Monday, October 6, 2014

සප්ත විසුද්ධි

සීල විසුද්ධිය


     “සීලවිසුද්ධි නාම සුපරිසුද්ධං පාතිමොක්ඛසංවරාදී චතුබ්බිධං සීලං” - සුපිරිසිදු ප්‍රාතිමෝක්‍ෂසංවරාදී සිවු වැදෑරුම් ශීලය ශීලවිශුද්ධි නම් වේ.
1.      ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය - ශික්‍ෂාපද ශීලය යි.
2.      ඉන්ද්‍රිය සංවර ශීලය - ඇස් කන් නාසාදී ඉන්ද්‍රියයන් ගේ මාර්‍ගයෙන් තමාගේ චිත්තසන්තානයෙහි රාගාදී ක්ලේශයන් පහළ වන්නට ඉඩ නො දී ඉන්ද්‍රියයන් සංවර කැරැ ගන්නා ශීලය යි.
3.      ආජීව පාරිශුද්ධි ශීලය - ධාර්මිකාජීවය සඳහා පනවන ලද ශික්‍ෂාපදයන් නො ඉක්මවමින් ඉතා පිරිසිදු වැ ජීවත් වීමෙන් ඇතිවන සංවරය - හීලෑකම - තැන්පත් කම නම් වූ ශීලය ය.
4.      ප්‍රත්‍යයසන්නිඃශ්‍රිත ශීලය - සිවුපස පරිභෝග කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය නිසි ලෙස සිතා නිසි ලෙස යොදා ආහාර පානාදිය ගැනීමෙන් ඇතිවන සංවරය යි.     ශීල විශුද්ධිය සම්පූර්‍ණ වීමට චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත් විය යුතු බව මෙයින් පැහැදිලි වෙයි. ගිහි අය වුව ද පඤ්ච ශීලයට වඩා උසස් ශීලයෙකින් හා ආජීවයෙකින් යුක්තවිය යුතු ය. භාවනානට බලවත් කැමැත්තක් ඇති ගිහියනට වුව ද එක්තරා ප්‍රමාණයෙකින් හෝ චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත්වීම අපහසු නොවනුවා ඇත. අන්තිම ජාතියෙහි වූ කෙනකු හැරැ පඤ්චශීල මාත්‍රයකුදු නැති සාමාන්‍ය අය භාවනාවට කියා ගොස් උසස් ප්‍රතිඵල ලබනුවා යයි කීම නුවණැතියන්ගේ පුදුමයට හේතුවක් වී තිබෙන්නේ මේ නිසා ය. ශීලවිශුද්ධියක් නැත්තකුට චිත්ත විශුද්ධියක් නො ලැබිය හැකි බව රථවිනීත උපමාවෙන් පැහැදිලි ය.


‍චිත්ත විශුද්ධිය


“චිත්තවිසුද්ධි නාම සඋපචාරා අට්ඨසමාපත්තියො” - උපචාර සහිත අට්ඨසමාපත්තීහු චිත්තවිශුද්ධි නම් වෙති.උපචාර සමාධි යැ, අර්‍පණා සමාධි යැයි සමාධීහු දෙ වැදෑරුම් වෙති. උපචාර සමාධිය නම් අර්‍පණා සමාධියට පෙරැ පහළ වන කාමාවචර සමාධිය යි. අර්‍පණා සමාධිය නම් ප්‍රථම - ද්විතීය - තෘතීය - චතුර්‍ථ යන රූපාවචර ධ්‍යාන සතර හා ආකාසානඤ්චායතන යැ, විඤ්ඤාණඤ්චායතන යැ, ආකිඤ්චඤ්ඤායතන යැ, නේවසඤ්ඤානාසඤ්ඤායතන යැ යන අරූපාවචර ධ්‍යාන සතර දැයි කියැවෙන අෂ්ටසමාපත්තීහු ය.
චිත්ත විශුද්ධිය සම්පූර්‍ණ වීමට අර්‍පණා සමාධියක් තිබිය යුතු ය. යම්තමින් හෝ චිත්ත විශුද්ධියක් ඇති වීමට අඩු මැ ගණනේ උපචාර සමාධියක් වත් තිබිය යුතු ය. උපචාර සමාධි මාත්‍රයක් හෝ ලැබීම එතරම් පහසු ක්‍රියාවක් නො වෙයි. අන්තිම ජාතියෙහි වූ කෙනෙකු හැරැ සාමාන්‍ය අයට නම් චිත්තවිශුද්ධියක් ලබා ගැනීමට ශීලවිශුද්ධියෙහි පිහිටා බොහෝ කාලයක් සමථ භාවනා කළ යුතු වෙයි. රහත් වන්නට පිනැතියවුනට පවා අවුරුදු ගණන් ගෙවාත් මඟපල තබා උපචාර සමාධියක් වත් ලබා ගැනීම දුෂ්කර වූ බව සමහර කථාවස්තුවලින් පෙනෙයි. කිසිදු තැන්පත් කමක් සංවරයක් නැති අය ද භාවනාවට ගොස් දවසෙන් දෙකෙන් දින කීපයෙන් සමාධි වෙනුවා යයි කීම නැණැතියන්ගේ හාස්‍යයට හේතු වී තිබෙන්නේ මේ නිසා ය. චිත්තවිශුද්ධියක් නැත්තකුට දෘෂ්ටි විශුද්ධියක් ලබා ගත නො හැකි වේ.


