Tuesday, June 6, 2017

දහම දකින්නේ කෙසේද?

බුදුන් වහන්සේ දේශනා කලේ තමා පිළිබඳව තමන් විසින්ම අවබෝධ  කලයුතු දෙයක්. ඒ සඳහා තම තමන්ගේ මනස තම තමන් විසින්ම වර්ධනය කල යුතු වෙනවා. එහෙම කරන්න උදව්වක් , උපකාරයක්,  මග පෙන්වීමක් තමයි උන්වහන්සේ දේශනා කලේ. යම් කෙනෙක් ධර්මය අවබෝධ කිරීමේදී සත්‍ය වශයෙන්ම අවබෝධ වන්නේ තමා පිළිබඳවයි. අන්න ඒ නිසා තමයි ධර්මයේ ස්වභාවය විස්තර කිරීමේදී "පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤූහීතී" යනුවෙන් විග්‍රහ වෙන්නේ.

ඒකෙ තේරුම තමයි තමා තුලින් තමාව දැකගෙන තමා තුලින් තමාව අවබෝධ කලයුතු බව.

වෙනත් කෙනෙක් ධර්මය අවබෝධ කලොත් ඔහු හෝ ඇයට අවබෝධ වන්නේ ඔහු හෝ ඇය පිළිබඳවයි. එම අවබෝධය පෞද්ගලික එකක් . තම තමාගේ මානසික ශක්තියේ පිබිදීමක් තුලින් ලබන අවබෝධයක්.  යම් කෙනෙකුගේ අවබෝධය තවත් කෙනෙකුට ඇස්දෙකෙන් දැකල අතින් ස්පර්ශ කරලා බලාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එකට මිනුම් දඬු නෑ . භෞතිකව මිනුම් දණ්ඩකින් මනින්න බෑ . ධර්මාවබෝධය පිළිබඳ සත්‍ය ඔන්න ඕකයි.

මේ සත්‍ය තේරුම් නොගත් සමහර උදවිය දහම අවබෝධ කරන්න උත්සාහ ගන්නේ නෑ. ඒගොල්ලෝ විවිධ තර්ක විතර්ක කරමින් දහම් අවබෝධ කරන්න උත්සාහ ගන්නා අයවත් තමන්ගේ මිත්‍යා දෘෂ්ටි අදහස් වලට හසු කරගන්න උත්සාහ කරනවා. මෑත යුගයේ එවැනි මිත්‍යා දෘෂ්ටි අදහස් දරන අය මෙවැනි දේ ප්‍රකාශ කරනවා.

1. ඔය දහම අහල රහත් උන කෙනෙක් ඉන්නවනම් අපි කොහොමද එයා රහත් කියල හරියටම දැන ගන්නේ?

2. එහෙම හරියටම දන්නේ නැතුව අපි මොකටද ඕක අවබෝධ කරගන්න කාලය නාස්ති කරන්නේ?

3. Target එකක් Achieve කරපු බව ඔප්පු කරගන්න බැරි නම් ඒකෙන් වැඩක් නෑනේ.

4. බුදු හාමුදුරුවෝ හරියටම බුදු උනා කියල ඔයා කොහොමද දන්නේ?

5. එහෙම නොදැන එයාගේ ධර්මය අනුගමනය කරන එකේ කිසි තේරුමක්  නෑනේ

මෙන්න මේ වගේ අදහස් වලින් එවැනි අය තමන්ගේ ඔලුව පුරවාගෙන ඉන්නවා. අනිත් අයටත් එවැනි අදහස් ඇති කරවල ධර්ම මාර්ගයේ යන ගමනට බාධා කරනවා.

ධර්මය අවබෝධ වීම කියල කියන්නේ තනිකරම මනසේ ඇතිවන පිබිදීමක්. මනස වැඩෙනවා. වැඩුණු මනස තුල  ප්‍රඥාව පහල වෙනවා. එය කිසිම උපකරණයකින් මැනලා පෙන්නන්න බෑ. ඉතා සරල උදහරනකින් තේරුම් කරනවානම්, යම් කෙනෙක් තමන්ගේ දරුවෙකුට ඇති ආදරය, කරුණාව වගේ හැඟීමක් කිරල මැනලා පෙන්නන්න බෑ වගේ. ඒ ආදරයේ හෝ කරුණාවේ තරම දන්නේ එම පුද්ගලයා පමණයි. තවත් කෙනෙක් වෙනුවෙන් ඒක ඔප්පු කරලා පෙන්නන්න බෑ

මොන දේ කරලා පෙන්නුවත් තව කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඕව කරන්නේ මතුපිට හැඟීමකින් විතරයි, ඇත්තටම ආදරයකින් කරුණාවකින් නෙමේ කියල. මනසේ ඇතිවන හැඟීම් , ආදරය, කරුණාව, විරහව , වෛරය , ක්‍රෝධය , ප්‍රඥාව , ශ්‍රද්ධාව , අවබෝධය වගේ දේවල් කිරල මැනලා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් දේවල් නෙමේ. ඒවා තම තමන් විසින් දැන ගන්න දේවල්. එක තමයි යථාර්තය.

ඒ නිසා ඔබ ධර්ම මාර්ගයේ යන්න ධර්මය අවබෝධ කරන්න පසුබට වන්න එපා. බුදුන් වහන්සේ වදාළ පිළිවෙලට ආර්ය මාර්ගය ට පිවිසිලා සිහියෙන් නුවනින් ධර්මය අධ්‍යනය කරලා ප්‍රථිපල ලබන්න උත්සාහවත් වන්න. නොපසුබට වීර්යයෙන් කටයුතු කරන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි.
ඔබගේ කල්‍යාන මිත්‍ර,

සුරේෂ් රොඩ්රිගෝ 

1 comment:

  1. ඇත්ත! , තර්ක විතර්ක කර කර ඉන්නවාට වඩා ඒගැන සොයා බලන එක කරන්න ඕනේ .

    ReplyDelete