Wednesday, December 12, 2012

සියල්ල සිදුවන්නේ කර්මයෙන් ද ?

අද වර්තමාන ලෝකය දෙස බලන කළ මිනිසුන් අතරමං වී සිටින මාතෘකාවක් ලෙස මෙම මාතෘකාව දැකිය හැක. කර්මය යනු කුමක් දැයි නොදැනීමත් සමඟ කර්මය සමඟ බැඳුණු නොයෙක් වැකි අපි අතර පවතී. එනම් මේක අපේ කරුමය, පූරුවේ කරුමයක්, මේක අප ලබා උපන් හැටි ලෙස යම් කරදරයක් විපත්තියක් සිදු වු විට කර්මය සමඟ සසඳන මෙවැනි වැකි ප්‍රකාශ කරන්නට මිනිසුන් පුරුදු වී සිටිති. නමුත් ලෝකය දෙස බලද්දී කර්මය කුමක්දැයි වටහා ගත යුතු ය.

බුදු දහම අනුව කර්මය යනු චේතනාවයි. “චේතනාහං භික්ඛවේ කම්ම වදාමි” යනුවෙන් දක්වන පරිදි කර්ම යනු චේතනාව බව පෙන්වයි. “චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” සිතින් සිතා කයින්, වචනයෙන් මනසින් කර්ම සිදුකරයි. ඒ අනුව කර්මය කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම යැයි ත්‍රිවිධ ය. මෙම කර්ම සංකල්පයටම සමාන දණ්ඩ සංකල්පය ක්‍රි. පූ. 06 වැනි සියවසේ විසූ නිගණ්ඨනාථ පුත්තයන්ට ද තිබුණි. එනම් කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ යනුවෙනි. මෙහි දී බුදු දහම මනෝ මූලික දර්ශනයක් ලෙස (මනස මුල්වන) දැක්වෙන නිසාවෙන් මනසින් සිදුකරන කර්මලට මූලිකත්වය දී ඇත.


නිගණ්ඨනාථයන් මනස නොව කාය දණ්ඩය (කාය කර්මය) ප්‍රචලයැයි දක්වා ඇත. මෙහි දී බුදු දහම මනස පිළිබඳ වැඩි සැලකිල්ලකින් කටයුතු කරනුයේ යම් දෙයක ආරම්භයට පෙර එය මනසට යොමු වන බැවිනි. මෙලෙස ලෝකයෙහි ජීවත් වන බුද්ධිමත්ම සත්ත්වයා වන මිනිසා (මනං උස්සනීති මනුසෙසා) බුද්ධිමත් ධාරණ ශක්තිය ඇති සත්ත්වයකි. එම නිසා යමක් වටහා ගැනීමට සමත් ය.
බුදු දහම තුළ සියල්ල සිදු වන්නේ කර්මයෙන් ද යන පැනයට නිසි පිළිතුරක් ලබා දීමට කරුණු පහක් දක්වයි. එනම් නියාම ධර්ම පහකි. බුදු හිමියෝ නියාම ධර්ම පහ දේශනා කරනුයේ යථා තත්ත්වය ගෙනහැර පෑමට ය. එනම්,




01. උතු නියාම.
02. බීජ නියාම.
03. චිත්ත නියාම.
04. ධම්ම නියාම.
05. කම්ම නියාම යනුවෙනි.

මෙම කරුණු පහ සත්ත්වයා හා අවට පරිසරය ස්වභාවික දේ නිසා එදිනෙදා ජීවිතය ගැන කරුණු දක්වනු ලබයි.


උතු නියාම
උතු නියාම යනුවෙන් දක්වනුයේ පරිසරයේ වෙනස්කම් නිසා සත්ත්වයාට මුහුණ පෑමට සිදුවන දේ ය. මෙහි දී හේමන්ත, ගිම්හාන, වස්සාන යනුවෙන් ප්‍රධාන සෘතු තුනකි. මෙයින් සත්ත්වයාට සිදුවන වාසි හා අවාසි පිළිබඳ දක්වයි. ගිම්හාන යනු ග්‍රීස්මයයි. එනම් අධික ලෙස හිරු රශ්මිය වැටෙන කාලයයි. මේ නිසා පරිසරය තුළ ජලය හිඟ වීම, තද රශ්නය වැනි දේ ඇති වේ. එයින් සත්ත්වයාට බීමට ජලය හිඟ විය හැක. එමෙන්ම නොයෙක් ශාරීරික අපහසුතා ඇති විය හැක. නොයෙක් වසංගත රෝග වැනි දේ ද වැළඳිය හැක. ඉන්දියාව වැනි රටවලට මෙම ග්‍රීස්ම ය අධික ලෙස බලපාන රටකි. ලංකාවේ ද ඇතැම් ප්‍රදේශවලට මෙය බලපායි. මේ නිසා ඇතැම් විට මිනිසුන්ගේ වගා හානි, දේපළ හානි ආදිය සිදු වෙයි.
සමහර විට බීමට වතුර පවා නැති වීමෙන් සත්ත්වයන්ට මරණයට ද මුහුණ දීමට සිදුවෙයි. එහි දී යම් කෙනෙකු නොයක් කුසලකර්ම සිදුකර තිබුණ ද එය ද වැළකී යා හැක. එසේම වස්සානයක් යනු අධික ලෙස වැසි ලැබෙන සමයයි. අධික ලෙස වැසි ලැබීම නිසා ද ඉහත කී දුක්ඛදායක දේ සිදුවිය හැක. එනම් ගංවතුර ගැලීම්, නාය යෑම් ආදිය නිසා දේපළ , ජීවිත, වගා හානි, වසංගත රෝග වැළඳීම ආදිය සිදු වෙයි. එහි දී සත්ත්වයාට සිදුවන මෙම හානිය සත්ත්වයාගේ කර්ම නිසා නොව උතු නියාම ධර්මය නිසා සිදු වන්නකි. මෙම උතු නියාම ධර්ම නිසා සිදුවන විපත්ති කරදර ආදිය ඒ ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය නිසා නොව නියාම ධර්මයේ බලපෑම නිසා සිදු වන්නක් බව අවබෝධ කරගත යුතුය.


බීජ නියාම
බීජ නියාමය ලෙස හැඳින්වෙන්නේ ජීව විද්‍යාත්මක හේතුය. එනම් ශාක, බීජ, යෝනි ආදියට අනුව ශාක හා සත්ත්ව ජීවය හටගෙන වර්ධනය වීම මින් අදහස් කෙරේ. සත්ත්වයන්, මිනිසුන්, හරකුන්, කුරුල්ලන් ආදී වශයෙන් වෙනස් වන්නේ ද මෙම බීජ නියාමය නිසා ය. අඹ ඇටයකින් අඹ පැළයක් හට ගන්නේද කොස් ඇටයකින් කොස් පැළයක් හට ගන්නේද මෙම බීජ නියාමය නිසා ය. නැතිනම් කොස් ඇටයකින් වෙනත් පැළයක් හට ගත යුතුªය. නමුත් එය එලෙස නොවන්නේ ය.
සත්ත්වයන් ද ඒ ඒ සත්ත්ව වර්ගවලට අනුව ගති ලක්ෂණ ගනී. ලෝකයේ වෙසෙන මිනිසා නොයෙක් බෙඳීම් වලට ලක්ව ඇත. ශ්‍රී ලාංකික අය ශ්‍රී ලාංකික ලෙස ද ඉන්දියන් ඇමෙරිකන් ආදී වශයෙන් ඒ ඒ රටේ උපන් අය ඒ ඒ ජාතික ලෙස ද කුලමල ආගම් ආදී වශයෙන් ද බෙදී පවතී. නමුත් මෙම ලොව ඇති සියලු මිනිසුන් එකම බීජ නියාමකයකට අයත් සත්ත්වයෝ ය. එසේම දෙමාපියන්ගේ ආරේ ගති ලක්ෂණ රූප ස්වභාවය ඇතැම්විට දරුවන්ට ද ලැබේ. ඒ මෙම බීජ නියාමය නිසාය.


චිත්ත නියාම
චිත්ත යනු සිතයි. සිතේ ක්‍රියාකාරීත්වය අනුව සිදුවන නිසාම චිත්ත නියාම නම් වේ. අප සිත පිළිබඳ ධම්ම පදයෙහි චිත්ත වග්ගයෙහි ද බුදුහිමියෝ
“දූරංගමං එකවරං
අසරීරං ගුහාසංයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාරබන්ධනා”
(ධම්ම පදය චිත්ත වග්ගය)
දක්වන අන්දමට සිත දුරගමන් යයි තනිව හැසිරෙයි. ශරීරයක් නැත. අපගේ ශරීරය නැමැති ගුහාවෙහි වෙසෙයි. මෙලෙස ජීවත් වෙන සිත යම් කෙනෙකු දමනය කරයි ද ඔහු මාරබැම්මෙන් බිදෙයි. අපට අපගේ සිත දමනය කිරීමේ දී සමථ භාවනාව වඩා සිත සමාධියට පත් කළහැක. තවද ප්‍රථම, දූතිය, තනිය, චතුර්ථ ආදී ධ්‍යාන ද සෘද්ධිබල ආදිය ද ලැබිය හැක. ඒ අප අපගේ සිත යම් ක්‍රියාකාරීත්වයකට නතු කිරීමෙන් ලබන ප්‍රතිඵලයකි. මෙලෙස සිත වැඩීමෙන් ද නොවැඩීමෙන් ද ඒ ඒ සත්ත්වයන්ට සිදුවන වාසි හෝ අවාසි කර්මය නිසා නොව චිත්ත නියාමය නිසා සිදු වන්නකි.


