Thursday, October 18, 2012

“ආරෝග්‍යා පරමා ලාභා – නිබ්බානං පරමං සුඛං”


“ආරෝග්‍යා පරමා ලාභා – නිබ්බානං පරමං සුඛං” මේ තියෙන්නේ බුදුපියාණන් වහන්සේ ප‍්‍රකාශ කළ උදාන වාක්‍යයක්. මෙය ඇසූ මාගන්දිය නම් බමුණා “භවත් ගෞතමයන් වහන්ස, මා විසින්ද ආචාර්ය ප‍්‍රාචාර්ය වූ පූර්ව පරිබ‍්‍රාජකයන් කියන මේ බස අසා ඇත්තේය. ඒ බසත් මේ බසත් දෙබසම සමානය” යනුවෙන් උත්තර දුන්නා. ත‍්‍රීවේදය දැනගෙන හිටි, භාෂා නිරුක්ති සහිත අක්‍ෂර ප‍්‍රභේද පද පාඨ හා ව්‍යාකරණ විධිවලින් දැනීම තිබුණු මාගන්දිය බමුණාට මේ ගාථාවේ නියම ශාසනික අර්ථය ලබන්නට ඒ භාෂා විධික‍්‍රමවලින් පිටිවහලක් ලැබී තිබුණේද යන්න ඔහු ඊළඟට බුදුපියාණන් වහන්සේ ඇසූ ප‍්‍රශ්නයට දුන් පිළිතුරෙන් පැහැදිලි වෙනවා.


“ආරෝග්‍යා පරමා ලාභා – නිබ්බානං පරමං සුඛං” ලාභයෝ ආරෝග්‍යය පරමකොට ඇත්තාහ. සුවය නිවන පරම කොට ඇත්තාහ. මාගන්දිය බමුණා දැනගෙන සිටි භාෂා නිරුක්ති සහිත අක්‍ෂර ප‍්‍රභේද හා පද පාඨ සහිත ව්‍යාකරණ විධිවලින් තේරුම් ගත්තේ මෙපමණයි. දැන් බුදු පියාණන් වහන්සේ බමුණාගෙන් මෙහෙම අහනවා.
“බමුණ ඒ ආරෝග්‍යය කවරේද? ඒ නිවන කවරේද?” මාගන්දිය බමුණා තම සිරුරු අවයව අත්ලෙන් පිරිමදිමින් ‘‘භවත් ගෞතමයෙනි, මේ ආරෝග්‍යයයි, මේ නිවනයි, මම ආරෝග්‍ය වෙමි, සුවපත් වෙමි’’ යි තම ශරීරය පෙන්වා ලෙඩ නැති බව කියමින් සතුටු වුනා. ඔහුගේ භාෂා දැනුමෙන් මේ සම්මතය ඉක්මවා ඉන් වැඩි යමක් දැනගන්න නොහැකි වුනා.
දැන් ඉතින් මේ කාලයේත් ආරෝග්‍ය ශාලාවල, ලේ දන්දීමේ ස්ථානවල, නොයෙකුත් ඖෂධ වර්ග විකුණන ස්ථානවල “ආරෝග්‍යා පරමා ලාභා” කියා දැන්වීම් පුවරු සටහන් කර ඇති ආකාරය දකින්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ මාගන්දි බමුණාට දුන් ඊළඟ පිළිතුර දැනගන්න පෙර මේ ගැන විමර්ශනය කර බැලිය යුතුයි.
පද ටික දැනගත්තට, ගලපන්න හැකි වුනාට, අක්‍ෂර ප‍්‍රභේද භාෂා නිරුක්තිවලට අනුව ලියාගෙන විමසුවාට, අදහස වැරදි නම් බුද්ධ දේශනාවට අනුකූල නැති බව තේරුම් ගත යුතුයි. බුද්ධ දේශනාවට ගැලපීම බලන්න ඉහත කී වේදක‍්‍රමවලින් බෑ. සතර මහාපදේශ ක‍්‍රමය අනුව ධර්මයට බහා බැලිය යුතුයි, විනයට සසඳා බැලිය යුතුයි, සූත‍්‍රයට බහා බැලිය යුතුයි. මෙතනදී සමහර සූත‍්‍ර, ත‍්‍රිපිටක ග‍්‍රන්ථවල ඇතුලත් වී නැති බවත්, ඒ ඒ කාණ්ඩවල ගැබ් වී ඇති සූත‍්‍ර ගණන කියා තිබුණත් ඒ සියල්ලම එසේ නැති බවත් ත‍්‍රිපිටක සංස්කාරක මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා එම ත‍්‍රිපිටක පොත්වල සංඥාපනයේම පෙන්වා තියෙනවා. යම් හෙයකින් මේ සූත‍්‍ර කොටසත් එසේ ප‍්‍රමාද දෝෂයකින් හෝ සටහන් කරන්න නොහැකි වී පාරම්පරිකව ගෙනා කොටසක තිබී හමුවුනා නම් ඒක විනිශ්චය කරගන්නේ කොහොමද?
මොකද අද බොහෝ කොටම හිතන් ඉන්නේ යමක් සූත‍්‍ර පිටකයේ තිබේද, විනය පිටකයේ තිබේද, ඊට සමාන දේශනාවක්ද කියා සසඳා බැලිය යුතුය යන්නයි, බහා බැලිය යුතුය යන්නයි. නමුත් බහා බැලිය යුතු සූත‍්‍රයත්, ධර්මයත්, සසඳා බැලිය යුතු විනයත්, නෙත්ති ප‍්‍රකරණයේ පැහැදිලිව තේරුම්ගන්න පුළුවන් විදියට පෙන්වා තියෙනවා.
‘‘බහා බැලිය යුතු සූත‍්‍රය නම් චතුරාර්ය සත්‍යයයි, ධර්මය නම් පටිච්ච සමුප්පාදයයි, සැසඳිය යුතු විනය නම් රාග විනය – ද්වේශ විනය – මෝහ විනයයි. (නෙත්තිප්ප‍්‍රකරණය – 39 පිටුව – යුක්ති හාර විභංගය)
කයේ ලෙඩ නැතිකම සිහිකර යමෙක් ලාභයක් ලැබී ඇතැයි සතුටු වන්නේ නම් ඒ සතුට තියෙන්නේ ලෙඩ උරුමයක් වූ කයට ලොකු අසනීපයක්, රෝගයක් නොවනතුරු පමණයි. නමුත් කය කියන්නේ නොයෙක් දුක් දාහයන්ට නිරන්තරයෙන්ම ගොදුරු වෙමින් ගොස් වැහැරී මැරී යන කුණු ගොඩක්. එබඳු කයක පංචකාම ආස්වාද මාත‍්‍රයන්ට වහල්වෙලා ලබන්නේ මුලා සහගත සතුටක්. දුක් කඳක් මහා ලාභයක් ලැබුණු ලෙස ගත්, දුකෙහි සැප යැයි ගත්, එසේම අසුබයෙහි සුභ යයි ගත් විපරීත දෘෂ්ඨියක්. එම මුලාවෙන් නැගෙන ඡන්ද රාගය උපාදානයයි. උපාදානයෙන් භවය වෙනවා. භව තියෙන කල් ජාති වෙනවා. එවිට ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී මහා දුක් කඳම උදා වෙනවා. ඡන්ද රාගයෙන් හිතන විට, කියන විට, කරන විට රාග වර්ධනය වෙනවා මිසක් විනය වෙන්නෙ නෑ. ඇලූම් කළ තරමටම විරුද්ධ දේවල් එන විට ගැටීම වෙනවා මිසක් ද්වේශ විනය වෙන්නෙ නෑ. මුලා අදහසක් නිසා මෝහය වෙනවා මිසක් මෝහ විනය වෙන්නෙ නෑ. එබැවින් කයේ නිරෝගී බව කෙරෙහි මුලා ආස්වාදය චතුරාර්ය සත්‍යාවබෝධයට බහා හිටින්නේ නෑ. පටිච්ච සමුප්පාද නිරෝධ ධර්මයට බහා හිටින්නෙ නෑ. රාග විනයට, ද්වේශ විනයට, මෝහ විනයට සැසඳෙන්නෙ නෑ. එසේනම් මේ අදහස බුද්ධ භාසිතයට අනුකූල නෑ.
දැන් මේ පද පෙළම බුද්ධ භාසිතයක් වන්නේ කොහොමද කියන කාරණය බුදුපියාණන් වහන්සේ විසින් මාගන්දිය බමුණාට කරුණු කාරණා සහිතව පහදා දුන්නා. “මාගන්දිය, මේ ගාථාව පෙර විසූ කාශ්‍යප නම් සම්මා සම්බුදුවරයන් වහන්සේ දේශනා කළ ගාථාවක්. කාලයාගේ ඇවෑමෙන් එහි යථාර්ථය යටපත් වී අනුක‍්‍රමයෙන් පෘථජ්ජන ගත වී ඇත. මාගන්දිය, මේ කය වූ කලී රෝගයක් වැනි වූයේ, ගන්ඩයක් වැනි වූයේ, ශල්‍යයක් වැනි වූයේ, දුක්ඛයක් වැනි වූයේ, ආබාධයක් වැනි වූයේ වෙයි. එබඳු වූ මේ කය ගෙන තෙපි, මේ ඒ ආරෝග්‍යයයි, මේ ඒ නිර්වානයයි කියති. මාගන්දිය, තෙපි යම් ආර්ය වූ ඇසකින් ආරෝග්‍යය දන්නෙහි නම්, නිර්වානය දන්නෙහි නම් තොපට ඒ ආර්ය වූ ඇස නැතැ” යි වදාළා.
මෙතනදී  වටිනා  දහමක් හෙලිවෙනවා. ආර්ය ඇසකින් දැකිය යුතු දහම් අර්ථ ලෞකික ක‍්‍රමවේදවල පිහිටා දකින්න බැරි බව වටහා ගත යුතුයි. ආරෝග්‍යය – නිරෝගී බව යන වචන කුමන භාෂා නිරුක්තියකින්, පද පෙළකින් කීවත් ආර්ය වූ දහම් ඇසින් දකින අදහස එම දහම් ඇස පහළවූවන්ටම මිසක් පෘථජ්ජන මනසකින් දකින්න නොහැකිම ය.

