Monday, August 27, 2012

මොකද්ද මේ පින සහ කුසලය?

පින කියල කියන්නේ යම් කිසි හොඳ දෙයක් ( තමන්ටත් අනුන්ටත් යහපත්, ප්‍රඥාවන්තයින්ගේ ප්‍රසංසාවට ලක්වන ක්‍රියා ) කිරීමෙන් සිතේ ඇතිවන සතුට නිසා ජනිතවන කර්ම ශක්තියක්. ඒක  විපාක දීල යම් කිසි කාලයකට පස්සේ අවසන් වෙලා යන එකක්. අපි මෙහෙම හිතමු. ඔන්න කෙනෙක් බඩගින්නේ ඉන්න කෙනෙකුට තමන්ගේ කෑම එකෙන් ටිකක් දෙනවා. එහෙම දීල ඒක ගැන සතුටු වෙනවා. ඉතින් ඒක නිසා එයාට පිනක් සිද්ද වෙනවා. අයින් ඇතිවූ කර්ම ශක්තියෙන් එයාට මතු භවයකදී ( හෝ මේ භවයේදීම හෝ ) කුසගිනි නැතිව සුවසේ සිටීමට හැකි වෙනවා.

කුසලය කියල කියන්නේ ලෝභ (රාග), ද්වේශ, මෝහ කියන මේ අකුසල් මුල් සිහියෙන් යටපත්කරගෙන ඒසඳහා සිහියෙන්, නුවනින් දැක තේරුම් අරගෙන කරන කටයුතුයි. යම් කිසි ක්‍රියාවකදී  ලෝභ (රාග), ද්වේශ, මෝහ කියන මේ අකුසල් මුල් යටපත් වී ඇතිනම් එය කුසලයයි. එක හරියට කුසලතාවයක් දියුණු උනා වගෙයි.   ලෝභ (රාග), ද්වේශ, මෝහ කියන මේ අකුසල් මුල් සිඳී නැති නිසයි සත්වයා අනේකවිධ දුක් පීඩා විඳිමින් සසර සැරි සරන්නේ. ඉතින් ලෝභ (රාග), ද්වේශ, මෝහ ප්‍රහාණය වෙනවා කියන්නේ දුකින් නිදහස් වෙනවා කියන එකයි. රහතන් වහන්සේට  ලෝභ (රාග), ද්වේශ, මෝහ මුළුමනින්ම ප්‍රහාණය වෙලයි තියෙන්නේ. ඉතින් අපි යම් කිසි ක්‍රියාවක්  ලෝභ (රාග), ද්වේශ, මෝහ යටපත් කරගෙන කළා කියන්නේ රහත් ඵලයට පත්වීමට අවශ්‍ය කුසලයක් කළා කියන එකයි. එය අප කවදාහෝ සසරින් එතෙර වන තුරුම අපට අනුග්‍රහ පිණිස පවතිනවා. අන්න එකයි කුසලයේ වටිනාකම. දැන් අර මුලින් කියපු උදහරනයේ දානයක් දීල පිනක්  උනා කිව්වනේ. ඒ දානෙම කුසලයක් ඇතිවෙන විදිහටත් දෙන්න පුළුවන්. දානය දෙනකොට මෙන්න මෙහෙම හිතන්න ඕන. " මේ දෙන්නේ මා සතු දෙයක්. මට පරිහරණය කළහැකිව තිබූ දෙයක්. මා තුල මේ දේ සඳහා යම් කිසි ආශාවක් තිබුනේද , මම ඒ ආශාව නැතිකරගෙන මේ දේ පුජා කරනවා. දානය කරනවා. මා මේ දේ දෙන්නේ අවන්කවම වෙනත් කිසියම් ලාභ සත්කාරයක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලාපොරොත්තුවෙන් නොවේ. කවදා හෝ සියලු ආශාවන්, තණ්හාවන් ප්‍රහාණය කිරීමට මේ කුසලය හේතු වේවා !!! " මෙන්න මේ ආකාරයෙන් සිහිය උපදවාගෙන චේතනාවක් ඇතිකරගෙන දානයක් දුන්නොත්, එකෙන් පිනක් වගේම කුසලයකුත් සිද්ද වෙනවා.  එය අප කවදාහෝ සසරින් එතෙර වන තුරුම අපට අනුග්‍රහ පිණිස පවතිනවා.

බුදුන් වහන්සේ පින් ( පුණ්‍ය ) ලෙස අපට කාරණා 10ක් පෙන්වා දී තිබෙනවා. ඒවා දස පුණ්‍ය ක්‍රියා ලෙස හඳුන්වනවා. එනම්;

  1. දානය - තමන් සතු වන්තුව ( ද්‍රව්‍යමය හෝ අද්‍රව්‍යමය ) අන් අයගේ යහපත, සුබ සිද්ධිය උදෙසා පරිත්‍යාග කිරීම.
  2. සීලය - සිත, කය, වචනය තමන්ටත් අනුන්ටත් පීඩාවක් නොවන පරිදි සංවර කරගැනීම
  3. භාවනාව - ප්‍රඥාව, සමාධිය දියුණු වන සුදුසු අරමුණක සිත හැසිරවීම තුලින් කුසල් දහම් වඩවා ගැනීම.
  4. පත්තිදාන - තමන් විසින් කල පින්කම් පින් බලාපොරොත්තුව සිටින අයට අනුමෝදන් කිරීම.
  5. පත්තානුමෝදනා   -  වෙනත් අයකු කරන ( හෝ අතීතයේ කල ) පින්කම් දැක / අසා ඒ පිළිබඳව සිත පහදවාගෙන සතුටු වීම.
  6. වෙය්යාවච්ච - පිදිය යුතු උතුමන්ට හා පුජනිය වස්තුන්ට වත් පිළිවෙත් කිරීම.
  7. අපචායන - පිදිය යුතු උතුමන්ට සිතෙන් කයෙන් වචනයෙන් වන්දනා කිරීම.
  8. ධම්ම දේසනා - ලාභ සත්කාර කිර්ති ප්‍රසංසා ආදිය බලාපොරොත්තු නොවී ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම හෝ කරවීම.
  9. ධම්ම සවන - චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස හොඳින් සවන් යොමුකොට ධර්මශ්‍රවණය කිරීම.
  10. දිට්ටිජුකම්ම - බුන් වනසේ දේශනා කල ශ්‍රී සද්ධර්මය පිලිබඳ නිවැරදි වැටහීමක් ඇතිකරගැනීම.
    ( සම්‍යක් දෘෂ්ටිය )

ඉහත කී කාරනා පුණ්‍ය ක්‍රියා උනාට, ලෝභ, ද්වේශ, මෝහ ප්‍රහාණය කිරීමේ චේතනාවෙන් , වීර්යයෙන් යුක්තව යමෙක් සිදු කරයි නම්, එවිට එයින් කුසල මුලයන් පාදා ගත හැකි බවයි මගේ අදහස.