ධම්ම නියාම
ධම්ම නියාමය නම් ලෝකයේ සදාතනික නොවෙනස්වන දහම් කරුණු ය. ලෝකයේ නොයෙක් කරුණු අතර අපට දක්නට හැකි කරුණු ලෙස උපන් සත්ත්වයා මරණයට පත්වීම, ඇතිවන සියල්ල නැති වීම, දිවා රාත්‍රිය ඇතිවීම ආදි කරුණු රැසක් ධම්ම නියාම ලෙස ගත හැකි ය.
ලොව යම් ආකාරයක සංස්කාර එකතුවක් වන්නේ නම් ඒ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය (අස්ථිර බව) ස්වභාව කොට ඇත්තේ ය. එනම් සත්ත්වයා, ගහකොළ, අප ගොඩනඟන ගෙවල් දොරවල් මෙන්ම අප කරන හොඳ නරක ද කුසල අකුසල ධර්මයන්ද සංස්කාර නම් වේ. මේ සියල්ල නැතිවීම් ස්වභාව කොට ඇත්තේ ය. (නිවන පමණක් අසංඛතය) උදයට හිරු පායන්නා සේම සවසට හිරු බැස යන්නේය. පෘථිවිය භ්‍රමණය වන්නේ ද පරිභ්‍රමණය වන්නේ ද මෙම ධම්ම නියාමය නිසා ය. ලොව ඓශ්චර්යය දේ සිදුවන විට පොළොව කම්පා වීම් ආදිය සිදු වන්නේ ද මෙම ධම්ම නියාමය නිසා ය.
ධම්මපදයෙහි අප්පමාද වග්ගයෙහි “නහි වෙරෙන වේරානි....” ගාථාව තුළ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් අවෛරයෙන් වෛරය සන්සිඳෙන බවත් මෙය පෙර සිට පැවැත එන ධර්මතාවයක් ලෙස දක්වයි. මෙලෙස ලෝක පාලක ධර්මතා ධර්ම නියාම නම් වේ.


කම්ම නියාම
කම්ම නම් සිදුකරන ක්‍රියාවෙහි විපාකය නිසා සිදුවන නියාමයි.


“කම්මා විපාකා වත්තන්ති
විපාකො කම්ම සම්භවො
තස්මා පුනබ්භවො හොති
ඒවං ලොකෙ පවත්තති”


කර්මයෙන් විපාකයත් විපාකයෙන් කර්මයත් හට ගනී. පුනර්භවය ඇති වීමෙන් ලෝකය පවතී යනුවෙන් මෙහි දී දක්වා ඇත. අප ඉහත දක්වන ලද නියාම ධර්ම සතරම බාහිර කරුණුය. නමුත් මෙය අපම කර අපම විපාක විඳින දෙයකි. අන් අය නිසා අප විපාක විඳින්නක් නොවේ. අප නිසාම අප විපාක විඳින්නකි. කර්මය සිදුකළ කල්හි (හොඳ හෝ නරක) එම විපාක විඳීමට සිදු වේ. එවිට ද නැවත කර්මය සිදු කරයි. මෙලෙස මේ ජීවිතයේ ම මෙන්ම මතු ආත්මයෙන්හි ද විපාක විඳින්නට සිදු වෙයි. එවිට විපාක විඳින අතරතුර කාලය තුළ ද නැවත කර්මය සිදු කරයි. මේ ආකාරයෙන් ලෝකය පවතින බව පැහැදිළි ය.


එනම් මේ කරුණු අනුව බලන කල අපට ජීවිතයක අත් විඳින්නට ලැබෙන සියල්ල කර්ම විපාක හෝ සියල්ල සිදු වන්නේ කර්මයෙන් ද යන ප්‍රශ්නයට පිළිතුරක් සැපයෙයි. “කර්ම” යනු ජීවිතය කොටස් පහකට බෙදෙන්නේ නම් එම පහෙන් එකක් ලෙස දැකිය හැක. පහෙන් එකක් වන කර්මය නම් අන් සියල්ල ස්වභාවික බලපෑමෙන් ලොව ස්වභාවය වැනි කරුණු පදනම් කරගෙන අත් විඳීන්නට ලැබෙන දේ වන්නේ ය.
එම නිසා ලොව යම් කෙනෙක් “සියල්ල සිදු වන්නේ කර්මයෙන් ය” යන මතයෙහි එළඹ සිටින්නේ නම් එම පුද්ගලයාට “සියල්ල කර්මය තුළින් සිදු නොවේය” යන මතය අවබෝධකර ගන්නට මෙම කරුණු ඉවහල් වේ.

උපුටාගැනීම :
නවදගල නාගිත හිමියන්ගේ දේශනාවක් ඇසුරින්. 

Tuesday, November 27, 2012

චර සූත‍්‍රය.


මේ දේශනාව සඳහන් වෙන්නේ ඛුද්දක නිකාය කියන උතුම් ග‍්‍රන්ථයේ පළවෙනි කොටසට. මේ දේශනාවේ නම චර සූත‍්‍රය. අපි බලමු මේ දේශනාව මගින් භාග්‍යවතුන් වහන්සේ කුමක්ද පෙන්වා දී තිබෙන පණිවිඩය කියල. මෙහි තිබෙනවා මේ විදිහට

“පින්වත් මහණෙනි, ඇවිදිමේන් සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්ට පුලූවනි. එවිට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඒක ඉවසනවා නම් (ඒ කියන්නේ ඒ හැඟීමට ඉඩ දීල ඉන්නවා නම් ), දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම් පින්වත් මහණෙනි, ඇවිදිමින් සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් නැති, පවට බයක් නැති, හැම තිස්සේ ම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනා කියල කියන්නේ”.

දැන් මෙතන භික්ෂුව කියල කිව්වාම, මේ ධර්මය භික්ෂුවට පමණක් නෙමේ අයිති. මේක උපාසක උපාසිකාවන්ටත් මේ ආකාරයමයි. දැන් මෙතන ඇවිදිමින් සිටින භික්ෂුවක් ගැන කියන්නේ. නමුත් ඇවිදිමින් සිටින උපාසක උපාසිකාවන්ටත් මේ ධර්මය අදාලයි. එතකොට ඇවිදිමින් සිටින උපසකයෙක් හෝ උපාසිකාවක් හෝ කාම ව්‍යාපද හෝ විහිංසා විතර්කයක් හට ගන්න කොට, අන්න ඒ උපාසක කෙනා හෝ උපාසිකාව හෝ ඒ විතර්කය ඉවසනව නම්, දුරුකරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, අන්න ඒ ඇවිදිමින් සිටින උපාසක උපාසිකාව කෙලෙස් තවන වීරියක් නැති, පවට බයක් නැති, හැම තිස්සේම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනෙක් බවට පත් වෙනවා.

ඊලගට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, “පින්වත් මහණෙනි, සිටගෙන සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හට ගන්ට පුලූවනි. එවිට ඒ භික්ෂුව එය ඉවසනවා නම්, දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, සිටගෙන සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් නැති, පවට බයක් නැති, හැම තිස්සේම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනා කියල කියන්නේ”.

එතකොට බලන්න අපිට කලින් කියා දුන්නේ ඇවිදිමින් සිටින කෙනෙක් ගැන. දැන් කියා දෙන්නේ සිටගෙන සිටින කෙනෙක් ගැන. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, “වාඩිවී සිටින භික්ෂුවකට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්ට පුලුවනි. එවිට පින්වත් මහණෙනි ඒ භික්ෂුව එය ඉවසනවා නම්, දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, වාඩි වී සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරිය නැති, පවට බයක් නැති, හැම තිස්සේම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනා කියල කියන්නේ. පින්වත් මහණෙනි, සැතපී සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්ට පුලූවනි. එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව එය ඉවසනවා නම්, දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, සැතපී සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් නැති පවට බයක් නැති හැම තිස්සේම කුසීත වූ හීන වීරියෙන් යුතු කෙනා කියල කියන්නෙ”.

බලන්න එතකොට භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ කොහොමද? හිටගෙන ඉන්න කොට වේවා ඇවිදින කොට වේවා, නිදාගෙන ඉන්න කොට වේවා, වාඩිවෙලා ඉන්න කොට වේවා, යම් අකුසල විතර්කයක් එනවා නම්, ඒ අකුසල විතර්කය ඉවසනවා නම්, දුරු කරන්නේ නැත්නම්, බැහැර කරන්නේ නැත්නම්, අභාවයට පත් කරන්නේ නැත්නම්, අන්න ඒ කෙනාට කියනවා පවට බයක් නැති, කෙලෙස් තවන වීරියක් හැකි හැම තිස්සේම, කුසීතව වාසය කරන කෙනෙක්, හීන වීරියෙන් යුක්තව වාසය කරන කෙනෙක් කියල.

දැන් බලන්න අපිට තියන ලොකු ගැටලූවක් තමයි බණ භාවනා කරන්ට වෙලාවක් නෑ කියන එක. එක්කො ගෙදර දොරේ වැඩ කටයුතු බහුලයි. ඊලගට රාජකාරි ස්ථානවල කටයුතු බහුලයි. ඊලගට වෙනත් සමාජ සංවිධාන වල කටයුතු බහුලයි. ඥාතීන්ගේ කටයුතු බහුලයි. මේ ආකාර කටයුතුවලින් මේ අයගේ ජීවිත පිරිල. ඒ නිසා මේ අයට තියන ලොකුම ගැටලූව තමයි භාවනා කරන්ට වෙලාව නැතිකම. අන්න ඒ ගැටලූව හිස් දෙයක් කියල පෙන්වා දෙන්ටයි අපි කල්පනා කරන්නේ.

