Wednesday, December 12, 2012

සියල්ල සිදුවන්නේ කර්මයෙන් ද ?

අද වර්තමාන ලෝකය දෙස බලන කළ මිනිසුන් අතරමං වී සිටින මාතෘකාවක් ලෙස මෙම මාතෘකාව දැකිය හැක. කර්මය යනු කුමක් දැයි නොදැනීමත් සමඟ කර්මය සමඟ බැඳුණු නොයෙක් වැකි අපි අතර පවතී. එනම් මේක අපේ කරුමය, පූරුවේ කරුමයක්, මේක අප ලබා උපන් හැටි ලෙස යම් කරදරයක් විපත්තියක් සිදු වු විට කර්මය සමඟ සසඳන මෙවැනි වැකි ප්‍රකාශ කරන්නට මිනිසුන් පුරුදු වී සිටිති. නමුත් ලෝකය දෙස බලද්දී කර්මය කුමක්දැයි වටහා ගත යුතු ය.

බුදු දහම අනුව කර්මය යනු චේතනාවයි. “චේතනාහං භික්ඛවේ කම්ම වදාමි” යනුවෙන් දක්වන පරිදි කර්ම යනු චේතනාව බව පෙන්වයි. “චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” සිතින් සිතා කයින්, වචනයෙන් මනසින් කර්ම සිදුකරයි. ඒ අනුව කර්මය කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම යැයි ත්‍රිවිධ ය. මෙම කර්ම සංකල්පයටම සමාන දණ්ඩ සංකල්පය ක්‍රි. පූ. 06 වැනි සියවසේ විසූ නිගණ්ඨනාථ පුත්තයන්ට ද තිබුණි. එනම් කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ යනුවෙනි. මෙහි දී බුදු දහම මනෝ මූලික දර්ශනයක් ලෙස (මනස මුල්වන) දැක්වෙන නිසාවෙන් මනසින් සිදුකරන කර්මලට මූලිකත්වය දී ඇත.


නිගණ්ඨනාථයන් මනස නොව කාය දණ්ඩය (කාය කර්මය) ප්‍රචලයැයි දක්වා ඇත. මෙහි දී බුදු දහම මනස පිළිබඳ වැඩි සැලකිල්ලකින් කටයුතු කරනුයේ යම් දෙයක ආරම්භයට පෙර එය මනසට යොමු වන බැවිනි. මෙලෙස ලෝකයෙහි ජීවත් වන බුද්ධිමත්ම සත්ත්වයා වන මිනිසා (මනං උස්සනීති මනුසෙසා) බුද්ධිමත් ධාරණ ශක්තිය ඇති සත්ත්වයකි. එම නිසා යමක් වටහා ගැනීමට සමත් ය.
බුදු දහම තුළ සියල්ල සිදු වන්නේ කර්මයෙන් ද යන පැනයට නිසි පිළිතුරක් ලබා දීමට කරුණු පහක් දක්වයි. එනම් නියාම ධර්ම පහකි. බුදු හිමියෝ නියාම ධර්ම පහ දේශනා කරනුයේ යථා තත්ත්වය ගෙනහැර පෑමට ය. එනම්,




01. උතු නියාම.
02. බීජ නියාම.
03. චිත්ත නියාම.
04. ධම්ම නියාම.
05. කම්ම නියාම යනුවෙනි.

මෙම කරුණු පහ සත්ත්වයා හා අවට පරිසරය ස්වභාවික දේ නිසා එදිනෙදා ජීවිතය ගැන කරුණු දක්වනු ලබයි.


උතු නියාම
උතු නියාම යනුවෙන් දක්වනුයේ පරිසරයේ වෙනස්කම් නිසා සත්ත්වයාට මුහුණ පෑමට සිදුවන දේ ය. මෙහි දී හේමන්ත, ගිම්හාන, වස්සාන යනුවෙන් ප්‍රධාන සෘතු තුනකි. මෙයින් සත්ත්වයාට සිදුවන වාසි හා අවාසි පිළිබඳ දක්වයි. ගිම්හාන යනු ග්‍රීස්මයයි. එනම් අධික ලෙස හිරු රශ්මිය වැටෙන කාලයයි. මේ නිසා පරිසරය තුළ ජලය හිඟ වීම, තද රශ්නය වැනි දේ ඇති වේ. එයින් සත්ත්වයාට බීමට ජලය හිඟ විය හැක. එමෙන්ම නොයෙක් ශාරීරික අපහසුතා ඇති විය හැක. නොයෙක් වසංගත රෝග වැනි දේ ද වැළඳිය හැක. ඉන්දියාව වැනි රටවලට මෙම ග්‍රීස්ම ය අධික ලෙස බලපාන රටකි. ලංකාවේ ද ඇතැම් ප්‍රදේශවලට මෙය බලපායි. මේ නිසා ඇතැම් විට මිනිසුන්ගේ වගා හානි, දේපළ හානි ආදිය සිදු වෙයි.
සමහර විට බීමට වතුර පවා නැති වීමෙන් සත්ත්වයන්ට මරණයට ද මුහුණ දීමට සිදුවෙයි. එහි දී යම් කෙනෙකු නොයක් කුසලකර්ම සිදුකර තිබුණ ද එය ද වැළකී යා හැක. එසේම වස්සානයක් යනු අධික ලෙස වැසි ලැබෙන සමයයි. අධික ලෙස වැසි ලැබීම නිසා ද ඉහත කී දුක්ඛදායක දේ සිදුවිය හැක. එනම් ගංවතුර ගැලීම්, නාය යෑම් ආදිය නිසා දේපළ , ජීවිත, වගා හානි, වසංගත රෝග වැළඳීම ආදිය සිදු වෙයි. එහි දී සත්ත්වයාට සිදුවන මෙම හානිය සත්ත්වයාගේ කර්ම නිසා නොව උතු නියාම ධර්මය නිසා සිදු වන්නකි. මෙම උතු නියාම ධර්ම නිසා සිදුවන විපත්ති කරදර ආදිය ඒ ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය නිසා නොව නියාම ධර්මයේ බලපෑම නිසා සිදු වන්නක් බව අවබෝධ කරගත යුතුය.


බීජ නියාම
බීජ නියාමය ලෙස හැඳින්වෙන්නේ ජීව විද්‍යාත්මක හේතුය. එනම් ශාක, බීජ, යෝනි ආදියට අනුව ශාක හා සත්ත්ව ජීවය හටගෙන වර්ධනය වීම මින් අදහස් කෙරේ. සත්ත්වයන්, මිනිසුන්, හරකුන්, කුරුල්ලන් ආදී වශයෙන් වෙනස් වන්නේ ද මෙම බීජ නියාමය නිසා ය. අඹ ඇටයකින් අඹ පැළයක් හට ගන්නේද කොස් ඇටයකින් කොස් පැළයක් හට ගන්නේද මෙම බීජ නියාමය නිසා ය. නැතිනම් කොස් ඇටයකින් වෙනත් පැළයක් හට ගත යුතුªය. නමුත් එය එලෙස නොවන්නේ ය.
සත්ත්වයන් ද ඒ ඒ සත්ත්ව වර්ගවලට අනුව ගති ලක්ෂණ ගනී. ලෝකයේ වෙසෙන මිනිසා නොයෙක් බෙඳීම් වලට ලක්ව ඇත. ශ්‍රී ලාංකික අය ශ්‍රී ලාංකික ලෙස ද ඉන්දියන් ඇමෙරිකන් ආදී වශයෙන් ඒ ඒ රටේ උපන් අය ඒ ඒ ජාතික ලෙස ද කුලමල ආගම් ආදී වශයෙන් ද බෙදී පවතී. නමුත් මෙම ලොව ඇති සියලු මිනිසුන් එකම බීජ නියාමකයකට අයත් සත්ත්වයෝ ය. එසේම දෙමාපියන්ගේ ආරේ ගති ලක්ෂණ රූප ස්වභාවය ඇතැම්විට දරුවන්ට ද ලැබේ. ඒ මෙම බීජ නියාමය නිසාය.


චිත්ත නියාම
චිත්ත යනු සිතයි. සිතේ ක්‍රියාකාරීත්වය අනුව සිදුවන නිසාම චිත්ත නියාම නම් වේ. අප සිත පිළිබඳ ධම්ම පදයෙහි චිත්ත වග්ගයෙහි ද බුදුහිමියෝ
“දූරංගමං එකවරං
අසරීරං ගුහාසංයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාරබන්ධනා”
(ධම්ම පදය චිත්ත වග්ගය)
දක්වන අන්දමට සිත දුරගමන් යයි තනිව හැසිරෙයි. ශරීරයක් නැත. අපගේ ශරීරය නැමැති ගුහාවෙහි වෙසෙයි. මෙලෙස ජීවත් වෙන සිත යම් කෙනෙකු දමනය කරයි ද ඔහු මාරබැම්මෙන් බිදෙයි. අපට අපගේ සිත දමනය කිරීමේ දී සමථ භාවනාව වඩා සිත සමාධියට පත් කළහැක. තවද ප්‍රථම, දූතිය, තනිය, චතුර්ථ ආදී ධ්‍යාන ද සෘද්ධිබල ආදිය ද ලැබිය හැක. ඒ අප අපගේ සිත යම් ක්‍රියාකාරීත්වයකට නතු කිරීමෙන් ලබන ප්‍රතිඵලයකි. මෙලෙස සිත වැඩීමෙන් ද නොවැඩීමෙන් ද ඒ ඒ සත්ත්වයන්ට සිදුවන වාසි හෝ අවාසි කර්මය නිසා නොව චිත්ත නියාමය නිසා සිදු වන්නකි.


ධම්ම නියාම
ධම්ම නියාමය නම් ලෝකයේ සදාතනික නොවෙනස්වන දහම් කරුණු ය. ලෝකයේ නොයෙක් කරුණු අතර අපට දක්නට හැකි කරුණු ලෙස උපන් සත්ත්වයා මරණයට පත්වීම, ඇතිවන සියල්ල නැති වීම, දිවා රාත්‍රිය ඇතිවීම ආදි කරුණු රැසක් ධම්ම නියාම ලෙස ගත හැකි ය.
ලොව යම් ආකාරයක සංස්කාර එකතුවක් වන්නේ නම් ඒ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය (අස්ථිර බව) ස්වභාව කොට ඇත්තේ ය. එනම් සත්ත්වයා, ගහකොළ, අප ගොඩනඟන ගෙවල් දොරවල් මෙන්ම අප කරන හොඳ නරක ද කුසල අකුසල ධර්මයන්ද සංස්කාර නම් වේ. මේ සියල්ල නැතිවීම් ස්වභාව කොට ඇත්තේ ය. (නිවන පමණක් අසංඛතය) උදයට හිරු පායන්නා සේම සවසට හිරු බැස යන්නේය. පෘථිවිය භ්‍රමණය වන්නේ ද පරිභ්‍රමණය වන්නේ ද මෙම ධම්ම නියාමය නිසා ය. ලොව ඓශ්චර්යය දේ සිදුවන විට පොළොව කම්පා වීම් ආදිය සිදු වන්නේ ද මෙම ධම්ම නියාමය නිසා ය.
ධම්මපදයෙහි අප්පමාද වග්ගයෙහි “නහි වෙරෙන වේරානි....” ගාථාව තුළ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් අවෛරයෙන් වෛරය සන්සිඳෙන බවත් මෙය පෙර සිට පැවැත එන ධර්මතාවයක් ලෙස දක්වයි. මෙලෙස ලෝක පාලක ධර්මතා ධර්ම නියාම නම් වේ.


කම්ම නියාම
කම්ම නම් සිදුකරන ක්‍රියාවෙහි විපාකය නිසා සිදුවන නියාමයි.


“කම්මා විපාකා වත්තන්ති
විපාකො කම්ම සම්භවො
තස්මා පුනබ්භවො හොති
ඒවං ලොකෙ පවත්තති”


කර්මයෙන් විපාකයත් විපාකයෙන් කර්මයත් හට ගනී. පුනර්භවය ඇති වීමෙන් ලෝකය පවතී යනුවෙන් මෙහි දී දක්වා ඇත. අප ඉහත දක්වන ලද නියාම ධර්ම සතරම බාහිර කරුණුය. නමුත් මෙය අපම කර අපම විපාක විඳින දෙයකි. අන් අය නිසා අප විපාක විඳින්නක් නොවේ. අප නිසාම අප විපාක විඳින්නකි. කර්මය සිදුකළ කල්හි (හොඳ හෝ නරක) එම විපාක විඳීමට සිදු වේ. එවිට ද නැවත කර්මය සිදු කරයි. මෙලෙස මේ ජීවිතයේ ම මෙන්ම මතු ආත්මයෙන්හි ද විපාක විඳින්නට සිදු වෙයි. එවිට විපාක විඳින අතරතුර කාලය තුළ ද නැවත කර්මය සිදු කරයි. මේ ආකාරයෙන් ලෝකය පවතින බව පැහැදිළි ය.


එනම් මේ කරුණු අනුව බලන කල අපට ජීවිතයක අත් විඳින්නට ලැබෙන සියල්ල කර්ම විපාක හෝ සියල්ල සිදු වන්නේ කර්මයෙන් ද යන ප්‍රශ්නයට පිළිතුරක් සැපයෙයි. “කර්ම” යනු ජීවිතය කොටස් පහකට බෙදෙන්නේ නම් එම පහෙන් එකක් ලෙස දැකිය හැක. පහෙන් එකක් වන කර්මය නම් අන් සියල්ල ස්වභාවික බලපෑමෙන් ලොව ස්වභාවය වැනි කරුණු පදනම් කරගෙන අත් විඳීන්නට ලැබෙන දේ වන්නේ ය.
එම නිසා ලොව යම් කෙනෙක් “සියල්ල සිදු වන්නේ කර්මයෙන් ය” යන මතයෙහි එළඹ සිටින්නේ නම් එම පුද්ගලයාට “සියල්ල කර්මය තුළින් සිදු නොවේය” යන මතය අවබෝධකර ගන්නට මෙම කරුණු ඉවහල් වේ.

උපුටාගැනීම :
නවදගල නාගිත හිමියන්ගේ දේශනාවක් ඇසුරින්. 

Tuesday, November 27, 2012

චර සූත‍්‍රය.


මේ දේශනාව සඳහන් වෙන්නේ ඛුද්දක නිකාය කියන උතුම් ග‍්‍රන්ථයේ පළවෙනි කොටසට. මේ දේශනාවේ නම චර සූත‍්‍රය. අපි බලමු මේ දේශනාව මගින් භාග්‍යවතුන් වහන්සේ කුමක්ද පෙන්වා දී තිබෙන පණිවිඩය කියල. මෙහි තිබෙනවා මේ විදිහට

“පින්වත් මහණෙනි, ඇවිදිමේන් සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්ට පුලූවනි. එවිට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඒක ඉවසනවා නම් (ඒ කියන්නේ ඒ හැඟීමට ඉඩ දීල ඉන්නවා නම් ), දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම් පින්වත් මහණෙනි, ඇවිදිමින් සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් නැති, පවට බයක් නැති, හැම තිස්සේ ම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනා කියල කියන්නේ”.

දැන් මෙතන භික්ෂුව කියල කිව්වාම, මේ ධර්මය භික්ෂුවට පමණක් නෙමේ අයිති. මේක උපාසක උපාසිකාවන්ටත් මේ ආකාරයමයි. දැන් මෙතන ඇවිදිමින් සිටින භික්ෂුවක් ගැන කියන්නේ. නමුත් ඇවිදිමින් සිටින උපාසක උපාසිකාවන්ටත් මේ ධර්මය අදාලයි. එතකොට ඇවිදිමින් සිටින උපසකයෙක් හෝ උපාසිකාවක් හෝ කාම ව්‍යාපද හෝ විහිංසා විතර්කයක් හට ගන්න කොට, අන්න ඒ උපාසක කෙනා හෝ උපාසිකාව හෝ ඒ විතර්කය ඉවසනව නම්, දුරුකරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, අන්න ඒ ඇවිදිමින් සිටින උපාසක උපාසිකාව කෙලෙස් තවන වීරියක් නැති, පවට බයක් නැති, හැම තිස්සේම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනෙක් බවට පත් වෙනවා.

ඊලගට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, “පින්වත් මහණෙනි, සිටගෙන සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හට ගන්ට පුලූවනි. එවිට ඒ භික්ෂුව එය ඉවසනවා නම්, දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, සිටගෙන සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් නැති, පවට බයක් නැති, හැම තිස්සේම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනා කියල කියන්නේ”.

එතකොට බලන්න අපිට කලින් කියා දුන්නේ ඇවිදිමින් සිටින කෙනෙක් ගැන. දැන් කියා දෙන්නේ සිටගෙන සිටින කෙනෙක් ගැන. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, “වාඩිවී සිටින භික්ෂුවකට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්ට පුලුවනි. එවිට පින්වත් මහණෙනි ඒ භික්ෂුව එය ඉවසනවා නම්, දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, වාඩි වී සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරිය නැති, පවට බයක් නැති, හැම තිස්සේම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනා කියල කියන්නේ. පින්වත් මහණෙනි, සැතපී සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්ට පුලූවනි. එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව එය ඉවසනවා නම්, දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, සැතපී සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් නැති පවට බයක් නැති හැම තිස්සේම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනා කියල කියන්නෙ”.

