Tuesday, February 26, 2013

නිවන වචනයෙන් පැවසිය හැකි නොවේ. කිසියම් අයකු අපට ද නිවන් අවබෝධ කරගැනීමට හැකිවන අයුරින් නිවන අර්ථ දක්‌වන්නේ නම් ඒ පිනම නිවන් දැකීමට ප්‍රමාණවත් වන්නේ යෑයි සිතමි. බුදුන් වහන්සේ නිවන යනු මේ යෑයි පවසා ඇත්තේ කිනම් සූත්‍රයකද?


නිවන කියල කියන්නේ නැවත ඉපදීමක් නැති වීමයි. සංස්කාර සියල්ල නිරුද්ධ වී යාමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපුර්ණ වශයෙන් වැඩීමෙන් මෙම තත්වයට පත්වෙනවා. නිවන යනු තැනක් හෝ දෙයක් නොවෙයි. අවබෝධය දියුණු කිරීමෙන් පත්වන තත්වයක්. අරහත් ඵලය සාක්ෂාත් කරනවා කියන්නේ නිවන් දකිනවා කියන එකයි. අරහත් ඵලය සාක්ෂාත් කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ ගැන බුදුන් වහන්සේ තමන් වහන්සේගේ පළමු සුත්‍ර දේශනාවෙන්ම කියල දුන්න. ධම්ම චක්ක පවත්තන සුත්‍රය බලන්න.


ධම්මචක්කපවත්තන සූත්‍රය
-------------------------------
‘එ‘එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා

චක්ඛු කරණී ඤාණ කරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති’

ධම්මචක්කපවත්තන සූත්‍රය බුදුරදුන්ගේ ප්‍රථම ධර්ම දේශනාවයි. බුද්ධ ධර්මයේ ස්වභාවය හදවත බඳු මෙම සූත්‍රය ඇසළ පෝදා ඉසිපතන මිගදායේ දී දේශනා කරනු ලැබුවේ පංච වග්ගිය භික්‍ෂූන් උදෙසාය. මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව දී දේශනා කරන ලද සූත්‍ර රැසක් අතරට මෙය ද ඇතුළත් වේ.

ධම්මචක්කපවත්තන සූත්‍රය වැදගත් වන්නේ එහි ආර්ය මාර්ගයේ ප්‍රතිපදාව ලොවට හෙළි කර තිබීම නිසාය. සිද්ධාර්ථ කුමරු තවුස් දම් පුරණ කාලයේ ශරීරයට දැඩි සේ දුක් දෙමින් විමුක්තිය සෙවීය. පංච ඉන්ද්‍රිය පිනවමින් කුමාර ජීවිතය ගත කළේය. රම්‍ය, සුරම්‍ය, සුභ නමින් වූ මාළිගාවල අනේක සැප වින්දනය කළේය. මේ එක ක්‍රමයක්වත් විමුක්ති මාර්ගය නොවන බව තමන් අවබෝධ කර ගත්තේය. ආළාර කාලාම, උද්දකරාම පුත්ත වැනි ධ්‍යාන ලාභී තවුසන් වෙත ගමන් කළේද විමුක්තිය සොයා ගනු පිණිසය. එකම බර සංසාර බර පමණි. මේ සංසාර බරෙන් මිදීමට අන්තවාදී පිළිවෙත් නිසි මග නොවන බව එතුමෝ අවබෝධ කර ගත්හ.

ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් අන්දමට අන්තවාදී ප්‍රතිපදා දෙකකි.

1. කාම සුඛල්ලිකානු යෝගය

2. අත්තකිලමථානු යෝගය

මේ අන්ත දෙක අධික සැප, අධික දුක අතර දෝළනය වන්නකි. මේ අන්ත දෙකම පෘථග්ජනයන් විසින් සෙවුනාලද, හීනවූ, ග්‍රාම්‍ය වූ, අනාර්ය වූ, අනර්ථය පිණිස පවතින බව (හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනර්ථ සංහිතො) සිදුහත් කුමරු පසක් කර ගත්හ.

බෝධි මූලයේ තමන් අවබෝධ කර ගත්තේ ආර්ය පර්යේෂණ ක්‍රමයයි. ආර්ය පිළිවෙත උතුම් පිළිවෙත අනුගමනය කිරීමත්, ආර්ය නොවන ග්‍රාම්‍ය වූ කෙළෙස් වැඩෙන අනාර්ය පර්යේෂණයෙන් ඈත් වීමටත් ගෞතම බුදුරදුන් ගේ් පිළිවෙත හේතු වාසනා විය.

අන්ත දෙකෙන් ඉවත්වන විට එහි පවතින්නේ මධ්‍යස්ථ භාවයකි. සැබැවින්ම තථාගතයන් අවබෝධ කර ගත් දහම එතෙක් කිසිවෙකුනුත් අවබෝධ කර නොගත් (පුබ්බේ අනනුස්සුතෙසු ධම්මෙසු) මධ්‍යම ප්‍රතිපදාව වූ බව (මජ්ඣිමා පටිපදා) සිද්ධාර්ථ ගෞතමයාණෝ වදාළ සේක. මෙම නවදහම ස්වාධීන දහමකි. ;නත් පාදන (චක්ඛු කරණ) නුවණ ප්‍රඥාව අවධිකරණ (ඤාණ කරණි) ශාන්තිය සැනසීම පවතින (උපසමාය) අවබෝධය නිර්වාණාධිගමය පිණිස පවතින (උපසමාය අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය) පවතින බව වදාළහ.

ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් මධ්‍යම ප්‍රතිපදාව ගමන් කළ යුතු අනුගමනය කළ යුතු පිළිවෙතක් පමණි. එහි බැහැර කළ යුතු කිසිම දෙයක් නොමැත. මුළු මහත් බුදු දහමේ ජීවන දර්ශනය එහි අන්තර්ගත වේ. ඒ තුළ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාව අන්තර්ග්‍රහණය වේ. ප්‍රඥාව අවධි කරවා, සීලාදි පිළිවෙතෙහි පිහිටා කායික, මානසික, සමාධිය එනම් චිත්ත සමාධිය දක්වා පරිපූර්ණ මාවතක් ඒ තුළ අන්තර්ගතව පවතී.

සම්මා දිට්ඨි

සම්මා සංකප්ප – ප්‍රඥා

සම්මා වාචා

සම්මා කම්මන්ත

සම්මා ආජීව - සීල

සම්මා වායාම

සම්මා සති

සම්මා සමාධි - සමාධි

බෞද්ධ ජීවන මාවත සහ සසරින් මිදීමට කැමැති පුද්ගලයා ගමන් කළ යුතු මාවත මෙම උතුම් අංග තුළ ඇතුළත වේ. මෙම ක්‍රමය අපට අවබෝධ කර ගැනීමට නිසි මාවත පෙන්වා දී ඇත්තේ ලෝකයේ පැවැත්ම අවබෝධ කර ගැනීම තුළිනි. ආර්ය මාවත එළි පෙහෙළි කරදීමෙන් අනතුරුව විශ්වයේ සංසාරයේ ස්වභාවය, කවරේදැයි බුදු හිමියෝ දේශනා කරති. එනම් එදා ගයා තීර්ථයේ මහාබෝධි වෘක්‍ෂ මූලයේදී තමන් තම නුවණින් අවබෝධ කර ගත් ආර්ය සත්‍ය ධර්මය තුළිනි. එය චතුරාර්ය සත්‍ය ලෙස හැඳින්වෙන අතර ඒ නිසාම ‘බුද්ධ’ නම් වූ බව ද දත යුතුය.

බුදු දහමේ හදවත හරය දාර්ශනික සිද්ධාන්ත අතර අග්‍රස්ථානයක ලා සැලකෙන සම්බුදු පදවිය සඳහා සුදුසුකම් ලද ආර්ය සත්‍ය සතර මෙසේය.

1. දුක්ඛ ආර්ය සත්‍ය

2. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය

3. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය

4. දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍ය

ඉපදීම දුකකි. ජරාවට පත් වීම ලෙඩ රෝග වැලදීම දුකකි. මරණය ද දුකකි. කැමැති දේ නොලැබීම ප්‍රියයන්ගෙන් වෙන් වීම අපි‍්‍රයයන් සමග එකතු වීම ද දුකකි. පංච උපාදානාස්ඛන්ධය ආශ්‍රිත සියල්ල දුකකි.

දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාව වේ. දුක්ඛ සමුදය ලෙස එය හැඳින්වේ. දුක්ඛ දුක්ඛ (සාමාන්‍ය දුක) විපරිණාම දුක්ඛ (වෙනස් වීම නිසා) සංසාර දුක්ඛ යනුවෙන් දුක තෙවදෑරුම් තලයක ගමන් කරයි. මෙම දුක කවර ආකාරයෙන් හටගත්තත් ඊට හේතුව තණ්හාව බව පැහැදිලිය.

1. කාම තණ්හා

2. භව තණ්හා

3. විභව තණ්හා වශයෙන් තෘෂ්ණාව තෙවදෑරුම් වේ.

පංච ඉන්ද්‍රියන් පිනවමින් කාම වස්තු සමග ගැටෙමින් ජීවත්වීම කාම තණ්හාවයි. භවයේ සදාකාලිකව ජීවත්වීමට ඇති ආශාව භව තණ්හාවයි. භවයෙන් වෙන්වීමට ඇති ආශාව විභව තණ්හාවයි. දෙවන තෙවන අංග ශාස්වත වාදය හා උච්ඡේද වාදය නියෝජනය කරයි.

