Monday, October 6, 2014

සප්ත විසුද්ධි

සීල විසුද්ධිය


     “සීලවිසුද්ධි නාම සුපරිසුද්ධං පාතිමොක්ඛසංවරාදී චතුබ්බිධං සීලං” - සුපිරිසිදු ප්‍රාතිමෝක්‍ෂසංවරාදී සිවු වැදෑරුම් ශීලය ශීලවිශුද්ධි නම් වේ.
1.      ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය - ශික්‍ෂාපද ශීලය යි.
2.      ඉන්ද්‍රිය සංවර ශීලය - ඇස් කන් නාසාදී ඉන්ද්‍රියයන් ගේ මාර්‍ගයෙන් තමාගේ චිත්තසන්තානයෙහි රාගාදී ක්ලේශයන් පහළ වන්නට ඉඩ නො දී ඉන්ද්‍රියයන් සංවර කැරැ ගන්නා ශීලය යි.
3.      ආජීව පාරිශුද්ධි ශීලය - ධාර්මිකාජීවය සඳහා පනවන ලද ශික්‍ෂාපදයන් නො ඉක්මවමින් ඉතා පිරිසිදු වැ ජීවත් වීමෙන් ඇතිවන සංවරය - හීලෑකම - තැන්පත් කම නම් වූ ශීලය ය.
4.      ප්‍රත්‍යයසන්නිඃශ්‍රිත ශීලය - සිවුපස පරිභෝග කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය නිසි ලෙස සිතා නිසි ලෙස යොදා ආහාර පානාදිය ගැනීමෙන් ඇතිවන සංවරය යි.     ශීල විශුද්ධිය සම්පූර්‍ණ වීමට චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත් විය යුතු බව මෙයින් පැහැදිලි වෙයි. ගිහි අය වුව ද පඤ්ච ශීලයට වඩා උසස් ශීලයෙකින් හා ආජීවයෙකින් යුක්තවිය යුතු ය. භාවනානට බලවත් කැමැත්තක් ඇති ගිහියනට වුව ද එක්තරා ප්‍රමාණයෙකින් හෝ චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත්වීම අපහසු නොවනුවා ඇත. අන්තිම ජාතියෙහි වූ කෙනකු හැරැ පඤ්චශීල මාත්‍රයකුදු නැති සාමාන්‍ය අය භාවනාවට කියා ගොස් උසස් ප්‍රතිඵල ලබනුවා යයි කීම නුවණැතියන්ගේ පුදුමයට හේතුවක් වී තිබෙන්නේ මේ නිසා ය. ශීලවිශුද්ධියක් නැත්තකුට චිත්ත විශුද්ධියක් නො ලැබිය හැකි බව රථවිනීත උපමාවෙන් පැහැදිලි ය.


‍චිත්ත විශුද්ධිය


“චිත්තවිසුද්ධි නාම සඋපචාරා අට්ඨසමාපත්තියො” - උපචාර සහිත අට්ඨසමාපත්තීහු චිත්තවිශුද්ධි නම් වෙති.උපචාර සමාධි යැ, අර්‍පණා සමාධි යැයි සමාධීහු දෙ වැදෑරුම් වෙති. උපචාර සමාධිය නම් අර්‍පණා සමාධියට පෙරැ පහළ වන කාමාවචර සමාධිය යි. අර්‍පණා සමාධිය නම් ප්‍රථම - ද්විතීය - තෘතීය - චතුර්‍ථ යන රූපාවචර ධ්‍යාන සතර හා ආකාසානඤ්චායතන යැ, විඤ්ඤාණඤ්චායතන යැ, ආකිඤ්චඤ්ඤායතන යැ, නේවසඤ්ඤානාසඤ්ඤායතන යැ යන අරූපාවචර ධ්‍යාන සතර දැයි කියැවෙන අෂ්ටසමාපත්තීහු ය.
චිත්ත විශුද්ධිය සම්පූර්‍ණ වීමට අර්‍පණා සමාධියක් තිබිය යුතු ය. යම්තමින් හෝ චිත්ත විශුද්ධියක් ඇති වීමට අඩු මැ ගණනේ උපචාර සමාධියක් වත් තිබිය යුතු ය. උපචාර සමාධි මාත්‍රයක් හෝ ලැබීම එතරම් පහසු ක්‍රියාවක් නො වෙයි. අන්තිම ජාතියෙහි වූ කෙනෙකු හැරැ සාමාන්‍ය අයට නම් චිත්තවිශුද්ධියක් ලබා ගැනීමට ශීලවිශුද්ධියෙහි පිහිටා බොහෝ කාලයක් සමථ භාවනා කළ යුතු වෙයි. රහත් වන්නට පිනැතියවුනට පවා අවුරුදු ගණන් ගෙවාත් මඟපල තබා උපචාර සමාධියක් වත් ලබා ගැනීම දුෂ්කර වූ බව සමහර කථාවස්තුවලින් පෙනෙයි. කිසිදු තැන්පත් කමක් සංවරයක් නැති අය ද භාවනාවට ගොස් දවසෙන් දෙකෙන් දින කීපයෙන් සමාධි වෙනුවා යයි කීම නැණැතියන්ගේ හාස්‍යයට හේතු වී තිබෙන්නේ මේ නිසා ය. චිත්තවිශුද්ධියක් නැත්තකුට දෘෂ්ටි විශුද්ධියක් ලබා ගත නො හැකි වේ.


