නවක ඔබට

මෙහි අඩංගු වන්නේ නවක ඔබ වෙනුවෙන්ම සැකසුනු කුඩා කුඩා දහම් කරුණු වලින් සමන්විත අත්වැලකි. 

මේ කරුණු කුඩා සහ කෙටි නමුත් ඉතා වටිනා දහම් කරුණු වේ. මේවා නුවනින් විමසා බලා අවබෝධ කරගෙන ඔබේ ජිවිතයට එකතු කරගෙන ශ්‍රද්ධාසම්පන්න ශ්‍රාවකයකු වෙන්න උත්සාහ ගන්න. 


ඔබට තෙරුවන් සරණයි!!!

-----------------------------------------------------------------------------

දහම දැනීම සහ දහම දැකීම.

අද කාලයේ බොහෝ දෙනා බුදු දහම ගැන පැහැදෙමින්, ඒ වෙතට ආකර්ෂණය වෙමින් පවතී. නමුත් බොහෝ දෙනාගේ පැහැදීම සහ ආකර්ෂණය සෝඩා බෝතලයක් කැඩුවාක් මෙනි. මුලින් මුලින් බොහොම වේගයෙන් උනන්දුවෙන් කටයුතු කලත් ටික කලක් යනවිට ඔක්කොම උනන්දු නැතිවී කම්මැලි අලස නිදිමත ස්වභාවයකට පත්වේ. පරණ පුරුදු ක්‍රමයටම ආපසු කැරකි යයි. එවිට කලයුත්තේ කුමක්ද? 

ධර්ම මාර්ගයේ වීර්යයෙන් ගමන් කිරීම තමයි මේ ලෝකයේ කරන්න අපහසුම දේ. අපි කාගේ කාගේත් උනන්දුව, උවමනාව, කැපකිරීම නැතිවෙන්නේ වෙන කාගේවත් වරදින් නෙමේ. අපි අපිම අතීත සසරේ කරගත්තු අකුසල් වල විපාක ඇවිත් අපිව කුසලයෙන් වළක්වනවා. විවිධ හේතු මතුකරලා දෙනවා. ධර්ම මාර්ගයේ යන්න උනන්දුව , උත්සාහය නැතිවෙන විදියේ විවිධ බාධක වලට මුහුණ දෙන්න වෙනවා. මෙහෙම වෙනකොට ඉස්සෙල්ලම කලයුත්තේ සිහිය පිහිටුවා ගැනීමයි. සිහියෙන් සිටින විට උනන්දුව, උත්සාහය අඩුවෙනකොට ඒ බව දැනගන්න පුළුවන්. එවිට නැවත එය වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. මේක හැමෝටම එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමේ. වැටි වැටි තමයි නැගිටින්නේ. වැටෙන වෙලාවට වැටුන බව දැනගන්න එකත් ලොකු දක්ෂ කමක්. එහෙම දැනගන්න පුළුවන් වෙන්නේ සිහියෙන් හිටියොත් පමණයි. සිහියෙන් සිටිනවා කියන්නේ තමන්ගේ ජිවිත පැවැත්ම ගැන හැම වෙලාවේම ධර්මනුකුලව විනිශ්චය කරමින් ඉන්න එකයි. එතකොට තම තමන් ධර්ම මාර්ගයෙන් පිට පනිනකොට තම තමන්ගේ සිහිය විසින් ඒ බව මතක් කරලා දෙනවා. තාවකාලිකව ප්‍රමාද දෝෂයකට ලක් උනත් ඉක්මනින් නැවත ධර්ම මාර්ගයට පිවිසෙන්න පුළුවන් වෙනවා. "සිහිය" ට පස්සේ අපිට ඊළඟට උදව්වට ඉන්නේ "නුවන" . ඒ කියන්නේ ධර්මඥානය. දහම කරුණු පිළිබඳව බාහිර වශයෙන් ඇතිකරගත් දැනුම. ඒ දැනුම නිසා අපිට නැවත ධර්ම මාර්ගය හඳුනා ගන්න පුළුවන් වෙනවා. නුවන මඳ කෙනා ධර්මය දන්නෙත් නෑ, අධර්මය දන්නෙත් නෑ. එයා පැටලී පැටලී යනවා මිසක් අවබෝධයක් දියුණු කරගන්නේ නෑ. ධර්මඥානය දියුණු කරගන්න නම් කලයුත්තේ එක එක අයගේ පුද්ගලික මති මතාන්තර වලින් බැහැර වී පිරිසිඳු බුද්ධ වචනය කියවීමයි. ඒ සඳහා මේ යුගයේ අපිට තියෙන එකම ක්‍රමය ත්‍රිපිටක ගත සුත්‍ර දේශනා කියවා හෝ අසා තේරුම් අරගෙන අවබෝධය පිණිස උනන්දු වීමයි. 

