Saturday, September 1, 2012

සතර අපායෙන්, දුගතියෙන් නියත වශයෙන් මිදීමට කලයුතු දේ.

නමෝ බුද්ධාය!

ප්‍රථම ධ්‍යාන , ද්විතිය ධ්‍යාන , තෘතිය ධ්‍යාන ,චතුර්ථ ධ්‍යාන ආදී ධ්‍යාන ලබාගත්තත්, පංච අභිඥා, අෂ්ට සමාපත්ති ආදිය ලබාගත්තත් සතර අපායෙන්, දුගතියෙන් මිදීමට ප්‍රමාණවත් නෑ. නමුත් ඔය කියපු කිසි දෙයක් නැතුව වුනත් සෝවාන් ආදී මාර්ග ඵලයක් ලැබුවොත් අන්න එයා නියත වශයෙන්ම සතර අපායෙන් දුගතියෙන් මිදුණු කෙනෙක් වෙනවා. සෝවාන් ආදී මාර්ග ඵල ලබාගැනීමට ධ්‍යාන , අභිඥා, සමාපත්ති ආදී දේ අතවශ්‍ය නෑ. කොච්චර කුසල් / පින් කලත් , කොච්චර අකුසල් යටපත් ක‍රගෙන හිටියත් නැවත නැවත සතර අපායට, දුගතියට වැටෙන්න පුළුවන්. ඉතින් පින් කර කර ඉන්න අතරම වැඩි වශයෙන් උනන්දු වී, වීර්ය කිරීමෙන් දැනගත යුතු විශේෂ දේ හැටියට මා දකින්නේ සෝවාන් මාර්ග ඥානය ඇතිකර ගැනීමයි. එවිට සෝවාන් ඵලයට පත්වීමට එය රුකුලක් වෙනවා.

සෝවාන් මාර්ග ඥානයෙන් කටයුතු කරන කෙනා වර්තමානයේදී සෝවාන් ඵලයට පත්වෙන්න බැරි උනොත් ඒ කුසලයේ බලයෙන් මරණින් මතු සුගතියේ ඉපදිලා මාර්ගඵල ලාභීන් ඇසුරු කරමින් තව තවත් තම මාර්ග ඥානය දියුණු කරගෙන සෝවාන් ඵලයට පත්වෙන්න අවස්ථාව තියෙනවා. එහෙම කරලා අඩු තරමින් සෝවාන් ඵලයටවත් පත් උනොත් එයාට සසරින් මිදෙන තුරුම සතර අපායට, දුගතියට නොවැටී සිටින්න පුළුවන් වෙනවා. ස්ථිර වශයෙන් ආරක්ෂාවක් තිබෙන්නේ සෝවාන් ආදී මාර්ග ඵලවලට පත් උනොත් පමණමයි. එහෙම නැතුව පින් කල පමණින් සක්විති රජකෙනෙක් වෙලා හිටියත් ( සෝවාන් වෙලා නැත්තම් ) නැවතත් සතර අපායට , දුගතියට වැටෙන්න පුළුවන්.

සෝවාන් මාර්ග ඥානය ඇතිකර ගෙන සෝවාන් ඵලයට පත්වෙන්න නම් සක්කාය දිට්ඨිය, විචිකිච්චාව, සෙලබ්බත පරාමාස යන මේ තුන් සංයෝජනයන් ප්‍රහාණය කිරීමේ නුවන (දහම් ඇස) උපදවා ගතයුතු වෙනවා. මෙසේ දහම් ඇස පහලවී තුන් සංයෝජනයන් ප්‍රහින වූ ආර්ය ශ්‍රාවකයා සතර අපායෙහි නොවැටෙන ස්වභාවයට පත්වූ ( අවිනිපාත ධම්ම ) පුද්ගලයෙකු වශයෙන් බුදුන් වහන්සේ හඳුන්වා දී තිබෙනවා.  එවැනි පුද්ගලයෙකු සතු සුවිශේෂී දහම් හතරක් පිළිබඳව බුදු හිමියන් දේශනා කල සුත්‍ර ධර්ම තුල නැවත නැවතත් සඳහන් වෙනවා.

