මේ දේශනාව සඳහන් වෙන්නේ ඛුද්දක නිකාය කියන උතුම් ග‍්‍රන්ථයේ පළවෙනි කොටසට. මේ දේශනාවේ නම චර සූත‍්‍රය. අපි බලමු මේ දේශනාව මගින් භාග්‍යවතුන් වහන්සේ කුමක්ද පෙන්වා දී තිබෙන පණිවිඩය කියල. මෙහි තිබෙනවා මේ විදිහට
“පින්වත් මහණෙනි, ඇවිදිමේන් සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්ට පුලූවනි. එවිට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඒක ඉවසනවා නම් (ඒ කියන්නේ ඒ හැඟීමට ඉඩ දීල ඉන්නවා නම් ), දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම් පින්වත් මහණෙනි, ඇවිදිමින් සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් නැති, පවට බයක් නැති, හැම තිස්සේ ම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනා කියල කියන්නේ”.
දැන් මෙතන භික්ෂුව කියල කිව්වාම, මේ ධර්මය භික්ෂුවට පමණක් නෙමේ අයිති. මේක උපාසක උපාසිකාවන්ටත් මේ ආකාරයමයි. දැන් මෙතන ඇවිදිමින් සිටින භික්ෂුවක් ගැන කියන්නේ. නමුත් ඇවිදිමින් සිටින උපාසක උපාසිකාවන්ටත් මේ ධර්මය අදාලයි. එතකොට ඇවිදිමින් සිටින උපසකයෙක් හෝ උපාසිකාවක් හෝ කාම ව්‍යාපද හෝ විහිංසා විතර්කයක් හට ගන්න කොට, අන්න ඒ උපාසක කෙනා හෝ උපාසිකාව හෝ ඒ විතර්කය ඉවසනව නම්, දුරුකරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, අන්න ඒ ඇවිදිමින් සිටින උපාසක උපාසිකාව කෙලෙස් තවන වීරියක් නැති, පවට බයක් නැති, හැම තිස්සේම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනෙක් බවට පත් වෙනවා.
ඊලගට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, “පින්වත් මහණෙනි, සිටගෙන සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හට ගන්ට පුලූවනි. එවිට ඒ භික්ෂුව එය ඉවසනවා නම්, දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, සිටගෙන සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් නැති, පවට බයක් නැති, හැම තිස්සේම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනා කියල කියන්නේ”.
එතකොට බලන්න අපිට කලින් කියා දුන්නේ ඇවිදිමින් සිටින කෙනෙක් ගැන. දැන් කියා දෙන්නේ සිටගෙන සිටින කෙනෙක් ගැන. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, “වාඩිවී සිටින භික්ෂුවකට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්ට පුලුවනි. එවිට පින්වත් මහණෙනි ඒ භික්ෂුව එය ඉවසනවා නම්, දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, වාඩි වී සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරිය නැති, පවට බයක් නැති, හැම තිස්සේම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනා කියල කියන්නේ. පින්වත් මහණෙනි, සැතපී සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්ට පුලූවනි. එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව එය ඉවසනවා නම්, දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, සැතපී සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් නැති පවට බයක් නැති හැම තිස්සේම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනා කියල කියන්නෙ”.
බලන්න එතකොට භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ කොහොමද? හිටගෙන ඉන්න කොට වේවා ඇවිදින කොට වේවා, නිදාගෙන ඉන්න කොට වේවා, වාඩිවෙලා ඉන්න කොට වේවා, යම් අකුසල විතර්කයක් එනවා නම්, ඒ අකුසල විතර්කය ඉවසනවා නම්, දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, අන්න ඒ කෙනාට කියනවා පවට බයක් නැති, කෙලෙස් තවන වීරියක් හැකි හැම තිස්සේම, කුසීතව වාසය කරන කෙනෙක්, හීන වීරියෙන් යුක්තව වාසය කරන කෙනෙක් කියල.
දැන් බලන්න අපිට තියන ලොකු ගැටලූවක් තමයි බණ භාවනා කරන්ට වෙලාවක් නෑ කියන එක. එක්කො ගෙදර දොරේ වැඩ කටයුතු බහුලයි. ඊලගට රාජකාරි ස්ථානවල කටයුතු බහුලයි. ඊලගට වෙනත් සමාජ සංවිධාන වල කටයුතු බහුලයි. ඥාතීන්ගේ කටයුතු බහුලයි. මේ ආකාර කටයුතුවලින් මේ අයගේ ජීවිත පිරිල. ඒ නිසා මේ අයට තියන ලොකුම ගැටලූව තමයි භාවනා කරන්ට වෙලාව නැතිකම. අන්න ඒ ගැටලූව හිස් දෙයක් කියල පෙන්වා දෙන්ටයි අපි කල්පනා කරන්නේ.
