Wednesday, September 10, 2014

බුදුන් පුදන්නට සුදුසුම ක්‍රමය ප්‍රතිපත්ති පූජාවයි

බුදුන් පුදන්නට සුදුසුම ක්‍රමය ප්‍රතිපත්ති පූජාවයි

නාරම්පනාවේ ධම්මාලෝක හිමි
පහත දුම්බර අධිකරණ සංඝනායක, මැණික්හින්න ගණදෙවි කෝවිල පුරාණ විහාරාධිපති
බොදුනු සිත් පහන් වන, ප්‍රතිපත්ති සහ ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරන සුබ වෙසඟක් උදා වී තිබෙන මේ කාලයේ දී අප ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? නිවැරදිව සම්බුදු තෙමඟුල සැමරිය යුත්තේ කුමන ආකාරයට ද? බොදුනුවකු ලෙස ධාර්මිකව කටයුතු කරමින් දිවි මඟ ගෙවිය යුතු වන්නේ කෙසේ ද? ආදි කරුණු පිළිබඳ පහත දුම්බර අධිකරණ සංඝනායක මැණික්හින්න ගණදෙවි කෝවිල පුරාණ විහාරාධිපති නාරම්පනාවේ ධම්මාලෝක හිමියන් සමඟ කළ කතාබහකි මේ.
l සකල ලෝකවාසි ජනතාවට අතිශයින්ම වැදගත් දිනයක් ලෙස වෙසක් දිනය හඳුන්වන්න පුළුවන්. මේ පිළිබඳ කතා කළොත්.
ලොවට සෙත සැලසූ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය යන තෙමඟුල සිහි කරමින් බෞද්ධ ජනතාව බුදු උපහාර වශයෙන් වෙසක් සිරි පූජා කිරීම වෙසක් දිනයේ දී සිදු වන දෙයක්. බුදුරජාණන් වහන්සේ බෞද්ධයන්ට විතරක් අගය කරන්න පුළුවන් ඔවුන්ට පමණක් ආවේණික ශාස්තෘවරයෙක් නොවේ. උන් වහන්සේ තිලෝගුරු නමින් හඳුන්වන්නේ මෙන්න මේ නිසයි.
ලොව පහළ වූ මහා පුරුෂයින් අතරින් පළමුවැනියා තිලෝගුරු බුදුපියාණන් බව පෙර අපර දෙදිග සමාජ දාර්ශනිකයන්ගේ පිළිගැනීම යි. ලොව පහල වූ අසහාය ගුරුවරයා, අසහාය මාර්ගෝපදේශකයා, අසහාය සමාජ දාර්ශනිකයා, අසහාය සමාජ සේවකයා, මහා ප්‍රාඥයා, මහා නිර්මාපි චින්තකයා, මහා කාරුණිකව සමාජ සුබසාධනයට ඇපකැප වූ අසහාය විප්ලවවාදියා හැටියට උන්වහන්සේගේ උදාර චරිතය අගය කරන්න පුළුවන්. එය බෞද්ධ හා අබෞද්ධ කාටත් එක සේ කරන්න පුළුවන් දෙයක්.
බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන තුන්ලෝ වාසී ප්‍රඥාවන්තයන්ට දේශනා කළ සද්ධර්මය ආගමක් නෙවෙයි, උන්වහන්සේ මේ ධර්මය හඳුන්වාදීමේ දී ආගම, බුද්ධාගම යන වදන් භාවිත කර නැහැ. බුද්ධ දේශිත ශ්‍රී සද්ධර්මය ලෝකයේ දේශිත සියලු ආගම්වලට වඩා වෙනස්. බෞද්ධ ජීවිතයේ පැවිදි දිවියේ පදනම, පිළිසරණ ආශීර්වාදය පරම ප්‍රතිෂ්ඨාව තිසරණය යි. අපරිමිත ලෝක සත්වයාගේ පරම ප්‍රතිෂ්ඨාව වන්නේ කවදා හෝ තෙරුවන් සරණ යමින් සසර කෙළවර කර ගෙන නිවන පසක් කර ගැනීමයි. ඒ සඳහා ලෝක සත්වයා හට බුද්ධ, ධම්ම, සංඝ රත්නය හැර අන් කිසි පිහිටක් ආශීර්වාදයක්, පිළිසරණක්, පරම ප්‍රතිෂ්ඨාවක් කිසි කලකවත් ලබන්න බැහැ.
* වෙසක් සමයේ දී ප්‍රතිපත්ති පූජාවට මෙන්ම ආමිස පූජාවන් කෙරෙහි ජනතාවගේ යොමු වීමත් දකින්නට පුළුවන්. වෙසක් සමයේ දක්නට ලැබෙන මේ පිබිදීම ඔබ වහන්සේ දකින්නේ කොහොම ද?