ඇත්තෙන්ම ගැටලූවක් තිබුනොත් තමයි එයට විසඳුමක් අපි දිය යුත්තේ. ගැටලූවක් නැතුව ගැටලූවක් තියනවා කියල හිතුවොත් කවදාවත් ඒකට විසඳුමක් නෑ. එතකොට අපි අසරණයි නේද? ගැටලූවක් තියනවා නම් එයට විසඳුමක් තියනවා. නමුත් ගැටලූවක් නැතුව තියෙද්දී ගැටලූවක් තියෙනවා කියල අපි සංකල්පයකට පත් වුනොත් ඒකට විසදුමක් නෑ. ඒ නිසා අපි ආරම්භයේදීම මේ මුල පිරිසුදු කරගන්ට ඕනැ. එසේ නොවුනොත් හැමදාම හිතෙනවා මට ප‍්‍රශ්නයක් තියනවා. මට ගැටලූවක් තියනවා කියල. දැන් අපි හිතමු වාඩිවෙලා ඉන්න කෙනෙක් හිතනවා මගේ කකුල් දෙක ගැට ගහල තියෙන්නේ කියල. එයා කවදාවත් නැගිටල යයිද? නෑ. ඇයි ඒ? ගැට ගහල තිබුන නම් ලිහාගන්ට පුළුවන්. දැන් ගැට ගහල නැතුව තියෙද්දී එයා හිතනවා ගැට ගහල කියල. කවදාවත් ලිහා ගන්ට බෑ. අන්න ඒ වගේ අපිට වෙලාව නෑ කියන අදහසේ ගිලිල ඉන්න තාක් එයින් ගැලවෙන්ට බෑ.

එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ඇවිදිමින් සිටින භික්ෂුවට වේවා, හිටගෙන සිටින භික්ෂුවට වේවා, වාඩිවෙලා සිටින භික්ෂුව වේවා, සැතපී සිටින භික්ෂුව වේවා, කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ ආවාම ඒව ඉවසන්නේ නැත්නම්, ඒව දුරුකරල දානවා නම්, ඒ අකුසල විතර්කය බැහැර කරල දානවා නම්, අභාවයට පත් කරල දානවා නම්, අන්න එබඳු භික්ෂුවක් කොහොම කෙනෙක්ද? කෙලෙස් තවන වීරියක් ඇති පවට බයක් ඇති පටන්ගත් වීරිය ඇති නිවන කරා මෙහෙය වූ සිත් ඇති කෙනා කියලයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ.

දැන් අපිට වෙලාව නැත්තේ මොකටද? වාඩිවෙලා භාවනා කරන්ට. වාඩිවෙලා පමණක් භාවනා කළ යුතුයි කියන අදහසේ සිටින තාක් තමයි මේ අර්බුදය අපිට එන්නේ නේද? දැන් බලන්න මේ දේශනාව තුලදී භාග්‍යවතුන් වහන්සේ අපිට කොහොමද පෙන්වා දෙන්නේ? ඇවිදින හෝ ඉඳගෙන ඉන්න හෝ සිටගෙන සිටින හෝ නිදාගෙන සිටින කෙනෙක් හෝ වේවා, කෙලෙස් තවන වීරිය ඇති, නිවනට යොමු වූ සිතින් යුක්ත කෙනාට පුලූවන්කම තියනවා නිවන් මග පාද ගන්න. ඇවිදිමන් සිටියත්, සිටගෙන සිටියත්, නිදාගෙන සිටියත්, ඉඳගෙන සිටියත් එයාට ඒ ඉන්න ඉරියව්ව කුමක්ද කියන එක වැදගත් නෑ. එයා තුළ හටගත් අකුසලය පිළිබඳව එයා කුමන ආකාරයෙන් ද කටයුතු කරන්නේ කියන දේ මතයි එයාගේ නිවන් මග පෑදෙනවද නැද්ද කියන කාරණාව තීරණය වෙන්නේ.

නමුත් අපි වාසය කරන්නේ අනේ මට වෙලාවක් නෑ කියන අදහසේ. බලන්න අපි වෙලාව නෑ කියල හිතුවට අපි ඇවිදිමේන් සිටින එක, සිටගෙන සිටින එක, නිදාගෙන සිටින එක, හිටගෙන ඉන්න එක මේ ඉරියව් හතර අපි පවත්වනවද නැද්ද? පවත්වනවානේ. මේ ඉරියව් හතරේ අපිට කොතරම් වැඩ තිබුනත් අපිට වැඩ වැඩියි කියල අපිට රාජකාරි බහුලයි කියල මේ කාම, ව්‍යාපාද, විහිංසා කියන අකුසල විතර්ක අපි පැත්තකින් තියල තියෙනවද? මට වැඩ වැඩියි ඒ නිසා මේ විතර්ක ටික පැත්තකින් තියනව කියල තියනවද? අපි ගෙදර දොර කටයුතු කරද්දී වුනත් රාජකාරි කටයුතු කරද්දි වුනත් මේ විතර්ක ටික අභ්‍යන්තරයේ වැඩකරනව නේද? එහෙනම් බලන්න අපි තෝර බේරගත යුතු විදිහ.

අපි එදිනෙදා කටයුතු කරද්දීම මේ විතර්ක පවතිනවා නම්, කටයුතු කරද්දීම මේ විතර්ක බැහැරකර ගැනීමේ රටාවත් අපට පුරුදු කර ගන්න පුලූවන්. ඒ සඳහා තියුණු නුවණක් ඇතිකර ගත්තොත් ඉවසීමෙන් යුක්තව මේ ක‍්‍රමවේදය අධ්‍යනය කරනවා. ඒ විදිහට මේ මාර්ගය තෝරාගත් කෙනා සතුටට පත් වෙනවද කනස්සල්ලට පත් වෙනවද? ඉතාම සතුටට පත් වෙනවා. එයා සොයමින් සිටි දේ මුණගැහුන. එතකොට එයා සොයමින් සිටිය දේ මුන ගැහුණයින් පස්සේ එයා කලබල වෙනවද ඉවසනවද? ඉවසනව.
ඒක මේ වගේ දෙයක් දක්ෂ සොල්දාදුවෙක් ඉන්නව. ඒ දක්ෂ සොල්දාදුවගේ අභිප‍්‍රාය මොකක්ද? යුදධය දිණීම. සතුරා නැසීම. ඒ අදහස තියන කෙනා මුලින් මොකක්ද කරන්නේ? යුද්ධය පුහුණු වෙනවා. සැලසුම් කර ගන්නවා. ඒ දෙක තමයි වැඩිකාලයක් යුද්ධයක තියෙන්නේ. යුද්දෙ තියෙන්නෙ ටිකයි. යුද්ධයට ගියාට පස්සේ දක්ෂ සොල්දාදුවා සතුරා දකිනවා. දැන් එයාට මොකද හිතෙන්නේ. එයාට ජයග‍්‍රහනයේ පෙරනිමිති පේනවා. ඇයි සොල්දාදුවගේ ඉලක්කය මොකක්ද? ජයග‍්‍රහණය. මොකක්ද ජයග‍්‍රහණය? සතුරා නැසීම. සතුරා දැක්කට පස්සේ එයාගෙ කකුල් ගැහෙන්නේ නෑ. එයාට ජයග‍්‍රහණය පේනවා. දැන් එයා මොකද කරන්නේ? පැනපු ගමන් සතුරාව අල්ලනවද? නෑ. ඉවසීමෙන් යුතුව එයා තුළ ඉවසීම හට ගන්නවා. එයා යුධ සැලැස්ම ක‍්‍රියාත්මක කරනවා.

කෙලෙස් යුද්ධය දිනන්න කැමති කෙනා දක්ෂ සොල්දාදුවෙක් වගේ වෙන්ට ඕනැ. එයාගෙ අභිප‍්‍රාය විය යුත්තේ කුමක්ද? කෙලෙස් යුද්ධය දිණීම. කෙලෙස් නැමැති සතුරා නසන්ට එයා ඉස්සර වෙලා පුරුදු වෙන්ට ඕනැ. කොහොමද පුරුදු වෙන්නේ? ධර්මය ඉගෙන ගන්ට ඕනැ. ධර්මය තේරුම් ගන්ටත් ඕනැ. ඊට පස්සේ තමයි එයා මේ කෙලෙස් යුද්ධය පටන් ගන්ට සූදානම් වන්නේ. එතකොට එයා තුළ දහම් දැනුම තියනවා. ඒ ධර්මය කොහොමද පුරුදු කරන්නේ කියන එක එයා ඉගෙන ගෙන තියෙන්නේ. දැන් එයා සතුරා සොයමින් වාසය කළ යුතුයි. යුද්ධෙ දිණන්න කැමති කෙනා සතුරා ඉන්න ඉසව්ව හොයාගන්ට අවශ්‍යයි. සතුරා කොහෙවත් ඉන්නකොට වෙන කොහේ හරි හොයල බෑ. එහෙම අයත් ඉන්නව. අපි එහෙම කළොත් අපිට කවදාවත් මේ යුද්ධෙ දිණන්න බෑ. අපිව දන්නෙම නැතුව කොටුවෙලා යනවා. දක්ෂ සොල්දාදුවෙක් වගේ වෙන්ට. දක්ෂ සොල්දාදුව සතුරා දැක්කම සතුටු වෙනවා.

