Friday, September 28, 2012

නිරවුල් ජීවිතයකට මඟ සිත පිරිසුදු කර ගැනීම


මෝහය මහත් වූ අඳුරක් බඳුය. මෝහය නැති කළ හැක්කේ ප්‍රඥාව තුළිනි. ප්‍රඥාව තුළින් ඇත්ත ඇති සැටියෙන් දැකීමට පුළුවන. පටිච්ච සමුප්පාදයෙහි දැක්වෙන්නේ “අවිජ්ජා පච්චයා සංඛාරා’’ ආදී වශයෙන් නොදැනීම තුළින් සියල්ල ඇතිවන ආකාරයයි.

ලෝකයේ ජීවත් වන කල්හි අපට ප්‍රධාන අවශ්‍යතා රාශියක් පවතී. ඒ අතර ආහාරපාන, ගේ දොර, ඇඳුම්පැළඳුම්, බෙහෙත්හේත් ප්‍රධාන තැනක් ගනී. මේවා ලබා ගැනීම උදෙසා සත්වයන් අපමණ වෙහෙසක් ද දරනු ඇත. එහිදී ලොකු කුඩා භේදයක් ඇති නැති පරතරයක් සමාජය තුළ නිර්මාණය වේ. ඇති අය එම සම්පත් ලබා ගෙන ජීවිතය සංතර්පණය කරගන්නා අතර නැති අය එම සම්පත් ලබා ගැනීම සඳහා අපමණ දුක් විඳිති.
මෙහිදී අප කීමට උත්සාහ කරන්නේ එම භෞතික සම්පත් අවශ්‍ය නොවන බව නොවේ. එම සම්පත් ලබා ගැනීමේ ක්‍රමවේදයන් පිරිසුදු විය යුතු බවත් එහිදී සිරිසුදු සිතක් ඇතිකර ගැනීමේ වැදගත්කමත්, අන්තගාමි නොවීමත් සිදුකළ යුතු බවත් ය.

සත්වයකු උපදිනවිට සිත ස්වභාවයෙන්ම ප්‍රභාශ්වර වුව ද ආගන්තුකව එන කෙලෙස් තුළින් සිත අපවිත්‍ර වේ. ලෝභය, දේවේශය, මෝහය තුළින් සිත අපවිත්‍රවනවා පමණක් නොව සංසාරික භව ගමනද අවාසනාවන්ත වනු ඇත. මෙම යථාර්ථය තේරුම් නොගැනීම තුළින් සිදුවන්නේ තව තවත් කරදර බාධක වැඩිවීමය. සරු දේ සරු විධියටත් නිසරු දේ නිසරු විධියටත් දැකීම නියම දෘෂ්ඨිය බව දහමෙන් පෙන්වා දී ඇත. නිසරු දේ සරු ලෙසත්, සරු දේ නිසරු ලෙසත් දැකීම අනුවණයාගේ ස්වභාවයි.
එදිනෙදා ජීවිතයේ මිනිසුන්ගේ අවශ්‍යතා එමටය. අද සිදුවෙමින් පවතින්නේ අවශ්‍යතා සිතාමතා නිර්මාණය කර ගන්නා ආකාරයකි. සැබෑම අවශ්‍යතාවලින් ඈතට ගිය සංකීර්ණ වුවමනා රැසක් අද මිනිසුන්ට ඉෂ්ඨ සිද්ධ කරගන්නට සිදුවී ඇත. එහිදී ඔවුන් නොකරන දෙයක් නැති තරම් ය. මනැසද විකෘති කර ගනිමින් එම අවශ්‍යතා පසුපස හඹා යන්නේ හරියට ජලය යැයි සිතා මිරිඟුව පසුපස හඹා යන මුව පෝතකයන් ආකාරයෙනි. මෙම විකෘති වැඩපිළිවෙළ තුළ අවසාන ප්‍රතිඵලය වන්නේ කනගාටුව දුක සන්තාපය පමණි.

අද බහුල වශයෙන් සිදුවන්නේ රැස් කිරීමය. එහිදී ලෝභය ඉස්මතු වේ. මිල මුදල්, ඉඩකඩම්, යාන - වාහන ආදී භෞතික වස්තුන් සෙවීමට මුල් තැනක් දී ඇති අතර, එහිදී අන්තගාමී ලෙස ජීවිතය ද පරදුවට තබා ඒ කටයුතු සිදුකරන බවක් දැක ගැනීමට හැකිය. ගුණ ධර්ම ඉවතට දමමින් හැසිරීමට සමහර දෙනෙක් පසුබට නොවෙති. මවුපිය, සහෝදර, ඥාති මිත්‍රාදි වශයෙන් වන බැඳීම් පවා විනාශ කර ගනිමින් තෘෂ්ණාවට වහලුන් වීමට මිනිසුන් හුරුවෙමින් ඇත.

තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්ප මුත්තස්ස
නත්ථි සෝකෝ කුතො භයං

තණ්හාව නිසා ශෝකයත්, භයත් හට ගනී. එය නැති කළ විට ශෝකයකුත් භයකුත් නැත.
ලෝභය නමැති අකුසල සිතුවිල්ල නිසා නොයෙක් කරදරවලට පත් වීමට සිදුවේ. බෝසතාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ සංසාර කතරේ ගමන් කරන විට මෙම ලෝභය නමැති අකුසල් සිතුවිල්ලේ විපාකය දැක ගත්හ. එම අකුසල් සිතුවිල්ල නිසා සසරෙහි මොනතරම් ඇවිද ගියේද යන්න බුදු ඇසකට තරම් පෙනෙන තවත් ඇසක් නැත. බුදුවීමෙන් අනතුරුව උන්වහන්සේ ලෝභය සහමුලින්ම නැතිකර ගැනීමට අවශ්‍ය අවවාද අනුශාසනා පැහැදිලි කර දුන්හ.

සිත අපවිත්‍ර කරන ප්‍රධාන බලවේගය වන ලෝභය නමැති අකුසල සිතුවිල්ල මැඩ පැවැත්වීමට හා නැතිකර ගැනීමට දානය නම් වූ උතුම් ප්‍රතිපදාව මූලික වශයෙන් භාවිත කළ යුතුය. එතුළින් තෘෂ්ණාව යටපත් කිරීමටත්, මුලිනුපුටා දැමීමේ මාර්ගය සකස් කර ගැනීමටත් පුළුවන. බුදුරජාණන් වහන්සේ දස පාරමිතා, දස උප පරමිතා, දස පරමත්ත පාරමිතා වශයෙන් එය ප්‍රගුණ කළහ.
එහිදී ඇස්, ඉස්, මස්, ලේ, අඹුදරුවන් පවා දන් දුන්හ. එහි ප්‍රමාණයද සුළු පටු නොවේ. අහසේ තරු පරදවා ඇස්ද, සාගරයේ ජලය පරදා රුධිරයද පොළොවේ පස් පරදවා මස්ද, මහාමේරු පර්වතය පරදවා හිස්ද දන් දුන් ආකාරය සඳහන් වේ.

බෝසතාණන් වහන්සේ කළ දානය නම් වූ වික්‍රමය ඒ ආකාරයෙන්ම අපට කළ නොහැකි වුවත් හැකි ආකාරයෙන් එය කළ යුතුය. තමන්ට තිබෙන ප්‍රමාණයෙන් දන්දීම ප්‍රමාණවත් ය. එහිදී දෙන දේ පිළිබඳ ඇල්මක් ඇති නොකර ගත යුතුය. සමහර අය අනුනට යමක් දෙන්නේ තමන් බොහෝ දේ බලාපොරොත්තුවෙන් යුතුවයි. එය හොඳ සිතුවිල්ලක් නොවේ.

