Thursday, July 17, 2014

ශ්‍රද්ධාව පිළිබඳ බුදුදහමේ විග්‍රහය

බෞද්ධ විමුක්ති මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක් බුදුදහමේ ඉගැන්වෙන පරිද්දට විමුක්තිය උදාකරගත හැකි ය. එහෙත් ආර්ය මාර්ගයේ කිසිදු තැනක ශ්‍රද්ධාව ඇගයීමට ලක් වී නොමැත. එයින් ගම්‍යවන්නේ නිර්වාණාවබෝධය සඳහා ශ්‍රද්ධාව අවශ්‍ය නොවන බව දැයි විමසා බැලිය යුතු ය.

සද්ධා පදය ප්‍රසාදය, පැහැදීම, කරුණු තේරුම් ගෙන ඇතිකරගන්නා අවබෝධය ලෙස අර්ථ දැක්විය හැකි ය. බෞද්ධ ශබ්දකෝෂ නිර්මාතෘ සිරි ලියනගේ මහත්මා සද්ධාව පිළිබඳව අර්ථ දක්වන්නේ “ශ්‍රද්ධාව, භක්තිය, පැහැදීම, සිතෙහි ඇති කරගන්නා දැඩි පැහැදීම ධර්මය කෙරෙහි බුදුන් කෙරෙහි ඇතිකරගන්නා දැඩි භක්තිය ආදී වශයෙනි.
R.C. CHILDERS  විසින් සම්පාදිත පාලි ඉංගී‍්‍රසි ශබ්දකෝෂයේ ශ්‍රද්ධාපදය විවරණය කරන්නේ මෙසේ ය. ජ්චඪබඩ (ෆෙඉත්) සම්පූර්ණ දැඩි විශ්වාසය, හිතෛෂී බව, ආගමික විශ්වාසය (මීට අමතරව පාලි සූත්‍රපාඨ යොදාගනිමින් මෙම ශ්‍රද්ධා පදය විස්තර කර ඇත.)

මහාචාර්ය කේ.එන්. ජයතිලකයන් ත්‍රිපිටකය තුළ ශ්‍රද්ධාව යෙදීඇති තැන් රාශියක් මෙසේ පෙළගස්වයි.
“සද්ධා සීල සූත චාග පඤ්ඤා”
“සද්ධා විරිය සති සමාධි පඤ්ඤා”
“සද්ධා සීල චාග පඤ්ඤා පටිභාන”
“සද්ධා සීල හිරි ඔත්තප්පිය සුත චාග පඤ්ඤා”
“සද්ධා හිරි ඔත්තප්පි විරිය පඤ්ඤා”

මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රද්ධාවෙන් ආරම්භවන බෞද්ධ විමුක්ති මාර්ගය ප්‍රඥාවෙන් අවසන් වන බවයි.

පුද්ගල විමුක්තිය සඳහා ප්‍රධාන වශයෙන් බලපවත්වන සාධකයකි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවේ ප්‍රායෝගික අවශ්‍යතාවයක් බුදු සමය දකින්නේ ඒ නිසා ය. සං.නි.ධ්ධ්ධ් “සම්බුද්ධ සූත්‍රයේ” බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශාස්තෘ ප්‍රසාදයට පැමිණීමේ අවශ්‍යතාව දක්වමින් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ‘බුදුරජාණන් වහන්සේ නූපන් මාර්ගය’ උපදවති. නො හැඳින ඇති මාර්ගය හඳුන්වා දෙති. මාර්ග දනිති. මාර්ගය දකිති. අනෙකකු විසින් ප්‍රකාශ නොකළ මාර්ගය කියාදෙති. මාර්ගයෙහි නිපුණවෙති. මහණෙනි, මෙකල ශ්‍රාවකයෝ මාර්ගය අනුව යන්නෝ වෙති. පසුව පැමිණියාහු වෙති.

මේ ශ්‍රද්ධාව නම් ප්‍රත්‍යක්‍ෂ ඥානයක් බවට පත්කරගත හැකි කරුණක් පිළිබඳව මූලිකව ඇති කරගන්නා පිළිගැනීම බව සැලකිය යුතු ය.

මජ්ඣිම නිකාය කීටාගිරි සූත්‍රයේ දී පුද්ගලයා තුළ ආධ්‍යාත්මික පරිවර්තනයක් ඇතිවීමට ශ්‍රද්ධාව මූලිකවන ආකාරය පැහැදිලිව දේශනාකොට ඇත. පළමුව බාහිර වශයෙන් පුද්ගලයා නිවැරැදි මාර්ගයට පැමිණීමට ශ්‍රද්ධාව මුල්වන ආකාරයත්, අනතුරුව ආධ්‍යාත්මික අතින් පුද්ගලයා වර්ධනය වෙමින් ප්‍රඥාවෙන් විමුක්තිය කරා ළඟා වන ආකාරයත් මින් මනාව ප්‍රකට වෙයි.

පුද්ගලයා තුළ අධ්‍යාත්මික වශයෙන් කිසියම් හෝ පරිවර්තනයක් ඇතිවීමට පෙර ඒ සඳහා හේතුකාරණා වන ධර්මයක් ඇසීමට පුද්ගලයා මෙහෙය වන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව නොමැත්තේ නම් පුද්ගල ආධ්‍යාත්මගත පරිවර්තනයකට අවශ්‍ය දහම් දෙසන කෙනකු වෙත නො එළඹෙයි. මෙසේ පුද්ගලයා තුළ ශ්‍රද්ධාව ඇතිවීම විමුක්ති මාර්ගයේ ගමන් කිරීමට බලපාන මූලිකම කාරණාවයි.