දිට්ඨිවිසුද්ධිය


නාමරූපානං යාථාවදස්සනං දිට්ඨිවිසුද්ධි නාම” - නාමරූපයන් ඇති සැටියෙන් දැනීම, පිරිසිඳැ දැනීම දිට්ඨි විසුද්ධි නම් වේ.
සීලවිශුද්ධියෙන් හෙවත් තමාට අයත් උසස් ශීලයෙන් සිල්වත් වැ, චිත්ත විශුද්ධියෙන් හෙවත් සමථ භාවනාවෙකින් සමාහිත වැ සිටින යෝගාවචරයාගේ භාවනාව විදර්‍ශනාවට හරවන්නේ මේ දිට්ඨිවිසුද්ධියෙනි. තමා ලැබූ සමාධිය අනුවැ විදර්‍ශනාවට හැරවීම දෙයාකාරයෙකින් කළ හැකි වේ. එනම්: අරූපමුඛ රූපමුඛ යනු යි. චිත්තවිශුද්ධියෙහි දී තමා ලබා ගත් ධ්‍යානචිත්තයෙහි ධ්‍යානාංග සම්මර්‍ශනය කොට විදර්‍ශනාවට හරවන මාර්‍ගය අරූපමුඛ නම් වෙයි. ලබා ගත් ධ්‍යානචිත්තය පාදක නො කොට කෙළින් මැ ආශ්වාස ප්‍රශ්වාසකාය මැ ගෙනැ නාමරූප වශයෙන් වෙන් කොට බලා විදර්‍ශනාවට හරවන මාර්‍ගය රූපමුඛ නම් වේ.
තව ද ආශ්වාස ප්‍රශ්වාසකාර්මිකයා යැ, ධ්‍යානකාර්මිකයා යැයි විදර්‍ශනාවට හරවන ආකාර වශයෙන් යෝගීහු දෙදෙනෙක් වෙතියි සතිපට්ඨාන සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ වශයෙන් හික්මෙන්නා වූ ඔහුට වනාහි ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තෙහි සතර ධ්‍යානයෝ උපදිත්, හෙතෙම ධ්‍යානයෙන් නැගී සිට ආශ්වාස ප්‍රශ්වාසයන් හෝ ධ්‍යානාංගයන් හෝ පරිග්‍රහණය කෙරෙයි. ඔවුන් දෙදෙනා අතුරෙන් ආශ්වාස ප්‍රශ්වාසකාර්මික තෙම, ආශ්වාස ප්‍රශ්වාසයෝ කුමක් ඇසුරු කළහු ද? හදවත ඇසුරු කළාහු යැ, හදවත නම් කරජකාය යැ, කරජකාය නම් සතර මහාභූතයන් හා උපාදායරූප දැයි මෙසේ රූප පරිග්‍රහණය කෙරෙයි. අනතුරුව ඒ ආශ්වාස ප්‍රශ්වාසාරම්මණයෙහි ඵස්සපඤ්චමක ධර්‍මයන් නාමයයි. (නාමය පරිග්‍රහණය කෙරෙයි) මෙසේ නාම රූප පරිග්‍රහණය කොට ඒ නාමරූපයාගේ ප්‍රත්‍යය සොයන්නේ අවිද්‍යාදී වූ ප්‍රතීත්‍යසමුත්පාදය දැකැ ඒ නාමරූපය ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්නධර්‍මමාත්‍රයක් මැ යි. අන්‍ය වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් නැතැයි තරණය කළ සැක ඇත්තේ ප්‍රත්‍යය සහිත නාම රූපයෙහි (අනිත්‍යාදී) ත්‍රිලක්ෂණයට නඟා විදර්‍ශනා වඩන්නේ (මාර්‍ගඵල) පිළිවෙළින් රහත් බවට පැමිණෙයි. මේ එක් භික්‍ෂු කෙනකුගේ රහත් බව තෙක් නිර්‍වාණ මාර්‍ගය යි. (ධ්‍යානාංගයන් මෙනෙහි කරන) ධ්‍යානකාර්මික තෙමේ ද මේ ධ්‍යානාංගයෝ කුමක් ඇසුරු කළාහු ද? හදවත ඇසුරු කළාහු යැ, හදවත නම් කරජකාය යැ, ධ්‍යානාංගයෝ නාමය යැ, කරජකාය රූපයැ යි නාමරූප නිශ්චය කොට ඒ නාමරූපයාගේ ප්‍රත්‍යය සොයන්නේ අවිද්‍යාදී වූ ප්‍රත්‍යයාකාරය දැක මේ නාමය හා රූපය ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මමාත්‍රයෙක් මැ යැ, අන්‍ය වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැතැයි වෙසෙසින් දුරුකළ (සොළොස් වැදෑරුම්) සැක ඇත්තෝ ප්‍රත්‍යය සහිත වූ නාමරූපයෙහි ත්‍රිලක්‍ෂණයට නඟා විදර්‍ශනා වඩන්නේ අනුක්‍රමයෙන් අර්‍හත්වයට පැමිණෙයි. මේ එක් භික්‍ෂු කෙනකුගේ අර්‍හත්වය තෙක් නිර්‍වාණමාර්‍ගය යි.
ප්‍රපඤ්චදීපිකාමෙහි ආශ්වාස ප්‍රශ්වාසකාර්මිකයා නම් මුලින් සඳහන් කළ රූපමුඛයෙන් විදර්‍ශනා වඩන්නා ය, ධ්‍යානකාර්මිකයා නම් අරූප මුඛයෙන් විදර්‍ශනා වඩන්නා ය.
මෙසේ අරූප මුඛයෙන් විදර්‍ශනා වඩන්නකු නම් තමා ලැබූ ධ්‍යානයෙහි විතර්‍කාදී අංග හා තත්සම්ප්‍රයුක්ත ධර්‍මයන් ද ලක්‍ෂණාදී වශයෙන් වෙන් කොට බැලිය යුතු ය. එසේ බලත් මැ ඒ සියල්ල අරමුණට යොමු කොට නැමෙනුයෙන් නාමධර්‍මයන් යයි වැටහෙනුවා ඇත. අනතුරු වැ මේ නාමධර්‍මයන් කුමක් ඇසුරු කොට පවත්නේ දැයි විමසා බැලිය යුතු ය. එසේ විමසත් මැ නාමධර්‍මයන් පවත්නේ හෘදය රූපය ඇසුරු කැරැ ගෙනැ යයි වැටහෙනුවා ඇත. අනතුරු වැ සෙසු රූපයන් ද පිරිසිඳැ දකියි. ඒ සියල්ල නැසෙන අර්ථයෙන් රූපයයි නුවණින් දැනැ ගනියි. මෙසේ නාමරූපයන්ගේ පිරිසිඳැ දැනීම ඇති වේ.
ආනාපානසති භාවනාවෙන් ලැබූ ධ්‍යානයන් පාදක නොකොට රූපමුඛයෙන් විදර්‍ශනා වඩන්නකු නම් ඒ ආනාපානය මැ මුල් කොට විදර්‍ශනාවට හැරැවිය යුතු ය. එයට කඹුරුහමේ උපමාව උපකාර කැරැ ගත යුතු ය. කම්මලේ තිබෙන කඹුරුහම ක්‍රියා කිරීමට කරුණු තුනක් එක් වී තිබේ. කඹුරුහමේ කටත් සිදුරත් කුහරයත් ලනුව අදිමින් උස් පහත් කරන්නාත් යන කරුණු තුන එක්වීමෙන් වරකට සුළං පිට වෙයි. වරකට සුළං ඇතුළු වෙයි. එමෙන් මැ ආනාපානය කැරෙන්නේ ශරීර කුහරයත් නාස්පුඩු දෙකත් හිතත් යන කරුණු එක්වීමෙනි. කයක් ඇතත් සිතක් නැතොත් ආනාපානයෙක් නැත. එහෙයින් සිත ප්‍රධාන ය. ඒ සිත නම් කුමක් ද? නාම ධර්‍මයෙකි. එය හා සම්ප්‍රයුක්ත වූ චෛතසිකයෝ ද නාම ධර්‍මයෝ වෙති. මේ නාමධර්‍මයන් පවත්නේ කවරක් ඇසුරු කොට ද? හෘදය රූපය ඇසුරු කැරැ ගෙනැ ය. හෘදය රූපය ඇසුරු කොට සෙසු භූතරූපයන් හා උපාදාය රූපයෝ ද වෙති. මෙසේ ආනාපානය මැ ඇසුරු කැරැ ගෙනැ නාමරූප ධර්‍මයන්ගේ පිරිසිඳැ දැනීම ඇති වේ.නාමරූප ධර්‍මයන් පිරිසිඳැ දනිමින් භාවනා කරන්නා හට නාමරූප ධර්‍මයන් සත්ත්වයන් පුද්ගලයන් නොවන බවත් නාම රූප ධර්‍මයන්ගෙන් අන්‍ය වූ සත්ත්වයකු හෝ පුද්ගලයකු හෝ නැති බවත් හොඳින් මැ වැටහෙනුවා ඇත. ඒ සමඟ මැ සත්ත්ව සංඥාව, ආත්ම සංඥාව ද දුරු වෙනවා ඇත. එයින් මෙතෙක් පැවැති සත්ත්වයා යැ පුද්ගලයා යැ යන මිථ්‍යාදර්‍ශනය - වැරදි දැක්ම දුරු වෙයි. සත්ත්වයා පුද්ගලයා නම් ස්කන්ධ - ධාතු - ආයතන යන ධර්‍මමාත්‍රයක යන සම්‍යක් දර්‍ශනය - හරි දැක්ම පහළ වෙයි. දෘෂ්ටිය පිරිසුදු වෙයි.
දිට්ඨිවිසුද්ධිය ලබා ගැනීම සීලවිසුද්ධි චිත්තවිසුද්ධි දෙක ලබා ගැනීමට වඩා අතිශයින් දුෂ්කර ක්‍රියාවෙකි. දිට්ඨිවිසුද්ධිය සම්පූර්‍ණවීමට උසස් ධර්‍මඥානයක් තිබිය යුතු ය. අඩු මැ ගණනේ නාමරූප ධර්‍මයන් පිරිසිඳැ ඇති සැටියෙන් දැනැ ගන්නට තරම් වත් ධර්‍මඥානයක් තිබිය යුතු ම ය. නාමරූප ධර්‍මයන් පිරිසිඳැ දැනැ ගැනීමට තරම් වත් ධර්‍මඥානයක් නැති අය විදර්‍ශනා භාවනාවට යෑමත්, එබඳු අයට ඉක්මනට ප්‍රතිඵල ලැබෙනුවා යැයි කීමත්, විදර්‍ශනා භාවනා කරන විට සමාධි නිමිති පෙනෙනුවා යැයි පැවසීමත් නැණැතියන්ගේ සිනාවට කරුණු වී තිබෙන්නේ මේ නිසා ය. දිට්ඨිවිසුද්ධියක් නැත්තකුට කංඛාවිතරණවිසුද්ධිය ලබාගත නො හැකි වේ.