මේ කාලයේ දී මේ පූජා විධි දෙක සම්බන්ධයෙන්ම විශේෂිත කැපවීමක් දක්නට පුළුවන්. ඒත් වැඩිදෙනා නැඹුරු වන්නේ ප්‍රතිපත්ති පූජාවට නෙමෙයි, ආමිස පූජාවට යි. බුදුරජාණන් වහන්සේ සැමවිටම දේශනා කර තිබෙන්නේ ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨ වන බවයි.
බුදුන් දේශනා කර වදාලේ ආගමක් නෙවෙයි, අනුගමනය කළ යුතු දැක්මක්. බුදුදහම මඟින් සෑම ආගමකම පොදු ඉගැන්වීම් වන සර්ව බලධාරී දෙවියන් වහන්සේ, ස්වර්ග රාජ්‍ය, දේව කැමැත්ත, ආත්මය, මෝක්ෂය වැනි සියලු ඉගැන්වීම් ප්‍රතික්‍ෂේප කළා. එසේම සෑම ආගමකම වාගේ දක්නට ලැබෙන මෙවැනි දේ මුළුමණින්ම බැහැර කරලා මිනිසාව දහමකට නැඹුරු කළා. ප්‍රතිපත්ති සහගතව දිවි ගෙවමින් අවබෝධයෙන් පරතෙරට යාමට මඟ උන්වහන්සේ දේශනා කළා. ධර්මය දකින පුද්ගලයකු වෙනුවෙන් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් අප ක්‍රියා කළ යුතු වන්නේ මේ නිසයි.
ඒත් වර්තමානය වන විට අපට පැහැදිලිව දකින්න ලැබෙන්නේ ප්‍රතිපත්ති පූජාවට වඩා ආමිස පූජාවට තැන දෙමින් ජනතාව කටයුතු කරන බවයි. බුදු හිමියන් පිදිය හැකි මේ ක්‍රම දෙක අතරින් උන්වහන්සේ වඩාත් අගය කළේ ප්‍රතිපත්ති පූජාව යි. ප්‍රතිපත්ති පූජාවට මිලක් වැය වන්නේ නැහැ. ප්‍රතිපත්ති පූජාව පිළිබඳ නිසි ලෙස නොදන්නා අය ආමිස පූජාව මඟින් පමණක් සෑහීමකට පත් වෙනවා. සීල, භාවනා ආදි ප්‍රතිපත්ති පූජා බුදුරදුන් පුදන්නට සුදුසුම ක්‍රම විදියට දක්වන්න පුළුවන්.
* ඔබ වහන්සේ සඳහන් කරන්නේ ආමිස පූජාවෙන් පුණ්‍ය කර්මයක් සිදුවන්නේ අව ප්‍රමාණයෙන් බව ද?
ආමිස පූජාව මඟින් පිනක් සිදුවෙනවා. ඒ මඟින් කෙලෙස් ප්‍රහීන කිරීමට මඟ පෑදෙනවා. ලෝභ ද්වේශ මෝහ නමැති ක්ලේශ පහ කිරීමට ආමිස පුජාව උපකාර වන බව පැවසිය යුතුයි. එහෙත් අපේ ජනතාව ආමිස හා ප්‍රතිපත්ති යන පූජා දෙවිදියම කරන්නේ දැනුම් තේරුම් ඇතිව නෙවෙයි. කරන්නන් වාලේ ඔහේ කිරීමක් තමයි දක්නට ලැබෙන්නේ. ආමිස පූජා ලෙස දන් දීම අසරණ සරණය, ගිලානෝපස්ථානය, මල් පහන්, සුවඳ දුම් පූජා කිරීම, අසුහාරදහසේ පහන් පූජා, අටවිසි බෝධි පූජා, සත්බුදු පූජා, තෙසැත්තෑ ඤාණ පිංකම, ශතාධික සංඝගත දක්ෂිණා යන දේ හඳුන්වන්න පුළුවන්.
මේ පූජා පිළිබඳ නිසි ලෙස දැනුවත් නොවී එය සිදු කළහොත් පූජාවේ විශාලත්වය තරමට පින විශාල නොවන්න පුළුවන්. යමෙක් මානය වැනි අකුසල සිතිවිලි පෙරදැරි කරගෙන සියක් නමකට දන් දුන්නාට වඩා පැහැදුණු සිතින් යුක්තව සංඝයා වහන්සේ නමකට දානය පුජා කළොත් පෙර පුද්ගලයාට වඩා වැඩි පිනක් මේ පුද්ගලයාට අත්කර ගන්න පුළුවන්. මේ නිසා ආමිස පූජාවෙන් ඵල ලැබීමට නම් ඒ පිංකම පිළිබඳ සිත මෙහෙයවා කුසල් සිතුවිලි දියුණු කර ගත යුතුයි. කුඩා පිංකමක් හෝ කර ඒ පිළිබඳ නැවත නැවත මෙනෙහි කර සතුටු වනවා නම් විශාල ආනිසංශයක් හිමි කර ගන්න පුළුවන්.