ධම්මචක්කපවත්වන සූත්‍රයේ පෙන්වා දී තිබෙන්නේ ‘යමක් අනිත්‍ය ද එය දුකක්’ බවකි. එපමණක් නොව එම ආකල්පය වැඩි දුරටත් සංවර්ධනය කර මින් පවසන්නේ යම් කිසදි ධර්මතාවයක් හට ගත්තේ ද ඒ සියල්ල නිරුද්ධ වන බවයි.

යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං යනුවෙන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඒ බව අවධාරණය කරයි.

දුක නැති කිරීම නම් නිවරනයි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යනු එයයි. තෘෂ්ණාව ක්‍ෂය කිරීම විරාගය නිරෝධය නිර්වාණය බව පෙන්වා දී ඇත. නිවන ශාක්‍ෂාත් කළ යුතු අසංඛත ධර්මයකි. එය අපේ විස්තරයට සමානව නිර්වාණය සිද්ධාර්ථ කුමරු අවබෝධ කර ගත් පරම සත්‍ය වේ. මෙම පරම සත්‍යයට ලංවිය. බුදු සමයේ විමුක්ති සාධනය පරම නිෂ්ටාව නිවන වේ. එය අධ්‍යාත්මික විමුක්ති ලෝකයයි. බුදු දහමේ පරම නිෂ්ටාව ශාක්‍ෂාත් කර ගැනීම මුල් විසි වසරේ ප්‍රධාන කාර්ය භාරය විය. මෙම යුගය ප්‍රථම අභිසම්බෝධි යුගය ලෙස සළකා ඇත. බුදුරදුන් තම ශ්‍රාවක පිරිස් සම්බන්ධයෙන් වඩාත් සතුටට පත් වූයේ මෙම මුල් යුගය තුළ දී බවත්, එයට හේතුව වැඩිම පිරිසක් නිර්වාණාධිගමයට පත්වූයේ එම යුගයේ බවත් මජ්ඣිම නිකායේ කකචූපම සූත්‍රයේ සඳහන් වේ.

ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ගමන් ගන්නා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන ගිහි පැවිදි ශ්‍රාවකයා අවසානයේ සිත සමාධිගත බවට (සම්මා සමාධි) පත් කර ගනියි. එහි අවසාන ඵලය සම්මා ඥානය පහළ වීමයි. යථාභූත ඥානය හෝ ඇත්ත ඇති සැටියෙන් දැකීම සම්මා ඥාන නම් වේ. ඉන් පසු පරම විමුක්තිය නිවන (සම්මා විමුක්ති) පසක් කර ගනියි.

සම්මා විමුක්තිය ලැබූ පුද්ගලයා සසර ගමන නිම කළ සංසාර බර බහා තැබූ අභිමතාර්ථ සාධනය ඉෂ්ට කරගත් පුද්ගලයෙකු බවට පත් වේ. ඒ පුද්ගලයා බෞද්ධ ආර්ය විනයේ දී හඳුන්වනු ලබන්නේ් සව් කෙළෙසුන් නැසූ (අරහං ඛිණාසවො) අයෙකු ලෙසය.

ධම්මචක්කපවත්තන සූත්‍රය හෙළි කරන මාවත නිවැරැදි මාවත වේ. එය සෘජුය. මැනවින් අර්ථවත් වූ ධර්ම මාවත බව ඉතා පැහැදිලිය.

Wednesday, January 30, 2013

අවිද්‍යාව සහ අසත්පුරුෂ ආශ්‍රය අතර සම්බන්ධය


අවිද්‍යාව සහ අසත්පුරුෂ ආශ්‍රය අතර සම්බන්ධය 

  • අවිද්‍යව පවතින්නෙ ආහාරයක් මත. ආශ්‍රව හටගැනිමෙන් අවිද්‍යව හටගනී.
  • අවිද්‍යාව  - පංචනීවරණ නැමති ආහාරයෙන් පොෂණයවේ. 
    පංචනීවරණ  කියන්නේ නිවන ආවරණය කරන (නිවන් මග පාදාගැනීමට නොහැකිවනසේ අපව වලක්වන ) අපේ සිතේම හටගන්නා කරුණු 5ක්. එනම්, කමච්චන්දය  (කාමයන්ට ඇති ආසාව), ව්‍යාපාදය ( තරහව - ද්වේශය ) , ථිනමිද්දය ( අලසබව ) , උද්දච්ච කුක්කුච්ච ( සිතේ ඇතිවන නොසන්සුන් ගතිය සහ කැළඹිලි ස්වභාවය ), විචිකිච්චා ( ඒ කියන්නේ සැකය. බුද්ධාදී කාරණා 8ක් ගැන ඇතිවන සැකය )
     
  • පංච නීවරණය ත්‍රිවිද දුෂ්චරිතය නැමති ආහාරයෙන් පොෂණය වේ.
    1. කාය දුෂ්චරිතය - කයෙන් කරණ අයහපත්දේ. (සොරකම, සතූන් ගාතනය, කාමය වරදවා හැසිරිම. මත්පැන්බිම)
    2. මනෝ දුෂ්චරිතය - මනසින් කරණ අයහපත්දේ. (අන්සතූන්ගේදේට කරන ආසාව, තරහා, මිත්‍යද්‍යුෂ්ටිය.)
    3. වචි දුෂ්චරිතය - වචනයෙන් කරණ අයහපත්දේ. (බොරුකිම, කෙලම, පරුස වචනකීම, හිස්වචනකීම)
  • ත්‍රිවිද දුෂ්චරිතය, ඉන්ද්‍රිය අසන්වරකම නැමති ආහාරයෙන් පොෂණයවේ. 
    (ඉන්ද්‍රිය අසන්වරකම යනු ඇසෙන් රුපය බලා තමන්ගේ හිතේ ඇලිම් හා ගැටිම් ඇතිකරණ නිමිති ගනි, නසයෙන්, කනෙන්, දිවෙන්, කයින් සහ මනසින්ද මෙය කරයි. මෙය සිත කලබයි. දෙවනුව කැලබුනු පැත්තට ඇදි යයි.)
  • ඉන්ද්‍රිය අසන්වරකම සිහිය නැතිකම සහ නුවනත් නැති කම, ( අසිහිය ) නැමති ආහාරයෙන් පොෂණයවේ.
    ඒ කියන්නේ හොඳට හිතල බලන්න සිහියයි, නුවණයි නැතිඋනාම නේද අපිට ඉන්ද්‍රිය අසංවර වෙනකොට නැවත සංවර කරගන්න බැරිවෙන්නේ. සිහියයි නුවණයි තියෙන කෙනා ඉන්ද්‍රිය සංවර කරගන්න වීර්ය කරනවා.
  • සිහිය නැති කම සහ නුවනත් නැති කම, අයොනිසො මනසිකාරය නැමති ආහාරයෙන් පොෂණයවේ.
    අයෝනිසෝ මනසිකාරය කියන්නේ නුවන නැති ආකාරයට කල්පනා කිරීමයි. ( නුනුවනින් මෙනෙහි කිරීම කියන්නෙත් මේකමයි. )
  • අයොනිසො මනසිකාරය ශ්‍රද්ධාව නැතිකම නැමති ආහාරයෙන් පොෂණයවේ.
    ශ්‍රද්ධාව තියෙන කෙනා හැම වෙලාවේම ධර්මයට, බුද්ධ දේශනාවට අනුව කල්පනා කරනවා. එහෙම නැතිකෙනා කල්පනා කරන්නේ තමන්ගේ සිතේ ඇතිවෙන එක එක කෙලෙස් වලට අනුව.
  • ශ්‍රද්ධාව නැති කම, සද්ධර්මය නොවන දේ ඇසීමෙන් පෝෂණය වේ. 
    ඒ කියන්නේ ලෝභ, ද්වේශ, මෝහ මුල්වෙන එක එක කතා. සද්ධර්මයේ හැම වෙලාවේම කතා කරන්නේ අලෝභ, අද්වේශ, අමෝහ මුලික කරගෙනයිනේ. සද්ධර්ම නොවන දේවල් ඔස්සේ ඇදිල යන නිසා තමයි ශ්‍රද්ධාව නැති වෙන්නේ.
  • සද්ධර්ම නොවන දේ ඇසීම අසත්පුරුෂ ආශ්‍රයෙන් පෝෂණය වේ.
    ඒ කියන්නේ අසත්පුරුෂයෝ හැමවෙලාවෙම කතා කරන්නේ සද්ධර්ම නොවන දේවල්. දහම කතාකරන්නේ සත්පුරුෂයෝ, කල්‍යාණ මිත්‍රයෝ නේ. හොඳට හිතල බලන්න, ඔබ අසත්පුරුෂ යෝ ආශ්‍රය කරනකොට පස් පව්, දස අකුසල් ඔක්කොම කෙරෙනවා. ලෝභ, ද්වේශ, මෝහ ඔබතුල වැඩිවෙනවා. සද්ධර්මය නොවන දේවල් ඇහෙනවා. ඒ අනුව ඔබට ක්‍රියා කරන්නත් වෙනවා. අන්තිමේ මොකද වෙන්නේ? ඔබ තුල අවිද්‍යා මුලය පෝෂණය වෙනවා.
ඔන්න ඕක නිසා තමයි, බුදුන් වහන්සේ දේශන කලේ, ධර්ම මාර්ගයේ යන කෙනා ඉස්සෙල්ලම කරන්න ඕනේ අසත්පුරුෂ ආශ්‍රයෙන් බැහැර වීමයි.
  1. සත්පුරුෂ සංසේවනය ( ඒ කියන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුර ) කල්‍යාණ මිත්‍රය ගැන වෙනම ලිපියකින් කියන්න ඕනේ. ගොඩක් වෙලාවට කල්‍යාණ මිත්‍රය කවුද, මිත්‍ර ප්‍රතිරුපකයා කවුද කියල අද කාලේ හොයාගන්න ටිකක් අමාරුයි.  
  2. සද්ධර්ම ශ්‍රවනය 
  3. යෝනිසෝ මනසිකාරය
  4. ධම්මානුධම්ම ප්‍රතිපදාව.
ඔන්න ඔය කාරණා වලින් යුක්ත වෙනකොට අපිට පුළුවන් වෙනවා ධර්මයේ නියම ප්‍රතිඵල අත්දකින්න. 