කඞ්ඛාවිතරණ විසුද්ධිය


“එතස්සෙව පන නාමරූපස්ස පච්චයපරිග්ගහෙන තීසු අද්ධාසු කඞ්ඛං විතරිත්වා ඨිතං ඤාණං කංඛාවිතරණවිසුද්ධි නාම” - මේ නාමරූපයන්ගේ මැ පහළ වීමට හා පැවැත්මට ද ප්‍රත්‍යය හෙවත් හේතු වූ කරුණු පිරිසිඳීමෙන් තුන්කල්හි පැවැති සැකය දුරු කැරැ සිටි ඥානය කංඛාවිතරණ විසුද්ධි නම් වේ.දක්ෂ වෛද්‍යවරයා රෝගයක් දැකැ එහි නිදානය සොයන්නා සේ විදර්‍ශනාවට බැසැගත් යෝගාවචරයා ද නාමරූප ධර්‍මයන්ගේ හේතු - ප්‍රත්‍යය සෙවීමෙහි යෙදිය යුතු ය. මේ නාම රූප නම් වූ පඤ්චස්කන්ධය සියලු තන්හි සෑම කල්හි මැ සියල්ලනට සම වැ නො පැමිණෙන හෙයින් අහේතුක නොවෙයි. ඊශ්වරාදී මැවුම් කරුවකු නැති හෙයින් ඊශ්වරාදී හේතුවකිනිදු හට නො ගැනේ. එහෙයින් මැ මේ නාමරූපයනට හේතුප්‍රත්‍යයන් ඇතැයි සලකා ඒ හේතු ප්‍රත්‍යයන් පරීක්‍ෂා කැරැ බැලිය යුතු ය.
ප්‍රතිසන්ධියෙහි දී අවිද්‍යා යැ, තෘෂ්ණා යැ, උපාදාන යැ, කර්‍ම යැ, යන මොවුහු නාමරූප ධර්‍මයන් උපදවන හේතූහු වෙති. ප්‍රවෘත්තියෙහි දී රූපය කර්‍ම යැ, චිත්ත යැ, සෘතු යැ, ආහාර යැ යන මොවුන්ගේ ප්‍රත්‍යයෙන් උපදනේ වෙයි. චක්‍ෂුඃප්‍රසාදය ද රූපාලම්බනය ද නිසා චක්ඛුවිඤ්ඤාණය උපදනේ වෙයි. මෙසේ ප්‍රත්‍යය වශයෙන් නාමරූපයන්ගේ පැවැත්ම දැකැ මේ නාමරූපයන් දැන් සේ මැ අතීතයෙහි ද හේතු - ප්‍රත්‍යයන් නිසා පැවැත්තේ ය. අනාගතයෙහි ද හේතු - ප්‍රත්‍යයන් නිසා මැ පවත්නේ යයි ද දකී.
මෙසේ බලන්නා වූ යෝගාවචරයාට අතීත ස්කන්ධ පඤ්චකය අරබයා, ‘මම අතීත කාලයෙහි සිටියෙම් ද, නො සිටියෙම් ද, කවරකු වැ සිටියෙම් ද, කෙබන්දකු වැ සිටියෙම් ද, කවරකු වැ සිට කෙබන්දෙක් වූයෙම් දැ’ යි පස් ආකාරයෙකින් කියන ලද සැකය ද, අනාගත ස්කන්ධ පඤ්චකය අරබයා ද, ‘මම අනාගත කාලයෙහි වන්නෙම් ද, නො වන්නෙම් ද, කවරෙක් වන්නෙම් ද, කෙබන්දෙක් වන්නෙම් ද, කවරෙකු වැ කෙබන්දෙක් වන්නෙම් දැ’ යි පස් ආකාරයෙකින් කියන ලද සැකය ද, වර්‍තමාන ස්කන්ධ පඤ්චකය අරබයා ද, මම වෙම් ද, නො වෙම් ද, කවරෙක් වෙම් ද, කෙසේ වෙම් ද, මේ සත්ත්ව තෙමේ කොහි සිට මෙහි ආවේ ද, නැවැත කොහි යන්නේ දැ’ යි සයාකාරයෙකින් කියන ලද සැකය දැයි කාලත්‍රයයට අයත් ස්කන්ධ පඤ්චකය පිළිබඳ සොළොස් ආකාර සැකය ප්‍රහීණ වේ.
තවද, පටිච්ච සමුප්පාදයෙහි සඳහන් වන පරිදි සත්ත්වයාගේ පැවැත්ම හා නැවැත්ම ද පිළිබඳ හේතුඵලයන් සලකා බැලිය යුතු ය.“අතීතෙ හෙතුවො පඤ්චඉදානි ඵලපඤ්චකංඉදානි හෙතුවො පඤ්චආයතිං ඵලපඤ්චකං”
සත්ත්වයාගේ පැවැත්ම නම් වූ භවචක්‍රයෙහි  අතීත හේතු පසෙක් ද වර්‍තමාන ඵල පසෙක් ද වර්‍තමාන හේතු පසෙක් ද අනාගත ඵල පසෙක් දැයි හේතු පල විස්සෙක් වේ.මෙසේ සලකා බලත් මැ අතීත භවයෙන් මේ භවයට ද, මේ භවයෙන් පුනර්‍භවයට ද, කිසිදු ධර්‍මයෙක් සංක්‍රමණය නො වෙයි. එහෙත් අතීත භවයෙහි ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ප්‍රත්‍යයෙන් මේ භවයෙහි ස්කන්ධ ධාතු ආයතන ද, මේ භාවයෙහි ස්කන්ධ - ධාතු - ආයතනයන්ගේ ප්‍රත්‍යයෙන් පුනර්‍භවයෙහි ස්කන්ධ - ධාතු - ආයතනයෝ ද උපදින්නාහු වෙති යි හරි දැකීම පහළ වේ.
“නයිදං අත්තකතං බිම්බංනයිදං පරකතං අඝංහෙතුං පටිච්ච සම්භූතංහෙතුභඞ්ගා නිරුජ්ඣති.”
මේ ශරීරය තමා විසින් කැරැ ගන්නා ලද්දක් වත් අන්‍යයකු විසින් මවන ලද්දක් වත් නො වෙයි. හේතූන් නිසා හටගත්තකි. හේතූන්ගේ බිඳී යෑමෙන් මේ ශරීරය නිරෝධයට යේ.
කංඛාවිතරණ විශුද්ධිය සම්පූර්‍ණ විදර්‍ශක තෙමේ ලෞකික සීල සමාධි පඤ්ඤා සම්පත්තියෙන් යුක්ත හෙයින් මත්තෙහි මාර්‍ගඵලාධිගමය නො කෙළේ ද සුගතිගමන නොවරදවා මැ සිදු කෙරේ යයි කියනු ලැබේ. ඔහුට චුල්ලසෝතාපන්නයා යයි ද කියනු ලැබේ. කංඛාවිතරණවිශුද්ධිය නො ලැබූවකුට මග්ගාමග්ගඤාණදස්සන විශුද්ධිය නො ලැබිය හැකි වේ.


මග්ගාමග්ගඤාණදස්සන විශුද්ධිය

“අයං මග්ගො අයං න මග්ගොති එවං මග්ගං ච අමග්ගං ච ඤත්වා ඨිතං ඤාණං පන මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි නාම” - මේ මාර්‍ග යැ, මේ අමාර්‍ග යැයි මඟත් නොමඟත් පිරිසිඳැ දැනැ සිටි ඥානය මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි නම් වේ.
මේ අවස්ථාවෙහි භාවනා කරන යෝගාවචරයා අමාර්‍ගය ආර්‍ය මාර්‍ග යයි වැරදි ලෙස වැටහෙනුවා ඇත. ඒ නිසා දශවිධ උපක්ලේශයන් දැනැ සිටීම ඉතා අවශ්‍ය ය.“ඔභාසො පීති පස්සදධි - අධිමොක්ඛො ච පග්ගහොසුඛං ඤාණමුපට්ඨාන - මුපෙක්ඛා ච නිකන්ති ච”ඔභාස යැ, පීති යැ, පස්සද්ධි යැ, අධිමොක්ඛ යැ, පග්ගහ යැ, සුඛ යැ, ඤාණ යැ, උපට්ඨාන යැ, උපෙක්ඛා යැ, නිකන්ති යැ යන මොවුහු දශවිධ විදර්‍ශනෝපක්ලේශයෝ වෙති.
1.      ඔභාස - විදර්‍ශනා චිත්තයෙන් හටගත් එක්තරා - ශරීරාලෝකයෙකි. මේ ආලෝකය උපන් කල්හි සමහරු මාර්‍ගඵලයනට පැමිණියෙමි යි අමාර්‍ගය මාර්‍ගය ලෙස ගෙනැ එයින් මැ සෑහීමට පත්වී විදර්‍ශනාව ද අත්හරී. මෙය උපක්ලේශයක් බව දැනැ සිටින්නා ආලෝකයට නො රැවටී භාවනා කැරැනු ලැබේ.2.      ඤාණ - නාමරූප ධර්‍මයන් විමසා බලන්නා වූ යෝගියා හට ඉතා තියුණු වූ විදර්‍ශනා ඥානය පහළ වෙයි. එය මාර්‍ග යයි ගත්තා හට නියම මාර්‍ගය වරදී. එහෙයින් එය ද උපක්ලේශයකි.3.      පීති - විදර්‍ශනා වඩන්නා හට මුළු ශරීරය මැ පුරවමින් ප්‍රීතිය උපදී. සමහරු එය මාර්‍ග යයි ගෙනැ මුළාවට පත් වෙති. එහෙයින් එය ද උපක්ලේශයෙකි.4.      පස්සද්ධි - විදර්‍ශනාවෙන් ඇතිවන කායචිත්තයන්ගේ සංසුන් බවයි, සැහැල්ලු බවයි. එය ද උපක්ලේශයකි.5.      සුඛ - විදර්‍ශනා වඩන්නා හට මුළු සිරුර පිණවමින් මීට පෙරැ නොවූ විරූ සුඛයක් උපදී. එය මාර්‍ග යයි ගත හොත් නියම මාර්‍ගය වළකින හෙයින් උපක්ලේශයෙකි.6.      අධිමොක්ඛ - බලවත් ශ්‍රද්ධාව යි. විදර්‍ශනා යෝගී හට චිත්ත චෛතසිකයන් අතිශයින් ප්‍රසන්න භාවයට පමුණුවන බලවත් ශ්‍රද්ධාව උපදී. එය ද නියම මාර්‍ගය මුවා කරන හෙයින් උපක්ලේශයෙකි.7.      පග්ගහ - වීර්‍යය යි. විදර්‍ශනාව දියුණු වෙත් මැ ළිහිල් නො වූ දැඩි ද නො වූ වීර්‍යය උපදී. එය ද උපක්ලේශයෙකි.8.      උපට්ඨාන - සිහිය යි. විදර්‍ශනා කරන්නා හට මනා වැ එළඹ සිටි සිහිය උපදී. ඉතා පැරණි කරුණු පවා සිහියට එයි. මේ විශේෂ ලක්‍ෂණය නිසා මාර්‍ගය ලදිමි යි මුළාවට පත් වෙයි. එහෙයින් එය ද උපක්ලේශයෙකි.9.      උපෙක්ඛා - විදර්‍ශනා යෝගීනට නාමරූප ධර්‍මයන් උදයව්‍යය වශයෙන් මනා වැ පරීක්‍ෂා කිරීමෙන් ඒ පිළිබඳ මධ්‍යස්ථාකාරයෙන් පවත්නා විදර්‍ශනා උපෙක්‍ෂාව උපදී. එය ද මාර්‍ග යයි වරදවා ගන්නා හෙයින් උපක්ලේශයෙකි.10.  නිකන්ති - ඉතා සියුම් තෘෂ්ණාව යි. “මින් පෙරැ මට ආලෝකයක් පහළ නො වී ය”. මම ආර්‍යමාර්‍ගයට පැමිණියෙමි යි එහි ආලය කෙරෙමින් පහළ වන සියුම් තෘෂ්ණාවයි. එය ද උපක්ලේශයෙකි.මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය ලබනු කැමැති යෝගාවචරයා අතීතාදී නොයෙක් කොටස් වශයෙන් කැඩුණු සියලු සංස්කාර ධර්‍මයන් කලාප වශයෙන් මෙනෙහි කළ යුතු ය.අතීත - අනාගත - පච්චුප්පන්න වූ හෝ අධ්‍යාත්මක බාහිර වූ හෝ ඕළාරික සුඛුම වූ හෝ හීන ප්‍රණීත වූ හෝ දූර සමීප වූ හෝ යම් රූපයක් වේ නම් ඒ සියලු රූප අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථා කෙරේ. දුඃඛ වශයෙන් ව්‍යවස්ථා කෙරේ, අනාත්ම වශයෙන් ව්‍යවස්ථා කෙරේ. මේ ද සම්මර්‍ශනය කරන පිළිවෙළකි. වේදනාදී අනෙක් ස්කන්ධයන් පිළිබඳ වැ ද එසේ මැ ය.
තව ද රූපය ක්‍ෂය වන අර්‍ථයෙන් අනිත්‍ය යැ, භය වන අර්ථයෙන් දුක් යැ, අසාර වන අර්ථයෙන් අනාත්ම යැ යි ද සම්මර්‍ශනය කළ යුතු ය.
මෙසේ භාවනා කරත් මැ විදර්‍ශනා ඥානය දියුණු වෙයි. ඔහුට මාර්‍ගය කුමක් ද අමාර්‍ගය කුමක් දැයි වැටහෙයි. ආලෝකාදියට මුළා නො වෙයි. මේ අවස්ථාවට පැමිණි යෝගියා දුඃඛ - සමුදය - මාර්‍ග යන සත්‍ය තුන ලෞකික ඥානයෙන් මනා වැ දැනැ ගැනීමට තරම් දියුණු වෙයි. මෙසේ මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය සම්පූර්‍ණ වන තුරු පටිපදාඤාණදස්සන විසුද්ධිය ලබා නො හැකි වේ.


