Wednesday, August 22, 2012

බුදු දහම රැකෙන්නේ කෙසේද? ධර්මාවබෝධ කරන්නේ කෙසේද?


බුදු දහම රැකෙන්නේ කෙසේද? ධර්මාවබෝධ කරන්නේ කෙසේද?
මේ දවස් වල ගොඩක් බෞද්ධ අය කතා වෙන දෙයක් තමයි බුදු දහම නගාසිටුවීම. අපි දහම නගාසිටුවීමට කෙසේ කටයුතු කලයුතුද කියන එක බුද්ධ වචනයට අනුවම විමසා බලමු.
ඔබට මතකද බුදුන් වහන්සේ දේශනා කල මේ ගාථාව.

න චච්චා වසලෝ හොති - න චචචා හොති බ්‍රාහ්මනෝ
කම්මනා වසලෝ හොති - කම්මනා හොති බ්‍රහ්මනෝ

එකේ තේරුම තමයි "කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නේ උපන් කුලය හෝ ජාතිය
හෝ රට හෝ අගම අනුව නොව ඔහු හෝ ඇය විසින් කරන ක්‍රියාව අනුව" කියන එකයි.
උපතින් බෞද්ධ වූ පමණින්, බෞද්ධයි කියා ගන්නා අයගේ ඔළුගෙඩි ගණන වැඩි වූ පමණින් බුදු දහම රැකෙනවද?

නිවැරදි බුදු දහම පිළිපදින, නිවැරදි දහම මතු කර පෙන්වන, නිවැරදි දහමට යොමුවෙන්න පාර කියාදෙන පිරිස වැඩි උනොත් විතරයි බුදු දහම රැකෙන්නේ. එහෙම නැතුව බෞද්ධයි කියා ගන්නා අයගේ ඔළුගෙඩි ගණන වැඩි වූ පමණින් නොවේ. උප්පැන්න සහතිකේ අගම ඉදිරියෙන් බෞද්ධ කියල තිබ්බ පමණින් බුදු දහම රැක ගැනීමට රුකුලක් වෙන්නේ නෑ. නිවැරදි දහම තේරුම් ගැනීමට නම් පළමුවෙන්ම නිවැරදි දහම අහන්න ඕන. නැත්තම් කියවන්න ඕන. අද රටේ විවිධ මති මතාන්තර ඔස්සේ ලියවුනු බොහොමයක් පොත් පත් බුදු දහමේ ලේබලයෙන් එලියට එනවා. නොයෙක් ස්වාමින් වහන්සේලා නොයෙක් ආකාරයට කරුණු විග්‍රහ කරනවා. වෙනින් කොයි කාලෙකවත් නැති තරමට බුද්ධ වචනය විකෘති කරලා පොත් පත් , දේශනා එලියට එනවා.

මෙවන් පරිහානික යුගයක නිවැරදි බුද්ධ වචනය හඳුනා ගන්නේ කෙසේද?

බුදුන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා මේවගේ වෙලාවක අපි කොහොමද නිවැරදි බුද්ධ වචනය හඳුනා ගන්නේ කියල. උන් වහන්සේ දේශනා කලේ යම් අවස්ථාවක ඔබ අහන, දකින, කියවන කරුණු බුද්ධ වචනයමද කියල දැනගන්න නම් එම කරුණු සුත්‍ර දේශනා සමග ගැලපෙනවද? විනය දේශනා සමග සැසදෙනවා ද? කියල විමසිලිමත් වෙන්න කියල. ඉතින් ඔබ කොහෙන් හෝ ඇසුන දෙයක් අන්ධ භක්තියෙන් පිළිගන්න එපා. සුත්‍ර පිටකයේ සුත්‍ර දෙසනා සමග ගලපා බලන්න. විනය දේශනා සමඟ සසඳා බලන්න. ඉන් පසු ඔබගේ නුවන මෙහෙයවා ඔබ තුලින්, ඔබගේ දැනුමේ පමණට කාරණය වටහා ගැනීමට මහන්සි ගන්න. මොකද මේ බුද්ධ වචනය ( ශ්‍රී සද්ධර්මය ) ස්වාක්ඛාතයි, සන්දිට්ටිකයි, අකාලිකයි, එහිඵස්සිකයි, ඕපනයිකයි, පච්ච්ත්තන් වෙදිතබ්බයි.

ඒ කියනේ මොනවද?

ස්වාක්ඛාතයි - මුල, මැද, අග මනාකොට දේශනා කර තිබීම.
සන්දිට්ටික - මෙලොවදීම දැකීමට පැමිණිය හැකියි
අකාලික - ඕනෑම කාලයට වලංගුයි ( කල් නොයවා විපාක දෙන සුළුයි )
එහිඵස්සික - ඇවිත් බලන්න යයි කිව හැකියි
ඕපනයික - තමා තුලට පමුණුවා ගැනීමෙන් තේරුම් ගත යුතුයි
පච්ච්ත්තන් වෙදිතබ්බ - තම තම නැණ පමණින් අවබෝධ කරගත යුතුයි

ඉතින් ඔබ හැකි තරම් උත්සාහ ගන්න සුත්‍ර පිටකයේ දේශනා ඇසුරින් ධර්මය වටහා ගන්න. දහම අවබෝධය සඳහා උදවු වෙන කාරණා 4 ක් බුදුන් වහන්සේ දේශනා කළා. පළමු කාරණා දෙක තමයි බාහිර කරුණු දෙක.

1. කල්‍යාන මිත්‍ර සේවනයෙන් - ඒ කියන්නේ ඔබව අකුසලයෙන් මුදාගෙන කුසලයේ පිහිටවන අයගේ ඇසුරින්
2. සද්ධර්ම ශ්‍රවනයෙන් - දහම් කරුණු ඇසීම

ඊළඟ කරුණු දෙක තමයි ඔබ අභ්‍යන්තර වශයෙන් ඇතිකරගෙන දියුණු කරගත යුතු කරුණු. එනම්

3. යෝනිසෝමනසිකාරය - ඇසු දහම කරුණු බුද්ධ වචනයට අනුකුලව නුවනින් මෙනෙහි කිරීම
4. ධම්මානුධම්ම ප්‍රතිපදාව - දහමට අනුකුලව තම ජිවිත පැවැත්ම සකස් කර ගැනීම

ඉතින් මේ ආකාරයෙන් ඔබට දහම් අවබෝධය කිරීමට වාසනාව ලැබේවා!

සාධු! සාධු! සාධු!

No comments:

Post a Comment