Wednesday, April 17, 2019

ආස්වාදයට යටවනවාද?


මෙලොව සැපක්, ආස්වාදයක් තිබේද? අනිවාර්යයෙන් ම තිබේ. එසේ නොමැතිනම් සත්වයා මෙච්චරම ලෝකයට ඇලෙන්නෙ නෑනෙ. ඉක්මනින්ම ලෝකයෙන් මිදීමට උත්සාහ ගන්නවනෙ. සත්වයා ලෞකීය කාරනා 36කට ඇලිල, ආස්වාද කර කර කෙල්වරක් නැති සසරකට වැටිල ගසාගෙන යනව. සුලු ආස්වාදයක් නිසා අවසානයේ විශාල දුකකට හසු වෙනව. 

අප සියලු දෙනා තම තමන් ආ සසර ගමනේ වින්ද දුක් වේදනා තම තමන්ට මතක තිබුනා නම්, නැවතත් එවැනි දුක් ගොඩක් උරුම කරගන්න කොහෙත්ම කැමති වෙන්නෙ නෑ. ආස්වාදයෙන්  ආස්වාදයට පැන පැන ආදීනව මගහරිමින් කටයුතු කරන්න මියයනතුරාම උත්සාහ ගන්නවා. ආදීනව දකින්න හරිම අමාරුයි. අකමැතියි. ඉන්න ටික කාලෙ සතුටින් ඉන්න ඕන කියලයි හැමෝම හිතන් ඉන්නේ. ආස්වාදය තුල සතුටක් පවතිනවා, නමුත් ඉතාම සුළුයි. අල්පයි. වහා නැතිවීයන සුළුයි. අන්න ඒ අල්පවූ, වහා නැසී වැනසීයන්නාවූ සතුටක් සේ පෙනෙන්නාවූ විශාල මිරිගුවක් පසුපස සත්වයා හතිවැටීගෙන දුවනව. 

සසර ගමනේ සැබෑ ස්වභාවය හදුනාගැනීමට නම් ආදීනව දැකිය යුතුමයි. ආස්වාදයෙන් ආස්වාදයට පැන පැන ඉන්න අසෘතවත් පෘතග්ජනයාට ඊට එහා දෙයක් පේන්නෙ නෑ. දකින්න උවමනාවකුත් නෑ. ඒ නිසා ශ්‍රී සද්ධර්මය මුන ගැසුනු ඔබ සෘතවත් ආර්‍ය ශ්‍රාවකයෙක් ලෙස කරන්න ඕන මූලිකම දෙයක් තමා ආදීනව දැකීම. ඉන්පසු නිස්සරනය කරා වීර්‍ය කිරීම. 

කුමකද ආදීනව දැකිය යුත්තේ? සබ්බ ( සියල්ලේම ) ආදීනව දැකිය යුතුයි. අනිච්ච වූ සියල්ල දුක් ඇතිකරයි. විපරිනාමයි. වෙනස්වන සුළුයි. මමය කියා හෝ, මාගේය කියා හෝ, මාගේ ආත්මය කියාහෝ ගත් හැකි ස්ථිර දෙයක් නෑ. 

මෙන්න මේ ලෞකික කාරනා 36ට තමයි සත්වයා ඇලී ගැලී ආස්වාද කරමින් ආස්වාදයෙන් ආස්වාදයට පනිමින් මිරිඟුවක් පසු පස දුවන්නේ. 

පළමු ගොඩවල් 6

1. ඇස
2. ඇසට පෙනෙන රූප
3. ඇසේ විඥ්ඥානය
4. ඇසේ ස්පර්ශය ( ඉහත කරුණු තුනේ එකතුවෙන් සකස් වන දේ )
5. ඇසේ වේදනාව ( ආස්වාදයෙන් ආස්වාදයට පැන පැන ඉන්න කෙනා ඇස අනුබද්ධයෙන් ජනිත වන සැප වේදනාව පමණක් විදිමින් සිටීමට අසාර්ථක උත්සාහයක නියැලී සිටී.)
6. ඇසේ තන්හාව ( එම සැප වේදනාව කෙරෙහි තන්හාව , ආශාව, චන්දරාගය උපදවා ගනී. )

ඉන්පසු ඒවා, මම ලෙසත් , මගේ ලෙසත් , මගේ ආත්මය ලෙසත් දෘෂ්ටිගත වෙයි. එනම් උපාදාන කරගනී