හිටගෙන ඉන්නකොට වේවා, වාඩිවෙලා ඉන්නකොට වේවා, ඇවිදගෙන යනකොට වේවා, සැතපිී සිටිනකොට වේවා මේ කෙලෙස් යුද්ධයෙන් දිනන්ට කැමති කෙනා ඒ කෙලෙස් අඳුන ගැනීම පිණිස කල්පනා කළ යුතුයි. සිහි නුවණ උපදවාගෙන වාසය කළ යුතුයි. එතකොට එයා හිටගෙන ඉන්නකොට වේවා, ඇවිදිනකොට වේවා, වාඩිවෙලා ඉන්නකොට වේවා, සැතපිලා ඉන්නකොට වේවා, එයාගෙ හිතේ හට ගන්න ඒ කෙලෙස් එයාට අඳුන ගන්ට පුළුවන්කම එනවා. එතකොට ඒ විදිහට මේ කෙලෙස් දුරු කිරීම පිණිස උපන් වීරියෙන් යුක්ත කෙනෙක්, කෙලෙස් දුරු කිරීම පිණිස පටන්ගත් වීරියෙන් යුක්ත කෙනෙක්, නිවනට යොමුකළ සිතින් යුක්ත කෙනෙක් තුළ මේ අකුසල විතර්කයක් දැක්කොත් එයා ඒ විතර්කයට යට වෙන්නේ නෑ. එයා ඒ විතර්කය බැහැර කරන්ට කටයුතු කරනවා. නමුත් ඒ අකුසල විතර්කය අඳුනගන්ට පුළුවන් විදිහට එයා ඒ හිත සකස් කරගෙන නැත්නම්, අකුසල විතර්කයක් ආවම එයා ඒකට යට වෙනවා.
දැන් කාම විතර්කයක් ආවම ඒක අඳුනගෙන එය බැහැර කරන්ට ඕනැ කියක අදහසේ නැති කෙනා, ඒ විතර්කයට යට වෙනවා. එයාගෙ හිත හාත්පසින් වැහිල යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සීලය පළුදු වෙනවා. එයාගෙ පිරිසිදු ජීවිතය අපිරිසිදු බවට පත් වෙනවා. සීලය රැුක ගන්ට බැරුව යනවා. දැන් අපිට තේරුම් ගන්න පුළුවන් නේද අපිට තියන කාලය භාවිත කරලම එදිනෙදා කටයුතු කරද්දීම වුනත් මේ ධර්මය අපිට පුරුදු කරන්ට පුළුවන් කියල. මේ ධර්මය පුරුදු කිරීමේ හැකියාවක් තියනවා. මේ අකුසල විතර්ක අඳුරගෙන ඒ අකුසල විතර්ක බැහැර කිරීම පිණිස පුරුදු වෙන්ට ඕනැ. අන්න එහෙම පුරුදු වුනොත් අපි නිවනට යොමුවුන සිතින් යුතු අය බවට පත් වෙනවා. නමුත් බලන්න අපිට මේ වෙනකොට ඒ වගේ පුරුදු වෙන්ට බැරි නම් අකුසල විතර්කයක් ආවම හිත යට වෙනවා නම්, එය බැහැර කරන්ට අපිට සිහිය උපදවා ගන්ට බැරි නම්, අපේ හිත අකුසල විතර්කයෙන් පීඩාවට පත්වෙලා, හීන ස්වභාවයට පත් වෙලා යනව නම්, අපිරිසිදු භාවයට පත් වෙනවා නම්, අපි හොද මට්ටමක නෑ කියල තේරුම් ගන්ට ඕනැ.

අකුසල විතර්කයක් හිතට ආවහම ඒ එන අකුසල විතර්කය බැහැර කරගන්ට බැරි කොහොම කෙනාටද? කෙලෙස් තවන වීරිය නැත්නම්, පවට බය නැත්නම්, පටන්ගත් වීරිය නැත්නම්, ඊලගට කුසීතව වාසය කරනවා නම්, හීන වීරියෙන් යුක්ත නම් එයාට එන අකුසල විතර්කය බැහැර කරගන්ට බෑ. අඳුන ගන්ට බෑ. ඒකට යට වෙනවා. එයාගෙ ජීවිතය අපිරිසිදු දෙයක් බවට පත් වෙනවා.
සියලූ දෙනාට ම තෙරුවන් සරණයි!

පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ ගේ දේශනාවක් ඇසුරිනි

Friday, November 23, 2012

මේ ලෝකේ දුක විතරමද තියෙන්නේ? සැපක් ඇත්තෙම නැත්ද?


එක්තරා ස්වාමින්වහන්සේ නමක් හුදෙකලාව ඉන්න කොට තරුණ සිටුකුමාරයෙක් ඇවිල්ලා අහනවා ස්වාමිනී ඇයි මේ තනිව ඉන්නේ ඔහොම ඉඳලා මොකද්ද ඔබවහන්සේ බලා පොරොත්තුවෙන්නේ හොයන සුවය කුමක්ද කියලා. ඊට පස්සේ අර ස්වාමින්වහන්සේ කියනවා සියල්ල දුකනේ ඒකයි මම මේ සේරම අතහැරලා හුදකලාව ඉන්නේ කියලා. පස්සේ අර සිටුකුමාරයා "සියල්ල දුකලු මේ පෙනි පෙනී තියෙන සැප නැහැ කියන්නෙ කොහොමද මුනදැටම් පිස්සු" කියලා ගියාලු යන්න.

පස්සේ මේක බුදුපියාණන්වහන්සේට සැලවෙලා අර ස්වාමින්වහන්සේගෙන් වෙච්ච කාරනේ ඇහුවාලු... ඊට පස්සේ වෙච්ච සිද්ධිය කිව්වාම බුදුපියාණන්වහන්සේ අර ස්වාමින්වහන්සේට කිව්වාලු ... "ඈ මෝඩයෝ කවුද නුඹට එහෙම බණක් කිව්වේ ... මම එහෙම සියල්ල දුකයි කියලා තියෙනවාද... සියල්ල දුක නම් ලෝක සත්වයා මේ සංසාරේ ඇලෙයි ද " කියලා අහලා කාරනේ විස්තර කර දුන්නලු..

සැපක් දිගටම විඳගෙන යනකොට ඒක දුකකට හැරෙනවා (ඕනම සැපක්). නමුත් දුක විඳගෙන යන කොට කවදාවත් සැපකට හැරෙන්නේ නැහැ.. ඒ හේතුව උඩ තමයි සියල්ල දුකක් කිව්වේ (සැපක් නැතුව නෙමෙයි) ..

උපමාවක් කියන්නම්. හිතන්න අපි කන්න ආසම කෑමක් දිගටම හැමදාම කනකොට ඒක එපාවෙනවා.. දකින කොටත් අප්පිරියයි... කතාවක් තියෙන්නේ කන්න කන්න අතිරහත් තිත්තයි කියලා.. නමුත් දුකක් විඳින කොට එහම නෙමෙයි... කෝටුපාරක් කන ලමයකුට ඒක දෙන්න දෙන්න දුකක් මයි එන්නේ කීයටවත් සැපක් වෙන්නේ නැහැ... 

බුදුදහම විස්තර කරන්න ගියාම ගොඩක් දෙනා බුදුබණ කියලා තම තමන්ගේ මත ප්‍රකාශ කරන්නේ .. ඒකයි සියල්ල දුකයි සියල්ල දුකයි කිය කිය ඉන්නේ .. අර ස්වාමින්වහන්සේ වගේ .... ඔය හේතුව උඩ තමයි ගොඩක් දෙනා බුදුදහම සෘණවාදි ආගමකියලා හංවඩු ගහන්න පෙලඹෙන්නෙ..

Saturday, November 3, 2012

දහම දැනීම සහ දහම දැකීම.


අද කාලයේ බොහෝ දෙනා බුදු දහම ගැන පැහැදෙමින්, ඒ වෙතට ආකර්ෂණය වෙමින් පවතී. නමුත් බොහෝ දෙනාගේ පැහැදීම සහ ආකර්ෂණය සෝඩා බෝතලයක් කැඩුවාක් මෙනි. මුලින් මුලින් බොහොම වේගයෙන් උනන්දුවෙන් කටයුතු කලත් ටික කලක් යනවිට ඔක්කොම උනන්දු නැතිවී කම්මැලි අලස නිදිමත ස්වභාවයකට පත්වේ. පරණ පුරුදු ක්‍රමයටම ආපසු කැරකි යයි. එවිට කලයුත්තේ කුමක්ද?

ධර්ම මාර්ගයේ වීර්යයෙන් ගමන් කිරීම තමයි මේ ලෝකයේ කරන්න අපහසුම දේ. අපි කාගේ කාගේත් උනන්දුව, උවමනාව, කැපකිරීම නැතිවෙන්නේ වෙන කාගේවත් වරදින් නෙමේ. අපි අපිම අතීත සසරේ කරගත්තු අකුසල් වල විපාක ඇවිත් අපිව කුසලයෙන් වළක්වනවා. විවිධ හේතු මතුකරලා දෙනවා. ධර්ම මාර්ගයේ යන්න උනන්දුව , උත්සාහය නැතිවෙන විදියේ විවිධ බාධක වලට මුහුණ දෙන්න වෙනවා. මෙහෙම වෙනකොට ඉස්සෙල්ලම කලයුත්තේ සිහිය පිහිටුවා ගැනීමයි. සිහියෙන් සිටින විට උනන්දුව, උත්සාහය අඩුවෙනකොට ඒ බව දැනගන්න පුළුවන්. එවිට නැවත එය වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. මේක හැමෝටම එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමේ. වැටි වැටි තමයි නැගිටින්නේ. වැටෙන වෙලාවට වැටුන බව දැනගන්න එකත් ලොකු දක්ෂ කමක්. එහෙම දැනගන්න පුළුවන් වෙන්නේ සිහියෙන් හිටියොත් පමණයි. සිහියෙන් සිටිනවා කියන්නේ තමන්ගේ ජිවිත පැවැත්ම ගැන හැම වෙලාවේම ධර්මනුකුලව විනිශ්චය කරමින් ඉන්න එකයි. එතකොට තම තමන් ධර්ම මාර්ගයෙන් පිට පනිනකොට තම තමන්ගේ සිහිය විසින් ඒ බව මතක් කරලා දෙනවා. තාවකාලිකව ප්‍රමාද දෝෂයකට ලක් උනත් ඉක්මනින් නැවත ධර්ම මාර්ගයට පිවිසෙන්න පුළුවන් වෙනවා. "සිහිය" ට පස්සේ අපිට ඊළඟට උදව්වට ඉන්නේ "නුවන" . ඒ කියන්නේ ධර්මඥානය. දහම කරුණු පිළිබඳව බාහිර වශයෙන් ඇතිකරගත් දැනුම. ඒ දැනුම නිසා අපිට නැවත ධර්ම මාර්ගය හඳුනා ගන්න පුළුවන් වෙනවා. නුවන මඳ කෙනා ධර්මය දන්නෙත් නෑ, අධර්මය දන්නෙත් නෑ. එයා පැටලී පැටලී යනවා මිසක් අවබෝධයක් දියුණු කරගන්නේ නෑ. 