තෙරුවන් සරණයි.

කරුණු උපුටා ගත්තේ:
අවිජ්ජා සුත්‍රය - අංගුත්තර නිකාය 

පරුෂ වචනය සහ ව්‍යාපාදය හඳුනාගනිමු !


අසන්නාවූ තැනැත්තාගේ සිත් රිදවන්නාවූ වචනය පරුෂ චනය වශයෙන් හඳුන්වනව. අංග තුනක් සම්පූර්ණ වීමෙන් මෙම අකුසලය සිදු වෙනව.

1. ආක්‍රෝශ කළ යුතු කෙනෙක් සිටිය යුතුයි
2. ක්‍රෝධ සහගත සිතක් ඇතිවිය යුතුයි
3. අන්‍යයන්ගේ සිත් රිදවන වචන කිව යුතුයි

ආක්‍රෝශ කරල සිත රිද්දන්න කෙනෙක් නැතිව සිත රිද්දන වචන තනියම කිව්වට පරුෂ චන කීමේ අකුසලය සිද්ධ වෙන්නෙ නැහැ. දුෂ්ට සිතින් නැතිනම් කෝපයෙන් තොරව පරුෂ චන කිව්වත් අකුසල් සිදුවෙන්නෙ නැහැ. ඒත් ‍එහෙම කියල යාළුවන්ට ආදරෙන් කුණු හරැප කියන්න යන්න එපා මොකද කෝපයෙන් තොරව කිව්වත් අහන කෙනා මොන මානසිකත්වයකින් ඒක අහනවද දන්නෙ නෑනෙ. සමහර විටක ඒක යාළුකම් නැතිවෙන්න හේතු වෙන්න පුළුවන්.

ආක්‍රෝශ කිරීමේ ආකාර දහය

අ‍ක්‍රෝශ කිරී‍මේ නැතහොත් නින්දා පරිභව කිරීමේ ආකාර දහයක් විනය පිටකයේ පාචිත්තිය පාළියේ සඳහන් වෙනව. අපි බලමු ඒව මොනවද කියල.

1. ජාතියෙන් අක්‍රෝශ කිරීම.

පහත්යයි සම්මත ජාති ඇති අයෙකුට අවමන් කරන්න රිදවන්න ඔහුගේ ජාතියේ නම ගෙන කතා කිරීමත්, උසස් යයි සම්මත ජාති ඇති අයෙකුට පහත් ජාතියක නමකින් කතා කිරීමත් පහත් ජාති ඇති කෙනාට අවමන් පිණිස උසස් ජාති ඇති අයට කියන නම් භාවිත කිරීමත් මේ යටතට අයත් වෙනව.

2. නාමයෙන් අක්‍රෝශ කිරීම.

ලෝකයේ ඒ ඒ ප්‍රදේශවල උසස් කොට සලකන පහත් කොට සලකන නොයෙක් ආකාරයෙ නම් තියනවනෙ. පහත් යයි සම්මත නමක් ති‍යන කෙනෙකුට නිග්‍රහ කරන්න පහත් නම් ගෙන කතා කිරීමත් උසස් කොට සලකන නම් තියන කෙනෙකුට නිග්‍රහ කරන්න පහත් නමක් කීමත් පහත් නම් ඇති අයෙකුට නිග්‍රහ කරන්න උසස් නමක් ගෙන කතා කිරීමත් මෙයට අයත් වෙනව.

3. ගෝත්‍රයෙන් අක්‍රෝශ කිරීම.

ගෝත්‍ර කියල කියන්නෙ ඒ ඒ ජාතිවල අයට වෙන් වෙන් වූ නම් වලින් ඇති පරම්පරාවන්. පහත් යයි සම්මත ගෝත්‍රයක කෙනෙකුට නිග්‍රහ කරන්න එම ගෝත්‍රයේ නාමය ගෙන කතා කිරීමත් උසස් යයි සම්මත ගෝත්‍රයේ කෙනෙකුට නින්දා කරන්න පහත් ගෝත්‍ර නාමයක් අරගෙන කතා කිරීමත් පහත් ගෝත්‍රයේ කෙනෙකුට ඉහල ගෝත්‍රයේ නම් ගෙන කතා කිරීමත් මෙයින් අදහස් කරනව.

4. කර්මාන්තයෙන් අක්‍රෝශ කිරීම.

ඒ ඒ රටවල් වල උසස් කොට සලකන කර්මාන්ත තියනව පහත් කොට සලකන කර්මාන්ත තියනව. කසළ ඉවත් කරන වැසිකිළි සුද්ද කරන වැනි කර්මාන්ත කරන කෙනෙකුට අවමන් කරන්න ඒවා ගැන සඳහන් කරමින් කතා කිරීමත් වෙළඳාම් ගොවිකම් වැනි උසස් කර්මාන්ත කරන් අයට පහත් කර්මාන්ත කරන අයගේ නමින් කතා කිරීමත් පහත් කර්මාන්ත කරන අයෙකුට අවමන් කරන්න උසස් කර්මාන්තයක් ගෙන කතා කිරීම මෙයට අයත් වෙනව.

5. ශිල්පයෙන් අක්‍රෝශ කිරීම.

වලන් හැදීම වට්ටි පෙට්ටි විවීම වගේ පහත් යයි සම්මත ශිල්පයකින් ජීවත් වන කෙනෙකුට නින්දා කරන්න එම ශිල්පයන්ට අයත් නමින්ම කතා කිරීමත්. උසස් යයි සම්මත ශිල්පයන් කරන අයට අවමන් කරන්න පහත් ශිල්පයන්ට අයිති නම් වලින් කතා කිරීමත් පහත් ශිල්ප කරන අයට උසස් ශිල්ප කරන අයට භාවිතා කරන දොස්තරයා ඉංජිනේරැවා වැනි වදන් භාවිත කිරීමත් මෙයින් අදහස් කරනව.

6. ආබාධයෙන් අක්‍රෝශ කිරීම.

යම් කිසි අබාධයක් ඇති කෙනෙකුට නින්දා කරන්න කබරයා, ලාඳුරැවා, බීරා, තට්ටයා වැනි වචන වලින් කතා කිරීමත් එවැනි අබාධ නැති අයට අපහාස කිරීමට එම වචන යොදා ගැනීමත් මෙයට අයත් වෙනව.

7. ලිංගයෙන් අක්‍රෝශ කිරීම.

කල්ලා, රත්තා, සුද්දා, මිට්ටා, බඩා, තඩියා, නපුංසකයා වශයෙන් ශරීරආකාරයන් ගෙන අනුන්ට අපහාස කිරීම මෙයට අයත් වෙනව

8. ක්ලේශයෙන් අක්‍රෝශ කිරීම.

පෙරේතය, මසුරා, හිවලා, සල්ලාලය යකා ගොනා යන නම් වලින් ඒ තැනැත්තාගේ කෙලෙස් ගැන නැතහොත් ගති ගුණ ගැන සඳහන් කරමින් නින්දා කිරීම මේ යටතට වැටෙනව.

9. ආපත්තියෙන් අක්‍රෝශ කිරීම.

කරපු හරි නොකරපු හරි වරදක් අල්ලගෙන නින්දා කිරීම මෙහිදී විස්තර කරනව.

10. ආක්‍රෝශයෙන් ආක්‍රෝශ කිරීම.

ලෝකයේ අනුන්ට රිදවීමට අපහාස කිරීමට පොදුවෙ කියන නොයෙක් වචන තියනවනෙ බූරැව, බල්ල ගෙන් පටන් අරගෙන මවගෙ නිමිත්ත දක්වා යන. එක එක කාලෙට වෙනස් වෙන වචනත් තියනව. ඉතින් ඒවගේ දේවල් කියල කෙනෙකුගෙ හිත රිද්දන එක තමා මෙහිදී අදහස් කරල තියෙන්නෙ. ඒව මෙතන කියන්න බැහැ දන්නෝ දනිති නෙ.


පරැෂ වච‍නයේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය හෙවත් අකුසල් වල කුඩා විශාල බව.

ගුණවත් අයට පරුෂ චනයෙන් බැණ වැදීමෙන් විශාල අකුසලයක් කරගන්න පුළුවන්. ගුණයෙන් හීන අයට බැණ්නට එච්චර අකුසල් සිදුවෙන්නෙ නැහැ. ගුණයෙන් තමා හා සම වුන අයට බණින කොට හරි නින්දා කරනකොට හරි තමන්තුල කේන්තිය වැඩි නම් විශාල අකුසලයක් සිදුවෙනව. කේන්තිය අඩුනම් අකුසල් අඩුයි. සිදුවන විපාක මුසාවාද අකුසලයේ විපාකයන්ට සමානයි.