ඊළඟට බුදුන්වහන්සේ අපට අකුසල් දොරටු 10කුත් පෙන්වා දී තිබෙනවා. එනම්;

  1. ප්‍රාණඝාතය - සතුන් මැරීම
  2. සොරකම - අන්සතු දේ ඔවුන්ට හොරෙන් තම සතුකරගැනීම
  3. වැරදි කාම සේවනය - වෙනත් ස්ත්‍රීන් / පුරුෂන් සමග කාම සේවනය කිරීම.
  4. බොරුකීම - අන් අය රැවටීමේ අදහසින් බොරු කීම.
  5. කේලාම් කීම - ඔවුනොවුන් බිඳවීමේ අදහසින් එක් පාර්ශවයක වැරදි අඩුපාඩු ආදිය තවත් පාර්ශවයක් සමග කීම.
  6. පරුස වචන කීම - නරක , සැඩපරුස වචනවලින් කතාකිරීම.
  7. හිස් වචන කීම - තමාටත් අනුන්ටත් වැඩක් නැති හිස් වචන කතා කර කර කාලය කා දැමීම.
  8. අභිද්‍යාව - අන් සතු වස්තු තම සතුකරගැනීමේ දැඩි ආශාව.
  9. ව්‍යාපාදය - තම අදහසට ඉටු නොවනවිට ( තමා සතුවනු කැමති දේවල් තමාට නොලැබෙනවිට ) ඇතිවන තරහ ස්වභාවය.
  10. මිත්‍යාදෘෂ්ටිය - කර්මය, කර්ම ඵලය, තෙරුවන, ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රමුඛ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කෙරෙහි ඇති වැරදි මැති මතාන්තර ඇතිකරගෙන සිටීම.


ඉහත සඳහන් කල දස අකුසල් වලින් මිදී කටයුතු කිරීම තුලින් කුසල්  වර්ධනය කරගැනීමට හැකිවෙනවා.

එනම්;
සිහියෙන්, නුවනින්, අවබෝධයෙන් යුක්තව තමාව අකුසල් විපාක වලින් මුදවා ගෙන සසර දුකින් නිදහස් වනු පිණිස, ලෝභ, ද්වේශ, මෝහ යටපත් කරගෙන;


  1. ප්‍රාණඝාතයෙන් වෙන්වී වාසය කරයි.
  2. සොරකමින් වෙන්වී වාසය කරයි.
  3. වැරදි කාම සේවනයෙන් වෙන්වී වාසය කරයි.
  4. බොරුකීමෙන් වෙන්වී වාසය කරයි.
  5. කේලාම් කීමෙන් වෙන්වී වාසය කරයි.
  6. පරුස වචන කීමෙන් වෙන්වී වාසය කරයි.
  7. හිස් වචන කීමෙන් වෙන්වී වාසය කරයි.
  8. අභිද්යාවෙන් වෙන්වී වාසය කරයි.
  9. ව්‍යාපාදයෙන් වෙන්වී වාසය කරයි.
  10. මිත්‍යාදෘෂ්ටියෙන් වෙන්වී වාසය කරයි.

ප්‍රාණඝාතයෙන් වෙන්විය යුත්තේ අවබෝධයෙන් මයි. කුමක් අවබෝධයෙන්ද?  තමාව අකුසල් විපාක වලින් මුදවා ගෙන සසර දුකින් නිදහස් වනු පිණිස, ලෝභ, ද්වේශ, මෝහ යටපත් කරගනිමි කියන අවබෝධයෙන් ඇතිවූ චේතනාවෙන්. ඒ කියන්නේ ඒක කුසල චේතනාවක්. ඒ ආකාරයෙන් සිහියෙන් නුවනින්, කල්පනා කරලා ප්‍රාණඝාතයෙන් වැළකිලා හිටියොත් තමයි ඒක කුසලයක් වෙන්නේ. එහෙම නැතුව කෙනෙක් කියපු පලියට, එහෙම නැත්තම් පොතක තිබුණු පලියට, ඔහේ කරන්නන් වාලේ කලාට කුසලයක් වෙන්නේ නෑ. හැබැයි පිනක් වෙන්න පුළුවන්. තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයෝ විදිහට අප ක්‍රියාව කලයුත්තේ පින සහ කුසලය දෙකම වැඩෙන අකාරයටයි. එවිටයි වඩා පහසුවෙන් සසර ගමන ඉක්මනින් කෙලවර කරගැනීමට හැකිවන්නේ.

සොරකමින් වෙන්විය යුත්තේ අවබෝධයෙන් මයි. කුමක් අවබෝධයෙන්ද?  තමාව අකුසල් විපාක වලින් මුදවා ගෙන සසර දුකින් නිදහස් වනු පිණිස, ලෝභ, ද්වේශ, මෝහ යටපත් කරගනිමි කියන අවබෝධයෙන් ඇතිවූ චේතනාවෙන්. ඒ කියන්නේ ඒක කුසල චේතනාවක්. ඒ ආකාරයෙන් සිහියෙන් නුවනින්, කල්පනා කරලා සොරකමින් වැළකිලා හිටියොත් තමයි ඒක කුසලයක් වෙන්නේ. එහෙම නැතුව කෙනෙක් කියපු පලියට, එහෙම නැත්තම් පොතක තිබුණු පලියට, ඔහේ කරන්නන් වාලේ කලාට කුසලයක් වෙන්නේ නෑ. හැබැයි පිනක් වෙන්න පුළුවන්. තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයෝ විදිහට අප ක්‍රියාව කලයුත්තේ පින සහ කුසලය දෙකම වැඩෙන අකාරයටයි. එවිටයි වඩා පහසුවෙන් සසර ගමන ඉක්මනින් කෙලවර කරගැනීමට හැකිවන්නේ.

ඉහත කාරණා 10ම මේ ආකාරයෙන් වටහා ගත යුතුයි.

Thursday, August 23, 2012

අපි මොකක්ද ඉක්මනින් කළ යුත්තේ ..?


