Tuesday, February 26, 2013

නිවන වචනයෙන් පැවසිය හැකි නොවේ. කිසියම් අයකු අපට ද නිවන් අවබෝධ කරගැනීමට හැකිවන අයුරින් නිවන අර්ථ දක්‌වන්නේ නම් ඒ පිනම නිවන් දැකීමට ප්‍රමාණවත් වන්නේ යෑයි සිතමි. බුදුන් වහන්සේ නිවන යනු මේ යෑයි පවසා ඇත්තේ කිනම් සූත්‍රයකද?


නිවන කියල කියන්නේ නැවත ඉපදීමක් නැති වීමයි. සංස්කාර සියල්ල නිරුද්ධ වී යාමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපුර්ණ වශයෙන් වැඩීමෙන් මෙම තත්වයට පත්වෙනවා. නිවන යනු තැනක් හෝ දෙයක් නොවෙයි. අවබෝධය දියුණු කිරීමෙන් පත්වන තත්වයක්. අරහත් ඵලය සාක්ෂාත් කරනවා කියන්නේ නිවන් දකිනවා කියන එකයි. අරහත් ඵලය සාක්ෂාත් කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ ගැන බුදුන් වහන්සේ තමන් වහන්සේගේ පළමු සුත්‍ර දේශනාවෙන්ම කියල දුන්න. ධම්ම චක්ක පවත්තන සුත්‍රය බලන්න.


ධම්මචක්කපවත්තන සූත්‍රය
-------------------------------
‘එ‘එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා

චක්ඛු කරණී ඤාණ කරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති’

ධම්මචක්කපවත්තන සූත්‍රය බුදුරදුන්ගේ ප්‍රථම ධර්ම දේශනාවයි. බුද්ධ ධර්මයේ ස්වභාවය හදවත බඳු මෙම සූත්‍රය ඇසළ පෝදා ඉසිපතන මිගදායේ දී දේශනා කරනු ලැබුවේ පංච වග්ගිය භික්‍ෂූන් උදෙසාය. මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව දී දේශනා කරන ලද සූත්‍ර රැසක් අතරට මෙය ද ඇතුළත් වේ.

ධම්මචක්කපවත්තන සූත්‍රය වැදගත් වන්නේ එහි ආර්ය මාර්ගයේ ප්‍රතිපදාව ලොවට හෙළි කර තිබීම නිසාය. සිද්ධාර්ථ කුමරු තවුස් දම් පුරණ කාලයේ ශරීරයට දැඩි සේ දුක් දෙමින් විමුක්තිය සෙවීය. පංච ඉන්ද්‍රිය පිනවමින් කුමාර ජීවිතය ගත කළේය. රම්‍ය, සුරම්‍ය, සුභ නමින් වූ මාළිගාවල අනේක සැප වින්දනය කළේය. මේ එක ක්‍රමයක්වත් විමුක්ති මාර්ගය නොවන බව තමන් අවබෝධ කර ගත්තේය. ආළාර කාලාම, උද්දකරාම පුත්ත වැනි ධ්‍යාන ලාභී තවුසන් වෙත ගමන් කළේද විමුක්තිය සොයා ගනු පිණිසය. එකම බර සංසාර බර පමණි. මේ සංසාර බරෙන් මිදීමට අන්තවාදී පිළිවෙත් නිසි මග නොවන බව එතුමෝ අවබෝධ කර ගත්හ.

ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් අන්දමට අන්තවාදී ප්‍රතිපදා දෙකකි.

1. කාම සුඛල්ලිකානු යෝගය

2. අත්තකිලමථානු යෝගය

මේ අන්ත දෙක අධික සැප, අධික දුක අතර දෝළනය වන්නකි. මේ අන්ත දෙකම පෘථග්ජනයන් විසින් සෙවුනාලද, හීනවූ, ග්‍රාම්‍ය වූ, අනාර්ය වූ, අනර්ථය පිණිස පවතින බව (හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනර්ථ සංහිතො) සිදුහත් කුමරු පසක් කර ගත්හ.

බෝධි මූලයේ තමන් අවබෝධ කර ගත්තේ ආර්ය පර්යේෂණ ක්‍රමයයි. ආර්ය පිළිවෙත උතුම් පිළිවෙත අනුගමනය කිරීමත්, ආර්ය නොවන ග්‍රාම්‍ය වූ කෙළෙස් වැඩෙන අනාර්ය පර්යේෂණයෙන් ඈත් වීමටත් ගෞතම බුදුරදුන් ගේ් පිළිවෙත හේතු වාසනා විය.