එසේම අනුනට පෙනෙන්නට කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුවෙන් ආදී අරමුණු ඔස්සේ ද දන් නොදිය යුතුය. ශරීරයේ සියලු කොටස් දන්දීමට අපහසු වුවත් රුධිරය ආදිය දන් දීමට පුළුවන. දුගී මගීන්ට ලොකු මුදලක් දීමට අපහසු වුවත් රුපියල් දෙක තුනක් දීමට පුළුවන. දුන් දේ නොව දීමේදී ඇතිවන සිතුවිල්ල පිළිබඳ අවධානය යොමුකිරීම වැදගත් වේ. මහමෙරක් තරම් දන් දුන්නද සිත අපිරිසුදු නම් ප්‍රතිඵලය නිෂ්ඵලය. කුඩා හෝ දෙයක් දී සිත පිරිසුදු කරගත හැකිනම් ප්‍රතිඵලය සඵලය.

ලෝභයෙන් අන්තගාමී වීමෙන් අනන්ත අප්‍රමාණ දුක්වලට පත්වීමට සිදුවේ. සමහරුන්ට කොතරම් ධනය ලැබුණත් තෘප්තියක් නැත. බුදුන් දවස සිටි අදින්න පුබ්බක, තෝදෙය්‍ය වැනි සිටුවරුන් මොන තරම් ධනය සෙව්වද යන්න පැහැදිලි වේ. අද ද එවැනි අය නැතිව නොවේ.මියෙන තුරුම මුදල් සොයමින් සිට බැංකු පොත් පුරවා හිස් අතින්ම මිය පරලොව යති. අප එදිනෙදා ජීවිතය ගතකිරීමේදී හැකි තරම් ලද දෙයින් සතුටු වීමේ ගුණය ඇතිකරගත යුතුව ඇත. අන්තගාමි වී තෘෂ්ණාවෙන් දැවී අළු වී නොයෑමට වගබලාගත යුතුව ඇත.

නිරවුල් ජීවිතයකට බලපාන ඊළඟ බාධකය වන්නේ ද්වේෂයයි. එතුළින්ද සිත නිරන්තරයෙන් අපවිත්‍ර වේ. ද්වේෂය යනු තරහා, ඊර්ෂ්‍යා, ක්‍රෝධ ආදි සිතුවිලිය. සමහර දෙනෙක් අනුනගේ දියුණුවට ද්වේෂ කරති. එනිසා නිරන්තරයෙන් අනුන් විනාශ කිරීමට මර උඟුල් අදිති. සමහරු අපාගත වන අයුරින් ද්වේෂය වැඩිදියුණු කර ගනිති. දේවදත්ත හිමියන් බුදුරදුන්ට වෛර කර විනාශ කිරීමට කුමන්ත්‍රණ කර අන්තිමට බුදු සිරුරේ ලේ ද සොලවා අපාගත විය. සමහර අය සඟ රුවන ඝාතනය කිරීමට තරම් ද්වේෂය වැඩි දියුණු කර ගනිති. ද්වේෂය වර්ධනය කරන මොහොතක් පාසා තමන්ගේ් සිතද ගතද පිරිහෙනු ඇත. විශේෂයෙන් නිරවුල් ජීවිතයකට වෛරය, ක්‍රෝධය සුදුසු නොවන්නේ ය.
බුදුරජාණන් වහන්සේ සිත අපිරිසුදු කරන බලවේගයක් වන ද්වේෂයෙහි විපාක අවබෝධ කොට ගෙන එය නැති කරන මාර්ගයද දේශනා කළහ. අද සමාජයෙහි ඒ මග පිළිපදින්නන් විරල වීම අවාසනාවකි. අද බහුල වශයෙන් සිදුවන්නේ ද්වේෂය නිසා විනාශ වීමයි. විවෘතව විනාශ කිරීමට බැරි තැන වස විස දී හෝ වෙනත් ක්‍රමයකින් හෝ අනුන් විනාශ කිරීම සුලබය. සමහරුන් දේශපාලන වශයෙන්ද, ආර්ථික වශයෙන්ද, ආගමික වශයෙන්ද නිලතල ආදි පුහු කාරණා තුළින් අන්තයට ගොස්, ද්වේෂය පෙරටු කොටගෙන විශාල හානි සමුදායක් සිදුකරති. මෙම තත්ත්වයෙන් මිදීම සඳහා බුදුහිමි දෙසු මෛත්‍රිය ප්‍රගුණ කිරීම උතුම් වේ.

මෛත්‍රීය වැඩීමෙන් වෛර නැති කර ගැනීමට පුළුවන. බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය තුළින් මුළු විශ්වයේම සත්වයන් ඇතුළත් වන සේ මෛත්‍රීය පතුරුවන අයුරු පෙන්වා දුන්හ. තවද මෙත්තානිසංස හා මිත්තානිසංස සූත්‍ර තුළින්ද මෛත්‍රියේ ඇති වටිනාකම පැහැදිලි කළහ. ද්වේෂය නම් වූ ඒ විෂබීජය විනාශ කරන ආයුධය වන්නේ මෛත්‍රීයයි. බුදුරජාණන් වහන්සේ මෛත්‍රීය මුළුළුමහත් සත්වයාටම සමාන අයුරින් පැතිර වූහ.
දේවදත්ත, අංගුලිමාල, ආලවක වැනි දරුණු අයටද නාලාගිරි, භදාවතිකා වැනි තිරිසන් සතුන්ටද, පටාචාරා, කිසාගෝතමී වැනි අසරණ වූ කාන්තාවන්ටද, රාහුල, නන්ද, ආනන්ද වැනි කුමරුවන්ටද එකම අයුරින් බුදුරදහු මෛත්‍රීය පැතිරවූහ. අපට උන්වහන්සේගේ මෛත්‍රියට අසලකින්වත් යෑමට නුපුළුවන.
එහෙත් අපටද යම්කිසි ප්‍රමාණයකට මෛත්‍රීය ප්‍රගුණ කළ හැකිය. ඒ අනුව මෛත්‍රිය ප්‍රගුණ කොට ද්වේෂය නම් වූ ඒ භයානක අකුසල සිතුවිල්ල විනාශ කළ යුතුය. නිරවුල් ජීවිතයක් සඳහා එසේ ප්‍රගුණ කරන මෛත්‍රීය අත්වැලක් වනවාට කිසිදු සැකයක් නැත. ද්වේෂය යටපත් කිරීමෙන් සිතට දැනෙන සැහැල්ලුව වචනවලින් කියා නිම කළ නොහැකිය. ඊටත් වඩා පරම සතුටක් දැනේනේ එය සහමුලින්ම විනාශ කිරීම තුළිනි. ඒ සඳහා පියවරෙන් පියවර ද්වේෂය නැතිකොට සිත පවිත්‍ර කරගත යුතු අතර ඒ සදහා මෛත්‍රිය සවියක් කොට ජීවිතය ඒ තුළින් ශක්තිමත් කළ යුතුය.

සිත කිලිටි කරන අනෙක් කාරණය වන්නේ මෝහයයි. මෝහය යනු මෝඩකම මුළා වීමය. මෝහය නිරවුල් ජීවිතයකට මඟ අහුරනු ඇත. මෝහය ක්‍රමක්‍රමයෙන් අඩුකර ගනිමින් විනාශකළ යුතුය. මෝඩ සිතුවිලි තිබීමෙන් යහපත් දේවල් කිරීමට පුළුවන්කමක් නැත. මෝහය තිබීමෙන් තුනුරුවන්, පින් - පව්, කර්මය - කර්ම ඵලය , මෙලොව - පරලොව යනාදීන් දෙස වැරැදි දෘෂ්ඨි කෝණයකින් බැලීමට පෙළෙඹෙනු ඇත. ඒවා පිළිබඳ අවිශ්වාසයක්ද පහත් කොට සැලකීමට තරම් හීනමානයක් ද මෝහයෙන් අන්ධ වූ අයට ඇතිවේ. එවිට නිරවුල් ජීවිතයක් ගොඩනැඟීමට අපහසුය. මෝහය මහත් වූ අඳුරක් බඳුය. මෝහය නැති කළ හැක්කේ ප්‍රඥාව තුළිනි. ප්‍රඥාව තුළින් ඇත්ත ඇතිසැටියෙන් දැකීමට පුළුවන. පටිච්ච සමුප්පාදයෙහි දැක්වෙන්නේ “අවිජ්ජා පච්චයා සංඛාරා’’ ආදී වශයෙන් නොදැනීම තුළින් සියල්ල ඇතිවන ආකාරයයි.