මෙය ඇසූ මාගන්දි බමුණා බුදුපියාණන් වහන්සේගෙන් ආරෝග්‍යය සහ නිවන දේශනා කරන ලෙස ඉල්ලා සිටියා. 
මෙහිදී උන්වහන්සේ නැවත උපමාවක් දේශනා කළා. ඇස් අන්ධ පුද්ගලයෙකුට තම නෑසියන් අක්‍ෂි ශෛල්‍ය වෛද්‍යවරයෙක් ගෙන්වා බෙහෙත් කරද්දී ඒ ඇස් පෙනීම නොඒ නම්, විශුද්ධ නොවේ නම් ඒ වෛද්‍යවරයා ඒ තාක් පීඩාවට වෙහෙසට පත්වන්නා සේ, දහම් ඇස් නැති මාගන්දියට ආරෝග්‍යයත් නිවනත් දේශනා කරන  විට  නොවැටහේ  නම්, උන්වහන්සේට පීඩාවක්ම වෙහෙසක්ම වන බවයි ඒ දේශනාව. මෙසේ අදත් දහම් දකින හැටි, දහම් ඇස ලැබූ අය ප‍්‍රකාශ කළත්, තේරුම් ගත නොහැකි පිරිස් ඒවා හාස්‍යයට, විහිලූවට ලක් කරනවා.
බුදුපියාණන් වහන්සේ මාගන්දිය බමුණාට තවත් උපමාවක් ගෙන මෙසේ දහම් දේශනා කළා. 
ඇස් අන්ධ මිනිසෙකුට, සුදු වස්ත‍්‍රය පහන්ය, අභිරූපය (කැපී පෙනෙන රූප ලක්‍ෂණ) නිර්මලය, ශුද්ධ යැයි ඔහුගේ හිතවතෙකු කියනු ඇසෙන්නේ ය. එක්තරා පුරුෂයෙක් එම අන්ධයාට, හිතවත මේ සුදු පිරිසිදු අභිරූප නිර්මල වස්ත‍්‍රය පොරවා ගන්නැයි තෙල් දැලි වැකුණු කලූ ගොමස්කඩ රෙද්දක් දෙන්නේය. නොපෙනීම නිසා ඒ සුදු පිරිසිදු නිර්මල රෙද්දකැයි සිතා ඔහු එය පොරවා ගන්නේය. අන්ධ මිනිසාගේ නෑදෑයෝ ශල්‍ය වෛද්‍යවරයකු ගෙන්වා ඔහුට බෙහෙත් කර  ඇස් පෙනීම ලබා දුන්නොත් ඒ පෙනීමත් සමගම ඔහුගේ වස්ත‍්‍රයේ නියම තතු පෙනෙන්නට වන්නේය. එවිට එම වස්ත‍්‍රය කෙරෙහිත් එය දුන් පුරුෂයා කෙරෙහිත් තිබූ ඡුන්ද රාගය පහවන්නේය. වස්ත‍්‍රය දුන් පුද්ගලයා සතුරෙකු ලෙසත් පෙනෙන්නේය. තමා මෙතෙක්  කල්  රවටන  ලදැයි වැටහෙන්නේය.
මෙසේ මේ කය ලෙඩක් ලෙස, ගඩක් ලෙස, හුලක් ලෙස, දුකක් ලෙස යථා නුවණට   වැටහුණුදාට   පංච උපාදානස්කන්ධයෙහි යම් ඡන්ද රාගයක් වී නම් එය පහ වන්නේය. වේදනාවෙහි, සංඥාවෙහි, සංඛාරයෙහි, විඤ්ඤාණයෙහි යම් ඡන්ද රාගයක් වී නම් එය පහවන්නේය. ඒ ඡන්ද රාග නිරෝධය නිසා උපාදාන නිරෝධ වන්නේය. එවිට භව නිරෝධ වන්නේය. එවිට ජාති නිරෝධ වන්නේය. එයින් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස නිරෝධ වන්නේය. මෙයයි ආරෝග්‍යය, මෙයයි නිවන කියා තමාම දැන ගන්නේය.
මේ ඇසු මාගන්දි බමුණාට දහම් ඇස පහළ වුනා. සාසනයෙහි පැවිදි වී බ‍්‍රහ්ම චර්යාව පූර්ණ කර අරිහත්වයටත් පත්වුනා. 
අද ඉන්න පින්වතුන් ද මේ දහම ආදර්ශයට ගනිත්වා!
තෙරුවන් සරණයි !
වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණු දහම් කරුණු ඇසුරින් 

Wednesday, October 17, 2012

මිථ්‍යා මතවලට මුළා නොවී පිවිතුරු දහම අගයමු



සම්බුද්ධත්ව ජයන්තිය ඉහලින් සැමරූ මෙකල බුදු දහමෙහි විශාල පිබිදීමක් ප්‍රබෝධයක් දක්නට තිබෙනවා. බුදු දහම උද්දීපනය වී සමාජයේ ඉහළට නැඟ එනවා.

ධර්මය මෙසේ දීප්තිමත්ව බබළන විට ධර්මය උපයෝගී කරගෙන එමඟින් වාසි ලබා ගැනීමට විවිධ කණ්ඩායම් බිහිවීම සෑම කල්හිම සිදුවන දෙයක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත් මෙවන් තත්ත්වයක් දක්නට තිබුණා. අදත් ඒ තත්ත්වය වෙනසක් නැහැ.

බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ රහතන් වහන්සේට ජනතාවගේ ඉමහත් ගෞරවයක් භක්තියක් තිබුණා. එමෙන්ම ජනතාව වැඩි වශයෙන් සැලකිලි කරනු ලැබුවා. රහතන් වහන්සේට ජනතාව දක්වන ලද මේ සැලකිල්ල ගැන අවධානය යොමු කරපු ඇතැම් භික්ෂු කණ්ඩායම් ජනතාව එන මඟ රැක ගෙන සිටියා.
එම කණ්ඩායමේ එක් භික්‍ෂූන් වහන්සේ නමකට ‘ඔබ වහන්සේ අර ගස යට අසුන්ගෙන භාවනා කරන්නැ’යි දැනුම් දෙනවා. සෙසු භික්ෂූන් පිරිස මඟ රැක සිටිනවා.

ජනතාව දානය රැගෙන පැමිණෙන විට භාවනා කරනු ලබන භික්‍ෂූන් වහන්සේ පෙන්වා ‘අර භික්ෂූන් වහන්සේ රහත් වෙලා’ යැයි පවසනවා. උන්වහන්සේ බොහොම හොඳ රහතන් වහන්සේ නමක්, උන්වහන්සේට දානය ලබා දීමෙන් මහත් වූ පින් සිදුවෙනවා.

ජනතාව තමන් වෙත රැගෙන එන දානය පුද පූජා ගස යට භාවනා කරනු ලබන භික්ෂූන් වහන්සේට පූජා කරනවා. ඒ රහතන් වහන්සේට ඇති ගෞරවය නිසයි.
දානය පිළිගැන්වූ ජනතාව බැහැර වූ පසු සියලු භික්ෂූන් එක් වී ආහාර වළඳනු ලැබුවා. මෙවැනි ක්‍රියාකාරකම් එදා මෙන්ම අදත් සිදුවෙනවා.

මේ තත්ත්වය මත අද බොහෝ ගිහි පිරිස් මංමුළාවූ ස්වරූපයක් දක්නට තිබෙනවා. ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් කසාවත පොරවාගත් හෝ සුදුවත ඇඳගත් අය තමන්ට සිතෙන අයුරින් බුදුදහමට විවිධ කොටස් එකතු කර ඇතැම් විට බුදු දහම විකෘති කරනවා.