දෙවෙනි ගොඩවල් 6

1. කන
2. කනට ඇහෙන ශබ්ධ
3. කනේ විඥ්ඥානය
4. කනේ ස්පර්ශය ( ඉහත කරුණු තුනේ එකතුවෙන් සකස් වන දේ )
5. කනේ වේදනාව ( ආස්වාදයෙන් ආස්වාදයට පැන පැන ඉන්න කෙනා කන  අනුබද්ධයෙන් ජනිත වන සැප වේදනාව පමණක් විදිමින් සිටීමට අසාර්ථක උත්සාහයක නියැලී සිටී.)
6. කනේ තන්හාව ( එම සැප වේදනාව කෙරෙහි තන්හාව , ආශාව, චන්දරාගය උපදවා ගනී. )

ඉන්පසු ඒවා, මම ලෙසත් , මගේ ලෙසත් , මගේ ආත්මය ලෙසත් දෘෂ්ටිගත වෙයි. එනම් උපාදාන කරගනී


තුන්වෙනි  ගොඩවල් 6

1. නාසය 
2. නාසයට  දැනෙන  ගඳ /සුවඳ 
3. නාසයේ විඥ්ඥානය
4. නාසයේ ස්පර්ශය ( ඉහත කරුණු තුනේ එකතුවෙන් සකස් වන දේ )
5. නාසයේ වේදනාව ( ආස්වාදයෙන් ආස්වාදයට පැන පැන ඉන්න කෙනා නාසය   අනුබද්ධයෙන් ජනිත වන සැප වේදනාව පමණක් විදිමින් සිටීමට අසාර්ථක උත්සාහයක නියැලී සිටී.)
6. නාසයේ තන්හාව ( එම සැප වේදනාව කෙරෙහි තන්හාව , ආශාව, චන්දරාගය උපදවා ගනී. )

ඉන්පසු ඒවා, මම ලෙසත් , මගේ ලෙසත් , මගේ ආත්මය ලෙසත් දෘෂ්ටිගත වෙයි. එනම් උපාදාන කරගනී


හතරවෙනි  ගොඩවල් 6

1. දිව 
2. දිවට  දැනෙන  රස 
3. දිවේ  විඥ්ඥානය
4. දිවේ ස්පර්ශය ( ඉහත කරුණු තුනේ එකතුවෙන් සකස් වන දේ )
5. දිවේ වේදනාව ( ආස්වාදයෙන් ආස්වාදයට පැන පැන ඉන්න කෙනා දිව  අනුබද්ධයෙන් ජනිත වන සැප වේදනාව පමණක් විදිමින් සිටීමට අසාර්ථක උත්සාහයක නියැලී සිටී.)
6. දිවේ තන්හාව ( එම සැප වේදනාව කෙරෙහි තන්හාව , ආශාව, චන්දරාගය උපදවා ගනී. )

ඉන්පසු ඒවා, මම ලෙසත් , මගේ ලෙසත් , මගේ ආත්මය ලෙසත් දෘෂ්ටිගත වෙයි. එනම් උපාදාන කරගනී

පස්වෙනි  ගොඩවල් 6

1. කය   
2. කයට   දැනෙන  පහස   
3. කයේ   විඥ්ඥානය
4. කයේ ස්පර්ශය ( ඉහත කරුණු තුනේ එකතුවෙන් සකස් වන දේ )
5. කයේ වේදනාව ( ආස්වාදයෙන් ආස්වාදයට පැන පැන ඉන්න කෙනා කය  අනුබද්ධයෙන් ජනිත වන සැප වේදනාව පමණක් විදිමින් සිටීමට අසාර්ථක උත්සාහයක නියැලී සිටී.)
6. කයේ තන්හාව ( එම සැප වේදනාව කෙරෙහි තන්හාව , ආශාව, චන්දරාගය උපදවා ගනී. )

ඉන්පසු ඒවා, මම ලෙසත් , මගේ ලෙසත් , මගේ ආත්මය ලෙසත් දෘෂ්ටිගත වෙයි. එනම් උපාදාන කරගනී


හයවෙනි  ගොඩවල් 6

1. සිත   
2. සිතට  දැනෙන  අරමුණු   
3. සිතේ  විඥ්ඥානය
4. සිතේ ස්පර්ශය ( ඉහත කරුණු තුනේ එකතුවෙන් සකස් වන දේ )
5. සිතේ වේදනාව ( ආස්වාදයෙන් ආස්වාදයට පැන පැන ඉන්න කෙනා සිත අනුබද්ධයෙන් ජනිත වන සැප වේදනාව පමණක් විදිමින් සිටීමට අසාර්ථක උත්සාහයක නියැලී සිටී.)
6. සිතේ තන්හාව ( එම සැප වේදනාව කෙරෙහි තන්හාව , ආශාව, චන්දරාගය උපදවා ගනී. )