උපනිස සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවට හේතුව දුක බව දේසනා කරති. ‘කාච භික්‍ඛවෙ සද්ධාය උපනිසා දුක්‍ඛංතිස්ස වචනීයං” මිනිසා තමා ලබන අද්දැකීම් විග්‍රහකර බැලීමෙන් පසු එහි ඇති ගැටලු විසඳා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග වලට පෙළඹෙයි. බෞද්ධ විග්‍රහය අනුව මිනිසාගේ වර්තමාන අද්දැකීම වූ කලී අසහනයයි. අතෘප්තියයි. අසන්තෘෂ්ටියයි.

මෙම තත්ත්වය දුක ලෙස හඳුන්වාදිය හැකි ය. දුක ඉවත් කර ගැනීමට සිතන මිනිසා එයට මඟ කියන්නෙකු ගැන සොයා බලයි. තමාට ගැළපෙන මඟ කියන්නා තම ගුරුවරයා ලෙස පිළිගනී. මෙම පිළිගැනීමට පදනම් වන්නේ ශ්‍රද්ධාව හෙවත් විශ්වාසයයි. මෙයින් ද පැහැදිලි වන්නේ බෞද්ධ විමුක්ති මාර්ගය ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥාව කරා ළඟා වන බවයි.

ශ්‍රද්ධාව ආකාර දෙකක ප්‍රතිඵල ඇති ස්වභාවයක් බව මජ්ඣිම නිකායේ චංකී සූත්‍රයේ දී දේශනා කොට ඇත.
ශ්‍රද්ධාව, රුචිය, අනුස්සමය, ආකාර පරවි තක්ඛය, දිට්ඨි නිජ්ජානක්ඛන්ති යන මේ පස දෙයාකාරයක ප්‍රතිඵල ස්වභාව ඇතැයි කියවේ. ඒ අනුව ශ්‍රද්ධාවද වැරැදි හෝ නිවැරැදි වීමේ ප්‍රවණතාවයෙන් යුක්ත බව නිගමනය කළ හැකි ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් හෝ තිබීම පරිහානියට නොව දියුණුවට හේතුවන කාරණාවක් බව ම.නි. අලගද්දූපම සූත්‍රයේ සඳහන් වෙයි. “යෙසං මයි සද්ධාමත්තං පෙම මත්තං සබ්බෙතෙ සග්ගපරායනා” පුද්ගලයා කෙරෙහි විශ්වාසය තැබීම මෙන්ම දහම කෙරෙහි විශ්වාසය තැබීමද ශ්‍රද්ධාවේ ලක්‍ෂණ දෙකකි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ ගත් මඟ ගමන් කරන්නා සද්ධානුසාරී ලෙස සූත්‍රවල සඳහන්ව ඇත. ඔහුගේ ශ්‍රද්ධාව බෙහෙවින්ම සරලය. “තථාගතෙ චස්ස සද්ධා චත්තං හොති පෙම්මත්තං” සද්ධා වීර්ය සති, සමාධි, පඤ්ඤ යන ඉන්ද්‍රියන් වැඩීමට ආරම්භ වීම ‘සද්ධානුස්සාරී පුද්ගලයාගේ ලක්‍ෂණයයි. දෙවෙනි ධම්මානුසාරී පුද්ගලයා ධර්මය පිළිබඳව වැටහීමක් ලබාගෙන ධර්මය පෙන්වන මගෙහි ගමන් කිරීමට උත්සාහ කරයි. මොහු තුළ ප්‍රඥා ඉන්ද්‍රිය මාත්‍ර වශයෙන් මුහුකුරා ගොස් තිබේ. “තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්ත සෝ නිජඣානං ඛමන්ති” මොවුන් දෙදෙනාම පෘතග්ජනයෝ නොවෙති. මොවුන්ගේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් ලෙස වර්ධනය වන්නට පටන්ගෙන නියත වශයෙන්ම නිවනට පැමිණෙන්නෝ වෙති.

බුදුසමයෙහි උගන්වන ශ්‍රද්ධාව අමූලිකා හා ආකාරවතී යනුවෙන් දෙයාකාර වෙයි. අමූලිකා ශ්‍රද්ධා යනු හුදු විශ්වාසයයි. ඇදහීමයි. භක්තියයි. එහි විචාරීමක් හෝ අවබෝධයක් හෝ කරුණු කාරණා සලකා බැලීමක් නැත. අමූලිකා සද්ධාව “භගවත් ගීතාවේ” එන “භක්තිය” යන්නට සමාන වෙයි. අමූලිකා ශ්‍රද්ධාව බුදුදහම ප්‍රතික්‍ෂේප කරනු ලබයි. ඒ එහි යථාර්ථාවබෝධයක් නොමැති නිසා ය. මෙයින් වැඩෙන්නේ කුසල පක්‍ෂය නොව අකුසල පක්‍ෂයයි.
ඥානය ලබාගැනීමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස බුදුදහම සලකන්නේ ආකාරවතී ශ්‍රද්ධාවයි. එය අවබෝධයකින් යුතු විශ්වසනීය තත්ත්වයෙන් ද යුතු විචාරාත්මක ගුණයකි. බුදුදහම නිර්දේශ කරනු ලබන්නේ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවයි.