බලන්න එතකොට භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ කොහොමද? හිටගෙන ඉන්න කොට වේවා ඇවිදින කොට වේවා, නිදාගෙන ඉන්න කොට වේවා, වාඩිවෙලා ඉන්න කොට වේවා, යම් අකුසල විතර්කයක් එනවා නම්, ඒ අකුසල විතර්කය ඉවසනවා නම්, දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, අන්න ඒ කෙනාට කියනවා පවට බයක් නැති, කෙලෙස් තවන වීරියක් හැකි හැම තිස්සේම, කුසීතව වාසය කරන කෙනෙක්, හීන වීරියෙන් යුක්තව වාසය කරන කෙනෙක් කියල.

දැන් බලන්න අපිට තියන ලොකු ගැටලූවක් තමයි බණ භාවනා කරන්ට වෙලාවක් නෑ කියන එක. එක්කො ගෙදර දොරේ වැඩ කටයුතු බහුලයි. ඊලගට රාජකාරි ස්ථානවල කටයුතු බහුලයි. ඊලගට වෙනත් සමාජ සංවිධාන වල කටයුතු බහුලයි. ඥාතීන්ගේ කටයුතු බහුලයි. මේ ආකාර කටයුතුවලින් මේ අයගේ ජීවිත පිරිල. ඒ නිසා මේ අයට තියන ලොකුම ගැටලූව තමයි භාවනා කරන්ට වෙලාව නැතිකම. අන්න ඒ ගැටලූව හිස් දෙයක් කියල පෙන්වා දෙන්ටයි අපි කල්පනා කරන්නේ.

ඇත්තෙන්ම ගැටලූවක් තිබුනොත් තමයි එයට විසඳුමක් අපි දිය යුත්තේ. ගැටලූවක් නැතුව ගැටලූවක් තියනවා කියල හිතුවොත් කවදාවත් ඒකට විසඳුමක් නෑ. එතකොට අපි අසරණයි නේද? ගැටලූවක් තියනවා නම් එයට විසඳුමක් තියනවා. නමුත් ගැටලූවක් නැතුව තියෙද්දී ගැටලූවක් තියෙනවා කියල අපි සංකල්පයකට පත් වුනොත් ඒකට විසදුමක් නෑ. ඒ නිසා අපි ආරම්භයේදීම මේ මුල පිරිසුදු කරගන්ට ඕනැ. එසේ නොවුනොත් හැමදාම හිතෙනවා මට ප‍්‍රශ්නයක් තියනවා. මට ගැටලූවක් තියනවා කියල. දැන් අපි හිතමු වාඩිවෙලා ඉන්න කෙනෙක් හිතනවා මගේ කකුල් දෙක ගැට ගහල තියෙන්නේ කියල. එයා කවදාවත් නැගිටල යයිද? නෑ. ඇයි ඒ? ගැට ගහල තිබුන නම් ලිහාගන්ට පුළුවන්. දැන් ගැට ගහල නැතුව තියෙද්දී එයා හිතනවා ගැට ගහල කියල. කවදාවත් ලිහා ගන්ට බෑ. අන්න ඒ වගේ අපිට වෙලාව නෑ කියන අදහසේ ගිලිල ඉන්න තාක් එයින් ගැලවෙන්ට බෑ.

එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ඇවිදිමින් සිටින භික්ෂුවට වේවා, හිටගෙන සිටින භික්ෂුවට වේවා, වාඩිවෙලා සිටින භික්ෂුව වේවා, සැතපී සිටින භික්ෂුව වේවා, කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ ආවාම ඒව ඉවසන්නේ නැත්නම්, ඒව දුරුකරල දානවා නම්, ඒ අකුසල විතර්කය බැහැර කරල දානවා නම්, අභාවයට පත් කරල දානවා නම්, අන්න එබඳු භික්ෂුවක් කොහොම කෙනෙක්ද? කෙලෙස් තවන වීරියක් ඇති පවට බයක් ඇති පටන්ගත් වීරිය ඇති නිවන කරා මෙහෙය වූ සිත් ඇති කෙනා කියලයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ.

දැන් අපිට වෙලාව නැත්තේ මොකටද? වාඩිවෙලා භාවනා කරන්ට. වාඩිවෙලා පමණක් භාවනා කළ යුතුයි කියන අදහසේ සිටින තාක් තමයි මේ අර්බුදය අපිට එන්නේ නේද? දැන් බලන්න මේ දේශනාව තුලදී භාග්‍යවතුන් වහන්සේ අපිට කොහොමද පෙන්වා දෙන්නේ? ඇවිදින හෝ ඉඳගෙන ඉන්න හෝ සිටගෙන සිටින හෝ නිදාගෙන සිටින කෙනෙක් හෝ වේවා, කෙලෙස් තවන වීරිය ඇති, නිවනට යොමු වූ සිතින් යුක්ත කෙනාට පුලූවන්කම තියනවා නිවන් මග පාද ගන්න. ඇවිදිමන් සිටියත්, සිටගෙන සිටියත්, නිදාගෙන සිටියත්, ඉඳගෙන සිටියත් එයාට ඒ ඉන්න ඉරියව්ව කුමක්ද කියන එක වැදගත් නෑ. එයා තුළ හටගත් අකුසලය පිළිබඳව එයා කුමන ආකාරයෙන් ද කටයුතු කරන්නේ කියන දේ මතයි එයාගේ නිවන් මග පෑදෙනවද නැද්ද කියන කාරණාව තීරණය වෙන්නේ.

නමුත් අපි වාසය කරන්නේ අනේ මට වෙලාවක් නෑ කියන අදහසේ. බලන්න අපි වෙලාව නෑ කියල හිතුවට අපි ඇවිදිමේන් සිටින එක, සිටගෙන සිටින එක, නිදාගෙන සිටින එක, හිටගෙන ඉන්න එක මේ ඉරියව් හතර අපි පවත්වනවද නැද්ද? පවත්වනවානේ. මේ ඉරියව් හතරේ අපිට කොතරම් වැඩ තිබුනත් අපිට වැඩ වැඩියි කියල අපිට රාජකාරි බහුලයි කියල මේ කාම, ව්‍යාපාද, විහිංසා කියන අකුසල විතර්ක අපි පැත්තකින් තියල තියෙනවද? මට වැඩ වැඩියි ඒ නිසා මේ විතර්ක ටික පැත්තකින් තියනව කියල තියනවද? අපි ගෙදර දොර කටයුතු කරද්දී වුනත් රාජකාරි කටයුතු කරද්දි වුනත් මේ විතර්ක ටික අභ්‍යන්තරයේ වැඩකරනව නේද? එහෙනම් බලන්න අපි තෝර බේරගත යුතු විදිහ.

අපි එදිනෙදා කටයුතු කරද්දීම මේ විතර්ක පවතිනවා නම්, කටයුතු කරද්දීම මේ විතර්ක බැහැරකර ගැනීමේ රටාවත් අපට පුරුදු කර ගන්න පුලූවන්. ඒ සඳහා තියුණු නුවණක් ඇතිකර ගත්තොත් ඉවසීමෙන් යුක්තව මේ ක‍්‍රමවේදය අධ්‍යනය කරනවා. ඒ විදිහට මේ මාර්ගය තෝරාගත් කෙනා සතුටට පත් වෙනවද කනස්සල්ලට පත් වෙනවද? ඉතාම සතුටට පත් වෙනවා. එයා සොයමින් සිටි දේ මුණගැහුන. එතකොට එයා සොයමින් සිටිය දේ මුන ගැහුණයින් පස්සේ එයා කලබල වෙනවද ඉවසනවද? ඉවසනව.
ඒක මේ වගේ දෙයක් දක්ෂ සොල්දාදුවෙක් ඉන්නව. ඒ දක්ෂ සොල්දාදුවගේ අභිප‍්‍රාය මොකක්ද? යුදධය දිණීම. සතුරා නැසීම. ඒ අදහස තියන කෙනා මුලින් මොකක්ද කරන්නේ? යුද්ධය පුහුණු වෙනවා. සැලසුම් කර ගන්නවා. ඒ දෙක තමයි වැඩිකාලයක් යුද්ධයක තියෙන්නේ. යුද්දෙ තියෙන්නෙ ටිකයි. යුද්ධයට ගියාට පස්සේ දක්ෂ සොල්දාදුවා සතුරා දකිනවා. දැන් එයාට මොකද හිතෙන්නේ. එයාට ජයග‍්‍රහනයේ පෙරනිමිති පේනවා. ඇයි සොල්දාදුවගේ ඉලක්කය මොකක්ද? ජයග‍්‍රහණය. මොකක්ද ජයග‍්‍රහණය? සතුරා නැසීම. සතුරා දැක්කට පස්සේ එයාගෙ කකුල් ගැහෙන්නේ නෑ. එයාට ජයග‍්‍රහණය පේනවා. දැන් එයා මොකද කරන්නේ? පැනපු ගමන් සතුරාව අල්ලනවද? නෑ. ඉවසීමෙන් යුතුව එයා තුළ ඉවසීම හට ගන්නවා. එයා යුධ සැලැස්ම ක‍්‍රියාත්මක කරනවා.

කෙලෙස් යුද්ධය දිනන්න කැමති කෙනා දක්ෂ සොල්දාදුවෙක් වගේ වෙන්ට ඕනැ. එයාගෙ අභිප‍්‍රාය විය යුත්තේ කුමක්ද? කෙලෙස් යුද්ධය දිණීම. කෙලෙස් නැමැති සතුරා නසන්ට එයා ඉස්සර වෙලා පුරුදු වෙන්ට ඕනැ. කොහොමද පුරුදු වෙන්නේ? ධර්මය ඉගෙන ගන්ට ඕනැ. ධර්මය තේරුම් ගන්ටත් ඕනැ. ඊට පස්සේ තමයි එයා මේ කෙලෙස් යුද්ධය පටන් ගන්ට සූදානම් වන්නේ. එතකොට එයා තුළ දහම් දැනුම තියනවා. ඒ ධර්මය කොහොමද පුරුදු කරන්නේ කියන එක එයා ඉගෙන ගෙන තියෙන්නේ. දැන් එයා සතුරා සොයමින් වාසය කළ යුතුයි. යුද්ධෙ දිණන්න කැමති කෙනා සතුරා ඉන්න ඉසව්ව හොයාගන්ට අවශ්‍යයි. සතුරා කොහෙවත් ඉන්නකොට වෙන කොහේ හරි හොයල බෑ. එහෙම අයත් ඉන්නව. අපි එහෙම කළොත් අපිට කවදාවත් මේ යුද්ධෙ දිණන්න බෑ. අපිව දන්නෙම නැතුව කොටුවෙලා යනවා. දක්ෂ සොල්දාදුවෙක් වගේ වෙන්ට. දක්ෂ සොල්දාදුව සතුරා දැක්කම සතුටු වෙනවා.

හිටගෙන ඉන්නකොට වේවා, වාඩිවෙලා ඉන්නකොට වේවා, ඇවිදගෙන යනකොට වේවා, සැතපිී සිටිනකොට වේවා මේ කෙලෙස් යුද්ධයෙන් දිනන්ට කැමති කෙනා ඒ කෙලෙස් අඳුන ගැනීම පිණිස කල්පනා කළ යුතුයි. සිහි නුවණ උපදවාගෙන වාසය කළ යුතුයි. එතකොට එයා හිටගෙන ඉන්නකොට වේවා, ඇවිදිනකොට වේවා, වාඩිවෙලා ඉන්නකොට වේවා, සැතපිලා ඉන්නකොට වේවා, එයාගෙ හිතේ හට ගන්න ඒ කෙලෙස් එයාට අඳුන ගන්ට පුළුවන්කම එනවා. එතකොට ඒ විදිහට මේ කෙලෙස් දුරු කිරීම පිණිස උපන් වීරියෙන් යුක්ත කෙනෙක්, කෙලෙස් දුරු කිරීම පිණිස පටන්ගත් වීරියෙන් යුක්ත කෙනෙක්, නිවනට යොමුකළ සිතින් යුක්ත කෙනෙක් තුළ මේ අකුසල විතර්කයක් දැක්කොත් එයා ඒ විතර්කයට යට වෙන්නේ නෑ. එයා ඒ විතර්කය බැහැර කරන්ට කටයුතු කරනවා. නමුත් ඒ අකුසල විතර්කය අඳුනගන්ට පුළුවන් විදිහට එයා ඒ හිත සකස් කරගෙන නැත්නම්, අකුසල විතර්කයක් ආවම එයා ඒකට යට වෙනවා.
දැන් කාම විතර්කයක් ආවම ඒක අඳුනගෙන එය බැහැර කරන්ට ඕනැ කියක අදහසේ නැති කෙනා, ඒ විතර්කයට යට වෙනවා. එයාගෙ හිත හාත්පසින් වැහිල යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සීලය පළුදු වෙනවා. එයාගෙ පිරිසිදු ජීවිතය අපිරිසිදු බවට පත් වෙනවා. සීලය රැුක ගන්ට බැරුව යනවා. දැන් අපිට තේරුම් ගන්න පුළුවන් නේද අපිට තියන කාලය භාවිත කරලම එදිනෙදා කටයුතු කරද්දීම වුනත් මේ ධර්මය අපිට පුරුදු කරන්ට පුළුවන් කියල. මේ ධර්මය පුරුදු කිරීමේ හැකියාවක් තියනවා. මේ අකුසල විතර්ක අඳුරගෙන ඒ අකුසල විතර්ක බැහැර කිරීම පිණිස පුරුදු වෙන්ට ඕනැ. අන්න එහෙම පුරුදු වුනොත් අපි නිවනට යොමුවුන සිතින් යුතු අය බවට පත් වෙනවා. නමුත් බලන්න අපිට මේ වෙනකොට ඒ වගේ පුරුදු වෙන්ට බැරි නම් අකුසල විතර්කයක් ආවම හිත යට වෙනවා නම්, එය බැහැර කරන්ට අපිට සිහිය උපදවා ගන්ට බැරි නම්, අපේ හිත අකුසල විතර්කයෙන් පීඩාවට පත්වෙලා, හීන ස්වභාවයට පත් වෙලා යනව නම්, අපිරිසිදු භාවයට පත් වෙනවා නම්, අපි හොද මට්ටමක නෑ කියල තේරුම් ගන්ට ඕනැ.

අකුසල විතර්කයක් හිතට ආවහම ඒ එන අකුසල විතර්කය බැහැර කරගන්ට බැරි කොහොම කෙනාටද? කෙලෙස් තවන වීරිය නැත්නම්, පවට බය නැත්නම්, පටන්ගත් වීරිය නැත්නම්, ඊලගට කුසීතව වාසය කරනවා නම්, හීන වීරියෙන් යුක්ත නම් එයාට එන අකුසල විතර්කය බැහැර කරගන්ට බෑ. අඳුන ගන්ට බෑ. ඒකට යට වෙනවා. එයාගෙ ජීවිතය අපිරිසිදු දෙයක් බවට පත් වෙනවා.
සියලූ දෙනාට ම තෙරුවන් සරණයි!

පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ ගේ දේශනාවක් ඇසුරිනි

Friday, November 23, 2012

මේ ලෝකේ දුක විතරමද තියෙන්නේ? සැපක් ඇත්තෙම නැත්ද?


එක්තරා ස්වාමින්වහන්සේ නමක් හුදෙකලාව ඉන්න කොට තරුණ සිටුකුමාරයෙක් ඇවිල්ලා අහනවා ස්වාමිනී ඇයි මේ තනිව ඉන්නේ ඔහොම ඉඳලා මොකද්ද ඔබවහන්සේ බලා පොරොත්තුවෙන්නේ හොයන සුවය කුමක්ද කියලා. ඊට පස්සේ අර ස්වාමින්වහන්සේ කියනවා සියල්ල දුකනේ ඒකයි මම මේ සේරම අතහැරලා හුදකලාව ඉන්නේ කියලා. පස්සේ අර සිටුකුමාරයා "සියල්ල දුකලු මේ පෙනි පෙනී තියෙන සැප නැහැ කියන්නෙ කොහොමද මුනදැටම් පිස්සු" කියලා ගියාලු යන්න.

පස්සේ මේක බුදුපියාණන්වහන්සේට සැලවෙලා අර ස්වාමින්වහන්සේගෙන් වෙච්ච කාරනේ ඇහුවාලු... ඊට පස්සේ වෙච්ච සිද්ධිය කිව්වාම බුදුපියාණන්වහන්සේ අර ස්වාමින්වහන්සේට කිව්වාලු ... "ඈ මෝඩයෝ කවුද නුඹට එහෙම බණක් කිව්වේ ... මම එහෙම සියල්ල දුකයි කියලා තියෙනවාද... සියල්ල දුක නම් ලෝක සත්වයා මේ සංසාරේ ඇලෙයි ද " කියලා අහලා කාරනේ විස්තර කර දුන්නලු..

සැපක් දිගටම විඳගෙන යනකොට ඒක දුකකට හැරෙනවා (ඕනම සැපක්). නමුත් දුක විඳගෙන යන කොට කවදාවත් සැපකට හැරෙන්නේ නැහැ.. ඒ හේතුව උඩ තමයි සියල්ල දුකක් කිව්වේ (සැපක් නැතුව නෙමෙයි) ..