අපි ධර්ම මාර්ගයේ ගමන් කරන විට ඉක්මනින් ප‍්‍රතිඵල බලාපොරොත්තු නොවිය යුතුයි. නමුත් අපි ඉක්මනින් කළ යුතු දෙයක් තියෙනව. ඒක තමයි දුකින් නිදහස් වීමට අප තුළ කැමැත්තක් ඇති කර ගැනීම. දුකෙන් නිදහස් වීමට අපි කැමති වෙන්ට ඕනැ. ඒක අපි ඉක්මනින් කරන්ට ඕනැ. අන්න ඒ කැමැත්ත ඉක්මනින් ඇතිකර ගන්ට ඕනැ. නමුත් දුකෙන් නිදහස් වීම, ඉක්මන් වුණාට ලැබෙන්නේ නෑ. එතකොට අපි මොකක්ද ඉක්මනින් ඇතිකරගත යුත්තේ? දුකෙන් නිදහස් වීමට කැමැත්තයි. අපි ඉක්මනින් ඒ කැමැත්ත උපදවා ගන්ට ඕනැ. ඒ කැමැත්ත මුල් කරගෙන තමයි යමෙක් දුකෙන් නිදහස් වෙනවාද? කියන කාරණය තීරණය වෙන්නෙත්, දුක කරාම යනවද? කියන කාරණය තීරණය වෙන්නෙත්. යම් කෙනෙක් කැමතියි නම් දුකෙන් නිදහස් වෙන්ට එයාට ඒකට ඉඩ කඩ, අවස්ථාව ධර්මය තුළ තිබෙනවා. නමුත් ඒ අවස්ථාව තිබෙන්නේ දුකෙන් නිදහස් වීමට තිබෙන කැමැත්ත මුල්වෙලාම යි. යම් කෙනෙක් තුළ ඒ කැමැත්ත ඉපදුණොත් තමයි එයා ඒකට වෑයම් කරන්නෙ. නැත්නම් වෑයම් කරන්නෙ නෑ. හැබැයි ඒ කැමැත්ත නැත්නම්, එයාට දුකෙන් නිදහස් වීමක් කරා යන්ට බෑ. එයා දුක කරාම යනවා. ඒ නිසා අපි ඉක්මනින් දුකෙන් නිදහස් විය යුතුයි කියන කැමැත්ත උපදවා ගත යුතුයි. එතකොට අපිට අවස්ථාවක් තියෙනව ධර්මයේ පිහිට ලබාගන්ට.
අපි බණ භාවනා කරන්ට කියල, ධර්මය ඉගෙන ගන්ට කියල කලබලේට මහන්සි වෙනව. නමුත් අපි ඉක්මනින් කරන්න ඕනෙ මොකක්ද..? කියල අපට තේරුමක් නෑ. එතකොට අපි මොකක්ද ඉක්මනින් ඇතිකරගත යුත්තේ? දුකෙන් නිදහස් වීමට කැමැත්ත. ඒ දුකෙන් නිදහස් වීමට කැමැත්ත අප තුළ ඇතිවෙන්ට නම් අපේ ජීවිතවල තිබෙන දුක ගැන, ඒ දුක ඇතිවෙන්ට හේතුවෙන දේවල් ගැන අපට වැටහීමක් තිබෙන්ට ඕන. දුක ගැන, දුක ඇති කරන දේවල් පරිහරණය කිරීම නිසා ඇති වෙන දුක ගැන කල්පනා කළොත් ඒවයින් නිදහස් වෙන්ට අපි තුළ කැමැත්ත ඇති වෙනවා. ඒ වැටහීම අප තුළ නැත්නම්, අපි ඒ දුක ඇතිකරන දේවල් වලටම කැමැත්තෙන් ඒවටම ඇලි ඇලීම දුක කරාම යනවා. ඒ නිසා ඒ වැටහීම අපි ඇතිකර ගත යුතු යි.
දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණගැහිල වන්දනා කරල මේ විදිහට කියා සිටියා ”දරුවො ඉන්න කෙනා සතුටු වෙන්නෙ දරුවන් නිසාම යි. ඒ වගේම ගව පට්ටි හිමිය සතුටු වෙන්නේ ගවයන් නිසාමයි. මේ කෙලෙස් තියෙන නිසයි මිනිසුන්ට සතුටක් තියෙන්නෙ. යම් කෙනෙකුට කෙලෙස් නැත්නම් එයාට ජීවිතේ සතුටකුත් නෑ” කියල ඒ දෙවියා කියා සිටියා. බලන්න එතකොට ඒක දෙවි කෙනෙක් කියන්නේ. ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ”නෑ. එහෙම නෙවෙයි. දරුවො ඉන්න කෙනා අන්තිමේදී දරුවො නිසා ශෝක වෙනවා. ඒ වගේම ඒ ගව පට්ටි හිමියා ඒ ගවයන් නිසාම ශෝක වෙනවා. මේ කෙලෙස් නිසා මිනිස්සුන්ට තියෙන්නෙ ශෝකය ම යි. යම් කෙනෙකුට කෙලෙස් නැත්නම් එයා ශෝක වෙන්නෙ නෑ” කියල.
දැන් බලන්න ඒ දෙවියා කියන්නෙ දරුවො ඉන්න කෙනා ඒ දරුවන් නිසාම සතුටු වෙනව කියල. ඊලගට ගවයන් ඉන්න අය ඒ ගවයන් නිසාම සතුටු වෙනව කියල. ඉතින් මේ කෙලෙස් තියෙන නිසා තමයි සතුට තියෙන්නෙ. යම් කෙනෙකුට කෙලෙස් නැත්නම් සතුටක් නෑ කියල තමයි ඒ දෙවියා කිව්වේ. සමහරවිට ඔබේ අදහසත් මේකම වෙන්ට පුලූවන්. ඒ අපිට අපේ ජීවිතවල තිබෙන දුක ගැන, දුක ඇති කරන දේවල් පරිහරණය කිරීම නිසා ඇති වෙන දුක ගැන වැටහීමක් නොමැති නිසා යි. එතකොට අපිට භාග්‍යවතුන් වහන්සේ කියා දුන්නෙ කොහොමද? ”දරුවන් ඉන්න කෙනා අන්තිමේදී දරුවන් නිසාම සෝක කරනවා. ගව පට්ටි හිමියා අන්තිමේදී ඒ ගවයන් නිසාම සෝක කරනවා” කියල යි.
එහෙනම් අපිට යමක් තියෙනව නම්, ඒකට බැඳුන සිතින් නම් වාසය කරන්නේ, අන්තිමට ඒක නිසාම අපි සෝක කරනවා. ඒ නිසා අපි ඒක තේරුම් අරගෙන අපි කල්පනා කරන්ට ඕනැ ඒ බැදීම් අතහරින්ට. එතකොට ඒ සෝක කරන ස්වභාවය නැතිවෙලා යනවා. ඒ සඳහා දුකෙන් නිදහස් වෙන්ට, සංසාරෙන් නිදහස් වෙන්්ට බලවත් කැමැත්තක් අප තුළ තියෙන්ට ඕනැ. ඒ කැමැත්ත තියෙන කෙනා ඒ සදහා වැයම් කරනවා. එයාට ටික ටික ඒ දුක හදන දේවල් ගැන තිබෙන කැමත්ත අතහරින්ට පුළුවන් කම ලැබෙනවා. දුකෙන් නිදහස් වෙන්ට කැමැත්තක් නැත්නම්, එයා ඒ දුක හදන දේවල්ම අල්ල ගන්නවා. දුක කරාම යනවා.
ඒ නිසා ඒ දුක හැදෙන පැත්තටම, ආපහු බැඳෙන පැත්තටම හිත හදාගන්ට එපා. දුකෙන් නිදහස් වෙන්ට, බලවත් කැමැත්තක් ඇති කරගන්න. ඒ විදිහට කැමැත්තක් ඇතිකරගන්ට පුළුවන් වෙන්නේ ”බැදීම් නිසා දුක හටගන්නවා, බැදීම් නැත්නම් ඒ දුක නැතිවෙනවා” කියන කාරණය තේරුම් ගත්තොත් තමයි. ඒ නිසා අපි ඒක තේරුම් අරගෙන ටිකෙන් ටික ඒ තියෙන බැදීම් දුරුකර ගන්ට දක්ෂ වෙන්ට ඕනැ. ඒ වගේම තමයි අලූතින් බැදීම් හටනොගන්න විදිහට ජීවිතය හදාගන්ටත් ඕනැ. ඒ දෙකට දක්ෂ නොවුණොත් එහෙම අපි දුකෙන් නිදහස් වෙනවා කියන කාරණාව කවදාවත් සිද්ධ වෙන්නේ නෑ.
දැන් අපි ධර්මය පාඩම් කරගෙන ඒ ධර්මයටත් බැදිල යන්ට පුළුවන්. ”මට පුළුවන්. මට තේරෙනවා” මේ වගේ අදහස් වලටත් අපි බැඳිල යන්ට පුළුවන්. අපි යමක් සිතින් අල්ල ගත්තොත්, ඒවගේම යමක් බැඳුනු සිතින් පරිහරණය කළොත් ඒක නිසාම තමයි අපිට දුක හටගන්නේ. නමුත් සිතින් අල්ල ගත්ත යම් දෙයක් තියෙනවා නම් ඒක සිතින් අතහැරියොත්, ඒ වගේම ආයෙ යමක් අලූතින් අල්ලගන්නෙත් නැත්නම් මේ දුක දුරුවෙනවා.
ඒනිසා හදිස්සි වෙන්ට එපා. හදිස්සි වුණොත් අපිට මුකුත් කරන්ට බෑ. අපි මොකක්ද ඉක්මනින් කළ යුත්තේ ..? අපි ඉක්මනින් දුකෙන් නිදහස් වීමට, එහෙම නැතිනම් සෝක නොකරන ජීවිතයකට කැමැත්ත උපදවා ගන්ට ඕනැ. ඒ කැමැත්ත උපදවා ගන්නෙ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන විශ්වාසය තියෙන කෙනා යි. සෝක නොකරන ජීවිතයක් ගැන අපිට කවුද කියල දුන්නෙ? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ සෝක නොකරන ජීවිතයක් ඇතිකර ගත්තා. ඒ නිසා උන්වහන්සේ විශ්වාසයෙන් කිව්වා ”සෝක නොකරන ජීවිතය මේකයි. ඔබලාත් එතෙන්ට පැමිණෙන්න” කියල. ඉතින් අපි ඒ කැමැත්ත උපදවා ගන්නෙ බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයෙන්. ඒක තමයි ශ‍්‍රද්ධාව කියල කියන්නෙ. ඒ ශ‍්‍රද්ධාව උපදව ගත්ත කෙනා ඒ ධර්මයේ යමක්ද කියන්නෙ ඒක ඒ ආකාරයෙන්ම අදහා ගන්නවා. ඒ ආකාරයෙන්ම කටයුතු කරන්ට එයා කැමතියි.
ඒ බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසවයක් නැති කෙනා මොකද කරන්නෙ? එයා වෙන වෙන දේවල් විශ්වාස කරනවා. එහෙම නැත්නම් කාමයන් ගැන විශ්වාස කරනව. දැන් ඒකනෙ දෙවිය කිව්වෙ ”දරුවො ඉන්න කෙනා සතුටු වෙන්නෙ දරුවන් නිසාමයි. ගවපට්ටි හිමිය සතුටු වෙන්නෙ ගවයන් නිසාමයි. මේ කෙලස් තියෙන නිසයි මිනිස්සුන්ට සතුට තියෙන්නෙ. යම් කෙනෙකුට කෙලෙස් නැත්නම් එයාට ජීවිතේ සතුටක් නෑ” කියල. එහෙම නැත්නම්, ”එහෙම කොහොමද..?” කියල මත ගැටුම් හදා ගන්නවා. එහෙම වෙන්නේ ඇයි.? එහෙම වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් නැති නිස යි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය දන්නෙ නැති නිසා යි. නමුත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් තියෙනවා නම් එයා කැමතියි මේ දුක නැති කරන ජීවිතයකට. සතුටු වෙන ජීවිතයට, සැප ලැබෙන ජීවිතයට එයා කැමතියි. ඒ නිසා දුකෙන් නිදහස් වීමට අපි කැමති වෙන්ට ඕනැ. අඬන්නෙ නැති ජීවිතයකට අපි කැමති වෙන්ට ඕනැ. මේ කාරණා ඔබත් නුවණින් තේරුම් අරගෙන දුක ආයෙ හට නොගන්න සැපවත් ජීවිතයක් ඇතිකර ගන්ට කැමති වෙන්න. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට කටයුතු කරන්න.
‘දිවයින බුදු මඟ’ ධර්ම සංග්‍රහයෙහි පළ වූ ලිපියක් ඇසුරෙනි.

