භාවනා කරන්නා ගිහි හෝ වේවා පැවදි හෝ වේවා හැමට පළමු චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත් වන්න. විවේක ස්ථානයක් හා සුදුසු වේලාවක් ද සම්මත කැරැ ගන්න. සිතට හා කයට ද කරදර ඇතිවිය හැකි කුඩා වූ ද පළිබෝධයන් ගෙන් - අවහිරයන්ගෙන් නිදහස් වන්න. සිතත් කයත් ඇඳුමුත් පිරිසුදු කැර ගන්න.
පුරුෂ පක්‍ෂය නම් බද්ධපර්‍යංකයෙන් (- එරමිණියා ගොතා ගෙනැ) හිඳැ ගන්න. ස්ත්‍රී පක්‍ෂය නම් අර්‍ධපර්‍යංකයෙන් (- දෙ පය පස්සට දමා වාඩිවීමෙන්) හිඳැ ගන්න. උඩුකය කෙළින් තබා ගන්න. හිස වඩා ඔසවන්නේත් නැති වැ වඩා නමන්නේත් නැති වැ තබා ගන්න. ඇස් ඇරීම හෝ වසා ගැනීම හෝ තමන් හට පහසු පරිදි කරන්න.තුනුරුවන් සිහි කැරැ ගන්න. එදා සිද්ධාර්‍ථ තාපසයන් වහන්සේට බුදු වීමට උපකාර වූයේ මේ ආනාපාන සතියයි. “මා ද දැන් කරන්නට සූදානම් වන්නේ ඒ උසස් භාවනාව ය. මෙසේ කරන භාවනාවෙන් මේ ආසනයේ දී නැතහොත් මේ ජාතියෙහි දී මාර්‍ගඵල නො ලැබිය හැකි වුවොත් මේ භාවනාව කවර දිනයෙකැ හෝ මාර්‍ගඵල ලැබීමට උපකාර වේවා” යන බලවත් ප්‍රාර්‍ථනාව ඇති කැරැ ගන්න.දැන් බාහිර චින්තා නතර කරන්න. බාහිර අරමුණුවලින් සිත මුදා ගන්න. සිහිය කර්‍මස්ථානයට යොමු කොට තබන්න. දැන් කරන්නේ ආනාපානසති භාවනාව නිසා ආශ්වාස ප්‍රශ්වාසයන් ස්පර්‍ශ වන ස්ථානය දැනැ ගන්න. නාසයේ කෙළවර හෝ උඩුතොලේ මැද පියෙස හෝ යි බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සිහිය පිහිටුවා ගන්න.
සිහියෙන් ආශ්වාස කරන්න, සිහියෙන් ප්‍රශ්වාස කරන්න. උවමනාවෙන් එක වරකුදු ආශ්වාස ප්‍රශ්වාස නො කරන්න. ස්වභාව වශයෙන් හුස්ම ඇතුළු වන විට හුස්ම ඇතුළු වෙනවා යන සිහියත්, හුස්ම පිට වන විට හුස්ම පිට වෙනවා යන සිහියත් පුරුදු කරන්න. එකේ සිට දහය දක්වා හුස්ම වාර ගණන් කිරීමෙන් පහසුවක් ඇතොත් එසේ කරන්න. මෙලෙසින් භාවනා කිරීම බොහෝ දිනක් පුරුදු කරන්න, සිතේ නොසංසුන්කම නිසා සිහියෙන් තොර වැ හුස්ම ඇතුළු විය හැකි ය, පිට විය හැකි ය. එයින් පසුබට නොවන්න. මිනිත්තු දහයක් ඇතුළත හැම ආශ්වාස ප්‍රශ්වාස වාරයක් මැ දනිමින් පවත්වන්නට පිළිවන් වුවොත් එය භාවනාවේ උසස් දියුණුවෙකි. එහෙත් එයින් සෑහීමකට පත් නො වන්න. අඩු මැ ගණනේ පැයක් වත් සිහියෙන් මැ ආශ්වාස ප්‍රශ්වාසයන් කරන්නට පිළිවන් වන තුරු දෙ වැනි අවස්ථාවට නොයන්න.