බුදුරදුන් කසීභාරද්වාජ සූත්‍රයේ දී දේශනාකරන අන්දමට “සද්ධාබීජං” රෝපණයට සුදුසු පොළවේ රෝපණය කළවිට යටට මුල් බැස අංකුරයක් නැගී මුල්වලින් පඨවී රසය, ආපෝ රසය, උරාගෙන ඉහළට වැඩි ඵලදරන්නේ යම්සේද ශ්‍රද්ධාව නැමැති බීජය ද යම් සිතක රෝපණය කළ විට ශීල නැමැති මුල්බැස සමථ, විදර්ශනා නැමැති රස ආර්යමාර්ගය නැමැති නළයෙන් ගෙන ශීල, දිට්ඨා, චිත්ත, කතොවිකරණ, මග්ගා මග්ග, ඥානදස්සන, පටිපදාඥානදස්සන, විසුද්ධි වලින් මහත් බවට පැමිණ අර්හත් නැමැති මහඟු ඵලය නිපදවයි.” යනුවෙන් දක්වන අන්දමට පැහැදිලි වන්නේ ශ්‍රද්ධාව තුළින් උතුම් විමුක්තිය ලබාගත හැකි බවයි.

මේ ආකාරයට ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නා දෙලොව සැපවිඳ අවසානයේ නිවන් අවබෝධ කර ගනී.

උපුටා ගැනීම 
http://www.lakehouse.lk/budusarana/2009/06/07/tmp.asp?ID=vision02



Monday, July 14, 2014

ඉවසීම යනු....

ඔබට ජිවිතයේ නොයෙක් අවස්ථාවල කේන්ති ගොස් ඇති. සමහර  අවස්ථාවලදී ඔබට ඔබව පාලනය කරගත නොහැකි මට්ටමට පත්වෙලා ඇති. විශේෂයෙන් අපට වැරැද්දක් නැතුව චෝදනා

ඇනුම් බැනුම් ගැරහීම් අහන්නවත් කැමති නැහැ. එවැනි අවස්ථාවලදී අපි කෙසේ හෝ උත්සාහ කරන්නේ අප නිවැරදි බව පැවසීමටයි. අනෙත් පාර්ශවයෙන් ඇනුම් බැනුම් ගැරහුම් එනවිට අපත් නිරායාසයෙන්ම අවේගශිලිව  ඔවුන් සමග ගැටෙනවා. තවත් සමහරු  තමන් අතේ වරදක් තිබෙන බව දැන දැනත් තමන් නිවැරදි බව ඔප්පු කිරීමට උත්සාහ කරනවා.

මෙවැනි අවස්ථා වලදී බුදු දහමේ අපට කියාදෙන ඉවසීමේ ගුණය අප කෙසේ භාවිතා කලයුතුද කියන කාරණය ගැන අපි මදක් විමසා බලමු. ඉවසල ඉවසල බැරිම තැන කුමක් කලයුතුද කියා විමසා බලමු.

ඇයි ඉවසන්නේ? 

ඔබ මුලින්ම අවබෝධ කරගත යුතුයි ඇයි අප ඉවසිය යුත්තේ කියා. එය පහසුවෙන් වටහා ගැනීමට නම් ඉවසීමෙන් තොර වූ අවස්ථා ගැන ඔබ  මතක් කර බලන්න. ඔබ ඉවසීමෙන් තොරව අවේගශිලිව කටයුතු කල අවස්ථාවල ඔබේ සිතට ඇතිවූ අපහසුතාව ගැන ඔබට මතකද? ඔබට විඳින්නට සිදු වූ දුක් කරදර ගැන ඔබට මතකද? සමහර විට ටික වේලාවක් ගතවූ පසු ඔබට ඔබ ගැන විශාල කලකිරීමක් ඇතිවෙන්නට ඇති.

ඔබට කාරණය වැටහෙන විට සියල්ල සිදුවී හමාරයි. දැන් ඔබට අතීතයේ සිදු වූ දේවල් වෙනස් කල නොහැකියි. නමුත් ඔබට මේ මොහොතේ ඔබ කරන කියන දේ තීරණය කල හැකියි. ඉතින් නැවතත් ඔබට කේන්ති  එනවිට ඒ සඳහා ඔබ පෙර සුදානමක් ඇතිකරගෙන සිටියොත් මුහුණ දෙන්න පහසු වේවි. ඔබ අකමැති දේ සිදු වන විට ඔබ ඒ වෙනුවෙන් ක්‍රියා කලයුතු ආකාරය පිළිබඳව පෙර සුදානමක් ඇතිකරගෙන සිටින්න. එවිට ඔබට ඔබව පාලනය කරගැනීමට හැකි වේවි. සිතට කේන්තිය එනවිටම ශරීරයෙන් හෝ වචනයෙන් ක්‍රියාත්මක වීමට පෙර සිත පිළිබඳව අවධානයෙන් සිටින්න. ඇසට පෙනෙන සියලු දේ , කනට ඇසෙන සියලු දේ ඔස්සේ ඔබගේ සිතේ ආවේගය හටගැනීමට පෙර ඒ පිළිබඳව දැනුවත් ව සිටින්න. 

ඔබ ප්‍රභලයෙක් නම්...

ඔබට කේන්ති යන්නේ ඔබ දුර්වලයෙක්ව සිටින තාක් පමණයි. ඔබ ප්‍රභලයෙක් වන්න. කේන්තියෙන් අවේගයෙන් කෑගසන අය ප්‍රභලයින් නොව දුබලයින් ලෙස දකින්න. ඔබ කේන්තියෙන් මිදිය යුත්තේ අන් සියල්ලටම වඩා ඔබේ සසර දුකින් මිදීමට එය රුකුලක් වන නිසයි. කේන්තියෙන් අවේගයෙන් ඔබට ලැබෙන්නේ අන් කිසිවක් නොව දුකක්ම පමණයි. 

Monday, June 16, 2014

සබ්බාසව සුත්‍ර සටහන

මෙම රූපසටහන ඔබගේ පරිඝනකයට බාගත කරගෙන (Download ) එය විශාලකොට නරඹන්න 

(Right Click > Save Image As)


Monday, May 19, 2014

ධර්මය , විනය ඔබට සැක නම් ...