ඉන්පසු ඒවා, මම ලෙසත් , මගේ ලෙසත් , මගේ ආත්මය ලෙසත් දෘෂ්ටිගත වෙයි. එනම් උපාදාන කරගනී


මේවායේ ආස්වාදයට යට නොවී ආදීනව දකින්න පුරුදු පුහුණු වන්නේ සෘතවත් ආර්ය ශ්‍රාවකයායි. එවැනි උවමනාවක් අවශ්‍යතාවයක් ඇතිවන්නේ සෘතවත් ආර්ය ශ්‍රාවකයකුට පමණයි. ආදීනව දැක , ආදීනවය තුල නොනැවතී නිස්සරණය කරා වීර්ය කරන්නේද සෘතවත් ආර්ය ශ්‍රාවකයායි. 

හයේ ගොඩවල් හයේ ( ඉහත කරුණු 36 ) ආස්වාදයට යට නොවී ආදීනව දකින්න පුරුදු වන්න. එවිට සිත ඒවායින් මුදවාගත හැකිවනු ඇත. ආර්‍ය මාර්ගය තුල වීර්ය කිරීමෙන් නිස්සරණය ට පත්විය හැක. 




Monday, June 19, 2017

සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම

ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා නිවන් මගට යොමු කරවීමට දේශනා කල ධර්මයේ ගැඹුරැම දේශනා මාලාව නම් මේ සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම (37) විස්තරයයි. ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මයේ ගැඹුරැම අභිධර්ම තිබෙන්නේ සූත්‍ර පිටකයේ ඇතුලත් වන මෙම සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම නම්වූ නිවන් මගටම මුල්වූ අභිධර්ම විස්තරයයි.

ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් ආකාර තිස් හතකින් විග්‍රහ කල නිවන් මගටම මුල්වූ ඒ මහා අනර්ඝ පැහැදිලි කිරීම බුදු දහමේ මූලික හරයයි මූලික ඉලක්කයයි.

මහ රහතන් වහන්සේලා බිහි උනෙත් මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි. මාර්ගඵල ලාබී අනෙකුත් ගිහි පැවිදි ශ්‍රාවකයන් බිහි උනේද මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි. ජය ශ්‍රී මහා බෝධි මූලයේදී ගෞතමයන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කලේද මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි..

ඉතින් මේ තමයි බුදු රජාණන් වහන්සේ දේශනා කල නිවන් මගට උපකාර කරන්නාවූ අවබෝධ කල යුතුවූ ගැඹුරැ ධර්මය.


සතර සති පට්ඨානය

1.කායානු පස්සනා සතිපට්ඨානය
කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව කෙලෙසුන් ප්‍රහානය කිරීමේ නුවනින් යුතුව මනා සිහි නුවනින් කය පිලිබඳව සිහිය යොමා ගෙන වාසය කිරීම නැතහොත් කයට අනුව සිහිය පිහිටුවීමයි.

2. වේදනානු පස්සනා සතිපට්ඨානය
සැප විඳීම දුක්විඳීම උපේක්‍ෂා විඳීම අනිත්‍ය බව අවබෝධයෙන් යුතුව වටහා ගෙන විඳීමට නොඇලී වාසය කිරීමයි


3. චිත්තානු පස්සනා සතිපට්ඨානය
දුක් දොම්නස් වලින් අත් මිදීම පිනිස චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිනිස අමා මහ නිවන සාක්‍ෂාත් කිරීම පිනිස සිත මෙහෙයවීම

4. ධම්මානු පස්සනා සතිපට්ඨානය
ධර්මයන් කෙරෙහි යෝනිසෝ මනසිකාරය කරමින් ඒ ඒ ධර්මයන් පිලිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දැකීම.


සතර සම්‍යක් ප්‍රධාන වීර්යය

1.නූපන් අකුසල ධර්මයන් නූපදවීම පිනිස කරන වීර්ය

2.උපන් අකුසල ධර්මයන් ප්‍රහානය කිරීම පිනිස කරන වීර්ය

3.නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම පිනිස කරන වීර්ය

4.උපන් කුසල ධර්මයන් වැඩි දියුනු කිරීම පිනිස කරන වීර්ය


සතර සෘද්ධි පාද

1.ඡන්ද සෘද්ධි පාදය
ධර්මය ඇසීමටත් ධර්මයේ හැසිරීමටත් ඇති බලවත් කැමැත්ත ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි.

2.චිත්ත සෘද්ධි පාදය
අරහත්වීමේ අධිෂ්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටුවා ගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව චිත්ත සමාධිය වැඩීම චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි.