Wednesday, August 22, 2012

බුදු දහම රැකෙන්නේ කෙසේද? ධර්මාවබෝධ කරන්නේ කෙසේද?


බුදු දහම රැකෙන්නේ කෙසේද? ධර්මාවබෝධ කරන්නේ කෙසේද?
මේ දවස් වල ගොඩක් බෞද්ධ අය කතා වෙන දෙයක් තමයි බුදු දහම නගාසිටුවීම. අපි දහම නගාසිටුවීමට කෙසේ කටයුතු කලයුතුද කියන එක බුද්ධ වචනයට අනුවම විමසා බලමු.
ඔබට මතකද බුදුන් වහන්සේ දේශනා කල මේ ගාථාව.

න චච්චා වසලෝ හොති - න චචචා හොති බ්‍රාහ්මනෝ
කම්මනා වසලෝ හොති - කම්මනා හොති බ්‍රහ්මනෝ

එකේ තේරුම තමයි "කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නේ උපන් කුලය හෝ ජාතිය
හෝ රට හෝ අගම අනුව නොව ඔහු හෝ ඇය විසින් කරන ක්‍රියාව අනුව" කියන එකයි.
උපතින් බෞද්ධ වූ පමණින්, බෞද්ධයි කියා ගන්නා අයගේ ඔළුගෙඩි ගණන වැඩි වූ පමණින් බුදු දහම රැකෙනවද?

නිවැරදි බුදු දහම පිළිපදින, නිවැරදි දහම මතු කර පෙන්වන, නිවැරදි දහමට යොමුවෙන්න පාර කියාදෙන පිරිස වැඩි උනොත් විතරයි බුදු දහම රැකෙන්නේ. එහෙම නැතුව බෞද්ධයි කියා ගන්නා අයගේ ඔළුගෙඩි ගණන වැඩි වූ පමණින් නොවේ. උප්පැන්න සහතිකේ අගම ඉදිරියෙන් බෞද්ධ කියල තිබ්බ පමණින් බුදු දහම රැක ගැනීමට රුකුලක් වෙන්නේ නෑ. නිවැරදි දහම තේරුම් ගැනීමට නම් පළමුවෙන්ම නිවැරදි දහම අහන්න ඕන. නැත්තම් කියවන්න ඕන. අද රටේ විවිධ මති මතාන්තර ඔස්සේ ලියවුනු බොහොමයක් පොත් පත් බුදු දහමේ ලේබලයෙන් එලියට එනවා. නොයෙක් ස්වාමින් වහන්සේලා නොයෙක් ආකාරයට කරුණු විග්‍රහ කරනවා. වෙනින් කොයි කාලෙකවත් නැති තරමට බුද්ධ වචනය විකෘති කරලා පොත් පත් , දේශනා එලියට එනවා.