එවිට අපිට බාහිර වශයෙන් ධර්ම ඥානයක් ඇතිකරගන්න පුළුවන්. හැබැයි එක යථාර්ථයක් වෙන්නේ ඒ දහම් කරුණු තම තමන්ගේ ජිවිත තුලට ගලපා ගැනීමෙනුයි. දහම දකින්න පුළුවන් වෙන්නේ එතකොටයි. 

"සිහිය" සහ "නුවන" ට පස්සේ අපිට පිහිට වෙන අනිත් දෙය තමයි "වීර්ය" . අප තුල වීර්ය උපදවා ගන්න පුළුවන් වෙන්නේ සිහියෙන්, නුවනින් කටයුතු කලොත් පමණයි. නැත්තම් අපිව අකුසල් වලින් යට වෙනකොට එයින් ගොඩ එන්න බැරිවෙනවා. 

සිහිය, නුවන, වීර්ය කියන මේවා එකක් හෝ කිහිපයක් අපි කාට කාටත් අඩු වැඩි වශයෙන් පිහිටලා තියෙනවා. තම තමන් විසින් කරන කියන කටයුතු වලට අනුව, සිහිය, නුවන, වීර්ය,  වර්ධනය වීම හෝ පිරිහීම සිදුවෙනවා. තමන්ගේ සිහිය පිරිහිලා බව දැනුනොත් නැවත සිහිය පිහිටුවා ගැනීමට උනන්දු විය යුතුයි. සුත්‍ර දේශනා ආශ්‍රිත පොත් පත්, ධර්ම දේශනා කියවා, අසා තම තමන්ගේ වැරදි හඳුනාගෙන නිවැරදි විය යුතුයි. තවත් කෙනෙකුට මෙහෙමත් වෙන්න පුළුවන්. කොච්චර ධර්මය ඇසුවත්, සුත්‍ර දේශනා කියෙව්වත්, ඒ ඔස්සේ සිහියෙන් කටයුතු කිරීමේ හැකියාවක් නෑ. නුවන වර්ධනය වෙන්නේ නෑ. විර්යක් ඇතිවෙන්නේ නෑ. අන්න එහෙම උනාම එයා අඩුම තරමින් තේරුම ගත්තොත් "මගේ පුණ්‍ය ශක්තියේ සහ කුසල ශක්තියේ අඩුවක් නිසා මෙහෙම වෙලා" කියල, එයා ට ගොඩ යන්න පාරක් තියෙනවා. එයා කල යුත්තේ පින්, කුසල් ආදිය කිරීමයි. දස පුණ්‍ය ක්‍රියා. දස කුසල්. එහෙම කරගෙන යනකොට එයට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. නොතේරුන දහම් කරුණු වැටහෙන්න පටන් ගන්නවා. සිහිය පිහිටුවා ගැනීමට පුළුවන් වෙනවා. වීර්ය කිරීමට පුළුවන් වෙනවා. 

තෙරුවන් සරණයි!