3.විරිය සෘද්ධි පාදය
අරහත්වීමේ අධිෂ්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටුවා ගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව වීර්ය සමාධිය වැඩීම වීර්ය සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි.

4.වීමංසා සෘද්ධි පාදය
අරහත්වීමේ අධිෂ්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටුවා ගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව වීමංසා සමාධිය වැඩීම වීමංසා සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි. වීමංසා කියන්නෙ විමසිමයි


පංච ඉන්ද්‍රිය

1.ශ්‍රද්ධා ඉන්ද්‍රිය
ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නෙ බුදු රජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි.. ස්‍රද්ධාති තථාගතස්ස බෝධිං.
බුදු රජාණන් වහන්සේ ගැන ඇතිවන නොසෙල්වෙන පැහැදීම.
ශ්‍රි සද් ධර්මය ගැන ඇතිවන නොසෙල්වෙන පැහැදීම.
ආර්ය මහා සංඝයා ගැන ඇතිවන නොසෙල්වෙන පැහැදීම.

2.විරිය ඉන්ද්‍රිය
නූපන් අකුසල ධර්මයන් නූපදවීම පිනිසත්, උපන් අකුසල ධර්මයන් ප්‍රහානය කිරීම පිනිසත්, නූපන් සීල සමාධි ප්‍රඥා උපදවා ගැනීම පිනිසත්, උපදවා ගත් සීල සමාධි ප්‍රඥා වැඩි දියුනු කර ගැනීමටත් යෙදන බලවත් වීර්යයි.

3.සති ඉන්ද්‍රිය
සති ඉන්ද්‍රිය නම් නිවන් අවබෝධ කරනවා කියන අදහසින් සතර සති පට්ඨානයේ සිහිය පිහිටුවා ගැනීමයි.


4.සමාධි ඉන්ද්‍රිය
නිවන අරමුනු කරගෙනම පලවෙනි ධ්‍යානයට දෙවනි ධ්‍යානයට තුන්වන ධ්‍යානයට සමවැදීම සමාධි ඉන්ද්‍රිය නම් වෙයි.

5.ප්‍රඥා ඉන්ද්‍රිය
නිවන අවබෝධ කිරීමට සිතන ආර්ය ස්‍රාවකයාට චතුරාර්‍ය සත්‍ය පිලිබඳව ඇතිවන අවබෝධාත්මක ප්‍රඥාවයි. පටිච්ච සමුප්පාදයේ හට ගැනීමත් පටිච්ච සමුප්පාදයේ නිරෝධයත් පිලිබඳ ඇතිවන අවබෝධයයි.



පංච බල

1.ස්‍රද්ධා බලය
ස්‍රද්ධා ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම ස්‍රද්ධා බලය වෙයි

2.විරිය බලය
වීර්ය ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම වීර්ය බලය වෙයි

3.සති බලය
සති ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම සති බලය වෙයි

4.සමාධි බලය
සමාධි ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම සමාධි බලය වෙයි

5.ප්‍රඥා බලය
ප්‍රඥා ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම ප්‍රඥා බලය වෙයි


සප්ත බොඡ්ඡංග

1.සති සම්බොඡ්ඣංගය
සති සම්බොඡ්ඣංගය කියන්නෙ ධර්මය මනා නුවනින් විමසමින් යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් මනා කොට ධර්මය අවබෝධ වන ආකාරයටම සිහිය පැවැත්වීමයි.

2.ධම්ම විජය සම්බොඡ්ඣංගය
ධම්ම විජය සම්බොඡ්ඣංගය කියන්නෙ කුසල හා අකුසල ධර්මද වැරදි හා නිවරදි ධර්මද උසස් හා පහත් ධර්මද නිවරදිව හඳුනාගෙන චතුරාර්‍ය සත්‍ය අවබෝධ වන ආකාරයට නුවනින් විමසීමයි.

3.විරිය සම්බොඡ්ඣංගය
විරිය සම්බොඡ්ඣංගය කියන්නෙ පටන් ගත් වීර්යයෙන් යුතුව බලවත්වූ වීර්යයෙන් ධර්මය අවබෝධ කිරීම පිනිසම යෝනිසෝ මනසිකාරයේ යෙදීමයි.

3.ප්‍රීති සම්බොඡ්ඣංගය
ප්‍රීති සම්බොඡ්ඣංගය කියන්නෙ ධර්මය අවබෝධ වීමෙන් ලබන චිත්ත ප්‍රීතියයි.