ධර්මඥානය දියුණු කරගන්න නම් කලයුත්තේ එක එක අයගේ පුද්ගලික මති මතාන්තර වලින් බැහැර වී පිරිසිඳු බුද්ධ වචනය කියවීමයි. ඒ සඳහා මේ යුගයේ අපිට තියෙන එකම ක්‍රමය ත්‍රිපිටක ගත සුත්‍ර දේශනා කියවා හෝ අසා තේරුම් අරගෙන අවබෝධය පිණිස උනන්දු වීමයි.
එවිට අපිට බාහිර වශයෙන් ධර්ම ඥානයක් ඇතිකරගන්න පුළුවන්. හැබැයි එක යථාර්ථයක් වෙන්නේ ඒ දහම් කරුණු තම තමන්ගේ ජිවිත තුලට ගලපා ගැනීමෙනුයි. දහම දකින්න පුළුවන් වෙන්නේ එතකොටයි.
"සිහිය" සහ "නුවන" ට පස්සේ අපිට පිහිට වෙන අනිත් දෙය තමයි "වීර්ය" . අප තුල වීර්ය උපදවා ගන්න පුළුවන් වෙන්නේ සිහියෙන්, නුවනින් කටයුතු කලොත් පමණයි. නැත්තම් අපිව අකුසල් වලින් යට වෙනකොට එයින් ගොඩ එන්න බැරිවෙනවා.

සිහිය, නුවන, වීර්ය කියන මේවා එකක් හෝ කිහිපයක් අපි කාට කාටත් අඩු වැඩි වශයෙන් පිහිටලා තියෙනවා. තම තමන් විසින් කරන කියන කටයුතු වලට අනුව, සිහිය, නුවන, වීර්ය,  වර්ධනය වීම හෝ පිරිහීම සිදුවෙනවා. තමන්ගේ සිහිය පිරිහිලා බව දැනුනොත් නැවත සිහිය පිහිටුවා ගැනීමට උනන්දු විය යුතුයි. සුත්‍ර දේශනා ආශ්‍රිත පොත් පත්, ධර්ම දේශනා කියවා, අසා තම තමන්ගේ වැරදි හඳුනාගෙන නිවැරදි විය යුතුයි. තවත් කෙනෙකුට මෙහෙමත් වෙන්න පුළුවන්. කොච්චර ධර්මය ඇසුවත්, සුත්‍ර දේශනා කියෙව්වත්, ඒ ඔස්සේ සිහියෙන් කටයුතු කිරීමේ හැකියාවක් නෑ. නුවන වර්ධනය වෙන්නේ නෑ. විර්යක් ඇතිවෙන්නේ නෑ. අන්න එහෙම උනාම එයා අඩුම තරමින් තේරුම ගත්තොත් "මගේ පුණ්‍ය ශක්තියේ සහ කුසල ශක්තියේ අඩුවක් නිසා මෙහෙම වෙලා" කියල, එයා ට ගොඩ යන්න පාරක් තියෙනවා. එයා කල යුත්තේ පින්, කුසල් ආදිය කිරීමයි. දස පුණ්‍ය ක්‍රියා. දස කුසල්. 

එහෙම කරගෙන යනකොට එයට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. නොතේරුන දහම් කරුණු වැටහෙන්න පටන් ගන්නවා. සිහිය පිහිටුවා ගැනීමට පුළුවන් වෙනවා. වීර්ය කිරීමට පුළුවන් වෙනවා.

තෙරුවන් සරණයි!

මේ ධර්ම දානය සියලු දෙනාගේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අනුග්‍රහයක්ම වේවා. !
- සුරේෂ් රොඩ්රිගෝ.

Friday, November 2, 2012

මාන්නය බැහැරකරමු


අත්හැරීමෙන් දිනන්න කැමතිවෙන කෙනාට එපමණකින් ම සැප ලැබෙනව. එහෙනම් අපි අත්හැරීමෙන් ලබන ජයග්‍රහණය ලබන්ට කැමතිවෙන්ට ඕනැ.

ඒ නිසා හිතට එන අකුසලය අතහරින්න පුරුදුවෙන්න. ඊරිසියාව අතහරින්න පුරුදුවෙන්න, එකට එක කරන ගතිය අතහරින්න පුරුදුවෙන්න. ගුණමකුකම අතහරින්න පුරුදුවෙන්න, අනුන්ගේ ඇද හොයන ගතිය අතහරින්න පුරුදුවෙන්න, කම්මැලිකම අතහරින්න පුරුදුවෙන්න, මාන්නය අතහරින්ට පුරුදුවෙන්න.

ඒ විදිහට රාග, ද්වේෂ, මෝහ කියන අකුසල් හිතට එනකොට ඒව අතහරින්න පුරුදුවෙන්න. ඒ විදිහට අකුසලය අතහරින්ට අපිට පුළුවන්වුනොත් එයා සැබෑම ජයග්‍රහණය අත්කරගන්න කෙනෙක් බවට පත්වෙනව. අත්හැරීමෙන් හොඳම අත්හැරීම තමයි අකුසලය අත්හරින එක. අමාරු ම දේත් ඒකම තමයි.

හිතට එන අකුසලය අතහරින්න අමාරුයි. ඒකම අල්ලගෙන ඒකටම යටවෙලා ජීවිතය විනාශකරගන්ට කල්පනාකරන ලෝකයක් තමා තියෙන්නෙ. ඉතින් අපි කැමතිවෙන්ට ඕනැ, හිතට එන අකුසලය අතහරින්ට. විශේෂයෙන් අපිට අකුසලය අතහැරගන්ට බැරිවයනව මාන්නය, ආඩම්බරය බලවත් වෙනකොට. ඒක තමා අතහැරගන්ට තියෙන අමාරුම දේ. ඒකට හේතුව තමයි, මා ලඟ මාන්‍නය තියෙනවා කියල කෙනෙකුට අඳූරන්ට බෑ.

කෙනෙකුට රාගය ආවොත් රාගය අඳූරගන්ට පුළුවන්වෙයි. අපි හිතමු කෙනෙකුට රාගය එනව, නමුත් ඒ මොහොතේ එයාට අඳූරගන්ට බෑ. එනිසා එයාගෙ සිල් බි‍ඳෙන්න පුළුවන්. ඊට පස්සෙ හරි එයාට තේරෙනව "මම ලඟ රාගය තිබ්බ, සිල් බිඳූන" කියල. කෙනෙකුට ද්වේෂය එනව, අඳූරගන්ට බෑ. ඔන්න කාටහරි බනිනව, ගහනව. ඊට පස්සෙ හරි එයාට තේරෙනව "මම ලඟ ද්වේෂය ඉපදුනා" කියල.
හැබැයි ආඩම්බරය මාන්නය කියන එක එහෙම අල්ලන්න බෑ. ඒක තමා තියෙන භයානකබව. මා ලඟ මාන්නය තියෙන්නෙ කියල හොයන්න බෑ. හොයන්ට බැරිනිසා ඒක උපදින්න ඉඩදෙන්ට හොඳ නෑ. ඒක නැතිවෙන විදිහක් තියෙනවනේ, අන්න ඒ නැතිකරන විදිහ පුරුදුකරන්න ඕනැ. එතකොට කලකදී ඒක ගෙවිලයනව. ඒ ආඩම්බරය මාන්නය නැතිකරගන්ට පුළුවන් විදිහවල් අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනව.

අන්න ඒ ධර්මයන් පුරුදුකරන්න. ඒ ධර්මයන් පුරුදුකළොත් මාන්නය, ආඩම්බරය ගෙවිලයයි. එහෙම නැත්නම් අපිට දවසින් දවස, මොහොතින් මොහොත මේ ඉගෙනගන්න දේවල් මුල්කරගෙන පවා ආඩම්බරය මාන්නය තමයි වැඩිල එන්නෙ. භාවනා මුල්කරගෙන හෝ වේවා, දහම් දැනුම මුල්කරගෙන හෝ වේවා ආඩම්බරය මාන්නය වැඩිල ආවොත් අපිට මුකුත්කරන්ට බෑ, අපි වැනසිලා යනව.
රාගය නැතිකරගන්න කෙනෙක් කැමතිවෙයි. ඒත මාන්නය නැතිකරගන්න කැමතිවෙන්නෙ නෑ. ඇයි එයාට ඒක ආරක්ෂාවක් වගේ පේන්නෙ. රාගය හානියක් වගේ පෙනෙයි කෙනෙකුට, නමුත් මාන්නය හානියක් කියල පේන්නෙ නෑ. එයාට හිතෙයි "මට තත්වයක්" කියල. ඉතින් ඒ තත්වයෙන් පහතට යන්ට කැමතිද එයා. අන්න ඒකයි භයානකකම කියල කියන්නෙ. ඒක මාන්නය කියල අඳූරන්ට බෑ. සමාජ තත්වයක් වගේ පේනව.

