Thursday, August 23, 2012

අපි මොකක්ද ඉක්මනින් කළ යුත්තේ ..?


අපි ධර්ම මාර්ගයේ ගමන් කරන විට ඉක්මනින් ප‍්‍රතිඵල බලාපොරොත්තු නොවිය යුතුයි. නමුත් අපි ඉක්මනින් කළ යුතු දෙයක් තියෙනව. ඒක තමයි දුකින් නිදහස් වීමට අප තුළ කැමැත්තක් ඇති කර ගැනීම. දුකෙන් නිදහස් වීමට අපි කැමති වෙන්ට ඕනැ. ඒක අපි ඉක්මනින් කරන්ට ඕනැ. අන්න ඒ කැමැත්ත ඉක්මනින් ඇතිකර ගන්ට ඕනැ. නමුත් දුකෙන් නිදහස් වීම, ඉක්මන් වුණාට ලැබෙන්නේ නෑ. එතකොට අපි මොකක්ද ඉක්මනින් ඇතිකරගත යුත්තේ? දුකෙන් නිදහස් වීමට කැමැත්තයි. අපි ඉක්මනින් ඒ කැමැත්ත උපදවා ගන්ට ඕනැ. ඒ කැමැත්ත මුල් කරගෙන තමයි යමෙක් දුකෙන් නිදහස් වෙනවාද? කියන කාරණය තීරණය වෙන්නෙත්, දුක කරාම යනවද? කියන කාරණය තීරණය වෙන්නෙත්. යම් කෙනෙක් කැමතියි නම් දුකෙන් නිදහස් වෙන්ට එයාට ඒකට ඉඩ කඩ, අවස්ථාව ධර්මය තුළ තිබෙනවා. නමුත් ඒ අවස්ථාව තිබෙන්නේ දුකෙන් නිදහස් වීමට තිබෙන කැමැත්ත මුල්වෙලාම යි. යම් කෙනෙක් තුළ ඒ කැමැත්ත ඉපදුණොත් තමයි එයා ඒකට වෑයම් කරන්නෙ. නැත්නම් වෑයම් කරන්නෙ නෑ. හැබැයි ඒ කැමැත්ත නැත්නම්, එයාට දුකෙන් නිදහස් වීමක් කරා යන්ට බෑ. එයා දුක කරාම යනවා. ඒ නිසා අපි ඉක්මනින් දුකෙන් නිදහස් විය යුතුයි කියන කැමැත්ත උපදවා ගත යුතුයි. එතකොට අපිට අවස්ථාවක් තියෙනව ධර්මයේ පිහිට ලබාගන්ට.
අපි බණ භාවනා කරන්ට කියල, ධර්මය ඉගෙන ගන්ට කියල කලබලේට මහන්සි වෙනව. නමුත් අපි ඉක්මනින් කරන්න ඕනෙ මොකක්ද..? කියල අපට තේරුමක් නෑ. එතකොට අපි මොකක්ද ඉක්මනින් ඇතිකරගත යුත්තේ? දුකෙන් නිදහස් වීමට කැමැත්ත. ඒ දුකෙන් නිදහස් වීමට කැමැත්ත අප තුළ ඇතිවෙන්ට නම් අපේ ජීවිතවල තිබෙන දුක ගැන, ඒ දුක ඇතිවෙන්ට හේතුවෙන දේවල් ගැන අපට වැටහීමක් තිබෙන්ට ඕන. දුක ගැන, දුක ඇති කරන දේවල් පරිහරණය කිරීම නිසා ඇති වෙන දුක ගැන කල්පනා කළොත් ඒවයින් නිදහස් වෙන්ට අපි තුළ කැමැත්ත ඇති වෙනවා. ඒ වැටහීම අප තුළ නැත්නම්, අපි ඒ දුක ඇතිකරන දේවල් වලටම කැමැත්තෙන් ඒවටම ඇලි ඇලීම දුක කරාම යනවා. ඒ නිසා ඒ වැටහීම අපි ඇතිකර ගත යුතු යි.
දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණගැහිල වන්දනා කරල මේ විදිහට කියා සිටියා ”දරුවො ඉන්න කෙනා සතුටු වෙන්නෙ දරුවන් නිසාම යි. ඒ වගේම ගව පට්ටි හිමිය සතුටු වෙන්නේ ගවයන් නිසාමයි. මේ කෙලෙස් තියෙන නිසයි මිනිසුන්ට සතුටක් තියෙන්නෙ. යම් කෙනෙකුට කෙලෙස් නැත්නම් එයාට ජීවිතේ සතුටකුත් නෑ” කියල ඒ දෙවියා කියා සිටියා. බලන්න එතකොට ඒක දෙවි කෙනෙක් කියන්නේ. ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ”නෑ. එහෙම නෙවෙයි. දරුවො ඉන්න කෙනා අන්තිමේදී දරුවො නිසා ශෝක වෙනවා. ඒ වගේම ඒ ගව පට්ටි හිමියා ඒ ගවයන් නිසාම ශෝක වෙනවා. මේ කෙලෙස් නිසා මිනිස්සුන්ට තියෙන්නෙ ශෝකය ම යි. යම් කෙනෙකුට කෙලෙස් නැත්නම් එයා ශෝක වෙන්නෙ නෑ” කියල.
දැන් බලන්න ඒ දෙවියා කියන්නෙ දරුවො ඉන්න කෙනා ඒ දරුවන් නිසාම සතුටු වෙනව කියල. ඊලගට ගවයන් ඉන්න අය ඒ ගවයන් නිසාම සතුටු වෙනව කියල. ඉතින් මේ කෙලෙස් තියෙන නිසා තමයි සතුට තියෙන්නෙ. යම් කෙනෙකුට කෙලෙස් නැත්නම් සතුටක් නෑ කියල තමයි ඒ දෙවියා කිව්වේ. සමහරවිට ඔබේ අදහසත් මේකම වෙන්ට පුලූවන්. ඒ අපිට අපේ ජීවිතවල තිබෙන දුක ගැන, දුක ඇති කරන දේවල් පරිහරණය කිරීම නිසා ඇති වෙන දුක ගැන වැටහීමක් නොමැති නිසා යි. එතකොට අපිට භාග්‍යවතුන් වහන්සේ කියා දුන්නෙ කොහොමද? ”දරුවන් ඉන්න කෙනා අන්තිමේදී දරුවන් නිසාම සෝක කරනවා. ගව පට්ටි හිමියා අන්තිමේදී ඒ ගවයන් නිසාම සෝක කරනවා” කියල යි.
එහෙනම් අපිට යමක් තියෙනව නම්, ඒකට බැඳුන සිතින් නම් වාසය කරන්නේ, අන්තිමට ඒක නිසාම අපි සෝක කරනවා. ඒ නිසා අපි ඒක තේරුම් අරගෙන අපි කල්පනා කරන්ට ඕනැ ඒ බැදීම් අතහරින්ට. එතකොට ඒ සෝක කරන ස්වභාවය නැතිවෙලා යනවා. ඒ සඳහා දුකෙන් නිදහස් වෙන්ට, සංසාරෙන් නිදහස් වෙන්්ට බලවත් කැමැත්තක් අප තුළ තියෙන්ට ඕනැ. ඒ කැමැත්ත තියෙන කෙනා ඒ සදහා වැයම් කරනවා. එයාට ටික ටික ඒ දුක හදන දේවල් ගැන තිබෙන කැමත්ත අතහරින්ට පුළුවන් කම ලැබෙනවා. දුකෙන් නිදහස් වෙන්ට කැමැත්තක් නැත්නම්, එයා ඒ දුක හදන දේවල්ම අල්ල ගන්නවා. දුක කරාම යනවා.
ඒ නිසා ඒ දුක හැදෙන පැත්තටම, ආපහු බැඳෙන පැත්තටම හිත හදාගන්ට එපා. දුකෙන් නිදහස් වෙන්ට, බලවත් කැමැත්තක් ඇති කරගන්න. ඒ විදිහට කැමැත්තක් ඇතිකරගන්ට පුළුවන් වෙන්නේ ”බැදීම් නිසා දුක හටගන්නවා, බැදීම් නැත්නම් ඒ දුක නැතිවෙනවා” කියන කාරණය තේරුම් ගත්තොත් තමයි. ඒ නිසා අපි ඒක තේරුම් අරගෙන ටිකෙන් ටික ඒ තියෙන බැදීම් දුරුකර ගන්ට දක්ෂ වෙන්ට ඕනැ. ඒ වගේම තමයි අලූතින් බැදීම් හටනොගන්න විදිහට ජීවිතය හදාගන්ටත් ඕනැ. ඒ දෙකට දක්ෂ නොවුණොත් එහෙම අපි දුකෙන් නිදහස් වෙනවා කියන කාරණාව කවදාවත් සිද්ධ වෙන්නේ නෑ.
