හොඳ ප්‍රශ්නයක්.
ධර්මාවබෝධය තුලින් මාර්ග-ඵල ලැබීම කියල කියන්නේ තම තමන් වෙන වෙනම තනි තනිව කලයුතු දෙයක්. ධර්මාවබෝධය කියන්නේ අකුසල් වලින් වැලකෙමින් කුසල් රැස් කරමින් සිත වඩමින් යන ගමනේදී ලබන මානසික පරිවර්තනයක්. එම මානසික පරිවර්තනයේ සන්ධිස්ථාන කිහිපයක් තමයි සෝවාන්, සකදාගාමී, අනාගාමි, අරහත් කියල හඳුන්වන්නේ. සුත්‍ර දේශනා කියවපු පමණින් අවබෝධයක් දියුණු වෙන්නේ නෑ. සුත්‍ර දේශනා වල සඳහන් ධර්ම කරුණු නුවනින් තේරුම් අරගෙන තමන්ගේ ජිවිත පැවැත්මට ගලපා ගත යුතුයි. ඒවාට අනුව ජිවිත පැවැත්ම සකස් කරගත යුතුයි. තම තමන් ගේ වැරදි නුවනින් තේරුම් අරගෙන ඒ වැරදි නිවැරදි කරගත යුතුයි. එවිට තමන්ගේ සිතේ ශ්‍රද්ධාදී කුසල ධර්මයන් වැඩෙන්න පටන්ගන්නවා. සීලය, සමාධිය, ප්‍රඥාව වැඩෙන්නේ එවිටයි. නිවැරදිව ධර්ම මාර්ගයට පැමිණි පසුව උනත් හැමෝටම එක්වරම ධර්මය අවබෝධ වෙලා මාර්ග ඵලවලට පත්වෙනවා කියල දෙයක් වෙන්නේ නෑ. තම තමන් අතීත සසරේ රැස් කල කුසල අකුසල කර්ම වල ස්වභාවය අනුව මාර්ග ඵල වලට පත්වීමට ගතවන කාලය වෙනස් වෙනවා. කරන්න තියෙන්නේ සිහිය දියුණු කරගෙන , නුවනින්, වීර්යයෙන් අත්නොහැර දිගටම කුසලය කිරීමයි. කුසලය කියන්නේ ලෝභ , ද්වේශ , මෝහ නැතිවෙන වැඩ කටයුතුයි.
බුද්ධ කාලින සමාජයේ ධර්මාවබෝධ කිරීමට පැමිණි පිරිස අතර අතීත සසරේ බොහෝ කුසල් කල , පාරමිතා සම්පුර්ණ කල විශාල පිරිසක් හිටිය. ඒ අයට ඉතා කෙටි දේශනාවක් ඇසීමෙන් පවා සෝවාන් ආදී මාර්ග ඵල වලට පැමිණෙන්න පුළුවන් උනා. ඔවුන්ගේ ඉන්ද්‍රිය ධර්ම ආදිය උපතින්ම හුඟක් දියුණු වෙලා තිබුනා. අතීත සසරේ වඩපු කුසල් වල බලය නිසා කෙටි දේශනාවක් අසු පමණින් පවා අතීත සසරේ වඩපු කුසල් ශක්තිය මතුවෙලා ආව. මාර්ග-ඵල ආදියට ඉතා ඉක්මනින් පත්වුණා. හොඳම උදාහරණ තමයි, උපතිස්ස , කෝලිත, බහිය දාරුචීරිය වැනි උදවිය. අදත් ශ්‍රී සද්ධර්මය පවතින යුගයක්. නමුත් එදා වගේ මාර්ග-ඵල ලාභීන් ප්‍රකටව නැත්තේ මාර්ග-ඵල වලට පත්වීමට තරම් කුසල් පිරි නැති නිසයි. එහෙම නැතුව ධර්මයේ වැරද්දක් නිසා නෙමෙයි. ධර්මයේ යම් කිසි දෙයක් මගහැරී ඇති නිසා කියල සැක කරන්න එපා. යම් කෙනෙක් අසූහාර දහසක් ධර්ම ස්කන්දය කියෙව්වත් අවබෝධ නොවෙන්නේ පෙර වඩන ලද කුසල් නැති නිසයි. එක නිසා කලයුත්තේ අවබෝධ වෙන්නේ නෑ කියල කෑ ගගහ ඉන්න එක නෙමේ. පාපයෙන් වෙන්වෙලා කුසල් දහම් වඩන්න. සිත දමනය කරගන්න. ( සබ්බ පාපස්ස අකරනන් - කුසලස්ස උපසම්පදා - සචිත්ත පරියෝදපනං - එතං බුද්ධාන සාසනං ) එවිට ඔබටත් මාර්ග-ඵල වලට පත්වෙන්න පුළුවන්. මේ භවයේ බැරි වුනොත් අනාගත භවයක හරි ධර්මාවබෝධය කරන්න මාර්ග-ඵල වලට පත්වෙන්න එක උදව්වක් වෙනවා ඒකාන්තයි.
No comments:
Post a Comment