බොරු කීමේ විපාක

‍මෙලොවදී බොරු  කියන අය නොයෙක් විදිහෙ නින්දාවලට ලක්වෙනව. කියන දේවල් කවුරැවත් විශ්වාස කරන්නෙ නැති ගනන් ගන්නෙ නැති බවට පත්වෙනව. සමහර අවස්ථාවලදි නොයෙක් දඬුවම් වලට ලක්වෙනව. මරණින් මතු නර‍කයේ ඉපිද නොයෙක් දුක් වලට මුහුණ දෙන්න වෙනව. ප්‍රේත ආත්ම වල ඉපදී නොයෙක් දුක් කම් කටොළු වලට මුහුණ දෙන්න සිදුවෙනව. නැවත මිනිස් ආත්මයක් ලබා ගත්තත් නොකළ වරදවල් වලට අහුවෙලා නින්දා ලබනව, දඬුවම් ලබනව. ගොළු බවට පත්වෙනව. කට ගඳ ගහන්න ගන්නව. අශෝභන දත් ඇති කට විරෑප වූවන් බවට පත්වෙනව. නොයෙක් මුඛ රෝගවලින් දුක් විඳින්න සිදුවෙනව. අමිහිරි කට හඬ ඇති අය බවට පත්වෙනව. දරැවන් නැති අය බවට පත් වෙනව. උපන් දරැවෝත් අකීකරැ දරැවන් බවට පත්වී දුක් ගෙන දීමට සමත් වෙනව.

ව්‍යාපාදය

අන්‍යයන් විනාශවේවා යයි සිතීම ව්‍යාපාදය කියල හඳුන්වනව. මේක බොහෝ වෙලාවට ඊෂ්‍යාවත් එක්ක ඇතිවන අකුසලයක්. තවකෙනෙක් මිය ගියහම එයාගෙ දේපල වස්තුව තමාට ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් එම පුද්ගලයා විනාශවේවා කියල හිතන අය ඉන්නව. එහෙම හිතන කෙනාගෙ ව්‍යපාදය ඇතිවෙන්නෙ ලෝභය හින්ද. සමහර අවස්ථාවල තමන්ට කරදර කරන අය නැසෙත්වා කියල හිතන අය ඉන්නව ඒහෙම හිතන්නෙ ද්වේශය හින්දයි.

ව්‍යාපාදය සිදුවෙන්න නම් කරැණු දෙකක් සම්පූර්ණ වෙන්න ඕනෙ.

1. විනාශ විය යුතු සත්වයකු ‍සිටිම පළමුවැන්නයි.
2. එම සත්වයා විනාශවිය යුතු බව සිතීම දෙවැන්නයි

යම්කිසි කෙනෙක් ගැන කේන්තියක් ඇතිවුන පමණින් ව්‍යාපාද අකුසලය සිදු වනේනෙ නැහැ. ඒත් ඒ තැනැත්තා විනාශ වේවා කියල හිතුවොත් නම් ව්‍යාපාදය සිදුවෙනව. ඒකෙන් කියන්නෙ "අනේ මේක හිටියට වඩා හොඳයි මැරිල ගියානම්" , " ඕකව පණ පිටින් ඉතුරැ කරන්න වටින්නෙ නහැ" ," කරපු අපරාදෙට හෙන හතම ගහන්න ඕනෙ" වගේ අදහස් පහළවීම මෙම අකුසලයට අයත් වෙනව කියන එකයි. 

මෙම අකුසලයේ කුඩා විශාල බව සහ විපාක ලැබී‍ම පරැෂ වචනවලදී සඳහන් කරන ලද දේවල් වලටම සමානයි. ව්‍යාපාදයෙන් වැලකෙන්න නම් සියළු සත්‍වයින් කෙරෙහි මෛත්‍රියෙන් සිටිය යුතුයි.

Wednesday, December 12, 2012

සියල්ල සිදුවන්නේ කර්මයෙන් ද ?

අද වර්තමාන ලෝකය දෙස බලන කළ මිනිසුන් අතරමං වී සිටින මාතෘකාවක් ලෙස මෙම මාතෘකාව දැකිය හැක. කර්මය යනු කුමක් දැයි නොදැනීමත් සමඟ කර්මය සමඟ බැඳුණු නොයෙක් වැකි අපි අතර පවතී. එනම් මේක අපේ කරුමය, පූරුවේ කරුමයක්, මේක අප ලබා උපන් හැටි ලෙස යම් කරදරයක් විපත්තියක් සිදු වු විට කර්මය සමඟ සසඳන මෙවැනි වැකි ප්‍රකාශ කරන්නට මිනිසුන් පුරුදු වී සිටිති. නමුත් ලෝකය දෙස බලද්දී කර්මය කුමක්දැයි වටහා ගත යුතු ය.

බුදු දහම අනුව කර්මය යනු චේතනාවයි. “චේතනාහං භික්ඛවේ කම්ම වදාමි” යනුවෙන් දක්වන පරිදි කර්ම යනු චේතනාව බව පෙන්වයි. “චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” සිතින් සිතා කයින්, වචනයෙන් මනසින් කර්ම සිදුකරයි. ඒ අනුව කර්මය කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම යැයි ත්‍රිවිධ ය. මෙම කර්ම සංකල්පයටම සමාන දණ්ඩ සංකල්පය ක්‍රි. පූ. 06 වැනි සියවසේ විසූ නිගණ්ඨනාථ පුත්තයන්ට ද තිබුණි. එනම් කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ යනුවෙනි. මෙහි දී බුදු දහම මනෝ මූලික දර්ශනයක් ලෙස (මනස මුල්වන) දැක්වෙන නිසාවෙන් මනසින් සිදුකරන කර්මලට මූලිකත්වය දී ඇත.


නිගණ්ඨනාථයන් මනස නොව කාය දණ්ඩය (කාය කර්මය) ප්‍රචලයැයි දක්වා ඇත. මෙහි දී බුදු දහම මනස පිළිබඳ වැඩි සැලකිල්ලකින් කටයුතු කරනුයේ යම් දෙයක ආරම්භයට පෙර එය මනසට යොමු වන බැවිනි. මෙලෙස ලෝකයෙහි ජීවත් වන බුද්ධිමත්ම සත්ත්වයා වන මිනිසා (මනං උස්සනීති මනුසෙසා) බුද්ධිමත් ධාරණ ශක්තිය ඇති සත්ත්වයකි. එම නිසා යමක් වටහා ගැනීමට සමත් ය.
බුදු දහම තුළ සියල්ල සිදු වන්නේ කර්මයෙන් ද යන පැනයට නිසි පිළිතුරක් ලබා දීමට කරුණු පහක් දක්වයි. එනම් නියාම ධර්ම පහකි. බුදු හිමියෝ නියාම ධර්ම පහ දේශනා කරනුයේ යථා තත්ත්වය ගෙනහැර පෑමට ය. එනම්,




01. උතු නියාම.
02. බීජ නියාම.
03. චිත්ත නියාම.
04. ධම්ම නියාම.
05. කම්ම නියාම යනුවෙනි.

මෙම කරුණු පහ සත්ත්වයා හා අවට පරිසරය ස්වභාවික දේ නිසා එදිනෙදා ජීවිතය ගැන කරුණු දක්වනු ලබයි.


උතු නියාම
උතු නියාම යනුවෙන් දක්වනුයේ පරිසරයේ වෙනස්කම් නිසා සත්ත්වයාට මුහුණ පෑමට සිදුවන දේ ය. මෙහි දී හේමන්ත, ගිම්හාන, වස්සාන යනුවෙන් ප්‍රධාන සෘතු තුනකි. මෙයින් සත්ත්වයාට සිදුවන වාසි හා අවාසි පිළිබඳ දක්වයි. ගිම්හාන යනු ග්‍රීස්මයයි. එනම් අධික ලෙස හිරු රශ්මිය වැටෙන කාලයයි. මේ නිසා පරිසරය තුළ ජලය හිඟ වීම, තද රශ්නය වැනි දේ ඇති වේ. එයින් සත්ත්වයාට බීමට ජලය හිඟ විය හැක. එමෙන්ම නොයෙක් ශාරීරික අපහසුතා ඇති විය හැක. නොයෙක් වසංගත රෝග වැනි දේ ද වැළඳිය හැක. ඉන්දියාව වැනි රටවලට මෙම ග්‍රීස්ම ය අධික ලෙස බලපාන රටකි. ලංකාවේ ද ඇතැම් ප්‍රදේශවලට මෙය බලපායි. මේ නිසා ඇතැම් විට මිනිසුන්ගේ වගා හානි, දේපළ හානි ආදිය සිදු වෙයි.
සමහර විට බීමට වතුර පවා නැති වීමෙන් සත්ත්වයන්ට මරණයට ද මුහුණ දීමට සිදුවෙයි. එහි දී යම් කෙනෙකු නොයක් කුසලකර්ම සිදුකර තිබුණ ද එය ද වැළකී යා හැක. එසේම වස්සානයක් යනු අධික ලෙස වැසි ලැබෙන සමයයි. අධික ලෙස වැසි ලැබීම නිසා ද ඉහත කී දුක්ඛදායක දේ සිදුවිය හැක. එනම් ගංවතුර ගැලීම්, නාය යෑම් ආදිය නිසා දේපළ , ජීවිත, වගා හානි, වසංගත රෝග වැළඳීම ආදිය සිදු වෙයි. එහි දී සත්ත්වයාට සිදුවන මෙම හානිය සත්ත්වයාගේ කර්ම නිසා නොව උතු නියාම ධර්මය නිසා සිදු වන්නකි. මෙම උතු නියාම ධර්ම නිසා සිදුවන විපත්ති කරදර ආදිය ඒ ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය නිසා නොව නියාම ධර්මයේ බලපෑම නිසා සිදු වන්නක් බව අවබෝධ කරගත යුතුය.