දැන් අපි ධර්මය පාඩම් කරගෙන ඒ ධර්මයටත් බැදිල යන්ට පුළුවන්. ”මට පුළුවන්. මට තේරෙනවා” මේ වගේ අදහස් වලටත් අපි බැඳිල යන්ට පුළුවන්. අපි යමක් සිතින් අල්ල ගත්තොත්, ඒවගේම යමක් බැඳුනු සිතින් පරිහරණය කළොත් ඒක නිසාම තමයි අපිට දුක හටගන්නේ. නමුත් සිතින් අල්ල ගත්ත යම් දෙයක් තියෙනවා නම් ඒක සිතින් අතහැරියොත්, ඒ වගේම ආයෙ යමක් අලූතින් අල්ලගන්නෙත් නැත්නම් මේ දුක දුරුවෙනවා.
ඒනිසා හදිස්සි වෙන්ට එපා. හදිස්සි වුණොත් අපිට මුකුත් කරන්ට බෑ. අපි මොකක්ද ඉක්මනින් කළ යුත්තේ ..? අපි ඉක්මනින් දුකෙන් නිදහස් වීමට, එහෙම නැතිනම් සෝක නොකරන ජීවිතයකට කැමැත්ත උපදවා ගන්ට ඕනැ. ඒ කැමැත්ත උපදවා ගන්නෙ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන විශ්වාසය තියෙන කෙනා යි. සෝක නොකරන ජීවිතයක් ගැන අපිට කවුද කියල දුන්නෙ? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ සෝක නොකරන ජීවිතයක් ඇතිකර ගත්තා. ඒ නිසා උන්වහන්සේ විශ්වාසයෙන් කිව්වා ”සෝක නොකරන ජීවිතය මේකයි. ඔබලාත් එතෙන්ට පැමිණෙන්න” කියල. ඉතින් අපි ඒ කැමැත්ත උපදවා ගන්නෙ බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයෙන්. ඒක තමයි ශ‍්‍රද්ධාව කියල කියන්නෙ. ඒ ශ‍්‍රද්ධාව උපදව ගත්ත කෙනා ඒ ධර්මයේ යමක්ද කියන්නෙ ඒක ඒ ආකාරයෙන්ම අදහා ගන්නවා. ඒ ආකාරයෙන්ම කටයුතු කරන්ට එයා කැමතියි.
ඒ බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසවයක් නැති කෙනා මොකද කරන්නෙ? එයා වෙන වෙන දේවල් විශ්වාස කරනවා. එහෙම නැත්නම් කාමයන් ගැන විශ්වාස කරනව. දැන් ඒකනෙ දෙවිය කිව්වෙ ”දරුවො ඉන්න කෙනා සතුටු වෙන්නෙ දරුවන් නිසාමයි. ගවපට්ටි හිමිය සතුටු වෙන්නෙ ගවයන් නිසාමයි. මේ කෙලස් තියෙන නිසයි මිනිස්සුන්ට සතුට තියෙන්නෙ. යම් කෙනෙකුට කෙලෙස් නැත්නම් එයාට ජීවිතේ සතුටක් නෑ” කියල. එහෙම නැත්නම්, ”එහෙම කොහොමද..?” කියල මත ගැටුම් හදා ගන්නවා. එහෙම වෙන්නේ ඇයි.? එහෙම වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් නැති නිස යි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය දන්නෙ නැති නිසා යි. නමුත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් තියෙනවා නම් එයා කැමතියි මේ දුක නැති කරන ජීවිතයකට. සතුටු වෙන ජීවිතයට, සැප ලැබෙන ජීවිතයට එයා කැමතියි. ඒ නිසා දුකෙන් නිදහස් වීමට අපි කැමති වෙන්ට ඕනැ. අඬන්නෙ නැති ජීවිතයකට අපි කැමති වෙන්ට ඕනැ. මේ කාරණා ඔබත් නුවණින් තේරුම් අරගෙන දුක ආයෙ හට නොගන්න සැපවත් ජීවිතයක් ඇතිකර ගන්ට කැමති වෙන්න. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට කටයුතු කරන්න.
‘දිවයින බුදු මඟ’ ධර්ම සංග්‍රහයෙහි පළ වූ ලිපියක් ඇසුරෙනි.

No comments:

Post a Comment