සිත පහදන දහම් කතා


විශ්මිත වූ ඉර්ධිවිද ඥනය ගැන පැහැදීම ඇති කර ගනිමු.


මාගන්ධියා බැමිණිය ඉතාම ලස්සන සුරූපී තරුණියක්. ඒ දෙමාපියන් තමන්ගෙ දියණියව භාග්‍යවතුන් වහන්සේ ලඟට ගෙනල්ලා ප‍්‍රකාශ කළා, “මගේ මේ සුරූපී දියණියට සුදුසු සහකරුවා ඔබයි, ඔබට වඩා කෙනෙක් අපිට මුණගැහිල නෑ.
ඒ නිසා ඔබට මේ දියණිය සරණ පාවා දෙන්ටයි අපි එක්කන් ආවේ. ඒ නිසා බාරගන්න” කියල. 
එතකොට භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රකාශ කළේ කොහොමද? “මේ ශරීරය මම අගය කරන්නෙ නෑ. මේ ශරීරය අසූචි පිරුණ කලයක් වගේ. එබඳු ශරීර මගේ දෙපයින්වත් මම ස්පර්ශ කරන්නෙ නෑ” කියලා.
රන් සේ දිලිසුනේ වුව දෙතිස් කුණුපයෙන් සපිරුණු ඒ ශරීරය ස්ප‍ර්ශ කිරීමටවත් තමා අකමැති බව වදාල බුදු රදුන් බමුණු යුවල අමතා මෙ ගාථාවන් වදාල සේක.
යස්ස ජිතං නාවජීයති
ජිතමස්ස නො යාති කොචි ලෝකේ
තං බුද්ධ මනත්ත ගෝචරං
අපදං කේන පදේන නෙස්සථ
දිනූ කෙලෙස් නැවත නූපදී; නැවත ලුහු නොබඳී. අනන්ත වූ අරමුණු ඇති කෙලෙස් පාද නැති බුදුරදුන් කුමකින් නම් මාරයා වෙත ගෙන යන්නද ?
යස්ස ජාලිනී විසත්තිකා
තණ්හා නත්ථි කුහිඤ්චි නේතවේ
තං බුද්ධමනත්ත ගෝචරං
අපදං කේන පදේන නෙස්සථ
ජාලිනී විසන්තිකා නම් තණ්හාව නැති, අනන්ත වූ අරමුණු ඇති කෙලෙස් පාද නැති බුදුරදුන් කුමකින් නම් මාරයා වෙත ගෙන යන්නද ?
ජාලිනී – ජාලයක් වැනිවූ
විසන්තිකා – රූපාදී අරමුණු වල තදින් ඇලෙන

දැන් බලන්න මුලූ ලෝකයම වසඟවෙන ශරීරයට භාග්‍යවතුන් වහන්සේ මොන ආකාරයෙන්ද සැලකුවේ? අන්න ඒක ඉර්ධියක්. ඒ ඉර්ධිය කෙබඳුයිද? ආශ‍්‍රව රහිතයි, උපාදාන රහිතයි, ආර්ය වූ ශ්‍රේෂ්ඨ වූ ඉර්ධියක්. 

භාග්‍යවතුන් වහන්සේ දවසක් පින්ඩපාතෙ වඩිද්දි මාරයා දානෙ වැලැක්කුවා. හිස් අතින් ආපහු වැඩියා. මාරයා මුණගැහිල කිව්වා, “ආ… අද දානෙ වැරදුනා නේද? දැන් ආපහු වඩින්න දානෙ ලැබේය” කියලා. භාග්‍යවතුන් වහන්සේ වැඩියේ නෑ. මට දානෙ අවශ්‍යය නෑ මට ප‍්‍රීතිය ආහාර කරගෙන වාසය කරන්ට පුළුවන් කිව්වා. අන්න ඒක ඉර්ධියක්. ඒ ඉර්ධිය ආශ‍්‍රව රහිතයි, උපාදාන රහිතයි, ආර්ය වූ ඉර්ධියක්.
භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයෙන් අටවෙනි වස්සානය ගත කළේ ‘වේරංජාව’ කියන ගම්මානයේ. භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් ඒ වේරංජාව කියන ගම්මානයට වැඩම කළා. ඒ වේරංජාවේ ප‍්‍රධානියා වේරංජ බමුණා ඇවිඳින් භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා, “ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස, මේ වස්සානය තුළ මේ ගමේ වස්වසන්ට. මම උපස්ථාන කරන්නම්” කියල. ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ ඒ ආරාධනාව පිළිගත්තා. ඒ පන්සීයක් භික්ෂූන් වහන්සේලාත් එක්ක වේරංජාවේ වස් වැසුවා.
පහුවදා ස්වාමීන් වහන්සේලා ඒ ගම්මානේ නතර වෙලා පින්ඩපාතේ වඩිනවා. පින්ඩපාතේ වැඩියට පින්ඩපාතෙ ලැබෙන්නෙ නෑ. ඒ කාලෙ ඒ ප‍්‍රදේශයේ ආහාර හිඟයි. ඉතින් ඒ කාලෙදී අස්ස වෙළඳාමෙ ගිය පිරිසක් නතර වෙලා හිටියා. ඉතින් ස්වාමීන් වහන්සේලා ඒ අශ්ව වෙළඳාමේ ගිය අයගේ කූඩාරම් ලඟට ගිහිල්ල පින්ඩපාතෙ ගත්තා. එතකොට පින්ඩපාතෙට ලැබෙන්නෙ අශ්වයින්ට දෙන ‘යව හාල්’ කියල ඇට ජාතියක්. එක ස්වාමීන් වහන්සේ නමකට මිටක් දෙනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා ඒවා තමයි අනුභව කරන්නේ. දානේ සඳහා ගත්තේ ඒ අශ්වයන්ට දෙන ඒ ඇටවර්ගය. ඉතින් ඒ වස්සාන කාලය දිගටම භාග්‍යවතුන් වහන්සේයි ඒ ස්වාමීන් වහන්සේලා පන්සිය නමයි ඒ යව හාල් තමයි වැළඳුවේ.
ඒ අතර භාග්‍යවතුන් වහන්සේගෙන් මුගලන් මහ රහතන් වහන්සේ අසා සිටියා, “ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස, මේ ස්වාමීන් වහන්සේලාට දැන් පිණ්ඩපාතේ ලැබෙන්නෙ නෑ. මේ ප‍්‍රදේශයේ දැන් පිණ්ඩපාතේ හිඟයි. ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස, මේ පොළවෙ ඇතුලෙ තියෙනව රස පස. ඒක හරියට මී වදයක් වගේ ප‍්‍රණීතයි. මම මේ මහ පොළව දෙපලූ කරල ඒ රස පඨවිය අරගෙන ස්වාමීන් වහන්සේලාට අනුභව කරන්ට දෙන්නද?” කියල. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අසා සිටියා, “පින්වත් මුගලන් ඔබ කොහොමද ඒක කරන්නේ?” කියලා. “ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස, මම මේ මහ පොළව වගේ තව අතක් මවනවා. මවල මේ මහපොළවෙ ඉන්න සත්තු ටික ඒ අතෙන් තියෙනවා. ඊට පසසේ මම මේ මහ පොළව දෙකට පළනවා. ඊට පස්සෙ මේ රස පස අරගෙන මේ ස්වාමීන් වහන්සේලාට වලඳන්ට දෙන්නම්” කියල අවසර ඉල්ලූවා. භාග්‍යවතුන් වහන්සේ කියා සිටියා මුගලන් එහෙම කරන්ට ගියොත් මේ සත්වයින්ගේ සිත වික්ෂිප්ත වෙයි. ඒක කරන්ට එපා කිව්වා. ඊට පස්සෙ අසා සිටියා, “එහෙනම් ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස අපි උතුරුකුරු දිවයිනට පින්ඩපාතෙ වඩින්නද? ඉර්ධියෙන් ගිහිල්ල එහෙන් පින්ඩපාතෙ අරගෙන වළඳන්ට පුළුවන්” කියල. එහෙම කරන්ටත් එපා කියල වදාළා.