සත්වයා සසර සැරි සරන්නේ අවිද්‍යාව නිසා බව ඉන් කියවේ. බෝසතාණන් වහන්සේ එම අවිද්‍යාව නමැති සැඩ පහරින් එතෙර වීමට ප්‍රඥාව නමැති ඔරුව භාවිත කළහ. උන්වහන්සේ එම ප්‍රඥාව දියුණු කොට ලෝකය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දැකගැනීමේ අසමසම ප්‍රඥාව උදාකර ගත්හ.

එසේනම් සිත නිරන්තයෙන් අපිරිසුදු කරන ලෝභය, දේවේෂය මෝහය යන අකුසල මූලයන් හැඳිනගෙන ඒවා යටපත් කිරීමටත්, එසේම ඒවා සහමුලින් නැතිකරන මාර්ගයහි ගමන් කිරීමටත් අප උත්සාහවත් විය යුතුය.
ඒ මාර්ගයෙහි අප නිවැරැදිව ගමන් කරන්නේ නම් අපගේ සිත නිරතුරුවම නිරවුල්ව පවතින ඇත. සිතෙහි පිරිසුදු බව, එකඟබව රැඳෙනු ඇත. එදිනෙදා ගතකරන ලෞකික ජීවිතයද සුවපහසු හා සැනසිලිදායක වනු ඇත.


බුදු සරණ පත්‍රයේ පළවූ ලිපියකි. 
කොබෙයිගනේ, පුබ්බිලිය 
ශ්‍රී‍්‍ර සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලේවෙල, පුවක්පිටිය
ශ්‍රී බෝධිරාජාරාමයේ
ගලගෙදර රතන වංස හිමි


ආත්මය නම් වූ මායාකාරී බැඳුමෙන් අත්මිදෙන්න

අනාත්ම ධර්මය බුදු දහමට පමණක්‌ සීමා වූ එයටම සුවිශේෂ වූ ධර්මතාවයකි. ලොව මෙතෙක්‌ බිහි වී වර්ධනය වී ඇති සියලු ආගම් ආත්මයක්‌ ඇතැයි දේශනා කරන අතර බුදු දහම පමණක්‌ ආත්ම වාදය බැහැර කරමින් දේශනා කරනු ලැබුයේ අනාත්ම ධර්මයකි. සබ්බේ සංඛාරා අනත්තා - හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියලු දේ ස්‌ථිර නැත. නිර්වාණාවබෝධය ලැබීමට මෙපිටින් ඇති සියල්ල අනිත්‍යය. දුකය. සබ්බේ සංඛාරා දුක්‌ඛා යන්නෙන් ඒ සියලු දේ දුකම වන බව තථාගත දේශනාවයි. දිව්‍ය බ්‍රහ්මාදී සුවයන් සැප යයි පෘථග්ජන අප හඳුන්වන මුත් එය ද දුකම බව දේශනා කළේ නිවන හැර ආත්මවාදය සලකන අන් සියල්ලෙහි යථා තත්ත්වය එයම වන හෙයිනි.

සබ්බේ ධම්මා අනත්තා - සියලු ධර්මතාවන් අනාත්ම වේ යන්නට සංඛත අසංඛත සියල්ල ඇතුළත් වේ. සංඛත යනු පංචුපාදානස්‌කන්ධය හෙවත් මමය මාගේය යන ආත්මීය හැඟීම් හා සිතිවිලිය. මේවා වෙනත් දේ ප්‍රත්‍ය කොට පවතී. අසංඛත යනු රහත් භාවය හෙවත් රාග, දේෂ, මෝහ නැති කිරීමයි. එබැවින් සබ්බේ ධම්මා අනත්තා යන්නට නිර්වාණය ඇතුළත් නොවේ. නිබ්බාන ධාතුව සඋපාදිසෙස හෝ අනුපාදිසෙස හෝ වේවා ආත්මය හෝ අනාත්මය සමඟ කිසිදු සම්බන්ධතාවක්‌ නැත. නිවනෙහි ආත්මීය භාවය නමින් වූ කිසිම මුළාවෙක්‌ නැත. නිවන වූ කලී ආත්මය හා අනාත්මය යන දෙකම ඉක්‌ම වූවකි.

ආත්ම යන සංකල්පයත් සමඟ නිත්‍ය බව හා සැපය යන හැඟීමද ඇතිවේ. එබැවින් ඡන්දය හෙවත් ආශාවද පවතිනු ඇත. ආත්මීය හැඟීමට මූලික වශයෙන් හේතු වන්නේ රූප වේදනා සංඥ සංස්‌කාර හා විඤ්ඤාණ යන පංච උපාදානස්‌කන්ධය පිළිබඳ වූ ස්‌වාමිත්වය පිළිබඳව වූ හැඟීමය. මේ හැඟීමට තුඩු දෙන්නේ එය සතුටට හේතු වේ නම් පමණි. එය සතුටට හේතු වන්නේ එකී ස්‌වාමිත්වය නිත්‍ය වේය යන අදහස ඇතොත් පමණි. මෙම ස්‌කන්ධ පස මට අවශ්‍ය පරිදි මගේ තෘෂ්ණාව අනුව සකසා ගැනීමට හැකි බලයක්‌ මා සතුව පවතී යන හැඟීම ඇති විට ඒවායේ අයිතිය අධිපතිත්වය සතුකොට තබා ගැනීමේ ආශාව වර්ධනය වේ.

වෙනත් ආගම්වල ආත්ම වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ මම යන හැඟීමය. මිනිස්‌ සත්ව, දේව බ්‍රහ්ම සියල්ලක්‌ තුළම මම යන සංකල්පය තහවුරු වී ඇත්තේය. එසේ නම් තථාගතයන් වහන්සේ දේශනා කර වදාළ පරමාර්ථ සත්‍යය වූ අනාත්ම යන්න වටහා ගැනීම කොපමණ අගනා අවබෝධයක්‌ වේද? හින්දු ආගමේ ආත්ම දෙකක්‌ පිළිබඳ අදහස ඇත්තේය.

1. ජීවාත්මය - අප සියලු දෙනා සමඟම සිටී

2. පරමාත්මන් - බ්‍රහ්ම ලෝකයේ මැවුම්කරු මහ බ්‍රහ්ම හින්දු ආගමේ උතුම් තම අදහස වන්නේ බ්‍රහ්ම සහව්‍යතාව හෙවත් බ්‍රහ්මයා සමඟ එක්‌ වීමය. එම ආගමේ එකම පරමාර්ථයද විමුක්‌තිය ද එයයි.

සක්‌කාය දිට්‌ඨි යයි කියන්නේ පංච උපාදානස්‌කන්ධය ආත්මය සේ දැකීමටය. සක්‌කාය දිට්‌ඨිය සංඛත ධර්මයකි. එය අන්තවාදුපාදානය හෙවත් ආත්මය පිළිබඳ විශ්වාසය ප්‍රත්‍යය වශයෙන් ගෙන හටගත් දෙයකි. මෙහි අත්තවාපාදානය සක්‌කාය දිට්‌ඨියට සංස්‌කාරය වන්නේය. ආත්මය පිළිබඳ විශ්වාසයක එල්බ සිටින තැනැත්තා තමාගේ ආත්මය කිමෙක්‌දැයි සොයන විට ඔහු දකින්නේ රූප වේදනා ආදි පංච උපාදානස්‌කන්ධයයි. ආත්මය මේ උපාදානස්‌කන්ධ පහෙන් එකකට හෝ කීපයකට හෝ සියල්ලම විය යුතු යෑයි සිතයි. මේ අනුව හට ගන්නා වැරදි දෘෂ්ටිය මත ඔහු සක්‌කාය දිට්‌ඨිගත වේ.