ඇත්තෙන්ම ගැටලූවක් තිබුනොත් තමයි එයට විසඳුමක් අපි දිය යුත්තේ. ගැටලූවක් නැතුව ගැටලූවක් තියනවා කියල හිතුවොත් කවදාවත් ඒකට විසඳුමක් නෑ. එතකොට අපි අසරණයි නේද? ගැටලූවක් තියනවා නම් එයට විසඳුමක් තියනවා. නමුත් ගැටලූවක් නැතුව තියෙද්දී ගැටලූවක් තියෙනවා කියල අපි සංකල්පයකට පත් වුනොත් ඒකට විසදුමක් නෑ. ඒ නිසා අපි ආරම්භයේදීම මේ මුල පිරිසුදු කරගන්ට ඕනැ. එසේ නොවුනොත් හැමදාම හිතෙනවා මට ප‍්‍රශ්නයක් තියනවා. මට ගැටලූවක් තියනවා කියල. දැන් අපි හිතමු වාඩිවෙලා ඉන්න කෙනෙක් හිතනවා මගේ කකුල් දෙක ගැට ගහල තියෙන්නේ කියල. එයා කවදාවත් නැගිටල යයිද? නෑ. ඇයි ඒ? ගැට ගහල තිබුන නම් ලිහාගන්ට පුළුවන්. දැන් ගැට ගහල නැතුව තියෙද්දී එයා හිතනවා ගැට ගහල කියල. කවදාවත් ලිහා ගන්ට බෑ. අන්න ඒ වගේ අපිට වෙලාව නෑ කියන අදහසේ ගිලිල ඉන්න තාක් එයින් ගැලවෙන්ට බෑ.
එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ඇවිදිමින් සිටින භික්ෂුවට වේවා, හිටගෙන සිටින භික්ෂුවට වේවා, වාඩිවෙලා සිටින භික්ෂුව වේවා, සැතපී සිටින භික්ෂුව වේවා, කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ ආවාම ඒව ඉවසන්නේ නැත්නම්, ඒව දුරුකරල දානවා නම්, ඒ අකුසල විතර්කය බැහැර කරල දානවා නම්, අභාවයට පත් කරල දානවා නම්, අන්න එබඳු භික්ෂුවක් කොහොම කෙනෙක්ද? කෙලෙස් තවන වීරියක් ඇති පවට බයක් ඇති පටන්ගත් වීරිය ඇති නිවන කරා මෙහෙය වූ සිත් ඇති කෙනා කියලයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ.
දැන් අපිට වෙලාව නැත්තේ මොකටද? වාඩිවෙලා භාවනා කරන්ට. වාඩිවෙලා පමණක් භාවනා කළ යුතුයි කියන අදහසේ සිටින තාක් තමයි මේ අර්බුදය අපිට එන්නේ නේද? දැන් බලන්න මේ දේශනාව තුලදී භාග්‍යවතුන් වහන්සේ අපිට කොහොමද පෙන්වා දෙන්නේ? ඇවිදින හෝ ඉඳගෙන ඉන්න හෝ සිටගෙන සිටින හෝ නිදාගෙන සිටින කෙනෙක් හෝ වේවා, කෙලෙස් තවන වීරිය ඇති, නිවනට යොමු වූ සිතින් යුක්ත කෙනාට පුලූවන්කම තියනවා නිවන් මග පාද ගන්න. ඇවිදිමන් සිටියත්, සිටගෙන සිටියත්, නිදාගෙන සිටියත්, ඉඳගෙන සිටියත් එයාට ඒ ඉන්න ඉරියව්ව කුමක්ද කියන එක වැදගත් නෑ. එයා තුළ හටගත් අකුසලය පිළිබඳව එයා කුමන ආකාරයෙන් ද කටයුතු කරන්නේ කියන දේ මතයි එයාගේ නිවන් මග පෑදෙනවද නැද්ද කියන කාරණාව තීරණය වෙන්නේ.