4.පස්සද්ධි සම්බොඡ්ඣංගය
පස්සදධි සම්බොඡ්ඣංගය කියන්නෙ ධර්මය අවබෝධ වීමෙන් ලබන කායික මානසික සැහැල්ලුවයි.

5.සමාධි සම්බොඡ්ඣංගය
සමාධි සම්බොඡ්ඣංගය කියන්නෙ භාවනාවේ යෙදෙමින් සිතඑක අරමුනකට එකඟ කර ගැනීමයි.

6.උපේක්ඛා සම්බොඡ්ඣංගය
උපේක්ඛා සම්බොඡ්ඣංගය කියන්නෙ මනා කොට ඉවසීම ප්‍රගුන වීමෙන් සිත උපේක්‍ෂාවට පත්ව සංවර වීමයි.




ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය

1.සම්මා දිට්ඨිය
දුක පිරිසිඳ දැකිය යුතුයි.
දුක හට ගන්නාවූ තෘෂ්නාව ප්‍රහානය කල යුතුයි.
දුක නැතිකල බව තන්හාව ප්‍රහානය කලබව තමා අත් දැකිය යුතුයි.
ශීල සමාධි ප්‍රඥා වශයෙන් මාර්ගය වැඩිය යුතුයි.


2.සම්මා සංකප්ප 
දුකින් නිදහස් වීමට සිතන නෙක්ඛම් සංකල්පනාවත් මෛත්‍රී කරැනා මුදිතා ආදී සිතන අව්‍යාපාද සංකල්පනාවත් හිංසාවෙන් තොරව කටයුතු කරන අවිහිංසා සංකල්පනාවත්


3.සම්මා වාචා
බොරැ කීමෙන් වැලකීම කේලමෙන් වැලකීම පරැෂ වචනයෙන් වැලකීම හිස් වචනයෙන් වැලකීම

4.සම්මා කම්මන්ත
කිසියම් ජීවිතයකට හානි කිරීමෙන් හෝ අනුබල දීමෙන් වැලකීම. තමාට අයත් නොවන කිසිවක් සොර සිතින් ගැනීමෙන් වැලකීම. කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීම.

5.සම්මා ආජීවය
අසම්මත වූ ලාමක වූ විවිධ ක්‍රම මගින් ජීවත් වීමෙන් වැලකී ධාර්මිකව ජීවත්වීම.

6.සම්මා වායාමය
හට ගත් අකුසලයන් ප්‍රහානය කිරීමට වෑයම් කිරීමත්. නූපන් කුසල් උපදවා ගැනීමට වෑයම් කිරීමත්. ඒකට බලවත්වූ වීර්ය කිරීමත්.

7.සම්මා සතිය
සතර මහ ධාතූන්ගෙන් හට ගත් මේ කය කෙරෙහි යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් කෙලෙස් ප්‍රහානය කරන නුවනින් යුතුව අවබෝධයෙන් සිතීම.

8.සම්මා සමාධිය
සතර සති පට්ඨානයේ සිහිය පවත්වමින් පංච නීවරන සංසිදුවා ලබන විවේකයෙන් යුතුව කයේ මනසේ ප්‍රීතිය ඇතුව
ප්‍රථම ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
දෙවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
තෙවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
හතරවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.


සාධු ....! සාධු ....! සාධු ....! !

Tuesday, June 6, 2017

දහම දකින්නේ කෙසේද?

බුදුන් වහන්සේ දේශනා කලේ තමා පිළිබඳව තමන් විසින්ම අවබෝධ  කලයුතු දෙයක්. ඒ සඳහා තම තමන්ගේ මනස තම තමන් විසින්ම වර්ධනය කල යුතු වෙනවා. එහෙම කරන්න උදව්වක් , උපකාරයක්,  මග පෙන්වීමක් තමයි උන්වහන්සේ දේශනා කලේ. යම් කෙනෙක් ධර්මය අවබෝධ කිරීමේදී සත්‍ය වශයෙන්ම අවබෝධ වන්නේ තමා පිළිබඳවයි. අන්න ඒ නිසා තමයි ධර්මයේ ස්වභාවය විස්තර කිරීමේදී "පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤූහීතී" යනුවෙන් විග්‍රහ වෙන්නේ.

ඒකෙ තේරුම තමයි තමා තුලින් තමාව දැකගෙන තමා තුලින් තමාව අවබෝධ කලයුතු බව.