"මහණෙනි ආර්යයන් නොහඳුනන, ආර්ය ධර්මයෙහි නොනිපුණ, ආර්ය ධර්මයෙහි නොහික්‌මුණු, සත් පුරුෂයන් නොහඳුනන, සත්පුරුෂ ධර්මයෙහි නොහික්‌මුණු ඇශ්‍රැතවත් පෘථග්ජනයා රූපය ආත්මය ලෙස සලකයි. එය සංස්‌කාරයකි. ඒ සංස්‌කාරය කවරක්‌ නිධාන කොට කවරක්‌ උත්පත්ති කොට, කවරක්‌ ජාතිකොට කවරක්‌ ප්‍රභව කොට ඇත්තේද? අවිධ්‍යා සහගතව ඇතිවූ ඵස්‌සයෙන් හටගත් වේදනාවෙන් පෝෂණය වූ අශ්‍රැතවත් පෘථග්ජනයා තුළ තණ්‌හාව උපදී. එයින් ඒ සංස්‌කාරය පහළ වේ. මෙසේ මහණෙනි ඒ සංස්‌කාරය අනිත්‍යය. සංඛතය, ප්‍රත්‍යයන් කරණ කොට ගෙන හට ගත්තකි. ඒ තණ්‌හාව අනිත්‍යය. සංඛතය ප්‍රත්‍යයන් කරණ කොට හට ගත්තකි. ඒ වේදනා ඒ ඵස්‌ස අනිත්‍යය. සංඛතය, ප්‍රත්‍යයන් කරණ කොට ගෙන හට ගත්තකි. ඒ අවිද්‍යාව එපරිදිම වේ. මෙසේ මහණෙනි දනිමින් දකිමින් දැන්ම ආශ්‍රවයන්ගේ නැසීම වේ."

රූපය ආත්මය වශයෙන් සැලකීම ආශ්‍රවයනට අත්‍යවශ්‍ය ප්‍රත්‍යය (සංස්‌කාරය) වේ. ආශ්‍රවයනට ප්‍රත්‍යය වූ මේ සංස්‌කාරය වෙනත් ප්‍රත්‍යයන් කරණ කොට හට ගන්නා හෙයින් එය අනිත්‍යය.

පුද්ගලයා ආත්මය වශයෙන් හඳුනන යම් දෙයක්‌ වේද, එය වෙනත් දේ මත රඳා ඇති බව තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ සේක. එසේම තවදුරටත් ආත්මය සංස්‌කාරයන්ගෙන් ප්‍රත්‍යවූ සංඛත ධර්මයෙකැයි පෙන්වන සේක. මෙයින් අවබෝධ වන්නේ ආත්මය ලෙස හඳුනාගත් ධර්මය ආත්මයක්‌ නොවන බවය. මේ නිසා සබ්බේ ධම්මා අනත්තා වේ. සබ්බේ සංඛාරා දුක්‌ඛද වේ. අනිත්‍ය සඤ්ඤාව ඇති තැන සංඛාරා අනිච්චාද, සබ්බේ අනාත්ම හා දුකද ඇත.

වච්ඡගොත්ත ආත්මයක්‌ ඇත්ද නැද්දැයි බුදුන්ගෙන් ඇසූ ප්‍රශ්නයට ආත්මයක්‌ ඇත හෝ නැතැයි පිළිතුරු දීම ප්‍රඥාගෝචර නොවන බව සිතුයේ ආත්ම වශයෙන් ගත හැකි දෙයක්‌ නැති මුත් ආත්මය යන මුළාවක්‌ ඇති හෙයිනි.

බුදුන් සහ රහතුන් හැර අන් සියලු ජීවීන් කෙරෙහි ආත්මය මමය මාගේය යන්න ඇත. පෘථග්ජනයාට ඔහුගේ පැවැත්ම ආත්මයක පැවැත්මකි. මම යන්නෙහි හෙවත් මාගේ පැවැත්මකි. එය භව (පැවැත්ම) පිළිබඳ වූවකි. මෙසේ පැවසීම පහසුය. දැකීම දුෂ්කරය. දැකීමට ඉතාම දුෂ්කර යම් දෙයක්‌ වේ නම් ඒ වනාහි තථාගත ධර්මයයි.

ජරා යන්න වනාහි පෘථග්ජනයා විසින් මාගේ කයයි සලකනු ලබන ශරීරයෙහි ඇතිවන යම් වෙනස්‌කම් පිළිබඳ ඔහුගේ සිතේ ඇති කරගත් සංකල්පයකි. එයට හේතුව කුමක්‌ද? එම තැනැත්තාට තමාගේ සිරුර වූකලී තමාගේ තණ්‌හාව තෘප්තිමත් කර ගැනීම සඳහා වූ ආධාරකයයි. එනම් තම ජීවිත පැවැත්ම හා තමාගේ ඉන්ද්‍රිය සැප පිළිබඳවූ අවශ්‍යතා ඉටුකර ගැනීමේ මාධ්‍යයයි.

ඉපදුනා යයි කිව හැක්‌කේ මම යයි කියා ගන්නා පුද්ගලයෙකි. මරණින් පසු කිමෙක්‌ද? යන ප්‍රශ්නය රහතන් වහන්සේ හැර අන් සියල්ලන් කෙරෙහිම ගැලපෙන ප්‍රශ්නයකි. රහතන් වහන්සේ මරණ නිරෝධයට පත් වූ උත්තමයෙකි. රහතන් වහන්සේ සම්බන්ධයෙන් පුද්ගල භාවයක්‌ හෝ ආත්මීය ආත්මීය භාවයක්‌ නැත.

ආත්මීය භාවයනැසූ පසුද රහතන් වහන්සේගේ ජීවිතය යම් කලක්‌ පවතී. ඒ උපාදාන රහිත පන්චස්‌කන්ධය පමණි. රහතන් වහන්සේගේ ජීවිතය කය අවසන් වේ. එය මරණය නොවන්නේය. ජීවිත කාය බිඳී යැමකි. මරණයෙන් දිවි අවසන් කරන පුද්ගලයාට ජාති (ඉපදීම) ඇත්තේය. ඒ පෘථග්ජන පුද්ගලයන්ය. තථාගතයන් වහන්සේ මරණින් මතුවේද නොවේද යන( වච්ඡගොත්ත ඇසූ ප්‍රශ්න වලට කිසිදු පිළිතුරක්‌ නොදුන් සේක. බුදුන් වහන්සේ එසේ දේශනා කළේ මේ ප්‍රශ්න අදාළ නොවන බවද නොගැලපෙන බවද, පැන නොනගින බවද සළකාගෙනය. වච්ඡගොත්ත එම පිළිතුර වටහා නොගත්තේය. ඔහු පෘථග්ජනයෙකි. මරණින් මතු කුමක්‌ද යන ප්‍රශ්නය රහතන් වහන්සේ හැර අන් සියල්ලන්ටම අදාළ වේ. පෘථග්ජන පුද්ගලයා රහතන් වහන්සේ දෙසද බලන්නේ තමා දෙස බලන පරිද්දෙනි. එනම් මම හෝ ආත්මයක්‌ ඇතැයි සලකන පුද්ගලයකු පරිද්දෙනි. රහතන් වහන්සේ උපාදානයන් නැසූ වගක්‌ ඔහු නොදනී. මෙයින්ද පෙනීයන්නේ අශ්‍රැතවත් පෘථග්ජනයාට බුදු දහම අවබෝධ කිරීම වඩාත් දුෂ්කර වන බවය. ප්‍රඥාවන්තයන්ම අවබෝධ කර ගත යුතු දහමක්‌ යයි බුදුන් වහන්සේ දේශනා කළේ ඒ නිසාය.

ජාති ජරා මරණ යනුවෙන් යෙදිය හැකි ආත්මීය හැඟීම් ඇත්තේ උපාදාන ස්‌කන්ධ සහිත පෘථග්ජනයන්ට පමණි. උපාදාන (අල්වා ගැනීම) නසා දැමූ පසු ඉතිරි වන්නේ උපාදාන නිරුද්ධ (විරහිත) පංචස්‌කන්ධය පමණි. එබඳු විට ජාති ජරා මරණ යන්න අදාළ නොවේ.