උපමාවක් කියන්නම්. හිතන්න අපි කන්න ආසම කෑමක් දිගටම හැමදාම කනකොට ඒක එපාවෙනවා.. දකින කොටත් අප්පිරියයි... කතාවක් තියෙන්නේ කන්න කන්න අතිරහත් තිත්තයි කියලා.. නමුත් දුකක් විඳින කොට එහම නෙමෙයි... කෝටුපාරක් කන ලමයකුට ඒක දෙන්න දෙන්න දුකක් මයි එන්නේ කීයටවත් සැපක් වෙන්නේ නැහැ... 

බුදුදහම විස්තර කරන්න ගියාම ගොඩක් දෙනා බුදුබණ කියලා තම තමන්ගේ මත ප්‍රකාශ කරන්නේ .. ඒකයි සියල්ල දුකයි සියල්ල දුකයි කිය කිය ඉන්නේ .. අර ස්වාමින්වහන්සේ වගේ .... ඔය හේතුව උඩ තමයි ගොඩක් දෙනා බුදුදහම සෘණවාදි ආගමකියලා හංවඩු ගහන්න පෙලඹෙන්නෙ..

Saturday, November 3, 2012

දහම දැනීම සහ දහම දැකීම.


අද කාලයේ බොහෝ දෙනා බුදු දහම ගැන පැහැදෙමින්, ඒ වෙතට ආකර්ෂණය වෙමින් පවතී. නමුත් බොහෝ දෙනාගේ පැහැදීම සහ ආකර්ෂණය සෝඩා බෝතලයක් කැඩුවාක් මෙනි. මුලින් මුලින් බොහොම වේගයෙන් උනන්දුවෙන් කටයුතු කලත් ටික කලක් යනවිට ඔක්කොම උනන්දු නැතිවී කම්මැලි අලස නිදිමත ස්වභාවයකට පත්වේ. පරණ පුරුදු ක්‍රමයටම ආපසු කැරකි යයි. එවිට කලයුත්තේ කුමක්ද?

ධර්ම මාර්ගයේ වීර්යයෙන් ගමන් කිරීම තමයි මේ ලෝකයේ කරන්න අපහසුම දේ. අපි කාගේ කාගේත් උනන්දුව, උවමනාව, කැපකිරීම නැතිවෙන්නේ වෙන කාගේවත් වරදින් නෙමේ. අපි අපිම අතීත සසරේ කරගත්තු අකුසල් වල විපාක ඇවිත් අපිව කුසලයෙන් වළක්වනවා. විවිධ හේතු මතුකරලා දෙනවා. ධර්ම මාර්ගයේ යන්න උනන්දුව , උත්සාහය නැතිවෙන විදියේ විවිධ බාධක වලට මුහුණ දෙන්න වෙනවා. මෙහෙම වෙනකොට ඉස්සෙල්ලම කලයුත්තේ සිහිය පිහිටුවා ගැනීමයි. සිහියෙන් සිටින විට උනන්දුව, උත්සාහය අඩුවෙනකොට ඒ බව දැනගන්න පුළුවන්. එවිට නැවත එය වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. මේක හැමෝටම එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමේ. වැටි වැටි තමයි නැගිටින්නේ. වැටෙන වෙලාවට වැටුන බව දැනගන්න එකත් ලොකු දක්ෂ කමක්. එහෙම දැනගන්න පුළුවන් වෙන්නේ සිහියෙන් හිටියොත් පමණයි. සිහියෙන් සිටිනවා කියන්නේ තමන්ගේ ජිවිත පැවැත්ම ගැන හැම වෙලාවේම ධර්මනුකුලව විනිශ්චය කරමින් ඉන්න එකයි. එතකොට තම තමන් ධර්ම මාර්ගයෙන් පිට පනිනකොට තම තමන්ගේ සිහිය විසින් ඒ බව මතක් කරලා දෙනවා. තාවකාලිකව ප්‍රමාද දෝෂයකට ලක් උනත් ඉක්මනින් නැවත ධර්ම මාර්ගයට පිවිසෙන්න පුළුවන් වෙනවා. "සිහිය" ට පස්සේ අපිට ඊළඟට උදව්වට ඉන්නේ "නුවන" . ඒ කියන්නේ ධර්මඥානය. දහම කරුණු පිළිබඳව බාහිර වශයෙන් ඇතිකරගත් දැනුම. ඒ දැනුම නිසා අපිට නැවත ධර්ම මාර්ගය හඳුනා ගන්න පුළුවන් වෙනවා. නුවන මඳ කෙනා ධර්මය දන්නෙත් නෑ, අධර්මය දන්නෙත් නෑ. එයා පැටලී පැටලී යනවා මිසක් අවබෝධයක් දියුණු කරගන්නේ නෑ. 

ධර්මඥානය දියුණු කරගන්න නම් කලයුත්තේ එක එක අයගේ පුද්ගලික මති මතාන්තර වලින් බැහැර වී පිරිසිඳු බුද්ධ වචනය කියවීමයි. ඒ සඳහා මේ යුගයේ අපිට තියෙන එකම ක්‍රමය ත්‍රිපිටක ගත සුත්‍ර දේශනා කියවා හෝ අසා තේරුම් අරගෙන අවබෝධය පිණිස උනන්දු වීමයි.
එවිට අපිට බාහිර වශයෙන් ධර්ම ඥානයක් ඇතිකරගන්න පුළුවන්. හැබැයි එක යථාර්ථයක් වෙන්නේ ඒ දහම් කරුණු තම තමන්ගේ ජිවිත තුලට ගලපා ගැනීමෙනුයි. දහම දකින්න පුළුවන් වෙන්නේ එතකොටයි.
"සිහිය" සහ "නුවන" ට පස්සේ අපිට පිහිට වෙන අනිත් දෙය තමයි "වීර්ය" . අප තුල වීර්ය උපදවා ගන්න පුළුවන් වෙන්නේ සිහියෙන්, නුවනින් කටයුතු කලොත් පමණයි. නැත්තම් අපිව අකුසල් වලින් යට වෙනකොට එයින් ගොඩ එන්න බැරිවෙනවා.

සිහිය, නුවන, වීර්ය කියන මේවා එකක් හෝ කිහිපයක් අපි කාට කාටත් අඩු වැඩි වශයෙන් පිහිටලා තියෙනවා. තම තමන් විසින් කරන කියන කටයුතු වලට අනුව, සිහිය, නුවන, වීර්ය,  වර්ධනය වීම හෝ පිරිහීම සිදුවෙනවා. තමන්ගේ සිහිය පිරිහිලා බව දැනුනොත් නැවත සිහිය පිහිටුවා ගැනීමට උනන්දු විය යුතුයි. සුත්‍ර දේශනා ආශ්‍රිත පොත් පත්, ධර්ම දේශනා කියවා, අසා තම තමන්ගේ වැරදි හඳුනාගෙන නිවැරදි විය යුතුයි. තවත් කෙනෙකුට මෙහෙමත් වෙන්න පුළුවන්. කොච්චර ධර්මය ඇසුවත්, සුත්‍ර දේශනා කියෙව්වත්, ඒ ඔස්සේ සිහියෙන් කටයුතු කිරීමේ හැකියාවක් නෑ. නුවන වර්ධනය වෙන්නේ නෑ. විර්යක් ඇතිවෙන්නේ නෑ. අන්න එහෙම උනාම එයා අඩුම තරමින් තේරුම ගත්තොත් "මගේ පුණ්‍ය ශක්තියේ සහ කුසල ශක්තියේ අඩුවක් නිසා මෙහෙම වෙලා" කියල, එයා ට ගොඩ යන්න පාරක් තියෙනවා. එයා කල යුත්තේ පින්, කුසල් ආදිය කිරීමයි. දස පුණ්‍ය ක්‍රියා. දස කුසල්. 

එහෙම කරගෙන යනකොට එයට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. නොතේරුන දහම් කරුණු වැටහෙන්න පටන් ගන්නවා. සිහිය පිහිටුවා ගැනීමට පුළුවන් වෙනවා. වීර්ය කිරීමට පුළුවන් වෙනවා.

තෙරුවන් සරණයි!

මේ ධර්ම දානය සියලු දෙනාගේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අනුග්‍රහයක්ම වේවා. !
- සුරේෂ් රොඩ්රිගෝ.

Friday, November 2, 2012

මාන්නය බැහැරකරමු


අත්හැරීමෙන් දිනන්න කැමතිවෙන කෙනාට එපමණකින් ම සැප ලැබෙනව. එහෙනම් අපි අත්හැරීමෙන් ලබන ජයග්‍රහණය ලබන්ට කැමතිවෙන්ට ඕනැ.

ඒ නිසා හිතට එන අකුසලය අතහරින්න පුරුදුවෙන්න. ඊරිසියාව අතහරින්න පුරුදුවෙන්න, එකට එක කරන ගතිය අතහරින්න පුරුදුවෙන්න. ගුණමකුකම අතහරින්න පුරුදුවෙන්න, අනුන්ගේ ඇද හොයන ගතිය අතහරින්න පුරුදුවෙන්න, කම්මැලිකම අතහරින්න පුරුදුවෙන්න, මාන්නය අතහරින්ට පුරුදුවෙන්න.

ඒ විදිහට රාග, ද්වේෂ, මෝහ කියන අකුසල් හිතට එනකොට ඒව අතහරින්න පුරුදුවෙන්න. ඒ විදිහට අකුසලය අතහරින්ට අපිට පුළුවන්වුනොත් එයා සැබෑම ජයග්‍රහණය අත්කරගන්න කෙනෙක් බවට පත්වෙනව. අත්හැරීමෙන් හොඳම අත්හැරීම තමයි අකුසලය අත්හරින එක. අමාරු ම දේත් ඒකම තමයි.

හිතට එන අකුසලය අතහරින්න අමාරුයි. ඒකම අල්ලගෙන ඒකටම යටවෙලා ජීවිතය විනාශකරගන්ට කල්පනාකරන ලෝකයක් තමා තියෙන්නෙ. ඉතින් අපි කැමතිවෙන්ට ඕනැ, හිතට එන අකුසලය අතහරින්ට. විශේෂයෙන් අපිට අකුසලය අතහැරගන්ට බැරිවයනව මාන්නය, ආඩම්බරය බලවත් වෙනකොට. ඒක තමා අතහැරගන්ට තියෙන අමාරුම දේ. ඒකට හේතුව තමයි, මා ලඟ මාන්‍නය තියෙනවා කියල කෙනෙකුට අඳූරන්ට බෑ.

කෙනෙකුට රාගය ආවොත් රාගය අඳූරගන්ට පුළුවන්වෙයි. අපි හිතමු කෙනෙකුට රාගය එනව, නමුත් ඒ මොහොතේ එයාට අඳූරගන්ට බෑ. එනිසා එයාගෙ සිල් බි‍ඳෙන්න පුළුවන්. ඊට පස්සෙ හරි එයාට තේරෙනව "මම ලඟ රාගය තිබ්බ, සිල් බිඳූන" කියල. කෙනෙකුට ද්වේෂය එනව, අඳූරගන්ට බෑ. ඔන්න කාටහරි බනිනව, ගහනව. ඊට පස්සෙ හරි එයාට තේරෙනව "මම ලඟ ද්වේෂය ඉපදුනා" කියල.
හැබැයි ආඩම්බරය මාන්නය කියන එක එහෙම අල්ලන්න බෑ. ඒක තමා තියෙන භයානකබව. මා ලඟ මාන්නය තියෙන්නෙ කියල හොයන්න බෑ. හොයන්ට බැරිනිසා ඒක උපදින්න ඉඩදෙන්ට හොඳ නෑ. ඒක නැතිවෙන විදිහක් තියෙනවනේ, අන්න ඒ නැතිකරන විදිහ පුරුදුකරන්න ඕනැ. එතකොට කලකදී ඒක ගෙවිලයනව. ඒ ආඩම්බරය මාන්නය නැතිකරගන්ට පුළුවන් විදිහවල් අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනව.

අන්න ඒ ධර්මයන් පුරුදුකරන්න. ඒ ධර්මයන් පුරුදුකළොත් මාන්නය, ආඩම්බරය ගෙවිලයයි. එහෙම නැත්නම් අපිට දවසින් දවස, මොහොතින් මොහොත මේ ඉගෙනගන්න දේවල් මුල්කරගෙන පවා ආඩම්බරය මාන්නය තමයි වැඩිල එන්නෙ. භාවනා මුල්කරගෙන හෝ වේවා, දහම් දැනුම මුල්කරගෙන හෝ වේවා ආඩම්බරය මාන්නය වැඩිල ආවොත් අපිට මුකුත්කරන්ට බෑ, අපි වැනසිලා යනව.
රාගය නැතිකරගන්න කෙනෙක් කැමතිවෙයි. ඒත මාන්නය නැතිකරගන්න කැමතිවෙන්නෙ නෑ. ඇයි එයාට ඒක ආරක්ෂාවක් වගේ පේන්නෙ. රාගය හානියක් වගේ පෙනෙයි කෙනෙකුට, නමුත් මාන්නය හානියක් කියල පේන්නෙ නෑ. එයාට හිතෙයි "මට තත්වයක්" කියල. ඉතින් ඒ තත්වයෙන් පහතට යන්ට කැමතිද එයා. අන්න ඒකයි භයානකකම කියල කියන්නෙ. ඒක මාන්නය කියල අඳූරන්ට බෑ. සමාජ තත්වයක් වගේ පේනව.

සමාජ තත්වය නැතිවුණ ගමන් හීනමානෙ. "මට පහර වැදුනා" කියල කල්පනා කරනව. භයානකයි නේද? ඒක මාන්නය කියල අඳූරන්ට බෑ. අන්තිමට අන්න එබඳූ ස්වභාවයන්ට අපේ ජීවිතේ කැරකිලා යනව අන්තිමට. භයානකයි. ඒ නිසා දැන් දැන් ඉඳල ම තේරුම්ගන්න මාන්නය කියන එක අපිට ආවොත් ඒ දෙය මුල්කරගෙන තියෙන වටිනාම සම්පත් වුනත් අතහරින්ට එයා කැමතිවෙනව. සමාජ තත්වයක් ගැන හිතනව නම් ආඩම්බරය මාන්‍නය වැඩෙනව.

තමන්ට තත්වයක් ගැන කල්පනාකරන කෙනාත් ආඩම්බරය මාන්නයම තමයි දියුණුකරගෙන තියෙන්නෙ. පිළිගත්බවක් කල්පනාකරන කෙනා, එහෙම නැත්නම් "මම මේ මේ විදිහට යමක් කලා" කියල කල්පනා කරනකොටත් ආඩම්බරය මාන්නය තමයි එන්නෙ. තමා පිළිගත් කෙනෙක් කියල කල්පනා කිරීම තුළත් ආඩම්බරය මාන්‍නය වැඩෙනව.
මේ ආඩම්බරය මාන්‍නය අපේ ජීවිතය මුළුමනින් ම විනාශකරල දාන එකක් බවට පත්වෙනව. ඒක වැඩෙන එකක්. නිකන් හිටියත් වැඩිල එනව. මේ මහ පොළොවෙ වල් ආදී දේවල් වැඩෙනවට වඩා වේගයෙන්, කටු පඳූරු වැඩෙනවට වඩා වේගයෙන් අපිට මේ ආඩම්බරය මාන්නය එනව. ඒ නිසා අපි ආඩම්බරය මාන්නයට ඉඩදෙන්ට එපා. ඒක නැතිකරන්ට සියලු දෙනාම කැමතිවෙන්න.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
දිනමිණ පුවත්පතේ "දවසේ සිතිවිල්ල" තීරයෙන් උපුටා ගන්න ලදී !

Thursday, October 18, 2012

“ආරෝග්‍යා පරමා ලාභා – නිබ්බානං පරමං සුඛං”


“ආරෝග්‍යා පරමා ලාභා – නිබ්බානං පරමං සුඛං” මේ තියෙන්නේ බුදුපියාණන් වහන්සේ ප‍්‍රකාශ කළ උදාන වාක්‍යයක්. මෙය ඇසූ මාගන්දිය නම් බමුණා “භවත් ගෞතමයන් වහන්ස, මා විසින්ද ආචාර්ය ප‍්‍රාචාර්ය වූ පූර්ව පරිබ‍්‍රාජකයන් කියන මේ බස අසා ඇත්තේය. ඒ බසත් මේ බසත් දෙබසම සමානය” යනුවෙන් උත්තර දුන්නා. ත‍්‍රීවේදය දැනගෙන හිටි, භාෂා නිරුක්ති සහිත අක්‍ෂර ප‍්‍රභේද පද පාඨ හා ව්‍යාකරණ විධිවලින් දැනීම තිබුණු මාගන්දිය බමුණාට මේ ගාථාවේ නියම ශාසනික අර්ථය ලබන්නට ඒ භාෂා විධික‍්‍රමවලින් පිටිවහලක් ලැබී තිබුණේද යන්න ඔහු ඊළඟට බුදුපියාණන් වහන්සේ ඇසූ ප‍්‍රශ්නයට දුන් පිළිතුරෙන් පැහැදිලි වෙනවා.