දිට්ඨිවිසුද්ධිය


නාමරූපානං යාථාවදස්සනං දිට්ඨිවිසුද්ධි නාම” - නාමරූපයන් ඇති සැටියෙන් දැනීම, පිරිසිඳැ දැනීම දිට්ඨි විසුද්ධි නම් වේ.
සීලවිශුද්ධියෙන් හෙවත් තමාට අයත් උසස් ශීලයෙන් සිල්වත් වැ, චිත්ත විශුද්ධියෙන් හෙවත් සමථ භාවනාවෙකින් සමාහිත වැ සිටින යෝගාවචරයාගේ භාවනාව විදර්‍ශනාවට හරවන්නේ මේ දිට්ඨිවිසුද්ධියෙනි. තමා ලැබූ සමාධිය අනුවැ විදර්‍ශනාවට හැරවීම දෙයාකාරයෙකින් කළ හැකි වේ. එනම්: අරූපමුඛ රූපමුඛ යනු යි. චිත්තවිශුද්ධියෙහි දී තමා ලබා ගත් ධ්‍යානචිත්තයෙහි ධ්‍යානාංග සම්මර්‍ශනය කොට විදර්‍ශනාවට හරවන මාර්‍ගය අරූපමුඛ නම් වෙයි. ලබා ගත් ධ්‍යානචිත්තය පාදක නො කොට කෙළින් මැ ආශ්වාස ප්‍රශ්වාසකාය මැ ගෙනැ නාමරූප වශයෙන් වෙන් කොට බලා විදර්‍ශනාවට හරවන මාර්‍ගය රූපමුඛ නම් වේ.
තව ද ආශ්වාස ප්‍රශ්වාසකාර්මිකයා යැ, ධ්‍යානකාර්මිකයා යැයි විදර්‍ශනාවට හරවන ආකාර වශයෙන් යෝගීහු දෙදෙනෙක් වෙතියි සතිපට්ඨාන සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ වශයෙන් හික්මෙන්නා වූ ඔහුට වනාහි ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තෙහි සතර ධ්‍යානයෝ උපදිත්, හෙතෙම ධ්‍යානයෙන් නැගී සිට ආශ්වාස ප්‍රශ්වාසයන් හෝ ධ්‍යානාංගයන් හෝ පරිග්‍රහණය කෙරෙයි. ඔවුන් දෙදෙනා අතුරෙන් ආශ්වාස ප්‍රශ්වාසකාර්මික තෙම, ආශ්වාස ප්‍රශ්වාසයෝ කුමක් ඇසුරු කළහු ද? හදවත ඇසුරු කළාහු යැ, හදවත නම් කරජකාය යැ, කරජකාය නම් සතර මහාභූතයන් හා උපාදායරූප දැයි මෙසේ රූප පරිග්‍රහණය කෙරෙයි. අනතුරුව ඒ ආශ්වාස ප්‍රශ්වාසාරම්මණයෙහි ඵස්සපඤ්චමක ධර්‍මයන් නාමයයි. (නාමය පරිග්‍රහණය කෙරෙයි) මෙසේ නාම රූප පරිග්‍රහණය කොට ඒ නාමරූපයාගේ ප්‍රත්‍යය සොයන්නේ අවිද්‍යාදී වූ ප්‍රතීත්‍යසමුත්පාදය දැකැ ඒ නාමරූපය ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්නධර්‍මමාත්‍රයක් මැ යි. අන්‍ය වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් නැතැයි තරණය කළ සැක ඇත්තේ ප්‍රත්‍යය සහිත නාම රූපයෙහි (අනිත්‍යාදී) ත්‍රිලක්ෂණයට නඟා විදර්‍ශනා වඩන්නේ (මාර්‍ගඵල) පිළිවෙළින් රහත් බවට පැමිණෙයි. මේ එක් භික්‍ෂු කෙනකුගේ රහත් බව තෙක් නිර්‍වාණ මාර්‍ගය යි. (ධ්‍යානාංගයන් මෙනෙහි කරන) ධ්‍යානකාර්මික තෙමේ ද මේ ධ්‍යානාංගයෝ කුමක් ඇසුරු කළාහු ද? හදවත ඇසුරු කළාහු යැ, හදවත නම් කරජකාය යැ, ධ්‍යානාංගයෝ නාමය යැ, කරජකාය රූපයැ යි නාමරූප නිශ්චය කොට ඒ නාමරූපයාගේ ප්‍රත්‍යය සොයන්නේ අවිද්‍යාදී වූ ප්‍රත්‍යයාකාරය දැක මේ නාමය හා රූපය ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මමාත්‍රයෙක් මැ යැ, අන්‍ය වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැතැයි වෙසෙසින් දුරුකළ (සොළොස් වැදෑරුම්) සැක ඇත්තෝ ප්‍රත්‍යය සහිත වූ නාමරූපයෙහි ත්‍රිලක්‍ෂණයට නඟා විදර්‍ශනා වඩන්නේ අනුක්‍රමයෙන් අර්‍හත්වයට පැමිණෙයි. මේ එක් භික්‍ෂු කෙනකුගේ අර්‍හත්වය තෙක් නිර්‍වාණමාර්‍ගය යි.
