Monday, June 19, 2017

සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම

ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා නිවන් මගට යොමු කරවීමට දේශනා කල ධර්මයේ ගැඹුරැම දේශනා මාලාව නම් මේ සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම (37) විස්තරයයි. ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මයේ ගැඹුරැම අභිධර්ම තිබෙන්නේ සූත්‍ර පිටකයේ ඇතුලත් වන මෙම සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම නම්වූ නිවන් මගටම මුල්වූ අභිධර්ම විස්තරයයි.

ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් ආකාර තිස් හතකින් විග්‍රහ කල නිවන් මගටම මුල්වූ ඒ මහා අනර්ඝ පැහැදිලි කිරීම බුදු දහමේ මූලික හරයයි මූලික ඉලක්කයයි.

මහ රහතන් වහන්සේලා බිහි උනෙත් මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි. මාර්ගඵල ලාබී අනෙකුත් ගිහි පැවිදි ශ්‍රාවකයන් බිහි උනේද මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි. ජය ශ්‍රී මහා බෝධි මූලයේදී ගෞතමයන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කලේද මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි..

ඉතින් මේ තමයි බුදු රජාණන් වහන්සේ දේශනා කල නිවන් මගට උපකාර කරන්නාවූ අවබෝධ කල යුතුවූ ගැඹුරැ ධර්මය.


සතර සති පට්ඨානය

1.කායානු පස්සනා සතිපට්ඨානය
කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව කෙලෙසුන් ප්‍රහානය කිරීමේ නුවනින් යුතුව මනා සිහි නුවනින් කය පිලිබඳව සිහිය යොමා ගෙන වාසය කිරීම නැතහොත් කයට අනුව සිහිය පිහිටුවීමයි.

2. වේදනානු පස්සනා සතිපට්ඨානය
සැප විඳීම දුක්විඳීම උපේක්‍ෂා විඳීම අනිත්‍ය බව අවබෝධයෙන් යුතුව වටහා ගෙන විඳීමට නොඇලී වාසය කිරීමයි


3. චිත්තානු පස්සනා සතිපට්ඨානය
දුක් දොම්නස් වලින් අත් මිදීම පිනිස චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිනිස අමා මහ නිවන සාක්‍ෂාත් කිරීම පිනිස සිත මෙහෙයවීම

4. ධම්මානු පස්සනා සතිපට්ඨානය
ධර්මයන් කෙරෙහි යෝනිසෝ මනසිකාරය කරමින් ඒ ඒ ධර්මයන් පිලිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දැකීම.


සතර සම්‍යක් ප්‍රධාන වීර්යය

1.නූපන් අකුසල ධර්මයන් නූපදවීම පිනිස කරන වීර්ය

2.උපන් අකුසල ධර්මයන් ප්‍රහානය කිරීම පිනිස කරන වීර්ය

3.නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම පිනිස කරන වීර්ය

4.උපන් කුසල ධර්මයන් වැඩි දියුනු කිරීම පිනිස කරන වීර්ය


සතර සෘද්ධි පාද

1.ඡන්ද සෘද්ධි පාදය
ධර්මය ඇසීමටත් ධර්මයේ හැසිරීමටත් ඇති බලවත් කැමැත්ත ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි.

2.චිත්ත සෘද්ධි පාදය
අරහත්වීමේ අධිෂ්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටුවා ගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව චිත්ත සමාධිය වැඩීම චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි.

3.විරිය සෘද්ධි පාදය
අරහත්වීමේ අධිෂ්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටුවා ගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව වීර්ය සමාධිය වැඩීම වීර්ය සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි.

4.වීමංසා සෘද්ධි පාදය
අරහත්වීමේ අධිෂ්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටුවා ගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව වීමංසා සමාධිය වැඩීම වීමංසා සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි. වීමංසා කියන්නෙ විමසිමයි


පංච ඉන්ද්‍රිය

1.ශ්‍රද්ධා ඉන්ද්‍රිය
ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නෙ බුදු රජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි.. ස්‍රද්ධාති තථාගතස්ස බෝධිං.
බුදු රජාණන් වහන්සේ ගැන ඇතිවන නොසෙල්වෙන පැහැදීම.
ශ්‍රි සද් ධර්මය ගැන ඇතිවන නොසෙල්වෙන පැහැදීම.
ආර්ය මහා සංඝයා ගැන ඇතිවන නොසෙල්වෙන පැහැදීම.