සෝවාන් පුද්ගලයකු තුල මුල්බැසගත් ඒ ගුණාංග හතර නම්;

  1. බුදු ගුණ වැටහීම තුලින් හටගත් බුද්ධ ප්‍රසාදයෙන් යුක්ත වීම. ( බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නගහෝ හොති. )
  2. දහම් ගුණ  වැටහීම තුලින් හටගත් ධර්ම ප්‍රසාදයෙන් යුක්ත වීම. ( ධම්මේ අවෙච්චප්පසාදෙන සමන්නගහෝ හොති. )
  3. ආර්ය සංඝරත්නයේ ගුණ  වැටහීම තුලින් හටගත් සංඝ ප්‍රසාදයෙන් යුක්ත වීම.   ( සංඝෙ අවෙච්චප්පසාදෙන සමන්නගහෝ හොති. )
  4. ආර්ය උතුමන්ට ප්‍රියවූ සිල්වත් පැවැත්මකින් ( ආර්යකාන්ත සීලයෙන් ) යුක්ත වීම.   ( අරියකන්ත සිලෙහි සමන්නගහෝ හොති. )

ඉහත සඳහන් සතර දහමින් යුත් ආර්ය ශ්‍රාවකයා සතර අපායෙන්, දුගතියෙන් මිදුනකු බව බුදුන් වහන්සේ දේශනා කළා.

( සංයුක්ත නිකාය > සොතාපත්ති සංයුක්තය > සගාථක සුත්‍රය)

මොකද්ද මේ අවෙච්චප්පසාදය?

අවෙච්චප්පසාදය කියන්නේ "වැටහීම තුලින් ඇතිවන ප්‍රසාදයයි". තව විදියකට කියනවනම් "අවබෝධයෙන් යුක්තව ඇතිවන පැහැදීමයි". ඒ කියන්නේ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ යැයිද, තථාගත ධර්මය ස්වාක්ඛාත යැයිද, තථාගත ශ්‍රාවකයන් සුපටිපන්න යැයිද , මෙසේ තෙරුවන් පිලිබඳ උතුම් ගුණයන් තමාටම වැටහී යාම නිසා ඇතිවන පැහැදීමයි. මේකටම තමයි "අකාරවති ශ්‍රද්ධාව" කියන්නේ. එහි තේරුම නම් "කරුණු සලකා බැලීමෙන් ඇතිකරගන්නා පිළිගනිම" යන්න යි . ඒක නිසා එය අන්ධ විශ්වාසයක් හෝ මුලක් නැති අවිචාරී පිළිගැනීමක් ( අමුලිකා ශ්‍රද්ධා) නොවේ. එය තථාගත ධර්මය පිළිබඳව තමා තුල ඇතිවූ නිවැරදි දැකීමක් ( දර්ශනයක් ) මුල්කරගෙන හටගන්නා ( දස්සන මුලිකා ) ශ්‍රද්ධාවකි.