* වර්තමානය වන විට සමහරු අනෙකා කරන නිසා තමන් එම තත්වය ඉක්මවා දන් දීමට යන අවස්ථා දකින්න පුළුවන්. මෙවැනි ආමිස පූජා මඟින් පිනක් අත්කර ගන්න පුළුවන් ද?
දානයක් දෙන්න ඕන, අනෙක් අයට අභියෝගයක් වන විදිහට නෙවෙයි. අනෙක් අය කරන නිසා තරගයට දන් දෙන්න යාම තුළ තිබෙන්නේ හීනමානයක්. දානයක් දෙන්න ඕන කාටවත් අභියෝගයක් කරන්න නොවේ. ඒ මඟින් කුසල සිතුවිලි ඇති වන්නේ නැහැ. කිලිටි සිතිවිලි ඇතිවන්නේ. ඒ නිසා පින් දහම් කොයිකත් කළ යුතු වන්නේ තම ශක්තිය අනුවයි. මහා විශාල දාන නොදුන්නාට ඔබේ පිඟානේ ඉතිරි වන ඉඳුල් ටිකෙන් කුඩා සතෙක් හරි කුසගිනි නිවා ගනිත්වා යන සිතිවිල්ලෙන් එය ඉවත් කළොත් එම දානයෙන් පවා ඔබට පිනක් සිදුවෙනවා. යමක් දන් දෙන්න නම් ඒ පිළිබඳ අප තුළ තිබෙන ආසාව ඇලීම වැනි දේ අත්හළ යුතුයි. යහපත් සිතින් දන් දුන්නොත් පිනක් සිදුවෙනවා.
* වර්තමානය වන විට අපි වෙසක් සමරන ආකාරය පිළිබඳ විවිධ විවේචන තිබෙනවා. අප වෙසක් දින සමරන ආකාරය නිවැරදි ද?
වෙසක් පෝය දවස කියන්නේ නිදහස්ව ආගමික වත්පිළිවෙත් කළ යුතු දවසක්. සීල, භාවනා වැඩිය යුතුයි. ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දිය යුතුයි. ඒත් අද සිදු වන්නේ එය නොවෙයි. මේ නිසා අවබෝධයෙන් යුතුව වෙසක් සැමරීමට කටයුතු කළ යුතුයි.
*සෙත් පිරිත්, ධම්ම චින්තාව අහලා දවස ආරම්භ කරන අපේ රටේ මිනිස්සු ඊට පස්සේ කරන්නේ අපරාධ, මිනීමැරුම් අතින් ලෝක වාර්තා තබන එකයි. ධර්ම ද්වීපයක් තුළ මෙවැනි දේ සිදුවන්නේ භික්ෂූන් වහන්සේලා අතින් විය යුතු මෙහෙවර නිසියාකාරව නොවන නිසා යැයි සමහරු පවසනවා. මේ පිළිබඳ ඔබ වහන්සේ දරන්නේ මොන වගේ මතයක් ද?
භික්ෂුන් වහන්සේලා බොහෝදෙනා තම යුතුකම් ඉටු කරනවා. භික්ෂුව සෑම මොහොතකම ජනතාව සුමඟට යොමු කිරීමට ක්‍රියා කරනවා. එහෙත් වර්තමානයේ පවත්නා සමාජ රටාව තුළ මොන බණ දහම කියා දුන්නත් තරගකාරිත්වය පසුපස දුවන දූෂිත සිත්වලින් යුතු මිනිසුන්ට හොඳ නොහොඳ අවබෝධ කර ගන්න බැහැ. ධර්මය අසන බව දැහැමිව දිවි ගෙවන බව පෙන්වනවා. ඒත් කටයුතු කරන්නේ වෙනස් ආකාරයකට යි. බොහෝ දෙනා දිවි ගෙවන්නේ බොරුවෙන් වංචාවෙන්.
ජනතාව පත්ව ඇති මේ තත්වයෙන් ඔවුන් ගොඩගැනීම භික්ෂුවට පමණක් තනිව කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය යි.
* මේ වෙසක් සතියේ දී ඔබ වහන්සේ ජනතාවට දෙන පණිවිඩය මොකක් ද?
ගුණධර්ම පෝෂණය වන විදියට අපරාධ නැති වන විදියට දිවි පැවැත්ම ගොඩනඟා ගන්න කටයුතු කිරීම වැදගත්. ආමිස පූජාව ධාර්මික පසුබිමක් තුළ කළ යුතුයි. තොරණ, දන්සැල් පැවැත්වූවාට වරදක් නැහැ. ඒත් ඒ වෙනුවෙන් කරන අනවශ්‍ය මුදල් නාස්තිය ගමේ සිටින ගෙයක් දොරක් නැති කෙනකුට ගෙයක් හදා දෙන්න වියදම් කරන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වටිනා දෙයක්. යහපත් සිතින් කරන මේ දානයෙන් මහත් වූ පිනක් අත් කර ගන්න පුළුවන්.