Tuesday, August 14, 2012

බුදුන් වහන්සේ ඇත්තටම අවබෝධ කලේ කුමක්ද? උන් වහන්සේ අපිට කුමක් අවබෝධ කිරීම පිණිස කොයි ආකාරයෙන් වීර්ය කරන්න පැවසුවාද?


මේ සමාජයේ හුඟක් දෙනා ධර්මය කියල හිතාගෙන ඉන්නේ වෙනින් වෙනින් දේවල්. බුදුන් වහන්සේ ඇත්තටම අවබෝධ කලේ කුමක්ද? උන් වහන්සේ අපිට කුමක් අවබෝධ කිරීම පිණිස කොයි ආකාරයෙන් වීර්ය කරන්න පැවසුවාද? එකල සමාජයේ තිබු වැරදි පිළිවෙත් අදත් සමහරුන්ගේ ඔළුවල මුල් බැසගෙන තියෙනවා. බුදුන් වහන්සේ පැවසු දේ පවා කණපිට හරවාගෙන වාද කරන්න එනවා. 

බුදු කෙනෙක් ලෝකෙට පහල වෙන්නේ කාරනා 4 ක් මතුකරලා පෙන්නන්නයි. උන් වහන්සේ ස්වකිය ඥානයෙන් වීර්යයෙන් අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරන්නේ මේ කාරණා 4 ගැනයි. ඒ තමයි චතුරාර්ය සත්‍ය. උන් වහන්සේ තමයි ඉස්සෙල්ලම මේ කාරනා 4 ගැන අවබෝධ කරගන්නේ. ඊට පස්සේ ඒක ලෝකෙට දේශනා කරනවා. දේශනාව අවබෝධ කල පිරිස උන් වහන්සේ සාක්ෂාත් කරපු නිර්වාණය සාක්ෂාත් කරනවා. නිර්වාණය කියන්නේ සසර දුකින් පරිපුර්ණ වශයෙන් මිදීමයි. නිර්වාණය අවබෝධය පුර්ණත්වයට පත්වෙන්නේ අරහත් ඵලය සාක්ෂාත් කිරීමෙනුයි. එය තමයි කෙලවර ඵලය.

අරහත් ඵලයට පත්වීමේදී සත්වයාගේ සිතේ හටගන්නා සංයෝජන ධර්ම 10 ම පරිපුර්ණ වශයෙන් ප්‍රහාණය වෙනවා. 

සංයෝජන කියල කියන්නේ අපිව සංසාරෙට ගැට ගැහිලා තියෙන ශක්තිමත් වරපටවල් 10 ක්.

එනම්; 

1. සක්කාය දිට්ටිය
2. විචිකිච්චාව 
3. සීලබ්බතපරාමාස 
4. කාමරාග
5. පටිඝ
6. රූපරාග
7. අරූපරාග
8. මාන 
9. උද්ධච්ච 
10. අවිජ්ජා

සංයෝජන ධර්ම ප්‍රහාණය කරන වැඩ පිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක අයිති වෙන්නේ චතුරාර්ය සත්‍යයේ 4 වෙනි සත්‍යයට. ඒ කියන්නේ මාර්ග සත්‍යට. සංයෝජන සියල්ල ප්‍රහාණය වෙනතුරු සසර දුකින් මිදීමක් නෑ. 

එහෙනම් මොනවද මේ පංච අභිඥා, අෂ්ට සමාපත්ති?

පංච අභිඥා, අෂ්ට සමාපත්ති යනාදී දේවල් ලෞකික ධ්‍යාන වශයෙනුයි බුදුන් වහන්සේ හඳුන්වා දී තිබෙන්නේ. ඒවා පසුපස හඹා නොයන ලෙස උන් වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කළා. එහෙම දේශනා කලේ ඒවායින් සසර දුකින් නිදහස් වීමට නොහැකි බව උන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරපු නිසයි. 
අෂ්ට සමාපත්ති කියල කියන්නේ රූපාවචර ධ්‍යාන 4 සහ අරුපවචර ධ්‍යාන 4. 