දීර්‍ඝ හ්‍රස්ව වශයෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් දැනැ ගැනීමට වෙහෙස නොවන්න. ආශ්වාස ප්‍රශ්වාසයන් බොහෝ වේලාවක් සිහියෙන් මැ පවත්වන්නට පිළිවන් වූ විට දිග කොට භේදය ඉබේට මැ වැටහෙනුවා ඇති. එවිට දිග හුස්මක් ඇතුළු වන විට දිග හුස්මක් ඇතුළු වෙනවා, කොට හුස්මක් ඇතුළුවන විට කොට හුස්මක් ඇතුළු වෙනවා ආදී වශයෙන් දිග කොට භේදය අනුවැ භාවනා කරන්න. එය ද දිගු කලක් කරන්න. දිග කොට භේදය හොඳට මැ පැහැදිලි වන තුරු එලෙසින් භාවනා කරන්න.දීර්‍ඝ හ්‍රස්ව වශයෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් ගේ පැවැත්ම බොහෝ කාලයක් පුරුදු පුහුණු කරන විට සිහිය දියුණු වීම නිසාත් සිත සමාහිත වීම නිසා සියලු ආශ්වාස ප්‍රශ්වාස කායයන් මැ වැටහෙන්නට වෙයි. එවිට එලෙසින් භාවනා කිරීමට පුහුණු වන්න. හුස්ම ඇතුළු වන විට තත්පර ගණනක් මැ නාසයෙහි කෙළවර හෝ උඩුතොලෙහි හැපී ගෙනැ ඇතුළුවෙනවා දැනෙන්නට පිළිවන, එලෙසින් සියලු ආශ්වාස ප්‍රශ්වාසකායයන් දනිමින් ආශ්වාස ප්‍රශ්වාසයන් පවත්වන්නට උත්සාහ දරන්න.අනෙක් කර්‍මස්ථානයක් වඩත් වඩත් මැ අරමුණ වඩ වඩාත් විභූත - ප්‍රකට වෙයි. ආනාපාන සතිය වඩත් වඩත් මැ අරමුණ ක්‍රමයෙන් සියුම් වෙයි. ඒ අතරැ මැ ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳැවීමේ අදහස් ද බලවත් වෙයි. මෙසේ භාවනා කරත් කරත් මැ ආශ්වාස ප්‍රශ්වාසයන් ඇතැයි නැතැයි කිවයුතු තරමට සියුම් වෙනුවා ඇත. ආශ්වාස ප්‍රශ්වාසයන් නැතැයි සිතා කලබල නොවන්න. තමාගේ වාඩිය වත් වෙනස් නොකරන්න. පෙරැ සේ මැ හුස්ම හැපෙන තැන සිහිය රඳවා ගෙනැ භාවනා කරන්න.