බීජ නියාම
බීජ නියාමය ලෙස හැඳින්වෙන්නේ ජීව විද්‍යාත්මක හේතුය. එනම් ශාක, බීජ, යෝනි ආදියට අනුව ශාක හා සත්ත්ව ජීවය හටගෙන වර්ධනය වීම මින් අදහස් කෙරේ. සත්ත්වයන්, මිනිසුන්, හරකුන්, කුරුල්ලන් ආදී වශයෙන් වෙනස් වන්නේ ද මෙම බීජ නියාමය නිසා ය. අඹ ඇටයකින් අඹ පැළයක් හට ගන්නේද කොස් ඇටයකින් කොස් පැළයක් හට ගන්නේද මෙම බීජ නියාමය නිසා ය. නැතිනම් කොස් ඇටයකින් වෙනත් පැළයක් හට ගත යුතුªය. නමුත් එය එලෙස නොවන්නේ ය.
සත්ත්වයන් ද ඒ ඒ සත්ත්ව වර්ගවලට අනුව ගති ලක්ෂණ ගනී. ලෝකයේ වෙසෙන මිනිසා නොයෙක් බෙඳීම් වලට ලක්ව ඇත. ශ්‍රී ලාංකික අය ශ්‍රී ලාංකික ලෙස ද ඉන්දියන් ඇමෙරිකන් ආදී වශයෙන් ඒ ඒ රටේ උපන් අය ඒ ඒ ජාතික ලෙස ද කුලමල ආගම් ආදී වශයෙන් ද බෙදී පවතී. නමුත් මෙම ලොව ඇති සියලු මිනිසුන් එකම බීජ නියාමකයකට අයත් සත්ත්වයෝ ය. එසේම දෙමාපියන්ගේ ආරේ ගති ලක්ෂණ රූප ස්වභාවය ඇතැම්විට දරුවන්ට ද ලැබේ. ඒ මෙම බීජ නියාමය නිසාය.


චිත්ත නියාම
චිත්ත යනු සිතයි. සිතේ ක්‍රියාකාරීත්වය අනුව සිදුවන නිසාම චිත්ත නියාම නම් වේ. අප සිත පිළිබඳ ධම්ම පදයෙහි චිත්ත වග්ගයෙහි ද බුදුහිමියෝ
“දූරංගමං එකවරං
අසරීරං ගුහාසංයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාරබන්ධනා”
(ධම්ම පදය චිත්ත වග්ගය)
දක්වන අන්දමට සිත දුරගමන් යයි තනිව හැසිරෙයි. ශරීරයක් නැත. අපගේ ශරීරය නැමැති ගුහාවෙහි වෙසෙයි. මෙලෙස ජීවත් වෙන සිත යම් කෙනෙකු දමනය කරයි ද ඔහු මාරබැම්මෙන් බිදෙයි. අපට අපගේ සිත දමනය කිරීමේ දී සමථ භාවනාව වඩා සිත සමාධියට පත් කළහැක. තවද ප්‍රථම, දූතිය, තනිය, චතුර්ථ ආදී ධ්‍යාන ද සෘද්ධිබල ආදිය ද ලැබිය හැක. ඒ අප අපගේ සිත යම් ක්‍රියාකාරීත්වයකට නතු කිරීමෙන් ලබන ප්‍රතිඵලයකි. මෙලෙස සිත වැඩීමෙන් ද නොවැඩීමෙන් ද ඒ ඒ සත්ත්වයන්ට සිදුවන වාසි හෝ අවාසි කර්මය නිසා නොව චිත්ත නියාමය නිසා සිදු වන්නකි.


ධම්ම නියාම
ධම්ම නියාමය නම් ලෝකයේ සදාතනික නොවෙනස්වන දහම් කරුණු ය. ලෝකයේ නොයෙක් කරුණු අතර අපට දක්නට හැකි කරුණු ලෙස උපන් සත්ත්වයා මරණයට පත්වීම, ඇතිවන සියල්ල නැති වීම, දිවා රාත්‍රිය ඇතිවීම ආදි කරුණු රැසක් ධම්ම නියාම ලෙස ගත හැකි ය.
ලොව යම් ආකාරයක සංස්කාර එකතුවක් වන්නේ නම් ඒ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය (අස්ථිර බව) ස්වභාව කොට ඇත්තේ ය. එනම් සත්ත්වයා, ගහකොළ, අප ගොඩනඟන ගෙවල් දොරවල් මෙන්ම අප කරන හොඳ නරක ද කුසල අකුසල ධර්මයන්ද සංස්කාර නම් වේ. මේ සියල්ල නැතිවීම් ස්වභාව කොට ඇත්තේ ය. (නිවන පමණක් අසංඛතය) උදයට හිරු පායන්නා සේම සවසට හිරු බැස යන්නේය. පෘථිවිය භ්‍රමණය වන්නේ ද පරිභ්‍රමණය වන්නේ ද මෙම ධම්ම නියාමය නිසා ය. ලොව ඓශ්චර්යය දේ සිදුවන විට පොළොව කම්පා වීම් ආදිය සිදු වන්නේ ද මෙම ධම්ම නියාමය නිසා ය.
ධම්මපදයෙහි අප්පමාද වග්ගයෙහි “නහි වෙරෙන වේරානි....” ගාථාව තුළ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් අවෛරයෙන් වෛරය සන්සිඳෙන බවත් මෙය පෙර සිට පැවැත එන ධර්මතාවයක් ලෙස දක්වයි. මෙලෙස ලෝක පාලක ධර්මතා ධර්ම නියාම නම් වේ.


කම්ම නියාම
කම්ම නම් සිදුකරන ක්‍රියාවෙහි විපාකය නිසා සිදුවන නියාමයි.


“කම්මා විපාකා වත්තන්ති
විපාකො කම්ම සම්භවො
තස්මා පුනබ්භවො හොති
ඒවං ලොකෙ පවත්තති”


කර්මයෙන් විපාකයත් විපාකයෙන් කර්මයත් හට ගනී. පුනර්භවය ඇති වීමෙන් ලෝකය පවතී යනුවෙන් මෙහි දී දක්වා ඇත. අප ඉහත දක්වන ලද නියාම ධර්ම සතරම බාහිර කරුණුය. නමුත් මෙය අපම කර අපම විපාක විඳින දෙයකි. අන් අය නිසා අප විපාක විඳින්නක් නොවේ. අප නිසාම අප විපාක විඳින්නකි. කර්මය සිදුකළ කල්හි (හොඳ හෝ නරක) එම විපාක විඳීමට සිදු වේ. එවිට ද නැවත කර්මය සිදු කරයි. මෙලෙස මේ ජීවිතයේ ම මෙන්ම මතු ආත්මයෙන්හි ද විපාක විඳින්නට සිදු වෙයි. එවිට විපාක විඳින අතරතුර කාලය තුළ ද නැවත කර්මය සිදු කරයි. මේ ආකාරයෙන් ලෝකය පවතින බව පැහැදිළි ය.


එනම් මේ කරුණු අනුව බලන කල අපට ජීවිතයක අත් විඳින්නට ලැබෙන සියල්ල කර්ම විපාක හෝ සියල්ල සිදු වන්නේ කර්මයෙන් ද යන ප්‍රශ්නයට පිළිතුරක් සැපයෙයි. “කර්ම” යනු ජීවිතය කොටස් පහකට බෙදෙන්නේ නම් එම පහෙන් එකක් ලෙස දැකිය හැක. පහෙන් එකක් වන කර්මය නම් අන් සියල්ල ස්වභාවික බලපෑමෙන් ලොව ස්වභාවය වැනි කරුණු පදනම් කරගෙන අත් විඳීන්නට ලැබෙන දේ වන්නේ ය.
එම නිසා ලොව යම් කෙනෙක් “සියල්ල සිදු වන්නේ කර්මයෙන් ය” යන මතයෙහි එළඹ සිටින්නේ නම් එම පුද්ගලයාට “සියල්ල කර්මය තුළින් සිදු නොවේය” යන මතය අවබෝධකර ගන්නට මෙම කරුණු ඉවහල් වේ.

උපුටාගැනීම :
නවදගල නාගිත හිමියන්ගේ දේශනාවක් ඇසුරින්. 

Tuesday, November 27, 2012

චර සූත‍්‍රය.


මේ දේශනාව සඳහන් වෙන්නේ ඛුද්දක නිකාය කියන උතුම් ග‍්‍රන්ථයේ පළවෙනි කොටසට. මේ දේශනාවේ නම චර සූත‍්‍රය. අපි බලමු මේ දේශනාව මගින් භාග්‍යවතුන් වහන්සේ කුමක්ද පෙන්වා දී තිබෙන පණිවිඩය කියල. මෙහි තිබෙනවා මේ විදිහට

“පින්වත් මහණෙනි, ඇවිදිමේන් සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්ට පුලූවනි. එවිට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඒක ඉවසනවා නම් (ඒ කියන්නේ ඒ හැඟීමට ඉඩ දීල ඉන්නවා නම් ), දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම් පින්වත් මහණෙනි, ඇවිදිමින් සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් නැති, පවට බයක් නැති, හැම තිස්සේ ම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනා කියල කියන්නේ”.