මේ ධර්ම දානය සියලු දෙනාගේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අනුග්‍රහයක්ම වේවා. !

- සුරේෂ් රොඩ්රිගෝ.


-----------------------------------------------------------------------------
වෛරය සංසිඳෙන අකාරය සහ වෛරය නොසන්සිඳෙන අකාරය 

අක්කොච්ජි මංඅවධි මං  -   අජිනි මංඅහාසි මෙ
යෙ තං උපනය්හන්ති   -   වෙරං තේසං න සම්මති

අර්ථය:- මට අපහාස කළේයමට හිංසා කළේයමා පැරදවුයේය මාගේ දෙය පැහැර ගත්තේය” යැයි යම් කෙනෙක් වෛර බඳිත්ද ඔහුගේ වෛරය නොසංසිදේ.

අක්කොච්ජි මංඅවධි මං   -   අජිනි මංඅහාසි මෙ
යෙ තං උපනය්හන්ති   -   වේරං තෙපු පසම්මති

අර්ථය:-
මට අපහාස කළේයමට හිංසා කළේයමා පැරදවුයේය මාගේ දෙය පැහැර ගත්තේය” යැයි යම් කෙනෙක් වෛර නොබඳිත්ද ඔහුගේ වෛරය සංසිදේ.



න හි වෙරෙන වේරානි   -   සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ව සම්මන්ති   -   එස ධම්මො සනන්තනො
අර්ථය: 
මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛර කිරීමෙන් වෛරයෝ නොසන්සිඳෙත්. වෛර නොකිරීමෙන් වෛරයෝ සන්සිඳෙත්. මෙය පෙර සිට පැවතෙන ධර්මයෙකි. නැතහොත් සැමදා පවතින ස්වභාවයකි.




මේ ලෝකේ දුක විතරමද තියෙන්නේ? සැපක් ඇත්තෙම නැත්ද? 


බොහොම හොඳ සාධාරණ ප්‍රශ්නයක් :) ..

එක්තරා ස්වාමින්වහන්සේ නමක් හුදෙකලාව ඉන්න කොට තරුණ සිටුකුමාරයෙක් ඇවිල්ලා අහනවා ස්වාමිනී ඇයි මේ තනිව ඉන්නේ ඔහොම ඉඳලා මොකද්ද ඔබවහන්සේ බලා පොරොත්තුවෙන්නේ හොයන සුවය කුමක්ද කියලා. ඊට පස්සේ අර ස්වාමින්වහන්සේ කියනවා සියල්ල දුකනේ ඒකයි මම මේ සේරම අතහැරලා හුදකලාව ඉන්නේ කියලා. පස්සේ අර සිටුකුමාරයා "සියල්ල දුකලු මේ පෙනි පෙනී තියෙන සැප නැහැ කියන්නෙ කොහොමද මුනදැටම් පිස්සු" කියලා ගියාලු යන්න.

පස්සේ මේක බුදුපියාණන්වහන්සේට සැලවෙලා අර ස්වාමින්වහන්සේගෙන් වෙච්ච කාරනේ ඇහුවාලු... ඊට පස්සේ වෙච්ච සිද්ධිය කිව්වාම බුදුපියාණන්වහන්සේ අර ස්වාමින්වහන්සේට කිව්වාලු ... "ඈ මෝඩයෝ කවුද නුඹට එහෙම බණක් කිව්වේ ... මම එහෙම සියල්ල දුකයි කියලා තියෙනවාද... සියල්ල දුක නම් ලෝක සත්වයා මේ සංසාරේ ඇලෙයි ද " කියලා අහලා කාරනේ විස්තර කර දුන්නලු..

සැපක් දිගටම විඳගෙන යනකොට ඒක දුකකට හැරෙනවා (ඕනම සැපක්). නමුත් දුක විඳගෙන යන කොට කවදාවත් සැපකට හැරෙන්නේ නැහැ.. ඒ හේතුව උඩ තමයි සියල්ල දුකක් කිව්වේ (සැපක් නැතුව නෙමෙයි) ..