පටිපදාඤාණදස්සන විසුද්ධිය


“අට්ඨන්නං පන ඤාණානං වසෙන සිඛප්පත්තා විපස්සනා නවමං ච සච්චානුලොමිකඤාණන්ති අයං පටිපදාඤාණදස්සන විසුද්ධි නාම” - අට වැදෑරුම් ඥානයන්ගේ වශයෙන් ශිඛාප්‍රාප්ත විදර්‍ශනාව ද නව වැනි සච්චානුලොමික ඥානය ද යන මේ නව මහාවිදර්‍ශනාඥානය පටිපදාඤාණ දස්සන විසුද්ධි නම් වේ.නව මහාවිදර්ශන ඥානයෝ1.      උදයබ්බයානුපස්සනාඤාණය - ස්කන්ධාදීන්ගේ උදයව්‍යය - ඇතිවීම නැතිවීම පිරිසිඳැ දක්නා නුවණ යි.2.      භංගානුපස්සනා ඤාණය - ස්කන්ධාදීන්ගේ භඞ්ගය විනාශය නැතිවීම පිරිසිඳැ දක්නා නුවණ යි.3.      භයතුපට්ඨාන ඤාණය - සංස්කාරයන් භය වශයෙන් වැටහෙන්නා වූ නුවණ යි.4.      ආදීනවානුදස්සන ඤාණය - සංස්කාරයන්ගේ දෝෂ දක්නා නුවණ ය.5.      නිබ්බිදානුපස්සනා ඤාණය - සංස්කාරයන් හට කලකිරීම් වශයෙන් පහළ වන නුවණ යි.6.      මුඤ්චිතුකම්‍යතා ඤාණය - සංස්කාරධර්ම නමැති සංස්කාරයෙන් මිදෙනු කැමති වීම වශයෙන් පහළ වන නුවනයි.7.      පටිසංඛානුපස්සනා ඤාණය - සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්‍ෂණ විස්තර වශයෙන් දක්නා නුවණ යි.8.      සංඛාරුපෙක්ඛා ඤාණය - සංස්කාරයන් මධ්‍යස්ථ වශයෙන් දක්නා නුවණ යි.9.      සච්චානුලොම ඤාණය - මාර්‍ගචිත්තයනට අනුලෝම වූ නුවණ යි.මේ නව මහාවිදර්‍ශනඥානයන් පිළිවෙළින් පහළ වීමෙන් පටිපදාඤාණදස්සන විසුද්ධිය සම්පූර්‍ණ වේ.


ඤාණදස්සන විසුද්ධිය


“සොතාපත්ති මග්ගො සකදාගාමි මග්ගො අනාගාමි මග්ගො අරහත්ත මග්ගොති ඉමෙසු පන චතුසු මග්ගෙසු ඤාණං ඤාණදස්සනවිසුද්ධි නාම” - ස්‍රෝතාපත්ති මාර්‍ග යැ, සකෘදාගාමි මාර්‍ග යැ, අනාගාමි මාර්‍ග යැ, අර්‍හත් මාර්‍ග යැ යන සතර මාර්‍ගයන්හි වූ ඥානය ඤාණදස්සන විසුද්ධි නම් වේ.මෙහි දැක්වූයේ සප්ත විශුද්ධීන් පිළිබඳ ඉතා කෙටි හැඳින්වීමෙකි. මෙය විදර්‍ශනා භාවනාවට ප්‍රමාණවත් නො වේ. එහෙයින් විදර්‍ශනා භාවනා කරන්නවුන් විසින් සප්ත විශුද්ධීන් හොඳින් ඉගෙනැ අවබෝධ කැරැ ගත යුතු ය. පිළිවන් සෑම දෙනා මැ විශුද්ධි මාර්‍ගය හොඳින් ඉගෙනැ ගන්නේ මැනැවි. මේ සප්ත විශුද්ධීන් පිළිබඳ අවබොධයක් ඇති කැරැ ගැනීමට ආචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේ විසින් ලියන ලද “විදර්‍ශනා භාවනා ක්‍රමය” නමැති පොත ද කියවීම මැනැවි.



