Tuesday, August 21, 2012

පින් දීම සහ පින් අනුමෝදන් වීම.


පින්දීම සහ පින් අනුමෝදන් වීම ගැන දැනගන්න කලින් පින් කියන්නේ මොනවද, කුසල් කියන්නේ මොනවද, අකුසල් කියන්නේ මොනවද කියල අපි තේරුම් ගන්න බලමු.

බුදුන් වහන්සේ පින් ( පුණ්‍ය ) ලෙස අපට කාරණා 10ක් පෙන්වා දී තිබෙනවා. ඒවා දස පුණ්‍ය ක්‍රියා ලෙස හඳුන්වනවා. එනම්;

  1. දානය - තමන් සතු වන්තුව ( ද්‍රව්‍යමය හෝ අද්‍රව්‍යමය ) අන් අයගේ යහපත, සුබ සිද්ධිය උදෙසා පරිත්‍යාග කිරීම.
  2. සීලය - සිත, කය, වචනය තමන්ටත් අනුන්ටත් පීඩාවක් නොවන පරිදි සංවර කරගැනීම
  3. භාවනාව - ප්‍රඥාව, සමාධිය දියුණු වන සුදුසු අරමුණක සිත හැසිරවීම තුලින් කුසල් දහම් වඩවා ගැනීම.
  4. පත්තිදාන - තමන් විසින් කල පින්කම් පින් බලාපොරොත්තුව සිටින අයට අනුමෝදන් කිරීම.
  5. පත්තානුමෝදනා   -  වෙනත් අයකු කරන ( හෝ අතීතයේ කල ) පින්කම් දැක / අසා ඒ පිළිබඳව සිත පහදවාගෙන සතුටු වීම.
  6. වෙය්යාවච්ච - පිදිය යුතු උතුමන්ට හා පුජනිය වස්තුන්ට වත් පිළිවෙත් කිරීම.
  7. අපචායන - පිදිය යුතු උතුමන්ට සිතෙන් කයෙන් වචනයෙන් වන්දනා කිරීම.
  8. ධම්ම දේසනා - ලාභ සත්කාර කිර්ති ප්‍රසංසා ආදිය බලාපොරොත්තු නොවී ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම හෝ කරවීම.
  9. ධම්ම සවන - චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස හොඳින් සවන් යොමුකොට ධර්මශ්‍රවණය කිරීම.
  10. දිට්ටිජුකම්ම - බුන් වනසේ දේශනා කල ශ්‍රී සද්ධර්මය පිලිබඳ නිවැරදි වැටහීමක් ඇතිකරගැනීම.
    ( සම්‍යක් දෘෂ්ටිය )

ඊළඟට බුදුන්වහන්සේ අපට අකුසල් දොරටු 10කුත් පෙන්වා දී තිබෙනවා. එනම්;

  1. ප්‍රාණඝාතය - සතුන් මැරීම
  2. සොරකම - අන්සතු දේ ඔවුන්ට හොරෙන් තම සතුකරගැනීම
  3. වැරදි කාම සේවනය - වෙනත් ස්ත්‍රීන් / පුරුෂන් සමග කාම සේවනය කිරීම.
  4. බොරුකීම - අන් අය රැවටීමේ අදහසින් බොරු කීම.
  5. කේලාම් කීම - ඔවුනොවුන් බිඳවීමේ අදහසින් එක් පාර්ශවයක වැරදි අඩුපාඩු ආදිය තවත් පාර්ශවයක් සමග කීම.
  6. පරුස වචන කීම - නරක , සැඩපරුස වචනවලින් කතාකිරීම.
  7. හිස් වචන කීම - තමාටත් අනුන්ටත් වැඩක් නැති හිස් වචන කතා කර කර කාලය කා දැමීම.
  8. අභිද්‍යාව - අන් සතු වස්තු තම සතුකරගැනීමේ දැඩි ආශාව.
  9. ව්‍යාපාදය - තම අදහසට ඉටු නොවනවිට ( තමා සතුවනු කැමති දේවල් තමාට නොලැබෙනවිට ) ඇතිවන තරහ ස්වභාවය.
  10. මිත්‍යාදෘෂ්ටිය - කර්මය, කර්ම ඵලය, තෙරුවන, ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රමුඛ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කෙරෙහි ඇති වැරදි මැති මතාන්තර ඇතිකරගෙන සිටීම.




ඉහත සඳහන් කල අකුසල් වලින් මිදීම "කුසලය" ලෙස බුදුන්  වහන්සේ දේශනා කලා. එනම් දස කුසලයයි.

දස කුසල් යනු;

  1. ප්‍රාණඝාතයෙන් වෙන්වීම.
  2. සොරකමින් වෙන්වීම.
  3. වැරදි කාම සේවනයෙන් වෙන්වීම.
  4. බොරුකීමෙන් වෙන්වීම.
  5. කේලාම් කීමෙන් වෙන්වීම.
  6. පරුස වචන කීමෙන් වෙන්වීම.
  7. හිස් වචන කීමෙන් වෙන්වීම
  8. අභිද්යාවෙන් වෙන්වීම.
  9. ව්‍යාපාදයෙන් වෙන්වීම.
  10. මිත්‍යාදෘෂ්ටියෙන් වෙන්වීම.