සියලු දෙනාට එක හා සමාන නුවනක් , ප්‍රඥාවක් , ශ්‍රද්ධාවක් පිහිටල නැහැ. එක එක පුද්ගලයා තම තමන්ට ආවේනික ක්‍රම ඔස්සේ ධර්ම කරුණු තේරුම් ගන්නේ. සාමාන්‍යයෙන් සිදු වන්නේ තමා ප්‍රිය කරන දේවල් වැඩි විමසීමකින් තොරව පිළිගැනීමයි. තමන්ට ක්‍රියාත්මක කිරීමට අපහසු දේවල් පිළිගන්න කැමති නෑ . ධර්මය කියල කියන්නේ ලෞකික දියුණුව සලසන අතරම ලෝකෝත්තර දියුණුවට පාර පෙන්වන දෙයක්. ලෞකිකත්වය මතම එල්බගෙන සිටින අයට ධර්මයෙන් පෙන්වන ලෝකෝත්තර ගුණය වටහා ගැනීමට තරමක් අපහසුයි. එසේ වන්නේ ඔවුන් ලෞකික සැපයට දැඩිව ඇලී ගැලී සිටීමයි.

එවැනි අයට ධර්මයේ ලොකොත්තර මාර්ගය පිළිබඳව බහුල වශයෙන් සැක කුකුස් ඇති වෙනවා. ගැඹුරු දහම් කරුණු අවබෝධයට එය විශාල බාධාවක්. ලෞකිකත්වය තුලම ඇලි ගැලී සිටින අයට කාමයන්ට අධිකව යටවී සිටීම නිසා කාමයන්ගේ ආශ්වාදයම මිස එයින් මිදීමක් ගැන කෙසේවත් සිතෙන්නේ නෑ . 

එවැනි බොහෝ දෙනා ගේ සිත් තුල ඇතිවන්නේ මෙන්න මේ වගේ අදහස්. 

1. මේ ලෝකේ මෙච්චර සැප තියෙද්දී ඇයි මේක දුකක් දුකක් කියලම කියන්නේ? මොන බොරුද. විකාර.

2. අපි නම් ආතල් එකේ ඉන්නවා. අපෝ ඕගොල්ලෝ පිස්සු විකාර කියවල විහින් දුක් විඳිනවා.

3. ටික කාලයයි ජිවත් වෙන්න තියෙන්නේ. ඒ ටික කාලයේ ජොලියේ ඉන්නේ නැතුව වෙන මොනවා කලත් පලක් නෑ.

4. සීලයක් කියල දෙයක් මොකටද? තමන් හම්බ කරගෙන කාල බිල ජොලියේ හිටියම හරිනේ. සිල් ගත්තට ලැබෙන දේ මොනවද? නිකන් අත පය රිදෙන එක විතරයි හවස් වෙනකොට. විකාර.

5. ඇයි මේ මිනිස්සු එක්කෙනෙක් එක්ක විතරක් පවුල් කන්නේ? තමන්ට වත්කම තියෙනවා නම් එකපාර කීප දෙනෙක් එක්ක පවුල් කන එකේ කිසි වැරද්දක් නෑනේ. ඒක  සොබාදහමෙන් සත්වයන්ට ලැබුණු අයිතියක්. දැන් බලන්න ඔය බල්ලෝ බළල්ලු නිදහසේ ජිවත් වෙන්නේ. මිනිස්සු තමයි මේ තහංචි දාගෙන විහින් දුක් විඳින්නේ.

6. ජිවත් වෙනකොට ඉතින් සත්තු නොමරා බෑනේ. එහෙම නොවුනොත් උන් අපිට හානි කරනවනේ. ලෙඩ බෝ  කරනවා. දෂ්ට කරනවා. සපා කනවා. පානාතිපාතා වේරමණී ගිහියන්ට නම් රකින්න බෑ . පොඩි බොරුවක් වත් නොකිය දැන් කාලේ ජිවත් වෙන්න බෑ . හොඳයි පෙන්නන්න බලන්න එහෙම අය අද කොහෙද ඉන්නේ කියල.

7. සෝවාන් වෙනවා කියන්නේ මොන බොරුද? මෙච්චර මිනිස්සු හැම පෝයටම සිල් ගන්නවා. එක්කෙනෙක් ඉන්නවද අඩු ගානේ සෝවාන් වෙච්ච? ඉන්නවනම් ඉදිරිපත් වෙලා අනිත් අයටත් කියල දෙන්න ඕනනේ සෝවාන් වෙන හැටි. ඕව මේ කාලෙට ගැලපෙන්නේ නෑ .

8. බුදු දහම හරියට කරනවා නම් ඔක්කොම අත ඇරලා කැලේට යන්න වෙනවා. එතකොට කවුද අපෙන් යැපෙන අයව බලා ගන්නේ.? එක නිසා ඕව මේ කාලෙට හරියන්නේ නෑ. ඕව පරණ හණමිටි අදහස්.

9. හැමෝම තමන්ව රවට්ටනවා නම්, තමන්ගේ දේවල් හොරෙන් ගන්නවා නම්, අපි කොහොමද අනිත් අයට කරුණාව දක්වන්නේ? එහෙනම් ඉතින් රහත් වෙන්න ඕන. ගැහුවොත් ගහන්න ඕන. බැන්නොත් බනින්න ඕන. නැත්තම් මේ කාලේ ජිවත් වෙන්න බෑ.

10. රටේ නීතියක් හරියට තියෙනවා නම් ධර්මයක් මොකටද? ධර්මයට ඉහලින් නිතිය තියෙන්න ඕන. නීතියක් ක්‍රියාත්මක නොවන රටක මොන ධර්මයක් ද? නිකන් විහිලු කරන්න එපා හලෝ. ධර්මයෙන් බෑ මිනිස්සුන්ව හදන්න. පුළුවන් නම් ඉතින් ඔය හිර ගෙවල් මොකටද?