Wednesday, September 10, 2014

බුදුන් පුදන්නට සුදුසුම ක්‍රමය ප්‍රතිපත්ති පූජාවයි

බුදුන් පුදන්නට සුදුසුම ක්‍රමය ප්‍රතිපත්ති පූජාවයි

නාරම්පනාවේ ධම්මාලෝක හිමි
පහත දුම්බර අධිකරණ සංඝනායක, මැණික්හින්න ගණදෙවි කෝවිල පුරාණ විහාරාධිපති
බොදුනු සිත් පහන් වන, ප්‍රතිපත්ති සහ ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරන සුබ වෙසඟක් උදා වී තිබෙන මේ කාලයේ දී අප ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? නිවැරදිව සම්බුදු තෙමඟුල සැමරිය යුත්තේ කුමන ආකාරයට ද? බොදුනුවකු ලෙස ධාර්මිකව කටයුතු කරමින් දිවි මඟ ගෙවිය යුතු වන්නේ කෙසේ ද? ආදි කරුණු පිළිබඳ පහත දුම්බර අධිකරණ සංඝනායක මැණික්හින්න ගණදෙවි කෝවිල පුරාණ විහාරාධිපති නාරම්පනාවේ ධම්මාලෝක හිමියන් සමඟ කළ කතාබහකි මේ.
l සකල ලෝකවාසි ජනතාවට අතිශයින්ම වැදගත් දිනයක් ලෙස වෙසක් දිනය හඳුන්වන්න පුළුවන්. මේ පිළිබඳ කතා කළොත්.
ලොවට සෙත සැලසූ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය යන තෙමඟුල සිහි කරමින් බෞද්ධ ජනතාව බුදු උපහාර වශයෙන් වෙසක් සිරි පූජා කිරීම වෙසක් දිනයේ දී සිදු වන දෙයක්. බුදුරජාණන් වහන්සේ බෞද්ධයන්ට විතරක් අගය කරන්න පුළුවන් ඔවුන්ට පමණක් ආවේණික ශාස්තෘවරයෙක් නොවේ. උන් වහන්සේ තිලෝගුරු නමින් හඳුන්වන්නේ මෙන්න මේ නිසයි.
ලොව පහළ වූ මහා පුරුෂයින් අතරින් පළමුවැනියා තිලෝගුරු බුදුපියාණන් බව පෙර අපර දෙදිග සමාජ දාර්ශනිකයන්ගේ පිළිගැනීම යි. ලොව පහල වූ අසහාය ගුරුවරයා, අසහාය මාර්ගෝපදේශකයා, අසහාය සමාජ දාර්ශනිකයා, අසහාය සමාජ සේවකයා, මහා ප්‍රාඥයා, මහා නිර්මාපි චින්තකයා, මහා කාරුණිකව සමාජ සුබසාධනයට ඇපකැප වූ අසහාය විප්ලවවාදියා හැටියට උන්වහන්සේගේ උදාර චරිතය අගය කරන්න පුළුවන්. එය බෞද්ධ හා අබෞද්ධ කාටත් එක සේ කරන්න පුළුවන් දෙයක්.
බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන තුන්ලෝ වාසී ප්‍රඥාවන්තයන්ට දේශනා කළ සද්ධර්මය ආගමක් නෙවෙයි, උන්වහන්සේ මේ ධර්මය හඳුන්වාදීමේ දී ආගම, බුද්ධාගම යන වදන් භාවිත කර නැහැ. බුද්ධ දේශිත ශ්‍රී සද්ධර්මය ලෝකයේ දේශිත සියලු ආගම්වලට වඩා වෙනස්. බෞද්ධ ජීවිතයේ පැවිදි දිවියේ පදනම, පිළිසරණ ආශීර්වාදය පරම ප්‍රතිෂ්ඨාව තිසරණය යි. අපරිමිත ලෝක සත්වයාගේ පරම ප්‍රතිෂ්ඨාව වන්නේ කවදා හෝ තෙරුවන් සරණ යමින් සසර කෙළවර කර ගෙන නිවන පසක් කර ගැනීමයි. ඒ සඳහා ලෝක සත්වයා හට බුද්ධ, ධම්ම, සංඝ රත්නය හැර අන් කිසි පිහිටක් ආශීර්වාදයක්, පිළිසරණක්, පරම ප්‍රතිෂ්ඨාවක් කිසි කලකවත් ලබන්න බැහැ.
* වෙසක් සමයේ දී ප්‍රතිපත්ති පූජාවට මෙන්ම ආමිස පූජාවන් කෙරෙහි ජනතාවගේ යොමු වීමත් දකින්නට පුළුවන්. වෙසක් සමයේ දක්නට ලැබෙන මේ පිබිදීම ඔබ වහන්සේ දකින්නේ කොහොම ද?
මේ කාලයේ දී මේ පූජා විධි දෙක සම්බන්ධයෙන්ම විශේෂිත කැපවීමක් දක්නට පුළුවන්. ඒත් වැඩිදෙනා නැඹුරු වන්නේ ප්‍රතිපත්ති පූජාවට නෙමෙයි, ආමිස පූජාවට යි. බුදුරජාණන් වහන්සේ සැමවිටම දේශනා කර තිබෙන්නේ ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨ වන බවයි.
බුදුන් දේශනා කර වදාලේ ආගමක් නෙවෙයි, අනුගමනය කළ යුතු දැක්මක්. බුදුදහම මඟින් සෑම ආගමකම පොදු ඉගැන්වීම් වන සර්ව බලධාරී දෙවියන් වහන්සේ, ස්වර්ග රාජ්‍ය, දේව කැමැත්ත, ආත්මය, මෝක්ෂය වැනි සියලු ඉගැන්වීම් ප්‍රතික්‍ෂේප කළා. එසේම සෑම ආගමකම වාගේ දක්නට ලැබෙන මෙවැනි දේ මුළුමණින්ම බැහැර කරලා මිනිසාව දහමකට නැඹුරු කළා. ප්‍රතිපත්ති සහගතව දිවි ගෙවමින් අවබෝධයෙන් පරතෙරට යාමට මඟ උන්වහන්සේ දේශනා කළා. ධර්මය දකින පුද්ගලයකු වෙනුවෙන් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් අප ක්‍රියා කළ යුතු වන්නේ මේ නිසයි.
ඒත් වර්තමානය වන විට අපට පැහැදිලිව දකින්න ලැබෙන්නේ ප්‍රතිපත්ති පූජාවට වඩා ආමිස පූජාවට තැන දෙමින් ජනතාව කටයුතු කරන බවයි. බුදු හිමියන් පිදිය හැකි මේ ක්‍රම දෙක අතරින් උන්වහන්සේ වඩාත් අගය කළේ ප්‍රතිපත්ති පූජාව යි. ප්‍රතිපත්ති පූජාවට මිලක් වැය වන්නේ නැහැ. ප්‍රතිපත්ති පූජාව පිළිබඳ නිසි ලෙස නොදන්නා අය ආමිස පූජාව මඟින් පමණක් සෑහීමකට පත් වෙනවා. සීල, භාවනා ආදි ප්‍රතිපත්ති පූජා බුදුරදුන් පුදන්නට සුදුසුම ක්‍රම විදියට දක්වන්න පුළුවන්.
* ඔබ වහන්සේ සඳහන් කරන්නේ ආමිස පූජාවෙන් පුණ්‍ය කර්මයක් සිදුවන්නේ අව ප්‍රමාණයෙන් බව ද?
ආමිස පූජාව මඟින් පිනක් සිදුවෙනවා. ඒ මඟින් කෙලෙස් ප්‍රහීන කිරීමට මඟ පෑදෙනවා. ලෝභ ද්වේශ මෝහ නමැති ක්ලේශ පහ කිරීමට ආමිස පුජාව උපකාර වන බව පැවසිය යුතුයි. එහෙත් අපේ ජනතාව ආමිස හා ප්‍රතිපත්ති යන පූජා දෙවිදියම කරන්නේ දැනුම් තේරුම් ඇතිව නෙවෙයි. කරන්නන් වාලේ ඔහේ කිරීමක් තමයි දක්නට ලැබෙන්නේ. ආමිස පූජා ලෙස දන් දීම අසරණ සරණය, ගිලානෝපස්ථානය, මල් පහන්, සුවඳ දුම් පූජා කිරීම, අසුහාරදහසේ පහන් පූජා, අටවිසි බෝධි පූජා, සත්බුදු පූජා, තෙසැත්තෑ ඤාණ පිංකම, ශතාධික සංඝගත දක්ෂිණා යන දේ හඳුන්වන්න පුළුවන්.
මේ පූජා පිළිබඳ නිසි ලෙස දැනුවත් නොවී එය සිදු කළහොත් පූජාවේ විශාලත්වය තරමට පින විශාල නොවන්න පුළුවන්. යමෙක් මානය වැනි අකුසල සිතිවිලි පෙරදැරි කරගෙන සියක් නමකට දන් දුන්නාට වඩා පැහැදුණු සිතින් යුක්තව සංඝයා වහන්සේ නමකට දානය පුජා කළොත් පෙර පුද්ගලයාට වඩා වැඩි පිනක් මේ පුද්ගලයාට අත්කර ගන්න පුළුවන්. මේ නිසා ආමිස පූජාවෙන් ඵල ලැබීමට නම් ඒ පිංකම පිළිබඳ සිත මෙහෙයවා කුසල් සිතුවිලි දියුණු කර ගත යුතුයි. කුඩා පිංකමක් හෝ කර ඒ පිළිබඳ නැවත නැවත මෙනෙහි කර සතුටු වනවා නම් විශාල ආනිසංශයක් හිමි කර ගන්න පුළුවන්.
* වර්තමානය වන විට සමහරු අනෙකා කරන නිසා තමන් එම තත්වය ඉක්මවා දන් දීමට යන අවස්ථා දකින්න පුළුවන්. මෙවැනි ආමිස පූජා මඟින් පිනක් අත්කර ගන්න පුළුවන් ද?
දානයක් දෙන්න ඕන, අනෙක් අයට අභියෝගයක් වන විදිහට නෙවෙයි. අනෙක් අය කරන නිසා තරගයට දන් දෙන්න යාම තුළ තිබෙන්නේ හීනමානයක්. දානයක් දෙන්න ඕන කාටවත් අභියෝගයක් කරන්න නොවේ. ඒ මඟින් කුසල සිතුවිලි ඇති වන්නේ නැහැ. කිලිටි සිතිවිලි ඇතිවන්නේ. ඒ නිසා පින් දහම් කොයිකත් කළ යුතු වන්නේ තම ශක්තිය අනුවයි. මහා විශාල දාන නොදුන්නාට ඔබේ පිඟානේ ඉතිරි වන ඉඳුල් ටිකෙන් කුඩා සතෙක් හරි කුසගිනි නිවා ගනිත්වා යන සිතිවිල්ලෙන් එය ඉවත් කළොත් එම දානයෙන් පවා ඔබට පිනක් සිදුවෙනවා. යමක් දන් දෙන්න නම් ඒ පිළිබඳ අප තුළ තිබෙන ආසාව ඇලීම වැනි දේ අත්හළ යුතුයි. යහපත් සිතින් දන් දුන්නොත් පිනක් සිදුවෙනවා.
* වර්තමානය වන විට අපි වෙසක් සමරන ආකාරය පිළිබඳ විවිධ විවේචන තිබෙනවා. අප වෙසක් දින සමරන ආකාරය නිවැරදි ද?
වෙසක් පෝය දවස කියන්නේ නිදහස්ව ආගමික වත්පිළිවෙත් කළ යුතු දවසක්. සීල, භාවනා වැඩිය යුතුයි. ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දිය යුතුයි. ඒත් අද සිදු වන්නේ එය නොවෙයි. මේ නිසා අවබෝධයෙන් යුතුව වෙසක් සැමරීමට කටයුතු කළ යුතුයි.
*සෙත් පිරිත්, ධම්ම චින්තාව අහලා දවස ආරම්භ කරන අපේ රටේ මිනිස්සු ඊට පස්සේ කරන්නේ අපරාධ, මිනීමැරුම් අතින් ලෝක වාර්තා තබන එකයි. ධර්ම ද්වීපයක් තුළ මෙවැනි දේ සිදුවන්නේ භික්ෂූන් වහන්සේලා අතින් විය යුතු මෙහෙවර නිසියාකාරව නොවන නිසා යැයි සමහරු පවසනවා. මේ පිළිබඳ ඔබ වහන්සේ දරන්නේ මොන වගේ මතයක් ද?
භික්ෂුන් වහන්සේලා බොහෝදෙනා තම යුතුකම් ඉටු කරනවා. භික්ෂුව සෑම මොහොතකම ජනතාව සුමඟට යොමු කිරීමට ක්‍රියා කරනවා. එහෙත් වර්තමානයේ පවත්නා සමාජ රටාව තුළ මොන බණ දහම කියා දුන්නත් තරගකාරිත්වය පසුපස දුවන දූෂිත සිත්වලින් යුතු මිනිසුන්ට හොඳ නොහොඳ අවබෝධ කර ගන්න බැහැ. ධර්මය අසන බව දැහැමිව දිවි ගෙවන බව පෙන්වනවා. ඒත් කටයුතු කරන්නේ වෙනස් ආකාරයකට යි. බොහෝ දෙනා දිවි ගෙවන්නේ බොරුවෙන් වංචාවෙන්.
ජනතාව පත්ව ඇති මේ තත්වයෙන් ඔවුන් ගොඩගැනීම භික්ෂුවට පමණක් තනිව කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය යි.
* මේ වෙසක් සතියේ දී ඔබ වහන්සේ ජනතාවට දෙන පණිවිඩය මොකක් ද?
ගුණධර්ම පෝෂණය වන විදියට අපරාධ නැති වන විදියට දිවි පැවැත්ම ගොඩනඟා ගන්න කටයුතු කිරීම වැදගත්. ආමිස පූජාව ධාර්මික පසුබිමක් තුළ කළ යුතුයි. තොරණ, දන්සැල් පැවැත්වූවාට වරදක් නැහැ. ඒත් ඒ වෙනුවෙන් කරන අනවශ්‍ය මුදල් නාස්තිය ගමේ සිටින ගෙයක් දොරක් නැති කෙනකුට ගෙයක් හදා දෙන්න වියදම් කරන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වටිනා දෙයක්. යහපත් සිතින් කරන මේ දානයෙන් මහත් වූ පිනක් අත් කර ගන්න පුළුවන්.

