තු තම සතුකරගැනීමේ දැඩි ආශාව.
  9. ව්‍යාපාදය - තම අදහසට ඉටු නොවනවිට ( තමා සතුවනු කැමති දේවල් තමාට නොලැබෙනවිට ) ඇතිවන තරහ ස්වභාවය.
  10. මිත්‍යාදෘෂ්ටිය - කර්මය, කර්ම ඵලය, තෙරුවන, ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රමුඛ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කෙරෙහි ඇති වැරදි මැති මතාන්තර ඇතිකරගෙන සිටීම.


ඉහත සඳහන් කල දස අකුසල් වලින් මිදී කටයුතු කිරීම තුලින් කුසල්  වර්ධනය කරගැනීමට හැකිවෙනවා.

එනම්;
සිහියෙන්, නුවනින්, අවබෝධයෙන් යුක්තව තමාව අකුසල් විපාක වලින් මුදවා ගෙන සසර දුකින් නිදහස් වනු පිණිස, ලෝභ, ද්වේශ, මෝහ යටපත් කරගෙන;


  1. ප්‍රාණඝාතයෙන් වෙන්වී වාසය කරයි.
  2. සොරකමින් වෙන්වී වාසය කරයි.
  3. වැරදි කාම සේවනයෙන් වෙන්වී වාසය කරයි.
  4. බොරුකීමෙන් වෙන්වී වාසය කරයි.
  5. කේලාම් කීමෙන් වෙන්වී වාසය කරයි.
  6. පරුස වචන කීමෙන් වෙන්වී වාසය කරයි.
  7. හිස් වචන කීමෙන් වෙන්වී වාසය කරයි.
  8. අභිද්යාවෙන් වෙන්වී වාසය කරයි.
  9. ව්‍යාපාදයෙන් වෙන්වී වාසය කරයි.
  10. මිත්‍යාදෘෂ්ටියෙන් වෙන්වී වාසය කරයි.

ප්‍රාණඝාතයෙන් වෙන්විය යුත්තේ අවබෝධයෙන් මයි. කුමක් අවබෝධයෙන්ද?  තමාව අකුසල් විපාක වලින් මුදවා ගෙන සසර දුකින් නිදහස් වනු පිණිස, ලෝභ, ද්වේශ, මෝහ යටපත් කරගනිමි කියන අවබෝධයෙන් ඇතිවූ චේතනාවෙන්. ඒ කියන්නේ ඒක කුසල චේතනාවක්. ඒ ආකාරයෙන් සිහියෙන් නුවනින්, කල්පනා කරලා ප්‍රාණඝාතයෙන් වැළකිලා හිටියොත් තමයි ඒක කුසලයක් වෙන්නේ. එහෙම නැතුව කෙනෙක් කියපු පලියට, එහෙම නැත්තම් පොතක තිබුණු පලියට, ඔහේ කරන්නන් වාලේ කලාට කුසලයක් වෙන්නේ නෑ. හැබැයි පිනක් වෙන්න පුළුවන්. තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයෝ විදිහට අප ක්‍රියාව කලයුත්තේ පින සහ කුසලය දෙකම වැඩෙන අකාරයටයි. එවිටයි වඩා පහසුවෙන් සසර ගමන ඉක්මනින් කෙලවර කරගැනීමට හැකිවන්නේ.

සොරකමින් වෙන්විය යුත්තේ අවබෝධයෙන් මයි. කුමක් අවබෝධයෙන්ද?  තමාව අකුසල් විපාක වලින් මුදවා ගෙන සසර දුකින් නිදහස් වනු පිණිස, ලෝභ, ද්වේශ, මෝහ යටපත් කරගනිමි කියන අවබෝධයෙන් ඇතිවූ චේතනාවෙන්. ඒ කියන්නේ ඒක කුසල චේතනාවක්. ඒ ආකාරයෙන් සිහියෙන් නුවනින්, කල්පනා කරලා සොරකමින් වැළකිලා හිටියොත් තමයි ඒක කුසලයක් වෙන්නේ. එහෙම නැතුව කෙනෙක් කියපු පලියට, එහෙම නැත්තම් පොතක තිබුණු පලියට, ඔහේ කරන්නන් වාලේ කලාට කුසලයක් වෙන්නේ නෑ. හැබැයි පිනක් වෙන්න පුළුවන්. තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයෝ විදිහට අප ක්‍රියාව කලයුත්තේ පින සහ කුසලය දෙකම වැඩෙන අකාරයටයි. එවිටයි වඩා පහසුවෙන් සසර ගමන ඉක්මනින් කෙලවර කරගැනීමට හැකිවන්නේ.

ඉහත කාරණා 10ම මේ ආකාරයෙන් වටහා ගත යුතුයි.

No comments:

Post a Comment