මෙවන් පරිහානික යුගයක නිවැරදි බුද්ධ වචනය හඳුනා ගන්නේ කෙසේද?

බුදුන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා මේවගේ වෙලාවක අපි කොහොමද නිවැරදි බුද්ධ වචනය හඳුනා ගන්නේ කියල. උන් වහන්සේ දේශනා කලේ යම් අවස්ථාවක ඔබ අහන, දකින, කියවන කරුණු බුද්ධ වචනයමද කියල දැනගන්න නම් එම කරුණු සුත්‍ර දේශනා සමග ගැලපෙනවද? විනය දේශනා සමග සැසදෙනවා ද? කියල විමසිලිමත් වෙන්න කියල. ඉතින් ඔබ කොහෙන් හෝ ඇසුන දෙයක් අන්ධ භක්තියෙන් පිළිගන්න එපා. සුත්‍ර පිටකයේ සුත්‍ර දෙසනා සමග ගලපා බලන්න. විනය දේශනා සමඟ සසඳා බලන්න. ඉන් පසු ඔබගේ නුවන මෙහෙයවා ඔබ තුලින්, ඔබගේ දැනුමේ පමණට කාරණය වටහා ගැනීමට මහන්සි ගන්න. මොකද මේ බුද්ධ වචනය ( ශ්‍රී සද්ධර්මය ) ස්වාක්ඛාතයි, සන්දිට්ටිකයි, අකාලිකයි, එහිඵස්සිකයි, ඕපනයිකයි, පච්ච්ත්තන් වෙදිතබ්බයි.

ඒ කියනේ මොනවද?

ස්වාක්ඛාතයි - මුල, මැද, අග මනාකොට දේශනා කර තිබීම.
සන්දිට්ටික - මෙලොවදීම දැකීමට පැමිණිය හැකියි
අකාලික - ඕනෑම කාලයට වලංගුයි ( කල් නොයවා විපාක දෙන සුළුයි )
එහිඵස්සික - ඇවිත් බලන්න යයි කිව හැකියි
ඕපනයික - තමා තුලට පමුණුවා ගැනීමෙන් තේරුම් ගත යුතුයි
පච්ච්ත්තන් වෙදිතබ්බ - තම තම නැණ පමණින් අවබෝධ කරගත යුතුයි

ඉතින් ඔබ හැකි තරම් උත්සාහ ගන්න සුත්‍ර පිටකයේ දේශනා ඇසුරින් ධර්මය වටහා ගන්න. දහම අවබෝධය සඳහා උදවු වෙන කාරණා 4 ක් බුදුන් වහන්සේ දේශනා කළා. පළමු කාරණා දෙක තමයි බාහිර කරුණු දෙක.

1. කල්‍යාන මිත්‍ර සේවනයෙන් - ඒ කියන්නේ ඔබව අකුසලයෙන් මුදාගෙන කුසලයේ පිහිටවන අයගේ ඇසුරින්
2. සද්ධර්ම ශ්‍රවනයෙන් - දහම් කරුණු ඇසීම

ඊළඟ කරුණු දෙක තමයි ඔබ අභ්‍යන්තර වශයෙන් ඇතිකරගෙන දියුණු කරගත යුතු කරුණු. එනම්

3. යෝනිසෝමනසිකාරය - ඇසු දහම කරුණු බුද්ධ වචනයට අනුකුලව නුවනින් මෙනෙහි කිරීම
4. ධම්මානුධම්ම ප්‍රතිපදාව - දහමට අනුකුලව තම ජිවිත පැවැත්ම සකස් කර ගැනීම

ඉතින් මේ ආකාරයෙන් ඔබට දහම් අවබෝධය කිරීමට වාසනාව ලැබේවා!

සාධු! සාධු! සාධු!

Tuesday, August 21, 2012

පින් දීම සහ පින් අනුමෝදන් වීම.


පින්දීම සහ පින් අනුමෝදන් වීම ගැන දැනගන්න කලින් පින් කියන්නේ මොනවද, කුසල් කියන්නේ මොනවද, අකුසල් කියන්නේ මොනවද කියල අපි තේරුම් ගන්න බලමු.

බුදුන් වහන්සේ පින් ( පුණ්‍ය ) ලෙස අපට කාරණා 10ක් පෙන්වා දී තිබෙනවා. ඒවා දස පුණ්‍ය ක්‍රියා ලෙස හඳුන්වනවා. එනම්;

  1. දානය - තමන් සතු වන්තුව ( ද්‍රව්‍යමය හෝ අද්‍රව්‍යමය ) අන් අයගේ යහපත, සුබ සිද්ධිය උදෙසා පරිත්‍යාග කිරීම.
  2. සීලය - සිත, කය, වචනය තමන්ටත් අනුන්ටත් පීඩාවක් නොවන පරිදි සංවර කරගැනීම
  3. භාවනාව - ප්‍රඥාව, සමාධිය දියුණු වන සුදුසු අරමුණක සිත හැසිරවීම තුලින් කුසල් දහම් වඩවා ගැනීම.
  4. පත්තිදාන - තමන් විසින් කල පින්කම් පින් බලාපොරොත්තුව සිටින අයට අනුමෝදන් කිරීම.
  5. පත්තානුමෝදනා   -  වෙනත් අයකු කරන ( හෝ අතීතයේ කල ) පින්කම් දැක / අසා ඒ පිළිබඳව සිත පහදවාගෙන සතුටු වීම.
  6. වෙය්යාවච්ච - පිදිය යුතු උතුමන්ට හා පුජනිය වස්තුන්ට වත් පිළිවෙත් කිරීම.
  7. අපචායන - පිදිය යුතු උතුමන්ට සිතෙන් කයෙන් වචනයෙන් වන්දනා කිරීම.
  8. ධම්ම දේසනා - ලාභ සත්කාර කිර්ති ප්‍රසංසා ආදිය බලාපොරොත්තු නොවී ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම හෝ කරවීම.
  9. ධම්ම සවන - චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස හොඳින් සවන් යොමුකොට ධර්මශ්‍රවණය කිරීම.
  10. දිට්ටිජුකම්ම - බුන් වනසේ දේශනා කල ශ්‍රී සද්ධර්මය පිලිබඳ නිවැරදි වැටහීමක් ඇතිකරගැනීම.
    ( සම්‍යක් දෘෂ්ටිය )

ඊළඟට බුදුන්වහන්සේ අපට අකුසල් දොරටු 10කුත් පෙන්වා දී තිබෙනවා. එනම්;

  1. ප්‍රාණඝාතය - සතුන් මැරීම
  2. සොරකම - අන්සතු දේ ඔවුන්ට හොරෙන් තම සතුකරගැනීම
  3. වැරදි කාම සේවනය - වෙනත් ස්ත්‍රීන් / පුරුෂන් සමග කාම සේවනය කිරීම.
  4. බොරුකීම - අන් අය රැවටීමේ අදහසින් බොරු කීම.
  5. කේලාම් කීම - ඔවුනොවුන් බිඳවීමේ අදහසින් එක් පාර්ශවයක වැරදි අඩුපාඩු ආදිය තවත් පාර්ශවයක් සමග කීම.
  6. පරුස වචන කීම - නරක , සැඩපරුස වචනවලින් කතාකිරීම.
  7. හිස් වචන කීම - තමාටත් අනුන්ටත් වැඩක් නැති හිස් වචන කතා කර කර කාලය කා දැමීම.
  8. අභිද්‍යාව - අන් සතු වස්තු තම සතුකරගැනීමේ දැඩි ආශාව.
  9. ව්‍යාපාදය - තම අදහසට ඉටු නොවනවිට ( තමා සතුවනු කැමති දේවල් තමාට නොලැබෙනවිට ) ඇතිවන තරහ ස්වභාවය.
  10. මිත්‍යාදෘෂ්ටිය - කර්මය, කර්ම ඵලය, තෙරුවන, ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රමුඛ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කෙරෙහි ඇති වැරදි මැති මතාන්තර ඇතිකරගෙන සිටීම.




