Wednesday, August 8, 2012

විභව තණ්හාව යනු කුමක්ද? එය නිවන් මගට බාධාවක් වන්නේ ඇයි?


කාම තණ්හාව:
පංච කාම වස්තු ( රූප, ශබ්ධ, ගඳ සුවඳ, රස, පහස ) කෙරෙහි ඇති චන්ද රාගය.

භව තණ්හාව:
මමය, මාගේය, මගේ ආත්මය යැයි වරදවා ගැනීම නිසා භවය කෙරෙහි ඇතිවන චන්ද රාගය.

විභව තණ්හාව:
භවයෙන් මිදීම ගැන ( හේතු ඵල දහම පිලිබඳ අවබෝධයක් නැතිව ) ඇතිවන චන්ද රාගය. ඒ කියන්නේ යම් කෙනෙක් භවය තුල ඇති දුක් පීඩා ගැන අවබෝධකින් තොරව ඇතිවෙච්ච කලකිරීමක් නිසා භවයෙන් මිදීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයට පරිබාහිර දේවල් අනුගමනය කිරීම තුලින් ඇතිවන තත්වයක්. එවිට භවයෙන් මිදීම වෙනුවට අරූප තලයේ හෝ අසඥ්ඥ තලයේ ප්‍රතිසන්ධියක් පිණිස කර්ම සකස් වෙනවා. එක නිසයි එය තණ්හා ගණයට වැටෙන්නේ. භවයෙන් මිදීමට නම් සියලු ආකාරයේ තණ්හා ප්‍රහාණය කල යුතුයි. ප්‍රහාණය කරනවා කියන්නේ නිකම්ම අතහරිනවා කියන අර්ථයට වඩා ගැඹුරු අදහසක්. යම් අකුසලයක ආදීනවය නුවනින් දැකල ඒ දේ දුරු කිරීම පිණිස වීර්යයෙන් කටයුතු කිරීමයි ප්‍රහාණය කරනවා කියන්නේ. තණ්හාව ප්‍රහාන කිරීමට නම් විදර්ශනා ප්‍රඥාව වැඩිය යුතුයි. 

බුදුන් වහන්සේ වදාලේ දුක්ඛ සමුදය ( ඒ කියන්නේ දුක ඇතිවන හේතුව ) වශයෙන් මෙන්න මේ ත්‍රිවිද තෘෂ්ණාවයි. 

චතුරාර්ය සත්‍යයේ සෑම සත්‍යක්ම ආකාර තුනකින් අවබෝධ කරගත යුතු වෙනවා. එනම් සත්‍ය ඥානය , කෘත්‍ය ඥානය සහ කෘත ඥාන වශයෙන්. දුක්ඛ සමුදය සත්‍යයේ සත්‍ය ඥානය කියල කියන්නේ දුකට හේතුව ත්‍රිවිධ තෘෂ්ණාව බව නුවනින් දැකීමයි. ඒ විදිහට සත්‍ය ඥානය ඇති උනාම එයාට ඊළඟට කරන්න තියෙන්නේ කෘත්‍යයි. ඒ කියන්නේ තෘෂ්ණාව ප්‍රහාණය කිරීමේ වැඩ පිළිවෙලට යොමුවීමයි. ප්‍රහාණය කරලා ඉවර උනාම එයාට තව ඥානයක් ඇති වෙනවා. එක තමයි කෘත ඥානය. කෘත ඥානය ඇති උනාම එයා දන්නවා ප්‍රහාණය කලයුතු ත්‍රිවිධ තෘෂ්ණාව ප්‍රහාණය කරලා අවසන් බව. නැවත අමුතුවෙන් කලයුත්තක් නැතිබව නුවනින් වටහාගෙන ඉන්නවා.

භවය ගැන කලකිරීමක් ඇතිවිය යුත්තේ අවබෝයෙන් මයි. එහෙම අවබෝධයෙන් කලකිරුණු කෙනාට පමණයි විභව තණ්හාවකින් තොරව භවයෙන් මිදීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න පුළුවන් වෙන්නේ. අන්න එකයි ආර්ය අශ්ටන්ගික මාර්ගයේ මුලටම සම්මා දිට්ටිය තියෙන්නේ. සම්මා දිට්ටිය කියන්නේ චතුරාර්ය සත්‍ය පිලිබඳ අවබෝධ ඥානයටයි. 

විභව තණ්හාව ගැන අවබෝධයක් ඇතිවෙන්න ඇති කියල මම හිතනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි!
නමෝ බුද්ධාය!

1 comment:

  1. කාම තණ්හා[සංස්කරණය]
    කාම වස්තූන් පිළිබඳව ආශාවයි.කාම වස්තූන් යනු පඤ්ච කාමයන්ය. එනම්, රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනාදියයි.චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන ෂඩ් ඉන්ද්‍රියයන් පිනවීමට ඇති කැමැත්තයි.රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ,ධර්‍ම යනුවෙන් ගත් කළ එය සය වැදෑරැම් වේ. අතීත වර්තමාන අනාගත යන තුන් කාලයට අනුව රූපාදී අරමුණු සය වැදෑරැම්ව ග්‍රහණය අනුව කාම තණ්හාව (18) අටළොස් වැදෑරැම් වේ.
    භවතණ්හා[සංස්කරණය]
    භව ගාමී වීමට ඇති ආශාවයි. මරණින් පසුවද ලබන ආත්ම වල දී පසිඳුරන් පිනවමින් පස්කම් සැප විඳීමට ඇති රුචිය මින් අදහස් කෙරේ. කාම වස්තූන් කෙරෙහි ඇති ඇල්ම අනුව ශාශ්වත දෘශ්ටිගතව සැප පැතීම භව තණ්හාවේ ලක්ෂණයකි. ෂඩ් ඉන්ද්‍රියන් තුනු කාලයට අනුව පිනවීමට යාම තුළින් භව තණ්හාව අටළොස් වැදෑරැම් වේ.
    විභව තණ්හාව[සංස්කරණය]
    මරණින් මතු තවත් උපතක් නැත. ඒ නිසා පස්කම් සැප විඳීමට අවස්ථාවක් නොලැබෙයි.ජීවත්ව සිටියදී හැකි තරම් කම් සුව විඳිය යුතුය. මෙම දර්ශනය උච්ඡේදවාදී දර්ශනයක් වශයෙන් සලකනු ලැබේ.
    තණ්හා1.jpg
    සවිස්තරාත්මකව තෘෂ්ණාව 108 වැදෑරැම් වේ.
    කාම තණ්හා භවතණ්හා විභවතණ්හා=03
    රූප,ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ=06
    =03*06=18
    අධ්‍යාත්මික, භාහිර=02
    =18*02=36
    අතීත වර්තමානඅනාගත=03
    =36*03 =108 " සමුදයස්ස ආයුහනට්ඨෝ නිදානට්ඨො සංයෝගට්ඨො පළිබොධට්ඨො ඉමේ චත්තාරො සමුදයස්ස සමුදයට්ඨා තථා අවිතථා අනඤ්ඤථා" යනුවෙන් පටිසම්භිදාමග්ග සච්ච නිද්දේසයට අනුව සමුදය

    ReplyDelete