Thursday, July 17, 2014

ශ්‍රද්ධාව පිළිබඳ බුදුදහමේ විග්‍රහය

බෞද්ධ විමුක්ති මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක් බුදුදහමේ ඉගැන්වෙන පරිද්දට විමුක්තිය උදාකරගත හැකි ය. එහෙත් ආර්ය මාර්ගයේ කිසිදු තැනක ශ්‍රද්ධාව ඇගයීමට ලක් වී නොමැත. එයින් ගම්‍යවන්නේ නිර්වාණාවබෝධය සඳහා ශ්‍රද්ධාව අවශ්‍ය නොවන බව දැයි විමසා බැලිය යුතු ය.

සද්ධා පදය ප්‍රසාදය, පැහැදීම, කරුණු තේරුම් ගෙන ඇතිකරගන්නා අවබෝධය ලෙස අර්ථ දැක්විය හැකි ය. බෞද්ධ ශබ්දකෝෂ නිර්මාතෘ සිරි ලියනගේ මහත්මා සද්ධාව පිළිබඳව අර්ථ දක්වන්නේ “ශ්‍රද්ධාව, භක්තිය, පැහැදීම, සිතෙහි ඇති කරගන්නා දැඩි පැහැදීම ධර්මය කෙරෙහි බුදුන් කෙරෙහි ඇතිකරගන්නා දැඩි භක්තිය ආදී වශයෙනි.
R.C. CHILDERS  විසින් සම්පාදිත පාලි ඉංගී‍්‍රසි ශබ්දකෝෂයේ ශ්‍රද්ධාපදය විවරණය කරන්නේ මෙසේ ය. ජ්චඪබඩ (ෆෙඉත්) සම්පූර්ණ දැඩි විශ්වාසය, හිතෛෂී බව, ආගමික විශ්වාසය (මීට අමතරව පාලි සූත්‍රපාඨ යොදාගනිමින් මෙම ශ්‍රද්ධා පදය විස්තර කර ඇත.)

මහාචාර්ය කේ.එන්. ජයතිලකයන් ත්‍රිපිටකය තුළ ශ්‍රද්ධාව යෙදීඇති තැන් රාශියක් මෙසේ පෙළගස්වයි.
සද්ධා සීල සූත චාග පඤ්ඤා”
“සද්ධා විරිය සති සමාධි පඤ්ඤා”
“සද්ධා සීල චාග පඤ්ඤා පටිභාන”
“සද්ධා සීල හිරි ඔත්තප්පිය සුත චාග පඤ්ඤා”
“සද්ධා හිරි ඔත්තප්පි විරිය පඤ්ඤා”

මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රද්ධාවෙන් ආරම්භවන බෞද්ධ විමුක්ති මාර්ගය ප්‍රඥාවෙන් අවසන් වන බවයි.

පුද්ගල විමුක්තිය සඳහා ප්‍රධාන වශයෙන් බලපවත්වන සාධකයකි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවේ ප්‍රායෝගික අවශ්‍යතාවයක් බුදු සමය දකින්නේ ඒ නිසා ය. සං.නි.ධ්ධ්ධ් “සම්බුද්ධ සූත්‍රයේ” බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශාස්තෘ ප්‍රසාදයට පැමිණීමේ අවශ්‍යතාව දක්වමින් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ‘බුදුරජාණන් වහන්සේ නූපන් මාර්ගය’ උපදවති. නො හැඳින ඇති මාර්ගය හඳුන්වා දෙති. මාර්ග දනිති. මාර්ගය දකිති. අනෙකකු විසින් ප්‍රකාශ නොකළ මාර්ගය කියාදෙති. මාර්ගයෙහි නිපුණවෙති. මහණෙනි, මෙකල ශ්‍රාවකයෝ මාර්ගය අනුව යන්නෝ වෙති. පසුව පැමිණියාහු වෙති.

මේ ශ්‍රද්ධාව නම් ප්‍රත්‍යක්‍ෂ ඥානයක් බවට පත්කරගත හැකි කරුණක් පිළිබඳව මූලිකව ඇති කරගන්නා පිළිගැනීම බව සැලකිය යුතු ය.

මජ්ඣිම නිකාය කීටාගිරි සූත්‍රයේ දී පුද්ගලයා තුළ ආධ්‍යාත්මික පරිවර්තනයක් ඇතිවීමට ශ්‍රද්ධාව මූලිකවන ආකාරය පැහැදිලිව දේශනාකොට ඇත. පළමුව බාහිර වශයෙන් පුද්ගලයා නිවැරැදි මාර්ගයට පැමිණීමට ශ්‍රද්ධාව මුල්වන ආකාරයත්, අනතුරුව ආධ්‍යාත්මික අතින් පුද්ගලයා වර්ධනය වෙමින් ප්‍රඥාවෙන් විමුක්තිය කරා ළඟා වන ආකාරයත් මින් මනාව ප්‍රකට වෙයි.

පුද්ගලයා තුළ අධ්‍යාත්මික වශයෙන් කිසියම් හෝ පරිවර්තනයක් ඇතිවීමට පෙර ඒ සඳහා හේතුකාරණා වන ධර්මයක් ඇසීමට පුද්ගලයා මෙහෙය වන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව නොමැත්තේ නම් පුද්ගල ආධ්‍යාත්මගත පරිවර්තනයකට අවශ්‍ය දහම් දෙසන කෙනකු වෙත නො එළඹෙයි. මෙසේ පුද්ගලයා තුළ ශ්‍රද්ධාව ඇතිවීම විමුක්ති මාර්ගයේ ගමන් කිරීමට බලපාන මූලිකම කාරණාවයි.

උපනිස සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවට හේතුව දුක බව දේසනා කරති. ‘කාච භික්‍ඛවෙ සද්ධාය උපනිසා දුක්‍ඛංතිස්ස වචනීයං” මිනිසා තමා ලබන අද්දැකීම් විග්‍රහකර බැලීමෙන් පසු එහි ඇති ගැටලු විසඳා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග වලට පෙළඹෙයි. බෞද්ධ විග්‍රහය අනුව මිනිසාගේ වර්තමාන අද්දැකීම වූ කලී අසහනයයි. අතෘප්තියයි. අසන්තෘෂ්ටියයි.

මෙම තත්ත්වය දුක ලෙස හඳුන්වාදිය හැකි ය. දුක ඉවත් කර ගැනීමට සිතන මිනිසා එයට මඟ කියන්නෙකු ගැන සොයා බලයි. තමාට ගැළපෙන මඟ කියන්නා තම ගුරුවරයා ලෙස පිළිගනී. මෙම පිළිගැනීමට පදනම් වන්නේ ශ්‍රද්ධාව හෙවත් විශ්වාසයයි. මෙයින් ද පැහැදිලි වන්නේ බෞද්ධ විමුක්ති මාර්ගය ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥාව කරා ළඟා වන බවයි.

ශ්‍රද්ධාව ආකාර දෙකක ප්‍රතිඵල ඇති ස්වභාවයක් බව මජ්ඣිම නිකායේ චංකී සූත්‍රයේ දී දේශනා කොට ඇත.
ශ්‍රද්ධාව, රුචිය, අනුස්සමය, ආකාර පරවි තක්ඛය, දිට්ඨි නිජ්ජානක්ඛන්ති යන මේ පස දෙයාකාරයක ප්‍රතිඵල ස්වභාව ඇතැයි කියවේ. ඒ අනුව ශ්‍රද්ධාවද වැරැදි හෝ නිවැරැදි වීමේ ප්‍රවණතාවයෙන් යුක්ත බව නිගමනය කළ හැකි ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් හෝ තිබීම පරිහානියට නොව දියුණුවට හේතුවන කාරණාවක් බව ම.නි. අලගද්දූපම සූත්‍රයේ සඳහන් වෙයි. “යෙසං මයි සද්ධාමත්තං පෙම මත්තං සබ්බෙතෙ සග්ගපරායනා” පුද්ගලයා කෙරෙහි විශ්වාසය තැබීම මෙන්ම දහම කෙරෙහි විශ්වාසය තැබීමද ශ්‍රද්ධාවේ ලක්‍ෂණ දෙකකි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ ගත් මඟ ගමන් කරන්නා සද්ධානුසාරී ලෙස සූත්‍රවල සඳහන්ව ඇත. ඔහුගේ ශ්‍රද්ධාව බෙහෙවින්ම සරලය. “තථාගතෙ චස්ස සද්ධා චත්තං හොති පෙම්මත්තං” සද්ධා වීර්ය සති, සමාධි, පඤ්ඤ යන ඉන්ද්‍රියන් වැඩීමට ආරම්භ වීම ‘සද්ධානුස්සාරී පුද්ගලයාගේ ලක්‍ෂණයයි. දෙවෙනි ධම්මානුසාරී පුද්ගලයා ධර්මය පිළිබඳව වැටහීමක් ලබාගෙන ධර්මය පෙන්වන මගෙහි ගමන් කිරීමට උත්සාහ කරයි. මොහු තුළ ප්‍රඥා ඉන්ද්‍රිය මාත්‍ර වශයෙන් මුහුකුරා ගොස් තිබේ. “තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්ත සෝ නිජඣානං ඛමන්ති” මොවුන් දෙදෙනාම පෘතග්ජනයෝ නොවෙති. මොවුන්ගේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් ලෙස වර්ධනය වන්නට පටන්ගෙන නියත වශයෙන්ම නිවනට පැමිණෙන්නෝ වෙති.