මෙවැනි පැහැදීමක් අතිවියහැක්කේ බුදු බන අසා ඒ පිළිබඳව ආර්ය සම්මා දිට්ඨිට ඇතිවූ පුද්ගලයකු ( ආර්ය ශ්‍රාවකයකු) තුල පමණයි. මජ්ජිම නිකායේ විමංසක සුත්‍රයේ තෙරුවන් පිලිබඳ මේ කියන නියමාකාර පැහැදීම ඇතිකරගන්නේ කොහොමද කියල බුදුන් වහන්සේ අපිට දේශනා කළා.
" මහණෙනි, ශාස්තෘන් වහන්සේ භික්ෂුන්ට ( භික්ෂුණි , උපාසක  , උපාසිකා ) යම් යම් වූ පරිද්දෙන් උසස් උසස් කොට දක්වමින්, ප්‍රනීත ප්‍රනීත කොට දක්වමින්, කුසල් අකුසල් බෙදා වෙනකොට දක්වමින්, දහම් දෙසන කල්හි, ඒ ඒ පරිද්දෙන් ධර්මය දැනගන්නාවූ ඒ ශ්‍රාවකයෝ එහි යම්කිසි ධර්ම කොටසක් අවබෝධ කරගැනීමෙන් දහමෙහි නිෂ්ඨාවට ( ස්ථිර නිගමනයකට) පැමිණෙති. (ඒ තුලින් ) ශාස්තෘන් වහන්සේ කෙරෙහි පැහැදෙති. භාග්‍යවතුන්  වහන්සේ "සම්මා සම්බුදු වරයකු " ( සම්මා සම්බුද්ධෝ භගවා ) යැයිද, උන් වහන්සේගේ ධර්මය "මනාකොට දේශනා කරන ලද්දක්" ( ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ ) යැයිද, උන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා "නිවැරදි පිළිවෙත් මගකට පිළිපන්න වුන් " ( සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ) යැයිද,  පැහැදීමට පත්වෙති. "
- විමංසක සුත්‍රය , මජ්ජිම නිකාය

මේ අනුව අපිට තේරුම් ගන්න තියෙන්නේ තෙරුවන් පිළිබඳව නියම පැහැදීමක් හෙවත් අවෙච්චප්පසාදයක් ඇතිවීම ඉබේ සිද්ද වෙන දෙයක් නොවන බවයි. ඒ සඳහා ධර්මය අසා ( හෝ කියවා) දැනගැනීමත්, අසා දැනගත් ධර්මය නුවනින් මෙනෙහි කොට වටහා ගැනීමත් ( යෝනිසෝ මනසිකාරය )  අත්‍යවශ්‍ය බවයි. ධර්මය වැටහෙන්න වැටහෙන්න පැහැදීම තව තවත් තහවුරු වෙනවා. අවෙච්චප්පසාදය කියන්නේ එසේ ධර්මය වැටහීම මත පදනම්වූ "සහේතුක පැහැදීමකි" "අවබෝධයෙන් යුක්තව ඇතිවන පැහැදීමකි "

දැන් ඉතින් කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් ඒකාලේ බුදු හාමුදුරුවෝ වැඩ හිටි නිසා උන් වහන්සේ සොයා ගොස් කරුණු අසා දැනගෙන අවෙච්චප්පසාදය අතිකරගන්න පුළුවන් උනාට අද කාලේ ඕව කරන්නේ කොහොමද කියල. ඒක මාර පාක්ෂික අදහසක් වගේම අනිත් අයගේ ධර්මය පිලිබඳ උනන්දුව නැතිකරන මහා අකුසලයක්. ඒවගේ අදහස් ඔලුවට එන්නේ මාරයා වැහුනම තමයි. මාරයාගේ වසඟයේ  ඉඳගෙන අනිත් අයවත් මාරයාගේ වසඟයට ඇදල ගන්න තමයි ඕව කියන්නේ. එදා සිටි පින්වත් ශ්‍රාවකයින්ට වගේ බුදු සමිදුන් හමුවීමට අපට අවස්ථාවක් නෑ කියල අපි කිසිසේත්ම පසුබට වියයුතු නෑ. උන් වහන්සේ දේශනා කළා මගෙන් පසුව නුඹලාට ශාස්තෘ වන්නේ මා විසින් වදාළ ධර්ම-විනය දෙක බව. ඒක නිසා තථාගත දේශනා නුවනින් විමසා බලා නිවැරදිව අවබෝධ කරගැනීම තුලින් නියමාකාරයෙන් තථාගතයන් වහන්සේව දැකගැනීමට අදත් අපට අවස්ථාව තියෙනවා. ඒ ධර්ම විනය දේශනාවන් තුල තවමත් උන්වහන්සේ අපට දැකගැනීමට ජීවමානව වැඩ සිටිනවා. ඒ අයුරින් බුදු සමිඳුන්ව දැකගැනීමට නොහැකිවනතාක් හිසිවෙකුට සතර අපායෙන්, දුගතියෙන් ස්ථිර වශයෙන් නිදහස්වීමක් නම් නෑ.   