දැන් මෙතන භික්ෂුව කියල කිව්වාම, මේ ධර්මය භික්ෂුවට පමණක් නෙමේ අයිති. මේක උපාසක උපාසිකාවන්ටත් මේ ආකාරයමයි. දැන් මෙතන ඇවිදිමින් සිටින භික්ෂුවක් ගැන කියන්නේ. නමුත් ඇවිදිමින් සිටින උපාසක උපාසිකාවන්ටත් මේ ධර්මය අදාලයි. එතකොට ඇවිදිමින් සිටින උපසකයෙක් හෝ උපාසිකාවක් හෝ කාම ව්‍යාපද හෝ විහිංසා විතර්කයක් හට ගන්න කොට, අන්න ඒ උපාසක කෙනා හෝ උපාසිකාව හෝ ඒ විතර්කය ඉවසනව නම්, දුරුකරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, අන්න ඒ ඇවිදිමින් සිටින උපාසක උපාසිකාව කෙලෙස් තවන වීරියක් නැති, පවට බයක් නැති, හැම තිස්සේම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනෙක් බවට පත් වෙනවා.

ඊලගට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, “පින්වත් මහණෙනි, සිටගෙන සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හට ගන්ට පුලූවනි. එවිට ඒ භික්ෂුව එය ඉවසනවා නම්, දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, සිටගෙන සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් නැති, පවට බයක් නැති, හැම තිස්සේම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනා කියල කියන්නේ”.

එතකොට බලන්න අපිට කලින් කියා දුන්නේ ඇවිදිමින් සිටින කෙනෙක් ගැන. දැන් කියා දෙන්නේ සිටගෙන සිටින කෙනෙක් ගැන. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, “වාඩිවී සිටින භික්ෂුවකට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්ට පුලුවනි. එවිට පින්වත් මහණෙනි ඒ භික්ෂුව එය ඉවසනවා නම්, දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, වාඩි වී සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරිය නැති, පවට බයක් නැති, හැම තිස්සේම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනා කියල කියන්නේ. පින්වත් මහණෙනි, සැතපී සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්ට පුලූවනි. එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව එය ඉවසනවා නම්, දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, සැතපී සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් නැති පවට බයක් නැති හැම තිස්සේම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනා කියල කියන්නෙ”.

බලන්න එතකොට භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ කොහොමද? හිටගෙන ඉන්න කොට වේවා ඇවිදින කොට වේවා, නිදාගෙන ඉන්න කොට වේවා, වාඩිවෙලා ඉන්න කොට වේවා, යම් අකුසල විතර්කයක් එනවා නම්, ඒ අකුසල විතර්කය ඉවසනවා නම්, දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, අන්න ඒ කෙනාට කියනවා පවට බයක් නැති, කෙලෙස් තවන වීරියක් හැකි හැම තිස්සේම, කුසීතව වාසය කරන කෙනෙක්, හීන වීරියෙන් යුක්තව වාසය කරන කෙනෙක් කියල.

දැන් බලන්න අපිට තියන ලොකු ගැටලූවක් තමයි බණ භාවනා කරන්ට වෙලාවක් නෑ කියන එක. එක්කො ගෙදර දොරේ වැඩ කටයුතු බහුලයි. ඊලගට රාජකාරි ස්ථානවල කටයුතු බහුලයි. ඊලගට වෙනත් සමාජ සංවිධාන වල කටයුතු බහුලයි. ඥාතීන්ගේ කටයුතු බහුලයි. මේ ආකාර කටයුතුවලින් මේ අයගේ ජීවිත පිරිල. ඒ නිසා මේ අයට තියන ලොකුම ගැටලූව තමයි භාවනා කරන්ට වෙලාව නැතිකම. අන්න ඒ ගැටලූව හිස් දෙයක් කියල පෙන්වා දෙන්ටයි අපි කල්පනා කරන්නේ.

ඇත්තෙන්ම ගැටලූවක් තිබුනොත් තමයි එයට විසඳුමක් අපි දිය යුත්තේ. ගැටලූවක් නැතුව ගැටලූවක් තියනවා කියල හිතුවොත් කවදාවත් ඒකට විසඳුමක් නෑ. එතකොට අපි අසරණයි නේද? ගැටලූවක් තියනවා නම් එයට විසඳුමක් තියනවා. නමුත් ගැටලූවක් නැතුව තියෙද්දී ගැටලූවක් තියෙනවා කියල අපි සංකල්පයකට පත් වුනොත් ඒකට විසදුමක් නෑ. ඒ නිසා අපි ආරම්භයේදීම මේ මුල පිරිසුදු කරගන්ට ඕනැ. එසේ නොවුනොත් හැමදාම හිතෙනවා මට ප‍්‍රශ්නයක් තියනවා. මට ගැටලූවක් තියනවා කියල. දැන් අපි හිතමු වාඩිවෙලා ඉන්න කෙනෙක් හිතනවා මගේ කකුල් දෙක ගැට ගහල තියෙන්නේ කියල. එයා කවදාවත් නැගිටල යයිද? නෑ. ඇයි ඒ? ගැට ගහල තිබුන නම් ලිහාගන්ට පුළුවන්. දැන් ගැට ගහල නැතුව තියෙද්දී එයා හිතනවා ගැට ගහල කියල. කවදාවත් ලිහා ගන්ට බෑ. අන්න ඒ වගේ අපිට වෙලාව නෑ කියන අදහසේ ගිලිල ඉන්න තාක් එයින් ගැලවෙන්ට බෑ.

එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ඇවිදිමින් සිටින භික්ෂුවට වේවා, හිටගෙන සිටින භික්ෂුවට වේවා, වාඩිවෙලා සිටින භික්ෂුව වේවා, සැතපී සිටින භික්ෂුව වේවා, කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ ආවාම ඒව ඉවසන්නේ නැත්නම්, ඒව දුරුකරල දානවා නම්, ඒ අකුසල විතර්කය බැහැර කරල දානවා නම්, අභාවයට පත් කරල දානවා නම්, අන්න එබඳු භික්ෂුවක් කොහොම කෙනෙක්ද? කෙලෙස් තවන වීරියක් ඇති පවට බයක් ඇති පටන්ගත් වීරිය ඇති නිවන කරා මෙහෙය වූ සිත් ඇති කෙනා කියලයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ.

දැන් අපිට වෙලාව නැත්තේ මොකටද? වාඩිවෙලා භාවනා කරන්ට. වාඩිවෙලා පමණක් භාවනා කළ යුතුයි කියන අදහසේ සිටින තාක් තමයි මේ අර්බුදය අපිට එන්නේ නේද? දැන් බලන්න මේ දේශනාව තුලදී භාග්‍යවතුන් වහන්සේ අපිට කොහොමද පෙන්වා දෙන්නේ? ඇවිදින හෝ ඉඳගෙන ඉන්න හෝ සිටගෙන සිටින හෝ නිදාගෙන සිටින කෙනෙක් හෝ වේවා, කෙලෙස් තවන වීරිය ඇති, නිවනට යොමු වූ සිතින් යුක්ත කෙනාට පුලූවන්කම තියනවා නිවන් මග පාද ගන්න. ඇවිදිමන් සිටියත්, සිටගෙන සිටියත්, නිදාගෙන සිටියත්, ඉඳගෙන සිටියත් එයාට ඒ ඉන්න ඉරියව්ව කුමක්ද කියන එක වැදගත් නෑ. එයා තුළ හටගත් අකුසලය පිළිබඳව එයා කුමන ආකාරයෙන් ද කටයුතු කරන්නේ කියන දේ මතයි එයාගේ නිවන් මග පෑදෙනවද නැද්ද කියන කාරණාව තීරණය වෙන්නේ.

නමුත් අපි වාසය කරන්නේ අනේ මට වෙලාවක් නෑ කියන අදහසේ. බලන්න අපි වෙලාව නෑ කියල හිතුවට අපි ඇවිදිමේන් සිටින එක, සිටගෙන සිටින එක, නිදාගෙන සිටින එක, හිටගෙන ඉන්න එක මේ ඉරියව් හතර අපි පවත්වනවද නැද්ද? පවත්වනවානේ. මේ ඉරියව් හතරේ අපිට කොතරම් වැඩ තිබුනත් අපිට වැඩ වැඩියි කියල අපිට රාජකාරි බහුලයි කියල මේ කාම, ව්‍යාපාද, විහිංසා කියන අකුසල විතර්ක අපි පැත්තකින් තියල තියෙනවද? මට වැඩ වැඩියි ඒ නිසා මේ විතර්ක ටික පැත්තකින් තියනව කියල තියනවද? අපි ගෙදර දොර කටයුතු කරද්දී වුනත් රාජකාරි කටයුතු කරද්දි වුනත් මේ විතර්ක ටික අභ්‍යන්තරයේ වැඩකරනව නේද? එහෙනම් බලන්න අපි තෝර බේරගත යුතු විදිහ.