2.විරිය ඉන්ද්‍රිය
නූපන් අකුසල ධර්මයන් නූපදවීම පිනිසත්, උපන් අකුසල ධර්මයන් ප්‍රහානය කිරීම පිනිසත්, නූපන් සීල සමාධි ප්‍රඥා උපදවා ගැනීම පිනිසත්, උපදවා ගත් සීල සමාධි ප්‍රඥා වැඩි දියුනු කර ගැනීමටත් යෙදන බලවත් වීර්යයි.

3.සති ඉන්ද්‍රිය
සති ඉන්ද්‍රිය නම් නිවන් අවබෝධ කරනවා කියන අදහසින් සතර සති පට්ඨානයේ සිහිය පිහිටුවා ගැනීමයි.


4.සමාධි ඉන්ද්‍රිය
නිවන අරමුනු කරගෙනම පලවෙනි ධ්‍යානයට දෙවනි ධ්‍යානයට තුන්වන ධ්‍යානයට සමවැදීම සමාධි ඉන්ද්‍රිය නම් වෙයි.

5.ප්‍රඥා ඉන්ද්‍රිය
නිවන අවබෝධ කිරීමට සිතන ආර්ය ස්‍රාවකයාට චතුරාර්‍ය සත්‍ය පිලිබඳව ඇතිවන අවබෝධාත්මක ප්‍රඥාවයි. පටිච්ච සමුප්පාදයේ හට ගැනීමත් පටිච්ච සමුප්පාදයේ නිරෝධයත් පිලිබඳ ඇතිවන අවබෝධයයි.



පංච බල

1.ස්‍රද්ධා බලය
ස්‍රද්ධා ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම ස්‍රද්ධා බලය වෙයි

2.විරිය බලය
වීර්ය ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම වීර්ය බලය වෙයි

3.සති බලය
සති ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම සති බලය වෙයි

4.සමාධි බලය
සමාධි ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම සමාධි බලය වෙයි

5.ප්‍රඥා බලය
ප්‍රඥා ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම ප්‍රඥා බලය වෙයි


සප්ත බොඡ්ඡංග

1.සති සම්බොඡ්ඣංගය
සති සම්බොඡ්ඣංගය කියන්නෙ ධර්මය මනා නුවනින් විමසමින් යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් මනා කොට ධර්මය අවබෝධ වන ආකාරයටම සිහිය පැවැත්වීමයි.

2.ධම්ම විජය සම්බොඡ්ඣංගය
ධම්ම විජය සම්බොඡ්ඣංගය කියන්නෙ කුසල හා අකුසල ධර්මද වැරදි හා නිවරදි ධර්මද උසස් හා පහත් ධර්මද නිවරදිව හඳුනාගෙන චතුරාර්‍ය සත්‍ය අවබෝධ වන ආකාරයට නුවනින් විමසීමයි.

3.විරිය සම්බොඡ්ඣංගය
විරිය සම්බොඡ්ඣංගය කියන්නෙ පටන් ගත් වීර්යයෙන් යුතුව බලවත්වූ වීර්යයෙන් ධර්මය අවබෝධ කිරීම පිනිසම යෝනිසෝ මනසිකාරයේ යෙදීමයි.

3.ප්‍රීති සම්බොඡ්ඣංගය
ප්‍රීති සම්බොඡ්ඣංගය කියන්නෙ ධර්මය අවබෝධ වීමෙන් ලබන චිත්ත ප්‍රීතියයි.

4.පස්සද්ධි සම්බොඡ්ඣංගය
පස්සදධි සම්බොඡ්ඣංගය කියන්නෙ ධර්මය අවබෝධ වීමෙන් ලබන කායික මානසික සැහැල්ලුවයි.

5.සමාධි සම්බොඡ්ඣංගය
සමාධි සම්බොඡ්ඣංගය කියන්නෙ භාවනාවේ යෙදෙමින් සිතඑක අරමුනකට එකඟ කර ගැනීමයි.