ප්‍රපඤ්චදීපිකාමෙහි ආශ්වාස ප්‍රශ්වාසකාර්මිකයා නම් මුලින් සඳහන් කළ රූපමුඛයෙන් විදර්‍ශනා වඩන්නා ය, ධ්‍යානකාර්මිකයා නම් අරූප මුඛයෙන් විදර්‍ශනා වඩන්නා ය.
මෙසේ අරූප මුඛයෙන් විදර්‍ශනා වඩන්නකු නම් තමා ලැබූ ධ්‍යානයෙහි විතර්‍කාදී අංග හා තත්සම්ප්‍රයුක්ත ධර්‍මයන් ද ලක්‍ෂණාදී වශයෙන් වෙන් කොට බැලිය යුතු ය. එසේ බලත් මැ ඒ සියල්ල අරමුණට යොමු කොට නැමෙනුයෙන් නාමධර්‍මයන් යයි වැටහෙනුවා ඇත. අනතුරු වැ මේ නාමධර්‍මයන් කුමක් ඇසුරු කොට පවත්නේ දැයි විමසා බැලිය යුතු ය. එසේ විමසත් මැ නාමධර්‍මයන් පවත්නේ හෘදය රූපය ඇසුරු කැරැ ගෙනැ යයි වැටහෙනුවා ඇත. අනතුරු වැ සෙසු රූපයන් ද පිරිසිඳැ දකියි. ඒ සියල්ල නැසෙන අර්ථයෙන් රූපයයි නුවණින් දැනැ ගනියි. මෙසේ නාමරූපයන්ගේ පිරිසිඳැ දැනීම ඇති වේ.
ආනාපානසති භාවනාවෙන් ලැබූ ධ්‍යානයන් පාදක නොකොට රූපමුඛයෙන් විදර්‍ශනා වඩන්නකු නම් ඒ ආනාපානය මැ මුල් කොට විදර්‍ශනාවට හැරැවිය යුතු ය. එයට කඹුරුහමේ උපමාව උපකාර කැරැ ගත යුතු ය. කම්මලේ තිබෙන කඹුරුහම ක්‍රියා කිරීමට කරුණු තුනක් එක් වී තිබේ. කඹුරුහමේ කටත් සිදුරත් කුහරයත් ලනුව අදිමින් උස් පහත් කරන්නාත් යන කරුණු තුන එක්වීමෙන් වරකට සුළං පිට වෙයි. වරකට සුළං ඇතුළු වෙයි. එමෙන් මැ ආනාපානය කැරෙන්නේ ශරීර කුහරයත් නාස්පුඩු දෙකත් හිතත් යන කරුණු එක්වීමෙනි. කයක් ඇතත් සිතක් නැතොත් ආනාපානයෙක් නැත. එහෙයින් සිත ප්‍රධාන ය. ඒ සිත නම් කුමක් ද? නාම ධර්‍මයෙකි. එය හා සම්ප්‍රයුක්ත වූ චෛතසිකයෝ ද නාම ධර්‍මයෝ වෙති. මේ නාමධර්‍මයන් පවත්නේ කවරක් ඇසුරු කොට ද? හෘදය රූපය ඇසුරු කැරැ ගෙනැ ය. හෘදය රූපය ඇසුරු කොට සෙසු භූතරූපයන් හා උපාදාය රූපයෝ ද වෙති. මෙසේ ආනාපානය මැ ඇසුරු කැරැ ගෙනැ නාමරූප ධර්‍මයන්ගේ පිරිසිඳැ දැනීම ඇති වේ.නාමරූප ධර්‍මයන් පිරිසිඳැ දනිමින් භාවනා කරන්නා හට නාමරූප ධර්‍මයන් සත්ත්වයන් පුද්ගලයන් නොවන බවත් නාම රූප ධර්‍මයන්ගෙන් අන්‍ය වූ සත්ත්වයකු හෝ පුද්ගලයකු හෝ නැති බවත් හොඳින් මැ වැටහෙනුවා ඇත. ඒ සමඟ මැ සත්ත්ව සංඥාව, ආත්ම සංඥාව ද දුරු වෙනවා ඇත. එයින් මෙතෙක් පැවැති සත්ත්වයා යැ පුද්ගලයා යැ යන මිථ්‍යාදර්‍ශනය - වැරදි දැක්ම දුරු වෙයි. සත්ත්වයා පුද්ගලයා නම් ස්කන්ධ - ධාතු - ආයතන යන ධර්‍මමාත්‍රයක යන සම්‍යක් දර්‍ශනය - හරි දැක්ම පහළ වෙයි. දෘෂ්ටිය පිරිසුදු වෙයි.
දිට්ඨිවිසුද්ධිය ලබා ගැනීම සීලවිසුද්ධි චිත්තවිසුද්ධි දෙක ලබා ගැනීමට වඩා අතිශයින් දුෂ්කර ක්‍රියාවෙකි. දිට්ඨිවිසුද්ධිය සම්පූර්‍ණවීමට උසස් ධර්‍මඥානයක් තිබිය යුතු ය. අඩු මැ ගණනේ නාමරූප ධර්‍මයන් පිරිසිඳැ ඇති සැටියෙන් දැනැ ගන්නට තරම් වත් ධර්‍මඥානයක් තිබිය යුතු ම ය. නාමරූප ධර්‍මයන් පිරිසිඳැ දැනැ ගැනීමට තරම් වත් ධර්‍මඥානයක් නැති අය විදර්‍ශනා භාවනාවට යෑමත්, එබඳු අයට ඉක්මනට ප්‍රතිඵල ලැබෙනුවා යැයි කීමත්, විදර්‍ශනා භාවනා කරන විට සමාධි නිමිති පෙනෙනුවා යැයි පැවසීමත් නැණැතියන්ගේ සිනාවට කරුණු වී තිබෙන්නේ මේ නිසා ය. දිට්ඨිවිසුද්ධියක් නැත්තකුට කංඛාවිතරණවිසුද්ධිය ලබාගත නො හැකි වේ.