ආශ්වාස ප්‍රශ්වාසයන් නො වැටහෙන්නට වූ විට සංසුන් වැ හිඳැ ගෙනැ මෙසේ සිතන්න. ආශ්වාස ප්‍රශ්වාසයන් නැත්තේ කාට ද? මනුෂ්‍යයන් අතරැ දියේ ගිලුණවුනට ද මළවුනට ද චතුර්‍ථධ්‍යානයට සමවැදුණවුනට ද නිරෝධසමාපත්තියට සමවැදුණවුනට ද ආශ්වාස ප්‍රශ්වාස නැත. ඉතින් මම දියේ ගිලුණෙක් ද නො වෙමි. මළ කෙනෙක් ද නො වෙමි. චතුර්‍ථධ්‍යානයට හෝ නිරෝධසමාපත්තියට සමවැදුණෙක් ද නො වෙමි. එහෙයින් ආශ්වාස ප්‍රශ්වාසය නැත්තේ නො වේ. ඇත්තේ මැ ය. සියුම් නිසා නො වැටහේ ය, මෙසේ සිතා සංසුන් වැ හුස්ම හැපෙන තැන මැ සිහිය එළවා තබා භාවනා කරන විට ඉතා සියුම් වූ ආශ්වාස ප්‍රශ්වාසයන් වැටහෙන්නට පටන් ගනී.ඉතා සියුම් වූ ද ආශ්වාස ප්‍රශ්වාසයන් දනිමින් භාවනා කරන්න. මේ යෝගාවචරයා විසින් අතිශයින් සතුටු විය යුතු අවස්ථාවයි, ධ්‍යානයක් ලැබීමට තරම් ආසන්න ය. දැන් සමාධි නිමිති පහළ වන අවස්ථාව යි. එහෙත් නිමිති ගැන මඳකුදු නොසිතන්න. ආනාපාන අරමුණ මැ ගෙනැ භාවනා කරන්න.දැන් යෝගාවචරයාගේ සිතත් කයත් ඉතා සංසුන් ය, ඉතා සැහැල්ලු ය, ප්‍රීති වන්න, ප්‍රීති වන්න, මෙසේ භාවනා කරත් කරත් මැ මුව පියසෙහි පුළුන් රොදක් මුතු ගුලියක් දුම් සිළක් වැනි යමක් වැටහෙනුවා ඇත. වඩ වඩාත් ප්‍රීති වන්න. එහෙත් ප්‍රීතියෙන් කලබල නොවන්න. ප්‍රීතිය නිසා හෝ කලබල වුවොත් නිමිත්ත අතුරුදන් වෙනුවා ඇත. නිමිත්ත හොඳින් රැක ගන්න.
මෙතෙක් කල් අරමුණු කැරැ ගෙනැ සිටි ආනාපානය තාවකාලික වැ අත්හැර අලුතෙන් ලැබුණ නිමිත්ත සිතට අරමුණු කැරැ ගන්න. ඒ අරමුණ මැ ගෙනැ භාවනා කරන්න. බොහෝ වේලාවක් බොහෝ දිනක් භාවනා කරන්න. සමහර විට ඒ නිමිත්ත අරමුණු කොට ද මාස ගණනක් භාවනා කරන්නට සිදුවෙනුවා ඇත. තමනට ලැබුණු නිමිත්ත යම් කිසි ලෙසකින් අතුරුදන් වුවොත් නැවැතත් ආනාපානය මැ අරමුණු කැරැ ගෙනැ භාවනා කරන්න.තමනට ලැබුණු නිමිත්ත අරමුණු කැරැ ගෙනැ තව තවත් භාවනා කරන්න. එසේ කරන භාවනාව දියුණු වෙත් මැ ධ්‍යානයක් ලබන තරමට මැ සිත සමාහිත වෙනුවා ඇත. එයට උපචාර සමාධි යැයි කියනු ලැබේ. වඩ වඩාත් ප්‍රීති වන්න. තව තවත් භාවනා කරන්න. එසේ භාවනා කරත් කරත් මැ “විතක්ක විචාර පීති සුඛ එකග්ගතා” යන චිත්තාංගයන්ගෙන් යුක්ත ප්‍රථමධ්‍යාන චිත්තය පහළ වෙනුවා ඇත. එයට අර්‍පණා සමාධි යැයි කියනු ලැබේ.