දැන් බලන්න එතකොට අර ඉර්ධි උපයෝගී කරගෙන උතුරුකුරු දිවයිනට ගිහිල්ල පින්ඩපාතෙ කරගන්ටත් තිබුනා. නැත්නම් මහ පොළව පළල අර රස පස අරගෙන අනුභව කරන්ටත් තිබුනා. නමුත් ඒ ඉර්ධි මගින් ඒ ප‍්‍රතිලාභ අත්කර ගත්තද? නෑ. එහෙම හැකියාවක් තිබෙද්දීත් ඒ ප‍්‍රතිලාභ අත්කර ගත්තේ නෑ. අර අශ්වයන්ට දෙන ධාන්‍යය වර්ගය මනුෂ්‍යයින්ට සුදුසු නැති දෙයක්. ඒ ධාන්‍යය තමයි මාස තුනක්ම අනුභව කළේ. ඒ ධාන්‍යය වලින් අග්ගලා හදලා ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා. භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රකාශ කළා, ”පින්වත් ආනන්ද සත්පුරුෂ ඔබ තන්හාව දිණුවා. අනාගත ජනතාව ඇල් හාලේ බතටයි, මස් ව්‍යාංජනයටයි ඔච්චම් කරයි ඔබේ මේ ක‍්‍රියාවත් එක්ක. ඔබ සත්පුරුෂයි” කියල දේශනා කළා. අන්න ඒ තමයි ඉර්ධි. ඒ ඉර්ධි ආශ‍්‍රව රහිතයි. උපාදාන රහිතයි. ආර්ය වූ ස්වභාවයෙන් යුක්තයි. බලන්න අර ඉතාම අපහසු තත්වයේ ආහාරය අපහසුවක් නැතිව වැළඳුවා. වැළදුවේ උපේක්ෂාවෙන් යුක්තවයි. නමුත් භාග්‍යවතුන් වහන්සේට ඉර්ධියෙන් උතුරු කුරු දිවයිනට ගිහින් පින්ඩපාතෙ කරන්ට බැරිද? පුළුවවන්. මුගලන් රහතන් වහන්සේ අසා සිටිද්දී පවා ඒකට අවසරයක් දුන්නද? අවසර දුන්නේ නෑ. එතකොට එතන පිළිකුල් හැඟීම තිබුනෙත් නෑ. නොපිළිකුල් හැඟීම තිබුනෙත් නෑ. සංඥා දෙකම බැහැර කරල පිරිසිඳු උපේක්ෂාවෙන් යුක්තව ඒ කර්කෂ රළු ආහාරය වළඳන්ට පුළුවන් වුනා. අර හීන වූ ඉර්ධිය මඟින් ප‍්‍රණීත ආහාර ලබාගන්ට කල්පනා කළේ නෑ. බැරිවෙලාවත් එහෙම කළා නම් පශ්චිම ජනතාවට පමණක් නෙවෙයි ඒ යුගයේ ජනතාවටත් ඒක වැරදි පුර්වාදර්ශයක් බවට පත්වෙනවා. භාග්‍යවතුන් වහන්සේ අර ලාමක ඉර්ධීන් වලට අවසර දුන්නා නම්, නුවණ මද අය ලාමක ආශාවන්ට කොටුවෙනවා. අපහසුකම් දරාගැනීමේ ශක්තිය නැතිව යනවා. ධර්මය කරා යන්ට ඒ අයට බැරිවෙනවා. දුකෙන් නිදහස්වෙන්ට ධර්මය පුරුදු කරන්ට ඒ අයට වීරිය උපදවා ගන්ට තියෙන අවස්ථාව අහිමි කරගන්නවා.