පෘථග්ජන පුද්ගලයා සිය ජීවිත පැවැත්ම කෙරේ එනම් මම පුද්ගලයෙක්‌මි මාගේ ජීවිතයයි කියා ගැනීමට හා මගේ ආත්මය යයි කියා ගැනීමට බෙහෙවින් ප්‍රිය මනාප වේ. සියල්ල තමාගේ කොට ගැනීමෙන් සන්නද්ධ වන ඔහු ආත්මීය හැඟීම කෙරෙහි නැඹුරු වන්නේ ඇත්ත වශයෙන්ම දුක කෙරෙහි සතුටු වීමක්‌ බව නොදන්නා හෙයිනි. යම් ලෙසකින් එසේ වුවහොත් මගේ කම දුරුකිරීමට මග සලසන, මම හැඟීමෙන් මිදීමට එනම් දුකින් නිදහස්‌ වීමටද මෙලොව හා ඇති සියලු සබඳතා වලින් නිදහස්‌ වීමේ ඒකායන ප්‍රතිපදාව පෙන්වා දෙන බුදු දහම කෙරෙහිද පෘථග්ජන පුද්ගලයා අකමැත්තක්‌ දැක්‌වීමට පුළුවන. එමගින් ඔහු තව තවත් අඳුරටම ගමන් කිරීමට තමාගේම මිථ්‍ය දෘෂ්ථිය හේතු වන බව නොදනී. එමගින් ඔහු තව තවත් දුක වෙතම ඇදී දුකම විඳීමට හේතු වන බවද නොදනී. අනාත්මය පිළිබඳ හැඟීම පහළ වන්නේ අනිත්‍යතාව දැනගත් විටය. අනිත්‍යතාව හරි හැටි දැනෙන්ට නම් දුක පිළිබඳ අවබෝධය (දුක්‌ඛ සඤ්ඤාව) පහළ විය යුතුය.

තමා මෙතෙක්‌ කල් ආත්මයයි වරදවා තේරුම් ගෙන සිටියේ මිරිඟුවකට යයි වරදවා ගැනීම තුළ ඔහු මෙතෙක්‌ කල් රැඳී සිටි අඳුරෙන් ආලෝකය වෙත ගමන් කරමින් මුළාව, මෝහය හැරදමා මායාවෙන් මිදී තම මිතුරාගේ (ආත්මය) සැබෑ අරුත දැන ඔහු අතහැර දැමීමට යොමුවනු ඇත. සක්‌කාය දිට්‌ඨිය හෙවත් තමා තැනැත්තෙකි යන වැරදි මතය හැර දමන්නේ එබඳු අවබෝධයක්‌ මතය. ඒ වූ කලී තමා මෙතක්‌ රැඳී සිටි පෘථග්ජන භූමියෙන් මිදී ආර්ය භූමියට (සෝවාන් ඵලයට) පා තබන ප්‍රථම පියවර වන්නේය. මෙතෙක්‌ කල් විඳිමින් සිටි දුක්‌ සම්භාරයකින් නිදහස ලැබීමට තමා විසින්ම මග හෙළි කර ගත්තා වන්නේය. එහෙත් මම සහ මගේ යන සිතිවිලි (අස්‌මීමානය) ඔහු තුළ තවමත් රැඳී පවතින මුත් ඒ මුළාව නිසා ඉතිරිව පවතින දුක්‌ ප්‍රමාණය ඉතා අල්පය.

මොලොවට අයත් දේවල් අල්වා ගැනීමෙන් (උපාදාන කොට ගැනීමෙන්) තැවුලද අල්වා නොගැනීමෙන් නොතැවුලද වේ. රූප වේදනා සඤ්ඤා සංස්‌කාර විඤ්ඤාණ යන උපාදානස්‌කන්ධ පස නොවේය මෙය මාගේ යයිද එසේම මේ ආත්මය නොවේය මෙය මාගේ වශයෙන් සලකන්නට හැකිවූ දියුණුවට පත්වූ අවස්‌ථාවක මාගේ විඤ්ඤාණය යි කියා දෙයක්‌ ඉතිරි නොවේ. විඤ්ඤාණය ශුන්‍ය වූ විට පුනර්භවය ද නවතිනු ඇත්තේ රහත්භාවයට පත්වීම හේතුවෙනි.

බුදු දහම නොඇසු ඒ පිළිබඳ ඒ පිළිබඳ ශ්‍රද්ධාව නැති ධර්මය නොඇසූ පෘථග්ජනයන් හා බුදු දහම පිළිබඳ අසා ඇති ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයන් කෙරෙහි ඇත්තේ එකම ස්‌වාභාවික තත්ත්වයකි. එනම් වෙනස්‌ වීම හා අන් දෙයක්‌ බවට පත්වීමයි. පෘථග්ජනයන්ට එම වෙනස්‌ වීම මම නමැති පුද්ගලයාගේ වෙනස්‌ වීමකි. එහෙත් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට තමාගේ නොවන වෙනස්‌ වීමකි. මම හැඟීම යම් තරමකට අඩුවූවකි. ඒ හැඟීමට තදින් බැඳී නැත.

පෘථග්ජනයා කොටස්‌ දෙකකි

1. අස්‌සුතවා - අසා නැති, අශ්‍රැතවත් පෘථග්ජනයා තථාගත ධර්මය අසා නැත. ඒබැවින් එම දහමට පටහැනි වූ දෘෂ්ටි වල එල්බගෙන ඇත.

2. අනුලෝමිතාය ඛන්තියා සමන්තාගත - අනුකූලතා සහගත ඉවසීම ඇති - මොවුන් ධර්මය අසා ඇත. අනුකූලතාවකින්ද යුක්‌තය. ඔහු ධර්මය උගත් කෙනෙක්‌ පමණක්‌ නොව වඩාත් දියුණු කෙනෙකි. සම්මා දිට්‌ඨි සම්පන්න වීමට සැබෑ වූ උත්සාහයක්‌ දරණ කෙනෙකි.

ආත්මීය හැඟීම හෝ මම සහ මාගේ යන හැඟීම් මුලිනුපුටා දැමීම නිසා රහතන් වහන්සේ දුකින් මුලුමනින්ම නිදහස්‌ය. අවිද්‍යාව දුරුකොට ඇලීම් මුලුමනින් පහකොට ඇත්තේය. පිරිනිවීමෙන් අනතුරුව නැවත ඉපදීමක්‌ නැත. රහතන් වහන්සේ පීඩාදායක වේදනාවක්‌ අත්විඳින විට ඒ කෙරෙහි ප්‍රතිරෝධයක්‌ (විරුද්ධ වීමක්‌ හට නොගනී. උපේක්‍ෂාවෙන් දුක සැප දෙකම විඳගනී. දුක්‌ වේදනා ඇත ද ඒ දුක නොවේ. භවයන් (පැවැත්ම) ඉක්‌ම වූ සේක. භවස්‌ස පාරගු යයි හැඳින්වෙන්නේ එහෙයිනි. මම සහ මාගේ යයි හැඟීමක්‌ නැති තැන එම හැඟීම් වලින් සම්පූර්ණයෙන් නිදහස්‌. ඒ වූ කලී ලොව උතුම්ම සැනසිල්ලකි. එකම සැනසිල්ල වේ. අරහත් භාවයක්‌ සමඟ භවය නිරෝධයට පැමිණියේය.

පී.ඩී. ආරියරත්න

දිවයින පුවත්පතේ පළවූ ලිපියකි 

Sunday, September 16, 2012

යෝ ධම්මං ඵස්සති - සෝ මං ඵස්සති

යෝ ධම්මං ඵස්සති - සෝ මං ඵස්සති  
යමෙක් නුවනින් ධර්මය දකීද, ( එනම් ධර්මය අවබෝධ කරයිද,)  හෙතෙම මා දුටුවේ වෙයි.

යෝ මං ඵස්සති -  සෝ ධම්මං ඵස්සති
යමෙක් නියමාකාරයෙන් මා දැක්කේ වේද - එසේනම් හෙතෙම ධර්මය ද දුටුවේ වෙයි.