ඉහත සඳහන් කල අකුසල් වලින් මිදීම "කුසලය" ලෙස බුදුන්  වහන්සේ දේශනා කලා. එනම් දස කුසලයයි.

දස කුසල් යනු;

  1. ප්‍රාණඝාතයෙන් වෙන්වීම.
  2. සොරකමින් වෙන්වීම.
  3. වැරදි කාම සේවනයෙන් වෙන්වීම.
  4. බොරුකීමෙන් වෙන්වීම.
  5. කේලාම් කීමෙන් වෙන්වීම.
  6. පරුස වචන කීමෙන් වෙන්වීම.
  7. හිස් වචන කීමෙන් වෙන්වීම
  8. අභිද්යාවෙන් වෙන්වීම.
  9. ව්‍යාපාදයෙන් වෙන්වීම.
  10. මිත්‍යාදෘෂ්ටියෙන් වෙන්වීම.

හොඳයි, දැන් අපි බලමු පින් දීම ( පත්තිදාන ) සහ පින් අනුමෝදනා වීම ( පත්තානුමෝදනා ) පිළිබඳව. පිනක් හෝ කුසලයක් කිරීමෙන් පසුව එයට දායක වූ පුද්ගයාට පුළුවන් ඒ පුණ්‍ය ශක්තිය වෙනත් කෙනෙකුට දානය කරන්න. ඒක ද්‍රව්‍යම දෙයක් නෙමේ. ඇහැට පේන, කනට ඇහෙන, අතට පයට දැනෙන දෙයක් නෙමේ. ඒක ශක්ති විශේෂයක්. සිතකින් සිතකට යාහැකි ශක්තියක් කියල අවබෝධ කරගත්තම හරි. ඕනකෙනෙකුට පුළුවන් තමන් කල පිනකින් හෝ කුසලයකින් ජනිතවූ පුණ්‍ය ශක්තිය තමන් කැමති පරිදි කැමති කෙනෙක් වෙනුවෙන් දානය කරන්න. පින් දෙන කෙනා තුල තිබිය යුතු අවම සුදුසුකම තමයි පින හෝ කුසලය කිරීමට තමා දායක වී සිටීම. එවිටයි එය තමන්ගේ දෙයක් බවට පත්වෙන්නේ. ( තමන් කල කී දේ තමන් සතුයි. තමාගේ දුකින් මිදීම තමා විසින් උදා කරගත යුතුයි. ) තමන්ගේ නොවන දෙයක් අනුන්ට දෙන්නේ කොහොමද? එහෙනම් නුවනින් වටහා ගන්න පින් දීමට නම් (පත්තිදාන) තමා විසින් පිනක් ( හෝ කුසලයක් ) කල යුතුමයි.

අපි දෙන පින් ගන්න පුළුවන් කාටද?
දැන් ඊළඟට අපි බලමු අපි පින් දුන්නහම ඒවා ගන්න පුළුවන් වෙන්නේ කාටද කියල. අපි පින් දෙනකොට නම් වශයෙන් සිහිපත් කරලා පින් දුන්නොත් ඒ උදවියට පළමුව ඒ පින් යොමුවෙනවා. විශේෂයෙන් නම් ගම් ආදිය සඳහන් නොකර සියලු සත්වයන්ට කියල පින් දුන්නොත් සියලු සත්වයන්ට ඒ පුණ්‍ය ශක්තිය යොමු වෙනවා. පින් ගන්න හැකියාවක් නැති අකාරයේ උපතක් ලබා ඇති සත්වයින්ට ඒ පුණ්‍ය ශක්තිය ගන්න හැකියාවක් නෑ. කාටද ගන්න පුළුවන් කාටද බැරි කිය කියා හොයන එක නම් මම අනුමත කරන්නේ නෑ. ඔබට පින් දෙන්න අවශ්‍ය නම් පින් දෙන්න. ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගනී. වඩා වැදගත් වන්නේ ඔබතුල ඇතිවන දාන චේතනාවයි. අමතක කරන්න එපා , පින් දීමත් පිනක්. ඉතින් මේක ගන්න කවුරුවත් නැති වෙයිද , මේවා අපතේ යයිද කියල හිතල ඔබේ පින සැහැල්ලු කරගන්න එපා. දාන චේතනාවෙන් පිරිසිඳු සිතින් එය කරන්න.

පින් අනුමෝදනාවිම කියන්නේ මොකක්ද?
පින් අනුමෝදනා වෙනවා කියන්නේ තව කෙනෙක් කරන පිනක් හෝ කුසලයක් දැකල ඒ ගැන සිත පහදවාගැනීමෙන් සිතේ ඇතිවන සතුට නිසා ඇතිවන පුණ්‍ය ශක්තියයි. ඒ ගැන සිත පහදවා ගන්න බැරි උනොත් පින් අනුමෝදනා වෙන්නේ නෑ. හැම වෙලාවේම චේතනාව මුල් විය යුතුයි. වෙන කෙනෙක් කරන පිනක් දැකල අපිට අවංකව සතුටු වෙන්න පුළුවන් නම් ඒ කෙනා ඒගැන දැනගත්තත් නැතත් අපිට අපේ චේතනාවේ තරමට පින් අනුමෝදන් වෙනවා. හැබැයි අපිම ඉදිරිපත් වෙලා ඒ පින කලොත්, වඩා වැඩිපුර පිනක් සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ චේතනාවට අනුව කයින් වචනයෙන් තමාම ඉදිරිපත් වෙලා ක්‍රියාව කල නිසයි. උදාහරණයක් ලෙස මෙහෙම හිතන්න. ඔන්න ඔයාගේ යාලුවෙක් සිල්වත් භික්ෂුවකට දානයක් දෙනවා ඔයා දකිනවා. එහෙමත් නැත්තම් යාළුවාම පස්සේ ඔයාට ඒගැන විතර කියනවා කියල හිතන්න. ඊට පස්සේ ඔයාගේ සිතේ ඒගැන අවංක පැහැදීමක් සතුටක් ඇති උනොත් අන්න එතකොට ඔයාටත් යම්කිසි පිනක් අනුමෝදන් උනා. දැන් මෙහෙම හිතන්න. ඔයත් හිතනවා මේ වගේ දානයක් දුන්නොත් හොඳයි කියල. එහෙම හිතල ඔයාම ඉදිරිපත් වෙලා කළමනා සපයාගෙන, ශ්‍රද්ධාවෙන් දානය පිළියෙළ කරලා දෙනවා. දැන් මොකද හිතන්නේ? කොයි පිනද වැඩි? ඔබ විසින් සිතින් කයින් වචනයෙන් ඉදිරිපත්වෙලා කරගතු පින මුල් එකට සාපේක්ෂව වැඩියි.