උපමාවක් කියන්නම්. හිතන්න අපි කන්න ආසම කෑමක් දිගටම හැමදාම කනකොට ඒක එපාවෙනවා.. දකින කොටත් අප්පිරියයි... කතාවක් තියෙන්නේ කන්න කන්න අතිරහත් තිත්තයි කියලා.. නමුත් දුකක් විඳින කොට එහම නෙමෙයි... කෝටුපාරක් කන ලමයකුට ඒක දෙන්න දෙන්න දුකක් මයි එන්නේ කීයටවත් සැපක් වෙන්නේ නැහැ... 

බුදුදහම විස්තර කරන්න ගියාම ගොඩක් දෙනා බුදුබණ කියලා තම තමන්ගේ මත ප්‍රකාශ කරන්නේ .. ඒකයි සියල්ල දුකයි සියල්ල දුකයි කිය කිය ඉන්නේ .. අර ස්වාමින්වහන්සේ වගේ .... ඔය හේතුව උඩ තමයි ගොඩක් දෙනා බුදුදහම සෘණවාදි ආගමකියලා හංවඩු ගහන්න පෙලඹෙන්නෙ..


-----------------------------------------------------------------------------

දෙමව්පියන්ට ණය ගෙවන්නේ කෙසේද? 

ඉපදීමේ සිට කුඩාකල පටන් ඔබව ආදරයෙන් රැකබලා ඇතිදැඩි කල ඔබේ දෙමව්පියන්ට ඔබ කෙලෙස ණය ගෙවන්නද? ඔවුන්ට මුදල් හදල් දෙන්න ඔබට පුළුවන්. ඔවුන්ට කෑම බීම දීල ඔවුන්ව ආදරයෙන් රැකබලාගන්න ඔබට පුළුවන්. ඔවුන්ගේ ලෙඩට දුකට පිහිටවෙලා බෙහෙත් හේත් කරලා දීල සුවපත් කරන්න ඔබට පුළුවන්. ඒ මොනවා කලත් ඔබට ඔය ණය ගෙවල ඉවර කරන්න බෑ කියල බුදුන් වහන්සේ දේශන කලා. ඒ අතරම උන්වහන්සේ දේශනා කලා ණය ගෙවල ඉවර කරන්න පුළුවන් මාර්ගයක් ගැන. ඔය කලින් කියපු ඒවා ඔබ අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ අතරම ඔබ ඔබේ දෙමුපියන්ව ධර්මාවබෝධය කරා යොමුකරවනවානම්, සිල්වතුන් ගුණවතුන් කරා ඔවුන්ව රැගෙනගොස් දාන, ශිල, භාවනා ආදී පුණ්‍ය කටයුතුවල උනන්දු කරවනවානම් එයින් ඔබට පුළුවන් ඔබේ දෙමව්පියන්ට ණය ගෙවා දමන්න. 

ඔවුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය ඇහෙන්න සලස්වන්න. එය ඔවුන්ට කරුණාවෙන් පහදා දෙන්න. ලෝභ, ද්වේශ, මෝහ කියන මේ අකුසල් මුල් ගැන ඔවුන්ට සිල්වතුන්, ගුණවතුන් ලවා පහදා දෙන්න. සසරින් එතෙර වෙන පාර කියා දෙන්න. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන්න. ඔවුන්ගේ මනස සැහැල්ලුවෙන් තබන්න. 