“ආරෝග්‍යා පරමා ලාභා – නිබ්බානං පරමං සුඛං” ලාභයෝ ආරෝග්‍යය පරමකොට ඇත්තාහ. සුවය නිවන පරම කොට ඇත්තාහ. මාගන්දිය බමුණා දැනගෙන සිටි භාෂා නිරුක්ති සහිත අක්‍ෂර ප‍්‍රභේද හා පද පාඨ සහිත ව්‍යාකරණ විධිවලින් තේරුම් ගත්තේ මෙපමණයි. දැන් බුදු පියාණන් වහන්සේ බමුණාගෙන් මෙහෙම අහනවා.
“බමුණ ඒ ආරෝග්‍යය කවරේද? ඒ නිවන කවරේද?” මාගන්දිය බමුණා තම සිරුරු අවයව අත්ලෙන් පිරිමදිමින් ‘‘භවත් ගෞතමයෙනි, මේ ආරෝග්‍යයයි, මේ නිවනයි, මම ආරෝග්‍ය වෙමි, සුවපත් වෙමි’’ යි තම ශරීරය පෙන්වා ලෙඩ නැති බව කියමින් සතුටු වුනා. ඔහුගේ භාෂා දැනුමෙන් මේ සම්මතය ඉක්මවා ඉන් වැඩි යමක් දැනගන්න නොහැකි වුනා.
දැන් ඉතින් මේ කාලයේත් ආරෝග්‍ය ශාලාවල, ලේ දන්දීමේ ස්ථානවල, නොයෙකුත් ඖෂධ වර්ග විකුණන ස්ථානවල “ආරෝග්‍යා පරමා ලාභා” කියා දැන්වීම් පුවරු සටහන් කර ඇති ආකාරය දකින්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ මාගන්දි බමුණාට දුන් ඊළඟ පිළිතුර දැනගන්න පෙර මේ ගැන විමර්ශනය කර බැලිය යුතුයි.
පද ටික දැනගත්තට, ගලපන්න හැකි වුනාට, අක්‍ෂර ප‍්‍රභේද භාෂා නිරුක්තිවලට අනුව ලියාගෙන විමසුවාට, අදහස වැරදි නම් බුද්ධ දේශනාවට අනුකූල නැති බව තේරුම් ගත යුතුයි. බුද්ධ දේශනාවට ගැලපීම බලන්න ඉහත කී වේදක‍්‍රමවලින් බෑ. සතර මහාපදේශ ක‍්‍රමය අනුව ධර්මයට බහා බැලිය යුතුයි, විනයට සසඳා බැලිය යුතුයි, සූත‍්‍රයට බහා බැලිය යුතුයි. මෙතනදී සමහර සූත‍්‍ර, ත‍්‍රිපිටක ග‍්‍රන්ථවල ඇතුලත් වී නැති බවත්, ඒ ඒ කාණ්ඩවල ගැබ් වී ඇති සූත‍්‍ර ගණන කියා තිබුණත් ඒ සියල්ලම එසේ නැති බවත් ත‍්‍රිපිටක සංස්කාරක මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා එම ත‍්‍රිපිටක පොත්වල සංඥාපනයේම පෙන්වා තියෙනවා. යම් හෙයකින් මේ සූත‍්‍ර කොටසත් එසේ ප‍්‍රමාද දෝෂයකින් හෝ සටහන් කරන්න නොහැකි වී පාරම්පරිකව ගෙනා කොටසක තිබී හමුවුනා නම් ඒක විනිශ්චය කරගන්නේ කොහොමද?
මොකද අද බොහෝ කොටම හිතන් ඉන්නේ යමක් සූත‍්‍ර පිටකයේ තිබේද, විනය පිටකයේ තිබේද, ඊට සමාන දේශනාවක්ද කියා සසඳා බැලිය යුතුය යන්නයි, බහා බැලිය යුතුය යන්නයි. නමුත් බහා බැලිය යුතු සූත‍්‍රයත්, ධර්මයත්, සසඳා බැලිය යුතු විනයත්, නෙත්ති ප‍්‍රකරණයේ පැහැදිලිව තේරුම්ගන්න පුළුවන් විදියට පෙන්වා තියෙනවා.
‘‘බහා බැලිය යුතු සූත‍්‍රය නම් චතුරාර්ය සත්‍යයයි, ධර්මය නම් පටිච්ච සමුප්පාදයයි, සැසඳිය යුතු විනය නම් රාග විනය – ද්වේශ විනය – මෝහ විනයයි. (නෙත්තිප්ප‍්‍රකරණය – 39 පිටුව – යුක්ති හාර විභංගය)
කයේ ලෙඩ නැතිකම සිහිකර යමෙක් ලාභයක් ලැබී ඇතැයි සතුටු වන්නේ නම් ඒ සතුට තියෙන්නේ ලෙඩ උරුමයක් වූ කයට ලොකු අසනීපයක්, රෝගයක් නොවනතුරු පමණයි. නමුත් කය කියන්නේ නොයෙක් දුක් දාහයන්ට නිරන්තරයෙන්ම ගොදුරු වෙමින් ගොස් වැහැරී මැරී යන කුණු ගොඩක්. එබඳු කයක පංචකාම ආස්වාද මාත‍්‍රයන්ට වහල්වෙලා ලබන්නේ මුලා සහගත සතුටක්. දුක් කඳක් මහා ලාභයක් ලැබුණු ලෙස ගත්, දුකෙහි සැප යැයි ගත්, එසේම අසුබයෙහි සුභ යයි ගත් විපරීත දෘෂ්ඨියක්. එම මුලාවෙන් නැගෙන ඡන්ද රාගය උපාදානයයි. උපාදානයෙන් භවය වෙනවා. භව තියෙන කල් ජාති වෙනවා. එවිට ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී මහා දුක් කඳම උදා වෙනවා. ඡන්ද රාගයෙන් හිතන විට, කියන විට, කරන විට රාග වර්ධනය වෙනවා මිසක් විනය වෙන්නෙ නෑ. ඇලූම් කළ තරමටම විරුද්ධ දේවල් එන විට ගැටීම වෙනවා මිසක් ද්වේශ විනය වෙන්නෙ නෑ. මුලා අදහසක් නිසා මෝහය වෙනවා මිසක් මෝහ විනය වෙන්නෙ නෑ. එබැවින් කයේ නිරෝගී බව කෙරෙහි මුලා ආස්වාදය චතුරාර්ය සත්‍යාවබෝධයට බහා හිටින්නේ නෑ. පටිච්ච සමුප්පාද නිරෝධ ධර්මයට බහා හිටින්නෙ නෑ. රාග විනයට, ද්වේශ විනයට, මෝහ විනයට සැසඳෙන්නෙ නෑ. එසේනම් මේ අදහස බුද්ධ භාසිතයට අනුකූල නෑ.
දැන් මේ පද පෙළම බුද්ධ භාසිතයක් වන්නේ කොහොමද කියන කාරණය බුදුපියාණන් වහන්සේ විසින් මාගන්දිය බමුණාට කරුණු කාරණා සහිතව පහදා දුන්නා. “මාගන්දිය, මේ ගාථාව පෙර විසූ කාශ්‍යප නම් සම්මා සම්බුදුවරයන් වහන්සේ දේශනා කළ ගාථාවක්. කාලයාගේ ඇවෑමෙන් එහි යථාර්ථය යටපත් වී අනුක‍්‍රමයෙන් පෘථජ්ජන ගත වී ඇත. මාගන්දිය, මේ කය වූ කලී රෝගයක් වැනි වූයේ, ගන්ඩයක් වැනි වූයේ, ශල්‍යයක් වැනි වූයේ, දුක්ඛයක් වැනි වූයේ, ආබාධයක් වැනි වූයේ වෙයි. එබඳු වූ මේ කය ගෙන තෙපි, මේ ඒ ආරෝග්‍යයයි, මේ ඒ නිර්වානයයි කියති. මාගන්දිය, තෙපි යම් ආර්ය වූ ඇසකින් ආරෝග්‍යය දන්නෙහි නම්, නිර්වානය දන්නෙහි නම් තොපට ඒ ආර්ය වූ ඇස නැතැ” යි වදාළා.
මෙතනදී  වටිනා  දහමක් හෙලිවෙනවා. ආර්ය ඇසකින් දැකිය යුතු දහම් අර්ථ ලෞකික ක‍්‍රමවේදවල පිහිටා දකින්න බැරි බව වටහා ගත යුතුයි. ආරෝග්‍යය – නිරෝගී බව යන වචන කුමන භාෂා නිරුක්තියකින්, පද පෙළකින් කීවත් ආර්ය වූ දහම් ඇසින් දකින අදහස එම දහම් ඇස පහළවූවන්ටම මිසක් පෘථජ්ජන මනසකින් දකින්න නොහැකිම ය.

මෙය ඇසූ මාගන්දි බමුණා බුදුපියාණන් වහන්සේගෙන් ආරෝග්‍යය සහ නිවන දේශනා කරන ලෙස ඉල්ලා සිටියා. 
මෙහිදී උන්වහන්සේ නැවත උපමාවක් දේශනා කළා. ඇස් අන්ධ පුද්ගලයෙකුට තම නෑසියන් අක්‍ෂි ශෛල්‍ය වෛද්‍යවරයෙක් ගෙන්වා බෙහෙත් කරද්දී ඒ ඇස් පෙනීම නොඒ නම්, විශුද්ධ නොවේ නම් ඒ වෛද්‍යවරයා ඒ තාක් පීඩාවට වෙහෙසට පත්වන්නා සේ, දහම් ඇස් නැති මාගන්දියට ආරෝග්‍යයත් නිවනත් දේශනා කරන  විට  නොවැටහේ  නම්, උන්වහන්සේට පීඩාවක්ම වෙහෙසක්ම වන බවයි ඒ දේශනාව. මෙසේ අදත් දහම් දකින හැටි, දහම් ඇස ලැබූ අය ප‍්‍රකාශ කළත්, තේරුම් ගත නොහැකි පිරිස් ඒවා හාස්‍යයට, විහිලූවට ලක් කරනවා.
බුදුපියාණන් වහන්සේ මාගන්දිය බමුණාට තවත් උපමාවක් ගෙන මෙසේ දහම් දේශනා කළා. 
ඇස් අන්ධ මිනිසෙකුට, සුදු වස්ත‍්‍රය පහන්ය, අභිරූපය (කැපී පෙනෙන රූප ලක්‍ෂණ) නිර්මලය, ශුද්ධ යැයි ඔහුගේ හිතවතෙකු කියනු ඇසෙන්නේ ය. එක්තරා පුරුෂයෙක් එම අන්ධයාට, හිතවත මේ සුදු පිරිසිදු අභිරූප නිර්මල වස්ත‍්‍රය පොරවා ගන්නැයි තෙල් දැලි වැකුණු කලූ ගොමස්කඩ රෙද්දක් දෙන්නේය. නොපෙනීම නිසා ඒ සුදු පිරිසිදු නිර්මල රෙද්දකැයි සිතා ඔහු එය පොරවා ගන්නේය. අන්ධ මිනිසාගේ නෑදෑයෝ ශල්‍ය වෛද්‍යවරයකු ගෙන්වා ඔහුට බෙහෙත් කර  ඇස් පෙනීම ලබා දුන්නොත් ඒ පෙනීමත් සමගම ඔහුගේ වස්ත‍්‍රයේ නියම තතු පෙනෙන්නට වන්නේය. එවිට එම වස්ත‍්‍රය කෙරෙහිත් එය දුන් පුරුෂයා කෙරෙහිත් තිබූ ඡුන්ද රාගය පහවන්නේය. වස්ත‍්‍රය දුන් පුද්ගලයා සතුරෙකු ලෙසත් පෙනෙන්නේය. තමා මෙතෙක්  කල්  රවටන  ලදැයි වැටහෙන්නේය.
මෙසේ මේ කය ලෙඩක් ලෙස, ගඩක් ලෙස, හුලක් ලෙස, දුකක් ලෙස යථා නුවණට   වැටහුණුදාට   පංච උපාදානස්කන්ධයෙහි යම් ඡන්ද රාගයක් වී නම් එය පහ වන්නේය. වේදනාවෙහි, සංඥාවෙහි, සංඛාරයෙහි, විඤ්ඤාණයෙහි යම් ඡන්ද රාගයක් වී නම් එය පහවන්නේය. ඒ ඡන්ද රාග නිරෝධය නිසා උපාදාන නිරෝධ වන්නේය. එවිට භව නිරෝධ වන්නේය. එවිට ජාති නිරෝධ වන්නේය. එයින් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස නිරෝධ වන්නේය. මෙයයි ආරෝග්‍යය, මෙයයි නිවන කියා තමාම දැන ගන්නේය.
මේ ඇසු මාගන්දි බමුණාට දහම් ඇස පහළ වුනා. සාසනයෙහි පැවිදි වී බ‍්‍රහ්ම චර්යාව පූර්ණ කර අරිහත්වයටත් පත්වුනා. 
අද ඉන්න පින්වතුන් ද මේ දහම ආදර්ශයට ගනිත්වා!
තෙරුවන් සරණයි !
වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණු දහම් කරුණු ඇසුරින් 

Wednesday, October 17, 2012

මිථ්‍යා මතවලට මුළා නොවී පිවිතුරු දහම අගයමු



සම්බුද්ධත්ව ජයන්තිය ඉහලින් සැමරූ මෙකල බුදු දහමෙහි විශාල පිබිදීමක් ප්‍රබෝධයක් දක්නට තිබෙනවා. බුදු දහම උද්දීපනය වී සමාජයේ ඉහළට නැඟ එනවා.

ධර්මය මෙසේ දීප්තිමත්ව බබළන විට ධර්මය උපයෝගී කරගෙන එමඟින් වාසි ලබා ගැනීමට විවිධ කණ්ඩායම් බිහිවීම සෑම කල්හිම සිදුවන දෙයක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත් මෙවන් තත්ත්වයක් දක්නට තිබුණා. අදත් ඒ තත්ත්වය වෙනසක් නැහැ.

බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ රහතන් වහන්සේට ජනතාවගේ ඉමහත් ගෞරවයක් භක්තියක් තිබුණා. එමෙන්ම ජනතාව වැඩි වශයෙන් සැලකිලි කරනු ලැබුවා. රහතන් වහන්සේට ජනතාව දක්වන ලද මේ සැලකිල්ල ගැන අවධානය යොමු කරපු ඇතැම් භික්ෂු කණ්ඩායම් ජනතාව එන මඟ රැක ගෙන සිටියා.
එම කණ්ඩායමේ එක් භික්‍ෂූන් වහන්සේ නමකට ‘ඔබ වහන්සේ අර ගස යට අසුන්ගෙන භාවනා කරන්නැ’යි දැනුම් දෙනවා. සෙසු භික්ෂූන් පිරිස මඟ රැක සිටිනවා.

ජනතාව දානය රැගෙන පැමිණෙන විට භාවනා කරනු ලබන භික්‍ෂූන් වහන්සේ පෙන්වා ‘අර භික්ෂූන් වහන්සේ රහත් වෙලා’ යැයි පවසනවා. උන්වහන්සේ බොහොම හොඳ රහතන් වහන්සේ නමක්, උන්වහන්සේට දානය ලබා දීමෙන් මහත් වූ පින් සිදුවෙනවා.

ජනතාව තමන් වෙත රැගෙන එන දානය පුද පූජා ගස යට භාවනා කරනු ලබන භික්ෂූන් වහන්සේට පූජා කරනවා. ඒ රහතන් වහන්සේට ඇති ගෞරවය නිසයි.
දානය පිළිගැන්වූ ජනතාව බැහැර වූ පසු සියලු භික්ෂූන් එක් වී ආහාර වළඳනු ලැබුවා. මෙවැනි ක්‍රියාකාරකම් එදා මෙන්ම අදත් සිදුවෙනවා.

මේ තත්ත්වය මත අද බොහෝ ගිහි පිරිස් මංමුළාවූ ස්වරූපයක් දක්නට තිබෙනවා. ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් කසාවත පොරවාගත් හෝ සුදුවත ඇඳගත් අය තමන්ට සිතෙන අයුරින් බුදුදහමට විවිධ කොටස් එකතු කර ඇතැම් විට බුදු දහම විකෘති කරනවා.

මෙය නොදන්නා ගිහි පිරිස් ඒ අය වෙත ඇදෙනවා. මේ සියලු දෙනා පිටතින් පෙනෙන්නට සිල්වත් බව පෙන්වමින් තමන්ට සිතෙන දේ බුදු බණ යැයි කියමින් ජනතාවට විකෘති වු කරුණු පවසන අයයි. ඔවුන් අත පය වෙහෙසා වැඩ කිරීමට අකැමැති අයයි. ශීල ධර්මයත් ගුණදහම් දැඩි වෙහෙසක් දරමින් වඩන ලද භික්ෂූන් විසින් ඇති කර ගන්නා ලද තත්ත්වයන්ට කිසිදු වෙහෙසක් නොදරා ජනතාව මුළා කරමින් ව්‍යාජ ලෙසින් ළංවීමට දරණ එවන් ගිහි පැවිදි පිරිස් දක්නට සිටිනවා.