මෙවැනි බොහෝ දේ පවසමින් ඔවුන් දහම් මගට පිවිසීම පමා කරගන්නවා. ඔවුන්ට අප අනුකම්පා කල යුතුයි. ඔවුන් සමග මත ගැටුම් වලට නොයා ඔවුන්ට සත්‍ය අවබෝධ කරවීමට සුදුසු උපක්‍රම කල්පනා කල යුතුයි. මෙවැනි පුද්ගයින් සමාජයේ බහුලයි. ආයතනයක් ගත්තොත් වැඩිපුර ඉන්නේ මේ වගේ කට්ටිය. ඉතාම පරිස්සමින් මෙවැනි කෙනෙකුට ධර්මය කියා දිය යුතුයි. වැඩිපුර කල යුත්තේ ඔවුන්ට සවන් දීමයි. ඉන්පසුව ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ වැරදි නිවැරදි කරගැනීමට පියවරෙන් පියවර උපදෙස් දිය යුතුයි. එක්වරම ඔවුන්ගේ මතයට පහර ගසා ඔබේ අදහස කීමට යාමෙන් සිදු වන්නේ ගැටුමක් පමණයි. 

Sunday, May 18, 2014

තමන් දන්නා දේ අනුන්ට කියන විට ...

ඔබ යම් ධර්ම කරුණක් හෝ දහමට අදාළ යම් වත් පිළිවෙත් පිළිබඳව හෝ බුදු දහමට අදාළ වෙනත් ඕනෑම කාරණයක් තවත් කෙනෙකුට පැවසීමේදී හෝ කියා දීමේදී පහත සඳහන් කරුණු පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්නේ නම් හොඳ බව මට හිතෙනවා.

1.  ඔබ යමක් පවසන්නට පෙර එයාව හොඳින් අධ්‍යනය කරන්න.

2. ඔබ අදහස් හුවමාරු කරන පුද්ගලයා හට කිසිවක් බලහත්කාරයෙන් කියන්නට යන්න එපා. ඔබ පවසන දේ කෙතරම් නිවැරදි උවත් එයින් වන්නේ එම පුද්ගලයාගේ කේන්තිය ඇවිස්සෙන එක විතරයි.

3. එයාගේ වැරදි නිවැරදි කරන අදහසින් ඔබ යමක් කියනවා වන්නට පුළුවන්. නමුත් එය ඉතා පරිස්සමින් කල්පනාකාරීව කල යුතුයි. සමහර විට ඔබට පැවසීමට අවශ්‍ය දේ වෙනුවෙන් මාස ගානක් හෝ අවුරුදු ගානක් යන්නටත් පුළුවන්.

4. පුද්ගයයෝ විවිධාකාරයි. නොයෙක් පුරුදු, හැසිරීම් රටා , ඇබ්බැහි වීම් වලට යොමු උවන් වියහැකි බැවින් ඔවුන්ව නිවැරදි මගට ගැනීමේදී විශේෂයෙන් ඔබට ඉවසීම තිබිය යුතුයි.

5. සමහරවිට ඔබට සිතෙයි මේ තරම් පොඩි දෙයක්වත් ඇයි නොතේරෙන්නේ කියා. නමුත් එහිදී ඔබ තේරුම් ගත යුතුයි එය එම පුද්ගලයාගේ දැනුමේ මට්ටම බව. ඉතින් ඔබ වඩාත් ඉවසිය යුතුයි.

6. දහම් කරුණු පවසන විට එය හුදු තර්කයෙන් පමණක් පිළිගන්නා කෙනෙකුට නම් ඔබ තර්ක කිරීම නවතා දමා ඔහුගේ මතයට වඩ වඩාත් සවන් දෙන්න. ඔහු වරදවා ගෙන ඇති තැන ඔබ ඉතා පරෙස්සමින් තේරුම් ගන්න. ඔහුගේ සමාජ පසුබිම, දෙමව්පියන්ගෙන් හුරුවූ ගති පුරුදු, වෙනත් නොයෙකුත් හේතු කාරනා මත ඔහු යම් වැරදි වැටහිමක සිටිනවා විය හැකියි. එක වරම ඔහුගේ මතයට පහර ගහන්න එපා. එකෙන් වෙන්නේ ඔහු
ඔබගේ අදහස් සමග ගැටුමක් ඇතිවීම පමණයි.

7. ඔහුට යමක් වැටහෙන ආකාරයට කියාදීමේ ක්‍රමය ඔබ විසින් සොයා ගත යුතුයි. එසේ සුදුසු ක්‍රමයක් එක්වරම නොපෙනේ නම් ඔබ හදිස්සි නොවිය යුතුයි.

8. පවසන්නට යන දෙය ටික ටික ඉතා සරලව තේරුම් ගත හැකි ආකාරයට පැවසිය යුතුයි. එසේ කිරීමේදී ඔබට විවිධ උපක්‍රම , උදාහරණ භාවිතා කරන්න සිදු වේවි. එහිදී ඔබ දක්ෂ විය යුතුයි. ඔහුගේ දැනුම් මට්ටම අනුව ඔබ පවසන කරුණු ගොනු කරගත යුතුයි. ඔහුට දරා ගත හැකි ප්‍රමාණයට කුඩා කර පැවසිය යුතුයි.

9. උගත් කම සහ ප්‍රඥාව කියන්නේ දෙකක් බව මතක තබා ගන්න. උගත්කම කෙතරම් තිබුනත් ප්‍රඥාව බින්දුවක් විය හැකියි. එබැවින් වඩාත් කල්පනාකාරී වන්න.