ඔබේ පවුලේ බර ඔවුන් මත පටවන්න එපා. ඔවුන් ගෙදර දොරේ වැඩකරුවන් සේ සලකන්න එපා. ඔවුන් ඔබව කුඩා කලේ  ඇතිදැඩි කලා. ඔබට කෑම බීම දුන්න. ඔබ අඬනකොට  නැලෙව්වා. ඔවුන්ට වෙන දෙයක් කරන්න වෙලාවක් තිබුනේ නෑ. සිතේ සැහැල්ලුවක් තිබුනේ නෑ. දැන් ඔවුන් වයසට ගියාමත් ඔවුන්ගේ සිතේ සැහැල්ලුව ඔබ උදුරගන්න එපා. ඔබේ දරුවන්ගේ වැඩ, ගෙදර දොරේ වැඩ, ඉවුම් පිහුම් වැඩ, ආදී මෙකි නොකී වැඩ ඔවුන් පිට පටවන්න එපා. එහෙම කලොත් ණය ගෙවනවා වෙනුවට ඔබ කරන්නේ තව තවත් ණයකාරයෙක් වෙන එකයි.  

සසරේ ණයකාරයෙක් නොවී, ණය ගෙවාදමන්නෙකු වන්න. 

ඔබට තෙරුවන් සරණයි.!!!

-----------------------------------------------------------------------------


නිරවුල් ජීවිතයකට මඟ සිත පිරිසුදු කර ගැනීම



’තතෝ නං දුක්ඛමන්චේති
චක්කං’ච වහතෝපදං’
කරත්තය බැඳි ගොනා පසුපස එන රෝදය මෙන් තමන් කරන ලද අකුසල කර්මයන් ගේ විපාක තමන් පසුපස ලුහුබඳින බව එහි දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

තමන් කරන පුණ්‍යකර්මයන් ගේ විපාක පිළිබඳ විස්තර කිරීමට ගෙන ඇත්තේ ප්‍රබල උපමාවකි. එහි දී තමන් අත් නොහරින සෙවණැල්ල මෙන් කරන ලද කුසලයන්ගේ සැප විපාක තමන් පසුපස එන බව පෙන්වා දුන්හ.
තවත් අවස්ථාවක ධර්ම රසය විඳින්නා හා නොවිඳින්නා කවරාකාරද යන බව හැන්ද සහ දිව උපමාවකට ගනිමින් මනාව පැහැදිලි කර දී තිබේ.

අඥානයා, මුළු ජීවිත කාලය පුරාම නුවණැති මුනිවරයෙක් ඇසුරු කළත් ධර්මය අවබෝධ කර ගන්නේ නැත. හොද්දක රසය නොතේරෙන ‘හැන්ද’ මෙනි.

බුද්ධිමතා සුළු මොහොතකට හෝ නුවණැති මුනිවරයෙක් ඇසුරු කළේ නම් ඔහු සැණෙකින් ධර්මය අවබෝධ කර ගන්නේ ය. හොද්දක රසය වහා හඳුනාගන්නා ‘දිව‘ මෙනි.
මෙසේ බුදුරජාණන් වහන්සේ ධම්ම පදයේ දී ඉතා ගැඹුරු ධර්ම කරුණු ශ්‍රාවකයාට පහසුවෙන් තේරුම් ගත හැකි වන සේ සරල උපමා ගෙන හැර පාමින් මැනැවින් පැහැදිලි කර දුන්හ.

ධම්ම පදයේ සහශ්‍ර වර්ගයට අයත්, ඉහතින් දැක්වූ ‘අභිවාදන සීලිස්ස - නිච්චං වද්ධාපචායිනෝ’ යන ගාථා ධර්මය බෞද්ධ සමාජයේ වඩාත් ජනප්‍රිය වී තිබේ. ඒ ආශිර්වාදාත්මක ගාථාවක් ලෙසිනි.