වෙනත් කෙනෙක් ධර්මය අවබෝධ කලොත් ඔහු හෝ ඇයට අවබෝධ වන්නේ ඔහු හෝ ඇය පිළිබඳවයි. එම අවබෝධය පෞද්ගලික එකක් . තම තමාගේ මානසික ශක්තියේ පිබිදීමක් තුලින් ලබන අවබෝධයක්.  යම් කෙනෙකුගේ අවබෝධය තවත් කෙනෙකුට ඇස්දෙකෙන් දැකල අතින් ස්පර්ශ කරලා බලාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එකට මිනුම් දඬු නෑ . භෞතිකව මිනුම් දණ්ඩකින් මනින්න බෑ . ධර්මාවබෝධය පිළිබඳ සත්‍ය ඔන්න ඕකයි.

මේ සත්‍ය තේරුම් නොගත් සමහර උදවිය දහම අවබෝධ කරන්න උත්සාහ ගන්නේ නෑ. ඒගොල්ලෝ විවිධ තර්ක විතර්ක කරමින් දහම් අවබෝධ කරන්න උත්සාහ ගන්නා අයවත් තමන්ගේ මිත්‍යා දෘෂ්ටි අදහස් වලට හසු කරගන්න උත්සාහ කරනවා. මෑත යුගයේ එවැනි මිත්‍යා දෘෂ්ටි අදහස් දරන අය මෙවැනි දේ ප්‍රකාශ කරනවා.

1. ඔය දහම අහල රහත් උන කෙනෙක් ඉන්නවනම් අපි කොහොමද එයා රහත් කියල හරියටම දැන ගන්නේ?

2. එහෙම හරියටම දන්නේ නැතුව අපි මොකටද ඕක අවබෝධ කරගන්න කාලය නාස්ති කරන්නේ?

3. Target එකක් Achieve කරපු බව ඔප්පු කරගන්න බැරි නම් ඒකෙන් වැඩක් නෑනේ.

4. බුදු හාමුදුරුවෝ හරියටම බුදු උනා කියල ඔයා කොහොමද දන්නේ?

5. එහෙම නොදැන එයාගේ ධර්මය අනුගමනය කරන එකේ කිසි තේරුමක්  නෑනේ

මෙන්න මේ වගේ අදහස් වලින් එවැනි අය තමන්ගේ ඔලුව පුරවාගෙන ඉන්නවා. අනිත් අයටත් එවැනි අදහස් ඇති කරවල ධර්ම මාර්ගයේ යන ගමනට බාධා කරනවා.

ධර්මය අවබෝධ වීම කියල කියන්නේ තනිකරම මනසේ ඇතිවන පිබිදීමක්. මනස වැඩෙනවා. වැඩුණු මනස තුල  ප්‍රඥාව පහල වෙනවා. එය කිසිම උපකරණයකින් මැනලා පෙන්නන්න බෑ. ඉතා සරල උදහරනකින් තේරුම් කරනවානම්, යම් කෙනෙක් තමන්ගේ දරුවෙකුට ඇති ආදරය, කරුණාව වගේ හැඟීමක් කිරල මැනලා පෙන්නන්න බෑ වගේ. ඒ ආදරයේ හෝ කරුණාවේ තරම දන්නේ එම පුද්ගලයා පමණයි. තවත් කෙනෙක් වෙනුවෙන් ඒක ඔප්පු කරලා පෙන්නන්න බෑ

මොන දේ කරලා පෙන්නුවත් තව කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඕව කරන්නේ මතුපිට හැඟීමකින් විතරයි, ඇත්තටම ආදරයකින් කරුණාවකින් නෙමේ කියල. මනසේ ඇතිවන හැඟීම් , ආදරය, කරුණාව, විරහව , වෛරය , ක්‍රෝධය , ප්‍රඥාව , ශ්‍රද්ධාව , අවබෝධය වගේ දේවල් කිරල මැනලා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් දේවල් නෙමේ. ඒවා තම තමන් විසින් දැන ගන්න දේවල්. එක තමයි යථාර්තය.

ඒ නිසා ඔබ ධර්ම මාර්ගයේ යන්න ධර්මය අවබෝධ කරන්න පසුබට වන්න එපා. බුදුන් වහන්සේ වදාළ පිළිවෙලට ආර්ය මාර්ගය ට පිවිසිලා සිහියෙන් නුවනින් ධර්මය අධ්‍යනය කරලා ප්‍රථිපල ලබන්න උත්සාහවත් වන්න. නොපසුබට වීර්යයෙන් කටයුතු කරන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි.
ඔබගේ කල්‍යාන මිත්‍ර,

සුරේෂ් රොඩ්රිගෝ 

Thursday, May 28, 2015

රහමෙර පානයෙහි ආදීනව

සුරාමේරය පානඤ්ච යෝ නරෝ අනුයුඤ්ජතිඉධේවමේසෝ ලෝකස්මිං මූලං ඛණිති අත්තනෝති


යම්කිසි මිනිසෙක් සුරාව පානය කරන්නේද? ඔහු පරලොව ජීවිතය අවාසනාවන්ත කර ගන්නා අතරම මෙලොව ජීවිතයේ සියලු අභිවෘද්ධින්ද මුලිනුපුටා විනාශ කරගනු ලබයි.