අපි එදිනෙදා කටයුතු කරද්දීම මේ විතර්ක පවතිනවා නම්, කටයුතු කරද්දීම මේ විතර්ක බැහැරකර ගැනීමේ රටාවත් අපට පුරුදු කර ගන්න පුලූවන්. ඒ සඳහා තියුණු නුවණක් ඇතිකර ගත්තොත් ඉවසීමෙන් යුක්තව මේ ක‍්‍රමවේදය අධ්‍යනය කරනවා. ඒ විදිහට මේ මාර්ගය තෝරාගත් කෙනා සතුටට පත් වෙනවද කනස්සල්ලට පත් වෙනවද? ඉතාම සතුටට පත් වෙනවා. එයා සොයමින් සිටි දේ මුණගැහුන. එතකොට එයා සොයමින් සිටිය දේ මුන ගැහුණයින් පස්සේ එයා කලබල වෙනවද ඉවසනවද? ඉවසනව.
ඒක මේ වගේ දෙයක් දක්ෂ සොල්දාදුවෙක් ඉන්නව. ඒ දක්ෂ සොල්දාදුවගේ අභිප‍්‍රාය මොකක්ද? යුදධය දිණීම. සතුරා නැසීම. ඒ අදහස තියන කෙනා මුලින් මොකක්ද කරන්නේ? යුද්ධය පුහුණු වෙනවා. සැලසුම් කර ගන්නවා. ඒ දෙක තමයි වැඩිකාලයක් යුද්ධයක තියෙන්නේ. යුද්දෙ තියෙන්නෙ ටිකයි. යුද්ධයට ගියාට පස්සේ දක්ෂ සොල්දාදුවා සතුරා දකිනවා. දැන් එයාට මොකද හිතෙන්නේ. එයාට ජයග‍්‍රහනයේ පෙරනිමිති පේනවා. ඇයි සොල්දාදුවගේ ඉලක්කය මොකක්ද? ජයග‍්‍රහණය. මොකක්ද ජයග‍්‍රහණය? සතුරා නැසීම. සතුරා දැක්කට පස්සේ එයාගෙ කකුල් ගැහෙන්නේ නෑ. එයාට ජයග‍්‍රහණය පේනවා. දැන් එයා මොකද කරන්නේ? පැනපු ගමන් සතුරාව අල්ලනවද? නෑ. ඉවසීමෙන් යුතුව එයා තුළ ඉවසීම හට ගන්නවා. එයා යුධ සැලැස්ම ක‍්‍රියාත්මක කරනවා.

කෙලෙස් යුද්ධය දිනන්න කැමති කෙනා දක්ෂ සොල්දාදුවෙක් වගේ වෙන්ට ඕනැ. එයාගෙ අභිප‍්‍රාය විය යුත්තේ කුමක්ද? කෙලෙස් යුද්ධය දිණීම. කෙලෙස් නැමැති සතුරා නසන්ට එයා ඉස්සර වෙලා පුරුදු වෙන්ට ඕනැ. කොහොමද පුරුදු වෙන්නේ? ධර්මය ඉගෙන ගන්ට ඕනැ. ධර්මය තේරුම් ගන්ටත් ඕනැ. ඊට පස්සේ තමයි එයා මේ කෙලෙස් යුද්ධය පටන් ගන්ට සූදානම් වන්නේ. එතකොට එයා තුළ දහම් දැනුම තියනවා. ඒ ධර්මය කොහොමද පුරුදු කරන්නේ කියන එක එයා ඉගෙන ගෙන තියෙන්නේ. දැන් එයා සතුරා සොයමින් වාසය කළ යුතුයි. යුද්ධෙ දිණන්න කැමති කෙනා සතුරා ඉන්න ඉසව්ව හොයාගන්ට අවශ්‍යයි. සතුරා කොහෙවත් ඉන්නකොට වෙන කොහේ හරි හොයල බෑ. එහෙම අයත් ඉන්නව. අපි එහෙම කළොත් අපිට කවදාවත් මේ යුද්ධෙ දිණන්න බෑ. අපිව දන්නෙම නැතුව කොටුවෙලා යනවා. දක්ෂ සොල්දාදුවෙක් වගේ වෙන්ට. දක්ෂ සොල්දාදුව සතුරා දැක්කම සතුටු වෙනවා.

හිටගෙන ඉන්නකොට වේවා, වාඩිවෙලා ඉන්නකොට වේවා, ඇවිදගෙන යනකොට වේවා, සැතපිී සිටිනකොට වේවා මේ කෙලෙස් යුද්ධයෙන් දිනන්ට කැමති කෙනා ඒ කෙලෙස් අඳුන ගැනීම පිණිස කල්පනා කළ යුතුයි. සිහි නුවණ උපදවාගෙන වාසය කළ යුතුයි. එතකොට එයා හිටගෙන ඉන්නකොට වේවා, ඇවිදිනකොට වේවා, වාඩිවෙලා ඉන්නකොට වේවා, සැතපිලා ඉන්නකොට වේවා, එයාගෙ හිතේ හට ගන්න ඒ කෙලෙස් එයාට අඳුන ගන්ට පුළුවන්කම එනවා. එතකොට ඒ විදිහට මේ කෙලෙස් දුරු කිරීම පිණිස උපන් වීරියෙන් යුක්ත කෙනෙක්, කෙලෙස් දුරු කිරීම පිණිස පටන්ගත් වීරියෙන් යුක්ත කෙනෙක්, නිවනට යොමුකළ සිතින් යුක්ත කෙනෙක් තුළ මේ අකුසල විතර්කයක් දැක්කොත් එයා ඒ විතර්කයට යට වෙන්නේ නෑ. එයා ඒ විතර්කය බැහැර කරන්ට කටයුතු කරනවා. නමුත් ඒ අකුසල විතර්කය අඳුනගන්ට පුළුවන් විදිහට එයා ඒ හිත සකස් කරගෙන නැත්නම්, අකුසල විතර්කයක් ආවම එයා ඒකට යට වෙනවා.
දැන් කාම විතර්කයක් ආවම ඒක අඳුනගෙන එය බැහැර කරන්ට ඕනැ කියක අදහසේ නැති කෙනා, ඒ විතර්කයට යට වෙනවා. එයාගෙ හිත හාත්පසින් වැහිල යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සීලය පළුදු වෙනවා. එයාගෙ පිරිසිදු ජීවිතය අපිරිසිදු බවට පත් වෙනවා. සීලය රැුක ගන්ට බැරුව යනවා. දැන් අපිට තේරුම් ගන්න පුළුවන් නේද අපිට තියන කාලය භාවිත කරලම එදිනෙදා කටයුතු කරද්දීම වුනත් මේ ධර්මය අපිට පුරුදු කරන්ට පුළුවන් කියල. මේ ධර්මය පුරුදු කිරීමේ හැකියාවක් තියනවා. මේ අකුසල විතර්ක අඳුරගෙන ඒ අකුසල විතර්ක බැහැර කිරීම පිණිස පුරුදු වෙන්ට ඕනැ. අන්න එහෙම පුරුදු වුනොත් අපි නිවනට යොමුවුන සිතින් යුතු අය බවට පත් වෙනවා. නමුත් බලන්න අපිට මේ වෙනකොට ඒ වගේ පුරුදු වෙන්ට බැරි නම් අකුසල විතර්කයක් ආවම හිත යට වෙනවා නම්, එය බැහැර කරන්ට අපිට සිහිය උපදවා ගන්ට බැරි නම්, අපේ හිත අකුසල විතර්කයෙන් පීඩාවට පත්වෙලා, හීන ස්වභාවයට පත් වෙලා යනව නම්, අපිරිසිදු භාවයට පත් වෙනවා නම්, අපි හොද මට්ටමක නෑ කියල තේරුම් ගන්ට ඕනැ.

අකුසල විතර්කයක් හිතට ආවහම ඒ එන අකුසල විතර්කය බැහැර කරගන්ට බැරි කොහොම කෙනාටද? කෙලෙස් තවන වීරිය නැත්නම්, පවට බය නැත්නම්, පටන්ගත් වීරිය නැත්නම්, ඊලගට කුසීතව වාසය කරනවා නම්, හීන වීරියෙන් යුක්ත නම් එයාට එන අකුසල විතර්කය බැහැර කරගන්ට බෑ. අඳුන ගන්ට බෑ. ඒකට යට වෙනවා. එයාගෙ ජීවිතය අපිරිසිදු දෙයක් බවට පත් වෙනවා.
සියලූ දෙනාට ම තෙරුවන් සරණයි!

පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ ගේ දේශනාවක් ඇසුරිනි

Friday, November 23, 2012

මේ ලෝකේ දුක විතරමද තියෙන්නේ? සැපක් ඇත්තෙම නැත්ද?


එක්තරා ස්වාමින්වහන්සේ නමක් හුදෙකලාව ඉන්න කොට තරුණ සිටුකුමාරයෙක් ඇවිල්ලා අහනවා ස්වාමිනී ඇයි මේ තනිව ඉන්නේ ඔහොම ඉඳලා මොකද්ද ඔබවහන්සේ බලා පොරොත්තුවෙන්නේ හොයන සුවය කුමක්ද කියලා. ඊට පස්සේ අර ස්වාමින්වහන්සේ කියනවා සියල්ල දුකනේ ඒකයි මම මේ සේරම අතහැරලා හුදකලාව ඉන්නේ කියලා. පස්සේ අර සිටුකුමාරයා "සියල්ල දුකලු මේ පෙනි පෙනී තියෙන සැප නැහැ කියන්නෙ කොහොමද මුනදැටම් පිස්සු" කියලා ගියාලු යන්න.