පසුබිම් කතා වස්තුව


දිනක් තම පුතු සමඟින් බුදුරජාණන් වහන්සේ හමුවට එන බමුණෙක් උන්වහන්සේ සමඟ පිළිසඳරෙහි යෙදෙන්නේ, ආපසු නිවෙස බලා යන්නට සූදානම් ව බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරන්නේය. එවිට උන්වහන්සේ බමුණාට,

’දිඝායුඛො හෝති’ දීර්ඝායුෂ ලැබේවා යැයි ප්‍රාර්ථනා කරන්නාහ. පහන් සිත් ඇති වූ බමුණා සිය පුතුට ද බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරන ලෙස පවසන්නේය.
පුතා ද එලෙසම කටයුතු කරන්නේ ය. ආපසු නිවෙස බලා යන ගමනේ දී බමුණා මෙසේ සිතන්නේය.
’භවත් ගෞතමයන් වහන්සේ මට දිගාසිරි පැතූහ. එහෙත් මා පුතුට දිගාසිරි නොපැතූහ. ඒ කවර නම් අරුමයක්ද?

අවුල් වූ සිතින් ආපසු බුදුරජාණන් වහන්සේ හමුවට එන බමුණා මේ පිළිබඳව විමසන්නේ ය.
”බමුණ! තොපගේ පුතු තව සතියක් ඇතුළත අමනුෂ්‍ය බලවේගයකට හසුවන්නේ ය. ඒ නිසා ඔහුට දීර්ඝායුෂ නොපැතුවෙමි”යි බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්හ.

”භවත් ගෞතමයන් වහන්ස; ඔබ වහන්සේ සර්වඥයන් වහන්සේ වන සේක. අනේ, මේ උවදුරින් මාගේ දරුවා බේරා ගන්නට උපදේශයක් දෙනු මැනවි’ යි බමුණා කියන්නේ ය.

එහිදී බුදුරජාණන් වහන්සේ දුන් උපදෙස් අනුවම කටයුතු කරන බමුණා, පවුලේ සාමාජිකයන් සමඟ එක්ව පළමුව තම නිවෙස ඖෂධීය දියරයෙන් සෝදා පවිත්‍ර කරන්නේය. දෙවැනි දින සිට දින හතක් පුරා සිල්වතුන් වහන්සේට නිවෙසට ආරාධනා කොට දන් පිළිගන්වා ඇප උපස්ථාන කරන්නේ ය. ධර්ම කතා විමසන්නේ ය. දරුවා කිසිදු උපද්‍රවයකට හසුවන්නේ ද නැත. තම පුතු සමඟ නැවතත් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන බමුණා තමන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ පවසන්නේය.

එවිට බුදුරජාණන් වහන්සේ, මෙතෙක් දරුවා වටා ධර්ම බලයක් නොතිබුණු බවත්, වතාවත් කොට නිවෙසේ පරිසරය දැහැමි පරිසරයක් බවට පත් කිරීම නිසා අමනුෂ්‍ය බලවේගයකට ළං විය නොහැකි වූ බවත්, එසේ සාමකාමී දැහැමි පරිසරයක් පවතින තාක් දරුවා ආරක්ෂා වන බවත් පෙන්වා දුන්හ. අනතුරුව මේ දරුවාට ‘ආයු වර්ධන කුමරු’ ලෙස නම් තබා ඉහත ගාථා ධර්මය දේශනා කළහ.

මෙයින් සමාජයට ගෙන දුන්නේ ගැඹුරු ධර්ම පණිවුඩයකි. ‘සිල්වත් උතුමන්ට වන්දනා කරන, සීලයෙන් ගුණයෙන් වැඩිහිටියන්ට නිතර වැඳුම් පිදුම් කරන පුද්ගලයා වෙත ආයුෂ, වර්ණය, සැපය හා බලය ළඟා වේ.’ ‘අභිවාදන’ නම් උත්කර්ෂවත් වන්දනයයි. සිල්වත් උතුමන් වෙත කළ යුතු නිසා හෝ, ආවාට ගියාට හෝ වැඳීමෙන් කුසලයක් අත්වන්නේ නැත. එය පුණ්‍යකර්මයක් වන ලෙස පිළිවෙළකට කළ යුතු කාර්යයකි. බෝධීන් වහන්සේ උදෙසා කෙරෙන පූජා වත්මන් බෞද්ධ සමාජයේ වඩාත් ජනප්‍රිය වී තිබේ.