නමුත් භාග්‍යවතුන් වහන්සේ ආශ‍්‍රව සහිත උපාදාන සහිත ඉර්ධිය බැහැර කරල ආශ‍්‍රව රහිත, උපාදාන රහිත ආර්ය වූ ඉර්ධීන් අනුභව කළා. ඒ ඉර්ධීන් තමයි භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රකට කළේ. අන්න ඒ ඉර්ධීන් වලින් යුක්තව වාසය කරමින් භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයට අතිශය ශ්‍රේෂ්ඨ වූ ආදර්ශයක් ලබාදුන්න. ඒ තමයි හැකියාව වුනත් ලෝකයට අහිත පිණිස නම්, සමාජයට අහිත පිණිස නම්, දෙවියන් මිනිසුන්ට අහිත පිණිස නම් පවතින්නේ අන්න ඒ හැකියාව අගය කළේ නෑ. අගය නොකළ යුතු දේ අගය නොකරන ආකාරයටයි උන්වහන්්සේ කටයුතු කළේ. ඒ තමයි ලෝකයට හිත පිණිස කටයුතු කරන ශාස්තෘන් වහන්සේගේ ස්වභාවය.
භාග්‍යවතුන් වහන්සේගේ මේ ඉර්ධිවිද ඥානය පිළිබඳ තිබෙන සුවිශේෂී බව, අනුත්තරීතර බව අපි මේ ආකාරයෙන් ඉගෙන ගත යුතුයි. ඉර්ධීන් පිළිබඳ මෙබඳු ඥානයක්, මෙබඳු වැටහීමක් දෙවියන් මිනිසුන් ආදී කිසිවෙක් තුළ නෑ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ ඉර්ධි පිළිබඳ ඥානය කිසි කෙනෙකුට සම කරන්ට බෑ. කිසි කෙනෙකුට දෙවෙනි වෙන්නෙත් නෑ. ඒ ඉර්ධීන් සම්බන්ධව උන්වහන්සේගේ අවබෝධයත්, ප‍්‍රකාශ කරන ධර්මයත් සියල්ලටම අග‍්‍රයි, අනුත්තරීතරයි. අන්න ඒ ආකාරයට අපි ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ඉර්ධිවිද ඥානය පිළිබඳව දැණම ඇති කරගත යුතුයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ඉර්ධිවිද ඥානය පිළිබඳව අපි මේ ආකාරයෙන් තේරුම් ගත්තොත්, ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම උපදවා ගන්ට ඒ වැටහීම අපිට මහත් සේ උපකාර වෙනවා. ඒ නිසා අපි කව්රුත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අතිශය සුවිශේෂ වූ අනුත්තරීතර වූ ඉර්ධිවිද ඥානය පිළිබඳව පැහැදීම උපදවාගෙන, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකත්වය උපදවගන්ටත්, ඒ උපදවා ගන්නා වු ශ‍්‍රාවකත්වය පරිපූර්ණ කරගන්ටත් කව්රුත් කැමති වෙමු. සියලූ දෙනාටම ඉතාම සෙනෙහසින් සෙත්පතන්ට කැමතියි, ආශිර්වාද කරන්ට කැමතියි අපගේ භාග්‍යවතුන් වහන්සේ තුළ පිහිටා තිබුණ අතිශයින් විශ්මිත වූ අනුත්තරීතර වූ ඒ ඉර්ධිවිද ඥානය පිළිබඳව සියලූ දෙනාටම බලවත් වූ පැහැදීම උපදවාගන්ට දුර්ලභ වූ භාග්‍යය උදාවේවා.
සියලූ දෙනාටම තෙරුවන් සරණයි.