පස්සේ මේක බුදුපියාණන්වහන්සේට සැලවෙලා අර ස්වාමින්වහන්සේගෙන් වෙච්ච කාරනේ ඇහුවාලු... ඊට පස්සේ වෙච්ච සිද්ධිය කිව්වාම බුදුපියාණන්වහන්සේ අර ස්වාමින්වහන්සේට කිව්වාලු ... "ඈ මෝඩයෝ කවුද නුඹට එහෙම බණක් කිව්වේ ... මම එහෙම සියල්ල දුකයි කියලා තියෙනවාද... සියල්ල දුක නම් ලෝක සත්වයා මේ සංසාරේ ඇලෙයි ද " කියලා අහලා කාරනේ විස්තර කර දුන්නලු..

සැපක් දිගටම විඳගෙන යනකොට ඒක දුකකට හැරෙනවා (ඕනම සැපක්). නමුත් දුක විඳගෙන යන කොට කවදාවත් සැපකට හැරෙන්නේ නැහැ.. ඒ හේතුව උඩ තමයි සියල්ල දුකක් කිව්වේ (සැපක් නැතුව නෙමෙයි) ..

උපමාවක් කියන්නම්. හිතන්න අපි කන්න ආසම කෑමක් දිගටම හැමදාම කනකොට ඒක එපාවෙනවා.. දකින කොටත් අප්පිරියයි... කතාවක් තියෙන්නේ කන්න කන්න අතිරහත් තිත්තයි කියලා.. නමුත් දුකක් විඳින කොට එහම නෙමෙයි... කෝටුපාරක් කන ලමයකුට ඒක දෙන්න දෙන්න දුකක් මයි එන්නේ කීයටවත් සැපක් වෙන්නේ නැහැ... 

බුදුදහම විස්තර කරන්න ගියාම ගොඩක් දෙනා බුදුබණ කියලා තම තමන්ගේ මත ප්‍රකාශ කරන්නේ .. ඒකයි සියල්ල දුකයි සියල්ල දුකයි කිය කිය ඉන්නේ .. අර ස්වාමින්වහන්සේ වගේ .... ඔය හේතුව උඩ තමයි ගොඩක් දෙනා බුදුදහම සෘණවාදි ආගමකියලා හංවඩු ගහන්න පෙලඹෙන්නෙ..

Saturday, November 3, 2012

දහම දැනීම සහ දහම දැකීම.


අද කාලයේ බොහෝ දෙනා බුදු දහම ගැන පැහැදෙමින්, ඒ වෙතට ආකර්ෂණය වෙමින් පවතී. නමුත් බොහෝ දෙනාගේ පැහැදීම සහ ආකර්ෂණය සෝඩා බෝතලයක් කැඩුවාක් මෙනි. මුලින් මුලින් බොහොම වේගයෙන් උනන්දුවෙන් කටයුතු කලත් ටික කලක් යනවිට ඔක්කොම උනන්දු නැතිවී කම්මැලි අලස නිදිමත ස්වභාවයකට පත්වේ. පරණ පුරුදු ක්‍රමයටම ආපසු කැරකි යයි. එවිට කලයුත්තේ කුමක්ද?

ධර්ම මාර්ගයේ වීර්යයෙන් ගමන් කිරීම තමයි මේ ලෝකයේ කරන්න අපහසුම දේ. අපි කාගේ කාගේත් උනන්දුව, උවමනාව, කැපකිරීම නැතිවෙන්නේ වෙන කාගේවත් වරදින් නෙමේ. අපි අපිම අතීත සසරේ කරගත්තු අකුසල් වල විපාක ඇවිත් අපිව කුසලයෙන් වළක්වනවා. විවිධ හේතු මතුකරලා දෙනවා. ධර්ම මාර්ගයේ යන්න උනන්දුව , උත්සාහය නැතිවෙන විදියේ විවිධ බාධක වලට මුහුණ දෙන්න වෙනවා. මෙහෙම වෙනකොට ඉස්සෙල්ලම කලයුත්තේ සිහිය පිහිටුවා ගැනීමයි. සිහියෙන් සිටින විට උනන්දුව, උත්සාහය අඩුවෙනකොට ඒ බව දැනගන්න පුළුවන්. එවිට නැවත එය වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. මේක හැමෝටම එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමේ. වැටි වැටි තමයි නැගිටින්නේ. වැටෙන වෙලාවට වැටුන බව දැනගන්න එකත් ලොකු දක්ෂ කමක්. එහෙම දැනගන්න පුළුවන් වෙන්නේ සිහියෙන් හිටියොත් පමණයි. සිහියෙන් සිටිනවා කියන්නේ තමන්ගේ ජිවිත පැවැත්ම ගැන හැම වෙලාවේම ධර්මනුකුලව විනිශ්චය කරමින් ඉන්න එකයි. එතකොට තම තමන් ධර්ම මාර්ගයෙන් පිට පනිනකොට තම තමන්ගේ සිහිය විසින් ඒ බව මතක් කරලා දෙනවා. තාවකාලිකව ප්‍රමාද දෝෂයකට ලක් උනත් ඉක්මනින් නැවත ධර්ම මාර්ගයට පිවිසෙන්න පුළුවන් වෙනවා. "සිහිය" ට පස්සේ අපිට ඊළඟට උදව්වට ඉන්නේ "නුවන" . ඒ කියන්නේ ධර්මඥානය. දහම කරුණු පිළිබඳව බාහිර වශයෙන් ඇතිකරගත් දැනුම. ඒ දැනුම නිසා අපිට නැවත ධර්ම මාර්ගය හඳුනා ගන්න පුළුවන් වෙනවා. නුවන මඳ කෙනා ධර්මය දන්නෙත් නෑ, අධර්මය දන්නෙත් නෑ. එයා පැටලී පැටලී යනවා මිසක් අවබෝධයක් දියුණු කරගන්නේ නෑ. 

ධර්මඥානය දියුණු කරගන්න නම් කලයුත්තේ එක එක අයගේ පුද්ගලික මති මතාන්තර වලින් බැහැර වී පිරිසිඳු බුද්ධ වචනය කියවීමයි. ඒ සඳහා මේ යුගයේ අපිට තියෙන එකම ක්‍රමය ත්‍රිපිටක ගත සුත්‍ර දේශනා කියවා හෝ අසා තේරුම් අරගෙන අවබෝධය පිණිස උනන්දු වීමයි.
එවිට අපිට බාහිර වශයෙන් ධර්ම ඥානයක් ඇතිකරගන්න පුළුවන්. හැබැයි එක යථාර්ථයක් වෙන්නේ ඒ දහම් කරුණු තම තමන්ගේ ජිවිත තුලට ගලපා ගැනීමෙනුයි. දහම දකින්න පුළුවන් වෙන්නේ එතකොටයි.
"සිහිය" සහ "නුවන" ට පස්සේ අපිට පිහිට වෙන අනිත් දෙය තමයි "වීර්ය" . අප තුල වීර්ය උපදවා ගන්න පුළුවන් වෙන්නේ සිහියෙන්, නුවනින් කටයුතු කලොත් පමණයි. නැත්තම් අපිව අකුසල් වලින් යට වෙනකොට එයින් ගොඩ එන්න බැරිවෙනවා.

සිහිය, නුවන, වීර්ය කියන මේවා එකක් හෝ කිහිපයක් අපි කාට කාටත් අඩු වැඩි වශයෙන් පිහිටලා තියෙනවා. තම තමන් විසින් කරන කියන කටයුතු වලට අනුව, සිහිය, නුවන, වීර්ය,  වර්ධනය වීම හෝ පිරිහීම සිදුවෙනවා. තමන්ගේ සිහිය පිරිහිලා බව දැනුනොත් නැවත සිහිය පිහිටුවා ගැනීමට උනන්දු විය යුතුයි. සුත්‍ර දේශනා ආශ්‍රිත පොත් පත්, ධර්ම දේශනා කියවා, අසා තම තමන්ගේ වැරදි හඳුනාගෙන නිවැරදි විය යුතුයි. තවත් කෙනෙකුට මෙහෙමත් වෙන්න පුළුවන්. කොච්චර ධර්මය ඇසුවත්, සුත්‍ර දේශනා කියෙව්වත්, ඒ ඔස්සේ සිහියෙන් කටයුතු කිරීමේ හැකියාවක් නෑ. නුවන වර්ධනය වෙන්නේ නෑ. විර්යක් ඇතිවෙන්නේ නෑ. අන්න එහෙම උනාම එයා අඩුම තරමින් තේරුම ගත්තොත් "මගේ පුණ්‍ය ශක්තියේ සහ කුසල ශක්තියේ අඩුවක් නිසා මෙහෙම වෙලා" කියල, එයා ට ගොඩ යන්න පාරක් තියෙනවා. එයා කල යුත්තේ පින්, කුසල් ආදිය කිරීමයි. දස පුණ්‍ය ක්‍රියා. දස කුසල්. 

එහෙම කරගෙන යනකොට එයට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. නොතේරුන දහම් කරුණු වැටහෙන්න පටන් ගන්නවා. සිහිය පිහිටුවා ගැනීමට පුළුවන් වෙනවා. වීර්ය කිරීමට පුළුවන් වෙනවා.

තෙරුවන් සරණයි!

මේ ධර්ම දානය සියලු දෙනාගේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අනුග්‍රහයක්ම වේවා. !
- සුරේෂ් රොඩ්රිගෝ.