ඒ වෙනුවෙන් මල් පහන් සූදානම් කර ගන්නා අවස්ථාවේ සිට මල් ආසන පිරිසුදු කිරීම, බෝ මළුව ඇමදීම ඇතුළු සියලු කටයුතු සිදුවිය යුතු වන්නේ ක්‍රමානුකූලව ය. බුදුගුණ ගායනා, බෝධීන් වහන්සේ ගේ ගුණ ගායනා මේ සියල්ල ක්‍රමවත්ව සිදු කළ යුතුය.

වන්දනා කිරීම සඳහා තෝරාගත යුතු වන්නේ ද සිල්වතුන් වහන්සේය. බෞද්ධයකුට නම් වන්දනයට වඩාත් සුදුසු වන්නේ තම එකම ශාස්තෘන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේ ය. ශ්‍රද්ධා සම්පන්න, සීල ගුණයෙන් යුතු ඔබට නිවෙසේ පිරිසිදු තැනෙක වඩා හිඳවූ බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා පැන් වීදුරුවක් හෝ පූජා කිරීමෙන් ම එය බුද්ධ පූජාවක් බවට පත්කර ගත හැකිය.

භික්ෂූන් වහන්සේ උදෙසා කරන වන්දනය ද වත්මන් හි විවිධ සංස්කෘතීන්ට හසුවී තිබේ. පසඟ පිහිටුවා වැඳීම අද බෞද්ධ සමාජයෙන් දුරස් වී යන ස්වභාවයක් පෙනේ. විශේෂයෙන් හින්දු වන්දනා ක්‍රම ඉස්මතු වී ඇති සැටියක් පෙනේ. මේ බෞද්ධයාට නොගැළපෙන දේ ය. නිරෝගී පුද්ගලයාට පසඟ පිහිටුවා වැඳීම අසීරු කාර්යයක් නොවේ.

සිල්වත්, ගුණවත් බෞද්ධයා තම මවුපියන්, වැඩිහිටියන් නොසලකා හරින්නේ නැත. ආහාර පාන ඇඳුම් පැලඳුම්, ඉඳුම් හිටුම් සපයනවා සේ ම ඇප උපස්ථාන කරමින් ඔවුන් රැක බලා ගන්නේය. ඔවුන්ට සතුටින් ජීවත්වීමේ පරිසරයක් නිර්මාණය කර දෙන්නේ ය.

යම් පුද්ගලයෙක් මේ ගුණධර්ම වර්ධනය කරනවා නම්, ඉහත කී ආයුෂ, වර්ණය, සැපය, බලය යන ශක්තීන් හතර ඔහු වෙත නිරායාසයෙන් ම ළඟා වේ. මෙහි ‘ආයුෂ’ නම් තමන්ට කර්ම ශක්තියෙන් ලැබුණු ආයුෂ ප්‍රමාණයයි. ඉහත කී ගුණ ධර්ම රැකීමෙන් තමන් කර්ම ශක්තියෙන් ගෙනා ආයුෂ ආරක්ෂා කර ගත හැකිය. ස්වාභාවික විපතකින් හෝ හදිසි අනතුරකින් හෝ දැහැමි පුද්ගලයාට විපතක් සිදු වන්නේ නැත. ඒ ධර්ම බලවේගය ඔහු සුරකී.

’වර්ණ’ නම් සමාජයේ ප්‍රියමනාප බවට, ප්‍රසාදයට පත් වූ පුද්ගලයකු වීමයි. ආශ්‍රයට සුදුසු අයකු වීමයි. ඉහත කී ගුණදහම් වඩන පුද්ගලයා නිහතමානී අයකු වේ. ඒ නිහතමානී බව ම ඔහු ප්‍රියමනාප පුද්ගලයකු බවට පත් කරයි. ‘සැප’ නම් නිරෝගී බවයි. උතුම් ම සැපත නිරෝගී සම්පත බව ධර්මයේ සඳහන් ය.