හොඳයි, දැන් අපි බලමු පින් දීම ( පත්තිදාන ) සහ පින් අනුමෝදනා වීම ( පත්තානුමෝදනා ) පිළිබඳව. පිනක් හෝ කුසලයක් කිරීමෙන් පසුව එයට දායක වූ පුද්ගයාට පුළුවන් ඒ පුණ්‍ය ශක්තිය වෙනත් කෙනෙකුට දානය කරන්න. ඒක ද්‍රව්‍යම දෙයක් නෙමේ. ඇහැට පේන, කනට ඇහෙන, අතට පයට දැනෙන දෙයක් නෙමේ. ඒක ශක්ති විශේෂයක්. සිතකින් සිතකට යාහැකි ශක්තියක් කියල අවබෝධ කරගත්තම හරි. ඕනකෙනෙකුට පුළුවන් තමන් කල පිනකින් හෝ කුසලයකින් ජනිතවූ පුණ්‍ය ශක්තිය තමන් කැමති පරිදි කැමති කෙනෙක් වෙනුවෙන් දානය කරන්න. පින් දෙන කෙනා තුල තිබිය යුතු අවම සුදුසුකම තමයි පින හෝ කුසලය කිරීමට තමා දායක වී සිටීම. එවිටයි එය තමන්ගේ දෙයක් බවට පත්වෙන්නේ. ( තමන් කල කී දේ තමන් සතුයි. තමාගේ දුකින් මිදීම තමා විසින් උදා කරගත යුතුයි. ) තමන්ගේ නොවන දෙයක් අනුන්ට දෙන්නේ කොහොමද? එහෙනම් නුවනින් වටහා ගන්න පින් දීමට නම් (පත්තිදාන) තමා විසින් පිනක් ( හෝ කුසලයක් ) කල යුතුමයි.

අපි දෙන පින් ගන්න පුළුවන් කාටද?
දැන් ඊළඟට අපි බලමු අපි පින් දුන්නහම ඒවා ගන්න පුළුවන් වෙන්නේ කාටද කියල. අපි පින් දෙනකොට නම් වශයෙන් සිහිපත් කරලා පින් දුන්නොත් ඒ උදවියට පළමුව ඒ පින් යොමුවෙනවා. විශේෂයෙන් නම් ගම් ආදිය සඳහන් නොකර සියලු සත්වයන්ට කියල පින් දුන්නොත් සියලු සත්වයන්ට ඒ පුණ්‍ය ශක්තිය යොමු වෙනවා. පින් ගන්න හැකියාවක් නැති අකාරයේ උපතක් ලබා ඇති සත්වයින්ට ඒ පුණ්‍ය ශක්තිය ගන්න හැකියාවක් නෑ. කාටද ගන්න පුළුවන් කාටද බැරි කිය කියා හොයන එක නම් මම අනුමත කරන්නේ නෑ. ඔබට පින් දෙන්න අවශ්‍ය නම් පින් දෙන්න. ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගනී. වඩා වැදගත් වන්නේ ඔබතුල ඇතිවන දාන චේතනාවයි. අමතක කරන්න එපා , පින් දීමත් පිනක්. ඉතින් මේක ගන්න කවුරුවත් නැති වෙයිද , මේවා අපතේ යයිද කියල හිතල ඔබේ පින සැහැල්ලු කරගන්න එපා. දාන චේතනාවෙන් පිරිසිඳු සිතින් එය කරන්න.

පින් අනුමෝදනාවිම කියන්නේ මොකක්ද?
පින් අනුමෝදනා වෙනවා කියන්නේ තව කෙනෙක් කරන පිනක් හෝ කුසලයක් දැකල ඒ ගැන සිත පහදවාගැනීමෙන් සිතේ ඇතිවන සතුට නිසා ඇතිවන පුණ්‍ය ශක්තියයි. ඒ ගැන සිත පහදවා ගන්න බැරි උනොත් පින් අනුමෝදනා වෙන්නේ නෑ. හැම වෙලාවේම චේතනාව මුල් විය යුතුයි. වෙන කෙනෙක් කරන පිනක් දැකල අපිට අවංකව සතුටු වෙන්න පුළුවන් නම් ඒ කෙනා ඒගැන දැනගත්තත් නැතත් අපිට අපේ චේතනාවේ තරමට පින් අනුමෝදන් වෙනවා. හැබැයි අපිම ඉදිරිපත් වෙලා ඒ පින කලොත්, වඩා වැඩිපුර පිනක් සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ චේතනාවට අනුව කයින් වචනයෙන් තමාම ඉදිරිපත් වෙලා ක්‍රියාව කල නිසයි. උදාහරණයක් ලෙස මෙහෙම හිතන්න. ඔන්න ඔයාගේ යාලුවෙක් සිල්වත් භික්ෂුවකට දානයක් දෙනවා ඔයා දකිනවා. එහෙමත් නැත්තම් යාළුවාම පස්සේ ඔයාට ඒගැන විතර කියනවා කියල හිතන්න. ඊට පස්සේ ඔයාගේ සිතේ ඒගැන අවංක පැහැදීමක් සතුටක් ඇති උනොත් අන්න එතකොට ඔයාටත් යම්කිසි පිනක් අනුමෝදන් උනා. දැන් මෙහෙම හිතන්න. ඔයත් හිතනවා මේ වගේ දානයක් දුන්නොත් හොඳයි කියල. එහෙම හිතල ඔයාම ඉදිරිපත් වෙලා කළමනා සපයාගෙන, ශ්‍රද්ධාවෙන් දානය පිළියෙළ කරලා දෙනවා. දැන් මොකද හිතන්නේ? කොයි පිනද වැඩි? ඔබ විසින් සිතින් කයින් වචනයෙන් ඉදිරිපත්වෙලා කරගතු පින මුල් එකට සාපේක්ෂව වැඩියි.

No comments:

Post a Comment