6.උපේක්ඛා සම්බොඡ්ඣංගය
උපේක්ඛා සම්බොඡ්ඣංගය කියන්නෙ මනා කොට ඉවසීම ප්‍රගුන වීමෙන් සිත උපේක්‍ෂාවට පත්ව සංවර වීමයි.




ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය

1.සම්මා දිට්ඨිය
දුක පිරිසිඳ දැකිය යුතුයි.
දුක හට ගන්නාවූ තෘෂ්නාව ප්‍රහානය කල යුතුයි.
දුක නැතිකල බව තන්හාව ප්‍රහානය කලබව තමා අත් දැකිය යුතුයි.
ශීල සමාධි ප්‍රඥා වශයෙන් මාර්ගය වැඩිය යුතුයි.


2.සම්මා සංකප්ප 
දුකින් නිදහස් වීමට සිතන නෙක්ඛම් සංකල්පනාවත් මෛත්‍රී කරැනා මුදිතා ආදී සිතන අව්‍යාපාද සංකල්පනාවත් හිංසාවෙන් තොරව කටයුතු කරන අවිහිංසා සංකල්පනාවත්


3.සම්මා වාචා
බොරැ කීමෙන් වැලකීම කේලමෙන් වැලකීම පරැෂ වචනයෙන් වැලකීම හිස් වචනයෙන් වැලකීම

4.සම්මා කම්මන්ත
කිසියම් ජීවිතයකට හානි කිරීමෙන් හෝ අනුබල දීමෙන් වැලකීම. තමාට අයත් නොවන කිසිවක් සොර සිතින් ගැනීමෙන් වැලකීම. කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීම.

5.සම්මා ආජීවය
අසම්මත වූ ලාමක වූ විවිධ ක්‍රම මගින් ජීවත් වීමෙන් වැලකී ධාර්මිකව ජීවත්වීම.

6.සම්මා වායාමය
හට ගත් අකුසලයන් ප්‍රහානය කිරීමට වෑයම් කිරීමත්. නූපන් කුසල් උපදවා ගැනීමට වෑයම් කිරීමත්. ඒකට බලවත්වූ වීර්ය කිරීමත්.

7.සම්මා සතිය
සතර මහ ධාතූන්ගෙන් හට ගත් මේ කය කෙරෙහි යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් කෙලෙස් ප්‍රහානය කරන නුවනින් යුතුව අවබෝධයෙන් සිතීම.

8.සම්මා සමාධිය
සතර සති පට්ඨානයේ සිහිය පවත්වමින් පංච නීවරන සංසිදුවා ලබන විවේකයෙන් යුතුව කයේ මනසේ ප්‍රීතිය ඇතුව
ප්‍රථම ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
දෙවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
තෙවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
හතරවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.


සාධු ....! සාධු ....! සාධු ....! !

Tuesday, June 6, 2017

දහම දකින්නේ කෙසේද?

බුදුන් වහන්සේ දේශනා කලේ තමා පිළිබඳව තමන් විසින්ම අවබෝධ  කලයුතු දෙයක්. ඒ සඳහා තම තමන්ගේ මනස තම තමන් විසින්ම වර්ධනය කල යුතු වෙනවා. එහෙම කරන්න උදව්වක් , උපකාරයක්,  මග පෙන්වීමක් තමයි උන්වහන්සේ දේශනා කලේ. යම් කෙනෙක් ධර්මය අවබෝධ කිරීමේදී සත්‍ය වශයෙන්ම අවබෝධ වන්නේ තමා පිළිබඳවයි. අන්න ඒ නිසා තමයි ධර්මයේ ස්වභාවය විස්තර කිරීමේදී "පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤූහීතී" යනුවෙන් විග්‍රහ වෙන්නේ.

ඒකෙ තේරුම තමයි තමා තුලින් තමාව දැකගෙන තමා තුලින් තමාව අවබෝධ කලයුතු බව.

වෙනත් කෙනෙක් ධර්මය අවබෝධ කලොත් ඔහු හෝ ඇයට අවබෝධ වන්නේ ඔහු හෝ ඇය පිළිබඳවයි. එම අවබෝධය පෞද්ගලික එකක් . තම තමාගේ මානසික ශක්තියේ පිබිදීමක් තුලින් ලබන අවබෝධයක්.  යම් කෙනෙකුගේ අවබෝධය තවත් කෙනෙකුට ඇස්දෙකෙන් දැකල අතින් ස්පර්ශ කරලා බලාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එකට මිනුම් දඬු නෑ . භෞතිකව මිනුම් දණ්ඩකින් මනින්න බෑ . ධර්මාවබෝධය පිළිබඳ සත්‍ය ඔන්න ඕකයි.