කඞ්ඛාවිතරණ විසුද්ධිය


“එතස්සෙව පන නාමරූපස්ස පච්චයපරිග්ගහෙන තීසු අද්ධාසු කඞ්ඛං විතරිත්වා ඨිතං ඤාණං කංඛාවිතරණවිසුද්ධි නාම” - මේ නාමරූපයන්ගේ මැ පහළ වීමට හා පැවැත්මට ද ප්‍රත්‍යය හෙවත් හේතු වූ කරුණු පිරිසිඳීමෙන් තුන්කල්හි පැවැති සැකය දුරු කැරැ සිටි ඥානය කංඛාවිතරණ විසුද්ධි නම් වේ.දක්ෂ වෛද්‍යවරයා රෝගයක් දැකැ එහි නිදානය සොයන්නා සේ විදර්‍ශනාවට බැසැගත් යෝගාවචරයා ද නාමරූප ධර්‍මයන්ගේ හේතු - ප්‍රත්‍යය සෙවීමෙහි යෙදිය යුතු ය. මේ නාම රූප නම් වූ පඤ්චස්කන්ධය සියලු තන්හි සෑම කල්හි මැ සියල්ලනට සම වැ නො පැමිණෙන හෙයින් අහේතුක නොවෙයි. ඊශ්වරාදී මැවුම් කරුවකු නැති හෙයින් ඊශ්වරාදී හේතුවකිනිදු හට නො ගැනේ. එහෙයින් මැ මේ නාමරූපයනට හේතුප්‍රත්‍යයන් ඇතැයි සලකා ඒ හේතු ප්‍රත්‍යයන් පරීක්‍ෂා කැරැ බැලිය යුතු ය.
ප්‍රතිසන්ධියෙහි දී අවිද්‍යා යැ, තෘෂ්ණා යැ, උපාදාන යැ, කර්‍ම යැ, යන මොවුහු නාමරූප ධර්‍මයන් උපදවන හේතූහු වෙති. ප්‍රවෘත්තියෙහි දී රූපය කර්‍ම යැ, චිත්ත යැ, සෘතු යැ, ආහාර යැ යන මොවුන්ගේ ප්‍රත්‍යයෙන් උපදනේ වෙයි. චක්‍ෂුඃප්‍රසාදය ද රූපාලම්බනය ද නිසා චක්ඛුවිඤ්ඤාණය උපදනේ වෙයි. මෙසේ ප්‍රත්‍යය වශයෙන් නාමරූපයන්ගේ පැවැත්ම දැකැ මේ නාමරූපයන් දැන් සේ මැ අතීතයෙහි ද හේතු - ප්‍රත්‍යයන් නිසා පැවැත්තේ ය. අනාගතයෙහි ද හේතු - ප්‍රත්‍යයන් නිසා මැ පවත්නේ යයි ද දකී.
මෙසේ බලන්නා වූ යෝගාවචරයාට අතීත ස්කන්ධ පඤ්චකය අරබයා, ‘මම අතීත කාලයෙහි සිටියෙම් ද, නො සිටියෙම් ද, කවරකු වැ සිටියෙම් ද, කෙබන්දකු වැ සිටියෙම් ද, කවරකු වැ සිට කෙබන්දෙක් වූයෙම් දැ’ යි පස් ආකාරයෙකින් කියන ලද සැකය ද, අනාගත ස්කන්ධ පඤ්චකය අරබයා ද, ‘මම අනාගත කාලයෙහි වන්නෙම් ද, නො වන්නෙම් ද, කවරෙක් වන්නෙම් ද, කෙබන්දෙක් වන්නෙම් ද, කවරෙකු වැ කෙබන්දෙක් වන්නෙම් දැ’ යි පස් ආකාරයෙකින් කියන ලද සැකය ද, වර්‍තමාන ස්කන්ධ පඤ්චකය අරබයා ද, මම වෙම් ද, නො වෙම් ද, කවරෙක් වෙම් ද, කෙසේ වෙම් ද, මේ සත්ත්ව තෙමේ කොහි සිට මෙහි ආවේ ද, නැවැත කොහි යන්නේ දැ’ යි සයාකාරයෙකින් කියන ලද සැකය දැයි කාලත්‍රයයට අයත් ස්කන්ධ පඤ්චකය පිළිබඳ සොළොස් ආකාර සැකය ප්‍රහීණ වේ.
තවද, පටිච්ච සමුප්පාදයෙහි සඳහන් වන පරිදි සත්ත්වයාගේ පැවැත්ම හා නැවැත්ම ද පිළිබඳ හේතුඵලයන් සලකා බැලිය යුතු ය.“අතීතෙ හෙතුවො පඤ්චඉදානි ඵලපඤ්චකංඉදානි හෙතුවො පඤ්චආයතිං ඵලපඤ්චකං”
සත්ත්වයාගේ පැවැත්ම නම් වූ භවචක්‍රයෙහි  අතීත හේතු පසෙක් ද වර්‍තමාන ඵල පසෙක් ද වර්‍තමාන හේතු පසෙක් ද අනාගත ඵල පසෙක් දැයි හේතු පල විස්සෙක් වේ.මෙසේ සලකා බලත් මැ අතීත භවයෙන් මේ භවයට ද, මේ භවයෙන් පුනර්‍භවයට ද, කිසිදු ධර්‍මයෙක් සංක්‍රමණය නො වෙයි. එහෙත් අතීත භවයෙහි ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ප්‍රත්‍යයෙන් මේ භවයෙහි ස්කන්ධ ධාතු ආයතන ද, මේ භාවයෙහි ස්කන්ධ - ධාතු - ආයතනයන්ගේ ප්‍රත්‍යයෙන් පුනර්‍භවයෙහි ස්කන්ධ - ධාතු - ආයතනයෝ ද උපදින්නාහු වෙති යි හරි දැකීම පහළ වේ.
“නයිදං අත්තකතං බිම්බංනයිදං පරකතං අඝංහෙතුං පටිච්ච සම්භූතංහෙතුභඞ්ගා නිරුජ්ඣති.”
මේ ශරීරය තමා විසින් කැරැ ගන්නා ලද්දක් වත් අන්‍යයකු විසින් මවන ලද්දක් වත් නො වෙයි. හේතූන් නිසා හටගත්තකි. හේතූන්ගේ බිඳී යෑමෙන් මේ ශරීරය නිරෝධයට යේ.
කංඛාවිතරණ විශුද්ධිය සම්පූර්‍ණ විදර්‍ශක තෙමේ ලෞකික සීල සමාධි පඤ්ඤා සම්පත්තියෙන් යුක්ත හෙයින් මත්තෙහි මාර්‍ගඵලාධිගමය නො කෙළේ ද සුගතිගමන නොවරදවා මැ සිදු කෙරේ යයි කියනු ලැබේ. ඔහුට චුල්ලසෝතාපන්නයා යයි ද කියනු ලැබේ. කංඛාවිතරණවිශුද්ධිය නො ලැබූවකුට මග්ගාමග්ගඤාණදස්සන විශුද්ධිය නො ලැබිය හැකි වේ.