මෙය නොදන්නා ගිහි පිරිස් ඒ අය වෙත ඇදෙනවා. මේ සියලු දෙනා පිටතින් පෙනෙන්නට සිල්වත් බව පෙන්වමින් තමන්ට සිතෙන දේ බුදු බණ යැයි කියමින් ජනතාවට විකෘති වු කරුණු පවසන අයයි. ඔවුන් අත පය වෙහෙසා වැඩ කිරීමට අකැමැති අයයි. ශීල ධර්මයත් ගුණදහම් දැඩි වෙහෙසක් දරමින් වඩන ලද භික්ෂූන් විසින් ඇති කර ගන්නා ලද තත්ත්වයන්ට කිසිදු වෙහෙසක් නොදරා ජනතාව මුළා කරමින් ව්‍යාජ ලෙසින් ළංවීමට දරණ එවන් ගිහි පැවිදි පිරිස් දක්නට සිටිනවා.

එසේම මෙරට ජනතාවගෙන් කොටසක් මාර්ගඵල ලාභීන්ට දැඩි ඇල්මක් දක්වනවා.මේ නිසා ඇතැම් අය තමන් සෝවාන්ලාභී සකෘදාගාමී ආදි වශයෙන් අන්‍යයන්ට කරුණු දක්වනවා. මේ කරුණු දිහා අප බැලිය යුත්තේ උපේක්‍ෂාවෙන් . බුදු දහම උපේක්‍ෂාව ,අහිංසාව පදනම් කරගත් දර්ශනයක්. බුදු දහමේ හිංසකත්වයට කිසිඳු තැනක් ලබා දී නැහැ. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයෙන්ම අපට මේ සඳහා උදාහරණ ලබා ගන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ සමඟම ජේතවනාරාමයේ වැඩ විසු දේවදත්ත භික්ෂුව, සත්තරස භික්ෂූන් ජබ්බග්ගිය භික්ෂූන් එකල වැඩ සිටියා.

එමෙන්ම වජ්ජිපුත්තක භික්‍ෂූන්ගේ මූලයත් එකල දක්නට ලැබුණා. දේවදත්ත හිමියන්ගේ අනුගාමිකයන් වෙනමම හිටියා. සුභද්‍ර වැනි භික්‍ෂූන් දෙස බැලූ විට අපට පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේගේ සසුන තුළම එවන් අඩුපාඩුකම් සහිත භික්‍ෂූන් වහන්සේ වැඩ සිටින බවයි. සුභද්‍ර භික්ෂුවට නොබියව එම වදන් ගෙනහැර දක්වන්නට තරම් ශක්තියක් තිබීමෙන් පෙනෙන්නේ සුභද්‍ර වැනි භික්ෂූන්ට සමාන අදහස් ඇති භික්‍ෂූන් එකල වැඩ සිටි බවයි. බුදු දහමට විරුද්ධව වැඩ සිටි පිරිස් එදා සිටි නිසයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තෙමසක් ඉක්ම යාමටත් පෙර ධර්ම සංගායනාවක් පැවැත්වීමට කටයුතු කෙළේ.

මේ නිසා ධර්මයේ නාමයෙන් ගොඩ නැඟී එන ඇතැම් ආගමික කණ්ඩායම් පොතපත, අසපු, බුදුවරු, රහතන් වහන්සේ දෙස අප උපේක්‍ෂාවෙන් බැලිය යුතු වෙනවා. ඔවුන් සැබෑ දහම වෙනුවට මිථ්‍යාදෘෂ්ටිය වැළැඳගෙන අකුසල් පුරවා ගන්නා බව දැක අප ඔවුන් කෙරෙහි උපේක්ෂාව පැතිර විය යුතු වෙනවා. ඔවුන් මෙතරම් ගුණ දහම් පිරුණු බුදු දහම වෙනුවට හරසුන් දේ වැළැඳ ගන්නා ඔවුන් කෙරෙහි අප සංවේගජනක විය යුතුවෙනවා.
බුද්ධ දේශනාවෙන්ම හඳුන්වා දෙනවා නම් සර්පයා ඔලුවෙන් අල්ලනවා වෙනුවට වලිගයෙන් ඇල්ලීමට ඇතැමුන් පෙළඹෙනවා.

බුදුරජාණන් වහන්සේ අලගප්පදුම සූත්‍රය දේශනා කරන්නේ ‘මාගේ ධර්මය සර්පයෙක් හා සමානයි. ඒ සර්පයා ඇල්ලිය යුත්තේ ඔලුවෙන් පමණයි. ඔලුවෙන් ඇල්ලූ කල සර්පයාට වෙලා ගැනීමට හැකියාව තිබුණත් දෂ්ට කිරීමට බැහැ. ‘ධර්මය වැරැදි විදිහට අල්ලා ගැනීම ග්‍රහණය කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් අද අප අතර දක්නට තිබෙනවා.
මේ නිසා ශ්‍රාවකයා අවදියෙන් සිටීම මෙහිලා වැදගත් වෙනවා. අපේ ජනවහරේ ඇති ‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය’ යන්න සේම ‘ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහිබුද්ධියෙන් කියවිය යුතුයි ‘යන්න ගැනද අප අවබෝධයෙන් සිටිය යුතුවෙනවා.

අප සමාජයේ බුදු දහමට පමණක් නොව ඕනෑම කරුණක් උදෙසා විවිධ මත තිබෙන්නට පුළුවන්. එහෙත් සරු දේ මෙන්ම නිවැරැදි දේ තේරුම් බේරුම් කර ගන්නට අප බුද්ධිමත් විය යුතුවනවා.

කොළඹ සිට කතරගමට යා හැකි මාර්ග කිහිපයක් තිබෙන්නට පුළුවන්. නමුත් පහසුවෙන් ඉක්මනින් යා හැකි මාර්ගය නිවැරැදිව තෝරා ගැනීමට අපට පුළුවන් විය යුතුය. එම නිසා දේශකයන්, ලේඛකයන් විවේචනය කරනවාට වඩා තල්ගෙඩියට බියවී (සිංහයා හැර) සෙසු සත්ත්වයන් දිව ගියා සේ නොකර බුදුදහමින් අපට උගන්වා ඇති පරිදි 
අපගේ ඥානය භාවිතා කළ යුතුවනවා.

අප සම්මා දිට්ඨි සම්මා සංකප්ප යන්න සොයා යා යුතුයි.

අපේ තරුණ දු පුතුන්ට මේ අසපු, බුදුවරු, ආදින් ගැන විවිධ ගැටලු මතු වන්නට පුළුවන්.මේ බුදුවරු රහතන් වහන්සේලා යැයි කියන අයගේ මතය කුමක්ද? ඔවුන් වටා ජනතාව එක් රොක් වී සිටින්නේ ඇයිද යන ප්‍රශ්න මතුවනවා ඇති. ඒ සඳහා මෙරට සංඝ සංස්ථාව එක්කර සංඝාධිකරණයක් ඇති කළ යුතුවනවා.

ස්වාමීන් වහන්සේලාගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් ඒ සම්බන්ධව නිසි පියවර ගත යුතුවෙනවා. එමෙන්ම බෞද්ධ පොත පත මුද්‍රණය කිරීමට පෙර ඒ සම්බන්ධව අධීක්‍ෂණය කළ යුතු තැනක් නොමැති වීම නිසා අද බෞද්ධාගමට නිගාදෙන පොත පත බිහිවෙලා. මේ නිසා බෞද්ධ පොත පත මුද්‍රණයට පෙර ඊට අනුමැතියද ලබාදෙන ආයතනයක් තිබිය යුතු වනවා. එම ආයතනයෙන් කඩිනමින් එම පොත පත සම්බන්ධව නිර්දේශයක් ලබා දිය යුතුවෙනවා.
එසේ නොමැතිව අප මිථ්‍යා මත දරන තැනැත්තන් සමඟ කලහයට ගියහොත් ගැටලු විසඳීම වෙනුවට ගැටුම් ඇතිවීමක් පමණයි සිදුවන්නේ.

තෙරුවන් සරණයි !
බුදුසරණ පත්‍රයේ පළවූ ලිපියක් ඇසුරිනි. 

දුක දුරු කරන්න නම්..



දිනක් පංචකංගික නම් වඩුකාර්මිකයා සැවැත් නුවර වැඩ සිටි බුදුරදුන් බැහැදැකීම සඳහා තම නිවසින් පිටත් වුණා. ටික දුරක් යන විට ඔහු කල්පනා කළා. අනේ මේ වෙලාවේ බුද්ධ ප්‍රමුඛ සඟරුවන විවේක සුවයෙන් පසුවන අවස්ථාව. දැන්මම එහි නොයා යුතුයි. තව ටිකකින් උන්වහන්සේලා හමු වෙනවා කියල. ඉන් පසු එතුමන් ඒ අසල තිබූ සමණමණ්ඩික පුත්ත පරිබ්‍රාජික සිටින අසපුවට ගමන් කළා.