එසේම මෙරට ජනතාවගෙන් කොටසක් මාර්ගඵල ලාභීන්ට දැඩි ඇල්මක් දක්වනවා.මේ නිසා ඇතැම් අය තමන් සෝවාන්ලාභී සකෘදාගාමී ආදි වශයෙන් අන්‍යයන්ට කරුණු දක්වනවා. මේ කරුණු දිහා අප බැලිය යුත්තේ උපේක්‍ෂාවෙන් . බුදු දහම උපේක්‍ෂාව ,අහිංසාව පදනම් කරගත් දර්ශනයක්. බුදු දහමේ හිංසකත්වයට කිසිඳු තැනක් ලබා දී නැහැ. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයෙන්ම අපට මේ සඳහා උදාහරණ ලබා ගන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ සමඟම ජේතවනාරාමයේ වැඩ විසු දේවදත්ත භික්ෂුව, සත්තරස භික්ෂූන් ජබ්බග්ගිය භික්ෂූන් එකල වැඩ සිටියා.

එමෙන්ම වජ්ජිපුත්තක භික්‍ෂූන්ගේ මූලයත් එකල දක්නට ලැබුණා. දේවදත්ත හිමියන්ගේ අනුගාමිකයන් වෙනමම හිටියා. සුභද්‍ර වැනි භික්‍ෂූන් දෙස බැලූ විට අපට පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේගේ සසුන තුළම එවන් අඩුපාඩුකම් සහිත භික්‍ෂූන් වහන්සේ වැඩ සිටින බවයි. සුභද්‍ර භික්ෂුවට නොබියව එම වදන් ගෙනහැර දක්වන්නට තරම් ශක්තියක් තිබීමෙන් පෙනෙන්නේ සුභද්‍ර වැනි භික්ෂූන්ට සමාන අදහස් ඇති භික්‍ෂූන් එකල වැඩ සිටි බවයි. බුදු දහමට විරුද්ධව වැඩ සිටි පිරිස් එදා සිටි නිසයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තෙමසක් ඉක්ම යාමටත් පෙර ධර්ම සංගායනාවක් පැවැත්වීමට කටයුතු කෙළේ.

මේ නිසා ධර්මයේ නාමයෙන් ගොඩ නැඟී එන ඇතැම් ආගමික කණ්ඩායම් පොතපත, අසපු, බුදුවරු, රහතන් වහන්සේ දෙස අප උපේක්‍ෂාවෙන් බැලිය යුතු වෙනවා. ඔවුන් සැබෑ දහම වෙනුවට මිථ්‍යාදෘෂ්ටිය වැළැඳගෙන අකුසල් පුරවා ගන්නා බව දැක අප ඔවුන් කෙරෙහි උපේක්ෂාව පැතිර විය යුතු වෙනවා. ඔවුන් මෙතරම් ගුණ දහම් පිරුණු බුදු දහම වෙනුවට හරසුන් දේ වැළැඳ ගන්නා ඔවුන් කෙරෙහි අප සංවේගජනක විය යුතුවෙනවා.
බුද්ධ දේශනාවෙන්ම හඳුන්වා දෙනවා නම් සර්පයා ඔලුවෙන් අල්ලනවා වෙනුවට වලිගයෙන් ඇල්ලීමට ඇතැමුන් පෙළඹෙනවා.

බුදුරජාණන් වහන්සේ අලගප්පදුම සූත්‍රය දේශනා කරන්නේ ‘මාගේ ධර්මය සර්පයෙක් හා සමානයි. ඒ සර්පයා ඇල්ලිය යුත්තේ ඔලුවෙන් පමණයි. ඔලුවෙන් ඇල්ලූ කල සර්පයාට වෙලා ගැනීමට හැකියාව තිබුණත් දෂ්ට කිරීමට බැහැ. ‘ධර්මය වැරැදි විදිහට අල්ලා ගැනීම ග්‍රහණය කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් අද අප අතර දක්නට තිබෙනවා.
මේ නිසා ශ්‍රාවකයා අවදියෙන් සිටීම මෙහිලා වැදගත් වෙනවා. අපේ ජනවහරේ ඇති ‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය’ යන්න සේම ‘ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහිබුද්ධියෙන් කියවිය යුතුයි ‘යන්න ගැනද අප අවබෝධයෙන් සිටිය යුතුවෙනවා.

අප සමාජයේ බුදු දහමට පමණක් නොව ඕනෑම කරුණක් උදෙසා විවිධ මත තිබෙන්නට පුළුවන්. එහෙත් සරු දේ මෙන්ම නිවැරැදි දේ තේරුම් බේරුම් කර ගන්නට අප බුද්ධිමත් විය යුතුවනවා.

කොළඹ සිට කතරගමට යා හැකි මාර්ග කිහිපයක් තිබෙන්නට පුළුවන්. නමුත් පහසුවෙන් ඉක්මනින් යා හැකි මාර්ගය නිවැරැදිව තෝරා ගැනීමට අපට පුළුවන් විය යුතුය. එම නිසා දේශකයන්, ලේඛකයන් විවේචනය කරනවාට වඩා තල්ගෙඩියට බියවී (සිංහයා හැර) සෙසු සත්ත්වයන් දිව ගියා සේ නොකර බුදුදහමින් අපට උගන්වා ඇති පරිදි 
අපගේ ඥානය භාවිතා කළ යුතුවනවා.

අප සම්මා දිට්ඨි සම්මා සංකප්ප යන්න සොයා යා යුතුයි.

අපේ තරුණ දු පුතුන්ට මේ අසපු, බුදුවරු, ආදින් ගැන විවිධ ගැටලු මතු වන්නට පුළුවන්.මේ බුදුවරු රහතන් වහන්සේලා යැයි කියන අයගේ මතය කුමක්ද? ඔවුන් වටා ජනතාව එක් රොක් වී සිටින්නේ ඇයිද යන ප්‍රශ්න මතුවනවා ඇති. ඒ සඳහා මෙරට සංඝ සංස්ථාව එක්කර සංඝාධිකරණයක් ඇති කළ යුතුවනවා.

ස්වාමීන් වහන්සේලාගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් ඒ සම්බන්ධව නිසි පියවර ගත යුතුවෙනවා. එමෙන්ම බෞද්ධ පොත පත මුද්‍රණය කිරීමට පෙර ඒ සම්බන්ධව අධීක්‍ෂණය කළ යුතු තැනක් නොමැති වීම නිසා අද බෞද්ධාගමට නිගාදෙන පොත පත බිහිවෙලා. මේ නිසා බෞද්ධ පොත පත මුද්‍රණයට පෙර ඊට අනුමැතියද ලබාදෙන ආයතනයක් තිබිය යුතු වනවා. එම ආයතනයෙන් කඩිනමින් එම පොත පත සම්බන්ධව නිර්දේශයක් ලබා දිය යුතුවෙනවා.
එසේ නොමැතිව අප මිථ්‍යා මත දරන තැනැත්තන් සමඟ කලහයට ගියහොත් ගැටලු විසඳීම වෙනුවට ගැටුම් ඇතිවීමක් පමණයි සිදුවන්නේ.

තෙරුවන් සරණයි !
බුදුසරණ පත්‍රයේ පළවූ ලිපියක් ඇසුරිනි. 

දුක දුරු කරන්න නම්..



දිනක් පංචකංගික නම් වඩුකාර්මිකයා සැවැත් නුවර වැඩ සිටි බුදුරදුන් බැහැදැකීම සඳහා තම නිවසින් පිටත් වුණා. ටික දුරක් යන විට ඔහු කල්පනා කළා. අනේ මේ වෙලාවේ බුද්ධ ප්‍රමුඛ සඟරුවන විවේක සුවයෙන් පසුවන අවස්ථාව. දැන්මම එහි නොයා යුතුයි. තව ටිකකින් උන්වහන්සේලා හමු වෙනවා කියල. ඉන් පසු එතුමන් ඒ අසල තිබූ සමණමණ්ඩික පුත්ත පරිබ්‍රාජික සිටින අසපුවට ගමන් කළා.

සමණමණ්ඩික පුත්ත පරිබ්‍රාජික තුමා බෞද්ධයෙක් නොවෙයි. ඔහු පිළිබඳ මේ සූත්‍රයේ සඳහන් වන්නේ “සමයවාදක” යන විශේෂ පදයෙන්. මන්ද? ඔහු විවිධ දෘෂ්ටීන් හා සම්බන්ධ පුද්ගලයෙක්. විවිධ මත වාදින් කැඳවා ස්වකීය අදහස ප්‍රකාශ කරන්නෙක්. මේ වඩුකාර්මිකයාගේ පැමිණීමත් එබඳුම එකක්. සූත්‍රයේ සඳහන් හැටියට උස් හඩින් මහ සද්ධ නැගෙන පරිදි තිරස්චීන කථා වලින් යුක්තව සිටිය බව පැහැදිලිය.

සම්බුදු සව්වෙක් ඈතින් එනු දුටු සමණමණ්ඩික තම පිරිස නිහඬ කළා.ඇයි මේ? ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක පිරිස නිහඬ බව අගයතියි ඔහු හොඳින් දැන සිටි නිසා. සුදුසු පරිදි අසුන් ගත් මේ දෙදෙනා අතර කථාව ආරම්භ වුණා. ඉතා සතුටින් සතුටුවිය හැකි කරුණු සාකච්ඡා වුණා. ඉන් පසු සමණමණ්ඩික “ මම මේ ලෝකයෙහි කයින් පව් කම් නොකිරීම. වචනය වැරදි ලෙස නොයෙදීම, සිතිවිලි වැරැදියට යොමු නොකිරීම ලාමක පහත් ජීවිකා වෘත්තීන් හි නොයෙදෙන පුද්ගලයන් සිව් දෙනා වාද නොකිරීමට යෝග්‍ය උතුම් පුද්ගලයන් යැයි පිළිගන්නා බව ප්‍රකාශ කළා. ඔහුගේ අදහස හොඳින් ශ්‍රවණය කළ, පංචතංගික එම අදහස එපරිද්දෙන්ම පිළිගත්තේ නැහැ. නිවැරැදි ස්ථීර පිළිතුරක් දුන්නේත් නෑ. නමුත් ප්‍රතික්‍ෂේප කළෙතේ නෑ. බුදුරදුන්ගෙන් විමසා දැනගත යුතුයැයි අදහස් කර උන්වහන්සේ හමුවට ගියා.

බුදුන් වැඳ අවසර ගත් එතුමන් සමණමණ්ඩික හමුවූ පුවතක් ඔහුගේ අදහසුත් ප්‍රකාශ කළා. ඒ කථාව ඇසු බුදුපියාණෝ “ඒවං සත්තේ ඛො ථන්ති දහරො කුමාරො, උත්තාන සෙය්‍යකො සම්පන්න කුසලෝ භවිස්සති. පරම කුසලෝ උත්තම පත්ති පත්තෝ සමණො අසාජ්ඣෝ “ යනුවෙන් දේශනා කළා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමණමණ්ඩික කියන විදිහට යමෙක් හොඳ සිතිවිලි වලින් යුක්ත වූ තරමට නිවැරැදි දිවිපෙවෙතක් ගත කළ පමණට හොඳ හැසිරීම් වලින් යුක්ත වූ තරමට ඔහු උතුම් පුද්ගලයකු වන්නේ නම් එහි ගෞරවය ශ්‍රේෂ්ඨත්වය හිමිවිය යුත්තේ “ දහරො කුමාරො” ඉතාම කුඩා ළදරුවෙකුට බව . ඇයි ඒ, ළදරුවන්ට තමා හා ලෝකය පිළිබඳ බැඳුනු ආශාවක් නෑ. හොඳ නරක කල්පනා වෙන්නේ නෑ. කයින් වදනින් මනසින් සිදුවන නරකක් නපුරක් වරදක් නෑ. එබැවින් ඔය සතර කරුණූ සම්පූර්ණ කළ පමණින් කෙනෙකු උත්තම කුසලය ඇති පිරිපුන් කුසල් ඇති කෙනෙකු ලෙස මා සළකන්නේ නෑ කියල.

විශේෂයෙන් උන්වහන්ස් ප්‍රධාන කරුණු හතරක් තේමා කරගෙන ඒ හා බැඳුනු කාරණා 10 ක් මෙහිදී පැහැදිලි කළා .

අකුසල සීලය, කුසල සීලය, තමා පිළිබඳ අකුසල ඇතිවන්නේ කෙසේදැයි හඳුනා ගන්න. එහි සරාගී බව වටහා ගන්න. අනතුරුව ඒවා නිරුද්ධ කිරීමට දුරු කිරීමට ක්‍රියාත්මක වන්නැයි දේශනා කරනවා. කුසල සීලය පිළිබඳවත් එසේමයි. කුසලය පින පිළිබඳ හොඳින් අවබෝධ කරගන්නට ඕනෑ. අනතුරුව රාග දෝස,, මෝහාදි කෙලෙස් මුල් දුරුවනබව තේරුම්ගෙන වඩ වඩාත් කුසල් රැස් කරන්නට උත්සාහ වන්ත. වෙන්නටම ඕනෑ. අකුසල සංකල්ප බැහැර කිරීම හා කුසල සංකල්ප ඇතිකර ගැනීම කෙරෙහිද අවධානය යොමුවිය යුතු බව මින් පැහැදිලි වෙනවා.

එමෙන්ම අපේ සිත, කය වදන යන තිදොර මුල්වීමෙන් උපදින ප්‍රාණඝාත අදත්තාදාන, කාමමිච්ඡාචාර මුසාවාද පිසුනාවාච පරුෂාවාච , සම්පප්ප්‍රලාප අභිධ්‍යා ව්‍යාපාද මිත්‍යාදෘෂ්ටි යන අකුසල් දුරුකර ගන්න පුරුදු පුහුණු වෙන්න ඕන. දස කුසල් දහම්හි යෙදෙන්නේ වැරැදි ජීවන වෘත්තීන් අතහැර දමන්න ජීවිතය අර්ථවත් මඟකට යොමු කරගන්නට උත්සාහ වීමයි. මෙහිදී වැදගත් වෙන්නේ. 

මෙහෙම ඉතා සාර්ථක අර්ථවත් ධර්ම දේශනාවක් කළ සම්මා සම්බුදු පියාණෝ අවසාන වශයෙන් පැහැදිලි කරනවා සසර සයුරින් අපමණ දුකින් මිදි ශාන්ත නිවීම අත් කරනු පිණිස යහපත් දැක්මක යහපත් කල්පනාවක වචනයක ක්‍රියාවක පැවැත්මක උත්සාහයක අවශ්‍යතාවය.

මෙහිදී උන්වහන්සේ පැහැදිලි කරන්නේ කුමක්ද? අවබෝධයෙන් යුතුව වරදින් වැළකී නිවැරදි මාවතක ගමන් කරන්නා පිරුණු කුසල් ඇති උසස් පුද්ගලයකු වන බවයි. අපද තිදොර නිවැරැදි මඟ යොමුකර මනා අවබෝධයෙන් යුතුව ක්‍රියා කරන්නට උත්සාහ ගනිමු. එවිට සියලු දුක් දුරුකර උතුම් නිවන් සුව සාක්ක්‍ෂාත් කරගත හැකි වනු ඇති.

බුදුසරණ පත්‍රයේ පළවූ ලිපියක් ඇසුරිනි. 
සැමට තෙරුවන් සරණයි.

Saturday, October 13, 2012

පොහොය දොළහේ වැදගත්කම

පොහෝ දිනයන් නියම කරගෙන තිබුණේ බුදුහාමුදුරුවො ලොව පහළ වෙන්නටත් පෙර සිටයි. එකළ මෙකළ මෙන් දින දර්ශන ලිත් සුලභව තිබුණේ නැහැ. ඔවුන් තමන්ගේ ආගමික දිනයන් වෙන්කර ගත්තේ අහසේ සඳ දිහා බලලා.බුද්ධ චරිතයටත්, බුද්ධ ධර්මයටත් වැදගත්වෙන විශේෂ සිදුවීම් රැසක්ම පසළොස්වක පොහෝ දිනයන් හිදී සිදුවී ඇති බව දුවල පුතාලා දන්නවා. ඒ ඒ දිනයන්හි දී සිදුවී තිබෙන වැදගත්ම සිදුවීම් මොනවාදැයි දැනගැනීම ඔයාලට ප‍්‍රයෝජනවත් වෙනවා. අද අපි ඒ පිළිබඳව විමසා බලමු.

බුදුහාමුදුරුවෝ පහළ වන විට අත්‍ය තාපසවරු පොහොය දින ආගමික දිනයක් හැටියට යොදාගෙන තිබුණා. අමාවක, අටවක, අව අටවක, පසළොස්වක කියලා සතර පෝයක් නියම කරගෙන ඒ දිනවල ආගමික කටයුතුවල නියැලුණා.දවසක් බිම්බිසාර රජතුමා බුදුහාමුදුරුවෝ හමුවට ගිහිල්ලා සතර පෝය බෞද්ධයින්ට ආගමික දිනයක් ලෙස යොදාගැනීම පිළිබඳ යෝජනා කළා. කාගේ වුණත් හොඳ යෝජනා වලට ගරු කිරීම බුදුහාමුදුරුවන්ගේ උතුම් සිරිතක්. ඒ අනුව තමයි පෝය දවස බෞද්ධයන්ගේ ඉතා වැදගත් දිනයක් හැටියට සළකන්න වුණේ.