මග්ගාමග්ගඤාණදස්සන විශුද්ධිය

“අයං මග්ගො අයං න මග්ගොති එවං මග්ගං ච අමග්ගං ච ඤත්වා ඨිතං ඤාණං පන මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි නාම” - මේ මාර්‍ග යැ, මේ අමාර්‍ග යැයි මඟත් නොමඟත් පිරිසිඳැ දැනැ සිටි ඥානය මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි නම් වේ.
මේ අවස්ථාවෙහි භාවනා කරන යෝගාවචරයා අමාර්‍ගය ආර්‍ය මාර්‍ග යයි වැරදි ලෙස වැටහෙනුවා ඇත. ඒ නිසා දශවිධ උපක්ලේශයන් දැනැ සිටීම ඉතා අවශ්‍ය ය.“ඔභාසො පීති පස්සදධි - අධිමොක්ඛො ච පග්ගහොසුඛං ඤාණමුපට්ඨාන - මුපෙක්ඛා ච නිකන්ති ච”ඔභාස යැ, පීති යැ, පස්සද්ධි යැ, අධිමොක්ඛ යැ, පග්ගහ යැ, සුඛ යැ, ඤාණ යැ, උපට්ඨාන යැ, උපෙක්ඛා යැ, නිකන්ති යැ යන මොවුහු දශවිධ විදර්‍ශනෝපක්ලේශයෝ වෙති.
1.      ඔභාස - විදර්‍ශනා චිත්තයෙන් හටගත් එක්තරා - ශරීරාලෝකයෙකි. මේ ආලෝකය උපන් කල්හි සමහරු මාර්‍ගඵලයනට පැමිණියෙමි යි අමාර්‍ගය මාර්‍ගය ලෙස ගෙනැ එයින් මැ සෑහීමට පත්වී විදර්‍ශනාව ද අත්හරී. මෙය උපක්ලේශයක් බව දැනැ සිටින්නා ආලෝකයට නො රැවටී භාවනා කැරැනු ලැබේ.2.      ඤාණ - නාමරූප ධර්‍මයන් විමසා බලන්නා වූ යෝගියා හට ඉතා තියුණු වූ විදර්‍ශනා ඥානය පහළ වෙයි. එය මාර්‍ග යයි ගත්තා හට නියම මාර්‍ගය වරදී. එහෙයින් එය ද උපක්ලේශයකි.3.      පීති - විදර්‍ශනා වඩන්නා හට මුළු ශරීරය මැ පුරවමින් ප්‍රීතිය උපදී. සමහරු එය මාර්‍ග යයි ගෙනැ මුළාවට පත් වෙති. එහෙයින් එය ද උපක්ලේශයෙකි.4.      පස්සද්ධි - විදර්‍ශනාවෙන් ඇතිවන කායචිත්තයන්ගේ සංසුන් බවයි, සැහැල්ලු බවයි. එය ද උපක්ලේශයකි.5.      සුඛ - විදර්‍ශනා වඩන්නා හට මුළු සිරුර පිණවමින් මීට පෙරැ නොවූ විරූ සුඛයක් උපදී. එය මාර්‍ග යයි ගත හොත් නියම මාර්‍ගය වළකින හෙයින් උපක්ලේශයෙකි.6.      අධිමොක්ඛ - බලවත් ශ්‍රද්ධාව යි. විදර්‍ශනා යෝගී හට චිත්ත චෛතසිකයන් අතිශයින් ප්‍රසන්න භාවයට පමුණුවන බලවත් ශ්‍රද්ධාව උපදී. එය ද නියම මාර්‍ගය මුවා කරන හෙයින් උපක්ලේශයෙකි.7.      