තමන් ලැබූ අර්‍පණා සමාධිය රැකැ ගන්න. සමාධිය ආරක්‍ෂා කැරැ ගැනීමට උපකාර වන පරිසරයක් ඇති ස්ථානයෙකැ මැ වාසය කරන්න. තැන්පත් සත්පුරුෂයන් මැ ආශ්‍රය කරන්න. උසස් ගුණයන් හා සම කැරැ බලන විට ප්‍රථම ධ්‍යානය ඉතා සුළු ගුණයෙකි. ඒ නිසා එයින් සෑහීමකට පත් නොවන්න. නැවතත් පළමු පරිදි මැ භාවනා කරන්න. එසේ භාවනා කරත් කරත් මැ ද්විතීයධ්‍යාන - තෘතීයධ්‍යාන - චතුර්‍ථධ්‍යානචිත්තයන් පහළ වෙනුවා ඇත.මෙතෙක් කල් සමථ වශයෙන් කළ භාවනාව දැන් විදර්‍ශනාවනට හරවන්න. විදර්‍ශනාවට හැරවීම දෙයාකාරයෙකින් කළ හැකි ය. අරූපමුඛයෙන් විදර්‍ශනා වඩන්නකු නම් පළමු වැ ධ්‍යාන චිත්තයෙහි තිබෙන චිත්තාංග - චෛතසික වෙන් කැර බලන්න. ඒ චෛතසික යෙදුණු චිත්තය ගැන සලකා බලන්න. මේ චිත්ත චෛතසිකයෝ අරමුණ කරා නැමෙනුයෙන් නාමයෝ ය. මේ චිත්තය කවරක් ආශ්‍රය කොට පවත්නේ ද? හෘදයවස්තු රූපයයි, සෙසු රූප ද ඒ සමග වෙයි. විකාරයට විනාශයට පැමිණෙන හෙයින් රූප නම් වෙයි. මෙසේ නාමරූප ධර්‍මයන් වෙන් කොට බලන්න.
රූපමුඛයෙන් විදර්‍ශනා වඩන්නකු නම් කඹුරුහමේ උපමාව අනුවැ නාමරූපයන් වෙන් කොට බලන්න. කඹුරුහමේ ලනුව අදිනා කල්හි හම ද පුරුෂෝත්සාහය ද නිසා සුළං ඇතුළු වීම පිට වීම සිදු වන්නාක් මෙන් කය හා සිත ද නිසා ආශ්වාස ප්‍රශ්වාස පවත්නේ යයි දැනැ ගන්න. කය හා ආශ්වාස ප්‍රශ්වාසයන් රූපයයි ද සිත හා තත්සම්ප්‍රයුක්ත ධර්‍ම නාම යයි ද නාමරූප ධර්‍මයන් ව්‍යවස්ථා කොට බලන්න. මේ නාමරූප ධර්‍මයෝ මැ ලොවැ පවත්නාහ. මේ ධර්‍මයෝ සත්ත්වයෝ නො වෙති, ප්‍රද්ගලයෝ නො වෙති. ආත්ම නො වෙති. මේ නාමරූප ධර්‍මයනට මැ සත්ත්ව පුද්ගල ව්‍යවහාරය කෙරෙති, ළදරු තරුණ මහලු ආදී ව්‍යවහාරය කෙරෙති. නාමය රූපයටත් රූපය නාමයටත් උපකාර ය. ඔවුනොවුන්ගේ උපකාරයෙන් නාමරූප ධර්‍මයන් මැ පවතිනුවා විනා ඇත්ත වශයෙන් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත. මෙසේ නාමරූප ධර්‍මයන්ගේ ඇතිතතු නුවණින් සලකා බලන්න. මෙසේ සලකා බැලීමෙන් දෘෂ්ටි විශුද්ධිය ඇතිවෙයි.
මෙසේ නාමරූප ධර්‍මයන් ව්‍යවස්ථා කොට ඒ නාමරූප ධර්‍මයන්ගේ ප්‍රත්‍යය සොයන්න. අතීත භවයෙහි වූ අවිද්‍යා සංස්කාර තෘෂ්ණා උපාදාන භවයන් නිසා මේ භවයෙහි විඥාන නාමරූප ෂඩායතන ස්පර්ශ වේදනාත් නැවතත් මේ භාවයෙහි අවිද්‍යා සංස්කාර තෘෂ්ණා උපාදාන භව යන මොවුන් නිසා අනාගත භවයෙහි විඥාන නාමරූප ෂඩායතන ස්පර්‍ශ වේදනා යන මොවුහුත් පහළ වෙති. මෙසේ නාමරූප ධර්‍මයන් හේතුඵල වශයෙන් සලකා බලන්න. එයින් මාර්‍ගඥානය ලබා ගැනීමට බලවත් බාධාවක් වන සැකය දුරු වෙයි. එසේ මැ මේ ලෝකයෙහි හේතුඵල ධර්‍ම සමූහය විනා සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැතැයි නාමරූප ධර්‍මයන් පිළිබඳ නිසැක අවබෝධයක් ඇතිවෙයි. මෙසේ නාමරූපයන්ගේ ඇති තතු අවබෝධ වෙත් මැ කංඛාවිතරණ විසුද්ධිය ඇති වේ.