මොකද්ද මේ අරියකන්ත සීලය.?

තෙරුවන් පිළිබඳව අවෙච්චප්පසාදය ඇතිවූ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයකු තුල පවතින තවත් සුවිශේෂ ගුණයක් ( සොතාපත්ති අංගයක් ) තමයි අරියකන්ත සීලය. ඒ කියන්නේ බුද්ධාදී ආර්යන් වහන්සේලාට ප්‍රිය වූ, ආර්යන් වහන්සේලා විසින් අනුදැන වදාලාවූ ශීලයයි. ගිහි පැවිදි වශයෙන් එහි විවිධාකාර මට්ටම් ඇතත් එයින් අපේක්ෂා කරන්නේ නිවන් මග වැඩීමට උපකාරීවන කාය-වාග් සංවරයයි. අවම මට්ටමින් ගත්විට පන්චසිල ප්‍රතිපදාව ඉන් අදහස් කෙරෙනවා.

සංයුක්ත නිකායේ සොතාපත්ති සංයුක්තයේ අභිසන්ද සුත්‍රයේ බුදුන් වහන්සේ අරියකන්ත සීලය ගැන කියල දෙනවා.
"මහණෙනි, ආර්ය ශ්‍රාවකයා, කැඩුම් නැතිවූ, සිදුරු නැති වූ, කැළැල් නැති වූ, කිලිටි නැති වූ, මිත්‍යා දෘෂ්ටියෙන් නිදහස් වූ, නුවනැත්තන්ගේ පැසසුමට ලක්වූ, වැරදි ලෙස එල්බ නොගත්තාවූ, සිතෙහි සමාධිය පිණිස උපකාරී වන්නාවූ, අරියකන්ත සීලයෙන් සමන්විත වෙයි."

මේ ප්‍රකාශයෙන් අපිට තේරුම්ගන්න පුළුවන් අරියකන්ත වූ  ( ආර්යන් වහන්සේලාට ප්‍රිය වූ ) ශීලයේ මුලික ලක්ෂණ මොනවද කියන එක. මේ සසුනෙහි දහම් ඇස පහලවූ ආර්ය ශ්‍රාවකයා පැවිද්දෙකු නම්, පැවිදි උපසම්පදා ශිලයෙහි හෝ සාමනේර දස ශිලයෙහි පිහිටියෙකු වෙයි. ගිහියෙකු නම් තමාට පහසු පරිදි, සුදුසු පරිදි, ගෘහස්ත දස සීලය හෝ නිත්‍ය පංචසීලය හෝ සමාදන්ව එහි පිහිටා සිටින්නෙකු වෙයි. ඒ සියලුම ශිල ශික්ෂාවන් බුද්ධාදී ආර්යන් වහන්සේලා විසින් අනුදැන වදාළ බැවින් අරියකන්ත සීලයන් වෙනවා.    


ඉතින් අවසාන වශයෙන් මේ ගැන කියන්න තියෙන්නේ, දහම් ඇස පහලවූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා බුද්ධ , ධම්ම, සංඝ, යන තෙරුවන් පිළිබඳව හටගත් අවෙච්චප්පසාදයෙන් හා අරියකාන්ත සීලයෙන් සමන්විත හෙනෙක් බවයි. යමෙක් තුල මේ ගුණ ධර්මයන් පවතී නම් ඔහු සදහටම සතර අපායෙන් දුගතියෙන් මිදුනෙකු වෙනවා.

සැමටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස , සෝවාන් ආදී මාර්ග ඥානයෝ වර්ධනය වීම පිණිස මෙම ධර්ම දානය හේතු වේවා !!!

තෙරුවන් සරණයි,

සුරේෂ් .

No comments:

Post a Comment