සමාජ තත්වය නැතිවුණ ගමන් හීනමානෙ. "මට පහර වැදුනා" කියල කල්පනා කරනව. භයානකයි නේද? ඒක මාන්නය කියල අඳූරන්ට බෑ. අන්තිමට අන්න එබඳූ ස්වභාවයන්ට අපේ ජීවිතේ කැරකිලා යනව අන්තිමට. භයානකයි. ඒ නිසා දැන් දැන් ඉඳල ම තේරුම්ගන්න මාන්නය කියන එක අපිට ආවොත් ඒ දෙය මුල්කරගෙන තියෙන වටිනාම සම්පත් වුනත් අතහරින්ට එයා කැමතිවෙනව. සමාජ තත්වයක් ගැන හිතනව නම් ආඩම්බරය මාන්‍නය වැඩෙනව.

තමන්ට තත්වයක් ගැන කල්පනාකරන කෙනාත් ආඩම්බරය මාන්නයම තමයි දියුණුකරගෙන තියෙන්නෙ. පිළිගත්බවක් කල්පනාකරන කෙනා, එහෙම නැත්නම් "මම මේ මේ විදිහට යමක් කලා" කියල කල්පනා කරනකොටත් ආඩම්බරය මාන්නය තමයි එන්නෙ. තමා පිළිගත් කෙනෙක් කියල කල්පනා කිරීම තුළත් ආඩම්බරය මාන්‍නය වැඩෙනව.
මේ ආඩම්බරය මාන්‍නය අපේ ජීවිතය මුළුමනින් ම විනාශකරල දාන එකක් බවට පත්වෙනව. ඒක වැඩෙන එකක්. නිකන් හිටියත් වැඩිල එනව. මේ මහ පොළොවෙ වල් ආදී දේවල් වැඩෙනවට වඩා වේගයෙන්, කටු පඳූරු වැඩෙනවට වඩා වේගයෙන් අපිට මේ ආඩම්බරය මාන්නය එනව. ඒ නිසා අපි ආඩම්බරය මාන්නයට ඉඩදෙන්ට එපා. ඒක නැතිකරන්ට සියලු දෙනාම කැමතිවෙන්න.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
දිනමිණ පුවත්පතේ "දවසේ සිතිවිල්ල" තීරයෙන් උපුටා ගන්න ලදී !

Thursday, October 18, 2012

“ආරෝග්‍යා පරමා ලාභා – නිබ්බානං පරමං සුඛං”


“ආරෝග්‍යා පරමා ලාභා – නිබ්බානං පරමං සුඛං” මේ තියෙන්නේ බුදුපියාණන් වහන්සේ ප‍්‍රකාශ කළ උදාන වාක්‍යයක්. මෙය ඇසූ මාගන්දිය නම් බමුණා “භවත් ගෞතමයන් වහන්ස, මා විසින්ද ආචාර්ය ප‍්‍රාචාර්ය වූ පූර්ව පරිබ‍්‍රාජකයන් කියන මේ බස අසා ඇත්තේය. ඒ බසත් මේ බසත් දෙබසම සමානය” යනුවෙන් උත්තර දුන්නා. ත‍්‍රීවේදය දැනගෙන හිටි, භාෂා නිරුක්ති සහිත අක්‍ෂර ප‍්‍රභේද පද පාඨ හා ව්‍යාකරණ විධිවලින් දැනීම තිබුණු මාගන්දිය බමුණාට මේ ගාථාවේ නියම ශාසනික අර්ථය ලබන්නට ඒ භාෂා විධික‍්‍රමවලින් පිටිවහලක් ලැබී තිබුණේද යන්න ඔහු ඊළඟට බුදුපියාණන් වහන්සේ ඇසූ ප‍්‍රශ්නයට දුන් පිළිතුරෙන් පැහැදිලි වෙනවා.


“ආරෝග්‍යා පරමා ලාභා – නිබ්බානං පරමං සුඛං” ලාභයෝ ආරෝග්‍යය පරමකොට ඇත්තාහ. සුවය නිවන පරම කොට ඇත්තාහ. මාගන්දිය බමුණා දැනගෙන සිටි භාෂා නිරුක්ති සහිත අක්‍ෂර ප‍්‍රභේද හා පද පාඨ සහිත ව්‍යාකරණ විධිවලින් තේරුම් ගත්තේ මෙපමණයි. දැන් බුදු පියාණන් වහන්සේ බමුණාගෙන් මෙහෙම අහනවා.
“බමුණ ඒ ආරෝග්‍යය කවරේද? ඒ නිවන කවරේද?” මාගන්දිය බමුණා තම සිරුරු අවයව අත්ලෙන් පිරිමදිමින් ‘‘භවත් ගෞතමයෙනි, මේ ආරෝග්‍යයයි, මේ නිවනයි, මම ආරෝග්‍ය වෙමි, සුවපත් වෙමි’’ යි තම ශරීරය පෙන්වා ලෙඩ නැති බව කියමින් සතුටු වුනා. ඔහුගේ භාෂා දැනුමෙන් මේ සම්මතය ඉක්මවා ඉන් වැඩි යමක් දැනගන්න නොහැකි වුනා.
දැන් ඉතින් මේ කාලයේත් ආරෝග්‍ය ශාලාවල, ලේ දන්දීමේ ස්ථානවල, නොයෙකුත් ඖෂධ වර්ග විකුණන ස්ථානවල “ආරෝග්‍යා පරමා ලාභා” කියා දැන්වීම් පුවරු සටහන් කර ඇති ආකාරය දකින්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ මාගන්දි බමුණාට දුන් ඊළඟ පිළිතුර දැනගන්න පෙර මේ ගැන විමර්ශනය කර බැලිය යුතුයි.
පද ටික දැනගත්තට, ගලපන්න හැකි වුනාට, අක්‍ෂර ප‍්‍රභේද භාෂා නිරුක්තිවලට අනුව ලියාගෙන විමසුවාට, අදහස වැරදි නම් බුද්ධ දේශනාවට අනුකූල නැති බව තේරුම් ගත යුතුයි. බුද්ධ දේශනාවට ගැලපීම බලන්න ඉහත කී වේදක‍්‍රමවලින් බෑ. සතර මහාපදේශ ක‍්‍රමය අනුව ධර්මයට බහා බැලිය යුතුයි, විනයට සසඳා බැලිය යුතුයි, සූත‍්‍රයට බහා බැලිය යුතුයි. මෙතනදී සමහර සූත‍්‍ර, ත‍්‍රිපිටක ග‍්‍රන්ථවල ඇතුලත් වී නැති බවත්, ඒ ඒ කාණ්ඩවල ගැබ් වී ඇති සූත‍්‍ර ගණන කියා තිබුණත් ඒ සියල්ලම එසේ නැති බවත් ත‍්‍රිපිටක සංස්කාරක මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා එම ත‍්‍රිපිටක පොත්වල සංඥාපනයේම පෙන්වා තියෙනවා. යම් හෙයකින් මේ සූත‍්‍ර කොටසත් එසේ ප‍්‍රමාද දෝෂයකින් හෝ සටහන් කරන්න නොහැකි වී පාරම්පරිකව ගෙනා කොටසක තිබී හමුවුනා නම් ඒක විනිශ්චය කරගන්නේ කොහොමද?
මොකද අද බොහෝ කොටම හිතන් ඉන්නේ යමක් සූත‍්‍ර පිටකයේ තිබේද, විනය පිටකයේ තිබේද, ඊට සමාන දේශනාවක්ද කියා සසඳා බැලිය යුතුය යන්නයි, බහා බැලිය යුතුය යන්නයි. නමුත් බහා බැලිය යුතු සූත‍්‍රයත්, ධර්මයත්, සසඳා බැලිය යුතු විනයත්, නෙත්ති ප‍්‍රකරණයේ පැහැදිලිව තේරුම්ගන්න පුළුවන් විදියට පෙන්වා තියෙනවා.
‘‘බහා බැලිය යුතු සූත‍්‍රය නම් චතුරාර්ය සත්‍යයයි, ධර්මය නම් පටිච්ච සමුප්පාදයයි, සැසඳිය යුතු විනය නම් රාග විනය – ද්වේශ විනය – මෝහ විනයයි. (නෙත්තිප්ප‍්‍රකරණය – 39 පිටුව – යුක්ති හාර විභංගය)
කයේ ලෙඩ නැතිකම සිහිකර යමෙක් ලාභයක් ලැබී ඇතැයි සතුටු වන්නේ නම් ඒ සතුට තියෙන්නේ ලෙඩ උරුමයක් වූ කයට ලොකු අසනීපයක්, රෝගයක් නොවනතුරු පමණයි. නමුත් කය කියන්නේ නොයෙක් දුක් දාහයන්ට නිරන්තරයෙන්ම ගොදුරු වෙමින් ගොස් වැහැරී මැරී යන කුණු ගොඩක්. එබඳු කයක පංචකාම ආස්වාද මාත‍්‍රයන්ට වහල්වෙලා ලබන්නේ මුලා සහගත සතුටක්. දුක් කඳක් මහා ලාභයක් ලැබුණු ලෙස ගත්, දුකෙහි සැප යැයි ගත්, එසේම අසුබයෙහි සුභ යයි ගත් විපරීත දෘෂ්ඨියක්. එම මුලාවෙන් නැගෙන ඡන්ද රාගය උපාදානයයි. උපාදානයෙන් භවය වෙනවා. භව තියෙන කල් ජාති වෙනවා. එවිට ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී මහා දුක් කඳම උදා වෙනවා. ඡන්ද රාගයෙන් හිතන විට, කියන විට, කරන විට රාග වර්ධනය වෙනවා මිසක් විනය වෙන්නෙ නෑ. ඇලූම් කළ තරමටම විරුද්ධ දේවල් එන විට ගැටීම වෙනවා මිසක් ද්වේශ විනය වෙන්නෙ නෑ. මුලා අදහසක් නිසා මෝහය වෙනවා මිසක් මෝහ විනය වෙන්නෙ නෑ. එබැවින් කයේ නිරෝගී බව කෙරෙහි මුලා ආස්වාදය චතුරාර්ය සත්‍යාවබෝධයට බහා හිටින්නේ නෑ. පටිච්ච සමුප්පාද නිරෝධ ධර්මයට බහා හිටින්නෙ නෑ. රාග විනයට, ද්වේශ විනයට, මෝහ විනයට සැසඳෙන්නෙ නෑ. එසේනම් මේ අදහස බුද්ධ භාසිතයට අනුකූල නෑ.
දැන් මේ පද පෙළම බුද්ධ භාසිතයක් වන්නේ කොහොමද කියන කාරණය බුදුපියාණන් වහන්සේ විසින් මාගන්දිය බමුණාට කරුණු කාරණා සහිතව පහදා දුන්නා. “මාගන්දිය, මේ ගාථාව පෙර විසූ කාශ්‍යප නම් සම්මා සම්බුදුවරයන් වහන්සේ දේශනා කළ ගාථාවක්. කාලයාගේ ඇවෑමෙන් එහි යථාර්ථය යටපත් වී අනුක‍්‍රමයෙන් පෘථජ්ජන ගත වී ඇත. මාගන්දිය, මේ කය වූ කලී රෝගයක් වැනි වූයේ, ගන්ඩයක් වැනි වූයේ, ශල්‍යයක් වැනි වූයේ, දුක්ඛයක් වැනි වූයේ, ආබාධයක් වැනි වූයේ වෙයි. එබඳු වූ මේ කය ගෙන තෙපි, මේ ඒ ආරෝග්‍යයයි, මේ ඒ නිර්වානයයි කියති. මාගන්දිය, තෙපි යම් ආර්ය වූ ඇසකින් ආරෝග්‍යය දන්නෙහි නම්, නිර්වානය දන්නෙහි නම් තොපට ඒ ආර්ය වූ ඇස නැතැ” යි වදාළා.
මෙතනදී  වටිනා  දහමක් හෙලිවෙනවා. ආර්ය ඇසකින් දැකිය යුතු දහම් අර්ථ ලෞකික ක‍්‍රමවේදවල පිහිටා දකින්න බැරි බව වටහා ගත යුතුයි. ආරෝග්‍යය – නිරෝගී බව යන වචන කුමන භාෂා නිරුක්තියකින්, පද පෙළකින් කීවත් ආර්ය වූ දහම් ඇසින් දකින අදහස එම දහම් ඇස පහළවූවන්ටම මිසක් පෘථජ්ජන මනසකින් දකින්න නොහැකිම ය.