බුදුන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කල ශ්‍රී සද්ධර්මය උන්වහන්සේගේ ගුරු තනතුරේ පවා තබාගනිමින් ලොවට දුන් ආදර්ශය වන්නේ ධර්මය නුවනින් අවබෝධ කරගැනීමේ ඇති වැදගත්කමයි. ඉහත දක්වා ඇති දේශනා පාඨය වක්කලී ස්වාමින් වහන්සේ අරබයා ලෝක සත්වයාගේ දැනගැනීම පිණිස බුදුන්වහන්සේ විසින් දේශනා කළා. මේ පාඨය අඩංගු වෙන්නේ සංයුක්ත නිකාය නම් වූ සුත්‍ර පිටක ග්‍රන්ථ රත්නයේ , ඛන්ධ සංයුක්තයේ , ථේර වග්ගයේ , වක්කලී සුත්‍රයේ යි. එහිදී බුදුන් වහන්සේ විසින් ඉතා පැහැදිලිව දේශනා කළා මේ කුණු ශරීරය පමණක් දැකුමෙන් කාටවත් පලක් නැති බව. බුදුන් වහන්සේව දකින්න අවශ්‍යනම් අප කලයුත්තේ උන්වහන්සේ විසින් දේශනා කල චතුරාර්ය සත්‍ය ධර්මය නුවනින් දැකීමයි. අවබෝධ කිරීමයි. බුදුන් වහන්සේ ව නියමාකාරයෙන් දකින කෙනා දකින්නේ ධර්මයයි. බුදුන් වහන්සේව නියමාකාරයෙන් දකිනවා කියන්නේ උන් වහන්සේව ගුණ වශයෙන් හඳුනාගෙන එක එක ගුණය පිළිබඳව අවබෝධයෙන් පැහැදීමට පත් වීමයි.

ඒ කියන්නේ ; අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජා චරණ සම්පන්න, සුගත, ලෝකවිදූ, පුරිස ධම්ම සාරථි, සත්තා දේව මනුස්සානං, බුද්ධෝ, භගවා යන මේ නව අරහාදී බුදුගුණ ඒවායේ අර්ථ සමඟ නුවනින් වටහා ගැනීමයි.

අප සමාජයේ බොහෝ පිරිසක් "ඉති පි සෝ භගවා" ගාථාව ඔහේ කියාගෙන යනවා. එකෙන් මොනවද කියන්නේ කියල අවබෝධයෙන් දැනගෙන කියන පිරිස හරි ම අඩුයි. බුදුන් වහන්සේගේ ගුණ විස්තර වශයෙන් හදාරන විට අපට හදාරන්න තියෙන්නේ ශ්‍රී සද්ධර්මය මයි. එක නිසයි උන්වහන්සේ දේශනා කලේ "යමෙක් මා දකීනම් හෙතෙම ධර්මය දුටුවේ වෙයි" කියල. එහෙම නැතුව බුදු පිළිමයක් දෙස  හෝ ජීවමාන බුදු හිමියන් දෙස හෝ කොපමණ වෙලා බලා සිටියත් ධර්මය අවබෝධ වෙන්නේ නෑ. වක්කලී ස්වාමින් වහන්සේට උන්වහන්සේ දුන් අවවාදය එයයි. ඒ හරහා ලොවටම කියාදුන් පාඩම වන්නේ "ධර්මය දකින්න උත්සාහවත් වෙන්න" කියන එකයි.

බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ පවා උන් වහන්සේ තම ශ්‍රාවකයින්ට උපදෙස් දුන්නේ තමන් වහන්සේව දැකිය යුතු වන්නේ උන් වහන්සේ විසින් ලොවට දේශනා කල ශ්‍රී සද්ධර්මය තුලින්ම  පමණක් බවයි. ධර්මාවබෝධය තුලින් තමන් වහන්සේව දකින ශ්‍රාවකයා තමන් වහන්සේගෙන් කොපමණ දුරකින් සිටියත් ඔහු තමන් වහන්සේ අසලින්ම සිටින්නකු බව උන්වහන්සේ දේශනා කළා. කෙනෙකු කොතරම් තමන් වහන්සේ අසලින්ම සිටියත්, නිරතුරුවම තමන් වහන්සේගේ සෙවනැල්ල මෙන් පසුපසින් පැමිණියා උනත්, ඔහු ධර්මාවබෝධය කරන්න උත්සාහ ගන්නේ නැත්තම් ඒසඳහා සිහිය, නුවන, වීර්ය යොදවා කැපවන්නේ නැත්තම් ඔහු තමන්වහන්සේ ගෙන් බොහෝ දුරස් බව බුදුන් වහන්සේ දේශනා කලා.

අද කාලයේ බොහෝ පිරිසක් දළදා මාලිගාව, දන්ත ධාතුන් වහන්සේ, රුවන් වැලි සෑය ආදී ස්ථූප, ශ්‍රී මහා බෝධීන් වහන්සේ, වෙනත් විවිධ ස්ථාන වල වැඩ හිඳින බෝධීන් වහන්සේලා, පිළිම වහන්සේලා, සර්වඥ ධාතුන් වහන්සේලා ආදී මෙකි නොකී සියලු පුජනිය, වන්දනීය ශාරීරික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍ය , උද්දේසික චෛත්‍යයෝ වන්දනාමාන කරන්නේ සැබවින්ම ශ්‍රද්ධාව පෙරටුකොටගෙන ද යනවග මහත් ප්‍රශ්නයකි. එය එසේ වන්නේ බොහෝ පිරිසක් බුදුන් වහන්සේව දකින්නට වෙර දරන්නේ ඉහත කි ස්ථාන වලට ගොස් ඉහලට අත් ඔසවා කරන හුදු වන්දනා මානවලින් පමණක් වීම නිසයි. ශාරීරික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍ය , උද්දේසික චෛත්‍යයෝ වන්දනා කිරීම උතුම් පුණ්‍ය ක්‍රියාවක් වන්නේ එය අවබෝධයෙන් කලොත් පමණයි. අනවබෝධයෙන් ඒවා දෙස බලා ගිරවෙක් මෙන් කටපාඩමෙන් ගාථා කියාගෙන ගියාට තමන්ගේ සසර දුකින් මිදීමට එය රුකුලක් වන්නේ නෑ. තවත් පිරිසක් බුදුන් වහන්සේව දකින්න උත්සාහ ගන්නේ දඹදිව වන්දනා චාරිකාවක් තුලින්. උන් වහන්සේ උපන් ස්ථානය, බුද්ධත්වයට පත්වූ ස්ථානය, ප්‍රථම ධර්ම දේශනාව කල ස්ථානය, පිරිනිවන් පෑ ස්ථානය ආදී තවත් මෙකි නොකී ස්ථාන නැරඹීම තුළිනුයි. ඔවුන් සිතනවා එවිට බුදුන් දැක්කා හා සමානයි කියල. නමුත් ඒ අයගෙන් බහුතරයක් දන්නේ නෑ බුදුන් දැකිය යුත්තේ ධර්මය තුලින් බව.

ධර්මය ගැන අවබෝධයෙන්, බුදුන් වහන්සේ ගේ ගුණ පිළිබඳව පැහැදීමෙන් ඇති වූ ශ්‍රද්ධාවෙන් යුක්තව ඉතාම ගෞරව භක්තියෙන් යුක්තව ශාරීරික චෛත්‍ය යෝ , පාරිභෝගික චෛත්‍ය යෝ, උද්දේසික චෛත්‍ය යෝ වන්දනා මාන කරන ශ්‍රාවක පිරිසකුත් සිටිනවා. එය ඉතා ඉහලින් අගය කලයුත්තක්. ඒ පිරිස ඉතාමත් ස්වල්පයයි. බහුතරයක් පිරිස ඔහේ කරන්නන් වාලේ අන්ධ භක්තියෙන් යුක්තවයි කටයුතු කරන්නේ.

