Thursday, August 16, 2012

අයියෝ සල්ලි !

දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට ඕන තරම් සල්ලි තියෙනවනම් සැප ලඟා කරගන්න එක හරි ලෙහෙසී කියල. එ උනාට ටිකක් ගැඹුරින් හිතන්න බලන්න, සල්ලි වලට පුලුවන්ද අපව වයසට යන එක නවත්තන්න ? අපිව ලෙඩ වෙන එක නවත්තන්න? අපිව මැරෙන එක නවත්තන්න? එහෙම කරන්න බෑ නේද? හැබැයි සල්ලි වලට පුළුවන් අපිට ගිහි ජිවිතයේ කටයුතු යම් තාක් දුරකට පහසුවෙන් කර ගැනීමට මාර්ගය පාදා දෙන්න. ඒ උනාට අපි සල්ලි වලට යට වෙලා සල්ලි වලට වහල් උනොත් අපිට කොහෙත්ම සැහැල්ලු ජිවිතයක් ගතකරන්න බැරි වෙනවා. මුදලට ඕන ඕන විදිහට නැටවෙන රුකඩ වගේ මිනිස්සු ඔබ ඕන තරම් දැකල ඇති නේද? ගිහි ගෙදර ගත කරන අපි හැම දේකටම වඩා සල්ලි ලොකු කරගෙන සල්ලි පස්සේ දුවන්න ගියොත් වෙන්නේ අපිව හති වැටෙන එක විතරයි. කිසිම විවේකයකුත් නෑ. කිසිම ජිවිත අවබෝධයක් දියුණු වෙන්නෙත් නෑ. මේ කියන්නේ මුදල් ඕනෙම නෑ කියන අන්තවාදී කතාවක් එහෙම නෙමේ. මුදල් වලට වහල් වියයුතු නෑ කියන එකයි මේ කියන්නේ.

මුදලට අපිව පාලනය කරන්න දෙන්නේ නැතුව අප විසින් මුදල් පාලනය කල යුතුයි. ගිහි ජිවිතයේ කටයුතු සාර්ථකව ඉටුකරගැනීමට අපට මුදල් අවශයි. එකේ කිසිම විවාදයක් නෑ. මුදල් උපයන මාර්ගය ලෙස අප ධර්මානුකුල ක්‍රමයක් සොයා ගත යුතුයි. ඔබ දැකල ඇති නොයෙක් අධාර්මික ක්‍රම වලින් මුදල් උපයන අය. ඒවායේ දරුණු විපාක විඳින්න ඔවුන්ට සිද්ද වෙනවා කියල ඔවුන් දන්නේ නැහැ. අඩුගනනේ ඔබ කල්පනා කරලා බලන්න ඔබ මුදල් උපයන්නේ පන්සිල් පද කඩල ද කියල. එහෙන නම් නම් පුළුවන් තරම් ඉක්මනින් එයින් බැහැර වෙන්න. ඒ අතරම ලද දෙයින් සතුටුවන සැහැල්ලු දිවි පැවැත්මක් ඇති කෙනෙක් වෙන්න උත්සාහ ගන්න ඕන. ලද දෙයින් සතුටු වෙන්න කිව්වම සමහර බටහිර ගැති චින්තකයින් සහ ඔවුන්ගෙන් උපදෙස් ගන්න කළු සුද්දන් කියනවා ලද දෙයින් සතුටු වෙන එක වැරදි අදහසක් කියල. ලද දෙයින් සතුටු වෙලා ඔහේ බලාගෙන හිටියොත් තව තව දේවල් ලඟා කරගන්නේ කොහොමද කියල අහනව. ධනාත්මකව හිතන කෙනා එහෙමලු කල්පනා කරන්න ඕන.
මම ඒ අයගෙන් මෙන්න මෙහෙම අහන්න කැමතියි. ඔබ ලද දෙයින් සතුටු උනේ නැත්තම් ඔබ කිසිම දවසක සතුටු වෙන කෙනෙක් නෙමෙයි නේද? ඒ මොකද ඔබ හැම වෙලාවේම ඉන්නේ නොලැබුණු දේ ගැන දුක් වේවි. එක ලබාගන්න දරන නිමක් නැති අසහනයකින් පෙළෙමින්. නමුත් බුදු දහම කවදාවත් කෙනෙකුව පිඩාවට පත්වෙන දෙයක් යෝජනා කරන්නේ නෑ. බුදු දහම තුල තමයි නියම ම ධනාත්ම චින්තනය අඩංගු වෙන්නේ. ඔබට තව තව දේවල් ලබා ගන්න අවශ්‍ය නම් ඔබ එය කල යුත්තේ රටේ ලෝකේ මිනිස්සුන්ට show එකට නෙමේ. ඔබ ඔබේ අවශ්‍යතා නුවනින් කල්පනා කරලා බලල අවශ්‍යතාවයට ගැලපෙන දේ ධර්මනුකුලව ලබා ගන්න වීර්ය කරන්න. එකේ වරදක් නෑ. හැබැයි දැඩි ලෝභයෙන් මත්වෙලා මදයෙන් මානයෙන් උදම් වෙලා එකිනෙකාට තරඟයෙන් යන මේ අතිධාවනකාරී ජිවන රටාව නම් තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයෙකුට  කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ඔබ නොදැනුවත්ව හෝ ඔය රැල්ලට අහුවෙලා යනවා නම් පුළුවන් තරම් ඉක්මනට එකෙන් අයින් වෙන්න. ඔබට කරන්න තියෙන්නේ ඔබ සිතන ක්‍රමය වෙනස් කරගන්න එක විතරයි. ඊට පස්සේ ඊට අනුව ක්‍රියාව සකස් කරගන්න එක ලේසියි.

බුදුන් වහන්සේ දේශනා කලේ ගිහි පැවිදි දෙපක්ෂයටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස උත්සාහ වෙන්න කියලයි. ඒ සඳහා කලයුතු ක්‍රියා පිළිවෙලත් උන් වහන්සේ බොහොම පැහැදිලිව දේශන කළා. ගිහි පින්වතුන් තම රැකි රක්ෂා ආදී නොයෙකුත් කටයුතු අතර මාසෙකට අඩුම තරමේ එක් දිනක් වත් සීල, භාවනා ආදී ගුණධර්ම දියුණු කරගන්න කැප වෙන්න කියල උන් වහන්සේ අවවාද කළා. ඔබ ඔබට හැකි ප්‍රමාණයෙන් මේ ධර්ම මාර්ගයට පිවිසෙන්න උත්සාහ කරන්න. ඒ වෙනුවෙන් වීර්ය කරන්න. ධර්මය අහන්න, කියවන්න, සිතේ ධාරණය කරගන්න, එයට අනුව ජිවිත පැවැත්ම සකස් කර ගන්න. මේ නිමක් නැති සසර ගමනින් නිදහස් වෙන්න තියෙන්නේ එකම මාර්ගයි. ඒ තමයි බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය තමන්ගේ ජිවිත තුලට ගලපා ගැනීම.

No comments:

Post a Comment