සමණමණ්ඩික පුත්ත පරිබ්‍රාජික තුමා බෞද්ධයෙක් නොවෙයි. ඔහු පිළිබඳ මේ සූත්‍රයේ සඳහන් වන්නේ “සමයවාදක” යන විශේෂ පදයෙන්. මන්ද? ඔහු විවිධ දෘෂ්ටීන් හා සම්බන්ධ පුද්ගලයෙක්. විවිධ මත වාදින් කැඳවා ස්වකීය අදහස ප්‍රකාශ කරන්නෙක්. මේ වඩුකාර්මිකයාගේ පැමිණීමත් එබඳුම එකක්. සූත්‍රයේ සඳහන් හැටියට උස් හඩින් මහ සද්ධ නැගෙන පරිදි තිරස්චීන කථා වලින් යුක්තව සිටිය බව පැහැදිලිය.

සම්බුදු සව්වෙක් ඈතින් එනු දුටු සමණමණ්ඩික තම පිරිස නිහඬ කළා.ඇයි මේ? ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක පිරිස නිහඬ බව අගයතියි ඔහු හොඳින් දැන සිටි නිසා. සුදුසු පරිදි අසුන් ගත් මේ දෙදෙනා අතර කථාව ආරම්භ වුණා. ඉතා සතුටින් සතුටුවිය හැකි කරුණු සාකච්ඡා වුණා. ඉන් පසු සමණමණ්ඩික “ මම මේ ලෝකයෙහි කයින් පව් කම් නොකිරීම. වචනය වැරදි ලෙස නොයෙදීම, සිතිවිලි වැරැදියට යොමු නොකිරීම ලාමක පහත් ජීවිකා වෘත්තීන් හි නොයෙදෙන පුද්ගලයන් සිව් දෙනා වාද නොකිරීමට යෝග්‍ය උතුම් පුද්ගලයන් යැයි පිළිගන්නා බව ප්‍රකාශ කළා. ඔහුගේ අදහස හොඳින් ශ්‍රවණය කළ, පංචතංගික එම අදහස එපරිද්දෙන්ම පිළිගත්තේ නැහැ. නිවැරැදි ස්ථීර පිළිතුරක් දුන්නේත් නෑ. නමුත් ප්‍රතික්‍ෂේප කළෙතේ නෑ. බුදුරදුන්ගෙන් විමසා දැනගත යුතුයැයි අදහස් කර උන්වහන්සේ හමුවට ගියා.

බුදුන් වැඳ අවසර ගත් එතුමන් සමණමණ්ඩික හමුවූ පුවතක් ඔහුගේ අදහසුත් ප්‍රකාශ කළා. ඒ කථාව ඇසු බුදුපියාණෝ “ඒවං සත්තේ ඛො ථන්ති දහරො කුමාරො, උත්තාන සෙය්‍යකො සම්පන්න කුසලෝ භවිස්සති. පරම කුසලෝ උත්තම පත්ති පත්තෝ සමණො අසාජ්ඣෝ “ යනුවෙන් දේශනා කළා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමණමණ්ඩික කියන විදිහට යමෙක් හොඳ සිතිවිලි වලින් යුක්ත වූ තරමට නිවැරැදි දිවිපෙවෙතක් ගත කළ පමණට හොඳ හැසිරීම් වලින් යුක්ත වූ තරමට ඔහු උතුම් පුද්ගලයකු වන්නේ නම් එහි ගෞරවය ශ්‍රේෂ්ඨත්වය හිමිවිය යුත්තේ “ දහරො කුමාරො” ඉතාම කුඩා ළදරුවෙකුට බව . ඇයි ඒ, ළදරුවන්ට තමා හා ලෝකය පිළිබඳ බැඳුනු ආශාවක් නෑ. හොඳ නරක කල්පනා වෙන්නේ නෑ. කයින් වදනින් මනසින් සිදුවන නරකක් නපුරක් වරදක් නෑ. එබැවින් ඔය සතර කරුණූ සම්පූර්ණ කළ පමණින් කෙනෙකු උත්තම කුසලය ඇති පිරිපුන් කුසල් ඇති කෙනෙකු ලෙස මා සළකන්නේ නෑ කියල.

විශේෂයෙන් උන්වහන්ස් ප්‍රධාන කරුණු හතරක් තේමා කරගෙන ඒ හා බැඳුනු කාරණා 10 ක් මෙහිදී පැහැදිලි කළා .

අකුසල සීලය, කුසල සීලය, තමා පිළිබඳ අකුසල ඇතිවන්නේ කෙසේදැයි හඳුනා ගන්න. එහි සරාගී බව වටහා ගන්න. අනතුරුව ඒවා නිරුද්ධ කිරීමට දුරු කිරීමට ක්‍රියාත්මක වන්නැයි දේශනා කරනවා. කුසල සීලය පිළිබඳවත් එසේමයි. කුසලය පින පිළිබඳ හොඳින් අවබෝධ කරගන්නට ඕනෑ. අනතුරුව රාග දෝස,, මෝහාදි කෙලෙස් මුල් දුරුවනබව තේරුම්ගෙන වඩ වඩාත් කුසල් රැස් කරන්නට උත්සාහ වන්ත. වෙන්නටම ඕනෑ. අකුසල සංකල්ප බැහැර කිරීම හා කුසල සංකල්ප ඇතිකර ගැනීම කෙරෙහිද අවධානය යොමුවිය යුතු බව මින් පැහැදිලි වෙනවා.

එමෙන්ම අපේ සිත, කය වදන යන තිදොර මුල්වීමෙන් උපදින ප්‍රාණඝාත අදත්තාදාන, කාමමිච්ඡාචාර මුසාවාද පිසුනාවාච පරුෂාවාච , සම්පප්ප්‍රලාප අභිධ්‍යා ව්‍යාපාද මිත්‍යාදෘෂ්ටි යන අකුසල් දුරුකර ගන්න පුරුදු පුහුණු වෙන්න ඕන. දස කුසල් දහම්හි යෙදෙන්නේ වැරැදි ජීවන වෘත්තීන් අතහැර දමන්න ජීවිතය අර්ථවත් මඟකට යොමු කරගන්නට උත්සාහ වීමයි. මෙහිදී වැදගත් වෙන්නේ. 

මෙහෙම ඉතා සාර්ථක අර්ථවත් ධර්ම දේශනාවක් කළ සම්මා සම්බුදු පියාණෝ අවසාන වශයෙන් පැහැදිලි කරනවා සසර සයුරින් අපමණ දුකින් මිදි ශාන්ත නිවීම අත් කරනු පිණිස යහපත් දැක්මක යහපත් කල්පනාවක වචනයක ක්‍රියාවක පැවැත්මක උත්සාහයක අවශ්‍යතාවය.

මෙහිදී උන්වහන්සේ පැහැදිලි කරන්නේ කුමක්ද? අවබෝධයෙන් යුතුව වරදින් වැළකී නිවැරදි මාවතක ගමන් කරන්නා පිරුණු කුසල් ඇති උසස් පුද්ගලයකු වන බවයි. අපද තිදොර නිවැරැදි මඟ යොමුකර මනා අවබෝධයෙන් යුතුව ක්‍රියා කරන්නට උත්සාහ ගනිමු. එවිට සියලු දුක් දුරුකර උතුම් නිවන් සුව සාක්ක්‍ෂාත් කරගත හැකි වනු ඇති.

බුදුසරණ පත්‍රයේ පළවූ ලිපියක් ඇසුරිනි. 
සැමට තෙරුවන් සරණයි.

Saturday, October 13, 2012

පොහොය දොළහේ වැදගත්කම

පොහෝ දිනයන් නියම කරගෙන තිබුණේ බුදුහාමුදුරුවො ලොව පහළ වෙන්නටත් පෙර සිටයි. එකළ මෙකළ මෙන් දින දර්ශන ලිත් සුලභව තිබුණේ නැහැ. ඔවුන් තමන්ගේ ආගමික දිනයන් වෙන්කර ගත්තේ අහසේ සඳ දිහා බලලා.බුද්ධ චරිතයටත්, බුද්ධ ධර්මයටත් වැදගත්වෙන විශේෂ සිදුවීම් රැසක්ම පසළොස්වක පොහෝ දිනයන් හිදී සිදුවී ඇති බව දුවල පුතාලා දන්නවා. ඒ ඒ දිනයන්හි දී සිදුවී තිබෙන වැදගත්ම සිදුවීම් මොනවාදැයි දැනගැනීම ඔයාලට ප‍්‍රයෝජනවත් වෙනවා. අද අපි ඒ පිළිබඳව විමසා බලමු.

බුදුහාමුදුරුවෝ පහළ වන විට අත්‍ය තාපසවරු පොහොය දින ආගමික දිනයක් හැටියට යොදාගෙන තිබුණා. අමාවක, අටවක, අව අටවක, පසළොස්වක කියලා සතර පෝයක් නියම කරගෙන ඒ දිනවල ආගමික කටයුතුවල නියැලුණා.දවසක් බිම්බිසාර රජතුමා බුදුහාමුදුරුවෝ හමුවට ගිහිල්ලා සතර පෝය බෞද්ධයින්ට ආගමික දිනයක් ලෙස යොදාගැනීම පිළිබඳ යෝජනා කළා. කාගේ වුණත් හොඳ යෝජනා වලට ගරු කිරීම බුදුහාමුදුරුවන්ගේ උතුම් සිරිතක්. ඒ අනුව තමයි පෝය දවස බෞද්ධයන්ගේ ඉතා වැදගත් දිනයක් හැටියට සළකන්න වුණේ.

සතර පෝයඑදා මෙදා සිට බෞද්ධයෝ පෝය සතරටම නැති වුණත් පසළොස්වක පෝයදාට පන්සල් යෑම, මල් පහන් පූජා කිරීම, බණ ඇසීම, සිල් සමාදන්වීම, සිරිතක් කොටගෙන තියෙනවා.පොහොය දිනය වැදගත් සුවිශේෂී දිනයක් බවට හේතු සාධක බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියෙනවා. ශක‍්‍ර ආදී දෙවියන් පවා පොහොය දිනයන් හි මිනිස් ලොවට පැමිණ මිනිසුන් පින් කරන හැටි බලා පී‍්‍රති වී මිනිසුන්ට ආශීර්වාදය කරන බවත් සඳහන් වෙනවා. ඒ නිසා පොහෝ දිනවල පින්කම් සිදුකිරීමෙන් පින් රැස් කරගන්නවා මෙන්ම දෙවියන්ගේ ආශීීර්වාදයත් ලබාගන්නා ක‍්‍රමයක් බවත් සැලකෙනවා.දැන් අපි දොළොස් පෝය වැදගත් වීමට හේතු මොනවා දැයි විමසා බලමු.

දුරුතු
දුරුතු පොහොයජනවාරි මස යනුවෙනුත් දුරුතු මස හඳුන්වනවා. බුදුහාමුදුරුවෝ ප‍්‍රථම වතාවට ලංකාවට වැඩම කළේ මහියංගනයටය. ඒ බුද්ධත්වයෙන් නවවෙනි මාසයේ දුරුතු පුර පසළොස්වක් පෝදා බුදුන්වහන්සේගේ පැමිණීම ගැන කිපුණු ලංකාවේ සිටි යක්‍ෂ හා නාග ගෝති‍්‍රක අය පැමිණ උන්වහන්සේ සමග සටනට සූදානම් වුණා. බුදුහාමුදුරුවෝ ඔවුන්ට මිහිරි හඩින් ධර්මය දේශනා කළා. හැමෝම දමනය වුණා. ඒ ධර්මය අසා සිටිය සුමන සමන් දෙවියන් ද සෝවාන් බවට පත්වුණා. සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම පරිදි බුදුරදුන් හිස පිරිමැද කේශධාතු මිටක් ප‍්‍රදානය කළහ. සුමන සමන් දෙවියන් ඒ කේශධාතු තැන්පත් කොට ඉඳුනිල්වන් ගලින් රියන් හතක් උසැති සෑයක් බැන්ද වූවා. මෙය තමයි ලෝකයේ ප‍්‍රථම වරට ඇති වූ චෛත්‍යය.මේ සියලු සිදුවීම් වූයේ දුරුතු පොහොය දිනයක, මිහිඳු මහ රහතන්වහන්සේට ලක්දිවට පැමිණ සදහම් බීජය වපුරන්නට ක්‍ෂෙත‍්‍රය සදා දුන් දුරුතු පොහොය අති ශ්‍රේෂ්ඨ පොහොය දවසක්.

නවම්
නවම් පොහොයබුදු සසුණේත් බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් ලෙස නවම් පුර පසළොස්වක් පොහොය වැදගත් වෙනවා.සුදුස්සන්ට සුදුසු තැන ලබාදීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්‍ෂණයක් සැරියුත් හාමුදුරුවන්ට හා මුගලන් හාමුදුරුවන්ට අගසව් තනතුරු දීම ඊට හොඳම නිදසුනක්. මුලින් පැවිදි වූ භික්‍ෂූන් සිටිය දී ළඟදී සසුනට ඇතුළු වූ සැරියුත් - මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු දීම ගැන ඇතැම් භික්‍ෂූන් දොස් නැගුවා.සැරියුත් - මුගලන් දෙනම සංසාරයේ දීර්ඝ කාලයක් අගසව් තනතුරු පතාගෙන ඒ සඳහා අවශ්‍ය පින් රැස්කරගත් නිසා එම තනතුරුවලට සුදුස්සන් ඒ දෙනම ම බව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ සේක. සම්බුද්ධ ශාසනයෙහි ප‍්‍රථම වරට මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පසළොස්වක් පොහෝ දවසක. තථාගතයන්වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය වදාළේත් නවම් පුණු පොහෝ දිනයක. ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය කියන්නේ භික්‍ෂූන්වහන්සේලාට හික්මීම පිණිස අවශ්‍ය විනය මාලාව, අල්පායුෂ්ක බුදුවරුන්ගෙ ශාසනවල ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය වදාරන්නේ මුල් අවුරුදු විස්ස තුළය. ගෞතම බුද්ධ ශාසනය ද එවැන්නක්. අතීතයේ ලොව පහළ වූ විපස්සී නම් බුදුන් අවුරුදු අසූදහසක් ද, සිඛී නම් බුදුන් අවුරුදු හැත්තෑදහසක් ද, කකුසඳ බුදුන් අවුරුදු හතළිස් දහසක් ද, කෝණාගම බුදුන් අවුරුදු තිස්දහසක් ද, කාශ්‍යප බුදුන් අවුරුදු විසිදහසක් ද, පරමායු විඳ ඇත. ගෞතම බුදුන්ගේ ආයු කාලය අවුරුදු අසූවකි. මෙතෙක් කාලයකින් පිරිනිවන්පාන්නේමියි. කාලය සීමාකර ගැනීම ආයු සංස්කාරය හැරීමයි. එය ද සිදුවුණේ නවම් පුර පසළොස්වක දවසකය.

මැදින්
මැදින් පොහොයහේමන්ත ඍතුවේ මැදින් මස නොහොත් මාර්තු මාසයේ පුර පසළොස්වක පොහොය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳව අසිරිමත් සිදුවීම් සිහිකෙරෙන දිනයක්.බුදුරදුන් විසිදහසක් පමණ මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන රජතුමා ඇතුළු තම ඥාතීන්ගේ සිත සුව පිණිස කිඹුල්වත්පුරයට වැඩම කළේ මැදින් පොහෝ දවසක.පියරජු අනාගාමී වීම, යශෝදරාව සැනසීම, නන්ද හා රාහුල කුමරු පැවිදි වීම, ඥාතීන්ගේ මානය නැති කිරීමට යමාමහ පෙළහර පෑම හා ඔවුන් යහමගට යොමු කරවීම මේ ගමනේ අතුරු ඵල හැටියට සඳහන් කරන්න පුළුවන්.

බක්
බක් පොහොයබක් මාසය නොහොත් අපෙ‍්‍ර්ල් මාසය අප කාගේත් සිත්සතන් සොම්නස් සුවයෙන් සැනසෙන මාසයක්. බුදු සිරිතේ ද අසිරිමත් සිදුවීම් අප මනසට නැගෙන්නේ හදවත අමා සිසිලට පත් කරමින්.මේ සුන්දර දිවයින දෙවැනි වරටත් බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත් වුණේ බක් පොහෝ දවසක.චූලෝදර, මහෝදර යන නා රජුන් දෙදෙනා අතර මැණික් පුටුවක් අරබයා ආරවුලක් ඇති වුණා. මේ ආරවුල බුදුන්වහන්සේ දිවැසින් දුටුසේක. උන්වහන්සේ ඔවුන් කෙරෙහි කරුණාවෙන් ඔවුන්ට සුවසෙත සලසනු පිණිස බක් මස අව පසළොස්වක දා අළුයම ඍද්ධියෙන් නාගදීපයට වැඩි සේක. ඒ බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයේ.මේ ගමනට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක්ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා තමාගේ වාස භවනය වන කිරිපලු වෘක්‍ෂය ජත‍්‍රයක් මෙන් ඔසවා ගෙන ආවා. මහෝදර නා රජුගේ මාමා වූ මණිඅක්ඛික නාග රාජයා කැලණියේ සිට බෑනාට උදව් පිණිස පැමිණ සිටියා. බුදුරදුන්ගේ ප‍්‍රථම ලංකා ගමනෙදී බණ අසා සරණ සිල් පිහිටා සිටි මණිඅක්ඛික නා රජු එදින බුදුන්වහන්සේට තමාගේ වාස භවනය වූ කැලණියට වඩින ලෙස ආරාධනා කළා. මෙම ඓතිහාසික සිද්ධිවලින් ශ්‍රේෂ්ඨතවයට පත් බක් පෝය පී‍්‍රතිය උපදනා දිනයකි.