සතර පෝයඑදා මෙදා සිට බෞද්ධයෝ පෝය සතරටම නැති වුණත් පසළොස්වක පෝයදාට පන්සල් යෑම, මල් පහන් පූජා කිරීම, බණ ඇසීම, සිල් සමාදන්වීම, සිරිතක් කොටගෙන තියෙනවා.පොහොය දිනය වැදගත් සුවිශේෂී දිනයක් බවට හේතු සාධක බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියෙනවා. ශක‍්‍ර ආදී දෙවියන් පවා පොහොය දිනයන් හි මිනිස් ලොවට පැමිණ මිනිසුන් පින් කරන හැටි බලා පී‍්‍රති වී මිනිසුන්ට ආශීර්වාදය කරන බවත් සඳහන් වෙනවා. ඒ නිසා පොහෝ දිනවල පින්කම් සිදුකිරීමෙන් පින් රැස් කරගන්නවා මෙන්ම දෙවියන්ගේ ආශීීර්වාදයත් ලබාගන්නා ක‍්‍රමයක් බවත් සැලකෙනවා.දැන් අපි දොළොස් පෝය වැදගත් වීමට හේතු මොනවා දැයි විමසා බලමු.

දුරුතු
දුරුතු පොහොයජනවාරි මස යනුවෙනුත් දුරුතු මස හඳුන්වනවා. බුදුහාමුදුරුවෝ ප‍්‍රථම වතාවට ලංකාවට වැඩම කළේ මහියංගනයටය. ඒ බුද්ධත්වයෙන් නවවෙනි මාසයේ දුරුතු පුර පසළොස්වක් පෝදා බුදුන්වහන්සේගේ පැමිණීම ගැන කිපුණු ලංකාවේ සිටි යක්‍ෂ හා නාග ගෝති‍්‍රක අය පැමිණ උන්වහන්සේ සමග සටනට සූදානම් වුණා. බුදුහාමුදුරුවෝ ඔවුන්ට මිහිරි හඩින් ධර්මය දේශනා කළා. හැමෝම දමනය වුණා. ඒ ධර්මය අසා සිටිය සුමන සමන් දෙවියන් ද සෝවාන් බවට පත්වුණා. සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම පරිදි බුදුරදුන් හිස පිරිමැද කේශධාතු මිටක් ප‍්‍රදානය කළහ. සුමන සමන් දෙවියන් ඒ කේශධාතු තැන්පත් කොට ඉඳුනිල්වන් ගලින් රියන් හතක් උසැති සෑයක් බැන්ද වූවා. මෙය තමයි ලෝකයේ ප‍්‍රථම වරට ඇති වූ චෛත්‍යය.මේ සියලු සිදුවීම් වූයේ දුරුතු පොහොය දිනයක, මිහිඳු මහ රහතන්වහන්සේට ලක්දිවට පැමිණ සදහම් බීජය වපුරන්නට ක්‍ෂෙත‍්‍රය සදා දුන් දුරුතු පොහොය අති ශ්‍රේෂ්ඨ පොහොය දවසක්.

නවම්
නවම් පොහොයබුදු සසුණේත් බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් ලෙස නවම් පුර පසළොස්වක් පොහොය වැදගත් වෙනවා.සුදුස්සන්ට සුදුසු තැන ලබාදීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්‍ෂණයක් සැරියුත් හාමුදුරුවන්ට හා මුගලන් හාමුදුරුවන්ට අගසව් තනතුරු දීම ඊට හොඳම නිදසුනක්. මුලින් පැවිදි වූ භික්‍ෂූන් සිටිය දී ළඟදී සසුනට ඇතුළු වූ සැරියුත් - මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු දීම ගැන ඇතැම් භික්‍ෂූන් දොස් නැගුවා.සැරියුත් - මුගලන් දෙනම සංසාරයේ දීර්ඝ කාලයක් අගසව් තනතුරු පතාගෙන ඒ සඳහා අවශ්‍ය පින් රැස්කරගත් නිසා එම තනතුරුවලට සුදුස්සන් ඒ දෙනම ම බව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ සේක. සම්බුද්ධ ශාසනයෙහි ප‍්‍රථම වරට මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පසළොස්වක් පොහෝ දවසක. තථාගතයන්වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය වදාළේත් නවම් පුණු පොහෝ දිනයක. ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය කියන්නේ භික්‍ෂූන්වහන්සේලාට හික්මීම පිණිස අවශ්‍ය විනය මාලාව, අල්පායුෂ්ක බුදුවරුන්ගෙ ශාසනවල ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය වදාරන්නේ මුල් අවුරුදු විස්ස තුළය. ගෞතම බුද්ධ ශාසනය ද එවැන්නක්. අතීතයේ ලොව පහළ වූ විපස්සී නම් බුදුන් අවුරුදු අසූදහසක් ද, සිඛී නම් බුදුන් අවුරුදු හැත්තෑදහසක් ද, කකුසඳ බුදුන් අවුරුදු හතළිස් දහසක් ද, කෝණාගම බුදුන් අවුරුදු තිස්දහසක් ද, කාශ්‍යප බුදුන් අවුරුදු විසිදහසක් ද, පරමායු විඳ ඇත. ගෞතම බුදුන්ගේ ආයු කාලය අවුරුදු අසූවකි. මෙතෙක් කාලයකින් පිරිනිවන්පාන්නේමියි. කාලය සීමාකර ගැනීම ආයු සංස්කාරය හැරීමයි. එය ද සිදුවුණේ නවම් පුර පසළොස්වක දවසකය.

මැදින්
මැදින් පොහොයහේමන්ත ඍතුවේ මැදින් මස නොහොත් මාර්තු මාසයේ පුර පසළොස්වක පොහොය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳව අසිරිමත් සිදුවීම් සිහිකෙරෙන දිනයක්.බුදුරදුන් විසිදහසක් පමණ මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන රජතුමා ඇතුළු තම ඥාතීන්ගේ සිත සුව පිණිස කිඹුල්වත්පුරයට වැඩම කළේ මැදින් පොහෝ දවසක.පියරජු අනාගාමී වීම, යශෝදරාව සැනසීම, නන්ද හා රාහුල කුමරු පැවිදි වීම, ඥාතීන්ගේ මානය නැති කිරීමට යමාමහ පෙළහර පෑම හා ඔවුන් යහමගට යොමු කරවීම මේ ගමනේ අතුරු ඵල හැටියට සඳහන් කරන්න පුළුවන්.

බක්
බක් පොහොයබක් මාසය නොහොත් අපෙ‍්‍ර්ල් මාසය අප කාගේත් සිත්සතන් සොම්නස් සුවයෙන් සැනසෙන මාසයක්. බුදු සිරිතේ ද අසිරිමත් සිදුවීම් අප මනසට නැගෙන්නේ හදවත අමා සිසිලට පත් කරමින්.මේ සුන්දර දිවයින දෙවැනි වරටත් බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත් වුණේ බක් පොහෝ දවසක.චූලෝදර, මහෝදර යන නා රජුන් දෙදෙනා අතර මැණික් පුටුවක් අරබයා ආරවුලක් ඇති වුණා. මේ ආරවුල බුදුන්වහන්සේ දිවැසින් දුටුසේක. උන්වහන්සේ ඔවුන් කෙරෙහි කරුණාවෙන් ඔවුන්ට සුවසෙත සලසනු පිණිස බක් මස අව පසළොස්වක දා අළුයම ඍද්ධියෙන් නාගදීපයට වැඩි සේක. ඒ බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයේ.මේ ගමනට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක්ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා තමාගේ වාස භවනය වන කිරිපලු වෘක්‍ෂය ජත‍්‍රයක් මෙන් ඔසවා ගෙන ආවා. මහෝදර නා රජුගේ මාමා වූ මණිඅක්ඛික නාග රාජයා කැලණියේ සිට බෑනාට උදව් පිණිස පැමිණ සිටියා. බුදුරදුන්ගේ ප‍්‍රථම ලංකා ගමනෙදී බණ අසා සරණ සිල් පිහිටා සිටි මණිඅක්ඛික නා රජු එදින බුදුන්වහන්සේට තමාගේ වාස භවනය වූ කැලණියට වඩින ලෙස ආරාධනා කළා. මෙම ඓතිහාසික සිද්ධිවලින් ශ්‍රේෂ්ඨතවයට පත් බක් පෝය පී‍්‍රතිය උපදනා දිනයකි.

වෙසක්
වෙසක් පොහොයබුදුරජාණන්වහන්සේ ලොව පහළ වීම, බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම යන ති‍්‍රවිධ මංගල්‍ය සිදුවුණේ වෙසක් පෝය දා බව ඔබ දන්නවා.ගෞතම බුදු පදවිය සඳහා සුමේධ තවුස්ව, දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලැබුවේ ද වෙසක් පෝදාක.බුද්ධත්වයෙන් අටවන අවුරුද්දෙහි මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කොට කැලණිය ශී‍්‍ර පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් කළ උතුම් දවස වෙසක් පුන් පොහෝ දාය.සුමන සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමනළ සිරස මත ශී‍්‍ර පාද ලාංඡනය පිහිටුවීම. සොළොස්මස්ථාන නමින් හඳුන්වන ස්ථාන දහසයහිම සමවත් සුවෙන් වැඩහිඳ පුදබිම පිරිසිදු කිරීම සිදු කළෙත් වෙසක් පෝ දා. සිංහල ජනවංශයේ ආදිතමයා වන විජය කුමරු හත්සියයක් පිරිස සමඟ ලාට රට සිට ලක්දිවට පැමිණියේ ද වෙසඟ දිනයක බව වංශ කතාවල සඳහන් වෙනවා.දේවානම්පියතිස්ස රජු දෙවැනි වර රාජාභිශේක ලැබීම, දුටුගැමුණු මහ රජු රුවන්වැලිසෑයට විසා නැකතින් මුල්ගල් තැබීම ද සිදුවුණේ උතුම් වෙසක් පුර පසළොස්වකදා ය.

පොසොන්
පොසොන් පොහොයමිහිඳු මහරහතන්වහන්සේ විසින් සම්බුද්ධ ධර්ම දායාදය ලක්දිවට ගෙනවුත් ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීම සිදුවුණේ පොසොන් පොහොය දාය.දෙවනපෑතිස් නිරිඳු ඇතුළු හතළිස්දහසක් පිරිසකට චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේශනා කිරීම, භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කරවීම සිදුවුණෙත් පොසොන් පෝ දා.කෙටියෙන් සඳහන් කරතොත් නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති ශිෂ්ට සම්පන්න අදීන ජාතියක් වශයෙන් සිංහල ජාතිය ලොව පුරා පැතිර ගියේ මේ උතුම් පොසොන් දවසේ සිදුවූ උත්කෘෂ්ඨ සිදුවීම් නිසාය.

ඇසළ
ඇසළ පොහොයසුද්ධෝදන ශාක්‍ය රජතුමාගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස සිදුහත් කුමරු පිළිසිඳ ගත්තේ ඇසළ පුණු පොහෝ දිනකය.ගිහිගෙය අතහැර අභිනිශ්ක‍්‍රමණය කිරීම, ප‍්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම, ගණ්ඩම්බ රුක්ඛ මූලයෙහි දී තීර්ථකයන් දමනය කිරීම සඳහා යමාමහ පෙළහර පෑම, තව්තිසා දෙව්ලොවට වැඩ මාතෘ දිව්‍යරාජයාට විජම් බණ දෙසීම වැනි බුදු සිරිතේ ඉතා ඓශ්චය¸මත් සිදුවීම් සිදුවුණේ ඇසළ පුර පසළොස්වක දාය.රාහුල කුමරුන්ගේ උපත සිදුවී ඇත්තේ ද මෙදිනයි. බුද්ධ පරිනිර්වාණයෙන්තෙමසකට පසු මහා කාශ්‍යප මහරහතන්වහන්සේ ප‍්‍රධාන රහතන්වහන්සේලා පන්සියයක් සහභාගීත්වයෙන් අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහනුවර වේහාර පර්වත මූලයෙහි දී ප‍්‍රථම ධර්ම සංගීතිය පවත්වා ඇත්තේ ද ඇසළ පෝ දාකය.ලංකාවේදී ප‍්‍රථම වස් සමාදානය සිදුවී ඇත්තේ ද මෙවැනි දිනකය. බු: ව: 847 දී කිත්සිරි මෙවන් රජු දවස කළිඟ රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා ස්වාමීන්වහන්සේ පළමු වරට ප‍්‍රදර්ශනය කළේත් ඇසළ පොහෝ දවසකයි.කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමා සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු සංඝයා ගෙන්වා ලක්දිව උපසම්පදා කම¢ය ඇතිකිරීම ද ඇසළ පෝදා විශේෂ සිදුවීමකි.කතරගම, දෙවිනුවර, මහනුවර, රත්නපුර, ඇම්බැක්කේ, අලුත්නුවර, බෙල්ලන්විල පෙරහැර පැවැත්වීම ද ඇසළ පෝය දා සිදුවේ.

නිකිණි
නිකිණි පොහොයභික්‍ෂූන්වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියමව ඇත. එම දින හඳුන්වන්නේ පෙර වස පසු වස යනුවෙනි. ඇසළ පුනු පොහෝ දිනයේ පෙහොය කොට ඇසළ අවපෑළ දිනයේ පෙර වස් එළඹිය යුතුය. නිකිණි පුන් පොහෝ දා පෝය කොට නිකිණි අව පෑලවිය දා පසු වස් එළඹීම කළ යුතුය. ධර්ම භාණ්ඩාගාරික වූ ද අග‍්‍ර උපස්ථායක වූ ද ආනන්ද හාමුදුරුවන් රහත් බවට පත් වූවේ ද නිකිණි පෝදාය.වංශ කතා අනුව බුදුන්වහන්සේගේ ලලාට ධාතුව නිධන් කොට සේරුවිල චෛත්‍ය තැනීමේ ඇරඹුම වූයේ ද නිකිණි පොහෝ දිනයකයි.

බිනර
බිනර පොහොයබුදුරජාණන්වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කොට තනා ඇති සේරුවාවිල මහා සෑයේ වාර්ෂික පින්කම පැවැත්වෙන්නේ බිනර පොහොය මුල්කරගෙනය. මෙදින වස් කාලය බැවින් සියලුම විහාරස්ථානවල විවිධ පින්කම් පැවැත්වේ. මෙම පින්කම්වලට බෞද්ධ පින්වතුන් සහභාගීවන්නේ ඉතා ඕනෑකමිනි.සරත් ඍතුවේ ආරම්භය ද බිනර පුර පසළොස්වක් පොහොයයි. සරත් ඍතුව ස්වාභාවික සෞන්දර්ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකවත් වන සමයකි.

වප්
වප් පොහොයපුරා තුන්මසක් මුළුල්ලේ සක් දෙවි රජුන්ගේ පඬුපුල් අසුනේ වස්වසා වැඩ සිට වස් පවාරණය කොට බුදුරදුන් සංකස්ස පුරයට වැඩම කළේ වප් පොහෝ දවසකය.අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේගේ නියමයෙන් දෙවන පෑතිස් රජුගේ සංදේශයත් තුටු පඬුරුත් රැගෙන ලක්දිවින් අරිෂ්ඨ කුමරුන් ප‍්‍රමුඛ දූත පිරිස දඹදිව පැළලුප් නුවර ධර්මාශෝක රජු හමුවනු පිණිස පිටත්ව ගියේ වප් පුනු පොහෝ දවසකය. මිහිඳු මහ රහතන්වහන්සේගේ අනුදැනුම ඇතිව මහාරිට්ඨ මහ රහතන්වහන්සේ ථූපාරාම විහාරයේ දී මහා සංඝයා පිරිවරාගෙන විනය පිටකය සංගායනා කළේත් වප් පොහෝ දවසකය.සැරියුත් හිමියන් නුවණින් අගතැන් ලැබීම, මෙතේ බෝසතුන් සසුනෙහි පැවිදි බව ලැබීම මේ ආදී කරුණු රැසක් නිසාම වප් පුර පසළොස්වක් පොහොය වැදගත් වේ.

ඉල්
ඉල් පොහොයවස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුර පසළොස්වක් පොහොයයි. මෛති‍්‍රය බෝධි සත්වයන්වහන්සේ විවරණ ලැබීම, ප‍්‍රථම ධමර්‍දූත පිරිස වන රහතන්වහන්සේලා හැටනම ධමර්‍ප‍්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, චීවර මාසයේ අවසාන පොහොය වීම, සැරියුත් මහ රහතන්වහන්සේගේ මව ධම¢ය අසා සෝවාන් වීම, සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම, ඉල් පොහොය දා සිදු වූ සුවිශේෂ සිදුවීම්ය. මෙම සිදුවීම් නිසා ඉල් පොහොය බෞද්ධයන්ට වැදගත් වේ.

උඳුවප්
උඳුවප් පොහොයදෙවන පෑතිස් මහ රජුගේ ආරාධනය අනුව සංඝමිත්තා රහත් මෙහෙණින්වහන්සේ ශීී‍්‍ර මහා බෝධි දකුණු ශාඛාව ලංකාවට වැඩම කළේ උඳුවප් පොහෝදාය.ලංකාවේ මෙහෙණි සස්න ආරම්භ වීම සිදුවූයේ ද මෙදිනය. මේ නිසා ලාංකික කාන්තාවන්ට ලැබුණු නිදහස අපමණය.බෝධීන්වහන්සේ වැඩම කරවීම නිසා බෝධි පූජා පැවැත්වීම ද ආගමික චාරිත‍්‍රයක් බවට පත්විය. මේ අනුව උඳුවප් පොහොය ද ශී‍්‍ර ලාංකික බෞද්ධයන්ට අතිශය වැදගත් දිනයක් බව කිව යුතුය.