නාමරූප ධර්‍මයන් තතු ලෙස දනිමින් විදර්‍ශනා භාවනා කරන විට මීට පෙරැ නොවූ විරූ ආලෝකයක් බලවත් ප්‍රීතියක් ඇතිවිය හැකි ය. සමහරු එබඳු නිමිතිවලට මුළා වී ලෝකෝත්තර මාර්‍ගඵල ලැබුණා යයි සිතයි. එසේ මුළා වුවොත් මාර්‍ගඵල වළකී. ඒ නිසා ඒවා උපක්ලේශයන් ලෙස සලකා අමතක කරන්න. ලෝකෝත්තර මාර්‍ගය කුමක් දැයි හොඳින් දැනැ ගන්න. නාමරූප ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දුඃඛ වශයෙන් අනාත්ම වශයෙන් සලකා බලන්න. නැවැත නාමය ද වෙන් වෙන් කොට එකක් පාසා අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. රූපය ද එසේ මැ වෙන් වශයෙන් මෙනෙහි කරන්න. එයින් මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය ඇති වේ.දැන් ඉතින් අතිශයින් සතුටු වන්න. පාරමී සම්පූර්‍ණ වැ ඇතොත් මාර්‍ගඵල ලබන්නට ඉතා ආසන්න ය. දැන් ඉතිරි වැ ඇත්තේ නව මහාවිදර්‍ශනඥානයන් ලබා ගැනීම පමණ ය. අනිත්‍ය දුඃඛ අනාත්ම ලක්‍ෂණයන් තව තවත් පැහැදිලි වැ වැටහෙන සේ මෙනෙහි කරන්න, ත්‍රිලක්‍ෂණයන් මැනැවින් වැටහීමට උපකාර වන පරිදි සංස්කාරයන්ගේ උදයව්‍යය මෙනෙහි කරන්න. රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය ඉපිදැ සිඳෙන්නේ ය. රූපස්කන්ධය අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න. වේදනා සංඥා සංස්කාර විඥාන යන ස්කන්ධයෝ ද අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න.
නැවැත සංස්කාරයන්ගේ භංගය - විනාශය මෙනෙහි කරන්න. රූපස්කන්ධය නිතර නිතර මැ බිඳෙන්නේ ය. සිඳෙන්නේ ය. වේදනා සංඥා සංස්කාර විඥාන යන ස්කන්ධයෝ ද නිතර මැ බිඳෙන්නාහ, සිඳෙන්නා හ. රූපස්කන්ධය අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න. වේදනා සංඥා සංස්කාර විඥාන යන ස්කන්ධයෝ ද අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න. මේ ලෝකයෙහි බිඳෙන ස්වභාවය ඇති සංස්කාර ගොඩක් හැරැ සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත. සියලු සංස්කාරයෝ අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න.
මෙසේ භාවනා කරත් කරත් මැ සංස්කාරයන් බියට කරුණු වශයෙන් වැටහෙන්නට පිළිවන. එය ද සංස්කාරයන්ගේ තත්ත්වාවබෝධයෙන් ඇති වන විදර්‍ශනා ඥානයෙකි. මේ ලෝකයෙහි සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත. ඇත්තේ සංස්කාර ගොඩක් පමණ ය. ඒ සංස්කාර ගොඩ ම සිඳෙන්නාහ, බිඳෙන්නාහ. අහෝ! සංස්කාරයන්ගේ භයානකකම ආදී වශයෙන් මෙනෙහි කරන්න. සියලු සංස්කාරයෝ අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න.