10. බුදුන් , දහම්, සඟුන් පිළිබඳව ශ්‍රද්ධාවක් තිබෙන කෙනෙකුට දහම් කරුණු අවබෝධ කිරීම තරමක් පහසුයි. එබැවින් පළමුව ඔහුගේ හෝ ඇයගේ ශ්‍රද්ධාව පිළිබඳව විමසිලිමත් වන්න. ශ්‍රද්ධාව අංශු මාත්‍රයක් වත් නැති කෙනෙකුට දහම් කරුණු අවබෝධය ඉතා අපහසුයි. ඔවුන් සියලු දේ වටහා ගන්නේ තර්කයෙන් පමණයි. එබැවින් ඔවුන්ගේ චරිත ස්වභාවයට ගැලපෙන පරිදි කරුණු ඉදිරිපත් කල යුතුයි. එවිටයි ඔවුන්ව අවබෝධයක් කරා ගෙනයා හැකි වන්නේ. එසේ නොවුනහොත් අවසානයේ ඉතිරි වන්නේ සිත් රිදීම් සහ ගැටීම් පමණයි.

11. තර්කයෙන් ගලපා ගත හැකි කොටස් පමණක් එවැනි කෙනෙකුට පැවසිය යුතුයි. නිතරම තමා උපමා කොට ඒ අනුව අනුන් ගැන තේරුම් ගත පරිදි කරුණු පවසන්න. එවිට ඔවුන් තර්කයෙන් එය තේරුම් ගනීවි. එක්වරම තේරුම් නොගත්තත් ඔවුන් ඒ ඔස්සේ සිතන්නට පටන් ගනීවි.

Friday, April 18, 2014

http://neegrodha.weebly.com/ කතරගම, ගෝතමී ගම අරණ්‍ය සේනාසනය

තෙරුවන් සරණයි !

කතරගම, ගෝතමී ගම අරණ්‍ය සේනාසනය 2006 වසරේදී ආරම්භ කරන ලද පුණ්‍ය ආයතනයකි. මෙහි දැනට ඉදිවෙමින් පවතින සංඝාවාස කුටි, මග පිළිවෙත් ගරුක වැඩිහිටියන් පිදීමේ නිවාසය, සහ අරණ්‍ය සෙනසුණේ කටයුතු වලට සම්බන්ධ වන පින්වතුන් ට නවාතැන් ගැනීම සඳහා ඉදිවෙමින් පවතින විශ්‍රාම ශාලාවෙහි චායාරුප කිහිපයක්  පහත දැක්වේ. මෙම අරණ්‍ය සේනාසන භුමිය තුල සෑම පොහෝ දිනකම සීල භාවනා වැඩසටහනක් පැවැත්වේ. එහිදී ධර්ම දේශනා, ධර්ම සාකච්චා, ඇතුළු විවිධ පින්කම් රැසකට සහභාගී වීමට සිල් සමාදන් වන පිරිසට සහ අනෙකුත් උපාසක උපාසිකාවන්ට අවස්ථාව ලැබේ.

මෙහි පැමිණ වන්දනාමාන කොට බුද්ධ වචනයට අනුව දහම මැනවින් වටහාගෙන, සිල්වත්, ගුණවත් දිවියක් ගතකිරීමට පින්වත් ඔබ සැමට ආරාධනා කරමු.

කතරගමට නුදුරු නිසංසල පරිසරයක ( ගෝතමී ගම ) සිව් දිහින් එන ආර්ය සංඝයා උදෙසා ඉදිවෙමින් පවතින සංඝාවාස කුටි සහ සංඝයා මුණ ගැසීමට, වන්දනා මාන කිරීමට, මග පිළිවෙත් පිරීමට, දුර බැහැර සිට එන්නන් සඳහා විවේකිව වාසය කිරීම සඳහා වෙන්වන විශ්‍රාම ශාලාවේ ඉතිරි වැඩ කටයුතු නිමා කිරීම සඳහා සැදැහැති සිතින් දායක වනමෙන් ඔබටත් ආරාධනා කරමි.

Tuesday, February 26, 2013

නිවන වචනයෙන් පැවසිය හැකි නොවේ. කිසියම් අයකු අපට ද නිවන් අවබෝධ කරගැනීමට හැකිවන අයුරින් නිවන අර්ථ දක්‌වන්නේ නම් ඒ පිනම නිවන් දැකීමට ප්‍රමාණවත් වන්නේ යෑයි සිතමි. බුදුන් වහන්සේ නිවන යනු මේ යෑයි පවසා ඇත්තේ කිනම් සූත්‍රයකද?


නිවන කියල කියන්නේ නැවත ඉපදීමක් නැති වීමයි. සංස්කාර සියල්ල නිරුද්ධ වී යාමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපුර්ණ වශයෙන් වැඩීමෙන් මෙම තත්වයට පත්වෙනවා. නිවන යනු තැනක් හෝ දෙයක් නොවෙයි. අවබෝධය දියුණු කිරීමෙන් පත්වන තත්වයක්. අරහත් ඵලය සාක්ෂාත් කරනවා කියන්නේ නිවන් දකිනවා කියන එකයි. අරහත් ඵලය සාක්ෂාත් කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ ගැන බුදුන් වහන්සේ තමන් වහන්සේගේ පළමු සුත්‍ර දේශනාවෙන්ම කියල දුන්න. ධම්ම චක්ක පවත්තන සුත්‍රය බලන්න.