Wednesday, October 3, 2012

දුකින් මිදීමේ කාරණය අපේ ජීවිතවල මූලිකම අවශ්‍යතාවය කරගන්නට ඕනේ. හැම දවසකම මේ අරමුණ උදෙසා ගතකරපු කාලයක් තිබෙන්නට ඕනේ.

අපේ ආච්චි අම්මා වයසට ගිහිල්ලා ගොඩාක් අසනීප තත්වයේ ඉන්නේ. රෑට වේදනාවෙන් පෙළෙමින් නින්ද යන්නේ නැතිව කෙඳිරි ගාන හඬ මගේ කාමරයට ඇහෙනවා. එහෙමෙ ඉන්නකොට මම ගිහිල්ලා බෙල්ල උරහිස එහෙම අතුල්ලලා වේදනාව අඩුකරන්න බලනවා. එදා ඔවුන් වැඩකරපු තරමින් දහසින් එක පංගුවක්වත් තරම්වත් මම වෙහෙස මහන්සි වෙන්නේ නැති තරම්. මට මතකයි මම පොඩි කාලේ එක දවසක් අපේ ආච්චි අම්මා යනින් ගමන් මට බිස්කට් පැකට් එකකුත් අරන් දීලා මාව කුඹුරේ පැලේ නවත්තලා තියලා කුරක්කන් කපනවා එහෙම. ඒ ගිනි අව්වේ වැඩකරපු, අත පය යකඩ වගේ වෙච්ච ඒ ආච්චි අම්මා දැන් ඉන්න තත්වය ඉතාමත් දුක්බරයි. අපේ අනිත් ආච්චිලා සීයලාගේ තත්වයත් ඒ වගේමයි.

ඉතින් යහළුවනේ මේ තත්වය ඔවුන්ට වගේම ඔබටත් මටත් ඉස්සරහට අත් විඳින්නට සිදුවෙන තත්වයක්. දේවදූත සුත්‍රයේදී කියල තියනෙවා වගේ මේ තමයි අපට ඉස්සරහට ලැබෙන්න තියෙන දේ පිළිබදව පෙන්වාදෙන දේව දූතයින්. නමුත් ඕනෑම කෙනෙකුට අවශ්‍යනම් මේ දේවල් පෙන්නෑ වගේ ඇහෙන්නෑවගේ ඉන්නත් පුළුවන්. අපි ජීවත් වෙනකොට මේ වගේ දේවල් අපට ඕනෑතරම් මුණගැසෙනවා. එත් නුවණින් විමසා බැලුවොත් විතරයි මේ දේවල් තේරෙන්නේ. බුදු රජාණන් වහන්සේ අපට කියලා දීලා තියනවනේ ඇස කණ ආදී ඉන්ද්‍රියන්ගේ සංවරය ඇතිව වාසය කරන්න කියලා. එහෙම කියලා තියෙන්නේ රාගය, ද්වේෂය, මුලාවීම ඇතිකරන දේවල් වලින් ඉවත් වෙන්න කියලනේ. නමුත් ගොඩාක් දෙනා මේ වගේ දේවල් හමුවුණාම ඇස කණ ආදිය උපරිමයටම ලොකු කරලා විවෘත කරනවා. එත් ජීවිතයේ ඇත්ත තත්වය කියාදෙන දේවල් හමුවුණාම ඒ ගැන ගානක් නැහැ. නුවණින් විමසන්න හිත යොදවන්නේ නැහැ.

අපේ මේ තරුණ කාලය තමයි දුකෙන් ගැලවෙන්නනම් වැඩ කරන්න ඕනේ හොඳම කාලය. මොකද දැන් ඔබේත් මගේත් ඇඟ පත රිදෙන්නෙත් නැහැ. යමක් විමසා බලන්න පුළුවන් විදියට ස්මරණය එහෙමත් තියෙනවා. වයසට ගිහිල්ලා අපෙත් ඇඟ පත, නහරවැල් වේදනා දෙන්න පටන් ගත්තම වෙනත් දේවල් ගැන හිත යොදවන්න අමාරුයි. අනෙක අපට මේ ලැබිලා තියෙන අවස්ථාව ඉතාම දුර්ලභ අවස්ථාවක්. හැමදාම නොලැබෙන අවස්ථාවක්. මොකද මේ අවස්ථාව අපි නුවණින් විමසන්න පුළුවන් ජීවියෙකු විදියට ඉපදිලා ඉන්න අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාවේම බුදු රජාණන් වහන්සේ නමක් විසින් දේශණා කරණ ලද ධර්මය ලෝකය තුළ පවතින ඉතාම කෙටි කාල සීමාවක්‌. ඒ වගේම ඒ ධර්මය අසන්නට ලැබෙන පරිසරයකම අපි ඉපදිලා ඉන්නවනේ.

ඉතින් මේ ලබුන අවස්ථාවේත් ප්‍රයෝජනයක් ගන්නට නොලැබුණොත් ඒක ලොකු අහිමිවීමක්‌. ඒකනිසා දුකින් මිදීමේ කාරණය අපේ ජීවිතවල මූලිකම අවශ්‍යතාවය කරගන්නට ඕනේ. හැම දවසකම මේ අරමුණ උදෙසා ගතකරපු කාලයක් තිබෙන්නට ඕනේ. ඒත් ගොඩාක් වෙලාවට වෙන්නේ වෙනත් අරමුණු වලට යටවෙලා දුකෙන් මිදෙනවා කියන කාරණය අතපසු වෙන එකයි. එහෙම අමතක වෙලා ප්‍රමාද වුණොත් දුකෙන් මිදෙන්නට ඔබටත් මටත් ලැබුණු මේ අවස්ථාවත් අහිමි වෙයි.


පොත්වල එක එක දේවල් තියෙන්න පුළුවන්. එක එක්කෙනා එක එක දේවල් කියන්න පුළුවන්. ඒ එයාලගේ අදහස්. ඒවා ප්‍රශ්නයක් කරගන්න එපා! ඕනෙම එකක් ධර්මයට දාල බලල, ධර්මානුකූලව කල්පනා කරලා හරිනම් පිළිගන්න නැත්නම් බැහැර කරන්න කියලයි බුදුහාමුදුරුවෝ කියල දුන්නේ. ඒත් ඒකට සත්‍ය ධර්මය දැනගෙන ඉන්න ඕනේ!! පිරිසුදු බුද්ධ දේශනාම අහන්න ලැබෙන එකේ වටිනාකම තියෙන්නේ ඔතන තමයි. මොකද මොකුත්ම නොදන්නා කෙනෙකුට මොනවා අහන්න කියවන්න ලැබුනත් හරි වැරදි හොයාගන්න තෝරාගන්න හැකියාවක් නැහැනේ... එතකොට ඒ මනුස්සය නිකන්ම නාස්ති වෙලා යනවා. අහල නැද්ද අලුත මහන වෙච්ච 500 නමක් දේවදත්ත ඔය විදියට කාල දාන්න හදපු වෙලාවේ, බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩසිටිය හන්ද යන්තම් උන්වහන්සේලව බේරගත්ත එක. ඒ 500 නමම රහත් උන. නැත්නම් ඉවරෙටම ඉවරයි. මේ තනිකරම මාරයාගේ ආධිපත්‍ය යටතේ තියන ස්ථානයක සිද්ධවෙන වැඩක්. එයා හිතන තරම් ලේසියෙන් නිදහස් වෙන්න දෙන්නේ නැහැ. ඒත් නිශ්ශබ්දව පිරිසුදු බුද්ධ දේශනාම උපකාරකරගෙන කෙනෙක් වීර්ය කරලා කරලා ගොඩ ගියොත් මාරයා හබක්. එයාට ගොඩගිය අයව නටවන්න බැහැ!


අන්තර්ජාලයෙහි පළවූ තවත් blog එකක් ඇසුරිනි. 

පෘතග්ජන ස්වභාවය මෙන්න. තව දුරටත් ඔබ ඔබව පෘතග්ජනයෙක් ලෙස හඳුන්වා දෙනවාද? දෙවරක් සිතන්න.

මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට නොලැබුණා නම් මව මැරීම, පියා මැරීම,රහතුන් මැරීම,බුදුන්ගේ ලේ සෙලවීම සහ සංඝ බේදය ඇති කිරීම යන ආනන්තකර්ම අකුසලයකට යොමු නොවෙතැයි කා හට නම් සහතිකයක් දිය හැකි ද? කල්පයක් නිරයේ දුක් විඳින්න ටත්, පෘතග්ජන ස්වභාවයක ඇති සකස්වීම නම් අති භයානකය. මහණෙනි, මාගේ මේ ධර්මය අවබෝධ කරන්නේ මේ නිය සිලට ගත් පස් ටිකක් හා සමාන වූ පිරිසක් බව එදවස භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයට සත්වයින්ගේ පෘතග්ජන ජීවිතය ගැන වදාළේය.


"පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා සැප විඳීමත් විඳිනවා.දුක් විඳීමත් විඳිනවා.දුක් සැප රහිත විඳීමත් විඳිනවා.පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සැප විඳීමත් විඳිනවා.දුක් විඳීමත් විඳිනවා.දුක් සැප රහිත විඳීමත් විඳිනවා.පින්වත් මහණෙනි මේ කාරණයේ දී අශ්‍රැතවත් පෘතග්ජනයාගේ ත්, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගේ ත්, විශේෂත්වය මොකක්ද? අදහස මොකක්ද? වෙනස්කම මොකක්ද? "

"පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා දුක් වේදනාවෙන් පහස ලැබූ විට සෝක කරනවා.ක්ලාන්ත වෙනවා.වැළපෙනවා.පපුවේ අත් ගසා ගන්නවා.සිහි කල්පනා නැති කර ගන්නවා.ඔහු කායිකව ත් මානසිකව ත් වේදනා දෙකක් විඳිනවා.පින්වත් මහණෙනි,ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙකුට හුලකින් විදිනවා. ඒ සමීපයටම දෙවෙනි හුලකිනු ත් විදිනවා.ඒ පුරුෂයා හුල් දෙකකින් ම යි වේදනා විදින්නේ."
"පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා ත් ඔය වගේමයි.  දුක් වේදනාවෙන් පහස ලැබූ විට සෝක කරනවා.ක්ලාන්ත වෙනවා.වැළපෙනවා.පපුවේ අත් ගසා ගන්නවා.සිහි කල්පනා නැති කර ගන්නවා.ඔහු කායිකව ත් මානසිකව ත් වේදනා දෙකක් විඳිනවා.

ඔහු දුක් වේදනාවෙන් පහස ලැබූ විට ක්‍රෝධ සහිත වෙනවා.ඒ දුක් වේදනාවෙන් ඇති වූ ක්‍රෝධ ඇති ඔහු තුළ දුක් වේදනාවෙන් හට ගන්නා යම් පටිඝානුසයක් ඇති නම්,එය සිත ඇතුළේ ඇති වෙනවා.ඔහු ඒ දුක් වේදනාවෙන් පහස ලබලා කාම සැපය යි සතුටින් පිළිගන්නේ.එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා කම් සැප විඳීමෙන් බැහැරව දුක් වේදනාවෙන් නිදහස් වීමක් ගැන දන්නේ නැහැ. කාම සැපය සතුටින් පිළිගනිද්දී සැප වේදනාවෙහි යම් රාගානුසයක් ඇත්නම්, එය ඔහුගේ සිත ඇතුළේ ඇති වෙනවා.ඔහු ඒ වේදනාවන් ගේ හට ගැනීමවත්, නැති වීමවත්,ආශ්වාදයවත්,ආදීනවයවත්,නිස්සරණයවත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරන්නේ නැහැ.

ඒ වේදනාවන් ගේ හට ගැනීමවත්,නැති වීමවත්, ආශ්වාදයවත්,ආදීනවයවත්,නිස්සරණයවත් ඒ ආකාරයෙන්ම අවබෝධ නොකරන නිසා ඔහු තුල දුක් සැප රහිත විඳීමෙන් යම් අවිද්‍යා අනුසයක් ඇති වෙනවා නම්, එයත් ඇති වෙනවා. එතකොට ඔහු සැප වේදනාවක් විඳිනවා නම් එය හා එකතුවෙලා මයි විඳින්නේ.දුක් වේදනාවක් විඳිනවා නම් එය හා එකතු වෙලාමයි විඳින්නේ. සැප දුක් රහිත වේදනාවක් විඳිනවා නම් එය හා එකතු වෙලාමයි විඳින්නේ.
පින්වත් මහණෙනි, මේ අශ්‍රැතවත් පෘතග්ජනයාට කියන්නේ ඉපදීමත් සමග, ජරා මරණත් සමග,සෝක වැළපීම්,දුක් දොම්නස්,සුසුම් හෙළීම් සමග එක්වෙලා ඉන්නවා කියල යි. දුකත් සමග එක්වෙලා ඉන්නවා කියල යි. (
සම්පූර්ණ සූත්‍ර දේශනාව කියවන්න. සංයුත්ත නිකාය සළායතන වර්ගය- සල්ල සූත්තං)


ගිහි කෙනෙක් හෝ පැවිදි වූ කෙනෙක් හෝ පෘතග්ජන ස්වභාවයෙන් මිදිය නොහැකිව, ලාභ සත්කාර මත යැපෙමින් බුද්ධ ශාසනයේ විනාශයට කටයුතු කරනවා නම් ඔහුට ඉපදීමට සිදු වන්නේ ඉතාමත් දුක් වූ පරිසරයකය. බවයේ වැඩි හරියක්ම රාගයත්, ද්වේශයත් ,මෝහය ත් , බියත් මුසුවුන සතර අපායට වැටි වැටී යාම හැර වෙන කවර නම් ගැලවීමක් ඔවුන්ට තිබේ ද? මහණෙනි, මේ සංසාරය පුරා බෙලි කැපුම් වලට ලක්වී ගලා ගිය රුධිරය මේ සතර මහා සාගරයට වඩා වැඩි යැයි භග්‍යවතුන් වහන්සේ වදාළේ, මැනවින් භවයෙන් භවයට සත්වයින් සැරිසරන අයුරු බුදු නුවණින් ම දැක අවබෝධ කර ගත් හෙයිණි.


"ජීවිතය මරණය කරා යනවා.ජීවත් වෙන්න තිබෙන්නේ සුළු කාලයයි.ජරාව විසින් මරණය කරා ගෙන යන සත්වයන්ට ආරක්ෂා වෙන්න තැනක් නැහැ. මරණය අභියස තියෙන මේ බිය දකින කෙනා ඒ අමා නිවන් සුව ලබනු කමැත්තෙන්, ලෝකාමිසය අත්හරිනවා." "භාග්‍යවතුන් වහන්සේ, සැවැත් නුවර ජේතවනාරාමයේ දී" (උපනීයත සූත්‍රය )

බුදු හිමියන් කළ යුතු යැයි, යා යුතු යැයි පෙන්වා දුන් මාර්ගය බැහැර කොට,ශ්‍රී සද්ධර්මය විවෘතව පවතින මේ ඉතාම කෙටි කාලය තුල කසාවත පොරවා, මහන දම් පුරන සමහර භික්ෂූන් වහන්සේලා දේශපාලනය,මන්තර ගුරුකම්,පිකටින්,කරමින් ද, ගිහියන් විසින් කරන යම් ලාමක වූත්,කිලිටි වූත් ක්‍රියාවන් වල යෙදෙමින් ද,සිල්වත් භික්ෂූන් වහන්සේලාට ගරහමින් ද කාලය ගෙවා දැමීම,ඔවුන්ට ද තවත් බොහෝ පිරිසකගේ ද හිත සුව පිණිස නොපවතිනු ඇත. මෙය ශාස්තෘන් වහන්සේ කියා දුන් පරිදි අනුගමනය නොකර, ලාභ-සත්කාර,කීර්ති ප්‍රශංසා වලට ගිජු වී තමන්ගේ මතයට වැඩ කරන්නට යෑමෙන් සිදුවන අකරතැබ්බයකි.

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා ගැන දැනගෙන ඉන්න ඕන. මොහු ආර්යන් වහන්සේලා හඳුනන්නේ නැහැ. ආර්ය ධර්මය තේරුම් ගන්න දක්ෂත් නැහැ.ආර්ය ධර්මයෙහි හික්මෙන්නෙත් නැහැ. සත්පුරුෂයන් වහන්සේලා හඳුනන්නෙත් නැහැ.සත්පුරුෂ ධර්මය තේරුම් ගන්න දක්ෂත් නැහැ.සත්පුරුෂ ධර්මයක හික්මෙන්නෙත් නැහැ. (මූලපරියාය සූත්‍රය - මජ්ඣ්ම නිකාය)

සියළු දෙනාට ම වහ වහා ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!

තෙරුවන් සරණයි!

අන්තර්ජාලයෙහි පළවූ ලිපියක් ඇසුරිනි. 



Friday, September 28, 2012

නිරවුල් ජීවිතයකට මඟ සිත පිරිසුදු කර ගැනීම


මෝහය මහත් වූ අඳුරක් බඳුය. මෝහය නැති කළ හැක්කේ ප්‍රඥාව තුළිනි. ප්‍රඥාව තුළින් ඇත්ත ඇති සැටියෙන් දැකීමට පුළුවන. පටිච්ච සමුප්පාදයෙහි දැක්වෙන්නේ “අවිජ්ජා පච්චයා සංඛාරා’’ ආදී වශයෙන් නොදැනීම තුළින් සියල්ල ඇතිවන ආකාරයයි.