මෙසේ භාවනා කරත් කරත් මැ සංස්කාරයන් බොහෝ දෝෂ සහිත යයි වැටහෙනුවා ඇත. සංස්කාරයන්ගේ දෝෂ දකිමින් භාවනා කරන්න. එයින් සංස්කාරයන් පිළිබඳ ලොකු කලකිරීමක් ඇති වෙනුවා ඇත. ඒ නිසා සංස්කාරයන්ගෙන් මිදීමේ අදහස බලපවත්වන්නට පටන් ගනියි. අනතුරු වැ සංස්කාරයන්ගෙන් මිදීමට ක්‍රියා කළ යුතු ය. සක්කාය දිට්ඨි ආදී කෙලෙස් බැමි තිබෙන තුරු සංස්කාරයන්ගෙන් මිදීමක් නො වෙයි. ක්ලේශයන් උපදිනුයේත් නැවත නැවතත් මතු වනුයේත් සංස්කාරයන් නිත්‍ය සුඛ සුභ ආත්ම වශයෙන් සලකා බලන විට ය. ඒ නිසා නිතර මැ සංස්කාරයන් අනිත්‍ය දුඃඛ අශුභ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න.සංස්කාරයන් අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් හොඳින් වැටහෙතොත් අතිශයින් සතුටුවන්න. දැන් සියලු සංස්කාරයන් ශූන්‍යතා වශයෙන් මෙනෙහි කිරීමට පුරුදු වන්න. යමක් අනිත්‍ය නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනාත්ම ය. යමක් අනිත්‍ය දුඃඛ අනාත්ම නම් එය ශූන්‍ය ය, හිස් ය, රූපය පෙණ පිඬක් බඳු ය. වේදනාව දිය බුබුළක් බඳු ය, සංඥාව මිරිඟුවක් බඳු ය, සංස්කාරය කෙහෙල් කඳක් බඳු ය, විඥානය මායාවක් බඳු යයි නිතර නිතර මැ මෙනෙහි කරන්න.
දැන් නිර්‍වාණාවබෝධයට ඉතා ආසන්න ය. සංස්කාරයන්ගේ අනිත්‍ය දුඃඛ අනාත්ම භාවයන් තත්ත්වාකාරයෙන් වැටහෙත් මැ යෝගාවචරයාගේ සිත මාර්‍ගඥානදර්‍ශනයට මැ සුදුසු වෙයි. මේ ත්‍රිලක්‍ෂණයන්ගෙනුදු සමහරුනට අනිත්‍ය ලක්‍ෂණය, සමහරුනට දුඃඛ ලක්‍ෂණය, සමහරුනට අනාත්ම ලක්‍ෂණය මනා ව වැටහෙනුවා ඇත.
අනිච්චානුපස්සනාවෙනුත් නිර්‍වාණාවබෝධය කළ හැකි ය. දුක්ඛානුපස්සනාවෙනුත් අනත්තානුපස්සනාවෙනුත් නිර්‍වාණාවබෝධය කළ හැකි ය. ඒ නිසා මෙයින් තමනට ඉතා හොඳින් මැ වැටහෙන අනුපස්සනාව සිතට ගන්න. ඒ අනුව මැ භාවනා කරන්න. මෙසේ භාවනා කරත් කරත් මැ පාරමී ධර්‍මයන් සම්පූර්‍ණවී ඇතොත් ප්‍රථම ඥානදර්‍ශනය වන ස්‍රෝතාපත්ති මාර්‍ග ඥානය උපදනේ ය. අනතුරු වැ ස්‍රෝතාපත්ති ඵලචිත්තය පහළ වෙනුවා ඇත. නැවැතත් පෙරැ සේ ම භාවනා කරන විට සකෘදාගාමි මාර්‍ගචිත්තය හා ඵලචිත්තය ද, අනාගාමි මාර්‍ග චිත්තය හා ඵලචිත්තය ද අර්හත් මාර්‍ග චිත්තය හා ඵලචිත්තය ද පහළ වෙනුවා ඇත.
No comments:
Post a Comment