Thursday, August 16, 2012

ධර්මය අවබෝධ කරන්න තර්කයෙන් පුලුවන්ද?


තර්ක කරලා ධර්මය අවබෝධ කරන්න බෑ. තර්යකයට ගැලපුණු පමණින් ධර්මානුකුල වෙන්නේ නෑ. ධර්මය අවබෝධ කරන්න තියෙන්නේ ශ්‍රද්ධාව මුලික කරගෙනයි. බුදුන් වහන්සේ කාලාම සුත්‍රයේදී දේශනා කළා " මා තක්ක හේතු " කියල. ඒකියන්නේ තර්කයට ගැලපුණු පමණින් පිළිගන්න එපා කියල. ශ්‍රද්ධාව තියෙන කෙනා බුද්ධ දේශනාව සැක කරන්නේ නෑ.  අන්ධ භක්තියකින් පිළිගන්න යන්නෙත් නෑ. එය කල යුත්තේ දේශනාවේ අඩංගු කරුණු නුවනින් මෙනෙහිකරලා බලන එකයි. බුදුන් වහන්සේ දේශනා කල පිළිවෙලට අප අවංකව නුවන මෙහෙයවනවානම් ධර්මය අදත් අවබෝධ කරන්න පුළුවන්. 

තර්ක කර කර ඉන්න එකෙන් වෙන්නේ අවබෝධය දියුණු වෙන එක වෙනුවට සිහි මුලා වෙන එකයි. 

අයියෝ සල්ලි !

දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට ඕන තරම් සල්ලි තියෙනවනම් සැප ලඟා කරගන්න එක හරි ලෙහෙසී කියල. එ උනාට ටිකක් ගැඹුරින් හිතන්න බලන්න, සල්ලි වලට පුලුවන්ද අපව වයසට යන එක නවත්තන්න ? අපිව ලෙඩ වෙන එක නවත්තන්න? අපිව මැරෙන එක නවත්තන්න? එහෙම කරන්න බෑ නේද? හැබැයි සල්ලි වලට පුළුවන් අපිට ගිහි ජිවිතයේ කටයුතු යම් තාක් දුරකට පහසුවෙන් කර ගැනීමට මාර්ගය පාදා දෙන්න. ඒ උනාට අපි සල්ලි වලට යට වෙලා සල්ලි වලට වහල් උනොත් අපිට කොහෙත්ම සැහැල්ලු ජිවිතයක් ගතකරන්න බැරි වෙනවා. මුදලට ඕන ඕන විදිහට නැටවෙන රුකඩ වගේ මිනිස්සු ඔබ ඕන තරම් දැකල ඇති නේද? ගිහි ගෙදර ගත කරන අපි හැම දේකටම වඩා සල්ලි ලොකු කරගෙන සල්ලි පස්සේ දුවන්න ගියොත් වෙන්නේ අපිව හති වැටෙන එක විතරයි. කිසිම විවේකයකුත් නෑ. කිසිම ජිවිත අවබෝධයක් දියුණු වෙන්නෙත් නෑ. මේ කියන්නේ මුදල් ඕනෙම නෑ කියන අන්තවාදී කතාවක් එහෙම නෙමේ. මුදල් වලට වහල් වියයුතු නෑ කියන එකයි මේ කියන්නේ.

මුදලට අපිව පාලනය කරන්න දෙන්නේ නැතුව අප විසින් මුදල් පාලනය කල යුතුයි. ගිහි ජිවිතයේ කටයුතු සාර්ථකව ඉටුකරගැනීමට අපට මුදල් අවශයි. එකේ කිසිම විවාදයක් නෑ. මුදල් උපයන මාර්ගය ලෙස අප ධර්මානුකුල ක්‍රමයක් සොයා ගත යුතුයි. ඔබ දැකල ඇති නොයෙක් අධාර්මික ක්‍රම වලින් මුදල් උපයන අය. ඒවායේ දරුණු විපාක විඳින්න ඔවුන්ට සිද්ද වෙනවා කියල ඔවුන් දන්නේ නැහැ. අඩුගනනේ ඔබ කල්පනා කරලා බලන්න ඔබ මුදල් උපයන්නේ පන්සිල් පද කඩල ද කියල. එහෙන නම් නම් පුළුවන් තරම් ඉක්මනින් එයින් බැහැර වෙන්න. ඒ අතරම ලද දෙයින් සතුටුවන සැහැල්ලු දිවි පැවැත්මක් ඇති කෙනෙක් වෙන්න උත්සාහ ගන්න ඕන. ලද දෙයින් සතුටු වෙන්න කිව්වම සමහර බටහිර ගැති චින්තකයින් සහ ඔවුන්ගෙන් උපදෙස් ගන්න කළු සුද්දන් කියනවා ලද දෙයින් සතුටු වෙන එක වැරදි අදහසක් කියල. ලද දෙයින් සතුටු වෙලා ඔහේ බලාගෙන හිටියොත් තව තව දේවල් ලඟා කරගන්නේ කොහොමද කියල අහනව. ධනාත්මකව හිතන කෙනා එහෙමලු කල්පනා කරන්න ඕන.
මම ඒ අයගෙන් මෙන්න මෙහෙම අහන්න කැමතියි. ඔබ ලද දෙයින් සතුටු උනේ නැත්තම් ඔබ කිසිම දවසක සතුටු වෙන කෙනෙක් නෙමෙයි නේද? ඒ මොකද ඔබ හැම වෙලාවේම ඉන්නේ නොලැබුණු දේ ගැන දුක් වේවි. එක ලබාගන්න දරන නිමක් නැති අසහනයකින් පෙළෙමින්. නමුත් බුදු දහම කවදාවත් කෙනෙකුව පිඩාවට පත්වෙන දෙයක් යෝජනා කරන්නේ නෑ. බුදු දහම තුල තමයි නියම ම ධනාත්ම චින්තනය අඩංගු වෙන්නේ. ඔබට තව තව දේවල් ලබා ගන්න අවශ්‍ය නම් ඔබ එය කල යුත්තේ රටේ ලෝකේ මිනිස්සුන්ට show එකට නෙමේ. ඔබ ඔබේ අවශ්‍යතා නුවනින් කල්පනා කරලා බලල අවශ්‍යතාවයට ගැලපෙන දේ ධර්මනුකුලව ලබා ගන්න වීර්ය කරන්න. එකේ වරදක් නෑ. හැබැයි දැඩි ලෝභයෙන් මත්වෙලා මදයෙන් මානයෙන් උදම් වෙලා එකිනෙකාට තරඟයෙන් යන මේ අතිධාවනකාරී ජිවන රටාව නම් තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයෙකුට  කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ඔබ නොදැනුවත්ව හෝ ඔය රැල්ලට අහුවෙලා යනවා නම් පුළුවන් තරම් ඉක්මනට එකෙන් අයින් වෙන්න. ඔබට කරන්න තියෙන්නේ ඔබ සිතන ක්‍රමය වෙනස් කරගන්න එක විතරයි. ඊට පස්සේ ඊට අනුව ක්‍රියාව සකස් කරගන්න එක ලේසියි.