ලෝකයේ ජීවත් වන කල්හි අපට ප්‍රධාන අවශ්‍යතා රාශියක් පවතී. ඒ අතර ආහාරපාන, ගේ දොර, ඇඳුම්පැළඳුම්, බෙහෙත්හේත් ප්‍රධාන තැනක් ගනී. මේවා ලබා ගැනීම උදෙසා සත්වයන් අපමණ වෙහෙසක් ද දරනු ඇත. එහිදී ලොකු කුඩා භේදයක් ඇති නැති පරතරයක් සමාජය තුළ නිර්මාණය වේ. ඇති අය එම සම්පත් ලබා ගෙන ජීවිතය සංතර්පණය කරගන්නා අතර නැති අය එම සම්පත් ලබා ගැනීම සඳහා අපමණ දුක් විඳිති.
මෙහිදී අප කීමට උත්සාහ කරන්නේ එම භෞතික සම්පත් අවශ්‍ය නොවන බව නොවේ. එම සම්පත් ලබා ගැනීමේ ක්‍රමවේදයන් පිරිසුදු විය යුතු බවත් එහිදී සිරිසුදු සිතක් ඇතිකර ගැනීමේ වැදගත්කමත්, අන්තගාමි නොවීමත් සිදුකළ යුතු බවත් ය.

සත්වයකු උපදිනවිට සිත ස්වභාවයෙන්ම ප්‍රභාශ්වර වුව ද ආගන්තුකව එන කෙලෙස් තුළින් සිත අපවිත්‍ර වේ. ලෝභය, දේවේශය, මෝහය තුළින් සිත අපවිත්‍රවනවා පමණක් නොව සංසාරික භව ගමනද අවාසනාවන්ත වනු ඇත. මෙම යථාර්ථය තේරුම් නොගැනීම තුළින් සිදුවන්නේ තව තවත් කරදර බාධක වැඩිවීමය. සරු දේ සරු විධියටත් නිසරු දේ නිසරු විධියටත් දැකීම නියම දෘෂ්ඨිය බව දහමෙන් පෙන්වා දී ඇත. නිසරු දේ සරු ලෙසත්, සරු දේ නිසරු ලෙසත් දැකීම අනුවණයාගේ ස්වභාවයි.
එදිනෙදා ජීවිතයේ මිනිසුන්ගේ අවශ්‍යතා එමටය. අද සිදුවෙමින් පවතින්නේ අවශ්‍යතා සිතාමතා නිර්මාණය කර ගන්නා ආකාරයකි. සැබෑම අවශ්‍යතාවලින් ඈතට ගිය සංකීර්ණ වුවමනා රැසක් අද මිනිසුන්ට ඉෂ්ඨ සිද්ධ කරගන්නට සිදුවී ඇත. එහිදී ඔවුන් නොකරන දෙයක් නැති තරම් ය. මනැසද විකෘති කර ගනිමින් එම අවශ්‍යතා පසුපස හඹා යන්නේ හරියට ජලය යැයි සිතා මිරිඟුව පසුපස හඹා යන මුව පෝතකයන් ආකාරයෙනි. මෙම විකෘති වැඩපිළිවෙළ තුළ අවසාන ප්‍රතිඵලය වන්නේ කනගාටුව දුක සන්තාපය පමණි.

අද බහුල වශයෙන් සිදුවන්නේ රැස් කිරීමය. එහිදී ලෝභය ඉස්මතු වේ. මිල මුදල්, ඉඩකඩම්, යාන - වාහන ආදී භෞතික වස්තුන් සෙවීමට මුල් තැනක් දී ඇති අතර, එහිදී අන්තගාමී ලෙස ජීවිතය ද පරදුවට තබා ඒ කටයුතු සිදුකරන බවක් දැක ගැනීමට හැකිය. ගුණ ධර්ම ඉවතට දමමින් හැසිරීමට සමහර දෙනෙක් පසුබට නොවෙති. මවුපිය, සහෝදර, ඥාති මිත්‍රාදි වශයෙන් වන බැඳීම් පවා විනාශ කර ගනිමින් තෘෂ්ණාවට වහලුන් වීමට මිනිසුන් හුරුවෙමින් ඇත.

තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්ප මුත්තස්ස
නත්ථි සෝකෝ කුතො භයං

තණ්හාව නිසා ශෝකයත්, භයත් හට ගනී. එය නැති කළ විට ශෝකයකුත් භයකුත් නැත.
ලෝභය නමැති අකුසල සිතුවිල්ල නිසා නොයෙක් කරදරවලට පත් වීමට සිදුවේ. බෝසතාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ සංසාර කතරේ ගමන් කරන විට මෙම ලෝභය නමැති අකුසල් සිතුවිල්ලේ විපාකය දැක ගත්හ. එම අකුසල් සිතුවිල්ල නිසා සසරෙහි මොනතරම් ඇවිද ගියේද යන්න බුදු ඇසකට තරම් පෙනෙන තවත් ඇසක් නැත. බුදුවීමෙන් අනතුරුව උන්වහන්සේ ලෝභය සහමුලින්ම නැතිකර ගැනීමට අවශ්‍ය අවවාද අනුශාසනා පැහැදිලි කර දුන්හ.

සිත අපවිත්‍ර කරන ප්‍රධාන බලවේගය වන ලෝභය නමැති අකුසල සිතුවිල්ල මැඩ පැවැත්වීමට හා නැතිකර ගැනීමට දානය නම් වූ උතුම් ප්‍රතිපදාව මූලික වශයෙන් භාවිත කළ යුතුය. එතුළින් තෘෂ්ණාව යටපත් කිරීමටත්, මුලිනුපුටා දැමීමේ මාර්ගය සකස් කර ගැනීමටත් පුළුවන. බුදුරජාණන් වහන්සේ දස පාරමිතා, දස උප පරමිතා, දස පරමත්ත පාරමිතා වශයෙන් එය ප්‍රගුණ කළහ.
එහිදී ඇස්, ඉස්, මස්, ලේ, අඹුදරුවන් පවා දන් දුන්හ. එහි ප්‍රමාණයද සුළු පටු නොවේ. අහසේ තරු පරදවා ඇස්ද, සාගරයේ ජලය පරදා රුධිරයද පොළොවේ පස් පරදවා මස්ද, මහාමේරු පර්වතය පරදවා හිස්ද දන් දුන් ආකාරය සඳහන් වේ.

බෝසතාණන් වහන්සේ කළ දානය නම් වූ වික්‍රමය ඒ ආකාරයෙන්ම අපට කළ නොහැකි වුවත් හැකි ආකාරයෙන් එය කළ යුතුය. තමන්ට තිබෙන ප්‍රමාණයෙන් දන්දීම ප්‍රමාණවත් ය. එහිදී දෙන දේ පිළිබඳ ඇල්මක් ඇති නොකර ගත යුතුය. සමහර අය අනුනට යමක් දෙන්නේ තමන් බොහෝ දේ බලාපොරොත්තුවෙන් යුතුවයි. එය හොඳ සිතුවිල්ලක් නොවේ.

එසේම අනුනට පෙනෙන්නට කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුවෙන් ආදී අරමුණු ඔස්සේ ද දන් නොදිය යුතුය. ශරීරයේ සියලු කොටස් දන්දීමට අපහසු වුවත් රුධිරය ආදිය දන් දීමට පුළුවන. දුගී මගීන්ට ලොකු මුදලක් දීමට අපහසු වුවත් රුපියල් දෙක තුනක් දීමට පුළුවන. දුන් දේ නොව දීමේදී ඇතිවන සිතුවිල්ල පිළිබඳ අවධානය යොමුකිරීම වැදගත් වේ. මහමෙරක් තරම් දන් දුන්නද සිත අපිරිසුදු නම් ප්‍රතිඵලය නිෂ්ඵලය. කුඩා හෝ දෙයක් දී සිත පිරිසුදු කරගත හැකිනම් ප්‍රතිඵලය සඵලය.

ලෝභයෙන් අන්තගාමී වීමෙන් අනන්ත අප්‍රමාණ දුක්වලට පත්වීමට සිදුවේ. සමහරුන්ට කොතරම් ධනය ලැබුණත් තෘප්තියක් නැත. බුදුන් දවස සිටි අදින්න පුබ්බක, තෝදෙය්‍ය වැනි සිටුවරුන් මොන තරම් ධනය සෙව්වද යන්න පැහැදිලි වේ. අද ද එවැනි අය නැතිව නොවේ.මියෙන තුරුම මුදල් සොයමින් සිට බැංකු පොත් පුරවා හිස් අතින්ම මිය පරලොව යති. අප එදිනෙදා ජීවිතය ගතකිරීමේදී හැකි තරම් ලද දෙයින් සතුටු වීමේ ගුණය ඇතිකරගත යුතුව ඇත. අන්තගාමි වී තෘෂ්ණාවෙන් දැවී අළු වී නොයෑමට වගබලාගත යුතුව ඇත.

නිරවුල් ජීවිතයකට බලපාන ඊළඟ බාධකය වන්නේ ද්වේෂයයි. එතුළින්ද සිත නිරන්තරයෙන් අපවිත්‍ර වේ. ද්වේෂය යනු තරහා, ඊර්ෂ්‍යා, ක්‍රෝධ ආදි සිතුවිලිය. සමහර දෙනෙක් අනුනගේ දියුණුවට ද්වේෂ කරති. එනිසා නිරන්තරයෙන් අනුන් විනාශ කිරීමට මර උඟුල් අදිති. සමහරු අපාගත වන අයුරින් ද්වේෂය වැඩිදියුණු කර ගනිති. දේවදත්ත හිමියන් බුදුරදුන්ට වෛර කර විනාශ කිරීමට කුමන්ත්‍රණ කර අන්තිමට බුදු සිරුරේ ලේ ද සොලවා අපාගත විය. සමහර අය සඟ රුවන ඝාතනය කිරීමට තරම් ද්වේෂය වැඩි දියුණු කර ගනිති. ද්වේෂය වර්ධනය කරන මොහොතක් පාසා තමන්ගේ් සිතද ගතද පිරිහෙනු ඇත. විශේෂයෙන් නිරවුල් ජීවිතයකට වෛරය, ක්‍රෝධය සුදුසු නොවන්නේ ය.
බුදුරජාණන් වහන්සේ සිත අපිරිසුදු කරන බලවේගයක් වන ද්වේෂයෙහි විපාක අවබෝධ කොට ගෙන එය නැති කරන මාර්ගයද දේශනා කළහ. අද සමාජයෙහි ඒ මග පිළිපදින්නන් විරල වීම අවාසනාවකි. අද බහුල වශයෙන් සිදුවන්නේ ද්වේෂය නිසා විනාශ වීමයි. විවෘතව විනාශ කිරීමට බැරි තැන වස විස දී හෝ වෙනත් ක්‍රමයකින් හෝ අනුන් විනාශ කිරීම සුලබය. සමහරුන් දේශපාලන වශයෙන්ද, ආර්ථික වශයෙන්ද, ආගමික වශයෙන්ද නිලතල ආදි පුහු කාරණා තුළින් අන්තයට ගොස්, ද්වේෂය පෙරටු කොටගෙන විශාල හානි සමුදායක් සිදුකරති. මෙම තත්ත්වයෙන් මිදීම සඳහා බුදුහිමි දෙසු මෛත්‍රිය ප්‍රගුණ කිරීම උතුම් වේ.

මෛත්‍රීය වැඩීමෙන් වෛර නැති කර ගැනීමට පුළුවන. බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය තුළින් මුළු විශ්වයේම සත්වයන් ඇතුළත් වන සේ මෛත්‍රීය පතුරුවන අයුරු පෙන්වා දුන්හ. තවද මෙත්තානිසංස හා මිත්තානිසංස සූත්‍ර තුළින්ද මෛත්‍රියේ ඇති වටිනාකම පැහැදිලි කළහ. ද්වේෂය නම් වූ ඒ විෂබීජය විනාශ කරන ආයුධය වන්නේ මෛත්‍රීයයි. බුදුරජාණන් වහන්සේ මෛත්‍රීය මුළුළුමහත් සත්වයාටම සමාන අයුරින් පැතිර වූහ.
දේවදත්ත, අංගුලිමාල, ආලවක වැනි දරුණු අයටද නාලාගිරි, භදාවතිකා වැනි තිරිසන් සතුන්ටද, පටාචාරා, කිසාගෝතමී වැනි අසරණ වූ කාන්තාවන්ටද, රාහුල, නන්ද, ආනන්ද වැනි කුමරුවන්ටද එකම අයුරින් බුදුරදහු මෛත්‍රීය පැතිරවූහ. අපට උන්වහන්සේගේ මෛත්‍රියට අසලකින්වත් යෑමට නුපුළුවන.
එහෙත් අපටද යම්කිසි ප්‍රමාණයකට මෛත්‍රීය ප්‍රගුණ කළ හැකිය. ඒ අනුව මෛත්‍රිය ප්‍රගුණ කොට ද්වේෂය නම් වූ ඒ භයානක අකුසල සිතුවිල්ල විනාශ කළ යුතුය. නිරවුල් ජීවිතයක් සඳහා එසේ ප්‍රගුණ කරන මෛත්‍රීය අත්වැලක් වනවාට කිසිදු සැකයක් නැත. ද්වේෂය යටපත් කිරීමෙන් සිතට දැනෙන සැහැල්ලුව වචනවලින් කියා නිම කළ නොහැකිය. ඊටත් වඩා පරම සතුටක් දැනේනේ එය සහමුලින්ම විනාශ කිරීම තුළිනි. ඒ සඳහා පියවරෙන් පියවර ද්වේෂය නැතිකොට සිත පවිත්‍ර කරගත යුතු අතර ඒ සදහා මෛත්‍රිය සවියක් කොට ජීවිතය ඒ තුළින් ශක්තිමත් කළ යුතුය.

සිත කිලිටි කරන අනෙක් කාරණය වන්නේ මෝහයයි. මෝහය යනු මෝඩකම මුළා වීමය. මෝහය නිරවුල් ජීවිතයකට මඟ අහුරනු ඇත. මෝහය ක්‍රමක්‍රමයෙන් අඩුකර ගනිමින් විනාශකළ යුතුය. මෝඩ සිතුවිලි තිබීමෙන් යහපත් දේවල් කිරීමට පුළුවන්කමක් නැත. මෝහය තිබීමෙන් තුනුරුවන්, පින් - පව්, කර්මය - කර්ම ඵලය , මෙලොව - පරලොව යනාදීන් දෙස වැරැදි දෘෂ්ඨි කෝණයකින් බැලීමට පෙළෙඹෙනු ඇත. ඒවා පිළිබඳ අවිශ්වාසයක්ද පහත් කොට සැලකීමට තරම් හීනමානයක් ද මෝහයෙන් අන්ධ වූ අයට ඇතිවේ. එවිට නිරවුල් ජීවිතයක් ගොඩනැඟීමට අපහසුය. මෝහය මහත් වූ අඳුරක් බඳුය. මෝහය නැති කළ හැක්කේ ප්‍රඥාව තුළිනි. ප්‍රඥාව තුළින් ඇත්ත ඇතිසැටියෙන් දැකීමට පුළුවන. පටිච්ච සමුප්පාදයෙහි දැක්වෙන්නේ “අවිජ්ජා පච්චයා සංඛාරා’’ ආදී වශයෙන් නොදැනීම තුළින් සියල්ල ඇතිවන ආකාරයයි.

සත්වයා සසර සැරි සරන්නේ අවිද්‍යාව නිසා බව ඉන් කියවේ. බෝසතාණන් වහන්සේ එම අවිද්‍යාව නමැති සැඩ පහරින් එතෙර වීමට ප්‍රඥාව නමැති ඔරුව භාවිත කළහ. උන්වහන්සේ එම ප්‍රඥාව දියුණු කොට ලෝකය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දැකගැනීමේ අසමසම ප්‍රඥාව උදාකර ගත්හ.

එසේනම් සිත නිරන්තයෙන් අපිරිසුදු කරන ලෝභය, දේවේෂය මෝහය යන අකුසල මූලයන් හැඳිනගෙන ඒවා යටපත් කිරීමටත්, එසේම ඒවා සහමුලින් නැතිකරන මාර්ගයහි ගමන් කිරීමටත් අප උත්සාහවත් විය යුතුය.
ඒ මාර්ගයෙහි අප නිවැරැදිව ගමන් කරන්නේ නම් අපගේ සිත නිරතුරුවම නිරවුල්ව පවතින ඇත. සිතෙහි පිරිසුදු බව, එකඟබව රැඳෙනු ඇත. එදිනෙදා ගතකරන ලෞකික ජීවිතයද සුවපහසු හා සැනසිලිදායක වනු ඇත.


බුදු සරණ පත්‍රයේ පළවූ ලිපියකි. 
කොබෙයිගනේ, පුබ්බිලිය 
ශ්‍රී‍්‍ර සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලේවෙල, පුවක්පිටිය
ශ්‍රී බෝධිරාජාරාමයේ
ගලගෙදර රතන වංස හිමි