පග්ගහ - වීර්‍යය යි. විදර්‍ශනාව දියුණු වෙත් මැ ළිහිල් නො වූ දැඩි ද නො වූ වීර්‍යය උපදී. එය ද උපක්ලේශයෙකි.8.      උපට්ඨාන - සිහිය යි. විදර්‍ශනා කරන්නා හට මනා වැ එළඹ සිටි සිහිය උපදී. ඉතා පැරණි කරුණු පවා සිහියට එයි. මේ විශේෂ ලක්‍ෂණය නිසා මාර්‍ගය ලදිමි යි මුළාවට පත් වෙයි. එහෙයින් එය ද උපක්ලේශයෙකි.9.      උපෙක්ඛා - විදර්‍ශනා යෝගීනට නාමරූප ධර්‍මයන් උදයව්‍යය වශයෙන් මනා වැ පරීක්‍ෂා කිරීමෙන් ඒ පිළිබඳ මධ්‍යස්ථාකාරයෙන් පවත්නා විදර්‍ශනා උපෙක්‍ෂාව උපදී. එය ද මාර්‍ග යයි වරදවා ගන්නා හෙයින් උපක්ලේශයෙකි.10.  නිකන්ති - ඉතා සියුම් තෘෂ්ණාව යි. “මින් පෙරැ මට ආලෝකයක් පහළ නො වී ය”. මම ආර්‍යමාර්‍ගයට පැමිණියෙමි යි එහි ආලය කෙරෙමින් පහළ වන සියුම් තෘෂ්ණාවයි. එය ද උපක්ලේශයෙකි.මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය ලබනු කැමැති යෝගාවචරයා අතීතාදී නොයෙක් කොටස් වශයෙන් කැඩුණු සියලු සංස්කාර ධර්‍මයන් කලාප වශයෙන් මෙනෙහි කළ යුතු ය.අතීත - අනාගත - පච්චුප්පන්න වූ හෝ අධ්‍යාත්මක බාහිර වූ හෝ ඕළාරික සුඛුම වූ හෝ හීන ප්‍රණීත වූ හෝ දූර සමීප වූ හෝ යම් රූපයක් වේ නම් ඒ සියලු රූප අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථා කෙරේ. දුඃඛ වශයෙන් ව්‍යවස්ථා කෙරේ, අනාත්ම වශයෙන් ව්‍යවස්ථා කෙරේ. මේ ද සම්මර්‍ශනය කරන පිළිවෙළකි. වේදනාදී අනෙක් ස්කන්ධයන් පිළිබඳ වැ ද එසේ මැ ය.
තව ද රූපය ක්‍ෂය වන අර්‍ථයෙන් අනිත්‍ය යැ, භය වන අර්ථයෙන් දුක් යැ, අසාර වන අර්ථයෙන් අනාත්ම යැ යි ද සම්මර්‍ශනය කළ යුතු ය.
මෙසේ භාවනා කරත් මැ විදර්‍ශනා ඥානය දියුණු වෙයි. ඔහුට මාර්‍ගය කුමක් ද අමාර්‍ගය කුමක් දැයි වැටහෙයි. ආලෝකාදියට මුළා නො වෙයි. මේ අවස්ථාවට පැමිණි යෝගියා දුඃඛ - සමුදය - මාර්‍ග යන සත්‍ය තුන ලෞකික ඥානයෙන් මනා වැ දැනැ ගැනීමට තරම් දියුණු වෙයි. මෙසේ මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය සම්පූර්‍ණ වන තුරු පටිපදාඤාණදස්සන විසුද්ධිය ලබා නො හැකි වේ.