අන්ත දෙකෙන් ඉවත්වන විට එහි පවතින්නේ මධ්‍යස්ථ භාවයකි. සැබැවින්ම තථාගතයන් අවබෝධ කර ගත් දහම එතෙක් කිසිවෙකුනුත් අවබෝධ කර නොගත් (පුබ්බේ අනනුස්සුතෙසු ධම්මෙසු) මධ්‍යම ප්‍රතිපදාව වූ බව (මජ්ඣිමා පටිපදා) සිද්ධාර්ථ ගෞතමයාණෝ වදාළ සේක. මෙම නවදහම ස්වාධීන දහමකි. ;නත් පාදන (චක්ඛු කරණ) නුවණ ප්‍රඥාව අවධිකරණ (ඤාණ කරණි) ශාන්තිය සැනසීම පවතින (උපසමාය) අවබෝධය නිර්වාණාධිගමය පිණිස පවතින (උපසමාය අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය) පවතින බව වදාළහ.

ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් මධ්‍යම ප්‍රතිපදාව ගමන් කළ යුතු අනුගමනය කළ යුතු පිළිවෙතක් පමණි. එහි බැහැර කළ යුතු කිසිම දෙයක් නොමැත. මුළු මහත් බුදු දහමේ ජීවන දර්ශනය එහි අන්තර්ගත වේ. ඒ තුළ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාව අන්තර්ග්‍රහණය වේ. ප්‍රඥාව අවධි කරවා, සීලාදි පිළිවෙතෙහි පිහිටා කායික, මානසික, සමාධිය එනම් චිත්ත සමාධිය දක්වා පරිපූර්ණ මාවතක් ඒ තුළ අන්තර්ගතව පවතී.

සම්මා දිට්ඨි

සම්මා සංකප්ප – ප්‍රඥා

සම්මා වාචා

සම්මා කම්මන්ත

සම්මා ආජීව - සීල

සම්මා වායාම

සම්මා සති

සම්මා සමාධි - සමාධි

බෞද්ධ ජීවන මාවත සහ සසරින් මිදීමට කැමැති පුද්ගලයා ගමන් කළ යුතු මාවත මෙම උතුම් අංග තුළ ඇතුළත වේ. මෙම ක්‍රමය අපට අවබෝධ කර ගැනීමට නිසි මාවත පෙන්වා දී ඇත්තේ ලෝකයේ පැවැත්ම අවබෝධ කර ගැනීම තුළිනි. ආර්ය මාවත එළි පෙහෙළි කරදීමෙන් අනතුරුව විශ්වයේ සංසාරයේ ස්වභාවය, කවරේදැයි බුදු හිමියෝ දේශනා කරති. එනම් එදා ගයා තීර්ථයේ මහාබෝධි වෘක්‍ෂ මූලයේදී තමන් තම නුවණින් අවබෝධ කර ගත් ආර්ය සත්‍ය ධර්මය තුළිනි. එය චතුරාර්ය සත්‍ය ලෙස හැඳින්වෙන අතර ඒ නිසාම ‘බුද්ධ’ නම් වූ බව ද දත යුතුය.

බුදු දහමේ හදවත හරය දාර්ශනික සිද්ධාන්ත අතර අග්‍රස්ථානයක ලා සැලකෙන සම්බුදු පදවිය සඳහා සුදුසුකම් ලද ආර්ය සත්‍ය සතර මෙසේය.

1. දුක්ඛ ආර්ය සත්‍ය

2. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය

3. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය

4. දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍ය

ඉපදීම දුකකි. ජරාවට පත් වීම ලෙඩ රෝග වැලදීම දුකකි. මරණය ද දුකකි. කැමැති දේ නොලැබීම ප්‍රියයන්ගෙන් වෙන් වීම අපි‍්‍රයයන් සමග එකතු වීම ද දුකකි. පංච උපාදානාස්ඛන්ධය ආශ්‍රිත සියල්ල දුකකි.

දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාව වේ. දුක්ඛ සමුදය ලෙස එය හැඳින්වේ. දුක්ඛ දුක්ඛ (සාමාන්‍ය දුක) විපරිණාම දුක්ඛ (වෙනස් වීම නිසා) සංසාර දුක්ඛ යනුවෙන් දුක තෙවදෑරුම් තලයක ගමන් කරයි. මෙම දුක කවර ආකාරයෙන් හටගත්තත් ඊට හේතුව තණ්හාව බව පැහැදිලිය.

1. කාම තණ්හා

2. භව තණ්හා

3. විභව තණ්හා වශයෙන් තෘෂ්ණාව තෙවදෑරුම් වේ.

පංච ඉන්ද්‍රියන් පිනවමින් කාම වස්තු සමග ගැටෙමින් ජීවත්වීම කාම තණ්හාවයි. භවයේ සදාකාලිකව ජීවත්වීමට ඇති ආශාව භව තණ්හාවයි. භවයෙන් වෙන්වීමට ඇති ආශාව විභව තණ්හාවයි. දෙවන තෙවන අංග ශාස්වත වාදය හා උච්ඡේද වාදය නියෝජනය කරයි.

ධම්මචක්කපවත්වන සූත්‍රයේ පෙන්වා දී තිබෙන්නේ ‘යමක් අනිත්‍ය ද එය දුකක්’ බවකි. එපමණක් නොව එම ආකල්පය වැඩි දුරටත් සංවර්ධනය කර මින් පවසන්නේ යම් කිසදි ධර්මතාවයක් හට ගත්තේ ද ඒ සියල්ල නිරුද්ධ වන බවයි.

යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං යනුවෙන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඒ බව අවධාරණය කරයි.

දුක නැති කිරීම නම් නිවරනයි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යනු එයයි. තෘෂ්ණාව ක්‍ෂය කිරීම විරාගය නිරෝධය නිර්වාණය බව පෙන්වා දී ඇත. නිවන ශාක්‍ෂාත් කළ යුතු අසංඛත ධර්මයකි. එය අපේ විස්තරයට සමානව නිර්වාණය සිද්ධාර්ථ කුමරු අවබෝධ කර ගත් පරම සත්‍ය වේ. මෙම පරම සත්‍යයට ලංවිය. බුදු සමයේ විමුක්ති සාධනය පරම නිෂ්ටාව නිවන වේ. එය අධ්‍යාත්මික විමුක්ති ලෝකයයි. බුදු දහමේ පරම නිෂ්ටාව ශාක්‍ෂාත් කර ගැනීම මුල් විසි වසරේ ප්‍රධාන කාර්ය භාරය විය. මෙම යුගය ප්‍රථම අභිසම්බෝධි යුගය ලෙස සළකා ඇත. බුදුරදුන් තම ශ්‍රාවක පිරිස් සම්බන්ධයෙන් වඩාත් සතුටට පත් වූයේ මෙම මුල් යුගය තුළ දී බවත්, එයට හේතුව වැඩිම පිරිසක් නිර්වාණාධිගමයට පත්වූයේ එම යුගයේ බවත් මජ්ඣිම නිකායේ කකචූපම සූත්‍රයේ සඳහන් වේ.

ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ගමන් ගන්නා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන ගිහි පැවිදි ශ්‍රාවකයා අවසානයේ සිත සමාධිගත බවට (සම්මා සමාධි) පත් කර ගනියි. එහි අවසාන ඵලය සම්මා ඥානය පහළ වීමයි. යථාභූත ඥානය හෝ ඇත්ත ඇති සැටියෙන් දැකීම සම්මා ඥාන නම් වේ. ඉන් පසු පරම විමුක්තිය නිවන (සම්මා විමුක්ති) පසක් කර ගනියි.

සම්මා විමුක්තිය ලැබූ පුද්ගලයා සසර ගමන නිම කළ සංසාර බර බහා තැබූ අභිමතාර්ථ සාධනය ඉෂ්ට කරගත් පුද්ගලයෙකු බවට පත් වේ. ඒ පුද්ගලයා බෞද්ධ ආර්ය විනයේ දී හඳුන්වනු ලබන්නේ් සව් කෙළෙසුන් නැසූ (අරහං ඛිණාසවො) අයෙකු ලෙසය.

ධම්මචක්කපවත්තන සූත්‍රය හෙළි කරන මාවත නිවැරැදි මාවත වේ. එය සෘජුය. මැනවින් අර්ථවත් වූ ධර්ම මාවත බව ඉතා පැහැදිලිය.