බහුතරයක් වූ අන්ධ බාල පෘතග්ජනයින්ගේ ගොඩට නොවැටී , ධර්මය අසන, ධර්මය දරන, ධර්මයෙහි හැසිරෙන සෘතවත් ආර්ය ශ්‍රවකත්වයේ පිහිටා කටයුතු කිරීමට;

මේ ධර්ම දානය හේතු වේවා. !!!  

හේතු වේවා. !!

හේතු වේවා. !

සුරේෂ් රොඩ්රිගෝ

Saturday, September 1, 2012

සතර අපායෙන්, දුගතියෙන් නියත වශයෙන් මිදීමට කලයුතු දේ.

නමෝ බුද්ධාය!

ප්‍රථම ධ්‍යාන , ද්විතිය ධ්‍යාන , තෘතිය ධ්‍යාන ,චතුර්ථ ධ්‍යාන ආදී ධ්‍යාන ලබාගත්තත්, පංච අභිඥා, අෂ්ට සමාපත්ති ආදිය ලබාගත්තත් සතර අපායෙන්, දුගතියෙන් මිදීමට ප්‍රමාණවත් නෑ. නමුත් ඔය කියපු කිසි දෙයක් නැතුව වුනත් සෝවාන් ආදී මාර්ග ඵලයක් ලැබුවොත් අන්න එයා නියත වශයෙන්ම සතර අපායෙන් දුගතියෙන් මිදුණු කෙනෙක් වෙනවා. සෝවාන් ආදී මාර්ග ඵල ලබාගැනීමට ධ්‍යාන , අභිඥා, සමාපත්ති ආදී දේ අතවශ්‍ය නෑ. කොච්චර කුසල් / පින් කලත් , කොච්චර අකුසල් යටපත් ක‍රගෙන හිටියත් නැවත නැවත සතර අපායට, දුගතියට වැටෙන්න පුළුවන්. ඉතින් පින් කර කර ඉන්න අතරම වැඩි වශයෙන් උනන්දු වී, වීර්ය කිරීමෙන් දැනගත යුතු විශේෂ දේ හැටියට මා දකින්නේ සෝවාන් මාර්ග ඥානය ඇතිකර ගැනීමයි. එවිට සෝවාන් ඵලයට පත්වීමට එය රුකුලක් වෙනවා.

සෝවාන් මාර්ග ඥානයෙන් කටයුතු කරන කෙනා වර්තමානයේදී සෝවාන් ඵලයට පත්වෙන්න බැරි උනොත් ඒ කුසලයේ බලයෙන් මරණින් මතු සුගතියේ ඉපදිලා මාර්ගඵල ලාභීන් ඇසුරු කරමින් තව තවත් තම මාර්ග ඥානය දියුණු කරගෙන සෝවාන් ඵලයට පත්වෙන්න අවස්ථාව තියෙනවා. එහෙම කරලා අඩු තරමින් සෝවාන් ඵලයටවත් පත් උනොත් එයාට සසරින් මිදෙන තුරුම සතර අපායට, දුගතියට නොවැටී සිටින්න පුළුවන් වෙනවා. ස්ථිර වශයෙන් ආරක්ෂාවක් තිබෙන්නේ සෝවාන් ආදී මාර්ග ඵලවලට පත් උනොත් පමණමයි. එහෙම නැතුව පින් කල පමණින් සක්විති රජකෙනෙක් වෙලා හිටියත් ( සෝවාන් වෙලා නැත්තම් ) නැවතත් සතර අපායට , දුගතියට වැටෙන්න පුළුවන්.

සෝවාන් මාර්ග ඥානය ඇතිකර ගෙන සෝවාන් ඵලයට පත්වෙන්න නම් සක්කාය දිට්ඨිය, විචිකිච්චාව, සෙලබ්බත පරාමාස යන මේ තුන් සංයෝජනයන් ප්‍රහාණය කිරීමේ නුවන (දහම් ඇස) උපදවා ගතයුතු වෙනවා. මෙසේ දහම් ඇස පහලවී තුන් සංයෝජනයන් ප්‍රහින වූ ආර්ය ශ්‍රාවකයා සතර අපායෙහි නොවැටෙන ස්වභාවයට පත්වූ ( අවිනිපාත ධම්ම ) පුද්ගලයෙකු වශයෙන් බුදුන් වහන්සේ හඳුන්වා දී තිබෙනවා.  එවැනි පුද්ගලයෙකු සතු සුවිශේෂී දහම් හතරක් පිළිබඳව බුදු හිමියන් දේශනා කල සුත්‍ර ධර්ම තුල නැවත නැවතත් සඳහන් වෙනවා.

සෝවාන් පුද්ගලයකු තුල මුල්බැසගත් ඒ ගුණාංග හතර නම්;

  1. බුදු ගුණ වැටහීම තුලින් හටගත් බුද්ධ ප්‍රසාදයෙන් යුක්ත වීම. ( බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නගහෝ හොති. )
  2. දහම් ගුණ  වැටහීම තුලින් හටගත් ධර්ම ප්‍රසාදයෙන් යුක්ත වීම. ( ධම්මේ අවෙච්චප්පසාදෙන සමන්නගහෝ හොති. )
  3. ආර්ය සංඝරත්නයේ ගුණ  වැටහීම තුලින් හටගත් සංඝ ප්‍රසාදයෙන් යුක්ත වීම.   ( සංඝෙ අවෙච්චප්පසාදෙන සමන්නගහෝ හොති. )
  4. ආර්ය උතුමන්ට ප්‍රියවූ සිල්වත් පැවැත්මකින් ( ආර්යකාන්ත සීලයෙන් ) යුක්ත වීම.   ( අරියකන්ත සිලෙහි සමන්නගහෝ හොති. )

ඉහත සඳහන් සතර දහමින් යුත් ආර්ය ශ්‍රාවකයා සතර අපායෙන්, දුගතියෙන් මිදුනකු බව බුදුන් වහන්සේ දේශනා කළා.

( සංයුක්ත නිකාය > සොතාපත්ති සංයුක්තය > සගාථක සුත්‍රය)

මොකද්ද මේ අවෙච්චප්පසාදය?

අවෙච්චප්පසාදය කියන්නේ "වැටහීම තුලින් ඇතිවන ප්‍රසාදයයි". තව විදියකට කියනවනම් "අවබෝධයෙන් යුක්තව ඇතිවන පැහැදීමයි". ඒ කියන්නේ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ යැයිද, තථාගත ධර්මය ස්වාක්ඛාත යැයිද, තථාගත ශ්‍රාවකයන් සුපටිපන්න යැයිද , මෙසේ තෙරුවන් පිලිබඳ උතුම් ගුණයන් තමාටම වැටහී යාම නිසා ඇතිවන පැහැදීමයි. මේකටම තමයි "අකාරවති ශ්‍රද්ධාව" කියන්නේ. එහි තේරුම නම් "කරුණු සලකා බැලීමෙන් ඇතිකරගන්නා පිළිගනිම" යන්න යි . ඒක නිසා එය අන්ධ විශ්වාසයක් හෝ මුලක් නැති අවිචාරී පිළිගැනීමක් ( අමුලිකා ශ්‍රද්ධා) නොවේ. එය තථාගත ධර්මය පිළිබඳව තමා තුල ඇතිවූ නිවැරදි දැකීමක් ( දර්ශනයක් ) මුල්කරගෙන හටගන්නා ( දස්සන මුලිකා ) ශ්‍රද්ධාවකි.