2600 සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා පිළිවෙතින් පෙළගැසෙන මොහොතේ මේ ගුණධර්ම වඩා ලෞකික මෙන්ම ලෝකෝත්තර ජීවිතය ද සැපවත් කර ගැනීමට බෞද්ධයා කටයුතු කළ යුතුය.

-----------------------------------------------------------------------------


සත්පුරුෂයා සතු සත්පුරුෂ ධර්ම නම්, 

කුලය නිසා තමන් හුවා දැක්වීමක් හෝ, අන් අය පහත්කොට සැලකීමක් නොකෙරේ.
උදාර වූ භෝග සම්පත් නිසා තමන් හුවා දැක්වීමක් හෝ, අන් අය පහත්කොට සැලකීමක් නොකෙරේ.පරිවාර සම්පත්තිය නිසා තමන් හුවා දැක්වීමක් හෝ, අන් අය පහත්කොට සැලකීමක් නොකෙරේ.,
ලාභය නිසා තමන් හුවා දැක්වීමක් හෝ, අන් අය පහත්කොට සැලකීමක් නොකෙරේ.
බහුශ්‍රැත බව නිසා තමන් හුවා දැක්වීමක් හෝ, අන් අය පහත්කොට සැලකීමක් නොකෙරේ.,  
විනයබර බව නිසා තමන් හුවා දැක්වීමක් හෝ, අන් අය පහත්කොට සැලකීමක් නොකෙරේ.
ධර්ම කථික බව නිසා තමන් හුවා දැක්වීමක් හෝ, අන් අය පහත්කොට සැලකීමක් නොකෙරේ.
පාංශුකූලික බව නිසා තමන් හුවා දැක්වීමක් හෝ, අන් අය පහත්කොට සැලකීමක් නොකෙරේ.,
පිණ්ඩපාතික බව නිසා තමන් හුවා දැක්වීමක් හෝ, අන් අය පහත්කොට සැලකීමක් නොකෙරේ.
රුක්ඛමූලික බව නිසා තමන් හුවා දැක්වීමක් හෝ, අන් අය පහත්කොට සැලකීමක් නොකෙරේ.,
ඒකාසනික බව නිසා තමන් හුවා දැක්වීමක් හෝ, අන් අය පහත්කොට සැලකීමක් නොකෙරේ.,
ප්‍රථමධ්‍යානය ලැබීම නිසා තමන් හුවා දැක්වීමක් හෝ, අන් අය පහත්කොට සැලකීමක් නොකෙරේ.
ද්විතීය, තෘතීය චතෘව ධ්‍යාන නිසා තමන් හුවා දැක්වීමක් හෝ, අන් අය පහත්කොට සැලකීමක් නොකෙරේ.,
ආකාසන කුඤ්චායනාදී අරුපාවචර ධ්‍යාන ලැබීම නිසා තමා හුවා දැක්වීමක් හෝ, අන් අය පහත්කොට සැලකීමක් නොකෙරේ.                                                                                   

(ම.නි. 3 -පිට - සප්පුරිස සූත්‍රය) 


-----------------------------------------------------------------------------

උපන් දිනය

ඔබ සැබෑවටම සැමරිය යුත්තේ
ඔබව මවු කුසින් පිටතට ගත්
දිනයට වඩා
ඔබ යම්කිසි අවබෝධයක් තුලින්
ඔබව නිවැරදි කෙනෙක් කිරීම
වෙනුවෙන් ගත් තීරණයක්
ක්‍රියාත්මක කල දිනයයි. 

මන්ද යත් එය ඔබේ සැබෑම උපන් දිනය වීම නිසයි. 

-----------------------------------------------------------------------------------------------------------------