බුදුරජාණන් වහන්සේ රහමෙර පානයෙහි ආදීනව විවිධ දේශනා වලින් පැහැදිලි කර දෙයි. සිඟාලෝවාද සූත්රයෙහි , සන්දිට්ඨිකා ධනඤජානි, කලහප්පවඩ්ඪති, රෝගානං ආයතනාවං, අතිත්ති සංජනනී, කෝපීනං නිදංසනී, පඤ්ඤාය දුබ්බලී කරණී, ජට්ඨං පදං භවති ඉමේ ඛෝ ගහපතිපුත්ත ආදීනවා සුරාමේරය මජ්ජපමා දට්ඨානුයෝගේ යනුවෙන් දක්වා තිබේ.

1. තමා සතු රන්රිදී ගේ දොර මුතු මැණික් ආදි දේ විනාශ වී යනවා. (සන්දිට්ඨිකා ධනඤජානි)
2. අඩ දබර කලකෝලාහල ඇති වෙනවා. (කලහප්පවඩ්ඪති )
3. ලෙඩ රෝග වැලදෙනවා,  ( රෝගානං ආයතනාවං )
4. නින්දා අපහාස ඇති වෙනවා, (අතිත්ති සංජනනී)
5. ලැජ්ජා භය නැති වී තිරිසෙනෙක් මෙන් හැසිරෙනවා. (කෝපීනං නිදංසනී)
6, නුවණ පිරිහී දුර්වල අයෙකු වෙනවා. (පඤ්ඤාය දුබ්බලී කරණී)

Monday, October 13, 2014

පාප මිතුරා හා කළ්‍යාණ මිතුරා බුදුදහම හඳුන්වන ආකාරය බලමු.

බුදු දහමට අනුව පාප මිතුරන් සිව් දෙනෙකි.


1. අඤ්ඤදත්ථුහර – යමක් ගැනීමට පමණක් සිටින්නා

2. වචීපරම – වචනයෙන් පමණක් සිටින්නා

3. අනුප්පියභාණී - හොද නරක තෝරා නොදෙන හොඳ නරක දෙකම අනුමත කරන්නා.

4. අපාය සහාය – අපායට ඇදගෙන යන්නා නොහොත් පාපයට පොලඹවන්නා.


බුදු දහමට අනුව හොඳ මිතුරන් සිව් දෙනෙකි.


1. උපකාරක – උපකාර කරන්නා

2. සමාන සුඛදුක්ඛ – දුක, සැප දෙකේ දී ම සමානව සිටින්නා

3. අත්ථක්‍ඛායි – යහපත වෙනුවෙන් මාර්ගය පෙන්වන්නා

4. අනුකම්පක – අනුකම්පාවෙන් කටයුතු කරන්නා


අපේ ජීවිතයේ යහපත සාදා ගැනීමට ඇති හොඳ ම මඟ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. කළණ මිතුරන් ලෙස සිටින පාප මිත්‍රයන්ගෙන් බේරීමට ඇති අවස්ථා බොහෝ අවමය.


පාප මිතුරන්

”පතිරූපකො මත්තිකා කුණ්ඩලොව“
අලංකාර ලෙස මැටියෙන් කළ කුණ්ඩලාභරණ මෙනි.


”ලොහඩ්ඪ මාසොව සුවණ්ණ ඡණ්නො”
රත්තරන් ගෑ ලෝහ කාසි මෙන් පිටින් ඔපවත් ය. ඇතුළතින් අපිරිසුදු ය.


”ගී කිය කියා ලේ බොන මදුරුවාට වඩා - කොටියා හොඳයි එකපාරට පනින කඩා
ගී කියමින් ලේ උරා බොමින් මදුරුවන් මෙන් අපේ ජීවිත විනාශ කිරීමට ක්‍රියා කරන මිතුරෝ සිටිති.


”නො වෙ ලහෙථ නිපකං සහායං - සද්ධිං චරං සාධුවිහාරි ධීරං”
යමෙක්ට හොඳ මිත්‍රයෙක් නොලැබේ නම් - 

”එකො චරෙ ඛග්ගවිසානකප්පො”
කඟවේනෙක් මෙන් තනිව සිටින ලෙසත්, අසත්පුරුෂ මිතුරන් නැති කල්හි ජීවිතය යහපත් බවත් බුද්ධ දේශනාවයි.