නමුත් අපි වාසය කරන්නේ අනේ මට වෙලාවක් නෑ කියන අදහසේ. බලන්න අපි වෙලාව නෑ කියල හිතුවට අපි ඇවිදිමේන් සිටින එක, සිටගෙන සිටින එක, නිදාගෙන සිටින එක, හිටගෙන ඉන්න එක මේ ඉරියව් හතර අපි පවත්වනවද නැද්ද? පවත්වනවානේ. මේ ඉරියව් හතරේ අපිට කොතරම් වැඩ තිබුනත් අපිට වැඩ වැඩියි කියල අපිට රාජකාරි බහුලයි කියල මේ කාම, ව්‍යාපාද, විහිංසා කියන අකුසල විතර්ක අපි පැත්තකින් තියල තියෙනවද? මට වැඩ වැඩියි ඒ නිසා මේ විතර්ක ටික පැත්තකින් තියනව කියල තියනවද? අපි ගෙදර දොර කටයුතු කරද්දී වුනත් රාජකාරි කටයුතු කරද්දි වුනත් මේ විතර්ක ටික අභ්‍යන්තරයේ වැඩකරනව නේද? එහෙනම් බලන්න අපි තෝර බේරගත යුතු විදිහ.
අපි එදිනෙදා කටයුතු කරද්දීම මේ විතර්ක පවතිනවා නම්, කටයුතු කරද්දීම මේ විතර්ක බැහැරකර ගැනීමේ රටාවත් අපට පුරුදු කර ගන්න පුලූවන්. ඒ සඳහා තියුණු නුවණක් ඇතිකර ගත්තොත් ඉවසීමෙන් යුක්තව මේ ක‍්‍රමවේදය අධ්‍යනය කරනවා. ඒ විදිහට මේ මාර්ගය තෝරාගත් කෙනා සතුටට පත් වෙනවද කනස්සල්ලට පත් වෙනවද? ඉතාම සතුටට පත් වෙනවා. එයා සොයමින් සිටි දේ මුණගැහුන. එතකොට එයා සොයමින් සිටිය දේ මුන ගැහුණයින් පස්සේ එයා කලබල වෙනවද ඉවසනවද? ඉවසනව.
ඒක මේ වගේ දෙයක් දක්ෂ සොල්දාදුවෙක් ඉන්නව. ඒ දක්ෂ සොල්දාදුවගේ අභිප‍්‍රාය මොකක්ද? යුදධය දිණීම. සතුරා නැසීම. ඒ අදහස තියන කෙනා මුලින් මොකක්ද කරන්නේ? යුද්ධය පුහුණු වෙනවා. සැලසුම් කර ගන්නවා. ඒ දෙක තමයි වැඩිකාලයක් යුද්ධයක තියෙන්නේ. යුද්දෙ තියෙන්නෙ ටිකයි. යුද්ධයට ගියාට පස්සේ දක්ෂ සොල්දාදුවා සතුරා දකිනවා. දැන් එයාට මොකද හිතෙන්නේ. එයාට ජයග‍්‍රහනයේ පෙරනිමිති පේනවා. ඇයි සොල්දාදුවගේ ඉලක්කය මොකක්ද? ජයග‍්‍රහණය. මොකක්ද ජයග‍්‍රහණය? සතුරා නැසීම. සතුරා දැක්කට පස්සේ එයාගෙ කකුල් ගැහෙන්නේ නෑ. එයාට ජයග‍්‍රහණය පේනවා. දැන් එයා මොකද කරන්නේ? පැනපු ගමන් සතුරාව අල්ලනවද? නෑ. ඉවසීමෙන් යුතුව එයා තුළ ඉවසීම හට ගන්නවා. එයා යුධ සැලැස්ම ක‍්‍රියාත්මක කරනවා.
කෙලෙස් යුද්ධය දිනන්න කැමති කෙනා දක්ෂ සොල්දාදුවෙක් වගේ වෙන්ට ඕනැ. එයාගෙ අභිප‍්‍රාය විය යුත්තේ කුමක්ද? කෙලෙස් යුද්ධය දිණීම. කෙලෙස් නැමැති සතුරා නසන්ට එයා ඉස්සර වෙලා පුරුදු වෙන්ට ඕනැ. කොහොමද පුරුදු වෙන්නේ? ධර්මය ඉගෙන ගන්ට ඕනැ. ධර්මය තේරුම් ගන්ටත් ඕනැ. ඊට පස්සේ තමයි එයා මේ කෙලෙස් යුද්ධය පටන් ගන්ට සූදානම් වන්නේ. එතකොට එයා තුළ දහම් දැනුම තියනවා. ඒ ධර්මය කොහොමද පුරුදු කරන්නේ කියන එක එයා ඉගෙන ගෙන තියෙන්නේ. දැන් එයා සතුරා සොයමින් වාසය කළ යුතුයි. යුද්ධෙ දිණන්න කැමති කෙනා සතුරා ඉන්න ඉසව්ව හොයාගන්ට අවශ්‍යයි. සතුරා කොහෙවත් ඉන්නකොට වෙන කොහේ හරි හොයල බෑ. එහෙම අයත් ඉන්නව. අපි එහෙම කළොත් අපිට කවදාවත් මේ යුද්ධෙ දිණන්න බෑ. අපිව දන්නෙම නැතුව කොටුවෙලා යනවා. දක්ෂ සොල්දාදුවෙක් වගේ වෙන්ට. දක්ෂ සොල්දාදුව සතුරා දැක්කම සතුටු වෙනවා.
හිටගෙන ඉන්නකොට වේවා, වාඩිවෙලා ඉන්නකොට වේවා, ඇවිදගෙන යනකොට වේවා, සැතපිී සිටිනකොට වේවා මේ කෙලෙස් යුද්ධයෙන් දිනන්ට කැමති කෙනා ඒ කෙලෙස් අඳුන ගැනීම පිණිස කල්පනා කළ යුතුයි. සිහි නුවණ උපදවාගෙන වාසය කළ යුතුයි. එතකොට එයා හිටගෙන ඉන්නකොට වේවා, ඇවිදිනකොට වේවා, වාඩිවෙලා ඉන්නකොට වේවා, සැතපිලා ඉන්නකොට වේවා, එයාගෙ හිතේ හට ගන්න ඒ කෙලෙස් එයාට අඳුන ගන්ට පුළුවන්කම එනවා. එතකොට ඒ විදිහට මේ කෙලෙස් දුරු කිරීම පිණිස උපන් වීරියෙන් යුක්ත කෙනෙක්, කෙලෙස් දුරු කිරීම පිණිස පටන්ගත් වීරියෙන් යුක්ත කෙනෙක්, නිවනට යොමුකළ සිතින් යුක්ත කෙනෙක් තුළ මේ අකුසල විතර්කයක් දැක්කොත් එයා ඒ විතර්කයට යට වෙන්නේ නෑ. එයා ඒ විතර්කය බැහැර කරන්ට කටයුතු කරනවා. නමුත් ඒ අකුසල විතර්කය අඳුනගන්ට පුළුවන් විදිහට එයා ඒ හිත සකස් කරගෙන නැත්නම්, අකුසල විතර්කයක් ආවම එයා ඒකට යට වෙනවා.
දැන් කාම විතර්කයක් ආවම ඒක අඳුනගෙන එය බැහැර කරන්ට ඕනැ කියක අදහසේ නැති කෙනා, ඒ විතර්කයට යට වෙනවා. එයාගෙ හිත හාත්පසින් වැහිල යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සීලය පළුදු වෙනවා. එයාගෙ පිරිසිදු ජීවිතය අපිරිසිදු බවට පත් වෙනවා. සීලය රැුක ගන්ට බැරුව යනවා. දැන් අපිට තේරුම් ගන්න පුළුවන් නේද අපිට තියන කාලය භාවිත කරලම එදිනෙදා කටයුතු කරද්දීම වුනත් මේ ධර්මය අපිට පුරුදු කරන්ට පුළුවන් කියල. මේ ධර්මය පුරුදු කිරීමේ හැකියාවක් තියනවා. මේ අකුසල විතර්ක අඳුරගෙන ඒ අකුසල විතර්ක බැහැර කිරීම පිණිස පුරුදු වෙන්ට ඕනැ. අන්න එහෙම පුරුදු වුනොත් අපි නිවනට යොමුවුන සිතින් යුතු අය බවට පත් වෙනවා. නමුත් බලන්න අපිට මේ වෙනකොට ඒ වගේ පුරුදු වෙන්ට බැරි නම් අකුසල විතර්කයක් ආවම හිත යට වෙනවා නම්, එය බැහැර කරන්ට අපිට සිහිය උපදවා ගන්ට බැරි නම්, අපේ හිත අකුසල විතර්කයෙන් පීඩාවට පත්වෙලා, හීන ස්වභාවයට පත් වෙලා යනව නම්, අපිරිසිදු භාවයට පත් වෙනවා නම්, අපි හොද මට්ටමක නෑ කියල තේරුම් ගන්ට ඕනැ.
අකුසල විතර්කයක් හිතට ආවහම ඒ එන අකුසල විතර්කය බැහැර කරගන්ට බැරි කොහොම කෙනාටද? කෙලෙස් තවන වීරිය නැත්නම්, පවට බය නැත්නම්, පටන්ගත් වීරිය නැත්නම්, ඊලගට කුසීතව වාසය කරනවා නම්, හීන වීරියෙන් යුක්ත නම් එයාට එන අකුසල විතර්කය බැහැර කරගන්ට බෑ. අඳුන ගන්ට බෑ. ඒකට යට වෙනවා. එයාගෙ ජීවිතය අපිරිසිදු දෙයක් බවට පත් වෙනවා.
සියලූ දෙනාට ම තෙරුවන් සරණයි!
පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ ගේ දේශනාවක් ඇසුරිනි
No comments:
Post a Comment