පටිපදාඤාණදස්සන විසුද්ධිය


“අට්ඨන්නං පන ඤාණානං වසෙන සිඛප්පත්තා විපස්සනා නවමං ච සච්චානුලොමිකඤාණන්ති අයං පටිපදාඤාණදස්සන විසුද්ධි නාම” - අට වැදෑරුම් ඥානයන්ගේ වශයෙන් ශිඛාප්‍රාප්ත විදර්‍ශනාව ද නව වැනි සච්චානුලොමික ඥානය ද යන මේ නව මහාවිදර්‍ශනාඥානය පටිපදාඤාණ දස්සන විසුද්ධි නම් වේ.නව මහාවිදර්ශන ඥානයෝ1.      උදයබ්බයානුපස්සනාඤාණය - ස්කන්ධාදීන්ගේ උදයව්‍යය - ඇතිවීම නැතිවීම පිරිසිඳැ දක්නා නුවණ යි.2.      භංගානුපස්සනා ඤාණය - ස්කන්ධාදීන්ගේ භඞ්ගය විනාශය නැතිවීම පිරිසිඳැ දක්නා නුවණ යි.3.      භයතුපට්ඨාන ඤාණය - සංස්කාරයන් භය වශයෙන් වැටහෙන්නා වූ නුවණ යි.4.      ආදීනවානුදස්සන ඤාණය - සංස්කාරයන්ගේ දෝෂ දක්නා නුවණ ය.5.      නිබ්බිදානුපස්සනා ඤාණය - සංස්කාරයන් හට කලකිරීම් වශයෙන් පහළ වන නුවණ යි.6.      මුඤ්චිතුකම්‍යතා ඤාණය - සංස්කාරධර්ම නමැති සංස්කාරයෙන් මිදෙනු කැමති වීම වශයෙන් පහළ වන නුවනයි.7.      පටිසංඛානුපස්සනා ඤාණය - සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්‍ෂණ විස්තර වශයෙන් දක්නා නුවණ යි.8.      සංඛාරුපෙක්ඛා ඤාණය - සංස්කාරයන් මධ්‍යස්ථ වශයෙන් දක්නා නුවණ යි.9.      සච්චානුලොම ඤාණය - මාර්‍ගචිත්තයනට අනුලෝම වූ නුවණ යි.මේ නව මහාවිදර්‍ශනඥානයන් පිළිවෙළින් පහළ වීමෙන් පටිපදාඤාණදස්සන විසුද්ධිය සම්පූර්‍ණ වේ.


ඤාණදස්සන විසුද්ධිය


“සොතාපත්ති මග්ගො සකදාගාමි මග්ගො අනාගාමි මග්ගො අරහත්ත මග්ගොති ඉමෙසු පන චතුසු මග්ගෙසු ඤාණං ඤාණදස්සනවිසුද්ධි නාම” - ස්‍රෝතාපත්ති මාර්‍ග යැ, සකෘදාගාමි මාර්‍ග යැ, අනාගාමි මාර්‍ග යැ, අර්‍හත් මාර්‍ග යැ යන සතර මාර්‍ගයන්හි වූ ඥානය ඤාණදස්සන විසුද්ධි නම් වේ.මෙහි දැක්වූයේ සප්ත විශුද්ධීන් පිළිබඳ ඉතා කෙටි හැඳින්වීමෙකි. මෙය විදර්‍ශනා භාවනාවට ප්‍රමාණවත් නො වේ. එහෙයින් විදර්‍ශනා භාවනා කරන්නවුන් විසින් සප්ත විශුද්ධීන් හොඳින් ඉගෙනැ අවබෝධ කැරැ ගත යුතු ය. පිළිවන් සෑම දෙනා මැ විශුද්ධි මාර්‍ගය හොඳින් ඉගෙනැ ගන්නේ මැනැවි. මේ සප්ත විශුද්ධීන් පිළිබඳ අවබොධයක් ඇති කැරැ ගැනීමට ආචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේ විසින් ලියන ලද “විදර්‍ශනා භාවනා ක්‍රමය” නමැති පොත ද කියවීම මැනැවි.



No comments:

Post a Comment