”චරඤ්චෙ නාධිගච්ඡෙය්‍ය - සෙය්‍යං සදිසමත්තනො - එකචරියං දළ්හං කයිරා නත්ථි බාලෙ සහායතා”
තමන්ට සුදුසු තමන්ගේ මට්ටමට ගැළපෙන මිතුරෙක් නොමැති කල්හි තනිව ජීවත්වීම සුදුසු ය.


බාලයෙක් (නුවණ මඳ පුද්ගලයෙක්) ඇසුරු නොකරන්න.
බාලයා හඳුනා ගැනීම අසත්පුරුෂයා හඳුනා ගැනීමයි සත්පුරුෂයා හඳුනා ගැනීම කල්‍යාණ මිතුරා හඳුනා ගැනීමයි.


”දුච්චින්තිතවින්ති ච හෙති, දුබ්භාසිතතාසි, දුක්කතකම්මකාරී”
දුච්චින්තිතචින්ති – පාප මිත්‍රයා වැරදි ලෙස සිතයි, දුබ්භාසිතතාසි - නොකල යුතු කතා කරයි, දුක්කතකම්මකාරී - නොකල යුතු දේ කරයි.

කලණ මිතුරා කළ යුතු දේ කරයි. හොඳ ආකාරයෙන් සිතයි. යහපත් දේ කතාකරයි. එමෙන් හොද මිතුරාට නොකළ හැකි දෙයක් නොමැත. නොදිය හැකි දෙයක් නොමැත. නොඉවසිය හැකි දෙයක් නොමැත.

Thursday, October 9, 2014

දහම සැක කිරීම සහ දහම ගැන විමසිලිමත් වීම.


දහම සැක කරන පුද්ගලයා සෑම විටම කරන්නේ දහමට පිටු පෑමයි. දහමේ කියවෙන දේවල් තමන්ගේ ජිවිතයට ප්‍රයෝගිකව ගලපා ගැනීමට පොඩි උත්සහයක් වත් ගන්නේ නෑ . ඔහු නිතරම අහන්නේ ඕව බුදු හාමුදුරුවෝ කිව්වද කියල කොහොමද ඔයා හරියටම දන්නේ කියල.

බුදුන්  වහන්සේ කාලාම සුත්‍රයේදී දේශනා කළා මා කියූ පමණින් පිළිගන්න එපා කියල. එකෙන්ම පැහැදිලි වෙනවා උන්වහන්සේ දේශනා කලේ ප්‍රයෝගික දහමක් කියන එක. කිව්ව පමණින් පිළිගන්න එපා කිව්වේ ඒකයි. අප විසින් කල යුත්තේ ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීම තුලින් දහම වටහා ගැනීමයි. පිළිගනිම හෝ නොපිළිගැනීම පසෙක තබා දහම ගැන විමසිලිමත් වන පුද්ගලයා කරන්නේ දහම ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමයි. එවිට එහි සත්‍ය භාවය ප්‍රත්‍යක්ෂ කරගත  හැකියි.

උදාහරණයකට මෙහෙම සිතන්න;

ඔන්න ඔබට පිපාසය දැනෙනවා. එවිට ඔබේ මිතුරෙක් වතුර බොනවා ඔබට පේනවා. ඔබට මිතුරා කියනවා වතුර බිව්වම  පිපාසය නැති වෙනවා කියල. ඔබ වතුර පානය කිරීම ගැන සැක කර කර වතුර නොබී සිටින තාක් කල් ඔබේ පිපාසය සංසිදෙන්නේ නෑ නේද? සැකය පසෙක තබා වතුර බීලම බලල පිපාසය සංසිදෙන බව අත්දැකීමෙන්ම අවබෝධ කරගත් විට තව දුරටත් සැකයක් ඉතිරි වෙන්නේ නෑ. එවිට ඔබ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගන්නවා පිපාසය සැදුනු විට වතුර බිමෙන් පිපාසය සංසිදෙන බව.

දහමත් ඒ වගේමයි. දහමේ එන කරුණු ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීම තුලින් පමණයි ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙන්නේ. පිළිගනිම හෝ නොපිළිගැනීම පසෙක තබා දහම ගැන විමසිලිමත් වන්න. නුවනින් මෙනෙහි කරන්න. එය ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබන්න.  එවිට එහි සත්‍ය භාවය ප්‍රත්‍යක්ෂ කරගත  හැකියි.