මේ සත්‍ය තේරුම් නොගත් සමහර උදවිය දහම අවබෝධ කරන්න උත්සාහ ගන්නේ නෑ. ඒගොල්ලෝ විවිධ තර්ක විතර්ක කරමින් දහම් අවබෝධ කරන්න උත්සාහ ගන්නා අයවත් තමන්ගේ මිත්‍යා දෘෂ්ටි අදහස් වලට හසු කරගන්න උත්සාහ කරනවා. මෑත යුගයේ එවැනි මිත්‍යා දෘෂ්ටි අදහස් දරන අය මෙවැනි දේ ප්‍රකාශ කරනවා.

1. ඔය දහම අහල රහත් උන කෙනෙක් ඉන්නවනම් අපි කොහොමද එයා රහත් කියල හරියටම දැන ගන්නේ?

2. එහෙම හරියටම දන්නේ නැතුව අපි මොකටද ඕක අවබෝධ කරගන්න කාලය නාස්ති කරන්නේ?

3. Target එකක් Achieve කරපු බව ඔප්පු කරගන්න බැරි නම් ඒකෙන් වැඩක් නෑනේ.

4. බුදු හාමුදුරුවෝ හරියටම බුදු උනා කියල ඔයා කොහොමද දන්නේ?

5. එහෙම නොදැන එයාගේ ධර්මය අනුගමනය කරන එකේ කිසි තේරුමක්  නෑනේ

මෙන්න මේ වගේ අදහස් වලින් එවැනි අය තමන්ගේ ඔලුව පුරවාගෙන ඉන්නවා. අනිත් අයටත් එවැනි අදහස් ඇති කරවල ධර්ම මාර්ගයේ යන ගමනට බාධා කරනවා.

ධර්මය අවබෝධ වීම කියල කියන්නේ තනිකරම මනසේ ඇතිවන පිබිදීමක්. මනස වැඩෙනවා. වැඩුණු මනස තුල  ප්‍රඥාව පහල වෙනවා. එය කිසිම උපකරණයකින් මැනලා පෙන්නන්න බෑ. ඉතා සරල උදහරනකින් තේරුම් කරනවානම්, යම් කෙනෙක් තමන්ගේ දරුවෙකුට ඇති ආදරය, කරුණාව වගේ හැඟීමක් කිරල මැනලා පෙන්නන්න බෑ වගේ. ඒ ආදරයේ හෝ කරුණාවේ තරම දන්නේ එම පුද්ගලයා පමණයි. තවත් කෙනෙක් වෙනුවෙන් ඒක ඔප්පු කරලා පෙන්නන්න බෑ

මොන දේ කරලා පෙන්නුවත් තව කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඕව කරන්නේ මතුපිට හැඟීමකින් විතරයි, ඇත්තටම ආදරයකින් කරුණාවකින් නෙමේ කියල. මනසේ ඇතිවන හැඟීම් , ආදරය, කරුණාව, විරහව , වෛරය , ක්‍රෝධය , ප්‍රඥාව , ශ්‍රද්ධාව , අවබෝධය වගේ දේවල් කිරල මැනලා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් දේවල් නෙමේ. ඒවා තම තමන් විසින් දැන ගන්න දේවල්. එක තමයි යථාර්තය.

ඒ නිසා ඔබ ධර්ම මාර්ගයේ යන්න ධර්මය අවබෝධ කරන්න පසුබට වන්න එපා. බුදුන් වහන්සේ වදාළ පිළිවෙලට ආර්ය මාර්ගය ට පිවිසිලා සිහියෙන් නුවනින් ධර්මය අධ්‍යනය කරලා ප්‍රථිපල ලබන්න උත්සාහවත් වන්න. නොපසුබට වීර්යයෙන් කටයුතු කරන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි.
ඔබගේ කල්‍යාන මිත්‍ර,

සුරේෂ් රොඩ්රිගෝ