බුදුසමයෙහි උගන්වන ශ්‍රද්ධාව අමූලිකා හා ආකාරවතී යනුවෙන් දෙයාකාර වෙයි. අමූලිකා ශ්‍රද්ධා යනු හුදු විශ්වාසයයි. ඇදහීමයි. භක්තියයි. එහි විචාරීමක් හෝ අවබෝධයක් හෝ කරුණු කාරණා සලකා බැලීමක් නැත. අමූලිකා සද්ධාව “භගවත් ගීතාවේ” එන “භක්තිය” යන්නට සමාන වෙයි. අමූලිකා ශ්‍රද්ධාව බුදුදහම ප්‍රතික්‍ෂේප කරනු ලබයි. ඒ එහි යථාර්ථාවබෝධයක් නොමැති නිසා ය. මෙයින් වැඩෙන්නේ කුසල පක්‍ෂය නොව අකුසල පක්‍ෂයයි.
ඥානය ලබාගැනීමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස බුදුදහම සලකන්නේ ආකාරවතී ශ්‍රද්ධාවයි. එය අවබෝධයකින් යුතු විශ්වසනීය තත්ත්වයෙන් ද යුතු විචාරාත්මක ගුණයකි. බුදුදහම නිර්දේශ කරනු ලබන්නේ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවයි.

බුදුරදුන් කසීභාරද්වාජ සූත්‍රයේ දී දේශනාකරන අන්දමට “සද්ධාබීජං” රෝපණයට සුදුසු පොළවේ රෝපණය කළවිට යටට මුල් බැස අංකුරයක් නැගී මුල්වලින් පඨවී රසය, ආපෝ රසය, උරාගෙන ඉහළට වැඩි ඵලදරන්නේ යම්සේද ශ්‍රද්ධාව නැමැති බීජය ද යම් සිතක රෝපණය කළ විට ශීල නැමැති මුල්බැස සමථ, විදර්ශනා නැමැති රස ආර්යමාර්ගය නැමැති නළයෙන් ගෙන ශීල, දිට්ඨා, චිත්ත, කතොවිකරණ, මග්ගා මග්ග, ඥානදස්සන, පටිපදාඥානදස්සන, විසුද්ධි වලින් මහත් බවට පැමිණ අර්හත් නැමැති මහඟු ඵලය නිපදවයි.” යනුවෙන් දක්වන අන්දමට පැහැදිලි වන්නේ ශ්‍රද්ධාව තුළින් උතුම් විමුක්තිය ලබාගත හැකි බවයි.

මේ ආකාරයට ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නා දෙලොව සැපවිඳ අවසානයේ නිවන් අවබෝධ කර ගනී.

උපුටා ගැනීම 
http://www.lakehouse.lk/budusarana/2009/06/07/tmp.asp?ID=vision02



Monday, July 14, 2014

ඉවසීම යනු....

ඔබට ජිවිතයේ නොයෙක් අවස්ථාවල කේන්ති ගොස් ඇති. සමහර  අවස්ථාවලදී ඔබට ඔබව පාලනය කරගත නොහැකි මට්ටමට පත්වෙලා ඇති. විශේෂයෙන් අපට වැරැද්දක් නැතුව චෝදනා

ඇනුම් බැනුම් ගැරහීම් අහන්නවත් කැමති නැහැ. එවැනි අවස්ථාවලදී අපි කෙසේ හෝ උත්සාහ කරන්නේ අප නිවැරදි බව පැවසීමටයි. අනෙත් පාර්ශවයෙන් ඇනුම් බැනුම් ගැරහුම් එනවිට අපත් නිරායාසයෙන්ම අවේගශිලිව  ඔවුන් සමග ගැටෙනවා. තවත් සමහරු  තමන් අතේ වරදක් තිබෙන බව දැන දැනත් තමන් නිවැරදි බව ඔප්පු කිරීමට උත්සාහ කරනවා.

මෙවැනි අවස්ථා වලදී බුදු දහමේ අපට කියාදෙන ඉවසීමේ ගුණය අප කෙසේ භාවිතා කලයුතුද කියන කාරණය ගැන අපි මදක් විමසා බලමු. ඉවසල ඉවසල බැරිම තැන කුමක් කලයුතුද කියා විමසා බලමු.

ඇයි ඉවසන්නේ? 

ඔබ මුලින්ම අවබෝධ කරගත යුතුයි ඇයි අප ඉවසිය යුත්තේ කියා. එය පහසුවෙන් වටහා ගැනීමට නම් ඉවසීමෙන් තොර වූ අවස්ථා ගැන ඔබ  මතක් කර බලන්න. ඔබ ඉවසීමෙන් තොරව අවේගශිලිව කටයුතු කල අවස්ථාවල ඔබේ සිතට ඇතිවූ අපහසුතාව ගැන ඔබට මතකද? ඔබට විඳින්නට සිදු වූ දුක් කරදර ගැන ඔබට මතකද? සමහර විට ටික වේලාවක් ගතවූ පසු ඔබට ඔබ ගැන විශාල කලකිරීමක් ඇතිවෙන්නට ඇති.

ඔබට කාරණය වැටහෙන විට සියල්ල සිදුවී හමාරයි. දැන් ඔබට අතීතයේ සිදු වූ දේවල් වෙනස් කල නොහැකියි. නමුත් ඔබට මේ මොහොතේ ඔබ කරන කියන දේ තීරණය කල හැකියි. ඉතින් නැවතත් ඔබට කේන්ති  එනවිට ඒ සඳහා ඔබ පෙර සුදානමක් ඇතිකරගෙන සිටියොත් මුහුණ දෙන්න පහසු වේවි. ඔබ අකමැති දේ සිදු වන විට ඔබ ඒ වෙනුවෙන් ක්‍රියා කලයුතු ආකාරය පිළිබඳව පෙර සුදානමක් ඇතිකරගෙන සිටින්න. එවිට ඔබට ඔබව පාලනය කරගැනීමට හැකි වේවි. සිතට කේන්තිය එනවිටම ශරීරයෙන් හෝ වචනයෙන් ක්‍රියාත්මක වීමට පෙර සිත පිළිබඳව අවධානයෙන් සිටින්න. ඇසට පෙනෙන සියලු දේ , කනට ඇසෙන සියලු දේ ඔස්සේ ඔබගේ සිතේ ආවේගය හටගැනීමට පෙර ඒ පිළිබඳව දැනුවත් ව සිටින්න. 

ඔබ ප්‍රභලයෙක් නම්...

ඔබට කේන්ති යන්නේ ඔබ දුර්වලයෙක්ව සිටින තාක් පමණයි. ඔබ ප්‍රභලයෙක් වන්න. කේන්තියෙන් අවේගයෙන් කෑගසන අය ප්‍රභලයින් නොව දුබලයින් ලෙස දකින්න. ඔබ කේන්තියෙන් මිදිය යුත්තේ අන් සියල්ලටම වඩා ඔබේ සසර දුකින් මිදීමට එය රුකුලක් වන නිසයි. කේන්තියෙන් අවේගයෙන් ඔබට ලැබෙන්නේ අන් කිසිවක් නොව දුකක්ම පමණයි. 

Monday, June 16, 2014

සබ්බාසව සුත්‍ර සටහන

මෙම රූපසටහන ඔබගේ පරිඝනකයට බාගත කරගෙන (Download ) එය විශාලකොට නරඹන්න 

(Right Click > Save Image As)


Monday, May 19, 2014

ධර්මය , විනය ඔබට සැක නම් ...

සියලු දෙනාට එක හා සමාන නුවනක් , ප්‍රඥාවක් , ශ්‍රද්ධාවක් පිහිටල නැහැ. එක එක පුද්ගලයා තම තමන්ට ආවේනික ක්‍රම ඔස්සේ ධර්ම කරුණු තේරුම් ගන්නේ. සාමාන්‍යයෙන් සිදු වන්නේ තමා ප්‍රිය කරන දේවල් වැඩි විමසීමකින් තොරව පිළිගැනීමයි. තමන්ට ක්‍රියාත්මක කිරීමට අපහසු දේවල් පිළිගන්න කැමති නෑ . ධර්මය කියල කියන්නේ ලෞකික දියුණුව සලසන අතරම ලෝකෝත්තර දියුණුවට පාර පෙන්වන දෙයක්. ලෞකිකත්වය මතම එල්බගෙන සිටින අයට ධර්මයෙන් පෙන්වන ලෝකෝත්තර ගුණය වටහා ගැනීමට තරමක් අපහසුයි. එසේ වන්නේ ඔවුන් ලෞකික සැපයට දැඩිව ඇලී ගැලී සිටීමයි.

එවැනි අයට ධර්මයේ ලොකොත්තර මාර්ගය පිළිබඳව බහුල වශයෙන් සැක කුකුස් ඇති වෙනවා. ගැඹුරු දහම් කරුණු අවබෝධයට එය විශාල බාධාවක්. ලෞකිකත්වය තුලම ඇලි ගැලී සිටින අයට කාමයන්ට අධිකව යටවී සිටීම නිසා කාමයන්ගේ ආශ්වාදයම මිස එයින් මිදීමක් ගැන කෙසේවත් සිතෙන්නේ නෑ . 

එවැනි බොහෝ දෙනා ගේ සිත් තුල ඇතිවන්නේ මෙන්න මේ වගේ අදහස්. 

1. මේ ලෝකේ මෙච්චර සැප තියෙද්දී ඇයි මේක දුකක් දුකක් කියලම කියන්නේ? මොන බොරුද. විකාර.

2. අපි නම් ආතල් එකේ ඉන්නවා. අපෝ ඕගොල්ලෝ පිස්සු විකාර කියවල විහින් දුක් විඳිනවා.

3. ටික කාලයයි ජිවත් වෙන්න තියෙන්නේ. ඒ ටික කාලයේ ජොලියේ ඉන්නේ නැතුව වෙන මොනවා කලත් පලක් නෑ.

4. සීලයක් කියල දෙයක් මොකටද? තමන් හම්බ කරගෙන කාල බිල ජොලියේ හිටියම හරිනේ. සිල් ගත්තට ලැබෙන දේ මොනවද? නිකන් අත පය රිදෙන එක විතරයි හවස් වෙනකොට. විකාර.