මෙවැනි පැහැදීමක් අතිවියහැක්කේ බුදු බන අසා ඒ පිළිබඳව ආර්ය සම්මා දිට්ඨිට ඇතිවූ පුද්ගලයකු ( ආර්ය ශ්‍රාවකයකු) තුල පමණයි. මජ්ජිම නිකායේ විමංසක සුත්‍රයේ තෙරුවන් පිලිබඳ මේ කියන නියමාකාර පැහැදීම ඇතිකරගන්නේ කොහොමද කියල බුදුන් වහන්සේ අපිට දේශනා කළා.
" මහණෙනි, ශාස්තෘන් වහන්සේ භික්ෂුන්ට ( භික්ෂුණි , උපාසක  , උපාසිකා ) යම් යම් වූ පරිද්දෙන් උසස් උසස් කොට දක්වමින්, ප්‍රනීත ප්‍රනීත කොට දක්වමින්, කුසල් අකුසල් බෙදා වෙනකොට දක්වමින්, දහම් දෙසන කල්හි, ඒ ඒ පරිද්දෙන් ධර්මය දැනගන්නාවූ ඒ ශ්‍රාවකයෝ එහි යම්කිසි ධර්ම කොටසක් අවබෝධ කරගැනීමෙන් දහමෙහි නිෂ්ඨාවට ( ස්ථිර නිගමනයකට) පැමිණෙති. (ඒ තුලින් ) ශාස්තෘන් වහන්සේ කෙරෙහි පැහැදෙති. භාග්‍යවතුන්  වහන්සේ "සම්මා සම්බුදු වරයකු " ( සම්මා සම්බුද්ධෝ භගවා ) යැයිද, උන් වහන්සේගේ ධර්මය "මනාකොට දේශනා කරන ලද්දක්" ( ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ ) යැයිද, උන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා "නිවැරදි පිළිවෙත් මගකට පිළිපන්න වුන් " ( සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ) යැයිද,  පැහැදීමට පත්වෙති. "
- විමංසක සුත්‍රය , මජ්ජිම නිකාය

මේ අනුව අපිට තේරුම් ගන්න තියෙන්නේ තෙරුවන් පිළිබඳව නියම පැහැදීමක් හෙවත් අවෙච්චප්පසාදයක් ඇතිවීම ඉබේ සිද්ද වෙන දෙයක් නොවන බවයි. ඒ සඳහා ධර්මය අසා ( හෝ කියවා) දැනගැනීමත්, අසා දැනගත් ධර්මය නුවනින් මෙනෙහි කොට වටහා ගැනීමත් ( යෝනිසෝ මනසිකාරය )  අත්‍යවශ්‍ය බවයි. ධර්මය වැටහෙන්න වැටහෙන්න පැහැදීම තව තවත් තහවුරු වෙනවා. අවෙච්චප්පසාදය කියන්නේ එසේ ධර්මය වැටහීම මත පදනම්වූ "සහේතුක පැහැදීමකි" "අවබෝධයෙන් යුක්තව ඇතිවන පැහැදීමකි "

දැන් ඉතින් කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් ඒකාලේ බුදු හාමුදුරුවෝ වැඩ හිටි නිසා උන් වහන්සේ සොයා ගොස් කරුණු අසා දැනගෙන අවෙච්චප්පසාදය අතිකරගන්න පුළුවන් උනාට අද කාලේ ඕව කරන්නේ කොහොමද කියල. ඒක මාර පාක්ෂික අදහසක් වගේම අනිත් අයගේ ධර්මය පිලිබඳ උනන්දුව නැතිකරන මහා අකුසලයක්. ඒවගේ අදහස් ඔලුවට එන්නේ මාරයා වැහුනම තමයි. මාරයාගේ වසඟයේ  ඉඳගෙන අනිත් අයවත් මාරයාගේ වසඟයට ඇදල ගන්න තමයි ඕව කියන්නේ. එදා සිටි පින්වත් ශ්‍රාවකයින්ට වගේ බුදු සමිදුන් හමුවීමට අපට අවස්ථාවක් නෑ කියල අපි කිසිසේත්ම පසුබට වියයුතු නෑ. උන් වහන්සේ දේශනා කළා මගෙන් පසුව නුඹලාට ශාස්තෘ වන්නේ මා විසින් වදාළ ධර්ම-විනය දෙක බව. ඒක නිසා තථාගත දේශනා නුවනින් විමසා බලා නිවැරදිව අවබෝධ කරගැනීම තුලින් නියමාකාරයෙන් තථාගතයන් වහන්සේව දැකගැනීමට අදත් අපට අවස්ථාව තියෙනවා. ඒ ධර්ම විනය දේශනාවන් තුල තවමත් උන්වහන්සේ අපට දැකගැනීමට ජීවමානව වැඩ සිටිනවා. ඒ අයුරින් බුදු සමිඳුන්ව දැකගැනීමට නොහැකිවනතාක් හිසිවෙකුට සතර අපායෙන්, දුගතියෙන් ස්ථිර වශයෙන් නිදහස්වීමක් නම් නෑ.   


මොකද්ද මේ අරියකන්ත සීලය.?

තෙරුවන් පිළිබඳව අවෙච්චප්පසාදය ඇතිවූ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයකු තුල පවතින තවත් සුවිශේෂ ගුණයක් ( සොතාපත්ති අංගයක් ) තමයි අරියකන්ත සීලය. ඒ කියන්නේ බුද්ධාදී ආර්යන් වහන්සේලාට ප්‍රිය වූ, ආර්යන් වහන්සේලා විසින් අනුදැන වදාලාවූ ශීලයයි. ගිහි පැවිදි වශයෙන් එහි විවිධාකාර මට්ටම් ඇතත් එයින් අපේක්ෂා කරන්නේ නිවන් මග වැඩීමට උපකාරීවන කාය-වාග් සංවරයයි. අවම මට්ටමින් ගත්විට පන්චසිල ප්‍රතිපදාව ඉන් අදහස් කෙරෙනවා.

සංයුක්ත නිකායේ සොතාපත්ති සංයුක්තයේ අභිසන්ද සුත්‍රයේ බුදුන් වහන්සේ අරියකන්ත සීලය ගැන කියල දෙනවා.
"මහණෙනි, ආර්ය ශ්‍රාවකයා, කැඩුම් නැතිවූ, සිදුරු නැති වූ, කැළැල් නැති වූ, කිලිටි නැති වූ, මිත්‍යා දෘෂ්ටියෙන් නිදහස් වූ, නුවනැත්තන්ගේ පැසසුමට ලක්වූ, වැරදි ලෙස එල්බ නොගත්තාවූ, සිතෙහි සමාධිය පිණිස උපකාරී වන්නාවූ, අරියකන්ත සීලයෙන් සමන්විත වෙයි."

මේ ප්‍රකාශයෙන් අපිට තේරුම්ගන්න පුළුවන් අරියකන්ත වූ  ( ආර්යන් වහන්සේලාට ප්‍රිය වූ ) ශීලයේ මුලික ලක්ෂණ මොනවද කියන එක. මේ සසුනෙහි දහම් ඇස පහලවූ ආර්ය ශ්‍රාවකයා පැවිද්දෙකු නම්, පැවිදි උපසම්පදා ශිලයෙහි හෝ සාමනේර දස ශිලයෙහි පිහිටියෙකු වෙයි. ගිහියෙකු නම් තමාට පහසු පරිදි, සුදුසු පරිදි, ගෘහස්ත දස සීලය හෝ නිත්‍ය පංචසීලය හෝ සමාදන්ව එහි පිහිටා සිටින්නෙකු වෙයි. ඒ සියලුම ශිල ශික්ෂාවන් බුද්ධාදී ආර්යන් වහන්සේලා විසින් අනුදැන වදාළ බැවින් අරියකන්ත සීලයන් වෙනවා.    


ඉතින් අවසාන වශයෙන් මේ ගැන කියන්න තියෙන්නේ, දහම් ඇස පහලවූ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා බුද්ධ , ධම්ම, සංඝ, යන තෙරුවන් පිළිබඳව හටගත් අවෙච්චප්පසාදයෙන් හා අරියකාන්ත සීලයෙන් සමන්විත හෙනෙක් බවයි. යමෙක් තුල මේ ගුණ ධර්මයන් පවතී නම් ඔහු සදහටම සතර අපායෙන් දුගතියෙන් මිදුනෙකු වෙනවා.

සැමටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස , සෝවාන් ආදී මාර්ග ඥානයෝ වර්ධනය වීම පිණිස මෙම ධර්ම දානය හේතු වේවා !!!

තෙරුවන් සරණයි,

සුරේෂ් .