ධම්මචක්කපවත්තන සූත්‍රය
-------------------------------
‘එ‘එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා

චක්ඛු කරණී ඤාණ කරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති’

ධම්මචක්කපවත්තන සූත්‍රය බුදුරදුන්ගේ ප්‍රථම ධර්ම දේශනාවයි. බුද්ධ ධර්මයේ ස්වභාවය හදවත බඳු මෙම සූත්‍රය ඇසළ පෝදා ඉසිපතන මිගදායේ දී දේශනා කරනු ලැබුවේ පංච වග්ගිය භික්‍ෂූන් උදෙසාය. මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව දී දේශනා කරන ලද සූත්‍ර රැසක් අතරට මෙය ද ඇතුළත් වේ.

ධම්මචක්කපවත්තන සූත්‍රය වැදගත් වන්නේ එහි ආර්ය මාර්ගයේ ප්‍රතිපදාව ලොවට හෙළි කර තිබීම නිසාය. සිද්ධාර්ථ කුමරු තවුස් දම් පුරණ කාලයේ ශරීරයට දැඩි සේ දුක් දෙමින් විමුක්තිය සෙවීය. පංච ඉන්ද්‍රිය පිනවමින් කුමාර ජීවිතය ගත කළේය. රම්‍ය, සුරම්‍ය, සුභ නමින් වූ මාළිගාවල අනේක සැප වින්දනය කළේය. මේ එක ක්‍රමයක්වත් විමුක්ති මාර්ගය නොවන බව තමන් අවබෝධ කර ගත්තේය. ආළාර කාලාම, උද්දකරාම පුත්ත වැනි ධ්‍යාන ලාභී තවුසන් වෙත ගමන් කළේද විමුක්තිය සොයා ගනු පිණිසය. එකම බර සංසාර බර පමණි. මේ සංසාර බරෙන් මිදීමට අන්තවාදී පිළිවෙත් නිසි මග නොවන බව එතුමෝ අවබෝධ කර ගත්හ.

ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් අන්දමට අන්තවාදී ප්‍රතිපදා දෙකකි.

1. කාම සුඛල්ලිකානු යෝගය

2. අත්තකිලමථානු යෝගය

මේ අන්ත දෙක අධික සැප, අධික දුක අතර දෝළනය වන්නකි. මේ අන්ත දෙකම පෘථග්ජනයන් විසින් සෙවුනාලද, හීනවූ, ග්‍රාම්‍ය වූ, අනාර්ය වූ, අනර්ථය පිණිස පවතින බව (හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනර්ථ සංහිතො) සිදුහත් කුමරු පසක් කර ගත්හ.

බෝධි මූලයේ තමන් අවබෝධ කර ගත්තේ ආර්ය පර්යේෂණ ක්‍රමයයි. ආර්ය පිළිවෙත උතුම් පිළිවෙත අනුගමනය කිරීමත්, ආර්ය නොවන ග්‍රාම්‍ය වූ කෙළෙස් වැඩෙන අනාර්ය පර්යේෂණයෙන් ඈත් වීමටත් ගෞතම බුදුරදුන් ගේ් පිළිවෙත හේතු වාසනා විය.

අන්ත දෙකෙන් ඉවත්වන විට එහි පවතින්නේ මධ්‍යස්ථ භාවයකි. සැබැවින්ම තථාගතයන් අවබෝධ කර ගත් දහම එතෙක් කිසිවෙකුනුත් අවබෝධ කර නොගත් (පුබ්බේ අනනුස්සුතෙසු ධම්මෙසු) මධ්‍යම ප්‍රතිපදාව වූ බව (මජ්ඣිමා පටිපදා) සිද්ධාර්ථ ගෞතමයාණෝ වදාළ සේක. මෙම නවදහම ස්වාධීන දහමකි. ;නත් පාදන (චක්ඛු කරණ) නුවණ ප්‍රඥාව අවධිකරණ (ඤාණ කරණි) ශාන්තිය සැනසීම පවතින (උපසමාය) අවබෝධය නිර්වාණාධිගමය පිණිස පවතින (උපසමාය අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය) පවතින බව වදාළහ.

ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් මධ්‍යම ප්‍රතිපදාව ගමන් කළ යුතු අනුගමනය කළ යුතු පිළිවෙතක් පමණි. එහි බැහැර කළ යුතු කිසිම දෙයක් නොමැත. මුළු මහත් බුදු දහමේ ජීවන දර්ශනය එහි අන්තර්ගත වේ. ඒ තුළ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාව අන්තර්ග්‍රහණය වේ. ප්‍රඥාව අවධි කරවා, සීලාදි පිළිවෙතෙහි පිහිටා කායික, මානසික, සමාධිය එනම් චිත්ත සමාධිය දක්වා පරිපූර්ණ මාවතක් ඒ තුළ අන්තර්ගතව පවතී.

සම්මා දිට්ඨි

සම්මා සංකප්ප – ප්‍රඥා

සම්මා වාචා

සම්මා කම්මන්ත

සම්මා ආජීව - සීල

සම්මා වායාම

සම්මා සති

සම්මා සමාධි - සමාධි

බෞද්ධ ජීවන මාවත සහ සසරින් මිදීමට කැමැති පුද්ගලයා ගමන් කළ යුතු මාවත මෙම උතුම් අංග තුළ ඇතුළත වේ. මෙම ක්‍රමය අපට අවබෝධ කර ගැනීමට නිසි මාවත පෙන්වා දී ඇත්තේ ලෝකයේ පැවැත්ම අවබෝධ කර ගැනීම තුළිනි. ආර්ය මාවත එළි පෙහෙළි කරදීමෙන් අනතුරුව විශ්වයේ සංසාරයේ ස්වභාවය, කවරේදැයි බුදු හිමියෝ දේශනා කරති. එනම් එදා ගයා තීර්ථයේ මහාබෝධි වෘක්‍ෂ මූලයේදී තමන් තම නුවණින් අවබෝධ කර ගත් ආර්ය සත්‍ය ධර්මය තුළිනි. එය චතුරාර්ය සත්‍ය ලෙස හැඳින්වෙන අතර ඒ නිසාම ‘බුද්ධ’ නම් වූ බව ද දත යුතුය.

බුදු දහමේ හදවත හරය දාර්ශනික සිද්ධාන්ත අතර අග්‍රස්ථානයක ලා සැලකෙන සම්බුදු පදවිය සඳහා සුදුසුකම් ලද ආර්ය සත්‍ය සතර මෙසේය.

1. දුක්ඛ ආර්ය සත්‍ය

2. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය

3. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය

4. දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍ය

ඉපදීම දුකකි. ජරාවට පත් වීම ලෙඩ රෝග වැලදීම දුකකි. මරණය ද දුකකි. කැමැති දේ නොලැබීම ප්‍රියයන්ගෙන් වෙන් වීම අපි‍්‍රයයන් සමග එකතු වීම ද දුකකි. පංච උපාදානාස්ඛන්ධය ආශ්‍රිත සියල්ල දුකකි.

දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාව වේ. දුක්ඛ සමුදය ලෙස එය හැඳින්වේ. දුක්ඛ දුක්ඛ (සාමාන්‍ය දුක) විපරිණාම දුක්ඛ (වෙනස් වීම නිසා) සංසාර දුක්ඛ යනුවෙන් දුක තෙවදෑරුම් තලයක ගමන් කරයි. මෙම දුක කවර ආකාරයෙන් හටගත්තත් ඊට හේතුව තණ්හාව බව පැහැදිලිය.

1. කාම තණ්හා

2. භව තණ්හා

3. විභව තණ්හා වශයෙන් තෘෂ්ණාව තෙවදෑරුම් වේ.

පංච ඉන්ද්‍රියන් පිනවමින් කාම වස්තු සමග ගැටෙමින් ජීවත්වීම කාම තණ්හාවයි. භවයේ සදාකාලිකව ජීවත්වීමට ඇති ආශාව භව තණ්හාවයි. භවයෙන් වෙන්වීමට ඇති ආශාව විභව තණ්හාවයි. දෙවන තෙවන අංග ශාස්වත වාදය හා උච්ඡේද වාදය නියෝජනය කරයි.

ධම්මචක්කපවත්වන සූත්‍රයේ පෙන්වා දී තිබෙන්නේ ‘යමක් අනිත්‍ය ද එය දුකක්’ බවකි. එපමණක් නොව එම ආකල්පය වැඩි දුරටත් සංවර්ධනය කර මින් පවසන්නේ යම් කිසදි ධර්මතාවයක් හට ගත්තේ ද ඒ සියල්ල නිරුද්ධ වන බවයි.

යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං යනුවෙන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඒ බව අවධාරණය කරයි.

දුක නැති කිරීම නම් නිවරනයි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යනු එයයි. තෘෂ්ණාව ක්‍ෂය කිරීම විරාගය නිරෝධය නිර්වාණය බව පෙන්වා දී ඇත. නිවන ශාක්‍ෂාත් කළ යුතු අසංඛත ධර්මයකි. එය අපේ විස්තරයට සමානව නිර්වාණය සිද්ධාර්ථ කුමරු අවබෝධ කර ගත් පරම සත්‍ය වේ. මෙම පරම සත්‍යයට ලංවිය. බුදු සමයේ විමුක්ති සාධනය පරම නිෂ්ටාව නිවන වේ. එය අධ්‍යාත්මික විමුක්ති ලෝකයයි. බුදු දහමේ පරම නිෂ්ටාව ශාක්‍ෂාත් කර ගැනීම මුල් විසි වසරේ ප්‍රධාන කාර්ය භාරය විය. මෙම යුගය ප්‍රථම අභිසම්බෝධි යුගය ලෙස සළකා ඇත. බුදුරදුන් තම ශ්‍රාවක පිරිස් සම්බන්ධයෙන් වඩාත් සතුටට පත් වූයේ මෙම මුල් යුගය තුළ දී බවත්, එයට හේතුව වැඩිම පිරිසක් නිර්වාණාධිගමයට පත්වූයේ එම යුගයේ බවත් මජ්ඣිම නිකායේ කකචූපම සූත්‍රයේ සඳහන් වේ.

ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ගමන් ගන්නා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන ගිහි පැවිදි ශ්‍රාවකයා අවසානයේ සිත සමාධිගත බවට (සම්මා සමාධි) පත් කර ගනියි. එහි අවසාන ඵලය සම්මා ඥානය පහළ වීමයි. යථාභූත ඥානය හෝ ඇත්ත ඇති සැටියෙන් දැකීම සම්මා ඥාන නම් වේ. ඉන් පසු පරම විමුක්තිය නිවන (සම්මා විමුක්ති) පසක් කර ගනියි.

සම්මා විමුක්තිය ලැබූ පුද්ගලයා සසර ගමන නිම කළ සංසාර බර බහා තැබූ අභිමතාර්ථ සාධනය ඉෂ්ට කරගත් පුද්ගලයෙකු බවට පත් වේ. ඒ පුද්ගලයා බෞද්ධ ආර්ය විනයේ දී හඳුන්වනු ලබන්නේ් සව් කෙළෙසුන් නැසූ (අරහං ඛිණාසවො) අයෙකු ලෙසය.

ධම්මචක්කපවත්තන සූත්‍රය හෙළි කරන මාවත නිවැරැදි මාවත වේ. එය සෘජුය. මැනවින් අර්ථවත් වූ ධර්ම මාවත බව ඉතා පැහැදිලිය.