5. ඇයි මේ මිනිස්සු එක්කෙනෙක් එක්ක විතරක් පවුල් කන්නේ? තමන්ට වත්කම තියෙනවා නම් එකපාර කීප දෙනෙක් එක්ක පවුල් කන එකේ කිසි වැරද්දක් නෑනේ. ඒක  සොබාදහමෙන් සත්වයන්ට ලැබුණු අයිතියක්. දැන් බලන්න ඔය බල්ලෝ බළල්ලු නිදහසේ ජිවත් වෙන්නේ. මිනිස්සු තමයි මේ තහංචි දාගෙන විහින් දුක් විඳින්නේ.

6. ජිවත් වෙනකොට ඉතින් සත්තු නොමරා බෑනේ. එහෙම නොවුනොත් උන් අපිට හානි කරනවනේ. ලෙඩ බෝ  කරනවා. දෂ්ට කරනවා. සපා කනවා. පානාතිපාතා වේරමණී ගිහියන්ට නම් රකින්න බෑ . පොඩි බොරුවක් වත් නොකිය දැන් කාලේ ජිවත් වෙන්න බෑ . හොඳයි පෙන්නන්න බලන්න එහෙම අය අද කොහෙද ඉන්නේ කියල.

7. සෝවාන් වෙනවා කියන්නේ මොන බොරුද? මෙච්චර මිනිස්සු හැම පෝයටම සිල් ගන්නවා. එක්කෙනෙක් ඉන්නවද අඩු ගානේ සෝවාන් වෙච්ච? ඉන්නවනම් ඉදිරිපත් වෙලා අනිත් අයටත් කියල දෙන්න ඕනනේ සෝවාන් වෙන හැටි. ඕව මේ කාලෙට ගැලපෙන්නේ නෑ .

8. බුදු දහම හරියට කරනවා නම් ඔක්කොම අත ඇරලා කැලේට යන්න වෙනවා. එතකොට කවුද අපෙන් යැපෙන අයව බලා ගන්නේ.? එක නිසා ඕව මේ කාලෙට හරියන්නේ නෑ. ඕව පරණ හණමිටි අදහස්.

9. හැමෝම තමන්ව රවට්ටනවා නම්, තමන්ගේ දේවල් හොරෙන් ගන්නවා නම්, අපි කොහොමද අනිත් අයට කරුණාව දක්වන්නේ? එහෙනම් ඉතින් රහත් වෙන්න ඕන. ගැහුවොත් ගහන්න ඕන. බැන්නොත් බනින්න ඕන. නැත්තම් මේ කාලේ ජිවත් වෙන්න බෑ.

10. රටේ නීතියක් හරියට තියෙනවා නම් ධර්මයක් මොකටද? ධර්මයට ඉහලින් නිතිය තියෙන්න ඕන. නීතියක් ක්‍රියාත්මක නොවන රටක මොන ධර්මයක් ද? නිකන් විහිලු කරන්න එපා හලෝ. ධර්මයෙන් බෑ මිනිස්සුන්ව හදන්න. පුළුවන් නම් ඉතින් ඔය හිර ගෙවල් මොකටද?


මෙවැනි බොහෝ දේ පවසමින් ඔවුන් දහම් මගට පිවිසීම පමා කරගන්නවා. ඔවුන්ට අප අනුකම්පා කල යුතුයි. ඔවුන් සමග මත ගැටුම් වලට නොයා ඔවුන්ට සත්‍ය අවබෝධ කරවීමට සුදුසු උපක්‍රම කල්පනා කල යුතුයි. මෙවැනි පුද්ගයින් සමාජයේ බහුලයි. ආයතනයක් ගත්තොත් වැඩිපුර ඉන්නේ මේ වගේ කට්ටිය. ඉතාම පරිස්සමින් මෙවැනි කෙනෙකුට ධර්මය කියා දිය යුතුයි. වැඩිපුර කල යුත්තේ ඔවුන්ට සවන් දීමයි. ඉන්පසුව ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ වැරදි නිවැරදි කරගැනීමට පියවරෙන් පියවර උපදෙස් දිය යුතුයි. එක්වරම ඔවුන්ගේ මතයට පහර ගසා ඔබේ අදහස කීමට යාමෙන් සිදු වන්නේ ගැටුමක් පමණයි. 

Sunday, May 18, 2014

තමන් දන්නා දේ අනුන්ට කියන විට ...

ඔබ යම් ධර්ම කරුණක් හෝ දහමට අදාළ යම් වත් පිළිවෙත් පිළිබඳව හෝ බුදු දහමට අදාළ වෙනත් ඕනෑම කාරණයක් තවත් කෙනෙකුට පැවසීමේදී හෝ කියා දීමේදී පහත සඳහන් කරුණු පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්නේ නම් හොඳ බව මට හිතෙනවා.

1.  ඔබ යමක් පවසන්නට පෙර එයාව හොඳින් අධ්‍යනය කරන්න.

2. ඔබ අදහස් හුවමාරු කරන පුද්ගලයා හට කිසිවක් බලහත්කාරයෙන් කියන්නට යන්න එපා. ඔබ පවසන දේ කෙතරම් නිවැරදි උවත් එයින් වන්නේ එම පුද්ගලයාගේ කේන්තිය ඇවිස්සෙන එක විතරයි.

3. එයාගේ වැරදි නිවැරදි කරන අදහසින් ඔබ යමක් කියනවා වන්නට පුළුවන්. නමුත් එය ඉතා පරිස්සමින් කල්පනාකාරීව කල යුතුයි. සමහර විට ඔබට පැවසීමට අවශ්‍ය දේ වෙනුවෙන් මාස ගානක් හෝ අවුරුදු ගානක් යන්නටත් පුළුවන්.

4. පුද්ගයයෝ විවිධාකාරයි. නොයෙක් පුරුදු, හැසිරීම් රටා , ඇබ්බැහි වීම් වලට යොමු උවන් වියහැකි බැවින් ඔවුන්ව නිවැරදි මගට ගැනීමේදී විශේෂයෙන් ඔබට ඉවසීම තිබිය යුතුයි.

5. සමහරවිට ඔබට සිතෙයි මේ තරම් පොඩි දෙයක්වත් ඇයි නොතේරෙන්නේ කියා. නමුත් එහිදී ඔබ තේරුම් ගත යුතුයි එය එම පුද්ගලයාගේ දැනුමේ මට්ටම බව. ඉතින් ඔබ වඩාත් ඉවසිය යුතුයි.

6. දහම් කරුණු පවසන විට එය හුදු තර්කයෙන් පමණක් පිළිගන්නා කෙනෙකුට නම් ඔබ තර්ක කිරීම නවතා දමා ඔහුගේ මතයට වඩ වඩාත් සවන් දෙන්න. ඔහු වරදවා ගෙන ඇති තැන ඔබ ඉතා පරෙස්සමින් තේරුම් ගන්න. ඔහුගේ සමාජ පසුබිම, දෙමව්පියන්ගෙන් හුරුවූ ගති පුරුදු, වෙනත් නොයෙකුත් හේතු කාරනා මත ඔහු යම් වැරදි වැටහිමක සිටිනවා විය හැකියි. එක වරම ඔහුගේ මතයට පහර ගහන්න එපා. එකෙන් වෙන්නේ ඔහු
ඔබගේ අදහස් සමග ගැටුමක් ඇතිවීම පමණයි.

7. ඔහුට යමක් වැටහෙන ආකාරයට කියාදීමේ ක්‍රමය ඔබ විසින් සොයා ගත යුතුයි. එසේ සුදුසු ක්‍රමයක් එක්වරම නොපෙනේ නම් ඔබ හදිස්සි නොවිය යුතුයි.

8. පවසන්නට යන දෙය ටික ටික ඉතා සරලව තේරුම් ගත හැකි ආකාරයට පැවසිය යුතුයි. එසේ කිරීමේදී ඔබට විවිධ උපක්‍රම , උදාහරණ භාවිතා කරන්න සිදු වේවි. එහිදී ඔබ දක්ෂ විය යුතුයි. ඔහුගේ දැනුම් මට්ටම අනුව ඔබ පවසන කරුණු ගොනු කරගත යුතුයි. ඔහුට දරා ගත හැකි ප්‍රමාණයට කුඩා කර පැවසිය යුතුයි.

9. උගත් කම සහ ප්‍රඥාව කියන්නේ දෙකක් බව මතක තබා ගන්න. උගත්කම කෙතරම් තිබුනත් ප්‍රඥාව බින්දුවක් විය හැකියි. එබැවින් වඩාත් කල්පනාකාරී වන්න.

10. බුදුන් , දහම්, සඟුන් පිළිබඳව ශ්‍රද්ධාවක් තිබෙන කෙනෙකුට දහම් කරුණු අවබෝධ කිරීම තරමක් පහසුයි. එබැවින් පළමුව ඔහුගේ හෝ ඇයගේ ශ්‍රද්ධාව පිළිබඳව විමසිලිමත් වන්න. ශ්‍රද්ධාව අංශු මාත්‍රයක් වත් නැති කෙනෙකුට දහම් කරුණු අවබෝධය ඉතා අපහසුයි. ඔවුන් සියලු දේ වටහා ගන්නේ තර්කයෙන් පමණයි. එබැවින් ඔවුන්ගේ චරිත ස්වභාවයට ගැලපෙන පරිදි කරුණු ඉදිරිපත් කල යුතුයි. එවිටයි ඔවුන්ව අවබෝධයක් කරා ගෙනයා හැකි වන්නේ. එසේ නොවුනහොත් අවසානයේ ඉතිරි වන්නේ සිත් රිදීම් සහ ගැටීම් පමණයි.

11. තර්කයෙන් ගලපා ගත හැකි කොටස් පමණක් එවැනි කෙනෙකුට පැවසිය යුතුයි. නිතරම තමා උපමා කොට ඒ අනුව අනුන් ගැන තේරුම් ගත පරිදි කරුණු පවසන්න. එවිට ඔවුන් තර්කයෙන් එය තේරුම් ගනීවි. එක්වරම තේරුම් නොගත්තත් ඔවුන් ඒ ඔස්සේ සිතන්නට පටන් ගනීවි.