වෙසක්
වෙසක් පොහොයබුදුරජාණන්වහන්සේ ලොව පහළ වීම, බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම යන ති‍්‍රවිධ මංගල්‍ය සිදුවුණේ වෙසක් පෝය දා බව ඔබ දන්නවා.ගෞතම බුදු පදවිය සඳහා සුමේධ තවුස්ව, දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලැබුවේ ද වෙසක් පෝදාක.බුද්ධත්වයෙන් අටවන අවුරුද්දෙහි මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කොට කැලණිය ශී‍්‍ර පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් කළ උතුම් දවස වෙසක් පුන් පොහෝ දාය.සුමන සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමනළ සිරස මත ශී‍්‍ර පාද ලාංඡනය පිහිටුවීම. සොළොස්මස්ථාන නමින් හඳුන්වන ස්ථාන දහසයහිම සමවත් සුවෙන් වැඩහිඳ පුදබිම පිරිසිදු කිරීම සිදු කළෙත් වෙසක් පෝ දා. සිංහල ජනවංශයේ ආදිතමයා වන විජය කුමරු හත්සියයක් පිරිස සමඟ ලාට රට සිට ලක්දිවට පැමිණියේ ද වෙසඟ දිනයක බව වංශ කතාවල සඳහන් වෙනවා.දේවානම්පියතිස්ස රජු දෙවැනි වර රාජාභිශේක ලැබීම, දුටුගැමුණු මහ රජු රුවන්වැලිසෑයට විසා නැකතින් මුල්ගල් තැබීම ද සිදුවුණේ උතුම් වෙසක් පුර පසළොස්වකදා ය.

පොසොන්
පොසොන් පොහොයමිහිඳු මහරහතන්වහන්සේ විසින් සම්බුද්ධ ධර්ම දායාදය ලක්දිවට ගෙනවුත් ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීම සිදුවුණේ පොසොන් පොහොය දාය.දෙවනපෑතිස් නිරිඳු ඇතුළු හතළිස්දහසක් පිරිසකට චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේශනා කිරීම, භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කරවීම සිදුවුණෙත් පොසොන් පෝ දා.කෙටියෙන් සඳහන් කරතොත් නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති ශිෂ්ට සම්පන්න අදීන ජාතියක් වශයෙන් සිංහල ජාතිය ලොව පුරා පැතිර ගියේ මේ උතුම් පොසොන් දවසේ සිදුවූ උත්කෘෂ්ඨ සිදුවීම් නිසාය.

ඇසළ
ඇසළ පොහොයසුද්ධෝදන ශාක්‍ය රජතුමාගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස සිදුහත් කුමරු පිළිසිඳ ගත්තේ ඇසළ පුණු පොහෝ දිනකය.ගිහිගෙය අතහැර අභිනිශ්ක‍්‍රමණය කිරීම, ප‍්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම, ගණ්ඩම්බ රුක්ඛ මූලයෙහි දී තීර්ථකයන් දමනය කිරීම සඳහා යමාමහ පෙළහර පෑම, තව්තිසා දෙව්ලොවට වැඩ මාතෘ දිව්‍යරාජයාට විජම් බණ දෙසීම වැනි බුදු සිරිතේ ඉතා ඓශ්චය¸මත් සිදුවීම් සිදුවුණේ ඇසළ පුර පසළොස්වක දාය.රාහුල කුමරුන්ගේ උපත සිදුවී ඇත්තේ ද මෙදිනයි. බුද්ධ පරිනිර්වාණයෙන්තෙමසකට පසු මහා කාශ්‍යප මහරහතන්වහන්සේ ප‍්‍රධාන රහතන්වහන්සේලා පන්සියයක් සහභාගීත්වයෙන් අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහනුවර වේහාර පර්වත මූලයෙහි දී ප‍්‍රථම ධර්ම සංගීතිය පවත්වා ඇත්තේ ද ඇසළ පෝ දාකය.ලංකාවේදී ප‍්‍රථම වස් සමාදානය සිදුවී ඇත්තේ ද මෙවැනි දිනකය. බු: ව: 847 දී කිත්සිරි මෙවන් රජු දවස කළිඟ රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා ස්වාමීන්වහන්සේ පළමු වරට ප‍්‍රදර්ශනය කළේත් ඇසළ පොහෝ දවසකයි.කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමා සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු සංඝයා ගෙන්වා ලක්දිව උපසම්පදා කම¢ය ඇතිකිරීම ද ඇසළ පෝදා විශේෂ සිදුවීමකි.කතරගම, දෙවිනුවර, මහනුවර, රත්නපුර, ඇම්බැක්කේ, අලුත්නුවර, බෙල්ලන්විල පෙරහැර පැවැත්වීම ද ඇසළ පෝය දා සිදුවේ.

නිකිණි
නිකිණි පොහොයභික්‍ෂූන්වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියමව ඇත. එම දින හඳුන්වන්නේ පෙර වස පසු වස යනුවෙනි. ඇසළ පුනු පොහෝ දිනයේ පෙහොය කොට ඇසළ අවපෑළ දිනයේ පෙර වස් එළඹිය යුතුය. නිකිණි පුන් පොහෝ දා පෝය කොට නිකිණි අව පෑලවිය දා පසු වස් එළඹීම කළ යුතුය. ධර්ම භාණ්ඩාගාරික වූ ද අග‍්‍ර උපස්ථායක වූ ද ආනන්ද හාමුදුරුවන් රහත් බවට පත් වූවේ ද නිකිණි පෝදාය.වංශ කතා අනුව බුදුන්වහන්සේගේ ලලාට ධාතුව නිධන් කොට සේරුවිල චෛත්‍ය තැනීමේ ඇරඹුම වූයේ ද නිකිණි පොහෝ දිනයකයි.

බිනර
බිනර පොහොයබුදුරජාණන්වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කොට තනා ඇති සේරුවාවිල මහා සෑයේ වාර්ෂික පින්කම පැවැත්වෙන්නේ බිනර පොහොය මුල්කරගෙනය. මෙදින වස් කාලය බැවින් සියලුම විහාරස්ථානවල විවිධ පින්කම් පැවැත්වේ. මෙම පින්කම්වලට බෞද්ධ පින්වතුන් සහභාගීවන්නේ ඉතා ඕනෑකමිනි.සරත් ඍතුවේ ආරම්භය ද බිනර පුර පසළොස්වක් පොහොයයි. සරත් ඍතුව ස්වාභාවික සෞන්දර්ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකවත් වන සමයකි.

වප්
වප් පොහොයපුරා තුන්මසක් මුළුල්ලේ සක් දෙවි රජුන්ගේ පඬුපුල් අසුනේ වස්වසා වැඩ සිට වස් පවාරණය කොට බුදුරදුන් සංකස්ස පුරයට වැඩම කළේ වප් පොහෝ දවසකය.අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේගේ නියමයෙන් දෙවන පෑතිස් රජුගේ සංදේශයත් තුටු පඬුරුත් රැගෙන ලක්දිවින් අරිෂ්ඨ කුමරුන් ප‍්‍රමුඛ දූත පිරිස දඹදිව පැළලුප් නුවර ධර්මාශෝක රජු හමුවනු පිණිස පිටත්ව ගියේ වප් පුනු පොහෝ දවසකය. මිහිඳු මහ රහතන්වහන්සේගේ අනුදැනුම ඇතිව මහාරිට්ඨ මහ රහතන්වහන්සේ ථූපාරාම විහාරයේ දී මහා සංඝයා පිරිවරාගෙන විනය පිටකය සංගායනා කළේත් වප් පොහෝ දවසකය.සැරියුත් හිමියන් නුවණින් අගතැන් ලැබීම, මෙතේ බෝසතුන් සසුනෙහි පැවිදි බව ලැබීම මේ ආදී කරුණු රැසක් නිසාම වප් පුර පසළොස්වක් පොහොය වැදගත් වේ.

ඉල්
ඉල් පොහොයවස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුර පසළොස්වක් පොහොයයි. මෛති‍්‍රය බෝධි සත්වයන්වහන්සේ විවරණ ලැබීම, ප‍්‍රථම ධමර්‍දූත පිරිස වන රහතන්වහන්සේලා හැටනම ධමර්‍ප‍්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, චීවර මාසයේ අවසාන පොහොය වීම, සැරියුත් මහ රහතන්වහන්සේගේ මව ධම¢ය අසා සෝවාන් වීම, සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම, ඉල් පොහොය දා සිදු වූ සුවිශේෂ සිදුවීම්ය. මෙම සිදුවීම් නිසා ඉල් පොහොය බෞද්ධයන්ට වැදගත් වේ.

උඳුවප්
උඳුවප් පොහොයදෙවන පෑතිස් මහ රජුගේ ආරාධනය අනුව සංඝමිත්තා රහත් මෙහෙණින්වහන්සේ ශීී‍්‍ර මහා බෝධි දකුණු ශාඛාව ලංකාවට වැඩම කළේ උඳුවප් පොහෝදාය.ලංකාවේ මෙහෙණි සස්න ආරම්භ වීම සිදුවූයේ ද මෙදිනය. මේ නිසා ලාංකික කාන්තාවන්ට ලැබුණු නිදහස අපමණය.බෝධීන්වහන්සේ වැඩම කරවීම නිසා බෝධි පූජා පැවැත්වීම ද ආගමික චාරිත‍්‍රයක් බවට පත්විය. මේ අනුව උඳුවප් පොහොය ද ශී‍්‍ර ලාංකික බෞද්ධයන්ට අතිශය වැදගත් දිනයක් බව කිව යුතුය.

Wednesday, October 3, 2012

දුකින් මිදීමේ කාරණය අපේ ජීවිතවල මූලිකම අවශ්‍යතාවය කරගන්නට ඕනේ. හැම දවසකම මේ අරමුණ උදෙසා ගතකරපු කාලයක් තිබෙන්නට ඕනේ.

අපේ ආච්චි අම්මා වයසට ගිහිල්ලා ගොඩාක් අසනීප තත්වයේ ඉන්නේ. රෑට වේදනාවෙන් පෙළෙමින් නින්ද යන්නේ නැතිව කෙඳිරි ගාන හඬ මගේ කාමරයට ඇහෙනවා. එහෙමෙ ඉන්නකොට මම ගිහිල්ලා බෙල්ල උරහිස එහෙම අතුල්ලලා වේදනාව අඩුකරන්න බලනවා. එදා ඔවුන් වැඩකරපු තරමින් දහසින් එක පංගුවක්වත් තරම්වත් මම වෙහෙස මහන්සි වෙන්නේ නැති තරම්. මට මතකයි මම පොඩි කාලේ එක දවසක් අපේ ආච්චි අම්මා යනින් ගමන් මට බිස්කට් පැකට් එකකුත් අරන් දීලා මාව කුඹුරේ පැලේ නවත්තලා තියලා කුරක්කන් කපනවා එහෙම. ඒ ගිනි අව්වේ වැඩකරපු, අත පය යකඩ වගේ වෙච්ච ඒ ආච්චි අම්මා දැන් ඉන්න තත්වය ඉතාමත් දුක්බරයි. අපේ අනිත් ආච්චිලා සීයලාගේ තත්වයත් ඒ වගේමයි.

ඉතින් යහළුවනේ මේ තත්වය ඔවුන්ට වගේම ඔබටත් මටත් ඉස්සරහට අත් විඳින්නට සිදුවෙන තත්වයක්. දේවදූත සුත්‍රයේදී කියල තියනෙවා වගේ මේ තමයි අපට ඉස්සරහට ලැබෙන්න තියෙන දේ පිළිබදව පෙන්වාදෙන දේව දූතයින්. නමුත් ඕනෑම කෙනෙකුට අවශ්‍යනම් මේ දේවල් පෙන්නෑ වගේ ඇහෙන්නෑවගේ ඉන්නත් පුළුවන්. අපි ජීවත් වෙනකොට මේ වගේ දේවල් අපට ඕනෑතරම් මුණගැසෙනවා. එත් නුවණින් විමසා බැලුවොත් විතරයි මේ දේවල් තේරෙන්නේ. බුදු රජාණන් වහන්සේ අපට කියලා දීලා තියනවනේ ඇස කණ ආදී ඉන්ද්‍රියන්ගේ සංවරය ඇතිව වාසය කරන්න කියලා. එහෙම කියලා තියෙන්නේ රාගය, ද්වේෂය, මුලාවීම ඇතිකරන දේවල් වලින් ඉවත් වෙන්න කියලනේ. නමුත් ගොඩාක් දෙනා මේ වගේ දේවල් හමුවුණාම ඇස කණ ආදිය උපරිමයටම ලොකු කරලා විවෘත කරනවා. එත් ජීවිතයේ ඇත්ත තත්වය කියාදෙන දේවල් හමුවුණාම ඒ ගැන ගානක් නැහැ. නුවණින් විමසන්න හිත යොදවන්නේ නැහැ.

අපේ මේ තරුණ කාලය තමයි දුකෙන් ගැලවෙන්නනම් වැඩ කරන්න ඕනේ හොඳම කාලය. මොකද දැන් ඔබේත් මගේත් ඇඟ පත රිදෙන්නෙත් නැහැ. යමක් විමසා බලන්න පුළුවන් විදියට ස්මරණය එහෙමත් තියෙනවා. වයසට ගිහිල්ලා අපෙත් ඇඟ පත, නහරවැල් වේදනා දෙන්න පටන් ගත්තම වෙනත් දේවල් ගැන හිත යොදවන්න අමාරුයි. අනෙක අපට මේ ලැබිලා තියෙන අවස්ථාව ඉතාම දුර්ලභ අවස්ථාවක්. හැමදාම නොලැබෙන අවස්ථාවක්. මොකද මේ අවස්ථාව අපි නුවණින් විමසන්න පුළුවන් ජීවියෙකු විදියට ඉපදිලා ඉන්න අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාවේම බුදු රජාණන් වහන්සේ නමක් විසින් දේශණා කරණ ලද ධර්මය ලෝකය තුළ පවතින ඉතාම කෙටි කාල සීමාවක්‌. ඒ වගේම ඒ ධර්මය අසන්නට ලැබෙන පරිසරයකම අපි ඉපදිලා ඉන්නවනේ.

ඉතින් මේ ලබුන අවස්ථාවේත් ප්‍රයෝජනයක් ගන්නට නොලැබුණොත් ඒක ලොකු අහිමිවීමක්‌. ඒකනිසා දුකින් මිදීමේ කාරණය අපේ ජීවිතවල මූලිකම අවශ්‍යතාවය කරගන්නට ඕනේ. හැම දවසකම මේ අරමුණ උදෙසා ගතකරපු කාලයක් තිබෙන්නට ඕනේ. ඒත් ගොඩාක් වෙලාවට වෙන්නේ වෙනත් අරමුණු වලට යටවෙලා දුකෙන් මිදෙනවා කියන කාරණය අතපසු වෙන එකයි. එහෙම අමතක වෙලා ප්‍රමාද වුණොත් දුකෙන් මිදෙන්නට ඔබටත් මටත් ලැබුණු මේ අවස්ථාවත් අහිමි වෙයි.


පොත්වල එක එක දේවල් තියෙන්න පුළුවන්. එක එක්කෙනා එක එක දේවල් කියන්න පුළුවන්. ඒ එයාලගේ අදහස්. ඒවා ප්‍රශ්නයක් කරගන්න එපා! ඕනෙම එකක් ධර්මයට දාල බලල, ධර්මානුකූලව කල්පනා කරලා හරිනම් පිළිගන්න නැත්නම් බැහැර කරන්න කියලයි බුදුහාමුදුරුවෝ කියල දුන්නේ. ඒත් ඒකට සත්‍ය ධර්මය දැනගෙන ඉන්න ඕනේ!! පිරිසුදු බුද්ධ දේශනාම අහන්න ලැබෙන එකේ වටිනාකම තියෙන්නේ ඔතන තමයි. මොකද මොකුත්ම නොදන්නා කෙනෙකුට මොනවා අහන්න කියවන්න ලැබුනත් හරි වැරදි හොයාගන්න තෝරාගන්න හැකියාවක් නැහැනේ... එතකොට ඒ මනුස්සය නිකන්ම නාස්ති වෙලා යනවා. අහල නැද්ද අලුත මහන වෙච්ච 500 නමක් දේවදත්ත ඔය විදියට කාල දාන්න හදපු වෙලාවේ, බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩසිටිය හන්ද යන්තම් උන්වහන්සේලව බේරගත්ත එක. ඒ 500 නමම රහත් උන. නැත්නම් ඉවරෙටම ඉවරයි. මේ තනිකරම මාරයාගේ ආධිපත්‍ය යටතේ තියන ස්ථානයක සිද්ධවෙන වැඩක්. එයා හිතන තරම් ලේසියෙන් නිදහස් වෙන්න දෙන්නේ නැහැ. ඒත් නිශ්ශබ්දව පිරිසුදු බුද්ධ දේශනාම උපකාරකරගෙන කෙනෙක් වීර්ය කරලා කරලා ගොඩ ගියොත් මාරයා හබක්. එයාට ගොඩගිය අයව නටවන්න බැහැ!


අන්තර්ජාලයෙහි පළවූ තවත් blog එකක් ඇසුරිනි. 

පෘතග්ජන ස්වභාවය මෙන්න. තව දුරටත් ඔබ ඔබව පෘතග්ජනයෙක් ලෙස හඳුන්වා දෙනවාද? දෙවරක් සිතන්න.

මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට නොලැබුණා නම් මව මැරීම, පියා මැරීම,රහතුන් මැරීම,බුදුන්ගේ ලේ සෙලවීම සහ සංඝ බේදය ඇති කිරීම යන ආනන්තකර්ම අකුසලයකට යොමු නොවෙතැයි කා හට නම් සහතිකයක් දිය හැකි ද? කල්පයක් නිරයේ දුක් විඳින්න ටත්, පෘතග්ජන ස්වභාවයක ඇති සකස්වීම නම් අති භයානකය. මහණෙනි, මාගේ මේ ධර්මය අවබෝධ කරන්නේ මේ නිය සිලට ගත් පස් ටිකක් හා සමාන වූ පිරිසක් බව එදවස භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයට සත්වයින්ගේ පෘතග්ජන ජීවිතය ගැන වදාළේය.


"පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා සැප විඳීමත් විඳිනවා.දුක් විඳීමත් විඳිනවා.දුක් සැප රහිත විඳීමත් විඳිනවා.පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සැප විඳීමත් විඳිනවා.දුක් විඳීමත් විඳිනවා.දුක් සැප රහිත විඳීමත් විඳිනවා.පින්වත් මහණෙනි මේ කාරණයේ දී අශ්‍රැතවත් පෘතග්ජනයාගේ ත්, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගේ ත්, විශේෂත්වය මොකක්ද? අදහස මොකක්ද? වෙනස්කම මොකක්ද? "

"පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා දුක් වේදනාවෙන් පහස ලැබූ විට සෝක කරනවා.ක්ලාන්ත වෙනවා.වැළපෙනවා.පපුවේ අත් ගසා ගන්නවා.සිහි කල්පනා නැති කර ගන්නවා.ඔහු කායිකව ත් මානසිකව ත් වේදනා දෙකක් විඳිනවා.පින්වත් මහණෙනි,ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙකුට හුලකින් විදිනවා. ඒ සමීපයටම දෙවෙනි හුලකිනු ත් විදිනවා.ඒ පුරුෂයා හුල් දෙකකින් ම යි වේදනා විදින්නේ."
"පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා ත් ඔය වගේමයි.  දුක් වේදනාවෙන් පහස ලැබූ විට සෝක කරනවා.ක්ලාන්ත වෙනවා.වැළපෙනවා.පපුවේ අත් ගසා ගන්නවා.සිහි කල්පනා නැති කර ගන්නවා.ඔහු කායිකව ත් මානසිකව ත් වේදනා දෙකක් විඳිනවා.

ඔහු දුක් වේදනාවෙන් පහස ලැබූ විට ක්‍රෝධ සහිත වෙනවා.ඒ දුක් වේදනාවෙන් ඇති වූ ක්‍රෝධ ඇති ඔහු තුළ දුක් වේදනාවෙන් හට ගන්නා යම් පටිඝානුසයක් ඇති නම්,එය සිත ඇතුළේ ඇති වෙනවා.ඔහු ඒ දුක් වේදනාවෙන් පහස ලබලා කාම සැපය යි සතුටින් පිළිගන්නේ.එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා කම් සැප විඳීමෙන් බැහැරව දුක් වේදනාවෙන් නිදහස් වීමක් ගැන දන්නේ නැහැ. කාම සැපය සතුටින් පිළිගනිද්දී සැප වේදනාවෙහි යම් රාගානුසයක් ඇත්නම්, එය ඔහුගේ සිත ඇතුළේ ඇති වෙනවා.ඔහු ඒ වේදනාවන් ගේ හට ගැනීමවත්, නැති වීමවත්,ආශ්වාදයවත්,ආදීනවයවත්,නිස්සරණයවත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරන්නේ නැහැ.

ඒ වේදනාවන් ගේ හට ගැනීමවත්,නැති වීමවත්, ආශ්වාදයවත්,ආදීනවයවත්,නිස්සරණයවත් ඒ ආකාරයෙන්ම අවබෝධ නොකරන නිසා ඔහු තුල දුක් සැප රහිත විඳීමෙන් යම් අවිද්‍යා අනුසයක් ඇති වෙනවා නම්, එයත් ඇති වෙනවා. එතකොට ඔහු සැප වේදනාවක් විඳිනවා නම් එය හා එකතුවෙලා මයි විඳින්නේ.දුක් වේදනාවක් විඳිනවා නම් එය හා එකතු වෙලාමයි විඳින්නේ. සැප දුක් රහිත වේදනාවක් විඳිනවා නම් එය හා එකතු වෙලාමයි විඳින්නේ.
පින්වත් මහණෙනි, මේ අශ්‍රැතවත් පෘතග්ජනයාට කියන්නේ ඉපදීමත් සමග, ජරා මරණත් සමග,සෝක වැළපීම්,දුක් දොම්නස්,සුසුම් හෙළීම් සමග එක්වෙලා ඉන්නවා කියල යි. දුකත් සමග එක්වෙලා ඉන්නවා කියල යි. (
සම්පූර්ණ සූත්‍ර දේශනාව කියවන්න. සංයුත්ත නිකාය සළායතන වර්ගය- සල්ල සූත්තං)


ගිහි කෙනෙක් හෝ පැවිදි වූ කෙනෙක් හෝ පෘතග්ජන ස්වභාවයෙන් මිදිය නොහැකිව, ලාභ සත්කාර මත යැපෙමින් බුද්ධ ශාසනයේ විනාශයට කටයුතු කරනවා නම් ඔහුට ඉපදීමට සිදු වන්නේ ඉතාමත් දුක් වූ පරිසරයකය. බවයේ වැඩි හරියක්ම රාගයත්, ද්වේශයත් ,මෝහය ත් , බියත් මුසුවුන සතර අපායට වැටි වැටී යාම හැර වෙන කවර නම් ගැලවීමක් ඔවුන්ට තිබේ ද? මහණෙනි, මේ සංසාරය පුරා බෙලි කැපුම් වලට ලක්වී ගලා ගිය රුධිරය මේ සතර මහා සාගරයට වඩා වැඩි යැයි භග්‍යවතුන් වහන්සේ වදාළේ, මැනවින් භවයෙන් භවයට සත්වයින් සැරිසරන අයුරු බුදු නුවණින් ම දැක අවබෝධ කර ගත් හෙයිණි.


"ජීවිතය මරණය කරා යනවා.ජීවත් වෙන්න තිබෙන්නේ සුළු කාලයයි.ජරාව විසින් මරණය කරා ගෙන යන සත්වයන්ට ආරක්ෂා වෙන්න තැනක් නැහැ. මරණය අභියස තියෙන මේ බිය දකින කෙනා ඒ අමා නිවන් සුව ලබනු කමැත්තෙන්, ලෝකාමිසය අත්හරිනවා." "භාග්‍යවතුන් වහන්සේ, සැවැත් නුවර ජේතවනාරාමයේ දී" (උපනීයත සූත්‍රය )

බුදු හිමියන් කළ යුතු යැයි, යා යුතු යැයි පෙන්වා දුන් මාර්ගය බැහැර කොට,ශ්‍රී සද්ධර්මය විවෘතව පවතින මේ ඉතාම කෙටි කාලය තුල කසාවත පොරවා, මහන දම් පුරන සමහර භික්ෂූන් වහන්සේලා දේශපාලනය,මන්තර ගුරුකම්,පිකටින්,කරමින් ද, ගිහියන් විසින් කරන යම් ලාමක වූත්,කිලිටි වූත් ක්‍රියාවන් වල යෙදෙමින් ද,සිල්වත් භික්ෂූන් වහන්සේලාට ගරහමින් ද කාලය ගෙවා දැමීම,ඔවුන්ට ද තවත් බොහෝ පිරිසකගේ ද හිත සුව පිණිස නොපවතිනු ඇත. මෙය ශාස්තෘන් වහන්සේ කියා දුන් පරිදි අනුගමනය නොකර, ලාභ-සත්කාර,කීර්ති ප්‍රශංසා වලට ගිජු වී තමන්ගේ මතයට වැඩ කරන්නට යෑමෙන් සිදුවන අකරතැබ්බයකි.

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා ගැන දැනගෙන ඉන්න ඕන. මොහු ආර්යන් වහන්සේලා හඳුනන්නේ නැහැ. ආර්ය ධර්මය තේරුම් ගන්න දක්ෂත් නැහැ.ආර්ය ධර්මයෙහි හික්මෙන්නෙත් නැහැ. සත්පුරුෂයන් වහන්සේලා හඳුනන්නෙත් නැහැ.සත්පුරුෂ ධර්මය තේරුම් ගන්න දක්ෂත් නැහැ.සත්පුරුෂ ධර්මයක හික්මෙන්නෙත් නැහැ. (මූලපරියාය සූත්‍රය - මජ්ඣ්ම නිකාය)

සියළු දෙනාට ම වහ වහා ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!

තෙරුවන් සරණයි!

අන්තර්ජාලයෙහි පළවූ ලිපියක් ඇසුරිනි.