මෙය ඇසූ මාගන්දි බමුණා බුදුපියාණන් වහන්සේගෙන් ආරෝග්‍යය සහ නිවන දේශනා කරන ලෙස ඉල්ලා සිටියා. 
මෙහිදී උන්වහන්සේ නැවත උපමාවක් දේශනා කළා. ඇස් අන්ධ පුද්ගලයෙකුට තම නෑසියන් අක්‍ෂි ශෛල්‍ය වෛද්‍යවරයෙක් ගෙන්වා බෙහෙත් කරද්දී ඒ ඇස් පෙනීම නොඒ නම්, විශුද්ධ නොවේ නම් ඒ වෛද්‍යවරයා ඒ තාක් පීඩාවට වෙහෙසට පත්වන්නා සේ, දහම් ඇස් නැති මාගන්දියට ආරෝග්‍යයත් නිවනත් දේශනා කරන  විට  නොවැටහේ  නම්, උන්වහන්සේට පීඩාවක්ම වෙහෙසක්ම වන බවයි ඒ දේශනාව. මෙසේ අදත් දහම් දකින හැටි, දහම් ඇස ලැබූ අය ප‍්‍රකාශ කළත්, තේරුම් ගත නොහැකි පිරිස් ඒවා හාස්‍යයට, විහිලූවට ලක් කරනවා.
බුදුපියාණන් වහන්සේ මාගන්දිය බමුණාට තවත් උපමාවක් ගෙන මෙසේ දහම් දේශනා කළා. 
ඇස් අන්ධ මිනිසෙකුට, සුදු වස්ත‍්‍රය පහන්ය, අභිරූපය (කැපී පෙනෙන රූප ලක්‍ෂණ) නිර්මලය, ශුද්ධ යැයි ඔහුගේ හිතවතෙකු කියනු ඇසෙන්නේ ය. එක්තරා පුරුෂයෙක් එම අන්ධයාට, හිතවත මේ සුදු පිරිසිදු අභිරූප නිර්මල වස්ත‍්‍රය පොරවා ගන්නැයි තෙල් දැලි වැකුණු කලූ ගොමස්කඩ රෙද්දක් දෙන්නේය. නොපෙනීම නිසා ඒ සුදු පිරිසිදු නිර්මල රෙද්දකැයි සිතා ඔහු එය පොරවා ගන්නේය. අන්ධ මිනිසාගේ නෑදෑයෝ ශල්‍ය වෛද්‍යවරයකු ගෙන්වා ඔහුට බෙහෙත් කර  ඇස් පෙනීම ලබා දුන්නොත් ඒ පෙනීමත් සමගම ඔහුගේ වස්ත‍්‍රයේ නියම තතු පෙනෙන්නට වන්නේය. එවිට එම වස්ත‍්‍රය කෙරෙහිත් එය දුන් පුරුෂයා කෙරෙහිත් තිබූ ඡුන්ද රාගය පහවන්නේය. වස්ත‍්‍රය දුන් පුද්ගලයා සතුරෙකු ලෙසත් පෙනෙන්නේය. තමා මෙතෙක්  කල්  රවටන  ලදැයි වැටහෙන්නේය.
මෙසේ මේ කය ලෙඩක් ලෙස, ගඩක් ලෙස, හුලක් ලෙස, දුකක් ලෙස යථා නුවණට   වැටහුණුදාට   පංච උපාදානස්කන්ධයෙහි යම් ඡන්ද රාගයක් වී නම් එය පහ වන්නේය. වේදනාවෙහි, සංඥාවෙහි, සංඛාරයෙහි, විඤ්ඤාණයෙහි යම් ඡන්ද රාගයක් වී නම් එය පහවන්නේය. ඒ ඡන්ද රාග නිරෝධය නිසා උපාදාන නිරෝධ වන්නේය. එවිට භව නිරෝධ වන්නේය. එවිට ජාති නිරෝධ වන්නේය. එයින් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස නිරෝධ වන්නේය. මෙයයි ආරෝග්‍යය, මෙයයි නිවන කියා තමාම දැන ගන්නේය.
මේ ඇසු මාගන්දි බමුණාට දහම් ඇස පහළ වුනා. සාසනයෙහි පැවිදි වී බ‍්‍රහ්ම චර්යාව පූර්ණ කර අරිහත්වයටත් පත්වුනා. 
අද ඉන්න පින්වතුන් ද මේ දහම ආදර්ශයට ගනිත්වා!
තෙරුවන් සරණයි !
වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණු දහම් කරුණු ඇසුරින් 

Wednesday, October 17, 2012

මිථ්‍යා මතවලට මුළා නොවී පිවිතුරු දහම අගයමු



සම්බුද්ධත්ව ජයන්තිය ඉහලින් සැමරූ මෙකල බුදු දහමෙහි විශාල පිබිදීමක් ප්‍රබෝධයක් දක්නට තිබෙනවා. බුදු දහම උද්දීපනය වී සමාජයේ ඉහළට නැඟ එනවා.

ධර්මය මෙසේ දීප්තිමත්ව බබළන විට ධර්මය උපයෝගී කරගෙන එමඟින් වාසි ලබා ගැනීමට විවිධ කණ්ඩායම් බිහිවීම සෑම කල්හිම සිදුවන දෙයක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත් මෙවන් තත්ත්වයක් දක්නට තිබුණා. අදත් ඒ තත්ත්වය වෙනසක් නැහැ.

බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ රහතන් වහන්සේට ජනතාවගේ ඉමහත් ගෞරවයක් භක්තියක් තිබුණා. එමෙන්ම ජනතාව වැඩි වශයෙන් සැලකිලි කරනු ලැබුවා. රහතන් වහන්සේට ජනතාව දක්වන ලද මේ සැලකිල්ල ගැන අවධානය යොමු කරපු ඇතැම් භික්ෂු කණ්ඩායම් ජනතාව එන මඟ රැක ගෙන සිටියා.
එම කණ්ඩායමේ එක් භික්‍ෂූන් වහන්සේ නමකට ‘ඔබ වහන්සේ අර ගස යට අසුන්ගෙන භාවනා කරන්නැ’යි දැනුම් දෙනවා. සෙසු භික්ෂූන් පිරිස මඟ රැක සිටිනවා.

ජනතාව දානය රැගෙන පැමිණෙන විට භාවනා කරනු ලබන භික්‍ෂූන් වහන්සේ පෙන්වා ‘අර භික්ෂූන් වහන්සේ රහත් වෙලා’ යැයි පවසනවා. උන්වහන්සේ බොහොම හොඳ රහතන් වහන්සේ නමක්, උන්වහන්සේට දානය ලබා දීමෙන් මහත් වූ පින් සිදුවෙනවා.

ජනතාව තමන් වෙත රැගෙන එන දානය පුද පූජා ගස යට භාවනා කරනු ලබන භික්ෂූන් වහන්සේට පූජා කරනවා. ඒ රහතන් වහන්සේට ඇති ගෞරවය නිසයි.
දානය පිළිගැන්වූ ජනතාව බැහැර වූ පසු සියලු භික්ෂූන් එක් වී ආහාර වළඳනු ලැබුවා. මෙවැනි ක්‍රියාකාරකම් එදා මෙන්ම අදත් සිදුවෙනවා.

මේ තත්ත්වය මත අද බොහෝ ගිහි පිරිස් මංමුළාවූ ස්වරූපයක් දක්නට තිබෙනවා. ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් කසාවත පොරවාගත් හෝ සුදුවත ඇඳගත් අය තමන්ට සිතෙන අයුරින් බුදුදහමට විවිධ කොටස් එකතු කර ඇතැම් විට බුදු දහම විකෘති කරනවා.

මෙය නොදන්නා ගිහි පිරිස් ඒ අය වෙත ඇදෙනවා. මේ සියලු දෙනා පිටතින් පෙනෙන්නට සිල්වත් බව පෙන්වමින් තමන්ට සිතෙන දේ බුදු බණ යැයි කියමින් ජනතාවට විකෘති වු කරුණු පවසන අයයි. ඔවුන් අත පය වෙහෙසා වැඩ කිරීමට අකැමැති අයයි. ශීල ධර්මයත් ගුණදහම් දැඩි වෙහෙසක් දරමින් වඩන ලද භික්ෂූන් විසින් ඇති කර ගන්නා ලද තත්ත්වයන්ට කිසිදු වෙහෙසක් නොදරා ජනතාව මුළා කරමින් ව්‍යාජ ලෙසින් ළංවීමට දරණ එවන් ගිහි පැවිදි පිරිස් දක්නට සිටිනවා.

එසේම මෙරට ජනතාවගෙන් කොටසක් මාර්ගඵල ලාභීන්ට දැඩි ඇල්මක් දක්වනවා.මේ නිසා ඇතැම් අය තමන් සෝවාන්ලාභී සකෘදාගාමී ආදි වශයෙන් අන්‍යයන්ට කරුණු දක්වනවා. මේ කරුණු දිහා අප බැලිය යුත්තේ උපේක්‍ෂාවෙන් . බුදු දහම උපේක්‍ෂාව ,අහිංසාව පදනම් කරගත් දර්ශනයක්. බුදු දහමේ හිංසකත්වයට කිසිඳු තැනක් ලබා දී නැහැ. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයෙන්ම අපට මේ සඳහා උදාහරණ ලබා ගන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ සමඟම ජේතවනාරාමයේ වැඩ විසු දේවදත්ත භික්ෂුව, සත්තරස භික්ෂූන් ජබ්බග්ගිය භික්ෂූන් එකල වැඩ සිටියා.

එමෙන්ම වජ්ජිපුත්තක භික්‍ෂූන්ගේ මූලයත් එකල දක්නට ලැබුණා. දේවදත්ත හිමියන්ගේ අනුගාමිකයන් වෙනමම හිටියා. සුභද්‍ර වැනි භික්‍ෂූන් දෙස බැලූ විට අපට පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේගේ සසුන තුළම එවන් අඩුපාඩුකම් සහිත භික්‍ෂූන් වහන්සේ වැඩ සිටින බවයි. සුභද්‍ර භික්ෂුවට නොබියව එම වදන් ගෙනහැර දක්වන්නට තරම් ශක්තියක් තිබීමෙන් පෙනෙන්නේ සුභද්‍ර වැනි භික්ෂූන්ට සමාන අදහස් ඇති භික්‍ෂූන් එකල වැඩ සිටි බවයි. බුදු දහමට විරුද්ධව වැඩ සිටි පිරිස් එදා සිටි නිසයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තෙමසක් ඉක්ම යාමටත් පෙර ධර්ම සංගායනාවක් පැවැත්වීමට කටයුතු කෙළේ.

මේ නිසා ධර්මයේ නාමයෙන් ගොඩ නැඟී එන ඇතැම් ආගමික කණ්ඩායම් පොතපත, අසපු, බුදුවරු, රහතන් වහන්සේ දෙස අප උපේක්‍ෂාවෙන් බැලිය යුතු වෙනවා. ඔවුන් සැබෑ දහම වෙනුවට මිථ්‍යාදෘෂ්ටිය වැළැඳගෙන අකුසල් පුරවා ගන්නා බව දැක අප ඔවුන් කෙරෙහි උපේක්ෂාව පැතිර විය යුතු වෙනවා. ඔවුන් මෙතරම් ගුණ දහම් පිරුණු බුදු දහම වෙනුවට හරසුන් දේ වැළැඳ ගන්නා ඔවුන් කෙරෙහි අප සංවේගජනක විය යුතුවෙනවා.
බුද්ධ දේශනාවෙන්ම හඳුන්වා දෙනවා නම් සර්පයා ඔලුවෙන් අල්ලනවා වෙනුවට වලිගයෙන් ඇල්ලීමට ඇතැමුන් පෙළඹෙනවා.

බුදුරජාණන් වහන්සේ අලගප්පදුම සූත්‍රය දේශනා කරන්නේ ‘මාගේ ධර්මය සර්පයෙක් හා සමානයි. ඒ සර්පයා ඇල්ලිය යුත්තේ ඔලුවෙන් පමණයි. ඔලුවෙන් ඇල්ලූ කල සර්පයාට වෙලා ගැනීමට හැකියාව තිබුණත් දෂ්ට කිරීමට බැහැ. ‘ධර්මය වැරැදි විදිහට අල්ලා ගැනීම ග්‍රහණය කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් අද අප අතර දක්නට තිබෙනවා.
මේ නිසා ශ්‍රාවකයා අවදියෙන් සිටීම මෙහිලා වැදගත් වෙනවා. අපේ ජනවහරේ ඇති ‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය’ යන්න සේම ‘ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහිබුද්ධියෙන් කියවිය යුතුයි ‘යන්න ගැනද අප අවබෝධයෙන් සිටිය යුතුවෙනවා.

අප සමාජයේ බුදු දහමට පමණක් නොව ඕනෑම කරුණක් උදෙසා විවිධ මත තිබෙන්නට පුළුවන්. එහෙත් සරු දේ මෙන්ම නිවැරැදි දේ තේරුම් බේරුම් කර ගන්නට අප බුද්ධිමත් විය යුතුවනවා.

කොළඹ සිට කතරගමට යා හැකි මාර්ග කිහිපයක් තිබෙන්නට පුළුවන්. නමුත් පහසුවෙන් ඉක්මනින් යා හැකි මාර්ගය නිවැරැදිව තෝරා ගැනීමට අපට පුළුවන් විය යුතුය. එම නිසා දේශකයන්, ලේඛකයන් විවේචනය කරනවාට වඩා තල්ගෙඩියට බියවී (සිංහයා හැර) සෙසු සත්ත්වයන් දිව ගියා සේ නොකර බුදුදහමින් අපට උගන්වා ඇති පරිදි 
අපගේ ඥානය භාවිතා කළ යුතුවනවා.

අප සම්මා දිට්ඨි සම්මා සංකප්ප යන්න සොයා යා යුතුයි.

අපේ තරුණ දු පුතුන්ට මේ අසපු, බුදුවරු, ආදින් ගැන විවිධ ගැටලු මතු වන්නට පුළුවන්.මේ බුදුවරු රහතන් වහන්සේලා යැයි කියන අයගේ මතය කුමක්ද? ඔවුන් වටා ජනතාව එක් රොක් වී සිටින්නේ ඇයිද යන ප්‍රශ්න මතුවනවා ඇති. ඒ සඳහා මෙරට සංඝ සංස්ථාව එක්කර සංඝාධිකරණයක් ඇති කළ යුතුවනවා.

ස්වාමීන් වහන්සේලාගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් ඒ සම්බන්ධව නිසි පියවර ගත යුතුවෙනවා. එමෙන්ම බෞද්ධ පොත පත මුද්‍රණය කිරීමට පෙර ඒ සම්බන්ධව අධීක්‍ෂණය කළ යුතු තැනක් නොමැති වීම නිසා අද බෞද්ධාගමට නිගාදෙන පොත පත බිහිවෙලා. මේ නිසා බෞද්ධ පොත පත මුද්‍රණයට පෙර ඊට අනුමැතියද ලබාදෙන ආයතනයක් තිබිය යුතු වනවා. එම ආයතනයෙන් කඩිනමින් එම පොත පත සම්බන්ධව නිර්දේශයක් ලබා දිය යුතුවෙනවා.
එසේ නොමැතිව අප මිථ්‍යා මත දරන තැනැත්තන් සමඟ කලහයට ගියහොත් ගැටලු විසඳීම වෙනුවට ගැටුම් ඇතිවීමක් පමණයි සිදුවන්නේ.

තෙරුවන් සරණයි !
බුදුසරණ පත්‍රයේ පළවූ ලිපියක් ඇසුරිනි.