බුදුන් වහන්සේ දේශනා කලේ ගිහි පැවිදි දෙපක්ෂයටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස උත්සාහ වෙන්න කියලයි. ඒ සඳහා කලයුතු ක්‍රියා පිළිවෙලත් උන් වහන්සේ බොහොම පැහැදිලිව දේශන කළා. ගිහි පින්වතුන් තම රැකි රක්ෂා ආදී නොයෙකුත් කටයුතු අතර මාසෙකට අඩුම තරමේ එක් දිනක් වත් සීල, භාවනා ආදී ගුණධර්ම දියුණු කරගන්න කැප වෙන්න කියල උන් වහන්සේ අවවාද කළා. ඔබ ඔබට හැකි ප්‍රමාණයෙන් මේ ධර්ම මාර්ගයට පිවිසෙන්න උත්සාහ කරන්න. ඒ වෙනුවෙන් වීර්ය කරන්න. ධර්මය අහන්න, කියවන්න, සිතේ ධාරණය කරගන්න, එයට අනුව ජිවිත පැවැත්ම සකස් කර ගන්න. මේ නිමක් නැති සසර ගමනින් නිදහස් වෙන්න තියෙන්නේ එකම මාර්ගයි. ඒ තමයි බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය තමන්ගේ ජිවිත තුලට ගලපා ගැනීම.

සමහරුන්ට සුත්‍ර දේශනා ගොඩක් කියවලත් තාම අවබෝධයක් දියුණු වෙලා නැත්තේ ඇයි? මාර්ග-ඵල ලාභීන් බිහිවෙන්නේ නැත්තේ ඇයි? බුද්ධ කාලින සමාජයේ සමහරු එක බන පදයක් අහලත් සෝවාන් ආදී මාර්ග ඵල වලට පැමිණුනා. අද එහෙම නැත්තේ ඇයි?


හොඳ ප්‍රශ්නයක්. 
ධර්මාවබෝධය තුලින් මාර්ග-ඵල ලැබීම කියල කියන්නේ තම තමන් වෙන වෙනම තනි තනිව කලයුතු දෙයක්. ධර්මාවබෝධය කියන්නේ අකුසල් වලින් වැලකෙමින් කුසල් රැස් කරමින් සිත වඩමින් යන ගමනේදී ලබන මානසික පරිවර්තනයක්. එම මානසික පරිවර්තනයේ සන්ධිස්ථාන කිහිපයක් තමයි සෝවාන්, සකදාගාමී, අනාගාමි, අරහත් කියල හඳුන්වන්නේ. සුත්‍ර දේශනා කියවපු පමණින් අවබෝධයක් දියුණු වෙන්නේ නෑ. සුත්‍ර දේශනා වල සඳහන් ධර්ම කරුණු නුවනින් තේරුම් අරගෙන තමන්ගේ ජිවිත පැවැත්මට ගලපා ගත යුතුයි. ඒවාට අනුව ජිවිත පැවැත්ම සකස් කරගත යුතුයි. තම තමන් ගේ වැරදි නුවනින් තේරුම් අරගෙන ඒ වැරදි නිවැරදි කරගත යුතුයි. එවිට තමන්ගේ සිතේ ශ්‍රද්ධාදී කුසල ධර්මයන් වැඩෙන්න පටන්ගන්නවා. සීලය, සමාධිය, ප්‍රඥාව වැඩෙන්නේ එවිටයි. නිවැරදිව ධර්ම මාර්ගයට පැමිණි පසුව උනත් හැමෝටම එක්වරම ධර්මය අවබෝධ වෙලා මාර්ග ඵලවලට පත්වෙනවා කියල දෙයක් වෙන්නේ නෑ. තම තමන් අතීත සසරේ රැස් කල කුසල අකුසල කර්ම වල ස්වභාවය අනුව මාර්ග ඵල වලට පත්වීමට ගතවන කාලය වෙනස් වෙනවා. කරන්න තියෙන්නේ සිහිය දියුණු කරගෙන , නුවනින්, වීර්යයෙන් අත්නොහැර දිගටම කුසලය කිරීමයි. කුසලය කියන්නේ ලෝභ , ද්වේශ , මෝහ නැතිවෙන වැඩ කටයුතුයි.

බුද්ධ කාලින සමාජයේ ධර්මාවබෝධ කිරීමට පැමිණි පිරිස අතර අතීත සසරේ බොහෝ කුසල් කල , පාරමිතා සම්පුර්ණ කල විශාල පිරිසක් හිටිය. ඒ අයට ඉතා කෙටි දේශනාවක් ඇසීමෙන් පවා සෝවාන් ආදී මාර්ග ඵල වලට පැමිණෙන්න පුළුවන් උනා. ඔවුන්ගේ ඉන්ද්‍රිය ධර්ම ආදිය උපතින්ම හුඟක් දියුණු වෙලා තිබුනා. අතීත සසරේ වඩපු කුසල් වල බලය නිසා කෙටි දේශනාවක් අසු පමණින් පවා අතීත සසරේ වඩපු කුසල් ශක්තිය මතුවෙලා ආව. මාර්ග-ඵල ආදියට ඉතා ඉක්මනින් පත්වුණා. හොඳම උදාහරණ තමයි, උපතිස්ස , කෝලිත, බහිය දාරුචීරිය වැනි උදවිය. අදත් ශ්‍රී සද්ධර්මය පවතින යුගයක්. නමුත් එදා වගේ මාර්ග-ඵල ලාභීන් ප්‍රකටව නැත්තේ මාර්ග-ඵල වලට පත්වීමට තරම් කුසල් පිරි නැති නිසයි. එහෙම නැතුව ධර්මයේ වැරද්දක් නිසා නෙමෙයි. ධර්මයේ යම් කිසි දෙයක් මගහැරී ඇති නිසා කියල සැක කරන්න එපා. යම් කෙනෙක් අසූහාර දහසක් ධර්ම ස්කන්දය කියෙව්වත් අවබෝධ නොවෙන්නේ පෙර වඩන ලද කුසල් නැති නිසයි. එක නිසා කලයුත්තේ අවබෝධ වෙන්නේ නෑ කියල කෑ ගගහ ඉන්න එක නෙමේ. පාපයෙන් වෙන්වෙලා කුසල් දහම් වඩන්න. සිත දමනය කරගන්න. ( සබ්බ පාපස්ස අකරනන් - කුසලස්ස උපසම්පදා - සචිත්ත පරියෝදපනං - එතං බුද්ධාන සාසනං ) එවිට ඔබටත් මාර්ග-ඵල වලට පත්වෙන්න පුළුවන්. මේ භවයේ බැරි වුනොත් අනාගත භවයක හරි ධර්මාවබෝධය කරන්න මාර්ග-ඵල වලට පත්වෙන්න එක උදව්වක් වෙනවා ඒකාන්තයි.