ඒ කියන්නේ;
1 වන ධ්‍යානය , 2 වන ධ්‍යානය , 3 වන ධ්‍යානය , 4 වන ධ්‍යානය , ආකාසඥ්ඥායතනය, විඥ්ඥානඥ්ඥායතනය , ආකින්චඥ්ඥායතනය , නේවසඥ්ඥානාසඥ්ඥායතනය යි 

උන්වහන්සේ බුද්ධත්වය අවබෝධ කිරීමට පෙර එකල තවුසන් අතර පංච අභිකඥ ලාභින් සහ අෂ්ට සමාපත්ති ලාභින් සිටිය. සිදුහත් තව්සත් ඔවුන්ගේ මග යමින් ඉතා කෙටි කලකින්ම ඒ සියලු හැකියාවන් වර්ධනය කරගත්තා. එනමුත් උන්වන්සේට වැටහුනා ඒ ධ්‍යාන සමාපත්ති වලින් කෙරෙන්නේ දුක වහගෙන ඉන්න එක විතරයි කියන කාරණය. දුක යට කරගෙන ඉන්නවා කියන්නේ දුකින් මිදුන කියන එක නෙමේ. හරියට රබර් බෝලයක් වතුර යට බලෙන් තෙරපාගෙන ඉන්නවා වගෙයි. තෙරපුම ඉවත් කරපු ගමන් රබර් බොලේ උඩට මතුවෙනවා වගේ , ඔය ධ්‍යාන පිරිහුණු ගමන් ආපහු සසර දුකට වැටෙනවා. සසරින් මිදීමක් නෑ. 

සසර දුකින් නිදිහස් වීම පිණිස අවබෝධ කලයුතු චතුරාර්ය සත්ත්‍ය අවබෝධ නොකිරීම නිසා පංච අභිඥා, අෂ්ට සමාපත්ති ආදී ධ්‍යාන වැඩුවත් සසර දුකින් නිදහස් වෙන්න බැරි බව බුදුන් වහන්සේ දේශනා කලා. පංච අභිඥා, අෂ්ට සමාපත්ති ආදිය වැඩුවත් සංයෝජන ධර්ම ප්‍රහාණය නොවන බවයි උන් වහන්සේ පෙන්නුවේ. එක නිසා උන් වහන්සේ හැම වෙලාවේම අනුග්‍රහ කලේ සංයෝජන ධර්ම ප්‍රහාණය කිරීමේ වැඩපිලිවෙලටයි. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන කෙනා තමයි සෝවාන්, සකදාගාමී, අනාගාමි, අරහත් යන සතර මග සතර ඵලයට පැමිණෙන්නේ. පංච අභිඥා, අෂ්ට සමාපත්ති ආදී ධ්‍යාන සෝවාන් ඵලයෙන් කෝටියෙන් පංගුවක් තරම් වත් වටින්නේ නැතිබව බුදු හිමියන් දේශනා කලා. 

ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන බුද්ධ ශ්‍රවකයෙකුටත් සිතේ සමාධිය දියුණු කිරීමෙන් පංච අභිඥා, අෂ්ට සමාපත්ති ආදිය ඇතිකර ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් බුදුන් වහන්සේ දේශනා කෙළේ ඒ දේවල් වල සිරවී නොසිට සසර දුකින් නිදහස් වීම හෙවත් රහත් ඵලය සාක්ෂාත් කරගන්න ලෙසයි. 

සමහර රහතන් වහන්සේලා ඉන්නවා පංච අභිඥා, අෂ්ට සමාපත්ති ආදී හැකියාවන් සහිතව. මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධිමතුන් අතර අග්‍ර ස්ථානයට පත් උනා. නමුත් වඩා වැදගත් කාරණය වන්නේ රහත් ඵලය සාක්ෂාත් කිරීමයි. පංච අභිඥා, අෂ්ට සමාපත්ති ආදිය තිබිලත් සසර දුකින් මිදෙන්න බැරිවෙලා ආනන්තරිය පාප කාර්ම කරගත්තු දෙව්දත් වගේ උන්නාන්සෙලත් ඒකාලෙත් හිටියනේ. 

මේවයින් අපි වටහාගන්න ඕනි කාරණය තමයි, අවබෝධ කලයුතු චතුරාර්ය සත්ත්‍ය අවබෝධ කිරීම පිණිස වහ වහා උත්සාහවත් වියයුතු බව. පෙර පිනකට ලැබුන මේ මනුස්ස ජිවිතේ නැතිවෙන්න කලින් අනවශ්‍ය වාද විවාද, මතිමතාන්තර වල හිරවෙලා ඉන්නේ නැතිව, මිත්‍යා දෘෂ්ටි අදහස් හැකි ඉක්මනින් ඉවත් කරගෙන තෙරුවන් සරණ ගොස් බුද්ධ වචනයේ හික්මෙන පිරිසක් බවට පත්වෙන්න වග බලාගැනීම තම තමන් සතු කාර්යක්.

තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!!!

1 comment: