Wednesday, January 30, 2013

පරුෂ වචනය සහ ව්‍යාපාදය හඳුනාගනිමු !


අසන්නාවූ තැනැත්තාගේ සිත් රිදවන්නාවූ වචනය පරුෂ චනය වශයෙන් හඳුන්වනව. අංග තුනක් සම්පූර්ණ වීමෙන් මෙම අකුසලය සිදු වෙනව.

1. ආක්‍රෝශ කළ යුතු කෙනෙක් සිටිය යුතුයි
2. ක්‍රෝධ සහගත සිතක් ඇතිවිය යුතුයි
3. අන්‍යයන්ගේ සිත් රිදවන වචන කිව යුතුයි

ආක්‍රෝශ කරල සිත රිද්දන්න කෙනෙක් නැතිව සිත රිද්දන වචන තනියම කිව්වට පරුෂ චන කීමේ අකුසලය සිද්ධ වෙන්නෙ නැහැ. දුෂ්ට සිතින් නැතිනම් කෝපයෙන් තොරව පරුෂ චන කිව්වත් අකුසල් සිදුවෙන්නෙ නැහැ. ඒත් ‍එහෙම කියල යාළුවන්ට ආදරෙන් කුණු හරැප කියන්න යන්න එපා මොකද කෝපයෙන් තොරව කිව්වත් අහන කෙනා මොන මානසිකත්වයකින් ඒක අහනවද දන්නෙ නෑනෙ. සමහර විටක ඒක යාළුකම් නැතිවෙන්න හේතු වෙන්න පුළුවන්.

ආක්‍රෝශ කිරීමේ ආකාර දහය

අ‍ක්‍රෝශ කිරී‍මේ නැතහොත් නින්දා පරිභව කිරීමේ ආකාර දහයක් විනය පිටකයේ පාචිත්තිය පාළියේ සඳහන් වෙනව. අපි බලමු ඒව මොනවද කියල.

1. ජාතියෙන් අක්‍රෝශ කිරීම.

පහත්යයි සම්මත ජාති ඇති අයෙකුට අවමන් කරන්න රිදවන්න ඔහුගේ ජාතියේ නම ගෙන කතා කිරීමත්, උසස් යයි සම්මත ජාති ඇති අයෙකුට පහත් ජාතියක නමකින් කතා කිරීමත් පහත් ජාති ඇති කෙනාට අවමන් පිණිස උසස් ජාති ඇති අයට කියන නම් භාවිත කිරීමත් මේ යටතට අයත් වෙනව.

2. නාමයෙන් අක්‍රෝශ කිරීම.

ලෝකයේ ඒ ඒ ප්‍රදේශවල උසස් කොට සලකන පහත් කොට සලකන නොයෙක් ආකාරයෙ නම් තියනවනෙ. පහත් යයි සම්මත නමක් ති‍යන කෙනෙකුට නිග්‍රහ කරන්න පහත් නම් ගෙන කතා කිරීමත් උසස් කොට සලකන නම් තියන කෙනෙකුට නිග්‍රහ කරන්න පහත් නමක් කීමත් පහත් නම් ඇති අයෙකුට නිග්‍රහ කරන්න උසස් නමක් ගෙන කතා කිරීමත් මෙයට අයත් වෙනව.

3. ගෝත්‍රයෙන් අක්‍රෝශ කිරීම.

ගෝත්‍ර කියල කියන්නෙ ඒ ඒ ජාතිවල අයට වෙන් වෙන් වූ නම් වලින් ඇති පරම්පරාවන්. පහත් යයි සම්මත ගෝත්‍රයක කෙනෙකුට නිග්‍රහ කරන්න එම ගෝත්‍රයේ නාමය ගෙන කතා කිරීමත් උසස් යයි සම්මත ගෝත්‍රයේ කෙනෙකුට නින්දා කරන්න පහත් ගෝත්‍ර නාමයක් අරගෙන කතා කිරීමත් පහත් ගෝත්‍රයේ කෙනෙකුට ඉහල ගෝත්‍රයේ නම් ගෙන කතා කිරීමත් මෙයින් අදහස් කරනව.

4. කර්මාන්තයෙන් අක්‍රෝශ කිරීම.

ඒ ඒ රටවල් වල උසස් කොට සලකන කර්මාන්ත තියනව පහත් කොට සලකන කර්මාන්ත තියනව. කසළ ඉවත් කරන වැසිකිළි සුද්ද කරන වැනි කර්මාන්ත කරන කෙනෙකුට අවමන් කරන්න ඒවා ගැන සඳහන් කරමින් කතා කිරීමත් වෙළඳාම් ගොවිකම් වැනි උසස් කර්මාන්ත කරන් අයට පහත් කර්මාන්ත කරන අයගේ නමින් කතා කිරීමත් පහත් කර්මාන්ත කරන අයෙකුට අවමන් කරන්න උසස් කර්මාන්තයක් ගෙන කතා කිරීම මෙයට අයත් වෙනව.

5. ශිල්පයෙන් අක්‍රෝශ කිරීම.

වලන් හැදීම වට්ටි පෙට්ටි විවීම වගේ පහත් යයි සම්මත ශිල්පයකින් ජීවත් වන කෙනෙකුට නින්දා කරන්න එම ශිල්පයන්ට අයත් නමින්ම කතා කිරීමත්. උසස් යයි සම්මත ශිල්පයන් කරන අයට අවමන් කරන්න පහත් ශිල්පයන්ට අයිති නම් වලින් කතා කිරීමත් පහත් ශිල්ප කරන අයට උසස් ශිල්ප කරන අයට භාවිතා කරන දොස්තරයා ඉංජිනේරැවා වැනි වදන් භාවිත කිරීමත් මෙයින් අදහස් කරනව.

6. ආබාධයෙන් අක්‍රෝශ කිරීම.

යම් කිසි අබාධයක් ඇති කෙනෙකුට නින්දා කරන්න කබරයා, ලාඳුරැවා, බීරා, තට්ටයා වැනි වචන වලින් කතා කිරීමත් එවැනි අබාධ නැති අයට අපහාස කිරීමට එම වචන යොදා ගැනීමත් මෙයට අයත් වෙනව.

7. ලිංගයෙන් අක්‍රෝශ කිරීම.

කල්ලා, රත්තා, සුද්දා, මිට්ටා, බඩා, තඩියා, නපුංසකයා වශයෙන් ශරීරආකාරයන් ගෙන අනුන්ට අපහාස කිරීම මෙයට අයත් වෙනව

8. ක්ලේශයෙන් අක්‍රෝශ කිරීම.

පෙරේතය, මසුරා, හිවලා, සල්ලාලය යකා ගොනා යන නම් වලින් ඒ තැනැත්තාගේ කෙලෙස් ගැන නැතහොත් ගති ගුණ ගැන සඳහන් කරමින් නින්දා කිරීම මේ යටතට වැටෙනව.

9. ආපත්තියෙන් අක්‍රෝශ කිරීම.

කරපු හරි නොකරපු හරි වරදක් අල්ලගෙන නින්දා කිරීම මෙහිදී විස්තර කරනව.

10. ආක්‍රෝශයෙන් ආක්‍රෝශ කිරීම.

ලෝකයේ අනුන්ට රිදවීමට අපහාස කිරීමට පොදුවෙ කියන නොයෙක් වචන තියනවනෙ බූරැව, බල්ල ගෙන් පටන් අරගෙන මවගෙ නිමිත්ත දක්වා යන. එක එක කාලෙට වෙනස් වෙන වචනත් තියනව. ඉතින් ඒවගේ දේවල් කියල කෙනෙකුගෙ හිත රිද්දන එක තමා මෙහිදී අදහස් කරල තියෙන්නෙ. ඒව මෙතන කියන්න බැහැ දන්නෝ දනිති නෙ.


පරැෂ වච‍නයේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය හෙවත් අකුසල් වල කුඩා විශාල බව.

ගුණවත් අයට පරුෂ චනයෙන් බැණ වැදීමෙන් විශාල අකුසලයක් කරගන්න පුළුවන්. ගුණයෙන් හීන අයට බැණ්නට එච්චර අකුසල් සිදුවෙන්නෙ නැහැ. ගුණයෙන් තමා හා සම වුන අයට බණින කොට හරි නින්දා කරනකොට හරි තමන්තුල කේන්තිය වැඩි නම් විශාල අකුසලයක් සිදුවෙනව. කේන්තිය අඩුනම් අකුසල් අඩුයි. සිදුවන විපාක මුසාවාද අකුසලයේ විපාකයන්ට සමානයි.

බොරු කීමේ විපාක

‍මෙලොවදී බොරු  කියන අය නොයෙක් විදිහෙ නින්දාවලට ලක්වෙනව. කියන දේවල් කවුරැවත් විශ්වාස කරන්නෙ නැති ගනන් ගන්නෙ නැති බවට පත්වෙනව. සමහර අවස්ථාවලදි නොයෙක් දඬුවම් වලට ලක්වෙනව. මරණින් මතු නර‍කයේ ඉපිද නොයෙක් දුක් වලට මුහුණ දෙන්න වෙනව. ප්‍රේත ආත්ම වල ඉපදී නොයෙක් දුක් කම් කටොළු වලට මුහුණ දෙන්න සිදුවෙනව. නැවත මිනිස් ආත්මයක් ලබා ගත්තත් නොකළ වරදවල් වලට අහුවෙලා නින්දා ලබනව, දඬුවම් ලබනව. ගොළු බවට පත්වෙනව. කට ගඳ ගහන්න ගන්නව. අශෝභන දත් ඇති කට විරෑප වූවන් බවට පත්වෙනව. නොයෙක් මුඛ රෝගවලින් දුක් විඳින්න සිදුවෙනව. අමිහිරි කට හඬ ඇති අය බවට පත්වෙනව. දරැවන් නැති අය බවට පත් වෙනව. උපන් දරැවෝත් අකීකරැ දරැවන් බවට පත්වී දුක් ගෙන දීමට සමත් වෙනව.

ව්‍යාපාදය

අන්‍යයන් විනාශවේවා යයි සිතීම ව්‍යාපාදය කියල හඳුන්වනව. මේක බොහෝ වෙලාවට ඊෂ්‍යාවත් එක්ක ඇතිවන අකුසලයක්. තවකෙනෙක් මිය ගියහම එයාගෙ දේපල වස්තුව තමාට ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් එම පුද්ගලයා විනාශවේවා කියල හිතන අය ඉන්නව. එහෙම හිතන කෙනාගෙ ව්‍යපාදය ඇතිවෙන්නෙ ලෝභය හින්ද. සමහර අවස්ථාවල තමන්ට කරදර කරන අය නැසෙත්වා කියල හිතන අය ඉන්නව ඒහෙම හිතන්නෙ ද්වේශය හින්දයි.

ව්‍යාපාදය සිදුවෙන්න නම් කරැණු දෙකක් සම්පූර්ණ වෙන්න ඕනෙ.

1. විනාශ විය යුතු සත්වයකු ‍සිටිම පළමුවැන්නයි.
2. එම සත්වයා විනාශවිය යුතු බව සිතීම දෙවැන්නයි

යම්කිසි කෙනෙක් ගැන කේන්තියක් ඇතිවුන පමණින් ව්‍යාපාද අකුසලය සිදු වනේනෙ නැහැ. ඒත් ඒ තැනැත්තා විනාශ වේවා කියල හිතුවොත් නම් ව්‍යාපාදය සිදුවෙනව. ඒකෙන් කියන්නෙ "අනේ මේක හිටියට වඩා හොඳයි මැරිල ගියානම්" , " ඕකව පණ පිටින් ඉතුරැ කරන්න වටින්නෙ නහැ" ," කරපු අපරාදෙට හෙන හතම ගහන්න ඕනෙ" වගේ අදහස් පහළවීම මෙම අකුසලයට අයත් වෙනව කියන එකයි. 

මෙම අකුසලයේ කුඩා විශාල බව සහ විපාක ලැබී‍ම පරැෂ වචනවලදී සඳහන් කරන ලද දේවල් වලටම සමානයි. ව්‍යාපාදයෙන් වැලකෙන්න නම් සියළු සත්‍වයින් කෙරෙහි මෛත්‍රියෙන් සිටිය යුතුයි.

No comments:

Post a Comment